අකුරු මැකී නෑ

Wednesday, May 23, 2018

කෙලින් සනා - පළමු කොටස

ඔයාට තියෙන්නේ මුස්ලිම් ටෝක් එකක්..... බිස්නස්වලට නියමෙට මැච් වෙනවා....
"මම ලොකුවට ප්‍රෙස් එක කරනකොට නිමල්ව ඒකෙ මැනේජර්කමට ගන්නවාමයි. දැන් තියෙන එකේ නිමල්ට කරන්න තරම් දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ මුස්ලිම් ටෝක් එකක්. බිස්නස්වලට නියමෙට මැච් වෙනවා!" ඒ දෙවෙනි ප්‍රකාශයයි.

මුලින්ම සැර වැඩි ප්‍රකාශයක් උපුටා දක්වන්නට හොඳ නැතැයි මට සිතුණු බැවින් දෙවැන්න ඉස්සර කළෙමි. මේ පළමුවැන්නයි.

"ඇත්තටම මොකක්ද ආදරේ කියන්නේ? සංසර්ගයේ යෙදිලා වතුර ටික යවාගන්න එකටද ආදරේ කියන්නේ?" ඔහු මගෙන් විමසුවේය. ඒ 1996 දී ඔහුගේ නිවසේදීමය.

දෙවැන්න කියැවුණේ 2000 විතරය. 
ඒ කියමන මා සලකන්නේ මට ලැබුණු හොඳම සහතිකයක් ලෙසිනි. 

එදා ඔහු එය කීවේ හුදෙක් කටට ආ නිසාම විය නොහැක. හැබැයි, ඒ කීමේ සත්ත බලන්නට නම් අවස්ථාවක් උදා නොවිණි. ඔහුගේ මුද්‍රණාලය පුළුල් කෙරෙනවිට මා රැකියා කිරීම; පූර්ණකාලීනව රැකියා කිරීම අත්හැර දමා තිබුණු බැවිනි.

උපුල් ශාන්ත සන්නස්ගලගේ සංහිඳ පුළුල් කෙරෙද්දී මා රස්සාවල් කිරීම අතහැර....
එහෙත් තවමත් ඔහු මුද්‍රණාල හිමිකරුවෙකු ලෙසින්  ප්‍රමාණවත් දුරක් පැමිණ නැතැයි මට සිතේ; ප්‍රකාශකයකු ලෙසත්. මා  එලෙස කියන්නේ ඔහුගේ තරම යම් තරමකට දන්නා බැවිනි.

එක-දෙකෙන්ම ඔහු හොඳ-සූර රචකයකු බව නම් හැමෝම දැන ගත්හ.

නිකමට හිතාගන්න. ජෝන් ද සිල්වා සමරු රඟහල කට කපා පිරී තිබුණු දවසක්.... 
වැඩියෙන්ම ගැටවර-ගැටවරියන්ගෙන්. 
හැබැයි මේ ජෝන් ද සිල්වා සමරු රඟහල ජෝන් බාස්ට යවන්නට ගොඩාක් ඉස්සරය. 
1990 නොවැම්බරයේය. 

පැහැපත්, කඩවසම් තරුණයෙක් මයික්‍රෆෝනය ඉදිරියේය. හැඟීම්බර හඬකි ඔහුගෙන් නිකුත් වන්නේ.
දෑස නොපෙනෙනා හින්දා - මගේ පොතේ අකුරක්වත් - අප්පච්චී දකිනු කොයි ලෙසින්..........
"දෑස නොපෙනෙනා හින්දා - මගේ පොතේ අකුරක්වත් - අප්පච්චී දකිනු කොයි ලෙසින් - අකුරු නොදන්නා හින්දා - අප්පච්චිට අහන් ඉන්න - අම්මා කියවන්නෙ කොයි ලෙසින්.... මේ පොත අම්මාටයි අප්පච්චිටයි" කෙසඟ සිරුරු දෙකක් වේදිකාවේ. 

තාත්තා සුදු සරමකින් හා කමිසයකින්, අම්මා ඔසරියකින්.... 
හරිම චාම් විදියට; අහිංසක අයුරින්... 
හරියටම මොනවද වෙන්නේ කියලා මට දැකගන්න බැරිවුණා. 

