අකුරු මැකී නෑ

Wednesday, May 23, 2018

ගස්සලා යවමුද -හතරවෙනි කොටස

මේ කතාවට මුල්වුණ කෙනා මීට පස්සේ 'ඒ', හොඳද. 'ඒ' මහරගමට එන්න පටන්ගත්තෙත් මගේ හිතවත්කම නිසා. 

ඒ දවස්වල මම 'බතික් ගෙදර' නිමල්. මගේ 'දීපානි බතික්' ආයතනයේ ළමයි 60ක් විතර වැඩ කළ දවස් තමයි ඒ.

ඒ දවස්වල දීපානි බතික් වැඩපොළේ ළමයි 60ක් විතර වැඩ ...........
ඒ සංදියේ අපි අවුරුද්දකට වතාවක් ශ්‍රීපාදේ කරුණා කරනවාමයි. යන්නෙත් අලුත් අවුරුදු දවස් අල්ලලා. එතකොට වන්දනාකරුවෝ අඩුයි. කරදරයක් නැතිව උඩ මළුවේ නැවතිලා ඉර සේවය බලාගන්න ඉඩ ලැබෙනවා. 

ගමන සංවිධානය කරන්නේ මං. තව විදියකට කියනවා නම් නඩේ ගුරා මං වහන්සේ.

අපි යන්නේ කුරුවිට පාරෙන්. ඒ කිව්වේ එරත්නෙන් පටන් ගන්න පාර. පහළට කරුණා කරන්නේ රත්නපුර පාරෙන්. සිරීපාදේ යන ගොඩ දෙනා යන්නේ හැටන් පාරෙන්. ඒක ලෙහෙසියි. ඒත් අපි යන්න තෝරාගෙන තිබුණු පාරවල් දෙකම ටිකාක් දුෂ්කරයි. හැබැයි සෞන්දර්යයෙන් අනූනයි. 
දැන් ඉස්සරට වඩා ටිකක් ලෙහෙසියි, හුඟාක් තැන්වල පඩි එහෙමත් හදලා තියෙන හින්දා. ලොකුම හොඳේ, පාරවල් සංවර්ධනය වුණාට ලස්සන අඩුවෙලා නැහැ! 

ලස්සන පරිසරයකට අපි ආසයි, ඒත් ඒ ලස්සන නැති කරන්නත් මුල් වෙන්නේ..........
හැබැයි පරිසර දූෂණය නම් සීයට දෙසීයක් වැඩිවෙලා.

ඉතින් ඒ අවුරුද්දෙත් අපි සුපුරුදු විදියටම සිරිපා කරුණා කළා. බතික් කරන ළමයි කීප දෙනෙකුත්, මිස්ටර් 'ඒ'ත්, අපේ ගෙදර කීප දෙනෙකුත් ගමනට සහභාගි වුණා. 

පුරුදු විදියටම අපි පළමු දවසේ රෑ නවාතැන් ගත්තේ හැරමිටිපාන අම්බලමේ. අම්බලම කිව්වාට ඒක හෙණ විශාලයි. පහසුකම් හුඟාක් හොඳයි. 'ඒ'ත් නිදාගෙන හිටියේ මගේ එක පැත්තකින්. රෑ මැද්දෙ මට ඇහැරුණා. එහෙමම ඉඳගෙන මං යාන්තමට ඇස් ඇරියා. 'ඒ' නැඟිටලා, පැදුරේම වාඩිවෙලා. කාත් එක්කදෝ කතාවක්. කොනක් මටත් ඇහුණා.

"මට හරිම ආසයි ඔයාගේ ජිප්සියක එල්ලිලා උන්චිලි පදින්න!" 

කොල්ලා බොහෝම ශෘංගාරාත්මක හඬින් කෙඳිරුවා.

සෙනඟ උතුරණ හැරමිටිපාන අම්බලමේ කොහෙද ඉඩක් කෙල්ලෙකුගේ ජිප්සියේ එල්ලිලා උන්චිලි පදින්න?
ඇත්තමයි, ඊළඟට මොනවා කියවුනාද කියලා මං දන්නේ නැහැ. 
මට නින්ද ගිහින්. ආයෙම ඇහැරුණේ සෑහෙන වෙලාවකට පස්සේ. මරු නඩේ ගුරා, නේද?

එදා අපි පැදුරු එළාගන්න ඉඩක් හොයාගත්තෙත් අමාරුවෙන්. එච්චරට සෙනඟ අම්බලමේ. ඒ සෙනඟ කන්දරාව මැද්දෙ මොන ඔන්චිලි පැදිල්ලක්ද? හොඳයි පදින්න ගියාම කියමුකෝ..... ජිප්සිය කොච්චර ලොකු වුණත් ඒකේ අයිතිකාරිගේ රුධිර වහනයක් වෙලා තමයි අහවර වෙන්නේ. කන් පෙත්ත ඉරිලා ගියාම! 

(මට අමතක වුණා කියන්න- ජිප්සි කිව්වේ ඒ දවස්වල ගොඩක් ගැහැනු ළමයි පැළඳපු කරාබු වර්ගයක්. නිකම්ම ලොකු රවුම් දෙකක්.) ම්..ම්..ම්.. අර නින්දෙන් ඇහැරුණු වෙලාවේ මාත් බලාගත්තා ජිප්සි දෙකේ අයිතිකාරි.

'උඹලා දෙන්නාට දෙන්නා කැමැතියි නම් ඕන පැදිල්ලක් පැදගනිල්ලා ගෙදර ගිහින්. දැන් ගමන ආව විදියටම ආව අයව එක්කරගෙන යන එකනේ මගේ රාජකාරිය.' 

මං මටම කියාගත්තා. 

ෆිෂින් හට්වල නැවතී සිට සිරිපා කරුණා කරද්දී...
ඊට පස්සේ නම් 'නිමල් අයියා හරි ඇණයක්නේ' කියලා ඒ දෙන්නාට හිතෙන්නැති.

අපි ගමන ගිහිං ඇවිත් මාස ගණනාවක් යනතුරුත් 'ඒ' මට මොනවාවත් කිව්වේ නෑ. මං ඇහුවෙත් නෑ. ඊට පස්සේ එයාට කතා නොකර බැරි වුණා. "නිමල්. මට ලොකු උදව්වක් ඕනේ. ඔයාගේ වැඩපොළේ ........ත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා. අපි බඳින්නයි ඉන්නේ..."

"හරි ෂෝක්නේ. මාව හම්බවෙන්න මහරගමට ආව එකෙන් ඔයාටත් හරි ගියා එහෙනම්."

"ඒ වුණාට....." ගොඩාරියක් තෙපර බාලා 'ඒ' කිව්වේ 'වෙන්ඩ මිසිස් ඒ' ඒ වෙනකොට වැඩ වරද්දාගෙන කියලා.

