අකුරු මැකී නෑ

Sunday, April 8, 2018

අජාසත්ත - පළමු කොටස

කොණ්ඩ කැවුම් හදන්න හැමෝටම බෑ. ඒකට හොඳට අතේ හුරුව තියෙන්න ඕනේ. ඒදපු පිටි ටික සීරුවට තාච්චියට වත් කරලා, ඒවා තැම්බෙන්න කලින්, එක අතකින් කොණ්ඩය ගන්න පාවිච්චි කරන කැවුම් කූර ගන්නවා. අනෙක් අතේ තෙල් හැන්ද. ඒකෙන් සීරුවට කැවුමට තෙල් දාන ගමන් කොණ්ඩ කූරත් හෙමිහිට කැවුමට ඔබලා ටිකක් පාරනවා. දැන් වටේ කැවුම් පිටි ටික යාන්තමට බැදිලා කබොල්ලක් හැදිලයි තියෙන්නේ. අර කබොල්ල තුවාල කළාම ඇතුළේ රත් වෙවී- ටිකෙන් ටික ප්‍රසාරණය වෙමින් තියෙන පිටි අර විවරයෙන් පිටතට උතුරණවා. කොණ්ඩ කූර කරකවමින් ඉහළට ඔසවද්දී තමයි කැවුමේ කොණ්ඩය හැදෙන්නේ.


අපේ ආච්චියි, නැන්සි අක්කයි තමා ඒ දවස්වල පමුණුවටම කප් ගහලා හිටපු....
වයිවාරන්න විග්- බොරු කොණ්ඩ, හවරි එහෙම තියෙන නිසා වෙන්නැති දැන් ඉන්න මහගෙලා ගොඩ දෙනෙකුට කොණ්ඩ කැවුම් හැදිල්ල කෙසේ වෙතත්, කොණ්ඩ මොස්තරයක්වත් දාගන්න බෑ. අපේ බතික් වැඩපොළේ සේවය කරපු ෆරානා යුවතිය අපට කියා දුන්නා කොණ්ඩ මෝස්‌තර කීපයක්.

අපේ ලොකු මාමාට අලුතින් ගේන්න ලෑස්ති වුණු මනාලිය පස්සර. අපි එහාට යනකොටත් අන්දන මනුස්සයා ඇවිල්ලා නෑ. ඒකට දැන්.

ඕනෙම පඳුරකට පයින් ගහන්න... (පයින්! ඒකට කොම්බුවකුයි යයන්නකුයි අස්සට දාගෙන, ඒකෙන් හෙම ගහන්න යන්න එපා. සීරිලා තුවාල වෙලා මර තුවාලයක් වෙයි.).... අන්දන ඈයෝ එලෝකෝටියක් එළියට වීසි වෙයි. නළු-නිළියන්ට අන්දන අය, මනාලියන්ට අන්දන අය, ලොකු ලොක්කන්ව අන්දන අය. එතකොට එක-එක්කෙනාව ගොනාට අන්දන අය....ඇයි විහින්ම ඇඳගන්න අය. මගෙ අම්මෝ.... බයේ බෑ, මේං ඉක්මනට හැරුණා.

ඉතින්, අපේ පුංචිලා එකතු වෙලා මනාලියට ඇන්දුවා. ඒත් කොණ්ඩය දාන්න දන්නා කවුරුවත් ඒ වෙලාවේ එහෙ හිටියේ නෑ.

සෝමා පුංචි ඇහුවා "අනේ රංජි පුතේ, බැරිද යාන්තමට හරි කොණ්ඩ මෝස්තරයක් අටවාගන්න?" කියලා.
මං අභියෝගය භාරගත්තා. ඒත් කොණ්ඩ කටු, හවරි, නෙට්, කෝම්බින් පනා මොනවාවත් නෑ. මනාලිය කැන්දන් එන්න බදුල්ලෙන් පස්සරට මංගල ගමන් ගොහිල්ලා හිටි නඩයේ හිටි බවලත්තු හැමෝගේම කොණ්ඩ කටු පට-පට ගාලා ගැලවුණා. විශ්වාස කරන්නකෝ, එහෙම කරලත් අවසාන එකතුවට කොණ්ඩ කටු දුසිමක්වත් තිබුණේ නෑ කියලා. එකම එක හෙයාර් නෙට් එකයි. ඒකත් බාගෙට ඉරුණු එකක්. මේ කියන්නේ අවුරුදු තිහකට- තිස්පහකට විතර එහා අතීත කතාවක්, හොඳේ. නැතිනම් හිතාවි මං මැන්චෝසන් සාමිවරයාටත් වැඩිය එහානේ කියලා. ( ඒ සාමිවරයා ගැනත් ඉස්සරහට කියවෙයි මං දිග කාලයක් නිරුපද්‍රිතව- පණ පිටින් හිටියොත්.)