ඇස් කෙවෙණි දෙක පුරා උතුරා යන කඳුළු හින්දා. මට හොඳටම විශ්වාසයි එහෙම නොවුණු කෙනෙක් එදා ඉන්න නැතිව ඇති. අප හැමෝම එහෙම ඇඬෙව්වේ ඔහුයි.

පෙරහැර එන බව කියන්නේ කසකරුවන්ය. ඒ මුලින්ම ඇවිත්ය. 
මුලින්ම ආවේ ලීල් ආනන්ද ගජනායක හා සගයෙකි. ඒ සරසවි නිර්මාණ රංග පීඨය වෙනුවෙන් අපට වැඩක් දෙන්නටය. ඔවුහු අද හුඟාක් දේසපාලුවන් ළඟ ඉන්නා අය මෙන් පාතාලයෝ නොවූහ. ඒ නිසා වැඩක් දෙන්නට ආවත් මම බිය නොවීමි. 
එදා ඇතිවුණු හිතවත්කම මත ගජනායක සර් තම ගෝලයන් හතර-පස් දෙනෙකුම මුද්‍රණාලයේ වැඩ පුහුණුවට එව්වේය. 

දිගු කලක් අල්ලා හිටියේ හතර දෙනෙකි. රෝහණ, නිහාල් සේනක, විපුලසිරි හා නලින්ය. උපුල්ට අපේ ප්‍රෙස් එක ගැන රෙකමන් කරන්න ඇත්තේ ලීල් සර් හෝ ඔවුන් හෝ විය යුතුය.

හැම වසරකම සරසවි නිර්මාණ රංග පීඨයෙන් සමාන උළෙලක් පවත්වන ලීල් ආනන්ද ගජනායක...............
සරසවි නිර්මාණ රංග පීඨයෙන් හැම වසරකම සම්මාන උළෙලක් පවත්වයි. එයින් කිහිපයක්ම බලන්නට මටත් ප්‍රෙස් එකේ සගයන්ටත් ඇරැයුම් ලැබිණි. නරඹන්නටත් ගියෙමි. 

එයින් එකකදී කැහැටු යව්වනයෙකුගේ දස්කම් දැක්කෙමි. 'සොල්දාදුවා සහ හඳ එළිය' නාට්‍යයේ ඔහු රඟපෑවේය. ඔහු එයින් කලකට පසු 'අරුන්දතී' නම් අතිසාර්ථක නාට්‍යයක් වේදිකාවට ගෙනාවේය. එයින් වහවැටුණු මම ඔහු මුණගැසෙන්නට මඟක් පාදා ගත්තෙමි. අප හමුවුණේ විජේරාම හන්දියෙන් උඩහමුල්ලට දිවෙන පාරේ තිබූ කුමුදුලාල්ගේ නිවසේදීය.

මම එවකට 'පිවිතුරු' පුවත්පතට විශේෂාංග පිටු කීපයක් ලියමින් සිටියෙමි..... ඔන්න අංජන ඔයාටත් ලෙඩක් දාන්නයි හදන්නේ! තරහ ගන්න එපා. අපි කාටත් අපේ තරමට වඩා දෙයක් කරන්න අවසර ලබාගන්න කොච්චර දුෂ්කරද කියලා මං දන්නවා.

'පිවිතුරු' සංස්කාරක වුණේ අංජන ඉන්ද්‍රජිත්ය. අද අංජන 'ලක්බිමට' කාටූන් අඳියි. මගේ බ්ලොගය ගැන ඉස්-ඉස්සෙල්ලාම සුබ පැතුවෙත් අංජනය.

කුමුදුලගේ ගෙදරට ආ තුමිඳු දොඩන්තැන්න ඉතා නිරහංකාරව මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. 

අරුන්දතී නාට්‍යයේ foto කිහිපයකුත් මට දෙන්නට තරම් තුමිඳු නිහතමානි වුණේය
මතක හැටියට නම් 'අරුන්දතීගේ' ඡායාරූප දෙකකුත් දෙන තරමට නිහතමානිත් වූයේය. මම තුමිඳු ගැනත්, අරුන්දතිය ගැනත් විශේෂාංගයක් ලියාගෙන අංජන හමුවීමි. 

