අකුරු මැකී නෑ

Sunday, April 8, 2018

මීන සංහාරය

සමරසිරි නොහොත් සුදු මල්ලී. ඇත්තටම සමරේ, දැන් ඔයා කොහේද?

ඒ දවස්වල සමරෙලා හිටියේ සිල්ලප්පු ආතලාගේ ගෙදරක, කුලියට. අම්මයි, තාත්තයි, සිරිපාල-ජයවර්ධන අයියලයි, සමරෙයි මල්ලියි. අම්මයි තාත්තයි විතරක් නෙවෙයි, සමරේ ඇරෙන්න සමරෙලාගේ පවුලේ සේරමලා කෝටුකිතයියලා වගේ. ඒ හින්දාම වටපිටාවේ අය අපිටත් සත්ත මහා කරුණාව පෙරදැරි කරගෙන නොමිලයේම උපදෙස් දුන්නා.

"සමරසිරි ටිකාක් පිරිලා වගේ හිටියට තව ටික දවසයි. ඌටත් කාසෙ හැදෙයි ඉක්මනටම. ඒ ගෙදර හැමෝටම කාසෙනේ...." විධිමත්  වෛද්‍ය පරීක්ෂණ මොනවාවත් නොකර මිනිස්සු දිහා බලලා විතරක් ලෙඩ හොයාගෙන, ඒ මිනිසුන්ට ලෙඩ දාන්න අපේ උදවිය එක්ස්පර්ට්ස්ලා.

හැබැයි අපේ ගෙදරිනුත් තරයේ අවවාද කෙරුණා, අපට.  

"ඕනෙම කරන දේකට විතරයි එහෙට යන්නේ. රංජි, උඹ විසේසෙන්. ඒ ගියත් එහෙන් වතුරවත් බොන්නේ හෙම නෑ. තේරුණානේ. අම්මපා, හතර හන්දි කඩනවා පුතෝ අහුවුණොත් නම්!" ඒ අපේ ආච්චි. එයාත් ඉඳ-හිට අභ්‍යන්තර ආරවුල්වලට හොට දානවා, එක්සත් ජාතීන් වගේ.

ඔය උපදේශාවලිය සමරෙලාගේ ගෙදර උදවිය පරචිත්ත විඤ්ඤාණයෙන් දැනගෙන වගේ අපට මොනවත් තියා වතුර වීදුරුවක් තරමෙ දෙයක්වත් දුන්නෙත් නෑ. අපි ඉල්ලුවෙත් නෑ. මට නම් හොඳටම මතක තියෙන දේ තමයි එයාල ගේ පිටිපස්සේ බොහෝම ලස්සණට, පිළිවෙලට, සීරුවට හිටවලා තිබුණු කංකුන් පාත්තිය. ඒකේ පැළ නං පාණ්ඩු පාටට, හෝන්දු-මාන්දු ගතියට  තිබුණේ නෑ. ඒ ලස්සණම-ලස්සණ කංකුන් පාත්තිය.... තවමත් ඒක මගෙ ඇස් දෙක ඇතුළේ!  

ඇස් දෙක! ඇස් දෙක!!

කියෝලා තියෙනවද? කියවලා තියෙනවා නම් අනිවා 'ශෛල කල්‍යාණිත්' කියවන්න ඇති. දෙකයි, දෙකම දෙකයි! සෝමපාල රණතුංග මහත්තය ලියලා තියෙන්නේ පොත් දෙකයි.

මතකද ඉස්සර සාමා- අමරගෙන් පටන් ගත්තු සිංහල පාඩම් පොත් පෙළ. ඒවායේ 7-8-9 පොත්වලින් එකක තිබුණා 'එකම ලේ' කියලා කතාවක්. ඒක උපුටාගෙන තිබුණේ 'ඇස් දෙක' නවකතාවෙන්. අර පාඩම කියවපු අපි, තත්ත තිබාසෙ හැදිලා දිය පොදක් හොයමින්  කාන්තාරේ ගාටන අය වගේ ඒ පොත හෙව්වා කියවන්න.

