අකුරු මැකී නෑ

Thursday, May 3, 2018

අජාසත්ත - හතරවෙනි කොටස

"මොකක්ද තාත්තේ?" මම ඇහුවා.

.....එහෙමයි......'ආලෝකය දැක යන්න- බාධක බිඳ ජයගන්න- හිනැහී ජීවය සරු කරගන්න' මඟ මගේ ඉදිරියේ  හෙළිවුණේ!

ආලෝකය දැක යන ගමන පටන් ගත්තේ එහෙමයි.............
තාත්තාගෙ උත්තරෙයි; ඒ කතාවයි වෙනමම කියන්න ඕනේ එකක්. පස්සේ කියනවාමයි. දැන් අජාසත්ත ඉවර කරලා ඉන්න ඕනනේ. කතාවට දාන්න නම් දෙකකුත් හිතලා තියෙන්නේ. 'පදික වේදිකා පසුකර යන්නට...' හෝ 'පදික වේදිකාවේ රජ වී...' කොයිකද හොඳ? පස්සේ මීටත් වැඩිය හොඳ එකක් ඔළුවට එයිද මන්දා.

ඒකෙන් මට නිවනක් ඇත්තෙම නැතිව ගියා. හැබැයි අපි කාගෙ-කාගෙත් බඩවල්වල රැලි දිග ඇරෙන්න ගත්තා ඒ පාරෙන් යද්දී......

රාජාභරණ හදන්න පුළුවන්නේ පුංචි වියදමකින්. රත්තරන් ඕනෑත් නෑ. කාඩ්බෝඩ් ටිකකුයි, ලැකර් තීන්ත ටින් දෙක-තුනකුයි, සිල්වර් ඩස්ට් කෑලි ටිකකුයි තිබුණාම හොඳටම ඇති. එක ඔටුන්නක් දෙකක් විතරයි තාත්තා හැදුවේ. ඊළඟ ඒවා මං.

රාජාභරණ මොකුත්ම උවමනා නොවුණේ විමලසිරිට විතරයි. එයා හිටියේ දේවදත්ත හාමුදුරුවන්ටනේ. අපි එයාට සිවුරක් ඉල්ලාගත්තේ විවේකාරාම පන්සලේ නිකගොඩ මුදිත හාමුදුරුවන්ගෙන්. ලොකු සාදු; මංගල හාමුදුරුවන්ට හොරෙන්! සිවුර  අඳින හැටි තාත්තට ඉගැන්නුවෙත් මුදිත හාමුදුරුවන්මයි. කොච්චර වලි කෑවත් විමලෙට සිවුර අඳින හැටි පුරුදුවෙන්න බැරි වුණා. අපරාදේ කියන්න බැහැ, නාට්‍යයට කලින්දා විමලෙ තට්ටෙත් ගෑවා. ඒක නිසාද මන්දා නාට්ටිය දවසේ විමලෙ දඟලලා සිවුර ගලවාගන්න වාරයක් ගණනේ සිවුර ඇන්දෙව්වත්, තාත්තා විමලේට බැන්නේ නෑ.  

දේවදත්තට ඕනේ නැති වුණාට බිම්බිසාරට, අජාසත්තට රාජාභරණ එපැයි!
දේවදත්තට ඕන්නැති වුණාට අපට රාජාභරණ ඕනිනේ. මං එව්වා හැදුවා.
අපේ රාජාභරණ මෙච්චර ලකේට නෑ.  

මුලින්ම ඕනෑ කරන හැඩය ඇඳගන්නවා, කාඩ්බෝඩ් එකේ. ඊළඟට පරිස්සමින් එ්ක කපලා වෙන් කරගන්නවා. කාඩ්බෝඩ්වලට ගොඩක් තීන්ත උරාගන්න නිසා ලැකර් නැතිව තව මොනවා හරි ගෑවා කියලා මතකයි. ඒකේ නම අමතකයි. මං හිතන්නේ 'රෙඩ් ලට්' තිනර්වලින් දියකරලා හදාගත්ත එකක්! හැබැයි ඒකත් ගානකොටම රිදී කුඩු ටිකක් ඉහින්න ඕනේ. 

අපි ගෝල්ඩ් ඩස්ට් ටිකකුත් ගෙනල්ල ඉහලා බැලුවා. ඒත් රත්තරන්වලට වඩා රිදී දිලිසුණා!

