අකුරු මැකී නෑ

Thursday, May 3, 2018

නීච කුමන්ත්‍රණේ

වෙන කවුරුන්වත් නෙවෙයි, මේ කොටනා මං වහන්සේලාගේ පරම්පරාව ගැන කියම්හ කියලා ඕන්න පටන් ගන්නවා.

මට වඩා අපේ තාත්තාත්, අපේ තාත්තාටත් වඩා තාත්තාගේ තාත්තාත් අයිඩියාකාරයෝ වූහ. ඒ කිව්වේ අපේ සීයා ගැනයි. හොඳේ! මේ කතාව එයා ගැන එකක්.
කියන්න දේවල් නැතිවට සීයා ගැන කියනවා නෙවෙයි. හොඳේ?

අපට තරම් දේවල් වෙන යටත් වෙලා තියෙනවාද?
මං නිතරෝම හිතන්නේ අපට තරම් විශේෂ දේවල් අනෙක් මිනිස්සුන්ට සිද්ධ වෙලා නැත්ද. එහෙම නෙවෙයි නම් ඒවා හෙළි කරන්න බයද. ඒත් නැතිනම් එයාලට ඒවා මතක නැතිද?  අපේ යහළුවෝ වුණත් එයාලගෙ අතීතය ගැන කියන්නේ බොහෝම අඩුවෙන්. ඒකට වෙලාවක් නැතිව වෙන්නැති.

මං පිටස්තර ගෙදරකට ගිහිල්ලා තියෙන වාර ගණන් කළොත් මුල් තැන ගන්නේ අපේ නංගිලාගේ ගෙදර. මානෙල්. මානිලගේ ගෙදර ගිය වෙලාවක ඉඩක් තිබ්බොත් අපි අතීතයට රිංගනවා. එහෙම වෙලාවට අපේ රෝසි එතනට එන්නේ දුවගෙන. ඇවිත් තප්පලම් ගහගෙන වාඩිවෙලා මට හූමිටි තිය-තියා, තලු මර-මරා අහන් ඉන්නවා. 

සමහර වෙලාවට 'අනේ ලොකු මාමේ, තව එකක් කියන්නකෝ' කියලා ඇවිටිලිත් කරනවා. තවමත් එහෙමයි. ඒ වුණාට දැන් කෙල්ල පොඩි නෑ. ඩාන්සින් ටීචර් කෙනෙක්. ගිය අවුරුද්දේ කසාදත් බැන්දා. එයාගේ නියම නම උපේඛා කෞෂිනී. නම මානිම තේරූ එකක්. කෙල්ල නැට්ටුක්කාරි නිසා එහෙ-මෙහෙ යන්න, තරගවලට ඉන්න අරවට මෙව්වට ගොඩක් අවස්ථා ලැබුණා. 

'සිසිසි' කියලා නැටුම් කණ්ඩායමකුත් එයාට තියෙනවා. ඔය වැඩවලදී සමහර වෙලාවට නම-ගම කියන්න වෙනවනේ ලියාගන්න. මානෙල් කියනවා අද වෙනකල් කෙල්ලගේ උපේඛා කෞෂිනී නම හරියට ලියන්න පුළුවන් අය දහ දෙනෙක්වත් හම්බවෙලා නෑ කියලා.
 
"සිසිසි' කණ්ඩායම - රෝසි වම් කෙලවරේ
අපේ සීයාගේ නම දිසානායක හේවගේ චාර්ල්ස්. හේවගේද, හේවාගේද? හරියටම ලියන්න හිතං මං පරණ කුණු කූඩේ ඇද්දා. සේරෝම ඉංගිරිස්වලින් තියෙන්නේ. hewage! වැඩේ හබක්. ලියන්නේ මොකක්ද. මං හිතුවා, එක අතකට ඕක මොකක්ද? ඔබතුමන්ලා, ඔබතුමීලා අහලා තියෙනවද 'බදුල්' කියලා තැනක් ගැන ශ්‍රී ලංකාවේ.

නෑ! වෙන්න බෑනේ. තියෙනවා, තියෙනවා, තියෙනවාමයි. මේං බලන්නකෝ මගේ ජාතික හැඳුනුම් පතේ දෙවෙනි පැත්ත. මමත් තවම 'බදුල්' හොයනවා. හම්බ වුණොත් අනේ, මටත් නොකියා ඉන්න එපා.