ඉස්සර තමයි ඔය වගේ වෙලාවට වැඩ වැරදිලා, අනාථ වෙලා වගේ යෙදුම් පාවිච්චි වුණේ. ඔයාලා 'සුසී' චිත්‍රපටය බලලා තියෙනවද? ඒකේ චරිතවල නම් මතක නැති හින්දා නළු-නිළි නම්වලින්ම කියන්නම්. 

පර්ල් වාසුදේවිගේ දුව මාලිනී. ඒ ගොල්ලෝ දුප්පත්. විජය පෝසත් පවුලක පුතෙක්. තාත්තා එඩී ජූනියර්. විජය මාලිනීගේ 'කුමරි බඹසර' බිඳිනවා. 
(කුමරි බඹසර- කුමර බඹසර
දෙකම ගැන මං කිව්වා මතකයිද 'නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්' එකේදී.) ඒ බව දැනගන්න අම්මා ලතෝනි දිදී යනවා කොල්ලාගේ තාත්තව හම්බවෙන්න. ගිහිල්ල පැමිණිලි කරනවා.

ඇයි බුදු මහත්තයෝ, අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!
"උඹ කොහොමද හරියටම කියන්නේ මගේ පුතා අතින් උඹේ කෙල්ලට අපරාධයක් වුණයි කියලා."

"ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!" පර්ල් වාසුදේවි අඬ-අඬා ඔය සීන් එක කොයි තරම් හොඳට රඟපාලා තිබුණද කිව්වොත්, මහරගම නැෂනල් තියටර් එකේ හිටි නරඹන්නෝ සේරම හිනා කෑවා.

මගේ යහළුවා නම් එදා හිටියේ හිනාවෙන තත්වෙක නෙවෙයි.

"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා.

මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා.

හැබැයි වරින්වර මට හිතෙනවා 'සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට' මාත් හවුල් කියලා. ඒ ගැන පසුතැවිල්ලක් නම් නෑ. 
ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්?

අප්‍රේල් 24 වැනිදා මං දැක්ක මාර නිව්ස් එකක්. 
මේ බුදුන් උපන් දේශයේ ..... 
ඉස්සෙල්ලාම මේ අවුල ලිහාගෙන ඉඳිමු. ගොඩාරියක් ත්‍රී රෝද රථවල, වාහනවල ඕගොල්ලොත් දැකලා ඇති 'මේ බුදුන් උපන් දේශයයි' කියන ස්ටිකරය. කවුද මෙහෙම නිගමනයකට ආවේ? කවුද මෙහෙම කියන්නේ? 

ම්හු....ඔහේ කියනවා, පෙන්නනවා. කිසිම බාධාවක් නෑ. 

ඉතින් මේ සදහම් දීපයේ කියමුකො අනෙක් අය කියන හින්දාවත්. එක අවුරුද්දකදී දරු උපත් 35,000 ක් සිදු වෙනවාලු. එතකොට ගබ්සා කිරීම? අවුරුද්දකදී 36,500 යි.

අවුරුද්දකදී උපත් 35,000යි. ගබ්සා කිරීම් 36,500යි. කොහොමද සද්ධර්ම ද්වීපයේ කෙරුවාව?
පෝස්ටුව පටන් ගනිද්දී මං කිව්වා මං සම්බන්ධ වුණු ගබ්සා අවස්ථා 5 ක් ගැන. මෙන්න 5.

මගේ ළඟම ඥාති සහෝදරයෙක් කරදර මූණකුත් එක්ක මාව හොයාගෙන ආවා. "හරිම ප්‍රශ්නයක් අයියේ....අපේ ලොකු පුතා ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ගෙදර අයත් මේ සම්බන්දෙ දන්නවා. අවුරුද්දකින් දෙකකින් විතර දෙන්නා බඳිනවාලු. 

-ඒත් දැන් ගෑනු ළමයා ප්‍රෙග්නන්ට්. පුතාලා හදන්නේ දරුවාව නැති කරන්න. 
අයියා දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි. උපාසිකාවනේ... එහෙම තියෙද්දිත් ඒ අම්මංඩි මේකට කැමතියි, නැත්තං ලජ්ජාවේ බැරිවෙයිලු. මගේ හිතට නම් හරි මදි එහෙම කරන එක. පාපයක්නේ, ඒකයි ප්‍රශ්නේ." මිනිහා මට කිව්වා.

එයාගෙ කතාවෙන්ම මට තේරුණා මං මොන උත්තරය දුන්නත් එයාලා 'ඒ කරුමෙට' කර ගහන්නයි යන්නේ කියලා. මාව හම්බ වෙන්න ඇවිත් තියෙන්නේ එක විදියක පාපෝච්චාරණයකට. 

"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් එ්ක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"

ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං.......
ඒ සිද්ධියට අදාළ කිරිකැටියාත් නොදුටු මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති. 

හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.

එයාලා මේ පෝස්ටුව දැකලා, නිකමට හරි අනුමාන කළොත්, කරලා මට කිව්වොත්..... 

අනිවා මං ඌන පූරණේකින් හරි ඒ ටිකත් ඔයාලට කියන බවට පොරොන්දු වෙලා, ඔන්න 'ගස්සලා යවමුද' අවසන් කරනවා෴

මගේ දෛවය මගේ රිස්සට...

"හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය"

හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය- එහෙමයි බණ්ඩාර කේ විජේතුංග ගැඹුරු හඬින්................
ඔහු කිසිදා අමතක නොවන, ගැඹුරු පිරුණු හඬින් අපට කිව්වා. මං වගේ රසික-රසිකාවන් 'බණ්ඩාර කේ. විජයතුංග' හඬින් කියවෙන දේ හොඳටම ඇදහුවා. 
ඒ නිසාම වෙන්න ඕනේ ෆිල්ම් එක හදාපු ඉන්දියාවේවත් එච්චර නොදුවපු 'ගීත්' ශ්‍රී ලංකාවේ 'ක්‍රවුන්' හෝල් එකේ පැල් බැඳගෙන දිව්වේ. පුරා අවුරුදු දෙකක්! 

ඒ තරම් හඬ පෞරුෂයක් බණ්ඩාරට තිබ්බේ.

මම ලියන්න ගත්තේ බණ්ඩාර කේ. විජයතුංග නම්වූ අපූරු සහෘදයා ගැන නෙවෙයි. ඒත් පුංචිම-පුංචි තොරතුරක්වත් අහුලාගන්න හිතාගෙන 'නැති දෙයක් නැති' අන්තර්ජාලෙට ගියාමයි පුදුම හිතුණේ. 
මං හොයාපු හැටි වැරැදිද මන්දා. බණ්ඩාරගේ නම ගැහුවම ගූගල් එකේ පළමු පිටුව ආවා. සබැඳි පිවිසුම් දහයක් ඒකේ. උඩින්ම පින්තුර. ගියා ඒකට. ම්හු! 