'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ' කියමන අහලා ඇතිනේ ඕනේ තරම්. ඒත් එ්වා ගැන හොඳම පිංතුරයක් මීටර් වුණේ  වික්ටර් අයිවන් මහතා ලියූ 'චෞර රැජින' පොතෙන්. 

මෙන්න ඒවාට පාදක වූ උපුටන කීපයක්. මේවා මං විශ්වාස කරන්නේ අද වෙනතුරු, කවුරුන්වත් මේවා අසත්‍යයි යනුවෙන් කියලා නැති නිසායි.

වික්ටර් අයිවන් ලියලා තිබුණු තොරතුරු අද වෙනකල් බොරුයි කියන්නට.....
'රටේ මෝඩ ගෑනු තමන්ට සල්ලි තියෙන බව පෙන්වන්න ඇඟ රත්තරන්වලින් පොරවා ගන්නවා. ඒත් ජනාධිපතිනි චන්ද්‍රිකා කරේ දාන්නේ රත්තරන් මාල නෙවෙයි. දිස්නේ ගහන්නේ නැති ඇට බෝල මාල. අපේ රටේ මෝඩ මිනිස්සු හිතන්නේ අපේ රටේ නායිකාව කොච්චර හොඳද? එයා පළඳින්නේ ඉමිටේෂන් මාල කියලා. මිනිස්සු දන්නේ නැහැ චන්ද්‍රිකා පළඳින කිසිම වටිනාකමක් නැති ඉමිටේෂන් මාල විදියට පෙනෙන ඇට බෝල මාල රත්තරන් මාලවලට වඩා විසි තිස් ගුණයකින් වටිනා බව...'

'ඔහු ඉන් පසු ව ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන පැළඳි ගෝල්ඩ් රොලෙක්ස් අත්ඔරලෝසුව ගැනත්, ජනාධිපතිනි චන්ද්‍රිකා පළඳින 'පතේ පිලිප්ස්' අත්ඔරලෝසුව ගැනත් විමර්ශනයක යෙදුණේය.

"'ඉස්සර මෝඩ සල්ලිකාරයෝ කටේ දත්වලට රත්තරන් කොපු දානවා. ජේආරුත් ඒ වගේ කෙනෙක්. අතේ බැන්දේ 'ගෝල්ඩ් රොලෙක්ස්' ඔරලෝසුවක්. ඒක රත්තරන් ඔරලෝසුවක් බව ඕන කෙනෙකුට පේනවා. ඔහු සමහර පින්තූරවලට පෙනී හිටියෙත් රොලෙක්ස් ඔරලෝසුව පේන විධියට.

ඔයාලගේ චන්ද්‍රිකා ඊට වැඩියෙන් කට්ටයි!
'''ඔයාලගේ චන්ද්‍රිකා ඊට වඩා කට්ටයි.......... ගෝල්ඩ් රොලෙක්ස් ඔරලෝසුවක අද වටිනාකම රුපියල් ලක්ෂ තුනක් හෝ තුනහමාරක් වෙන්න පුළුවන්. නමුත් චන්ද්‍රිකාගේ අතේ තියෙන්නේ 'පතේ පිල්ප්ස්' ඔරලෝසුවක්. එය බැලූ බැල්මට කිසිම වටිනාකමක් නැති ඔරලෝසුවක් ලෙස පෙනුණත්, ඒකෙ වටිනාකම ආරම්භ වෙන්නේ මිලියන දෙකකින් විතර..........(157-158 පිටු).

ගාමන්ට්වල සන්නාලි කන්‍යාවියොයි, 'පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ' කියලා තාත්තලා විසින් අමතනු ලැබෙන දමිළ යුවතියොයි පොර කකා ගන්න ඉමිටේෂන් මාල විකුණන සාප්පු - පේව්මන්ට් තට්ටු දැන් හැමතැනම. ඒ හින්දාද මන්දා දැන් කාලේ වටිනාකමක් නැති දිලිසෙන දේවල්වලටම තැන ඇවිත් තියෙන්නේ!