එකම ලේ පාඩම උපුටාගෙන තිබුණේ...........
ඔන්න තව අදාළ නැති ලින්ක් එකක්! සෝමපාල මහත්තයා අකාලේ මිය-පරලොව ගිහින් කාලෙකට පස්සේ එයාගේ නෝනා මහත්තයා දයා රණතුංග, රටම ප්‍රේම කළ ප්‍රේමකීර්ති ද අල්විස්ව කසාද බැන්දා. ගුවන් විදුලියේ දයා රණතුංග දයා ද අල්විස් වුණේ එහෙමයි.

නිරංජලා සරෝජිනී ගයන 'අකලට වට මහ වරුසාවක් සේ' ගීතය රචනා කළේ ඔය කියපු දයාමයි. තනුව හා සංගීතය විශාරද නන්දා මාලිනියගේ. එතකොට ඒ ගීය තුන් කල ගීයක්.

තුන් කියනකොටම ත්‍රිත්ව, three ඔළුවට එනවා. කල කිව්වම නං තේරුම් හතරක් දෙන වචන දෙකක් පට ගාලා මතක් වෙයි. 'කළ' = කළගෙඩි සහ කෙරූ, කරන ලද. දෙවෙනි වචනය 'කල' ඒකත් තේරුම් දෙකක් දෙනවා. කාලය සහ කාන්තාව.

දැන් නම් ටක්කෙටම පැහැදිලියි. තුන් කල ගීය කිව්වේ කතුන් ට්‍රිබලකගේ සිංදුවක් හිංදා. ඔහොම තේරෙන සිංහලෙන් කියන්න එපැයි. නේද?

ඇස් දෙකින් ඊට වඩා දුර යන්නේ නැහැ.

හැන්දෑවක අපි තුන් දෙනා අලස සුවය විඳිමින් කයිවාරුවක් ගහමින් ඉන්න අතරේ...........
සමරසිරියි, අපේ ලොකු මල්ලී සුනිලුයි; ඒ කිව්වේ සුනිල් ගෝඨාභය දිසානායකයි, මායි තුන්දෙනා අලස සුවය විඳිමින් කයිවාරුවක් ගගහා හිටියා. ඔය අල්ල-පනල්ලේ කොහොමින් හරි මාළු අල්ලන කතාවක් ආවයි කියමුකෝ.

අපිත් මාළු බාමුද? මගෙන් කියවුණා.

පාර්ලිමේන්තුවේ ඉන්නේ නැති මැති- ඇමැති- මන්තිරිවරුන්ගේ පවා ඡන්දය හොරට දාන මේ රටේ, මගේ යෝජනාවට එදා ඡන්ද තුනක් තිබුණා. (තව එකක්-ජනාධිපතිවරණයකදී එක අපේක්ෂකයෙකුගේ ඡන්දෙත් හොරට දාලා තිබුණා වගෙයි කියලා අපකීර්තිමත් මතකයක සේයාවක් මගේ ඔළුවේ කැරකෙනවා! මට මඤ්ඤං වෙන්නැති.)

සුනිලුයි සමරෙයි දෙන්නා බිලි පිති තුනක් හැදුවා...හරනෙල් කටුද අල්පෙනෙත්තිද මන්දා නවලා බිලී කටුත් හැදුවා. බත් ඇටත් හොයාගෙන ආවා ඇමට.

අපේ සුනිල් ඕවාට දෙයියා. විස්මකරුමයා වගෙයි. මං නම් ඔය කරුමාන්ත වැඩවලට ඔලමෝලෙක්! තවමත් ගෙදර ස්විච් එකක්වත් හයි කරගන්න දන්නේ නෑ.