මේ මනුස්සයාගේ එක ෆොටෝ එකක්වත් නැහැ. දෙවෙනි පිවිසුම වික්ටර් රත්නායක ගායකයාණන්ගේ නිල වෙබ් අඩවිය.

සඟවා ගනු මැන - ඔබ රුව සොඳුරිය .........
ඒකෙ සේරම නම් බැලුවේ නැහැ. tribute එකේ 54 දෙනෙකුට උපහාර පුදලා තිබ්බා. එතනත් බණ්ඩාර මහත්තයා නෑ. හැබැයි මේ ගේය පද රචකයා වික්ටර් රත්නායක ගායකයාණන්ට බොහෝම ජනප්‍රිය ගී ගණනාවක්ම ලියලා දුන් කෙනෙක්. මගෙ හද ඔබ ළඟ, සත් සමුදුරු තරණය කොට, සඟවා ගනු මැන, තරු මල් පළගත් එව්වයින් කීපයක් විතරයි.

අනේ! බණ්ඩාර කේ.විජයතුංගයන්ගේ අවාසනාව එතනින්වත් ඉවර වෙන්නේ නෑ.

තුන්වැන්නේ තිබ්බෙ මේ මනුස්සයා ලියූ ගී හයක නම් විතරයි.

වැඩේ හරි. හතරවෙනි link එකට මුලින්ම ගියේ නැත්තේ අපරාදේ. ඇට්ටි හැලෙන්න බඩු ඇති. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව. ගියා ඒකට. 
ඒකේ තිබ්බෙ මෙයා පද රචකයෙක් කියලා විතරයිනේ. 
ඇයි යකඩෝ මාසෙකට දාස් ගණන් පඩි කන අය ඉන්න තැනක් නේද මේ? 1990 ජනවාරි 3 වෙනිදා, අදට අවුරුදු විසි අටකට කලින් අභාවප්‍රාප්ත වෙච්ච කලාකරුවෙකු ගැන තොරතුරුවත් අප්ඩේට් කරගන්න මෙයාලට බැරිද? මා ළඟ තියෙනවා පොතක්. මේං!

ආණ්ඩුවෙන් පඩි කන ගමන්වත් බණ්ඩාර කේ විජේතුංග වගේ අපේ කලාකරුවන් ගැන තොරතුරු..... 
2001 දී ගොඩගේ එකෙන් ගැහුවේ. රුපියල් එකසිය පනහයි. පොත හොයාගන්න බැරිම නං මාව හොයාගන්නවාලකෝ. මේ පොතේ විස්තර ටිකවත් දාගන්න බැරියැ. නොවේද ආයිබොවන්?

මට 'ගීත්' චිත්‍රපටය මතක් වුණේ ගීත් ගුණසේකරගේ නම හින්දා. මං එයාව අඳුරන්නේ පින්තූරයකිනුයි, ලියන දේවල්වලිනුයි විතරයි. 
ගීත් තමයි දැන් 'ඉරිදා ලක්බිම' එක්ක එන 'රිද්ම' අතිරේකය සංස්කරණය කරන්නේ. 2018 අප්‍රේල් 22 කලාපයේ සංස්කාරක සටහනෙන් ගීත් එයාට හමුවුණු හිතවතියක් ගැන ලියලා තිබ්බා. .....

"ටී.වී. එකේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඒකෙ කියපු විදියට මගේ ලග්නයට මේ අවුරුද්ද හොඳම නෑ. පරිස්සම් නූනොත් එක්තැන් වෙන්න වුණත් පුළුවන් කියලා කිව්වා. තව රස්සාවෙත් ප්‍රශ්න එනවලු. ආර්ථිකෙත් බින්දුවට වැටිලා පවුල් ජීවිතේ වුණත් දෙදරන්න පුළුවන් කිව්වා. ඒක අහපු වෙලේ ඉඳලා මගේ හිතට හරි නෑ. මම මේ එක දිගට දවස් හතක් බෝධි පූජාවක් තියනවද කියලයි කල්පනා කළේ." 
ඒ ගෑනු පරාණකාරයා ගීත්ට කිව්වාලු.
 
ඒ ගෑනු පරාණකාරී ගීත් ගුණසේකරට කියලා...........
ඉතිරි හරිය කියවනකොට නම් පේන්නේ ගීත් ජ්‍යෝතිෂය විස්වාස නොකරන පාටක්.

ජ්‍යෝතිෂය ඇත්තද? පත්තරවල, ටී.වී. එකේ, ජ්‍යෝතිෂ කාර්යාලවල, අතන-මෙතන පේව්මන්ට් එකේ පවා ඔය පලාපල කියන්නේ.  එහෙම පදික වේදිකාවේ හරි ඔයාලගේ ළඟටම ඇවිල්ලා හරි අත බලලා හරි සාස්තර-පලාපල කියන්නේ ජංගම ජ්‍යෝතිෂඥයෝ. වැඩියත්ම අහිගුණ්ඨික ලලනාවෝ. ඉස්-ඉස්සෙල්ලාම මං ගැන සාස්තරයක් කියලා තියෙන්නේ මං මවු කුසේ ඉඳිද්දී. අහිගුණ්ඨික කාන්තාවක්, අපේ අම්මට.

"නෝනා, ඌපදෙන්න ඉන්න දරුවා තමා පිරිමි දරුවා....පෝම වාසනාව තමා තීනවා. ඇබ්බැයි නෝනා බඩේ ඉන්නවා දවල් ඔරා තමා....."

"ඒ ගෑනිව හොයාගන්න පුළුවන් නම් මං ඒකිගෙ කටේ මසුරං දානවා" ඔය සිද්ධිය ගැන කියද්දී අපේ තාත්තා නොවරදවාම කිව්වා. හැබෑට ඇයි එයා එහෙම කිව්වේ?

ඊළඟට මේ.
මං උපන් ගමන් කඩේ සීයා වෙලාව බලල කිව්වලු 'ළමයට කසාද පල' නම් නැහැයි කියලා............
මං උපන්න ගමන් අපේ කඩේ සීයා වෙලාව හදලා. 
කඩේ සීයා කිව්වේ- රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑ නොහොත් අපේ අම්මාගේ තාත්තා නොහොත් බදුල්ලේ සීයාගේ මලයණ්ඩිට. (එයාගේ ලොකු පුතණ්ඩියාගෙ මංගල්ලේදී මං DOUBLE BUN දාපු හැටි තමා 'අජාසත්ත-1 කොටසේදී' ලිව්වේ.) 

කඩේ සීයා කඩයක් කළා. හිතුනු වෙලාවට ගෙදර ඇවිත් නිදාගත්තා, මිනී පෙට්ටියක. දවල්ය රෑය කියලා වෙනසක් නෑ. අපේ කඩේ ආච්චිව කසාද බැඳලා 'පැණි හඳට' ගියෙත් මිනී පෙට්ටිය අරන්ද දන්නෑ! ඒ මදිවට එයාට අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අරහං. එයා විනයවර්ධනකාරයෙක්. ඒගොල්ලෝ පාංශකූලෙකටවත් හාමුදුරුවරු වඩම්මන්නේ නෑ.

