අකුරු මැකී නෑ

Monday, April 23, 2018

නොදෙන්න හිටි රන් පදක්කම

මේ කතාවේ main actor අපේ තාත්තා. මං සහාය.
මේ කතන්දරේ ප්‍රධාන නළුවා අපේ තාත්තා.... මම සහාය..........
එයා දිසානායක හේවගේ ගුණපාල. පවුලේ එකම පුතා. එකා යකා වෙච්ච තවත් එක නොට්ටිගේ පුතෙක්. එහෙම කියන්නේ මදි පුංචිකමක් කරන්න හෙම නෙවෙයි. එහෙම කළොත් ඒක මහා අපරාධයක් වෙනවානේ.  මමනේ එයාගේ අතිජාත ලොකු පුතා.

ඒ දවස්වල නම් මට ඕවා කියන්න තහනම් කරලා තිබුණේ. මොකද තාත්තයි මායි දෙන්නාම කුළුඳුල් අය නිසා. එහෙම අයව නිධන් හාරන අය හොරකම් කරගෙන යනවලු බිල්ලට දෙන්න! දැන් ඉතින් මොකා මේ මැන්ටල් මාව කාට බිල්ලට දෙන්නද? අමනයෙක් තකතිරුකමට එහෙම කළත්, මාව දැක්කාම යක්කුත් පණ එපා කියලා දුවනවා සත්තයි! සහතිකයි!! ඒකාන්තයි!!! යාළුවෝ කියන්නේ මාත් එක ජාතියක යකෙක්ලු!

අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මාව ගෙන්නලා මට කිව්වා කථික තරගයක් ගැන. "තමුසෙව තමයි මේකට යවන්න හොඳම. යනවා, ගිහින් දිනාගෙන එනවා! ඔන්න මම තමුසෙගෙ නම යවනවා." මට දැන් හිතෙන්නේ ඒ කාලේ මම කරපු රස්සාවත් මගේ නම ඉදිරිපත් කරන්න හේතු වෙන්නැති. (අවුරුදු දොළහේදීම මට රස්සාවක් කරන්න වුණා, ඉස්කෝලේ යන ගමන්. ළමා කම්කරුවෙක් අද නම්? )

නිදිට අවුරුදු පහළොවේදී ..........
අපේ ඉස්කෝලේ මහා ලොකු එකක් නෙවෙයි. විද්‍යාකර විද්‍යාලය. ඊට පස්සේ ඒක මහා විද්‍යාලයක් වුණා. ඊටත් කාලයකට පස්සේ මහරගමට ජනාධිපති විද්‍යාලයක් ආවා. ඒක පිරිමි පාසලක් කරන්නත්, විද්‍යාකරේ බාලිකා පාසලක් කරන්නත් බලධාරීන් තීරණය කරන්න ඇති. දැන් අපේ ඉස්කෝලේ බාලිකා මහා විද්‍යාලයක්. උන්ට හොඳ නම් අපට මොකෝ? ඇත්තටම මොකක්ද මේ මිශ්‍ර පාසල්වල තියෙන වැරැද්ද?  මොකාද මේක වඩා සුදුසු ක්‍රමයයි කියලා නිර්දේශ කරන කලවැද්දා?

මොකක්ද මිශ්‍ර පාසල්වල තියෙන වැරැද්ද? එහෙම තිබුණයි කියලා කුමර-කුමරි බඹසර රැකෙනවාමද?
කවලමේ හිටියයි කියලා අපි කාගෙවත් කුමර බඹසරටවත්, කුමරි බඹසරටවත් හානි වුණයි කියලා අහගන්න ලැබුණේ නැහැ. අද මිශ්‍ර පාසල් නැතිම තරම්. ඒත් ලිංගික අපරාධ? අනේ මන්දා- මාත් සමාජ විද්‍යාඥයෙක් නම් හොයන්නවත් තිබුණා; පිටරටකට හරි පල ප්‍රයෝජනයක් වෙන්න.

"සර්, මම තාත්තාගෙන් අහලා කියන්නද හෙට?"

"ඕකේ මොනවා අහන්නද අයිසේ. අද අන්තිම දවස. අදම උත්තරයක් යවන්න ඕනේ, නමක් එක්ක." එහෙනම් ඒකයි මේ තදියම; අන්තිම ආවත්තෙටම එනකල් ඉඳලා action ගන්න. ඔන්න රාජකාරිය දේවකාරිය වගේ කරන රඟ. මං හිතුවා. එතකොටත් මං මහ පණ්ඩිතයා. ඕනේ නැති ඒවා හිතනවා. නෙවෙයි හිතෙනවා!
හොඳ වෙලාවට තාත්තා කතාව අහලා ගෝරනාඩු කළේ නැහැ.