ඒ දවස්වල Double Bun; බනිස් දෙකේ කොණ්ඩ මෝස්තරය හරි ජනප්‍රියයි. සූකිරි කෙල්ල ෆිල්ම් එකේ සුමනා අමරසිංහ මනමාලියකට ඇඳලා ඉඳිද්දී දාලා හිටියෙත් ඔය බනිස් දෙකේ කොණ්ඩ මෝස්තරය වගෙයි මට මතක. 'සීදේවි ගෙට ආවෙ - ආසිරි පතා'. සුජාතා ගයන සිංදුවට නේද සුමනා රැඟුවේ. මතකය මගෙන් අහනවා. ඇයි මාලිනී, ශ්‍රියානි, ස්වර්ණා කහවිට .... හැමෝටම වගේ පිචර්වලදී ඔය මෝස්තරය දාලා තිබුණා. අනාගත නැන්දාටත් ඒ මෝස්තරය දාන්න ඕනා කියලා එවෙලේ මං හිතාගත්තා. හිතාගත්තා විතරක් නෙවෙයි දැම්මා! බදුල්ලේ ලොකු මාමලාගේ දිහා ගියාම, මඟුල් ෆොටෝ එකේ ඉඳගෙන බනිස් දෙකේ කොණ්ඩ මෝස්තරය දාගත් නැන්දා හිනාවෙන හැටි ඔන්න කාටත් බලාගන්න ඇහැකි ඕන්නම්.


මේ මනමාලි ඉපදිලාවත් නැතිව ඇති මං ඩබල් බන් කොඳ මෝස්තරය දාද්දී...........
මාතෘකාවට පස්සේ වචන සිය ගණනක් කොටලා ඉවරයි. ඒත් තවම වටේ පඳුරු තළනවා. ඕකනේ මං මුලින්ම කිව්වේ මගේ කතන්දර- කතා අන්දර නෙවෙයි, මේවා සැබෑ අන්දර- ඒත් හරියට පංච තන්තරේ වගේ කියලා.
ඒ දවස්වල අපේ පළාතේ නියමෙටම කොණ්ඩ කැවුම් හදන්න සූරියෝ දෙන්නයි හිටියේ. වැඩියම සුප්‍රසිද්ධ නැන්සි අක්කා. අපට නම් නැන්සි ආච්චි. ඒත් හැමෝම වගේ කිව්වා උන්දැ ඒ ආමන්ත්‍රණයට අකැමැති බව. ඉතින් අපි එයාට කිව්වේ නැන්සි ඇන්ටි කියලා. අපේ අම්මාත් ඒ බෝට්ටුවෙමයි. කැවුම් හැදිල්ලෙන් නෙවෙයි. ආච්චි කියනවාට ඇති අකැමැත්තෙන්. අම්මා අපේ මුණුපුරු-මිණිපිරියන්ට කියලා දුන්නා එයාව ආමන්ත්‍රණය කරන්න ඉංගිරිසි වචනයක්. නැනා!

දැන් එයා ආච්චි නෙවෙයි, නැනා. ලස්සන වැඩේ කියන්නේ හැමෝම එහෙම කියද්දී, එයාගේ බාලම ලේලි පොඩ්ඩ පීයා- Pia නැන්දම්මට කියන්නේ ආච්චි කියලා. ඔයාලා හිතුවා හරි. මගේ බාලම මල්ලී- බඩා මල්ලා- දීපාල් රෝහණ දිසානායක කසාද බැඳලා ඉන්න පීයා පිලිපීනයෙන් එන පවුලක. හැබැයි හිටියේ එංගලන්තයේ. පීයාට සිංහල බෑ. පිස්සු, ඔයා, තේ වගේ වචන දෙක තුනයි දන්නේ. ඒත් අපේ නංගිලාට වැඩිය අපූරුවට සාරිය ඇඳගන්න පුළුවන්, ජංජාලයක් කරගන්නේ නැතිව. ඒක අන්තර්ජාලෙන්ලු ඉගෙන ගත්තේ.