" ආටිකල් එක නම් හොඳයි නිමල් අයියා. හැබැයි මෙයා ගැන තවම කවුරුවත් දන්නේ නෑ නේද? ප්‍රසිද්ධ දෙතුන් දෙනෙක් ගැනම කරපු ආටිකල්ස් වගයකුත් තියෙනවා. අපි ඒවා යැව්වට පස්සේ මේක දාමු!" අංජන මට කිව්වේය. 

මම කීකරු වීමි. ඒ 'පස්සේ' අද වෙනතුරුත් ආවේ නැත.

හැබැයි තුමිඳු ඉස්සරහටම ගියේය. 'සංඛාරා' එකෙන් 'කූඹියෝ' එකෙන් 'සහෝදරයා'ගෙන් නළු ලොව දිග්විජය කළේය. 
එදා මා ඔහුට බොරුවක් කළා යැයි ඔහු සිතන්නට ඇත. 
ඒ ලජ්ජාව නිසාම මම ඊට පසු තුමිඳුව මඟ හැරියෙමි. 

ඉතින් අංජන, මේ හපනාගේ පළමු මුද්‍රිත සම්මුඛ සාකච්ඡාව කළෙමුයි උදම් අනන්නට අපට තිබුණු චාන්ස් එක අපිම මිස් කරගත්තෙමු!

මේ දක්ෂයාගේ පළමු මුද්‍රිත සම්මුඛ සාකච්ඡාව කළෙමුයි උදම් අනන්නට............
නිදිගේ පංච තන්තරේ හැටි දන්නා නිසාම දැන් නම් කවුරුන්වත් මේ වට-වලංගුවේ යාම පිළිබඳව උරණ නොවෙතත් මා කියන්නට ආ උපුල් ගැන ලිවීම යළි ඇරඹිය යුතුය. ඔන්න එහෙනම්....

මා දැක ඇති, මට හමුවී ඇති, තමන්ගේ තරම තමන්ම දන්නා, හොඳම දක්ෂයන් අතර සුවිශේෂී තැනක ඔහු වැජඹෙයි. ඉතින් උපුල්, මේ පූර්විකාව ලියුවේ ඔබව තම්බන්නට නම් නොවේ.

දැන් උපුල් කොහොමදැයි කියා නම් මා දන්නේ නැත. කිත්-යසස්, වස්තුව-වළඳුව, ධනය-බලය පමණක් නොව කාලයත් ඔබට බලපාන්නට ඇත. සමහරවිට ඔබ වෙනස් වෙලා වන්නටත් ඉඩ තිබේ.

මා දන්නේ ඒ දවස්වල උපුල්ගේ, උපුල් ශාන්ත සන්නස්ගලගේ හැටිය! ඒ දැනුම අප්ඩේට්වී නැත. සීතල හපුතලෙන් කාස්ටක ගෙන්දගම් පොළොව පාගන්නට ඇවිත්, කොළඹම පැළ-පදියම්වූ උපුල් දක්ෂකම නිසාම ලක්ෂෙට කොඩි දැමූ අයෙකි.

වසර ගණනකින් අප හමුවී නැත. කතාබහ කරලාත් නැත. මට හිතෙන්නේ හාට් ඇටෑක් එකෙන් පසු උපුල් ව්‍යාපාර කටයුතු පුතාලාටවත් පවරලාදෝ කියායි.

