අකුරු මැකී නෑ

Sunday, April 8, 2018

වස් කවි කීම - දෙවෙනි කොටස

එහෙ නැවතිලා හිටිය සුමාන දෙකට මං දැන-ඉගෙනගත් දේවල් මදි නෑනේ. ඒත් දිගටම හිටි අයගේ ඇස්වල කොරපොතුද මන්දා?

පස්සේ කාලෙක තමා මට තේරුණේ, එහෙම වරප්‍රසාදවත් නැති නම් ඔය ලොක්කෝ-බක්කෝ මොකෙක්වත් මොකකවත් රෙද්දෙ සුවෙච්චාවෙන් වැඩ කරන්න නහින්නේ නැති බව. තමන් හිසට තම අතමය හෙවණැල්ල කියලා කිව්වේ ඕකට වෙන්නැති.

"මම එස් එක්ක කතා කරලා නිමල්ට මාසේ පඩියක් ගෙවන්න හරිගස්සනවා. ඊළඟ පාර ගෙදර ගිහින් එනකොට නිමල්ගේ හාල්පොත ගෙනැත් අපට බාරදෙන්න ඕනේ."
අපට නිමල්ගේ හාල් පොත ගෙනත් දෙන්න ඕනේ...........
මං ආපහු එනකල් එස් අයියා ඉවසිල්ලක් නැතිව නලිය-නලියා හිටියා. "මොකද වුණේ? මොනවද කිව්වේ?"

මං වෙච්ච සේරම කිව්වා.
"දැන් ඔයා මොකද කරන්නේ?"
'මං ගෙදර ගිහිල්ලා, වෙන රස්සාවක් හොයා ගන්නවා.'

එස් අයියා අත් දෙකින්ම ඔළුව බදාගත්තා. " අයියෝ නිමල්- අයියෝ නිමල් ....." කන්දොස්කිරියාව! 
එයාට ඕනේ මඟුලක් කියාගන්න ඉඩ ඇරලා මම නාගන්න ගියා. මං නාගෙන එනකලුත් එයා කල්පනාවේ හිටියේ. 
"කවද්ද නිමල් ගෙදර යන්නේ?"
'හෙටම ගියාට කමක් නැහැනේ?'
"නැහැ. නැහැ. හෙට පඩි අරගෙන අපි අනිද්දා යමු."
'අපි?'
"හ්ම්! මායි, රංජිතුයි දෙන්නත් එනවා නිමල්ලගේ තාත්තව හම්බ වෙන්නත් එක්ක."



රංජිත්! මට මතක හැටියට එයා වැඩ කළේ 
මුද්‍රණ අංශයේ. එයත් එස් අයියලාගේ ගමේමයි. කෑගල්ලේ.


රංජිත් තමයි එහෙ මාත් එක්ක 
එක කාමරයේ හිටියේ. 


රංජිතුයි, එස් අයියයි, ෂෙල්ටන් අයියයි තුන් දෙනා තමයි මුල ඉඳලාම මට හිතවත්ව ගුරු-හරුකම් දුන්නේ ඒ වංකගිරියේ වග-වලස්සුන්ගෙන් බේරිලා ඉන්න ඕනේ විදිය ගැන.

අපි තුන්දෙනා දවල්ට කෑවට පස්සෙයි එහෙන් පිටත් වුණේ. මොරටුවේදී එස් අයියා ගෙනාවා මං හීනෙන්වත් නොහිතූ යෝජනාවක්.
"මේ ගමන්ම අපි මේ දෑස් කුමටද බලලා යමු."

මාත් විරුද්ධ වුණේ නෑ. ඒ කාලේ ඉඳලාම මම පික්චර් පිස්සෙක්. 
ඒ ගැන අටුවාවක් මේ.
"රංජිව අත දරුවා කාලෙවත් බයිස්කෝප් එකක් බලන්න එක්ක යන්න අපි බය වුණේ නෑ. මූ කවදාවත් හෝල් එක ඇතුළෙදි අඬන්නෙ නෑ. ෂෝක් එකට හිනාවෙවී පිචර් එක බලනවා." 
ඒ චරිත සහතිකය නිකුත් කළේ රහුබැද්දේ විදානෙලාගේ යසවතී නොහොත් ආර්. වී. ලීලාවතී නොහොත් වර්තමානයේ ලීලා ශ්‍රෝඩර් නොහොත් මගේ ආදරණීය මෑණියන්දෑයි.