කැවුම් හැදීමේ සුරුවිරුකම් පෑ දෙවෙනි දක්ෂ කාන්තාව මෙන්න පිළිකන්නට නොදා පිළිගන්න දසනායක රත්නවතී! ඔව්, ඔව්. අපේ ආච්චී තමා.

ඔය දෙන්නාටම හාල් සේරු දෙක- තුනක පිටිවලින් කැවුම් පුච්චන්න තරම් ඉස්පාසුවක් තිබ්බෙ නෑ. ඒ ගොල්ලො කළේ පදමට කැවුම් පිටි ටික ඒදලා දීලා එන එක. කැවුමක කොණ්ඩය ගැනිල්ලට වැඩිය අමාරුයි පදමට පිටි ටික ඒදාගැනිල්ල.

නැන්සි ඇන්ටිගේ ලොකු දුව ලීලා. අපට ලීලක්කා. එයාලගේ ගෙදර තිබුණා 'ස්වර්ණ ළමා සමාජය' කියලා සමිතියක්. ඒකෙදී තමයි කට්ටියක් ඉස්සරහා සබකෝලෙන් තොරව හිටගන්න අපි පුරුදු වුණේ. ලීලක්කාත් පරලෝකප්‍රාප්ත වෙලා දැන් ගොඩක් කල්. ලීලක්කේ, ඔයා ඉන්න තැනක ඉඳන් අනුමෝදන් වෙන්න. මෙන්න අද මං ඔයාටත් පින් දෙනවා.

සමිතිය හින්දා කවුරුත් පාහේ මගේ මුඛරිකමයි, ඉස්සරහට එන ගතියයි දෙකම ගැන දැනගත්තා.
කැවුම් තැනූ දෙවැන්නි, අපේ ආච්චී හොඳට බණ පොත් කියවපු කෙනෙක්. ඇයි කවි කතන්දර පොත්? ඒවාත්. ඔය කතා ඔක්කොම ආච්චිට කට පාඩම්. ඒ වගේම එයා ගොඩක් චිත්‍රපටත් බලලා තිබුණා. (රහසක් කියන්නද?)


රන්මුතු දූව බලපු අපේ ආච්චී 'බන්දු'ට වහ වැටුණා. ටිකක් love වගෙත් එක්ක.............
1962 අගෝස්තු 10 වෙනිදා තමයි ලංකාවේ පළමු වෛවර්ණ සිනමා සලරුව 'රන්මුතු දූව' තිරගත වුණේ. ඒක බලපු අපේ ආච්චී ඒකෙ කොල්ලාගේ පාර්ට් එක කරපු- බන්දුට රඟපාපු ගාමිණී ෆොන්සේකාට වහ වැටුණා; පිස්සු වැටුණා කිව්වත් වැරැද්දක් නෑ. කොච්චරවත් බන්දුගේ වරුණාව කිය-කියා හිටියා. උන්දෑ අපට නොකිව්වට, මට නම් තේරුණේ එයා යටිහිතෙන් ගාමිණීට ප්‍රේම කළා කියලයි. කොච්චර දේවල් මගෙත් එක්ක කිව්වත් ආච්චි මගෙත් එක්ක ඕක නොකීවේ මං එතකොට පුංචි නිසා වෙන්නැති.

ඉතින් කවි පොත්වලින් ආච්චිට මුණගැහුණු අසුරපාල කුමාරයා, මාතලන් කුමාරයා, චිත්‍රවල්ලි, චින්තාමණි චිත්‍රපටයෙන් රසිකයන් උමතු කළ .....(ම්හු. මට ඒ නිළියගේ නම අමතක වෙලානේ. කෞමනී දේවි වගේ නමක චායාවකුත්...එක්කෝ අතෑරලා දාමු  )... නිළිය, ත්‍යාගරාජා බගවතාර් නළුවා, ජාතක කතාවල- ඉතිහාස කතාවල රජවරු- කුමාරිකාවෝ ඔක්කොම මාව අඳුනගෙනයි උන්නේ. එයාලාත් මගෙ එක්ක කෑවා, බිව්වා- සෙල්ලම් කළා හිටං.