මගේ හැඳුනුම්පතට අනුව මගේ උපන් ගම 'බදුල්' කියල නගරයකයි..........
ඉතින් සීයාගේ ලින්ක් එකට යනවා නම් මම අදහනවා පරම්පරා ජානවලින් අපට හුඟාක් දේ උරුමවන බව. හොඳට හිතනකොටයි තේරෙන්නේ, සීයලාගෙන්-ආච්චිලාගෙන් මොන තරම් දේ අපට ඇවිල්ලද? 

දැනට සීයා ගැන විතරක් කියමුකෝ! සීයාගේ අන්වර්ථ නාමය 'අමු කැළේ'ලු. ගින්දර නැතිවත් තප්පරෙන් අමු කැළයක් ගිනි තියන්න පුළුවන් මිනිහෙක්ලු. 

මං නෙවෙයි එයා; සීයා. නෙවිල් නම් කියනවා මාත් එහෙමයිලු. දොස්තර අයස්මන්තත්, මර්විනුත්, තව දෙතුන්-දෙනෙකුත් ඒ කතාවට මනාපයි. මයෙ මොකෝ? කුක්කුරයෝ බිරුවට හඳ පාත් වෙනවයැ.
 
වමේ සිට: නෙවිල්, මම, අයස්මන්ත පීරිස් දොස්තර මහතා, මර්වින් හා අපේ සුනිල් - 2013 පාද යාත්‍රාව අවසන
ඕං ඕං ප්‍රධාන කතාවට යනවා!

මේ කතාව අපට හෙළිදරව් කළේ වෙනින් කවුරුවත් නෙවෙයි අපේම ආච්චියි. වෙනිං කුටුම්බවල නම් ආච්චිලා- මුණුබුරු මිණිබිරියෝ මෙහෙම දේවල් සල්ලාපෙට ගන්නේ නැහැ. අපරාදේ කියන්න බැහැ, අපට තිබුණේ බොහෝම විවෘත ගෘහස්ථ පරිසරයක්. අනේ අපේ ආච්චී මිය පරලොව ගිහිල්ලාත් දැන් දසක දෙකකටත් වැඩියි. ඒත් තවමත් උන්දැගේ; දසනායක රත්නවතීගේ වගතුග  නිතරෝම අපේ සිහියට එනවා.
අද අපේ සීයාගේ; දිසානායක හේවගේ චාර්ල්ස්ගේ විත්තිය කියන්න යන්නේ එහෙව් ආච්චිගේ මුවෙන්!

-"එතකොට අපි හිටියේ රත්නපුරේ රේල්වේ ක්වාටර්ස්වල. දවසක් උඹලගේ සීයා කිව්වා- අද මගේ දුරම-දුර නෑයෙක් මෙහෙ එනවා, එයාලට කිසිම අඩුවක්-පාඩුවක් නොවෙන විදියට ඉස්තරම්ම විදියට  සංග්‍රහ කරලා යවන්න ඕනේ කියලා.

-දන්නවනේ, ඔය මනුස්සයට හැම තිස්සෙම ඔහොම සත්ත කරුණාව පහළ වෙන්නේ නැහැනේ. මාත් ඉතින් දන්න සූප-සාස්තර සේරම දාලා හිටු කියලා උයන්න ගත්තා. ටිකක් වෙලා යද්දී අල්ලපු ගෙදර මනුස්සයා කුස්සියට එබුණා."ආං හාමිනේ, හතර වටේටම සුවඳ ගගහා උයනවා වගෙයි!" මිනිහා ඔලොක්කු හිනාවක් දාලා කියපි. මට ඒ හිනාව ඇල්ලුවේ නැහැ. මොකක්ද යකඩෝ ඒ හරුපේ. ඒත් මං කට වහගෙන හිටියා.

-"ඔව්, ඉතිං හා-හාපුරා කියලා අලුත් නෑනලා මස්සිනාලා ගෙදරට එනකොට හොඳට සංග්‍රහ කරන්න එපැයි. නේද හාමිනේ?" කියල අහලා මිනිහා යන්න ගියා."   

අඟුරු කකා, වතුර බිබී කොළඹ දුවන යකඩ යකා - සීයලාගේ සංදියේ කෝච්චියක්   
ටිකාක් කොටනකොටයි කම්පනාවට ආවේ, දැන් කොහෙද බොලේ රත්නපුරේ ස්ටේෂමක් තියෙන්නේ කියලා. දැන් නැති බව හැබැයි. 