අපි හෝල් එකට ගියා කියමුකො. ෆිල්ම් එකත් පටන් ගත්ත කියමුකො. මොන පිචර් බැලිල්ලක්ද?

නිල් අහසේ -හිරු නැඟිලා, ලස්සණ ලස්සණ මල් පිපිලා සින්දුව යනවා. ඒත් ඒක රස විඳින්න කෝ නිවනක්. 
සෝභාව හංගා, ඝන අන්ධකාරයෙන් මිදී- සේරටම එකම සන්තෑසියමයි. 
විජය, මාලිනී, රෝයි, සුමනාගේ පෙම් ජවනිකා යද්දීවත්, දොන් සිරිසේනගේ විහිළු  (අද සුප්‍රසිද්ධ සිරිසේනලගේ විහිළුත් එක්ක බලද්දී දොන්  සිරිසේනලාගෙ විහිළුවලට no place.) ඉතින් මොනම මංගල්ලයක්වත් නිදහසේ බලාගන්න එදා මට කිසිම ඉඩක් හම්බුණේ නෑ. 

එස් අයියා චිත්‍රපටිය බැලිල්ල පැත්තකට දාලා- මගේ සීට් එක පැත්තට ඇලවෙලා ඉඳගෙන- දිගටෝම කනුකුනු ගෑවා.


මං නෙවෙයි හ්ම් කියලවත් කිව්වේ........... film එක බලනවා මිස.......
අපරාදේ නිමල්...මෙහෙ ගෙවන තරම්....අනිත් අයට වැඩිය ඔයාගේ ටැලන්ට්....හොඳට හිටියොත් රට යන්න වුණත්....අපි හැමෝම කැමතිනේ ඔයා දිගටම....

ඒත්, මම නෙවෙයි හ්ම් කියලවත් කිව්වේ, ඇත්තම කිව්වොත් අද වුණත් ෆිල්ම් එකක් බලද්දී මං ඒක කරන්නේ ඒකට සමවැදිලා. 
ඔය අද නිවේදක-නිවේදිකාවෝ තෙපලන විදියට නම් ඒකාත්මික වෙලා. ඒක තමයි එහෙම නොවී බලපු පළමු චිත්‍රපටය.

මේ දෑස් කුමටද? ඒ විදියට බලද්දී අමතක නොවන මතකයක්.

තව වැඩක් මතක් වුණා. දකුණේ- මාතර පැත්තේ ඔය ෆිල්ම් එකේ පෝස්ටර් ගහලා තිබුණට මිනිස්සු හෝල්වලට ආවේ නැහැල්ලු. 
ඊට පස්සේ, දැන් පෙන්වනවා- මේ දෑස මක්කටෙයි කියලා 
පෝස්ටර් ගැහුවලු. පිචර් එක බලන්න එහෙ අය හෝල්වලට පිරුණේ 
ඊට පස්සෙලු. 
ඒ අහ ඉඳලා දැන් ආයෙම මේ අහට එමුකො නේද?

ෆිල්ම් එක බලලා අපේ ගෙදර ආව වෙලාවේ ඉඳලත් එස් අයියා කළේ තාත්තා ළඟට වෙලා මදිය නොකියන්න තෙල බෙදිල්ල. 
ඕක; ඔය යෙදුම විස්ස විජ්ජාලවලින් උපුටලා අරන් මේ වගේ 
බයිස්කෝප් කතාවකට ගත්තාම අරක- මේක- අන්තරේ එහෙම 
කුලප්පු වෙයිද මන්දා. ඊටත් මං ඕ ලෙවල් විතරක් සමත් නූගතා.

තෙල බෙදිල්ල කොච්චර අපූරුවට කෙරුණාද කියනවා නම් සාම නියෝජිතයෝ අපේ ගෙදරින් ගියේ- රංජි, උඹ මේ එස් මහත්තයා කියනවා වගේ ටිකක් ඉවසිල්ලෙ ඉඳපන්. සුමාන දෙකෙන් සේරම හරියන්නෙ නැහැනේ- කියන වදන් ටික අපේ තාත්තා 
මට තෙපලුවාට පස්සේ.