ඉතිං, මාළු  බෑවේ කොටුවේ ආච්චිලගේ කොරටුවේ. ඒකට එහායින් කුඹුරු යායක්. තිස්සෙම නිල්පාටට පැහැදිලි වතුර ගලන කානුවක් කොටුව හරහට ගලාගෙන ගියා. ඒකෙන් තමයි කොටුවේ ආච්චී ඕවිටේ පැළවලට වතුර දැම්මේ. ඒ කානුවේ මාළුත් හිටියා. අපේ ඉලක්කය වුණේ උන්.
බිලී පිති වතුරට දාගෙන බලා හිටියත් එක මාළුවෙකුවත් මගේ ඇම කෑවෙ නෑ කියමුකො......
බිලී පිතිවල නූල කෙලවරේ බිලී කටුවලට බත් ඇට අමුණලා කානුවට දාලා අපි බලාගෙන හිටියා. හරි! සුනිල්ට එකෙක්  අහුවෙලා. ඊළඟට සමරේගේ ඇමත් එකෙක් කාලා. ඒ දෙන්නාටම මාළු අහුවුණා. මට බිංදුව! මට දැන් ලැජ්ජයි, මාර තරහයි.

'බෑ- බෑ. මේක හරියන්නේ නෑ. අපි කානුව ඉහලා මාළු අල්ලමු.' ඒ යෝජනාවත් මගෙන්; මාළු සංහතියත් එක්කම තරහෙන් හිටිය මගෙන්; අර ශාක්‍ය වංශිකයන් එක්ක තරහෙන් එයාලාව සමූල ඝාතනය කළ විඩූඪහ කුමාරයාට තිබුණු තරමෙ තරහකින් හිටි මගෙන්!

කෝටි ගණන් සල්ලි එහා-මෙහා නොවීම ඒ යෝජනාවත් සම්මතයි.

අපි කානුවේ කොටසකට දෙපැත්තෙන් මඩ පිඩලි දාලා සීල් කළා. මැදිවෙච්ච මාළුන්ට අබ සරණයි තමා. මං බලාගෙන ඉඳිද්දී සමරෙයි, සුනිලුයි කානුවේ වතුර ඉස්සා. පිළිගන්නවා නම් පිළිගන්න- එදා අපි මාළු බාල්දි බාගයක්ම අල්ලාගත්තා. උන් වැඩි දෙනා තවම පණ පිටින්, නළියනවා- දඟලනවා- උඩත් පනිනවා. මං හබරල කොළ දෙක තුනකින් බාල්දිය වහලා උන්දැලා බිමට වැටෙන එක නැවැත්තුවා. පවුනේ, අසරණයෝ!
අපේ ආච්චිලගේ ගේ පිටිපස්සට කවුරුවත් එන්නේ එහෙමත් වෙලාවක. එතන ලොකු ඇඹරැල්ල ගහකුත් තියෙන නිසා අපට හෙවණත් තිබුණා.

මාළු බාල්දිය බිමට හැළුවාමයි තේරුණේ තාම වැඩිදෙනා පණ පිටින්. "මුන් ලේසියෙන් මැරෙන්නේ නෑ. බෙල්ල කපමු!" අත්දැකීම් සහිත, අපට වඩා ටිකාක් වැඩිමල් සමරෙ කීවා. මං ගෙදරට දිව්වා පිහියක් ගේන්න.
අපේ ආච්චිලගෙ ගෙදරයි, අපේ ගෙදරයි දෙකම තිබුණේ එකම මිදුලේ.... මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබාගත්ත වගේ පිහිය අතට ගත්ත විතරයි, විධානයක් එක්කම ප්‍රශ්නයක්. "රංජි, මෙහෙ වරෙන්. දැන් ගොඩ වෙලාවක ඉඳලා මොකක්ද උඹලා කරන්නේ?"

