අකුරු මැකී නෑ

Sunday, May 13, 2018

ගස්සලා යවමුද -තෙවෙනි කොටස

ගිය වතාවේ පෝස්ටුව නවත්තපු තැන මතකයි නේද?
රටට ඕනෑ වැඩිපුර බෞද්ධයන්ද, සැබෑ බෞද්ධයන්ද?
"වැඩිපුර සිංහල බෞද්ධයන් අවශ්‍ය කාටද? කුමකටද?" අද එතන ඉඳලා......කියවමු නේද?

"ශ්‍රී ලංකාවේ පාසල් වැසී ගියත් පන්සල් වැසී යන්නේ නැත. කපුටු බෝ පැළයක් තිබෙන තැන පවා ආවාස පැලක් අටවාගත් විට පන්සලකි. මේ පර්ණ ශාලාව ටිකෙන් ටික පන්සලක් වෙයි. චෛත්‍ය, චෛත්‍ය මළු, බෝධි ප්‍රාකාර, මලසුන්, තාප්ප, ලැගුම් හල්, දන් හල්, බණ මඩු, ආවාස ගෙවල් වැනි විවිධාකාර ගොඩනැඟිලි ඉදි නොවෙමින් පවතින්නේ පන්සල් කීයෙන් කීයකද?..................

දෙදහස් පන්සීයකින් මාසයක්ම කා බී ජීවත් වන්නැයි අපට කියා, දෙදාස් පන්සීයට වැඩි වටිනාකමක් ඇති එක් උදේ ආහාර වේලක් රුපියල් අසූ ගණනකට දෙසා බාන උත්තමයන්ට විරුද්ධව කටක් අරින්නට එක කුලදේවතාවුන් වහන්සේ කෙනෙක්වත් නැත. 

ඒවා ගැන අපේ පොදු මහජනතාව නොහොත් ජහමනයාට කියා දෙන්නට 'හෙළ ජන පුබුදුවට' හැකියාවක් තිබේද?

දුටුගැමුණු මහරජතුමා දෙදරු පවුලක වැඩිමලාය. 
වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිත් දෙදරු පවුලක වැඩිමලාය. 
මේ දෙදෙනාගේම මාහැඟි කාර්ය භාරය විමසීමට නම් මෙතැන තැන නොවේ. එහෙත් අපට අදට අවැසි එවන් සුරු-විරු උතුමන්ය.

තවමත් සංඝ සමාජයේ කුල භේදය සැලකෙන්නේ නැතිද?
තවමත් කුල භේදය මත පදනම් වුණු නිකාය භේදය සිරිලක වැජඹෙයි. 

රටට පෙනෙන සේ නාස්ති කෙරෙන මුදල්, පම්පෝරි ගහන උත්සව අනවශ්‍ය නාස්ති බව ගැන විවාදයක් නැත. එවන් දේ වැඩිපුරම ඇත්තේ පන්සල්වල හා දේසපාලුවන් ළඟය. 
මා දන්නා උපාසිකා මාතාවක් දැන් කඨින පෙරහරක ප්‍රධාන දායකත්වය ලබා පෝලිමේ සිටියි. පෙරහර අලි-ඇතුන් සහිතව හොඳ සරුවට වසරින් වසර දියුණු ලෙස කෙරෙන්නකි. ඇයට දින ලැබී තිබෙන්නේ 2022 දීය."

ඔන්න පීලි පනින්නයි හදන්නේ. කියලා ඉවර වෙලා කළාම වඩා හොඳයිනේ.

දැන් පන්සල් අතර අප්‍රකාශිත යුද්ධයක් තියෙන බව ඔයාලා දන්නවාද

කඨින යුද්ධය. මේකට මැදිහත් නොවිච්ච පන්සලක් නැති තරම්. පන්සලුත් දැන් නැහැනේ. 'පන්සල' කියන වචනය භාෂාවට එන්නේ පර්ණ ශාලා කියන එකෙන්. 
පර්ණ යනු පත්‍ර, කොළ ආදියයි. ඒවායින් සෙවිලි කරන ලද්දාවූ ගොඩනැඟිල්ල පර්ණ ශාලායි. එහෙමයි පන්සල වචනය බිඳිලා ආවේ. 
දැන් කොහෙද ඉතින් පන්සල්? මයෙ හිතේ තව අවුරුදු කීපයක් යද්දී පන්සල්වලටත් රත්තරන් උළු සෙවිලි කරන්න ගනීවි!