කඩේ සීයා මගේ උපන් වෙලාව අනුව වේලාපත්කඩය හදලා කිව්වාලු- අනාගතය හොඳයි, හැබැයි විවාහ පල නෑ- කියලා. ඒක හැබෑ වුණු කියමනක්. දැන් නම් ඉතින් ඒක බොරු වෙන්න කාලයක් නෑ.

ඔහොම ටක්කෙටම අනාවැකි කියන්න පුළුවන්ද, හැබෑවටම. ඇහැක් නම් මෙන්න tip එකක්. මේ මනුස්ස ලෝකේ කොච්චර ඉන්නවද ප්‍රකෝටිපතියෝ.

මේ ළඟදී ට්‍රිනිඩෑඩ්වල ශේරෝන් කියලා ධන කුවේරයෙක් අවුරුදු 33 ක් වගේ අඩු ආයුෂෙන් යටිගම් ගියා. මිනියට රත්තරන් පළන්දලා නෙවයි නාවලා... ඒ මදිවට රත්තරන් මිනී පෙට්ටියක. 
ශේරෝන් කෝටිපතියා අන්තිම ගමන ගියේ රත්තරනින් නාගෙන............
හොයාගන්නවා ඔය වගේ කුවේරයෙක්. කියනවා උන්දැට නොවරදින පුංචි අනාවැකියක්, කොන්දේසි සහිතව. හරි ගියාම මුදල් ගෙවීමේ පදනම මත. 
එකක් හරි ගියාම ඉතින් ගොඩේ-ගොඩ තමා. එයා අපේ සාත්තරකාරයාට ආයෙමත් ඉල්ලන්කාවට නම් එන්න දෙනේකක් නෑ. එහෙම කිව්වාට මගේ හිතට මදි-මදි වගේ. තව තියෙනවනේ මට හරි ගිය එව්වාත්.

අනුර ජිනදාස. එයා රස්සාවට සාත්තර කියන මහත්තයෙක් නෙවෙයි, හොඳේ. මේක කියවලා යන්නේ එහෙම නෑ, එයාව හොයාගෙන. 
අපට වුණත් සාත්තරයක් කියන්නේ එහෙමත් වෙලාවක, එයාටම හිතුණොත් විතරයි.

ඒ 1984. අපේ අම්මාටයි, ඩැඩාටයි ඕනේ වුණා මාව ඒ නත්තලට කලින් එංගලන්තයට ගෙන්නා ගන්න. මාත් කැමැත්තෙන් හිටියේ එතකොට හිම වැටෙනවා බලාගන්නත් පුළුවන් නිසා. ඔය විස්තරේ දන්න අනුර දවසක් මගේ අත බැලුවා. 

"තරහ ගන්න එපා නිමල් මේක කියනවාට. ඔයාට ඔය ගමන යන්න වෙන්නේ තව මාස හයක් ගියාට පස්සේ." අනුර කීවා. එවෙලේම අපේ තවත් හිතවතෙක් වන අසෝක කපුරුගේටත් එයාගේ අයියා ගැන අනාවැකියක් කිව්වා, හඳහන බලලා. මොන කාරණාවක් නිසාද මන්දා, අනුරගේ ඒ අනාවැකි දෙකම තිතට හරිගියා.

අනුර ජිනදාස හිතවතා නම් මේ ලියන නිදිටත් ටක්කෙටම සාස්තරයක් කිව්වා..........
එහෙම හරි ගියත් කොහොමද හැමෝටම පොදු විදියට අනාවැකි කියන්නේ. 2016 ලංකාවේ ජනගහණය දෙකෝටි දොළොස් ලක්ෂයක්ලු. 
ලග්න දොළහයි තියෙන්නේ. නිකමට බෙදල බලන්නකෝ දෙසිය දොළහ 12 න්. 
සමසේ බෙදලා බැහැයි කිව්වත් ආසන්න වශයෙන් වුණත් මිනිසුන් ලක්ෂ 16-17-18 ක් විතර එක ලග්නයකට වැටෙයි. 

එහෙම වුණත් වයස, ඉන්න තැන, තරාතිරම..... සලකා බලන්න ඕනේ සාධක කොච්චර තියෙනවාද?

හැමදාම පාන්දරින් රූප පෙට්ටියේ, රේඩියෝවේ, පත්තරේ එහෙම කියන විදියට ලක්ෂ 16කට 17කට එකම සන්තෑසියද හිමි වෙන්නේ? 
පොඩිත්තක් හොයා බලන්නකෝ, ඔය එක-එක්කෙනා කියන ඒවා කොයි තරම් පරස්පරද කියලා.

මේං තව පොඩි රහසක්. කන කිට්ටු කරන්නකෝ කියන්න.

ඒ දවස්වල මං...........
ඒ දවස්වල මං පත්තරයකට නවකතාවක් ලියනවා. සතිපතා. සුමානෙකට හරි දෙකකට හරි වතාවක් මං ලියන කොටස් එහාට ගෙනිහින් දෙනවා. 

ඔය කාලයේ ටයිප් සෙටින් කරලා ප්‍රින්ට් අවුට්ස් අරං එව්වා කපලා අලවලා තමයි මුද්‍රණයට සකස් කරන්නේ. ඒ කොම්පැනියෙන්ම ජ්‍යෝතිෂ පත්තරයකුත් පළ කරනවා. ඔය දෙකේම හුඟක් වැඩ කෙරුණේ එකම අය අතින්. 
මං එහෙට ගියාම අරයා-මෙයා කියලා බලන්නේ නැතිව කාර්ය මණ්ඩලේ අයත් එක්ක කතා-බහ කරලයි එන්නේ. දවසක් එතැන පිටු සැකසුම් ශිල්පියා එක්ක කතා කරමින් ඉඳිද්දී ජ්‍යෝතිෂ පත්තරේ එඩිටර් එතනට ආවා.

"හරි වැඩේනෙ අයිසේ. ........ට අද ඉදිරි සතියේ පලාපල ගේන්න විදියක් නැහැල්ලු. කොහොමද පිටු ටික ප්‍රින්ට් එකට යවන්නෙ?"

ලේ අවුට් ආර්ටිස්ට් ඔළුව කැසුවා. "අදට මොකක් හරි....." මිනිහා ලාච්චුවක් ඇද්දා. ගත්තා පරණ බ්‍රෝමයිඩ් ටිකක්. ඇවිස්සුවා. තෝරලා ගත්තා එව්වයේ සතියේ පලාපල තීරු. ඒවා හත අටකින් එක-එක ලග්නවලට දාලා තිබ්බ විස්තර කප-කපා අච්චාරු සතියේ පලාපල ටික හැදුවා. විනාඩි පහළොවක්වත් ගියේ නෑ. මං ඉදිරියේම එව්වා ප්‍රින්ට් එකටත් යැව්වා.