මගේ ගෙදර සෑදූ අලුත රසාංගිත් එක්කම උපුල් මෙහේ ආවේය. රසාංගි ආවේ දෙන්නෙක් විදියටය. එහෙම කිව්වේ හායි කියා  බඩකුත් උස්සාගෙන ආ නිසාය. කුසේ හිටියේ ඔවුනගේ කුළුඳුල් දරු පැටියාය. උපුල්ලා ක්ලිනික් යන ගමන් මෙහි කඩා වැදුණහ. එකල පන්නිපිටියේ කුලී නිවසක සිටි උපුල් අද සුවිසල් මන්දිරයක වැජඹෙයි. දෛවය ඔහු හා වැඩියෙන් සිනාසුණා වැන්න. 
උපුල් ශාන්ත සන්නස්ගල එක්ක දෛවය වැඩියෙන් හිනාවෙලා.........
අප මුලින්ම හමු වුණේ අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේදීය. මම එවකට එහි කළමනාකරු වීමි. උපුල් අංකුර ටියුෂන් මාස්ටර් කෙනෙක් විය. 
එහෙත් මන බඳින, සිත් සොරාගන්නා ශෛලියකින් අත් පත්‍රිකා ප්‍රින්ට් කරවා ගන්නට ආ ඔහු අපේ ලොකුම කස්ටමර් කෙනෙක් විය. 
මුද්‍රණ ශිල්පයට නවකයෙකුවූ මටත් උපුල්ගේ 'මුස්ලිම් ටෝක්' එක අල්ලලා ගියේය. ඊළඟට ටියුට්ස්...

පත්තර ලෑලි පිරෙන්නම මල් පත්තර වැස්සක් වැස්සේ ඒ සමයේදීය. උපුලුත් 'කුමරි' පත්තරයට ලියමින් සිටියේය.

"නිමල්, ..........දා උදේ ..........ට ඔයා කුමරි කන්තෝරුවට එන්න ඕනේ. මං නවකතාවක් ගහන්නයි යන්නේ. ඒකෙ අත් පිටපත බන්දුල පද්මකුමාර මහත්තයාගේ අතින් සුබ නැකතට ඔයාට බාර දෙන්නයි යන්නේ. ධම්මිකගේ කවි පොතත් එදාටම ඔයාට දෙනවා."

දිනක් ප්‍රෙස් එකට පැමිණි උපුල් මට කීවේය. කුමරි කාර්යාලය තියෙන්නේ අසෝකා සිනමාහලත් එක්කම බවත් කිව්වේ මට පාර හොයාගැනිල්ල පහසු කරවන්නටය.

අපේ පොත් දෙකේ අත් පිටපත් නැකතට ඔයාට දෙනවා 'කුමරි' කන්තෝරුවේදී බන්දුල පද්මකුමාර මහත්තයා ..........
අසෝකා සිනමාහල මට මතක තිබ්බේ මුල්ම සරසවිය සම්මාන උළෙල පැවැත්වූ තැන වශයෙනි. මගේ මතකය නිවැරැදි නම් සම්මාන උළෙල සඳහා වෙනත් සිනමාහලක් ලබා ගැනීමට අසීරුව තිබියදීලු අසෝකා අයිතිකරුවන් ඊට ඉඩ ලබාදී තිබෙන්නේ.

කොච්චර කොළඹ කරක් ගැහුවත් මා වේල්ස් කුමාර වීදිය පැත්තේ ගිහින් තියෙන්නේ කලාතුරකිනි. 
ඒත් නියමිත දවසේ, නියමිත වෙලාවට එහි ගියෙමි. එක්කෝ කුමුදුලාල් එක්කය, නැතිනම් නෙවිල් එක්කය.
(ඒ මං මෝටර් සයිකලයක් නැතිව හෙල්මට් පහක් මිලදී ගෙන වාර්තාවක් තබන්නට පෙරයි. සවිස්තරව දැනගන්න නම් "කූචු කුචයියෝ" පෝස්ටුව බලන්න.)
ඒ දෙන්නාගෙන් කාගේ හරි මෝටර් සයිකලයකය. 
ඒ අතින් නම් සන්නස්ගලත් ඒ දවස්වල මගේ වල්ලේමය. ඔහු ප්‍රෙස් එකට ආවේ ඇතාකඩගේ සයිකලයේ පිලියන් රයිඩර් ලෙසින්ය.

'සම්මාන හම්බ වෙන බව දන්නවා නං මොනවා හරි කියන්න......' අයිරාංගනී සේරසිංහ එදා කීවාය....
1967 දී පැවැත්වුණු සරසවිය සම්මාන උළෙල අයිරාංගනී සේරසිංහ; අපේ ආදරණීය නිළියට විශේෂ මතකයක් වෙන්නැති. ඇයට එදා හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ 'ඔබ දුටුදා' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. එදා වේදිකාව උඩදී නිවේදක මහත්මයා ඇගෙන් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්. 'ඔබ මොකද කියන්නේ මේ ලද සම්මානය ගැන?'