(මට හොඳ මතකයක් එන්න කියලා ආච්චි හැමදාම මුකුණුවැන්න, ගොටුකොළ, ගැට තුඹ, මොනර කුඩුම්බිය, කඩු පහර, සාරණ, ගෙඳ  වගේ බොහොමයක් ජාති උයලා හරි, කැඳ හදලා හරි දෙනවාලු මං පුංචිම අවධියෙදිත්. ඒවායෙයි, උන්දැගෙන් ආ ජානවලයි මහිමේ තමා මගේ මේ මතකේ.)

ආච්චියෙ, මගේ මොළය වඩවන්න උඹ කළ වීරියෙන් මං තවමත් වැජඹෙන හැටි පේනවාද? ඉන්න තැනක ඉඳන් මේවා දැකගන්නවනේ. මාව මොළකාරයෙක් කළ මේ පුණ්‍ය මහිමයෙන්ම උඹ නිතර පැතූ ලෙසටම මතු බුදු වන මෛත්‍රී බුදුන් වහන්සේ නෙත් පුරා දැකගෙන, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම සද්ධර්මය අසා- දැක නිවන් පුර රුවන් දොර ඇරගන්නට උඹට නිසැක  වාසනාව උදා වෙනවා ඇති. ඒකාන්තයි, සත්තයි!

ඔන්න නවසිය හැටපහේ හරි හැටහයේ හරි තමා ඉස්-ඉස්සෙල්ලාම මහරගම නගරයේ  තොරණක් ඉදි වුණේ. ඒකෙන් අනුප්‍රාණය ලබලා; උත්තේජනය වෙලා මමත් පුංචි වෙසක් තොරණක් ඇටෙව්වා. යටම තට්ටුවට කොටු තුනයි, ඊළඟ එකට කොටු  දෙකයි, උඩින්ම එක කොටුවයි. ඊටත් උඩින් බුදු හාමුදුරුවෝ හිනා වෙවී අපි දිහා බලා උන්නා. තොරණ එළිය වුණේ ඉටිපන්දම් දෙකකින්. (අපේ පැතිවලට විදුලිය ආවේ ඊට කාලෙකට පස්සෙයි.)

වටපිටේ කට්ටියම තොරණ බලන්න ආවා. ඉස්සෙල්ලාම වගේ ආවේ අනුලා ඇන්ටි. රත්තරන් හිතක් තිබුණු, මෝඩ ගහක්!  මෝඩයි කිව්වේ කිසිම බයක් නැතිව පුළුවන් හැම තැනින්ම සල්ලි පොලියට ගත්ත නිසා. ණයකාරයෝ හැම තිස්සෙම ඒ මනුස්ස දුහිතෘව පස්සේ වැටිලා හිටියා. කොටින්ම අපේ අම්මත්. ඒ කාලේ හොඳටම අහී-දුප්පත්කමින් පල්ලටම වැටිලා හිටි අපෙනුත් සල්ලි පොලියට අරන් හිටියා කිව්වම....තව මොනවා කියන්නද අනුලා ඇන්ටි ගැන.

එදා තොරණ බල-බලා ඉන්න ගමන් අනුලා ඇන්ටි මට ආරාධනාවක් කළා. " රංජි, තොරණේ කතාව අපට කියලා දෙන්නකෝ, ඔයාට පුළුවන්නේ."


මාත් ඉතින් වැඩ්ඩා වගේ හැඩ දාලා තොරණේ කතාව ...........
මාත් ඉතිං වැඩ්ඩා වගේ වැඩ දාලා බෝධිසත්ව මාතාංග සැඩොලගෙයි දිට්ඨමංගලිකාවගෙයි කතාව කිව්වා. දෙබස් එහෙම මනෝමයෙන් ගොත-ගොතා.

අම්මට සිරි!