"එස් මහත්තයා, බොහෝම ස්තුතියි අපේ හාදයාට මේ තරම් කරුණාවන්ත වෙනවාට. මෙයාට මූලග්ගින්න හැදිලා වගෙයි මෙයා සමහර වෙලාවට වැඩ කරන්නේ. එහෙනං මෙයා අද ගෙදර ආව එකේ හෙටත් ඉඳලා, අනිද්දාම වැඩට එයි." කියන අවසන් තීන්දුවත් ප්‍රකාශයට පත් කළා.

ඔන්න මං දෙවෙනි වතාවටත් එහෙ ගියා. හැබැයි හාල් පොත ගෙනිච්චේ නැහැ.

පස්සේ කාලෙක තමයි එස් අයියා මේ තරම් කාරුණික වුණේ; පරිත්‍යාගශීලී වුණේ; ඉවසනසුලු වුණේ ඇයි කියලා මට හරියටම ඒත්තු ගියේ.

ඒ දැනුම මට ලබාගන්න ගොඩක් උදව් කළෙත් මගේ 
කාමර සගයා රංජිත්.

කොටින්ම එස් අයියා මං වගේ බර අදින රංගොජෙක්ව හොයා-හොයා ඉඳලා තියෙන බව මට වැටහුණේ පස්සේ. හැබැයි එයාට සාධාරණය පිණිස මෙතැනදී මේකත් නොකියාම බැහැ. එස් අයියා රත්තරන් මනුස්සයෙක්.

එස් අයියා සංගමේට බැඳිලා ගොඩක් කල්. ඒ වුණාට එයාගේ සමහර වැඩ සර්ට අල්ලන්නේ නැහැ. විශේෂයෙන් මියුසිකල් ෂෝ බලන්න යෑම වගේ ඒවා. ඊටත් එහෙම ඒවා තියෙනකොට තියන්නෙමත් මහ රාත්තිරියෙනේ. ඉතින් එස් අයියා වහලා තියෙන ගේට්ටුවට උඩින් පැනලාලු ගිහින් සංගීත සංදර්ශනය බලලා එන්නේ. කිහිප සැරයක්ම අතේ කෝට් වෙලා, රතු නිවේදනත් නිකුත් වෙලා. ඒත් මේ යක්ෂ පැටියා නෝ කීකරු. අනික තමයි -හොඳට හිටියොත් රට යවනවා කියන පොරොන්දුව.


එස් අයියා 'අපි යන්ඩ යමූ -දෙව් ලෝකේ දිහා විගසින්' සිංදුව අහන්න නැතිවැති....
'අපි යන්ඩ යමූ- දෙව් ලෝකේ දිහා විගසින්
බොල බූරු පුතේ, දුක-ශෝකා ඉතින් ඉවසන්.' 
'දෙව් ලොව යනකං' නාට්‍යයේ මාලිනී බුලත්සිංහලයි, ටයිටස් පෙරේරායි දෙන්නා ගයන සින්දුවවත් එස් අයියා අහලා නොහිටියා වෙන්නැති, ඒ කාලයේ.

මිනිහත් ඉතින් අර එළුවාගේ පොට්ටනිය දැන් කඩා වැටෙයි- දැන් කඩා වැටෙයි කියලා හිත-හිතා පස්සෙන් ගිය නරියා වගේලු වැඩ කළේ.

මුල් දවස් කීපයේදීම මට අහම්බෙන් වගේ බතික් අංශයේ තැනක් දෙනකොටවත්, එස් අයියා නැති වෙලාවට අනිත් අයගේ ප්‍රශ්න-ඕනෑඑපාකම් මට කියන්න කියලා එයා අනිත් අයට කියනකොටවත් මට මොකවත් තේරුණේ නෑ. මාත් ඉතින් Half Idiot නේ. 

ඔන්න මං දෙවෙනි වතාවටත් එහෙ ගියා. හැබැයි හාල් පොත ගෙනිච්චේ නැහැ. 