එහෙම වෙලාවක බොහෝම අය නම් පඬි ටෝක් දෙනවා. ඒත් මේ උගත්, ද්විභාෂික, වංශවත් නිළිය දුන්නේ මෙහෙම උත්තරයක්. ''අනේ, මොනවා කියන්නද? සම්මානයක් ලැබෙන බව දැනගෙන හිටියා නම් මොනවා හරි කියන්න ලෑස්තිවෙලා එන්නවත් තිබුණා!"

ඒ වගේමයි, මෙහෙම බ්ලොග් එකක් ලියන්න හීනෙකින්වත් හිතාගෙන හිටියයැ. එහෙම හිතාගෙන හිටියා නම් ඒ දවස්වල ඉඳලම සූදානම් වෙනවනේ. දැන් ඉතින් මතක ටිකෙන් ලියනවා.

උපුල් යකෙකි! නියම යකෙකි. මට එහෙම හිතුණේ උපුල් මෙහෙම කී විටය. "නිමල්, අපි පන්දාහක් ගහමු!"

වැරැද්දක් අහු වුණොත් හදලා දාන්න!
නැකතට බන්ධුල පද්මකුමාර මහතා 'සරසවි දියණියෝ' අත් පිටපත මගේ අත තැබුවේය. ඊළඟට ධම්මික බණ්ඩාරගේ පොතේ අත් පිටපත. 'අහෝ මිත්‍රවරුනි'. එය මා'තට දුන්නේ අජන්තා රණසිංහ මහත්මා හෝ ආතර් යූ. අමරසේන මහතා බව මතකය මට කියතත් එය හරියටම නිනව් නැත.

හැබැයි 'සරසවි දියණියෝ' මුද්‍රණය මට ලැබුණු බරපතළ දඬුවමක් විය. ඒ ගෙවීම් කෙරෙද්දීය. උපුල් ගනුදෙනුවලට හොරෙක් නොවීය. එහෙත් නිතරම ගෙනාවේ රුපියල් දෙකේ, පහේ, දහයේ නෝට්ටුය. 
හිතන්නකෝ, දෙකේ කොළ පන්සීයකින් රුපියල් දාහක් ගෙවද්දී.....ඒත් මා නහයෙන් ඇඬුවේ නැත. කටේ කෙළවලින් නෝට්ටු නහවමින් සල්ලි ගණන් කළෙමි. උපුල්ම සෝදුපත් බලන බව කීවද මුල් පෘෆ් එකත් මමම බැලුවෙමි. අන්තිමට ඒ දවස්වල උපුල් කලබලයෙන් ලියාගෙන එන ටියුට්ස්වල සිංහල වැරැද්දක් තිබුණත් එ්ක හදලා දාන්නැයි මටම වගකීම පැවරිණි.

මා දන්නා තරමින් ඒ පොත අච්චු ගැහුණෙත් අමුතු සයිස් එකකටය.

මොකක්ද යකඩෝ මේ අමුතු සයිස් එක කියලා නේද හිතුණේ? හිතන්න... දිගටම... ඊළඟ කොටස කොටලා දානකන් හිතන්නකෝ!

2 comments:

  1. මුස්ලිම් ටෝක් ... තුමිඳු කලාව පැත්තෙන් දුර ගමනක් යන්න පුළුවන් මනුස්සයෙක් .. ඒත් වාණිජමය වශයෙන් වගක් නැතිව ලංකාවේ එහෙම බලාපොරොත්තු තියාගන්න පුලුවන්ද ? සන්නා හැම දේම වෙනස්වන සුළුයි, අනිත්‍යයි කියා ඔප්පු කරමින් සිටියි... අන් බොහෝ දෙනා වගේම ප්‍රසිද්ධිය, සල්ලි හෝ බලයට ඇති කෑදරකම ඔහුව වෙනස් කරා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතිහාසය විසින්ම තීරණේ කරයි, නේද.

      Delete