මං A to Z  සේරම වැමෑරුවා ඩී. එච්. ගුණපාල ඉදිරියේ. "මාළුන්ගේ සෙවල ගතිය යන්න නම් ළිපෙන් අළු ටිකක් දාලා ඉඳපල්ලා, ඉස්සෙල්ලාම." කතාවට කන් දීගෙන හිටිය තාත්තා මුෂ්ටි ප්‍රහාරයක් වෙනුවට ගුරු මුෂ්ටියක් දුන්නා. (පේනවනෙ, සමහර වෙලාවට එයා තරුණයන්ටත් වඩා ඉස්සරහින් හිටි විතණ්ඩවාදියෙක්.)
මාළුන්ට අළුත් ඉහලා, සෙවලත් ඇරලා, පණ පිටින් ඉන්න මාළුන්ව කවන්ධ බවට පත් කරනකොට නම් අපේ ගොට්ටා පස්ස ගැහුවා. "අනේ අයියෙ, මට නම් පණ පිටින් ඉන්න එවුන්ගෙ බෙලි කපන්න බෑ." ඇත්තටම අපේ සුනිල්ගේ හිත හොඳයි, ළාමකයි. පවුලේ අයගෙන් මං තමා දරදඬුම එකා.

"පණ පිටින් ඉන්න හින්දනේ බං උන්ගේ බෙල්ල කපන්න ඕනැත්..." සුනිල්ට උත්තර බැඳලා මං දිගටම මාළුන්ගේ ග්‍රීවයට කෙටුවා.


ඈ බොල වේසිගෙ පුතෝ, මං හිතාගෙන හිටියේ තෝ හොඳ එකෙක් කියලා.......
"ඈ බොල වේසිගෙ පුතෝ, මෙච්චර දවස් මං හිතාගෙන හිටියේ තෝ හොඳ අහිංසක එකෙක් කියලා. තෝත් තොගෙ මහ එකා වගේමයි. අණක්-ගුණක් නැති පාහරයෙක්. වරෙන්කො බලන්න හූච්චියේ කියාගෙන අපේ ගෙදර පස් පාගන්න...."

ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වැඩියි. ශබ්දයේ වේගය ආච්චිගෙ වේගයට වැඩියි. ඉස්සෙල්ලාම ආවේ ආච්චිගෙ සුමිහිරි හඬ! ඊළඟට ආච්චි. ළඟටම එනකල් අපි එයාව දැක්කෙ නෑ. ඒත් ආච්චි එනකොටම සුනිලා එතනින් දිරාමාරු වෙලා හිමිහිටම. සමරෙත් හිටි තැනම ගල් ගැහුණා. මං හෙමිනා වගේ බිම බලාන වැඩේ අත ගෑවා. දත් මිටි කකා ආච්චි ගියේ....

ඊට පස්සේ සුනිලුත් එතනට සේන්දු වුණා. "තව පොඩ්ඩෙන් හරි වැඩේ වෙන්නේ, මං හිතුවා රංජිලගෙ ආච්චී මටත් බණියි කියලා." සමරේ කට ඇරියේ ඔක්කොටම පස්සේ.

මාළුන්ගේ ශීර්ෂච්ඡේදනය කරලා, අළු අතුල්ලලා සෙවල ඇරලා, හොඳට මඩ යන්න හෝදලා අරං අපි උන්ව බැද්දා. බැදලා තාත්තාටත් පංගුවක් ගෙනිහින් දුන්නා. සමරෙත් පංගුවක් අරං ගියා, ගෙදර අයට. 
" අනේ අයියේ මට නම් මුන්ව කන්න බැහැ. උන් පණ පිටින් හිටිය හැටි පේනවා- පේනවා වගෙයි." ඒ සුනිල්.

"උන්ව මරන්න පුළුවන් නම්, බදින්න පුළුවන් නම් අහක දාන්නයැ. එහෙනම් උන්ට කානුවේම ඉන්න අරින්නනෙ තිබුණේ. උඹට බැරි නම් කුද ගහගනින්." සුනිල්ට කියලා මම නම් බැදපු මාළු දෙසා බෑවා.
හැබැයි, එදින් එදාමයි අද වෙනකල් ආයේ බිලී බාන්න ගිහිල්ලාත් නෑ. මාළු වළක් ඉහින්න සම්මාදම් වෙලාත් නෑ. එච්චරම තමා. එක පාපයක් එක වතාවක් කළාම මදැයි. ජීවිතේටම ඒ ඇති!