ඊළඟ මාසයේ ඉඳලාම මිස්ටර් ....ගේ පඩියත් වැඩි කරලා තිබුණා. 
එස් අයියා කිව්වා හරි. අනිත් අයට ගෙවන ගණනෙන් බාගයක් ගෙවන විදියට දාලත් මට හොඳ ගණනක් ලැබුණා. මමත් තව-තව දේවල් ඉගෙන ගත්තා; අත්දැකීම් එකතු කරගත්තා; පරිණත වුණා.

කොච්චරද කියනවා නම් මගේ බතික් බිත්ති සැරසිල්ලකට සිංහයො රංචුවක් සංවිධානය කරපු තරගෙකින් දෙවෙනි තැනත් ලැබුණා. ඒ වෝල් හැඟින් එක එයාලට. ඒක මූලික කොන්දේසියක්!

තෑග්ග රුපියල් පන්සීයයි. ඒ බිත්ති සැරසිල්ලක් අපි වික්කෙත් පන්සීයට. ලොකුම අමාරුව වුණේ ත්‍යාග ප්‍රදානෝත්සවයට යන එක. ඒක තිබුණේ ඒ කාලේ ලංකාවේ උසම ගොඩනැගිල්ලේ; සෙලින්කෝ එකේ. මං කොහොමද කොට කලිසන් කෑල්ලක් ඇඳගෙන එතනට යන්නේ? සිංහයො මැද්දට....

පිළිතුර හොයාගත්තේ අපේ මහෞෂධ පඬිතුමා; තාත්තා. එයා කීව විදියටම අම්මා මට ජාතික ඇඳුමක් මහලා දුන්නා. ඒක තමා
මගේ පළමු සහ එකම නැෂනල් කිට් එක. ඒකෙන් තව ප්‍රශ්නයක් විසඳුණා. සපත්තු ප්‍රශ්නේ. ජාතික ඇඳුම අඳිනකොට සුපුරුදු හා තියෙන රබර් සෙරෙප්පුම දාගෙන යතහැකි. ඒත් තව එකකුත් මඟ එන බව 
එස් අයියා පුරෝකථනය කළා.

රෑ කෑමකුත් මැද්දෙනේ තෑගි දෙන්නේ. සිංහයෝ ඔක්කොමල්ලම කන්නේ හැඳි-ගෑරුප්පුවලින්. ඕව කරන්න ගිහිං කටත් තුවාල කරගෙනයි නවතින්න වෙන්නේ. මම පස්ස ගැහුවා. 'ඊටත් කාටද ඕවාගෙන් කාලා පුරුදු?' 


කාටද අප්පේ කෑම මේසෙක හැඳි- ගෑරුප්පු එක්ක කාලා පුරුදු? 
"නිමල් බයවෙන්න එපා. මායි අම්මයි දෙන්නට මැද්දෙන් වාඩි වෙලා, හොරාට අනිත් අය දිහා බලලා එයාලා කන-බොන විදියම කළාම හරි." ඒ හඬ ඇසුණේ එස් අයියාගෙන්.

අම්මෝ, එදා තමයි එදා!

ඉස්සෙල්ලාම දුවන පඩි පෙළක ගියේ, නැෂනල් ඇන්දේ, හැඳි-ගෑරුප්පුවලින් කාලා සුදහ ගින්දරේ හිටියේ එදානේ! ඒත් අප්පා 
දිළිහි-දිළිහි, බැබලි-බැබලි හිටිය සිංහයෝයි-සිංහ ධෙනුවෝයි රංචුවක්ම දැකගන්න ලැබුණු වාසනාවත් සුලු-පටු එකක්යැ?

අනේ මන්දා. දැන් නම් මටම පෙනෙන්නේ මේක පංච තන්ත්‍රයටත්, 
අරාබි නිසොල්ලාසයටත් එහා වගේ. කෂ්ටිය මේක කියවිල්ලට වැඩිය පිදුරු ගොඩේ වැටුණු ඉඳිකටුවක් හෙවිල්ල ලේසියි කියාවිද? 
මටම එහෙම හිතෙනවා. කියවිල්ලට full stop එක තියයිද? 
ඒත් ඉතින් බැඳගත් බෙරේ ගහන්නත් එපැයි. 
මෙන්න ආයෙම 'වස් කවි' කතාවට.