කොහොම වුණාම මොකෝ, අපේ රාජාභරණ ඔක්කොම නාට්‍යය දවසේ නියමෙට දිලිසුණා, වේදිකාව උඩදී. හැබැයි ඒවා ඇඳ-පැළඳගෙන රජවරු- කුමාරිකාවෝ වගේ උජාරුවෙන් දිලිසුණාට අපි කාගෙ-කාගෙත් බඩවල්වල පිරිලා තිබුණේ නුගේගොඩ ඇන්ටිලගේ ගහේ කොස්! වුණේ මේකයි. 1966 පොසොන් පෝය දවස වෙනකොට අපේ අය-වැය බොහෝම අමාරුවෙන් දත කාලාවත් බැලන්ස් කරගන්න බැරිවයි අපි හිටියේ. හරියට අද ඉන්න මුදල් ඇමැත්තන්ලා වගේ අපිත් බැඳුම්කර මගඩි කරන්නයැ? බදු වැඩි කරන්නයැ? ඇහැක් හැම විදියෙන්ම පිරිමහගත්තා.

එදා දවල්ට අපේ ගෙදර ලොකු කොස් හැළියක් තැම්බුණා. කරවල කටු හොද්දකුත් ඉදුණා, සුවඳ ගගහා. ඉව්වේ අපේ ආච්චියි, අම්මයි, අනුලා ඇන්ටියි, නුගේගොඩ ඇන්ටියි, සිරිමා අක්කයි, ජයන්ති අක්කයි එකතු වෙලා. සිරිමා කිව්වේ ජයන්තිගේ අක්කා. එයාලා දෙන්නගෙම අයියා තමයි මහරගම චුට්ටේ අයියා. චුට්ටේ කියන්න ඇත්තේ කඳ-බඩ-උස-මහත හැම විදියෙන්ම චුට්ටියට හිටි නිසා වෙන්නෝනේ. ඒත් මහරගමට හිටි චණ්ඩි රංචුවේ එයාත් හිටියා. බේබි, පාල, මරු සිරා තමයි මට මතක අනෙක් තුන්දෙනා.

ඉස්සර නාට්ටියක් නටද්දී...............
ඇත්තටම සිරිමා අක්කේ, කතා කරද්දී හූස්-හූස් ගගා සද්දෙට ඇද-ඇද කතා කරන ඔයා වගේ වෙන කවුරුවත් මම තවම දැකලා නෑ. ඇයි, මහ සද්දෙට දාන කැකිරි හිනාව. අනේ, කීයක් දීලා හරි ඒ කාලෙට යන්න පුළුවන් නම්?

මට දැන් බයෙත් බැහැ. මේ මං කියන සමහරු නම් තවමත් යහතින් වැජඹෙනවා. අනේ, ඒ කාට-කාටත් දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව අත්වේවා! ඒ මහත්තැන්ලා- නෝනා මහත්තැන්ලා වගෙම එයාලගේ දරු-මුණුබුරෝත් මේ වාගේ හෙළිදරව්වකට කැමැතිද දන්නේ නැහැනේ. සත්තයි, කාටවත්ම මදි-පුංචිකමක් කරන චේතනාවක් මගෙ හීනෙකවත් නෑ. එකම චේතනාව සත්ත සනිටුහන් කිරීම විතරයි. එ්කේදී මාත් එක්ක බැඳුනු සිය-දහස් ගණනක් හිටියාට- ඉන්නවාට මොකද කරන්නේ? ඊටත් මෙච්චර කාලෙකට පස්සෙත් මේ තරම් සජීවීව....

නුගේගොඩ ඇන්ටි, අපේ තාත්තට කිව්වා ඕනෑ තරමක් කොස් කඩාගන්න. කරවල කටු නම් ගෙනාවේ සල්ලිවලට. වනාතෙ වත්තේ පොල් වගයක් එයිට කලින්දාම රෑ අපේ ගෙදරට වැඩම කරවලා තිබුණා දේවදත්තයි, මහ ඇමැතියි, අපේ සුනිලුයි, තව කීප දෙනෙකුයි  එකතු වෙලා.

අනේ ඩී.කේ.ආර්.! තමුන්නැහේ ලංකාවේ ඉන්නවා නම් මෙලහටත් මගේ බ්ලොග් එකට චිත්‍ර අන්දාගන්න මං ඔහේ ඇවිල්ලා.

අපි ඩී.කේ.ආර්. කියලා කෙටියෙන් කිව්වාට එයා ඩී.කේ. රවීන්ද්‍ර චන්ද්‍රලාල්. 'යුක්තිය' පත්තරේ පිටු සැකසුම් ශිල්පියා විදියටයි වැඩ කළේ. 1996 ජපුරේ ජන සන්නිවේදන ඩිප්ලෝමාව හදාරලා ඉවර වෙලා මනුස්සයාම තමයි මාවත් ඒක හදාරන්න, බලෙන්ම තල්ලු කළේ. ඩී.කේ.ආර්. නිබන්ධනය ඉදිරිපත් කළේ කාටූන් පිළිබඳව. හැබැයි ඒකෙ එක කාටූන් එකක්වත් නෑ.