හරි වැඩේනේ. මේ සතියේ පලාපල විස්තරේ තවම එවලා නැහැනේ. කොහොමද පත්තරේ ප්‍රින්ට් කරන්නේ?
තමුන්ගෙ පැත්තට මනාප ගන්න ගෝලයො වාඩිවෙන ෂීට්වල මතුරපු තෙල් ගාවන පාලකයො ඉන්න රටක; අපල දුරුවෙන්න ඇහි බැම උගුල්ලාගන්න ලොක්කො ඉන්න රටක; පොඩ්ඩ වරදින පාටක් දැක්ක ගමන්ම තිරුපති දේවාල ගානේ දුවන්නො ඉන්න රටක  අර වගේ ජ්‍යෝතිෂ පත්තරවලට තියෙන ඉල්ලුම කවරදාවත් නැති වෙන්නෙ නෑ. 

පිරුභාහරන් කිව්වලුනේ සිංහල මිනිස්සුන්ට ඕනෙම දෙයක් සුමාන දෙකෙන් අමතක වෙනවා කියලා. කොච්චර වැරදුණත් මොකෝ. ආයෙම ටික දවසකින් අනාවැකි කියන්න ගන්නවා.

ඔය සිද්ධිය මං අපේ අම්මාටත් කිව්වා. ඒත් එයා අදත් පත්තරයක් අතට ගත් සැණෙන් බලන්නේ ඒකෙ පලාපල තීරුව.

ම්ම්ම්ම්.... තව පරහක් දැනුයි කල්පනාවට ආවේ. අපේ අම්මා උපන්නේ ලංකාවේ. දැන් ඉන්නේ එංගලන්තෙ. එංගලන්තය වගේ බටහිර රටවල ලංඩන් අංකල්ලා උපන් ලග්නය හොයා ගන්නේ උපන් වෙලාව අනුව නෙවෙයි. උපන් දිනය අනුවයි.

ඉස්සර අපේ උදවියට ඔරලෝසු නොතිබුණු කාලේ ළමයාගේ පළමු හැඬීම ඇහෙනකොටම කෙහෙල් ගහක කඳ දෙකට කපනවාලු. කෙහෙල් ගොබය ඇදෙන වේගය බලලා වෙලාව හදාගත්තු කතාවකුත් මට මතකයි. 
  
ළමයෙක් ඉපදුනාම වෙලාව බලාගන්න කෙහෙල් ගහක් කපලා ගොබය ඇදෙන විදිහත් ...........

හොඳ වෙලාවට දැන් හැම තැනම ඔරලෝසු නැතත් මෝබයිල් ෆෝන් තියෙනවා. වෙලාව බලාගත්තට මොකෝ, වෙලාවට වැඩ නම් නෑ. වෙලාව හොඳ නැති හින්දාද මන්දා.

දන්නවද, 1990 දසකයෙ මුලදී ලෝකේ තිබ්බ බලවත්ම කොම්පියුටරේ පරිගණකමය හැකියාවට  (computational power) වඩා ශක්තියක් අද තියෙන ස්මාර්ට් ෆෝන් එකකට තියෙනවාලු. ඒ ශක්තිය අපි යොදවන්නේ මොහකටද? වැඩියත්ම සෙල්ෆි ගහන්න. ඊළඟට මල් කඩන්න....ඇයි gamesවලට .... අපේ සල්ලි යනවා. කොම්පැණි පෝසත් වෙනවා.

ඉතින් අර පරහේ කතාවට ආයෙම යංකෝ. බටහිර රටක මාර්තු 21 ඉඳලා අප්‍රේල් 19 වෙනකල් ඉපදෙන අයව ගණන් ගන්නේ මේෂ ලග්නයෙන් උපන් අය විදියට. අප්‍රේල් 20 සිට මැයි 20 තෙක් දවස්වල උපදින්නේ වෘෂභයෝ. මිථුන ලග්නෙට වැටෙන්නේ මැයි 21- ජුනි 20 අතර බිහිවෙන අයවයි.....ඔය විදියට එක මාසෙක කාලයකදී උපදින්නේ එක ලග්නෙක උදවිය.

එතකොට අපේ අම්මා ලග්න පලාපල හොයන්න ඕනේ උපන් වෙලාව අනුව මෙහෙදී කියාපු ලග්නේ යටතේද... උපන් මාසය යටතේ එන ලග්නෙන්ද?

අල්කයිඩා ප්‍රහාරයෙන් මැරුණු 2996 දෙනාටම තිබුනේ එකම මාරකයක්ද?
2001 සැප්තැම්බර් 11 වෙනිදා අල්කයිඩා ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් 2996 දෙනෙක් මියගියා. 6000 ක් විතර තුවාල ලැබුවා. ඒ ඔක්කොමල්ලාම එකම මාසෙක, එහෙමත් නැතිනම් එකම වෙලාවක ඉපදුනු අය නිසාද එකම ඉරණමක් හිමි වුණේ.

"ජීවිතේ ගංගාවකි - දෛවෙ එහි දිය පාරකි
ඒ ගඟේහී පාවෙනා - පිදුරු කැබලිය ලෝ දනා..."
'පුරුෂ රත්නය'ට ලතා වල්පොල ගායිකාව මෝහනීය හඬින් ගැයූ ගීය කියන්නේ ඇත්තක්ද?

කොහොම වුණත් මට ගීත් තරම්ම සාහසික වෙන්නත් හිතෙන්නේ නෑ. ඉරණම පුරෝකථනය කරන්න හැකිද? නැතිනම් මේ සේරම බොරුද. අපේ කඩේ සීයා, අනුර වගේ තවත් අය මුණගැහිලා තියෙන නිසා මට හිතෙන්නේ මේ දේවල්වල යම්කිසි දෙයක්, අරුතක්, බරක්, පදනමක් තියෙනවා. හැබැයි වැඩි දෙනෙකු කරන්නේ බොරු. ඔවුන් කරන්නේ බඩ වඩාගන්න එක.

අපි පුංචි වැඩක් කරමු. නාන කාමරේ තියෙන සින්ක් එකේ යට සිදුර වහලා ඒකට වතුර එකක් පුරවන්න. හරිනේ... දැන් සිදුර විවෘත කරන්න. වතුර බැහැලා යද්දී හැදෙන සුළිය කැරකෙන්නේ මොන පැත්තටද? සිය වතාවක් මේක කළත් ඔයාලට ලැබෙන්නේ එකම පිළිතුරක්. ඇයි ඒ?

නාන කාමරයක් නැති නම් වතුර බේසමක් ගන්න. බේසමට අත දාලා දක්ෂිණාවෘතව කරකවන්න. අත අහකට ගත්තාට පස්සේ තත්පර කීයක් යනවද සුළිය කැරකීම නවතින්න. ආයෙම බේසමට අත දාලා වාමාවෘතව වතුර ටික කරකවලා , සුළිය නවතින්න යන වෙලාව බලන්න. ඉක්මනට නවතින්නේ මොන පැත්තට කරකැවෙන දිය සුළියද? එ්කෙදිත් ඔයාලට හැම වතාවෙම ලැබෙන්නේ එකම පිළිතුරක්. ඇයි ඒ?