ඔහොම ටික කාලයක් ගියා. මට අල්ලන්නේ නැති දේවලුත් ගොඩක් තිබුණා. එකක් සීලවතී නංගි ගැන. එයාව එක්ක ඇවිත් තිබුණේ මලයාපරත්තිකුලම කියන දිහා ඉඳලා. එහේ කොහොමද- දැන් තියෙනවද- කළුද- සුදුද- මොකුත් අදටත් මං දන්නේ නැහැ.

අර ළමයා එක්කගෙන එන කාලේ එහෙ නැවතිලම හිටියේ ගෑනු පරාණ දෙකයි; සර්ලගෙ අය ඇරුණම.

නන්දක්කා- එයත් බතික් අංශේ. සුමනක්කා- හතර රියන්.. ටිකක් කළු.. ඇමේසන් යෝධියක් වගේ මට පෙනුණු කුකරි ලොක්කිය. ඒ දෙන්නා නැවතිලා හිටියේ එක කාමරයක. සර්ගේ නෝනගේ- .... අක්කගේ නංගියි, දුවලා-පුතාලයි, සර්ලයි නැවතිලා හිටියෙත් අර කාමරය තිබුණු ගෙදරමයි. ඔන්න දැන්මම කියනවා අපි වගේ අවශේෂ නර පණුවෝ ඒ නිවහනට ගියේ නැහැ. මම ඒකෙන් අදහස් කළේ එහෙම ගියාද කියලා මං දන්නේ නැහැ කියන එකයි.
දකුණු කෙලවරේ මැදින් ඉන්නේ සීලවතී නංගිය. නිදි ඉන්නේ  දකුණු කෙලවරේ පහතිනි.
සීලවතී නංගිව දැම්මෙත් බතික් අංශෙට. එයාව බාර වුණේ නන්දක්කට. 
පව්! අහිංසක සීලවතී නංගි එක දවසෙන්ම නන්දක්කා ගැන ඉගෙනගෙන වගේ හිටියෙ බය-බිරාන්තෙන්, තූෂ්ණිම්භූත වෙලා.

මට හොඳටම මතකයි, පහුවදා උදේ දහයට විතර එක පාරටම .... අක්කගේ ගෝරනාඩුවක් ඇහුණා. "සීලවතී. කවුද ඊයේ රෑ බාත් රූම් එකේ කොනක කැත කළේ?"

එතකොටත් අර අහිංසකීගේ කඳුළු බේරෙනවා. " මෙහෙ එනවා. ඉක්මනට ගිහින් සේරම ජරාව අරං දාලා නාන කාමරේ හෝදනවා."

මලයාපරත්තිකුලමෙන් ආව කෙල්ලට මහා රාත්තිරියේ තදබල අවශ්‍යතාවක් ඇතිවෙන්න ඇති. ගෙදරින් එළියේ තිබුණු වැසිකිළි පේළියට මහා රෑ මැද්දෙ තනියම යන්නයැ. ගේ ඇතුළේ නාන කාමරයේ කොනකට ගිහින් බරෙන් නිදහස් වෙන්නැති.

ඒක වැරැදියි තමා; පිළිකුල් සහගතයි තමා. ඒකෙ දෙකක් නැහැ. ඒත් විස්සක් තිහක් මැද්දෙ ඒකට මහ සද්දෙන් ගෝරනාඩු කළ එක?
මේං තවත් එකක්!

ලොක්කන්ගෙ පස්ස ලොවින, ලොක්කන්ට මුට්ටිය අල්ලන අය කොහෙත් ඉන්නවානේ.

කවුද එහෙම මෝලෙක් බලධාරීන්ට කියලා වෙන්නැති, එහෙ වැඩ කළ ගෑනු ළමයින්ට නිල ඇඳුමක් දුන්නා. රෙද්දකුයි හැට්ටෙකුයි. දෙකම මහල තිබුණේ හරිම ගොරෝසු අත්යන්ත්‍ර රෙද්දකින් වගෙයි මං දැක්කේ. ඒවායින් අත් පවා හොඳටම වැහිලා තිබුණා. විලිබිය දෙකම ආරස්සා කරන පරම පවිත්‍ර චේතනාවකින් නෙවෙයි නම් එච්චර රස්නේ පළාතක ඉන්න අයට ඔහොම අන්දවන්න යන්නේ පිස්සෙක් විතරයි.