මම නිබන්ධනයට ඉදිරිපත් කළේ කෙටි නවකතාවක්. 'ඉඳ ඉඳ එක ගෙදර'. දවස් දාහතරක් ඇතුළත ලියලා, ටයිප් සෙටින් කරලා, පොත බැඳලා සේරම කරගත්තේ. පාඨමාලාව හදාරද්දී යාළුවුණු ඩඩ්ලි, විජේසිංහ, මහින්ද, සුසන්ත හා වතුරුවිල සිරි සුජාත හාමුදුරුවන් වහන්සේ, බදුල්ලේ සිරිසේන බාප්පා, මහරගම පද්මපෙරුම අංකල්, උපාලි, වාසිත, කාන්ති, ප්‍රියන්ත, අජන්ත, මර්වින්, නෙවිල්, නිශාන්ත, දුමින්ද ලැනරෝල්, පාලිත සමන් කුමාර, සුනීතා කරුණාරත්න.....මගේ අම්මෝ.... කී දෙනෙක් නම් උදවු කරලාද?


වමේ සිට දකුණට: ප්‍රියන්ත, නෙවිල්, මර්වින්, සම්පත්, නන්ද කුමාර, සාන්ත, පීරිස්, හක්ස්ලි, හරිස්චන්ද්‍ර හා මම   
එක-එක විදියෙන්...මං කියන පරක්කුවෙන් ඩී.කේ.ආර්. මට ඕනේ කළාටත් වඩා අපූරුවට චිත්‍ර පහක්ම ඇඳලා දුන්නා. එතකොට 'පැටී', එයාගෙ මහත්තයා ඒවා අඳිනකල් බලා හිටි මට උපරිමෙන්ම සංග්‍රහ කර-කර පාලු කැපුවා. හිටි ගමන් ලංකාවෙන් අතුරුදහන් වුණු ඩී.කේ.ආර්. 2017 දවසක මාව බලන්නත් ඇවිත් ගියා. මිනිහා දැන් ඇමරිකාවෙලු. DKR, මෙන්න අර තරම් අගනා චිත්‍රවලින් ඕං මං ආපහු වැඩ ගන්නවා. දෙකක් මුලින්ම ගත්තා.

'ගස්සලා යවමුද-2' හා 'නීච කුමන්ත්‍රණේ' පෝස්ටු දෙක බලන්නකෝ, එතකොට පෙනෙයි. ගොඩක් ස්තුතියි, හොඳේ!

ඉතින්, අජාසත්ත මුල්ම වතාවේ නාට්ටිය හින්දා අපි සමහර දේවල් අනාගත්ත වගෙත් වුණා. මේ වැදගත්ම එකක්.

ලවුඩ්ස්පීකර් දාන්න නම් පොලීසියෙන් අවසර ගන්න ඕනි කියලා අපි දැනගත්තේ අන්තිම ආවත්තෙටම ඇවිත්. ඒකට තාත්තා මාව පොලිසියට යැව්වේ දේවාල පාරේ ෆොන්සේකා මහත්තයා එක්ක. මෝටර් සයිකලේකමයි ෆොන්සේකා  මහත්තයා එහෙ-මෙහෙ ගියේ. මං කවදා හුටු-හුටු පොජ්ජක මංගච්චපු එකක්ද. මෝටර් සයිකලේ පිටිපස්සෙන් වාඩිවෙන කෙනාටත් කකුල් දෙක තියාගන්න ෆුට්රෙස්ට් තියෙනවා කියලා මං දන්නවයැ? මං වාඩි වුණා. මෝටර් සයිකලය ගැස්සිලා ඉස්සරහට පැනල ඇද්දුණා. තක්බීර් වෙලා හිටි මං තව පොඩ්ඩෙන් දොන්ත පතෝඃ බිමටම. ඒක දැක්ක තාත්තට නිකම්ම කෑ ගැස්සුණා. "හා, හා, රංජි කකුල් කකුල්" කියලා. වස ලජ්ජාව! සයිකලය නවත්තපු ෆොන්සේකා මහත්තයා කකුල් තියාගන්න හැටි මට කියලා දුන්නා.

නගර සභාවෙනුත් මොකක් හරි අවසරයක් ගන්න වුණා. ඒකේදිත් තුන්හතර වතාවක් රස්තියාදු වුණේ මමමයි.