මනුස්සයා කියන සතාගේ හිත කොතනද තියෙන්නේ?
මනුස්සයා කියන සතාගේ හිත තියෙන්නේ කොහෙද?

තවමත් අපි නොදන්නා, පහදා දෙන්න බැරි දේවල් තියෙන නිසා මම නම් මෙවැනි දේ ගැන තීන්දු ගන්නේ ටිකාක් විතර හෙමින්. 
ඒත් එකක් නම් ස්තීරෙටම දන්නවා! 
අපේ හිත- ආත්ම ශක්තිය තමා වඩාත්ම බලවත්. ඒකට අනෙක් හැම දේම යටයි. කාට නැතත් මට නම් ඒක එහෙමමයි, ඒකාන්තයි, සත්තයි, තීන්දුයි! නිවාරණයි෴

කෙලින් සනා - පළමු කොටස

ඔයාට තියෙන්නේ මුස්ලිම් ටෝක් එකක්..... බිස්නස්වලට නියමෙට මැච් වෙනවා....
"මම ලොකුවට ප්‍රෙස් එක කරනකොට නිමල්ව ඒකෙ මැනේජර්කමට ගන්නවාමයි. දැන් තියෙන එකේ නිමල්ට කරන්න තරම් දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ මුස්ලිම් ටෝක් එකක්. බිස්නස්වලට නියමෙට මැච් වෙනවා!" ඒ දෙවෙනි ප්‍රකාශයයි.

මුලින්ම සැර වැඩි ප්‍රකාශයක් උපුටා දක්වන්නට හොඳ නැතැයි මට සිතුණු බැවින් දෙවැන්න ඉස්සර කළෙමි. මේ පළමුවැන්නයි.

"ඇත්තටම මොකක්ද ආදරේ කියන්නේ? සංසර්ගයේ යෙදිලා වතුර ටික යවාගන්න එකටද ආදරේ කියන්නේ?" ඔහු මගෙන් විමසුවේය. ඒ 1996 දී ඔහුගේ නිවසේදීමය.

දෙවැන්න කියැවුණේ 2000 විතරය. 
ඒ කියමන මා සලකන්නේ මට ලැබුණු හොඳම සහතිකයක් ලෙසිනි. 

එදා ඔහු එය කීවේ හුදෙක් කටට ආ නිසාම විය නොහැක. හැබැයි, ඒ කීමේ සත්ත බලන්නට නම් අවස්ථාවක් උදා නොවිණි. ඔහුගේ මුද්‍රණාලය පුළුල් කෙරෙනවිට මා රැකියා කිරීම; පූර්ණකාලීනව රැකියා කිරීම අත්හැර දමා තිබුණු බැවිනි.

උපුල් ශාන්ත සන්නස්ගලගේ සංහිඳ පුළුල් කෙරෙද්දී මා රස්සාවල් කිරීම අතහැර....
එහෙත් තවමත් ඔහු මුද්‍රණාල හිමිකරුවෙකු ලෙසින්  ප්‍රමාණවත් දුරක් පැමිණ නැතැයි මට සිතේ; ප්‍රකාශකයකු ලෙසත්. මා  එලෙස කියන්නේ ඔහුගේ තරම යම් තරමකට දන්නා බැවිනි.

එක-දෙකෙන්ම ඔහු හොඳ-සූර රචකයකු බව නම් හැමෝම දැන ගත්හ.

නිකමට හිතාගන්න. ජෝන් ද සිල්වා සමරු රඟහල කට කපා පිරී තිබුණු දවසක්.... 
වැඩියෙන්ම ගැටවර-ගැටවරියන්ගෙන්. 
හැබැයි මේ ජෝන් ද සිල්වා සමරු රඟහල ජෝන් බාස්ට යවන්නට ගොඩාක් ඉස්සරය. 
1990 නොවැම්බරයේය. 

පැහැපත්, කඩවසම් තරුණයෙක් මයික්‍රෆෝනය ඉදිරියේය. හැඟීම්බර හඬකි ඔහුගෙන් නිකුත් වන්නේ.
දෑස නොපෙනෙනා හින්දා - මගේ පොතේ අකුරක්වත් - අප්පච්චී දකිනු කොයි ලෙසින්..........
"දෑස නොපෙනෙනා හින්දා - මගේ පොතේ අකුරක්වත් - අප්පච්චී දකිනු කොයි ලෙසින් - අකුරු නොදන්නා හින්දා - අප්පච්චිට අහන් ඉන්න - අම්මා කියවන්නෙ කොයි ලෙසින්.... මේ පොත අම්මාටයි අප්පච්චිටයි" කෙසඟ සිරුරු දෙකක් වේදිකාවේ. 

තාත්තා සුදු සරමකින් හා කමිසයකින්, අම්මා ඔසරියකින්.... 
හරිම චාම් විදියට; අහිංසක අයුරින්... 
හරියටම මොනවද වෙන්නේ කියලා මට දැකගන්න බැරිවුණා. 

ඇස් කෙවෙණි දෙක පුරා උතුරා යන කඳුළු හින්දා. මට හොඳටම විශ්වාසයි එහෙම නොවුණු කෙනෙක් එදා ඉන්න නැතිව ඇති. අප හැමෝම එහෙම ඇඬෙව්වේ ඔහුයි.

පෙරහැර එන බව කියන්නේ කසකරුවන්ය. ඒ මුලින්ම ඇවිත්ය. 
මුලින්ම ආවේ ලීල් ආනන්ද ගජනායක හා සගයෙකි. ඒ සරසවි නිර්මාණ රංග පීඨය වෙනුවෙන් අපට වැඩක් දෙන්නටය. ඔවුහු අද හුඟාක් දේසපාලුවන් ළඟ ඉන්නා අය මෙන් පාතාලයෝ නොවූහ. ඒ නිසා වැඩක් දෙන්නට ආවත් මම බිය නොවීමි. 
එදා ඇතිවුණු හිතවත්කම මත ගජනායක සර් තම ගෝලයන් හතර-පස් දෙනෙකුම මුද්‍රණාලයේ වැඩ පුහුණුවට එව්වේය. 

දිගු කලක් අල්ලා හිටියේ හතර දෙනෙකි. රෝහණ, නිහාල් සේනක, විපුලසිරි හා නලින්ය. උපුල්ට අපේ ප්‍රෙස් එක ගැන රෙකමන් කරන්න ඇත්තේ ලීල් සර් හෝ ඔවුන් හෝ විය යුතුය.