අතු ගගා ඉන්න ඉදල හාමුදුරුවන්ගේ ඇඟට හේත්තු කරලා වැඳ වැටෙන පන්නේ උපාසකම්මලා.......
මෙව්වාට වග කියන්න ඕනේ හාමුදුරුවන්ගේ ඇඟට ඉදල හේත්තු කරලා වැඳ වැටෙන පන්නයේ බෞද්ධයෝයි.

දවසක් මං ගියා ප්‍රකාශන වැඩක් පිළිබඳව කතා කරගන්න එක්තරා ආයතනයකට. එතන සහමුලින්ම ධර්මය විකුණනවා. 
සිවුරු, අඳනකඩ, කුඩ, වටාපත්, අට පිරිකර, මුතුකුඩ, පිරුවානා පොත් වහන්සේ, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, වෛවාරන්න බණ දහම් පොත් විතරක් නෙවෙයි බුදු පිළිමත් විකුණනවා. 
එක-එක size බුදු සාදුලා, එක-එක ගණන්වලට. මගේ හිතවතා පී. මහත්තයා තමයි එතන කළමනාකාර ධුරය දැරුවේ.

"එන්න, එන්න. මෙහාටම ඇවිත් වාඩි වුණා නම්. මට මිනිත්තුවක් දෙන්න, මේ දායක මහත්තයා එක්ක කතා කරලා ඉවර කරන්න." මිස්ටර් පී. මට කිව්වා. 

තැනට, වටපිටාවට, එතන හිටි උපාසක මහත්තයාට ගැළපෙන්න මාත් බොහෝම සංවර ලීලාවෙන් වාඩිවෙලා අසංවර කන් දෙක එයාලා සමීපයටම දික් කළා.

එදා ඒ දෙන්නා කතා කළේ ලොකු පන්සලක කඨින චීවරය ගැන. පී. මහත්තයාත් උතුරන ශ්‍රද්ධා භක්තියෙන් යුතුව මාවත් ඒ කතාවට හවුල් කරගත්තා.

සමූහයකට එකම මානසික රෝගයක් වැළඳුණු විට ආගමක්........
 "..... නිමල්, මේ මහත්තයලාගේ පන්සලේ කටිනෙට අපි අමුතුම සිවුරක් මහනවා. තනිකරම අතින් මහන්නේ. 

(පවු. මට දුකත් හිතුණා. මැෂිමක් නැතිකමට අතේ මහගන්නවා වෙන්ඩ ඇති.) සුදුපාට සැටින් රෙදිවලින් අඟල් හතරයි හතරේ කෑලි කපලා, අතින් මහලා පඬු පොවන්නයි යන්නේ...."

"අම්මපා, මුන්ට පිස්සුද? හොඳට තියෙන සේද රෙද්ද කෑලි-කෑලිවලට කපලා ආයෙම පණ කඩාගෙන මහලා එකට එකතු කරන්නේ." මං හිතුවා. හැබැයි, කටේ කෙළ බිම හැලුවේ නැහැ.

මං දන්නා විදියට නම් අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සෙගෙ කාලයේ සිවුරු මහන්න ගත්තේ අමුසොහොනේ මිනී ඔතලා දාපු දළ රෙදි. 
ලේ, සැරව, ඕජස් තැවරිලා තිබුණු ඒ රෙදි තිබ්බෙත් එකම ප්‍රමාණවලින් නෙවෙයි. එව්වා හොඳට හෝදලා අරන් අවශ්‍ය ප්‍රමාණයට කපලා තමයි සිවුරු මහගෙන තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා අතින්ම.

අද සිවුරු මහන්න වෙනම එක්ස්පර්ට්ලා ඉන්නවා. 
එහෙම කීප දෙනෙක් තමයි පන්සල්වල කොන්ත්‍රාත් එකට කඨින සිවුරු මහන්නේ. 

බුදු සාදු ඉන්න කාලේ සිවුර මැහුවේ අමු සොහොනේ මිනී ඔතලා තිබුණු රෙදි ............
වැඩිය විස්තර මෙතන කොටන්න යන්නේ නෑ! 

දැනටම හතර අපායෙන් යමපල්ලෝ මඟ එනවා ඇති මේ ටික ලියාපු පාපෙට මට දඬුවම් දෙන්න. 
ඇයි, කඨින චීවරේට රෙද්ද කපන්න එකම එක කතුරු පාරක් ගැහුවත් ඇතිලු දිවිය ලෝකේ යන්න. මහත්ඵල මහානිසංස දෙන එහෙව් පිංකමක් විවේචනය කෙරීම කොච්චර පාප කරුමයක්ද දන්නෑ.