ලොකුම අවුල ආවේ වේදිකාව ගහන්න යද්දී. පෝය දවසට කලින් දවසෙයි තාත්තා ස්ටේජ් එක ගස්සවන්න ගියේ, කට්ටියත් එකතු කරගෙන. මෙන්න බොලේ පැය භාගයක්වත් යන්න කලින් පිරිසෙන් 75% ක් ආපහු එනවා. 'ස්ටේජ් ගහලත් ඉවරද?' කියලා අහගෙන මං පෙරමඟටත් ගියා.

"පිස්සුද රංජි. මාර වැඩේ, හෙට නාට්ටිය පෙන්නන්නත් බැරිවෙන්නයි යන්නේ."
"ඇයි....ඇයි?"

"විල්මන් අයියගේ වින්කලේට අදත් බිස්නස් නැති වෙනවාලු අද ඉඳලාම ස්ටේජ් එක ගහන්න ගත්තොත්. ගහන ඕනෑ අටම්පහුරක් හෙට ගහගන්න කිව්වාලු."

"......ඉතින් කෝ තාත්තා?" කට්ටියටම අපහු ගෙදරට යන්නැයි කියා තාත්තා ලියනගේ මාමාව හොයන්නට ගියාලු. අතරමැදියාව හිටි ලියනගේත්, තාත්තාත්, විල්මන් අයියාත් කොහොම මොනවා කතා වුණාදැයි අපි ඇහුවේ නැත. ඒ එදාම හවස් වරුවේ ස්ටේජ් එක ගහගන්නට අවසර ලැබීමෙන් ඔකඳ වෙවී හිටි හින්දයි.

66 පොසොන් පෝය දවසේ අපි මහරගම නගරයේ රඟ දැක්වුණු පළමු නාට්‍යය; අජාසත්ත වේදිකාගත කළා. සූ ගාලා විසිපහක් නෙවෙයි දාහක්-හමාරක් පොදි කකා නාට්‍යය බැලුවා.

අපි ඒ සින්දුව කියලා තියෙන්නේ කොච්චර වැරදියටද?
ජයන්ති අක්කේ, ඔයාට මතකද ඔයාම ඇහුවා එක ෂෝ එකකදී විතරක් බිම්බිසාර දේවියගේ කොටස කරන්නද කියලා. ඔයා හිටියේ රාජ සභාවේ නාටිකාංගනාවට. නැටුවේ 'මල් පොඩි පිපිලා වසන්ත කාලේ..' සිංදුවේ මියුසික් එකට. 
අර 'පරාස්මනි' හින්දි ෆිල්ම් එකේ අත්ත හුවාලෝ රංග චුනෙහරා' සින්දුව කොපි කරලා හදාපු එක. 

අයියෝ, දැන් නම් ලජ්ජාවේ බෑ. සින්දුවෙ  වචන හරියට කියනවා නම්....Hansta hua noorani chehera…. හරියට නෙවෙයි, එහෙම කිව්වත් මදැයි. අපට රේඩියෝ තිබුණයැ. කැසට් තිබ්බයැ. ඉඳහිට ඇහෙන වෙලාවක වචන අහුලා ගන්නවා මිස. ඉතින් ජයන්ති අක්කේ, අපේ තාත්තත් හරි සතුටෙන් ඔයාට දේවින්නාන්සේ වෙන්න කියලා මට නාටිකාංගනාව වෙන්න කිව්වා.

ජයන්ති අක්කා බිම්බිසාර දේවිය වුණු හැටි 'අජාසත්ත' පස්වෙනි කොටසෙන් කියවමු, හොඳේ?                                                

2 comments:

  1. මරු සෙට් එකක්නෙ නිමල් අයියගෙ අහල පහළ සහ යාළුවො සෙට් එක. අතිජාත මිත්තරය නෙවිල්ව නං එදා අඳුර ගත්තනෙ ... ආපහු පාරක් කට්ටියම එකතු කරගෙන බජව්වක් දාන්න ඕන උනා මේ ඩිංග කියවල ඉවර වෙනකොට ... හැබෑට එන සැරේ නිමල් අයියව සියළු ඩියුටි වලින් නිදහස් කරල ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට තමයි ගෙන්නන්නෙ :-D

    ReplyDelete
    Replies
    1. කෝ කණ්ඩො, ඔයා එන්නේ කඩදහිය ළිපේ දාලනේ.

      Delete