'සසර පරාදේ, නැත පරමාදේ - පිනෙහි යෙදෙත්වා
ඕ ඕ ඕ - පිනෙහි යෙදෙත්වා!'

8 comments:

  1. /තව එකක්-ජනාධිපතිවරණයකදී එක අපේක්ෂකයෙකුගේ ඡන්දෙත් හොරට දාලා තිබුණා වගෙයි කියලා අපකීර්තිමත් මතකයක සේයාවක් මගේ ඔළුවේ කැරකෙනවා! මට මඤ්ඤං වෙන්නැති./
    මේ වැඩේ උනේ හෙක්ටර් කොබ්බෑකඩුවට. මට මතකයි ඒක මං පොඩි කාලෙ අපේ මහප්පා අපේ තාත්ත එක්ක කිව්වා ලයිව්...

    ReplyDelete
    Replies
    1. ඔයා හරි. හරියටම හරි!
      අපේ පොරෝඩාතන්ත්රේ මතකයි එහෙනම්!

      Delete
  2. කළ දුටු කල වළ ඉහගං කිව්වලු - ඒ කියන්නෙ කළගෙඩියක් දැක්ක ගමං අරං ගිහිං වළක් ඉහින්ඩ කියන එකයි

    ReplyDelete
  3. මේ වල ඉහින වැඩේ සෙට් උනේත් මහරගමද ? අද වෙනකන් මැස්සෙක් මදුරුවෙක් සර්පයෝ වගේ හානියක් හෝ අවැඩක් වෙයි කියල හිතෙන එකෙක් ඇරෙන්න කන්න ප්‍රාණඝතයට සෙට් වෙලා නැහැ ... එහෙමයි කියල ඉතින් සිල්වත් වෙනවැයි නේද ?

    ReplyDelete
    Replies
    1. මහරගම එක්සත් සුබසාධක මාවතේ පල්ලෙහා වෙල ළඟ ඔවිටක. දැන් ඒවා ගොඩක් ගොඩ කරලා ගෙවල් හදලා තියෙන්නේ.
      කන්නම හිතාගෙන නෙවෙයි, අවස්ථානුකූලව මම නම් ප්‍රාණඝාත කරල තියෙනවා. කණ්ඩා, සැවුල් සංහාරය පෝස්ටුව බලන්නකෝ. (ජරමර අස්සේ මං- කැටගරියේ.)

      Delete
  4. මහරගම දැන් අඳුර ගන්නවත් බෑ ... ඉස්සර අපි අලුත් පොලිසිය තියෙන තැනට එනව කිරිකැට් ගහන්න .. ප්‍රාණ ඝාත ඉඳහිට කරන්න වෙනවා අකමැති උනත් .. එව්වා එහෙම තමයි !

    ReplyDelete
    Replies
    1. ඔයා හරි, කණ්ඩාට මතකද ඒ කාලේ මහරගම පොලීසිය තිබ්බ තැන. දැන් ලේඩි ජේ සංකීර්ණය තියෙන හරියට ඉස්සරහින් පාරෙන් එහා පැත්තේ.
      මහරගම බෝ ගහ ළඟින් පටන් ගන්නා පරණ පාර ආයෙම හයිලෙවල් එක හමුවෙන තැනට ටිකක් මෙහායින් ඊළඟට පොලිසිය තිබ්බේ.
      ඊටත් පස්සේ දැන් තියෙන තැනට ආවේ!
      එතනට ක්‍රිකට් ගහන්න ආවා නම් අනිවා හොර කුරුම්බා කඩන්නත් ඇති නාටු පොල් ගස්වල!

      Delete
    2. ඔව් මතකයි ... පරණ පාර කියන්නෙ සුද්දගෙ කාලෙ තිබ්බ කරත්ත පාරක්නෙ .. මේක රේල් පාරට කිට්ටුවෙන් පන්නිපිටිය, කොට්ටාව, මාලපල්ල ඉඳන් හෝමගමත් පහුකරන් යනව :)

      Delete