ටික දවසකට පස්සේ අර සර් තරගේ ගැන එවපු ලියුමක් මට දුන්නා; ගෙදර ගෙනිහින් පෙන්නලා ආපහු ගේන්න ඕනේ කියන දැඩි කොන්දේසිය උඩ.
කථික තරගය සංවිධානය කරන්නේ තරුණ බෞද්ධ සංගමයක ශාඛාවකින්..........
තරගය සංවිධානය කරන්නේ තරුණ බෞද්ධ සංගමයෙන්. (සහේතුකවම කොහේ එකද කියලා නොකියන එකට සමාවෙන්න ඕනේ.) මට හරියටම මාතෘකාව මතක නැතත් ඒක මත්පැන් බීමේ ආදීනව වගේ එකක්ය කියලා හොඳටම මතකයි.

අපේ පීතෘ රත්නයත් ඒ කාලේ හොඳ කථිකයෙක්ලු.

ඔන්න මනුස්සයා හිටු කියලා මට උපදෙස් දෙනවා. මෙහෙම කියාපන්, අරහෙම කියාපන්. මේක හොඳයි කියන්න; මේක නරකයි කිය-කියා.... (දැන් නම් මං දන්නවා දිසානායක ජාන එහෙම පිටින්ම මටත් ඇවිල්ලා බව. එතකොට ඔය ජාන කතා කවුද දන්නේ ජාතක කතා මිස?) මට තවම මතකයි පීතෘපදේශ මත මං කියපු එක කාරණයක්. "ගෙදරක තාත්තා හම්බ කරන සල්ලි බොන්න වියදම් කළාම අසරණ අම්මටයි දුවල පුතාලටයි ඉන්න වෙන්නේ බඩගින්දරේ, බඩට පොල් ලෙලි හිර කරගෙන."

ඇත්තම කිව්වොත් අද වෙනකල්වත් ඔය පොල් ලෙලි තියාගැනිල්ල බඩගින්දරට සහනයක් වෙනවද කියලා මට ස්ථිර නෑ.

දැන් නම් මං දවස් දෙක-තුන උපවාසය කරලා; බඩගින්නේ ඉන්නවා. ඉන්නවා නෙවෙයි එහෙම ඉන්න වෙලා තියෙනවා. ඒ නොකා ඉඳපං- ඉඳපං- ඉඳපාං කියලා අපේ අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා මට බල කරලා; මාව නොමරා- මරණ හින්දා. පැය විසි හතරේ- හතළිස්‌ අටේ- හැත්තෑ දෙකේ වගේ දිගම-දිග උපවාසත් දැන් අපට හුරුයි. එහෙම වෙලාවක පොල් ලෙල්ලක් හිර කරගෙන බලන්න ඕනේ!

ඉස්කෝලෙන් නම් මට කිසිම සපෝර්ට් එකක් හම්බ වුණේ නැහැ.

තනි ගහක් වගේ තනියෙන්ම තමයි එදා මට යන්න වුණෙත්; කථික තරගෙට.........
කොටින්ම කිසිම කෙනෙක් මගෙත් එක්ක ආවෙවත් නැහැ තරගය දවසේ. ඒ කාලේ හැටි වෙන්නැති ඒ. තාත්තා නම් මාත් එක්ක ආවා.
සමහර පාසල්වලින් නම් ගුරුවරුත් ඇවිත් හිටියා ළමයි එක්ක. ඒ හුඟක් අය නියමෙට ඇඳලා- ටයි-බයි සපත්තු දාලා. සත්තයි, මං විතරයි හිටියේ රබර් සෙරෙප්පු දාපු කොල්ලෙකුට. කමිසයත් උඩින් දාගෙන. ඒ කාලේ අපට හුඟාක් අග-හිඟකම්. එදා පෙනුමටත් ලකුණු දුන්නා නම් මම තමා අන්තිමයා. ඒත් එහෙම නොවුණු නිසා මම දිනුවා.

"අපි ළඟදීම ලොකු උත්සවයක් තියලා නිමල්ට රන් පදක්කම පිරිනමනවා." සංවිධායකයන් තාත්තාත් එක්ක කිව්වා. මම දිනුවය කියලා අපේ ඉස්කෝලෙට ලියුමකුත් එවනවායි කිව්වා. අපි ආපහු ආවා. ඉස්කෝලෙට ලියුමක් නම් ආවා. මගේම අහේතුවට වගේ ඉස්කෝලේ අයට ඒ ලියුමෙවත් එච්චර බරක් දැනුණේ නැහැ. එච්චරයි! හා හූ ම්හු!