හැම වසරකම සරසවි නිර්මාණ රංග පීඨයෙන් සමාන උළෙලක් පවත්වන ලීල් ආනන්ද ගජනායක...............
සරසවි නිර්මාණ රංග පීඨයෙන් හැම වසරකම සම්මාන උළෙලක් පවත්වයි. එයින් කිහිපයක්ම බලන්නට මටත් ප්‍රෙස් එකේ සගයන්ටත් ඇරැයුම් ලැබිණි. නරඹන්නටත් ගියෙමි. 

එයින් එකකදී කැහැටු යව්වනයෙකුගේ දස්කම් දැක්කෙමි. 'සොල්දාදුවා සහ හඳ එළිය' නාට්‍යයේ ඔහු රඟපෑවේය. ඔහු එයින් කලකට පසු 'අරුන්දතී' නම් අතිසාර්ථක නාට්‍යයක් වේදිකාවට ගෙනාවේය. එයින් වහවැටුණු මම ඔහු මුණගැසෙන්නට මඟක් පාදා ගත්තෙමි. අප හමුවුණේ විජේරාම හන්දියෙන් උඩහමුල්ලට දිවෙන පාරේ තිබූ කුමුදුලාල්ගේ නිවසේදීය.

මම එවකට 'පිවිතුරු' පුවත්පතට විශේෂාංග පිටු කීපයක් ලියමින් සිටියෙමි..... ඔන්න අංජන ඔයාටත් ලෙඩක් දාන්නයි හදන්නේ! තරහ ගන්න එපා. අපි කාටත් අපේ තරමට වඩා දෙයක් කරන්න අවසර ලබාගන්න කොච්චර දුෂ්කරද කියලා මං දන්නවා.

'පිවිතුරු' සංස්කාරක වුණේ අංජන ඉන්ද්‍රජිත්ය. අද අංජන 'ලක්බිමට' කාටූන් අඳියි. මගේ බ්ලොගය ගැන ඉස්-ඉස්සෙල්ලාම සුබ පැතුවෙත් අංජනය.

කුමුදුලගේ ගෙදරට ආ තුමිඳු දොඩන්තැන්න ඉතා නිරහංකාරව මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. 

අරුන්දතී නාට්‍යයේ foto කිහිපයකුත් මට දෙන්නට තරම් තුමිඳු නිහතමානි වුණේය
මතක හැටියට නම් 'අරුන්දතීගේ' ඡායාරූප දෙකකුත් දෙන තරමට නිහතමානිත් වූයේය. මම තුමිඳු ගැනත්, අරුන්දතිය ගැනත් විශේෂාංගයක් ලියාගෙන අංජන හමුවීමි. 

" ආටිකල් එක නම් හොඳයි නිමල් අයියා. හැබැයි මෙයා ගැන තවම කවුරුවත් දන්නේ නෑ නේද? ප්‍රසිද්ධ දෙතුන් දෙනෙක් ගැනම කරපු ආටිකල්ස් වගයකුත් තියෙනවා. අපි ඒවා යැව්වට පස්සේ මේක දාමු!" අංජන මට කිව්වේය. 

මම කීකරු වීමි. ඒ 'පස්සේ' අද වෙනතුරුත් ආවේ නැත.

හැබැයි තුමිඳු ඉස්සරහටම ගියේය. 'සංඛාරා' එකෙන් 'කූඹියෝ' එකෙන් 'සහෝදරයා'ගෙන් නළු ලොව දිග්විජය කළේය. 
එදා මා ඔහුට බොරුවක් කළා යැයි ඔහු සිතන්නට ඇත. 
ඒ ලජ්ජාව නිසාම මම ඊට පසු තුමිඳුව මඟ හැරියෙමි. 

ඉතින් අංජන, මේ හපනාගේ පළමු මුද්‍රිත සම්මුඛ සාකච්ඡාව කළෙමුයි උදම් අනන්නට අපට තිබුණු චාන්ස් එක අපිම මිස් කරගත්තෙමු!

මේ දක්ෂයාගේ පළමු මුද්‍රිත සම්මුඛ සාකච්ඡාව කළෙමුයි උදම් අනන්නට............
නිදිගේ පංච තන්තරේ හැටි දන්නා නිසාම දැන් නම් කවුරුන්වත් මේ වට-වලංගුවේ යාම පිළිබඳව උරණ නොවෙතත් මා කියන්නට ආ උපුල් ගැන ලිවීම යළි ඇරඹිය යුතුය. ඔන්න එහෙනම්....

මා දැක ඇති, මට හමුවී ඇති, තමන්ගේ තරම තමන්ම දන්නා, හොඳම දක්ෂයන් අතර සුවිශේෂී තැනක ඔහු වැජඹෙයි. ඉතින් උපුල්, මේ පූර්විකාව ලියුවේ ඔබව තම්බන්නට නම් නොවේ.

දැන් උපුල් කොහොමදැයි කියා නම් මා දන්නේ නැත. කිත්-යසස්, වස්තුව-වළඳුව, ධනය-බලය පමණක් නොව කාලයත් ඔබට බලපාන්නට ඇත. සමහරවිට ඔබ වෙනස් වෙලා වන්නටත් ඉඩ තිබේ.

මා දන්නේ ඒ දවස්වල උපුල්ගේ, උපුල් ශාන්ත සන්නස්ගලගේ හැටිය! ඒ දැනුම අප්ඩේට්වී නැත. සීතල හපුතලෙන් කාස්ටක ගෙන්දගම් පොළොව පාගන්නට ඇවිත්, කොළඹම පැළ-පදියම්වූ උපුල් දක්ෂකම නිසාම ලක්ෂෙට කොඩි දැමූ අයෙකි.

වසර ගණනකින් අප හමුවී නැත. කතාබහ කරලාත් නැත. මට හිතෙන්නේ හාට් ඇටෑක් එකෙන් පසු උපුල් ව්‍යාපාර කටයුතු පුතාලාටවත් පවරලාදෝ කියායි.

මගේ ගෙදර සෑදූ අලුත රසාංගිත් එක්කම උපුල් මෙහේ ආවේය. රසාංගි ආවේ දෙන්නෙක් විදියටය. එහෙම කිව්වේ හායි කියා  බඩකුත් උස්සාගෙන ආ නිසාය. කුසේ හිටියේ ඔවුනගේ කුළුඳුල් දරු පැටියාය. උපුල්ලා ක්ලිනික් යන ගමන් මෙහි කඩා වැදුණහ. එකල පන්නිපිටියේ කුලී නිවසක සිටි උපුල් අද සුවිසල් මන්දිරයක වැජඹෙයි. දෛවය ඔහු හා වැඩියෙන් සිනාසුණා වැන්න. 
උපුල් ශාන්ත සන්නස්ගල එක්ක දෛවය වැඩියෙන් හිනාවෙලා.........
අප මුලින්ම හමු වුණේ අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේදීය. මම එවකට එහි කළමනාකරු වීමි. උපුල් අංකුර ටියුෂන් මාස්ටර් කෙනෙක් විය. 
එහෙත් මන බඳින, සිත් සොරාගන්නා ශෛලියකින් අත් පත්‍රිකා ප්‍රින්ට් කරවා ගන්නට ආ ඔහු අපේ ලොකුම කස්ටමර් කෙනෙක් විය. 
මුද්‍රණ ශිල්පයට නවකයෙකුවූ මටත් උපුල්ගේ 'මුස්ලිම් ටෝක්' එක අල්ලලා ගියේය. ඊළඟට ටියුට්ස්...