ඒ කාලේ කැලණිවැලි කෝච්චි පාර මිණිපුරේට විතරක් නෙවෙයි ඊටත් එහා... ඕපනායකට යනකල්ම තිබුණාලුනේ. 

'කැලෑ හඳේ' මාලිනීලා හිටියෙත් ඕපනායක නේද? අනේ, සුද්දා උන්නෙ වාසියට වුණත් හැදූ රේල් පාරවල් ටිකවත් අපට රැකගන්න බැරිවුණු හැටි. දැන් කැලණිවැලි රේල්ලුව දුවන්නෙ අවිස්සාවේල්ලට විතරනෙ ආයිබොවන්!

කැලණිවැලි කෝච්චි ජන ජීවිතය එක්ක බද්ධ වුණු හැටි හොඳට කියවුණා 'පිටගම්කාරයෝ'...........
අභාවප්‍රාප්ත තිස්ස අබේසේකර සිනමාවේදියාවත් මෙතැනදී සිහිපත් වෙන්නේ නිකම්ම. ඒ කියන්නෙ නිරුත්සාහයෙන්. 

ඒ මං එතුමාව වීරයෙක් විදියට දකින නිසාම නෙවෙයි. යම් නිර්මාණයක් කරනකොට ඒ ගැන දිගු කාලයක් තිස්සේ වෙහෙසිලා, අධ්‍යයනය කරලා පර්යේෂකයෙක් විදියට විඳින්න වෙන වෙහෙස නොතැකූ කෙනෙක් නිසයි. ඒකට හොඳම නිදසුන 'පිටගම්කාරයෝ' ටෙලි නාටකයයි. ඊට පසුබිම් වුණේ කැලණිවැලි මිටියාවතයි. ටෙලියේ තිර නාටකය පොත් දෙකක් විදියට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් 1997 දී පළ කළා. 

පොත් දොරට වැඩුම තිබ්බෙ ශ්‍රී ලංකා පදනම් ආයතන රැස්වීම් ශාලාවේ. එදා එතුමා කීවා දුම්රිය ඉතිහාසය ගැන කරුණු හොයාගන්න වෙච්චි රස්තියාදුව; මහන්සිය කොපමණද කියලා.

මට හිතෙන විදියට තිස්ස මහත්තයාටත් වැඩිය ඒ අතින් දුරටම ගිය කෙනා දයානන්ද ගුණවර්ධන මහා නාට්‍යවේදියා. නිකමට 'මධුර ජවනිකා' පොත කියවලා බලන්නකෝ. පාදක සටහන්... පරිශීලිත ග්‍රන්ථ ආදිය ගැන....

කියවලා තියෙනවද 'මධුර ජවනිකා' මුද්‍රිත කෘතිය? අන්න වැඩ......... පාදක සටහන් තියේ text එකට වඩා........
මගෙ ළඟ තියෙන්නේ විසිදුනු ප්‍රකාශකයන්ගේ 2000 මුද්‍රණයේ පිටපතක්. 7 පිටුවේ ඉඳලා 57 වෙනතුරු පිටුවලයි නාට්‍යයේ පෙළ අඩංගුවෙලා තියෙන්නේ. 59 සිට 115 දක්වා උපග්‍රන්ථය. කියවලා බලන්නම වටිනවා දයානන්ද මහත්තයාගේ පරිශ්‍රමයේ රඟ!

පොන්ත නෝනගේ මොකක්ද එක හෝදාගන්නේ ඇල් වතුරෙන්ද, මිරිස් වතුරෙන්ද කියලා තීරණය කරන්නෙත් එයාමයිලු. ඒක මිරිස් වතුරෙන් හේදුවොත් දැවිල්ල ගන්න බව එයාත් දන්නවාලුනේ.