සර්ගෙ නෑනණ්ඩියි දෝණියන්දැයි දෙන්නාම කොටට කොටේ ඇඳන් ඉන්න එව්වා...............
ඒකට බිලිවුණු අර ගෑනු පරාණකාරියෝ එකෙක්වත් ඒ ගොන් අයිඩියා එකට විරුද්ධව කටක් ඇරියෙ නෑ. රස්සාව බේරාගන්න ඕනවට වෙන්නැති. අපූරුම දේ තමා සර්ගේ නෑනණ්ඩියි දෝණියන්දැයි දෙන්නම කොටට කොටේ සාය බාගවලින් සැරසිලා, අඩනිරුවස්තරෙන් වගේ හිටිය එක කාගෙවත් ඇහේ ඇනුණු කටුවක් නොවිච්ච එක.

මමම පිළිගන්නවා; බොහෝම නිහතමානිව. මං ඉන්නේ එව්වා ගැන හොඳටම තරහෙන්. මොනවා කරන්නද? මගෙ හැටිනේ.  මං ඒ වගේ දේවල් ඉවසාගෙන හිටිල්ලේ සීමාව හරි කොටයි.

ඒ වාගෙම මං එකඟ වෙනවා, මට නම් ඔහොම දේවල්; මට බලපාන ඒවා පෞද්ගලිකව සිද්ධ වුණේ නැහැ කියන එකටත්. එහෙම වෙන්න ඇත්තේ මට බයකට නම් වෙන්න බෑ.
  
මොකෝ මං අයියෙක්යැ. අඩු ගණනේ මම කා එක්කවත් ගහගන්න පුළුවන් විදියේ ඇඟ-පත කලඳක් තියෙන එකෙක්වත් නෙවෙයි. හැබැයි කට නම්....? ඒ වගේමයි, හීන් නූල්කාරයා කියන එකත් ටිකක් ලජ්ජාවෙන් වුණත් පිළිගන්නවා. ඒත් මං දිවුරලා කියන්න ඕනේ මෙතැනදී, මං කාටවත් අහිතක්- අයසක්- විපත්තියක් කරන්න නම් නූල් ඇදලා නෑ.

'ඔව්, ඔව්. කව්ද ප්‍රසිද්ධියේ තමන්ට පාඩුවෙන ඒවා කියන්නේ වාසිවෙන ඒවා මිස.' සමහරවිට ඔබ කියාවි.

කෙනෙකුට කාව රැවට්ටුවත් තමන්ගේ හෘද සාක්ෂ්‍යය රවටන්න බැහැ කියන එකයි මං ඕකට දෙන උත්තරේ. අනික හෙටානිද්ද මැරෙන්න  ඉන්න මං?

ඉස්සෙල්ලා හරිය කොටමින් ඉන්න අතර සිද්ධ වුණු දේකින් අතිසංවේදී වෙලා හිටියා වගෙයි මේ ටික සටහන් වුණේ. ඇත්තටම වුණෙත් ඒකමයි. ඒක මෙතන මෙහෙමම තියෙන්න ඉඩ අරිනවද? තිබ්බම මොකද?
ජීවිතය කියන්නෙත් එක විදියක අනපේක්ෂිත සිදුවීම් මාලාවක්. 
ඒත් පුතෝ, ඔය සෑඩ් මූඩ් එකට නම් වැඩි දෙනා මනාපෙ දෙන එකක් නෑ. මගෙ හිත කියනවා, නරකද දැනට විරාමයක් ගත්තොත් කියලා. ඔව්නේ... තවමත් මගෙ මූඩ් එක හරි නෑ..... ඉතිරිය හෙට කොටන්නම්.

එහෙනම් වස් කවිවලට දැනට ආයුබෝවන්!

2 comments:

  1. අරාබි නිසොල්ලාසේ වගේ ඇදෙන කතා මැද කතා, අතුරු කතා, වටේ යන කතා, පැරණි කතා, අලුත් කතා, දේසපාලු කතා, ආගමික කතා එකී මෙකී නොකී හැම කතාවක්ම තියෙන නිදි ගේ පංච තන්තරේ නොකියවපු "මේ දෑස් මක්කටද ?" කියල හිතුන :-D

    ReplyDelete
    Replies
    1. ලොකු ප්‍රශංසාවක් මහත්තයෝ!

      Delete