පත්තර ලෑලි පිරෙන්නම මල් පත්තර වැස්සක් වැස්සේ ඒ සමයේදීය. උපුලුත් 'කුමරි' පත්තරයට ලියමින් සිටියේය.

"නිමල්, ..........දා උදේ ..........ට ඔයා කුමරි කන්තෝරුවට එන්න ඕනේ. මං නවකතාවක් ගහන්නයි යන්නේ. ඒකෙ අත් පිටපත බන්දුල පද්මකුමාර මහත්තයාගේ අතින් සුබ නැකතට ඔයාට බාර දෙන්නයි යන්නේ. ධම්මිකගේ කවි පොතත් එදාටම ඔයාට දෙනවා."

දිනක් ප්‍රෙස් එකට පැමිණි උපුල් මට කීවේය. කුමරි කාර්යාලය තියෙන්නේ අසෝකා සිනමාහලත් එක්කම බවත් කිව්වේ මට පාර හොයාගැනිල්ල පහසු කරවන්නටය.

අපේ පොත් දෙකේ අත් පිටපත් නැකතට ඔයාට දෙනවා 'කුමරි' කන්තෝරුවේදී බන්දුල පද්මකුමාර මහත්තයා ..........
අසෝකා සිනමාහල මට මතක තිබ්බේ මුල්ම සරසවිය සම්මාන උළෙල පැවැත්වූ තැන වශයෙනි. මගේ මතකය නිවැරැදි නම් සම්මාන උළෙල සඳහා වෙනත් සිනමාහලක් ලබා ගැනීමට අසීරුව තිබියදීලු අසෝකා අයිතිකරුවන් ඊට ඉඩ ලබාදී තිබෙන්නේ.

කොච්චර කොළඹ කරක් ගැහුවත් මා වේල්ස් කුමාර වීදිය පැත්තේ ගිහින් තියෙන්නේ කලාතුරකිනි. 
ඒත් නියමිත දවසේ, නියමිත වෙලාවට එහි ගියෙමි. එක්කෝ කුමුදුලාල් එක්කය, නැතිනම් නෙවිල් එක්කය.
(ඒ මං මෝටර් සයිකලයක් නැතිව හෙල්මට් පහක් මිලදී ගෙන වාර්තාවක් තබන්නට පෙරයි. සවිස්තරව දැනගන්න නම් "කූචු කුචයියෝ" පෝස්ටුව බලන්න.)
ඒ දෙන්නාගෙන් කාගේ හරි මෝටර් සයිකලයකය. 
ඒ අතින් නම් සන්නස්ගලත් ඒ දවස්වල මගේ වල්ලේමය. ඔහු ප්‍රෙස් එකට ආවේ ඇතාකඩගේ සයිකලයේ පිලියන් රයිඩර් ලෙසින්ය.

'සම්මාන හම්බ වෙන බව දන්නවා නං මොනවා හරි කියන්න......' අයිරාංගනී සේරසිංහ එදා කීවාය....
1967 දී පැවැත්වුණු සරසවිය සම්මාන උළෙල අයිරාංගනී සේරසිංහ; අපේ ආදරණීය නිළියට විශේෂ මතකයක් වෙන්නැති. ඇයට එදා හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ 'ඔබ දුටුදා' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. එදා වේදිකාව උඩදී නිවේදක මහත්මයා ඇගෙන් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්. 'ඔබ මොකද කියන්නේ මේ ලද සම්මානය ගැන?'

එහෙම වෙලාවක බොහෝම අය නම් පඬි ටෝක් දෙනවා. ඒත් මේ උගත්, ද්විභාෂික, වංශවත් නිළිය දුන්නේ මෙහෙම උත්තරයක්. ''අනේ, මොනවා කියන්නද? සම්මානයක් ලැබෙන බව දැනගෙන හිටියා නම් මොනවා හරි කියන්න ලෑස්තිවෙලා එන්නවත් තිබුණා!"

ඒ වගේමයි, මෙහෙම බ්ලොග් එකක් ලියන්න හීනෙකින්වත් හිතාගෙන හිටියයැ. එහෙම හිතාගෙන හිටියා නම් ඒ දවස්වල ඉඳලම සූදානම් වෙනවනේ. දැන් ඉතින් මතක ටිකෙන් ලියනවා.

උපුල් යකෙකි! නියම යකෙකි. මට එහෙම හිතුණේ උපුල් මෙහෙම කී විටය. "නිමල්, අපි පන්දාහක් ගහමු!"

වැරැද්දක් අහු වුණොත් හදලා දාන්න!
නැකතට බන්ධුල පද්මකුමාර මහතා 'සරසවි දියණියෝ' අත් පිටපත මගේ අත තැබුවේය. ඊළඟට ධම්මික බණ්ඩාරගේ පොතේ අත් පිටපත. 'අහෝ මිත්‍රවරුනි'. එය මා'තට දුන්නේ අජන්තා රණසිංහ මහත්මා හෝ ආතර් යූ. අමරසේන මහතා බව මතකය මට කියතත් එය හරියටම නිනව් නැත.

හැබැයි 'සරසවි දියණියෝ' මුද්‍රණය මට ලැබුණු බරපතළ දඬුවමක් විය. ඒ ගෙවීම් කෙරෙද්දීය. උපුල් ගනුදෙනුවලට හොරෙක් නොවීය. එහෙත් නිතරම ගෙනාවේ රුපියල් දෙකේ, පහේ, දහයේ නෝට්ටුය. 
හිතන්නකෝ, දෙකේ කොළ පන්සීයකින් රුපියල් දාහක් ගෙවද්දී.....ඒත් මා නහයෙන් ඇඬුවේ නැත. කටේ කෙළවලින් නෝට්ටු නහවමින් සල්ලි ගණන් කළෙමි. උපුල්ම සෝදුපත් බලන බව කීවද මුල් පෘෆ් එකත් මමම බැලුවෙමි. අන්තිමට ඒ දවස්වල උපුල් කලබලයෙන් ලියාගෙන එන ටියුට්ස්වල සිංහල වැරැද්දක් තිබුණත් එ්ක හදලා දාන්නැයි මටම වගකීම පැවරිණි.

මා දන්නා තරමින් ඒ පොත අච්චු ගැහුණෙත් අමුතු සයිස් එකකටය.

මොකක්ද යකඩෝ මේ අමුතු සයිස් එක කියලා නේද හිතුණේ? හිතන්න... දිගටම... ඊළඟ කොටස කොටලා දානකන් හිතන්නකෝ!