ඒ වගේ මටත් ටිකක් නිදහස තියෙනවා මගේ වීරයෝ ගැන, මං ගරු කරන අය ගැන, මං කැමැති හිත ගත් දේවල්-පතපොත-නිර්මාණ වගේ ඕනෙම දෙයක් ගැන කියන්න, මේ පොස්ට්වලදී. හැබැයි මං කීයටවත් අත්තනෝමතික වෙන්නේ නැහැ, ඔයාලා අතේ තියෙන ලොකු බලය නිසා. ඕනෑ කෙනෙකුට පුළුවනිනේ 'අනේඃ, උඹ බම්බු ගහගනින්' කියලා, ඩේටා පුච්චා ගන්නෙත් නැතිව වෙන අහකට යන්න! ඒ නිසා මම මටම සීමාවල් පනවාගෙනයි ඉන්නේ. ඒකේ හොඳ-නොහොඳ මට කියලා එවන්න තරහ නැතිව. ලොකු උදව්වක්, හොඳේ.

ඉතින් අර අසල්වැසියා ගියාට පස්සේ.....ඔන්න ආයෙම ආච්චි.

-එවෙලෙ ඉඳලා මගේ ඔළුවේ වැඩ කළේ මොකක්ද මේ අප්‍රභංස නෑනා-මස්සිනා කතාව කියන එක. ඔන්න දවල් සීයා අමුත්තො කට්ටියත් එක්ක ගෙදරට ආවා කියමුකො. වැඩිහිටි පිරිමියෙකුයි, ඊට ටිකක් බාල තරුණ පහේ ගැහැනු කෙනෙකුයි, තව දෙන්නෙකුයි. ඒ මිනිස්සු ආව වෙලාවේ ඉඳලා උඹලගේ සීයා මට කටක් අරින්න දුන්නෙම නැහැ. හරිම පරිස්සමෙන් කතාව. අර අංගනාවත් කෝච්චරවත් උඹලගේ සීයා දිහාට අනිමිසලෝචන පූජාව කරන ගමන්. මමත් කාගෙන හිටියා, කන්නත් දුන්නා.

මොකක්ද බොලේ මේ අප්‍රභංස නෑනා කතන්දරේ?
-ඔන්න කට්ටිය යන්න ලැහැස්ති වුණාම, උඹලගේ සීයාත් මට ස්තුති කරපි හරියට පිට මිනිහෙක් වගේ. මං හිත යටින් දත් මිටි කකා, හිනා වෙලා කට්ටියට යන්න ඇරියා. ඒගොල්ලන්ව ඇරලවලා මෙයා ගෙදරට එපැයි එන්න.

-එතකොටම ගුණේ (ගුණේ කිව්වේ අපේ තාත්තාට.) ඉස්කෝලේ ඇරිලා ආවා. එක පාරම මට මතක් වුණා සීයාගේ කැබිනට් ලාච්චුව. ඒ කිට්ටුවක  ඉඳලා මේ මනුස්සයා ලාච්චුවට යතුර දාලා, යතුරත් අරගෙනයි වැඩට යන්නේ. ඒකත් මට නුහුරට දැනුණේ එවෙලේ!

-ගුණේ. වරෙන් මේ ලාච්චුව ඇරලා දියන් මට. මම ගුණේට කිව්වා. එයාත් දන්න දහිරිය සේරම දැම්මා. ම්හු! මට තවත් තරහයි. ලාච්චුව කඩපන්! මට කෑගැහුණා. කොච්චර හරි උඹලගේ තාත්තාත් බිරාන්ත වෙලා තමයි යකඩයක් ගෙනැත් ලාච්චුව කැඩුවේ!

-මං හිතුව හරියටම හරිනේ. ලාච්චුවේ හරිම සීරුවට- ලස්සණට ගැට ගහපු ලියුම් මිටියක්. ගුණේට බත් බෙදල දීලා, මම පැත්තකට වෙලා අර ලියුම් කියෙව්වා. අරකි ටීචර් කෙනෙක්. ඒ තේ උඩිච්චිගෙ ලියුම් තමයි ඒ. උඹලගෙ සීයා එක්ක ලව් ලෙටර් ගනුදෙනු කරන්න අරන් තියෙන්නේ මාස ගාණක ඉඳන්. කෙල්ලගෙ අයියාටත් අනාගත මස්සිනාව බලාගන්න ඕනේ වෙලා. ඒකයි එදා ඇවිත් තියෙන්නේ.

මෙන්න මිනිහත් එනවා හොර පූසා වගේ..........
-ගුණේ බත් කාලා ඉවර වුණාම මං මිනිහව බෝල ගහන්න පිට්ටනියට යවලා බලන් හිටියා සීයා එනකල්. ටිකකට පස්සේ මෙන්න මිනිහත් එනවා හොර පූසා වගේ.