මාස ගණනක් ගියා! මොකුත්ම වුණේ නැහැ. දැන් වගේ හැමොන්ටම ටෙලිෆෝන් තිබුණේත් නැහැනේ, අහන්නවත්. ඒත් රන් පදක්කමක් නිසා අත ඇරලා දාන්නත් බැරිව අපි හිරවෙලා. පෙනුණේ නෝංජල් අපට රත්තරන් දෙන්න බැහැයි-බැහැයි කියනවා වගෙයි.
රංජි, උන්ට ලියුමක්  ලියමු, පොඩි උප්පරවැට්ටියක් දාලා...........
ඔන්න අපේ පිය මහ රජාණන්ගෙ නැණ බලේ පෙන්නන්න අවස්ථාවක් උදා වෙලා. "රංජි, අපි ලියුමක් ලියමු."

(අපේ පවුලේ අයට, ගමේ අයට, නෑදෑයන්ට මම රංජි.) මම ඉපදෙන්න ඉන්න කාලේ තාත්තාට ඕනේ වුණාලු නිමල් කියන නම. අම්මාගේ choice එක රංජිත්. අපේ තාත්තාත් කාන්තාවන්ට සම තැන දුන්න හින්දාද මන්දා, තීරණයක් අරගෙන ඉඳලා 'නිමල් රංජිත් දිසානායක' කියන නමට. හේවගේ කෑල්ල ලස්සණ නැති නිසා හළලා දාන්නත් දෙන්නාම කතා වෙලා.

අම්මාව බදුල්ලේ ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියන පණිවුඩය තාත්තාට යනකොට මිනිහා සරු බූරු පිටියක. මං හිතන්නේ එදා එයාගේ පක්ෂියා රජ වෙලා ඉන්නැති; එයා එක පාරම බූරුවා ගැහිල්ලට සමු දීලා නෑ. එයා රෝහලට යනකොට අලුත උපන් කුමරුවාගේ උප්පැන්නය ලියලත් ඉවරයි. ඒක ලියාපු මිසීගේ අතින් රංජිත් කෑල්ල හැළිලා, හේවගේ කෑල්ල එකතු වෙලා. වෙච්චි දේට එන්න සෙයියදු කියලා අම්මලා ගෙදරට මගේ නම රංජි කියලා රෙජිස්ටර් කළාලු. ඒකට මොකෝ?

දැන් නවීන පන්නේටත් දහස් ගණන් වියදම් කරගෙන, නැකතට සීසර් කරවලා මෙලොව එළිය දක්වන බිළිඳුන්ටත් නැකත් බලවලා, තවත් දහස් ගණන් දීලා හදවන නම් උප්පැන්නෙට විතරනේ. ගණ බලවලා- ළමයින්ට යාදෙන සුදුසු අකුරු අරගෙන  ඉරෝෂන්, අයෝනි, තිමිර වගේ බොහෝම අර්ථාන්විත නම් දාලා, අන්තිමට වෙන නමකින් කතා කරන්න ගන්නවා. කාටවත් මතක නැහැ ගණ පිහිටුවලා යොදන නමකින් හොඳක් වෙන්න නම් ඒක නිතර කියවෙන්න ඕනෑ බව. (මම මේ කියන්නේ ඒවා අදහන අයටයි, හොඳේ.)

පස්සේ ඒ ටික ලස්සනට- පිළිවෙලට ගලපලා .........
"ගනින් කොළයක්. මුලින්ම මං කියන දේවල් ලියාගෙන පස්සේ ඒක ලස්සණට ගළපලා පිළිවෙලට ලියපන්!" 

(අපේ ගෙදර හුඟක් වෙලාවට කියවුනේ හලන්ත විධාන. හලන්ත වදන් කියන්නේ හල්නයන්න, බිංදුව වගේ අකුරුවලින් ඉවර වෙන ඒවාටයි. කාපන්-බීපන්- ඉඳපන්- හෙණ ගහපං- මකබෑවියන්- තොලොංචි වෙලා පලයන් ....වගේ ගොඩාරියක් ආදරණීය ඒවා හලන්ත විධාන.)
මූලිකවම ලියුමෙන් කියැවුණේ මෙහෙම දෙයක්.