කතාව කියලා ඉවර වුණා විතරයි අනුලා ඇන්ටි හිටිවන කවියක් කියලා, සුබ පතලා, බුලත් කොළයක ඔතාගෙන ආව සල්ලි වගයක් මගේ අතට දුන්නා. දීලා මෙහෙමත් කිව්වා. " රංජි, පොසොන් එකට මීටත් වැඩිය ලොකු තොරණක් ගහන්න, කිට්ටුව අයගෙන් සල්ලිත් එකතු කරලා. මාත් උදවු කරන්නං."

ඒ තමා අනුලා ඇන්ටි. ප්‍රවීන ගුවන් විදුලි නිවේදක- කිවිඳු ලලිත් එස්. මෛත්‍රීපාල එයාගේ ස්කූල් මේට් කෙනෙක්. එදා අපේ තාත්තාත් හරියට සන්තෝස වුණා ලොකු පුතණ්ඩියාගේ හපන්කම් දැකලා. ඒ සතුට පිටින්ම මගෙන් එක්සයිස් පොතකුත් ඉල්ලාගෙන, රෑ පුරා බීඩි බිබී මොනවාදෝ ලිය-ලියා  තාත්තා නිදි මැරුවා.
ඉස්සර නම් තාත්තා රස්සාව කරන කාලේ බිව්වේ නැවිකට්. ඊළඟට three roses. පස්සේ අපි අයසට යද්දී ඊට වඩා මිලෙන් අඩු ෆෝර් ඒසස්වලට මාරු වුණා. ඊළඟට බීඩිවලට.

පහුවදා පාන්දර මං නැඟිට්ටා විතරයි තාත්තා මගේ අතට අර එක්සයිස් පොත දුන්නා. "කියවලා බලහං."

6 comments:

  1. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත - වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත
    නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත - ගොඩින් නැව දියෙන් රතය ද නොයනු ඇත

    කියල ලෝකෝපකාරය කියල දෙන දවසෙ නිමල් අයියෙ ඔයා ඉස්කෝලෙ නොගිහින් කට්ටි පැන්න නේද ? ඒක තමයි බතික්, ප්‍රින්ටින් තවත් අටෝරාසියක් වැඩ එක්ක මනාළියන්ට කොණ්ඩ මෝස්තර දාන්නත් සෙට් වෙලා තියෙන්නෙ :-D

    Jack of all trades !

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, ඔයාලාට වැඩිය වෙනස්වයි මට ඒක පෙනෙන්නේ.

      මං හිතන්නේ මට තියෙන හපන්කම ජීවිතේට අභියෝගාත්මකව මුහුණ දීම කියලයි. ඒ ඒ අවස්තාවලදී එන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එකෙන් කුසලතාත් වර්ධනය වෙනවා.

      පිටරටවල අධ්යාපනයෙනුත් කරන්නේ කුසලතා වර්ධනයම නේද?

      Delete
  2. අජිත්ට වෙලාව තියෙනවද පරණ post හිට කියවන්න. ස්තුතියි.

    ReplyDelete
  3. ශා ඔන්න මම කියවන්න ගත්තා. පටන් ගැන්මම රසවත්. කොන්ඩ කැවුම් ගැන කියද්දී නම් හිනාත් ගියා. මමත් දැන් අවුරුදු 3 කට විතර කලින් පොඩි ට්‍රයල් එකක් කළා. youtube බල බලා. හම්මේ රස නම් ඉතාම ඉහලයි. ඒත් කොන්ඩෙ ගැන නම් කියලා වැඩක් . එක එක කැවුමට එක එක කොන්ඩ මෝස්‌තර. අපේ මහත්තයා නම් මගේ අක්කලාට හිටන් කියා කියා හිනාවුනා පොලොසියෙන් ගුටි කාල වගේ මගේ කැවුම් ටික කියලා. කැවුම් ටිකට පින් සිද්ද වෙන්න ඇති තරම් හිනා වුනා ඒ දවස් වල. ඔයාගේ කතා කියන්න ගිහිල්ල මගේ අතීතෙත් ඔන්න ටික ටික මතක් වෙන්න අරගෙන.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය තරමින් බේරිලා.... ලියෝනි, මට ගිය සතියේ ඔහොම දෙයක් කරන්න ගිහිං වෙච්චි අකරතැබ්බයක් ළඟදීම ලියන්න හිතුණා, ඔයාගේ හිනා කන කමෙන්ටුව කියවලා.
      ස්තුතියි!

      Delete