-කවුද අර ආවේ? මම ඇහුවා.

-"ඇයි මං උදේ කිව්වේ." සීයා කිව්වා.

-එතකොට ඉස්කෝලේ හාමිනේ ඔහෙට එවපු මේ ලියුම්? මම ලියුම් මිටිය සීයාට දික් කරලා කිව්වා. මේ මනුස්සයා සාන්ත-දාන්ත තීන්ත කූඩුව වගේ ලියුම් මිටිය අතට ගත්තා. පෙරළලා  බැලුවා.

-"මම කොහොමද දන්නේ?" ඊට පස්සේ මගෙන් අහපි.

-තොත්ත බබා! ඔය ලියුම් මිටියම තිබුණේ තමුසෙගෙ කැබිනට් ලාච්චුවේ. අර ඇවිත් ගිය පඳුරිනේ තමුසෙට ඔය ලියුම් එවලා තියෙන්නේ. මං කඩා පැන්නා.

-එහෙම කඩා පැනලාවත් උඹලගේ සීයා නෙවෙයි හෙල්ලුනේ.

තමුන්ලාට මගේ ගැන සැකයක් තිබ්බා නම් කරන්න තිබුණේ මගෙ ඉස්සරහම ලාච්චුව කඩනෙක නේද?
-"මේක මගේ හොඳ නමට කැළැල් කරන්න අටවපු උප්පරවැට්ටියක්. නීච කුමන්ත්‍රණයක්! තමුන්ලා මගේ කැබිනට් ලාච්චුව මම නැති අතරේ කඩලා, ඒකට මේවා දාලා. තමුන්ලාට මගේ ගැන සැකයක් තිබුණා නම් කරන්න තිබුණේ මම ගෙදර එනකම් ඉඳලා, මගේම ඉස්සරහා ලාච්චුව අරවලා බලන්නනේ. කොහොමද ඔප්පු කරන්නේ මේවා මටම ලියාපු එව්වා බව?"

චාර්ල්ස් නොහොත් අපේ සීයා නොහොත් අමු කැළේ තමුන්ගෙ නැණ බලේ යොදවලා තම ප්‍රියම්බිකාවගේ මරණීය ප්‍රහාරයකින්, අනූනවයෙන් බේරුණු කතාව එතෙකින් නිමියේය.

හෝව්, හෝව්. නිමියේය කියලා බෑ. මෙහෙම තැනකදී පුළුවනිනේ, පූර්වාපර සන්ධි ගළපලා හීනියට හොරණෑ පාරක් දාන්න. ඔය සීයාගේ නැණ බලේ නොඅඩුවම අපේ තාත්තාටත්, එයැයිගෙන් මටත් අඩු නැතුවම ඇවිත් තිබෙයි කියාත් මං වහන්සේ මෙතැනදීම මෙසේ සත්ත කොට කියා සිටිම්හ.

වස් කවි පෝස්ට් එක කියෙව්වා නම් දැනටමත් ඔයාලා ඒ බව දන්නවත් ඇති!
                                                     

2 comments:

  1. 'පිටගම්කාරයෝ' අපූරු ටෙලිනාට්‍යක් ඔය රේල්පාර පරණ පාර ගැන හොයන්න උනන්දු උනෙත් ඒකෙන්. ඔය ටෙලිනාට්‍යයේ පාර්ලිමේන්තු ගිය වන්ෂොට් ජෝකර් කෙනෙක් එහෙමත් හොඳ රඟපෑමක් කරා නේද ?

    සීයගෙ කොටු පැනිල්ල ආච්චිගෙ අතටම අහු වෙලත් උන්දැ පණ කෙන්ද රැකගත්ත පුදුමයි, අබ්බගාත් තර්ක දාල නං ඕවයින් ගොඩ යාම බොරු :-D

    ReplyDelete
    Replies
    1. පිටගම්කාරයෝ පරිපූර්ණ ටෙලියක් වගෙයි මතක. රන්ජන් විතරක් නෙවෙයි, හැමෝම හොඳට රඟපෑවා.

      ආච්චිම කියපු විදිහනේ කණ්ඩා, අපි දන්නේ. හැබැයි අපි දන්නා කාලේ නං ඒ දෙන්නාගේ තිබුණේ මාර ලව් එකක්.

      Delete