"ඔබතුමන්ලා සංවිධානය කළ කථික තරගයෙන් ජයග්‍රහණය කළ මම අද ඒ නිසාම ඉමහත් අපහසුතාවකට පත්ව සිටිමි.
මා එය ජයග්‍රහණය කළ බැව් පැවසූ විට මුලින් එය ඇදහූ අය පවා තවමත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් තිබුණේ නැතිදැයි මගෙන් විමසති; රන් පදක්කම කෝ කියා අසති; ඔබ සංගමයෙන් අප පාසලට එවූ ලිපිය පවා ඔවුහු ප්‍රෝඩාවක් ලෙස සලකති.
එබැවින් ත්‍යාග ප්‍රදානයක් කෙරෙනතුරු- තරගය පැවැත්වූ බවත්, මා  එය ජයග්‍රහණය කළ බවත් තහවුරු කෙරෙන ලිපියක් අප පාසලට යොමු කරනු මැනවි. මෙසේ අයදින්නේ ඔබ සංගමය කෙරෙහි ඇති අවිශ්වාසයකින් නොව, මා පත්ව ඇති අවමානයෙන් මිදීමට සාක්ෂ්‍යයක් අවශ්‍ය බැවිනි."

තාත්තා කියපු විදියටම ලියුමේ අන්තිමට, ඒකෙ පිටපතක් අපේ  
විදුහල්පතිතුමාට යොමු කරන බවත් ලිව්වා. තරගය තිබ්බෙ 1969 අග. සහතිකය බලන්නකෝ, තෑගි දෙන්න කොච්චර කල් ගත්තාද කියලා.

69 තිබ්බ තරගෙට දුන්නු රන් පදක්කම ලැබුණේ 72... ඒකත් නොදී ඉන්න බැරි තැනට ..
ටික දවසයි ගියේ. පුංචි උත්සවයක් පවත්වලා මට පවුම් බාගයක රන් පදක්කමක් තෑගි කළා, සහතිකයකුත් එක්ක. පදක්කමේ කොටලා තියෙනවා '...... තරුණ බෞද්ධ සංගමය- 1969  වාග් චාතුර්ය තරගය- පළමු ස්ථානය' කියලා.

ඇත්තටම ඒක නොදෙන්න හිටපු රන් පදක්කමක් උපායෙන් ගැනිල්ලක්! උපාය දන්නෝ අපායේ නොවැටෙති- කීමත් සහතික ඇත්ත.

පදක්කමෙන් සිද්ධ වෙච්ච ලොකුම වාසි දෙකක් තියෙනවා.

එක- සල්ලි අඩුපාඩු වෙලාවක ඒක උගසට තියලා කීයක් හරි ගත්තැහැකි. අපේ තාත්තා නම් වතාවක් ඒක කළා.

දෙක- උපක්‍රමශීලිව, කාගෙවත් හිත නොරිද්දා යමක් නොකියා කියන හැටි මම ඉගෙන ගත්තා. මම තවමත් ඒ සම්‍යක්ප්‍රයෝගයෙන් වැඩ ගන්නවා නැණ බලය ටිකක් පාවිච්චි කරලා.. ( තාත්තේ, ඔයාට ගොඩක්-ගොඩාක් පිං මං පුංචි සන්දියේදීම ඒ පාඩම ඉගැන්නුවාට!)෴

6 comments:

  1. ලස්සන කතාව.පිළියන්දල සමිතිය නේද?

    ReplyDelete
  2. ඔයාලා තමයි ෂර්ලොක් හොල්ම්ස්ලා වෙන්න ඕනේ!
    ස්තුතියි, ලොකු මල්ලී.

    ReplyDelete
  3. ආයි නෑ...ගෝල්ඩ් මැඩල් චැම්පියන් කෙනෙක්නෙ ඉතිං මෙහෙම භාෂාව හසුරුවන එක ගැන අහන්නත් දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. මාර ක්‍රෙඩිට් එකක්නේ කණ්ඩා ඔයා දෙන්නේ! තෑන්ක්ස්!!

      Delete
  4. මරු. මාත් ඔකේ තරඟේ කට එහම ගියා. මොනවා වුනාද මන්ද. අපේ දහම් පාසලේ විවාද කණ්ඩායමේ නායකයා මම ඒ කාලේ හේ හේ දැන්නම් හිනහත් යනවා.

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න දෙයක්ය? ඒ කාලේ එහෙම කරපු පුරුද්දම නේද අජිත් මහත්තයෝ අපි තවමත් දියුණු විදිහට කරන්නේ....

      Delete