ඔහොම පන්සල්වල පිං කෙරුවාවල් ටිකාක් දැනගෙන තමා මං රොටුඹ හාමුදුරුවන්ට උත්තර බඳින්න ඉදිරිපත් වුණේ. ඉතින් නිර්මල සම්බුදු සසුන පන්දහසක් කල් රැකෙන්න නම් වැඩි-වැඩියෙන් බිහි කරන්නයි කියලා උපදෙස් දීපු උන්නාන්සේට මං මෙහෙම ලිව්වා, 'රාවය' පත්තරෙන්.  

"...............
මගේ ලිපියේ මුලින්ම ලියූ ලෙස පරතරයක් නැතිව වැඩි දරු සංඛ්‍යාවක් ලබනවිට වඩාත්ම පීඩාවට පත් වන්නේ ඒ පවුලේ දූපුතුන්ය  .......... අප ගැන නිසි ලෙස සොයා බලන්නට, උණුහුම රැකවරණය දෙන්නට අපේ දෙමාපියන්ට කාල වේලාවක් නොතිබිණි. ඒවා ලැබීම අපේ හිමිකමක් නොවිණිද?

එකී පදනමේ සිටිමින් මම පවුල් සැලසුම් සංකල්පයට කැමැත්තෙමි.......
එකී පදනමේ සිට මම 'පවුල් සැළසුම'ට කැමැත්තෙමි.

පවුල් සැළසුම යනු වඳ සැත්කමම නොවේ. එය එහි එක අංගයක් පමණි. මා දන්නා පරිදි ස්ත්‍රියක් වන්ධ්‍යාකරණයට ලක්වීමට නම් කරුණු කිහිපයක් සපුරා තිබිය යුතුය. 
  1.ඇයට අවම වශයෙන් දරුවන් දෙදෙනෙකුවත් සිටිය යුතුය. 
  2. දෙවෙනි දරුවාට වයස අවුරුදු තුනක් විය යුතුය. 
  3. මවට අවුරුදු තිස්පහ සම්පූර්ණවී තිබිය යුතුය. සන්නිවේදනය දියුණු බැවින් අවශ්‍ය ඇත්තන්ට තවත් විස්තර සපයා ගැනීම අපහසු නැත.

නාමමාත්‍රික දෙමවුපියන් නිසා උපදින කිරිසප්පයන්ට පිහිට වීමට හෙළ ජන පුබුදුව වැනි සංවිධාන බිහිවීම ජාතියේ වාසනාවකි. අපේ ඇත්තන්ගේ කෙරුවාවල් දැක හෙම්බත්වී සිටින නිසා පුංචි ප්‍රශ්න 5 ක් නම් නොඅසා බැරිය.

   1. හෙළ ජන පුබුදුවෙන් තුන්වන හෝ ඊට වැඩි දරුවන් වෙනුවෙන් දරුවාට අවශ්‍ය බේසම ඇතුළු ද්‍රව්‍ය පිරිනමන බව කියා තිබිණි. ඒවා මොනවාද? ඒවායේ වටිනාකම කොපමණද?
   2. අනවශ්‍ය බිළිඳුන් ඔබ සංවිධානයට භාරගන්නා බවද සඳහනි. එසේ භාරගන්නා බිළිඳුන්ගේ අනාගතය කුමක්ද? (මරණයෙන් නිදහස් කරන ගවයන් වැඩි හරියක දුක්ඛිත ඉරණම දැක ඇති බැවිනි මෙය විමසුවේ.)
   3. ආර්ථික අපහසුතා ඇති මෑණිවරුන්ට ගෙවනු ලබන මාසික මූල්‍යාධාරයේ අවමය හා උපරිමය කීයද?
   4. දුගී දරුවන්ට ලබාදෙන අධ්‍යාපන පහසුකම් හෝ දීමනා මොනවාද?
   5. ඔබ සංවිධානයේ ලිපිනය හෝ දුරකථන අංකය හෝ දැක්විය හැකිද? (එය හුදෙක්ම දුගී-දුප්පත් මාපියන්ට රුකුලක් විය හැකි බැවිනි.)"
 
ජයවෝදන මහත්තයා කීව විදිහට නම් ප්‍රශ්නයකට සලකන්න ඕනේ දෙබරෙකුට සලකන විදිහටයි.
මං ලිව්ව දේවල්වලට උත්තර දෙන්න තරම්වත් රොටුඹ හාමුදුරුවන් කලබල වුණේ නෑ.

'ඇට අට දෙන්නම්' කියලා බලයට ඇවිත්, සිරි ලංකාවේ චන්ද සිතියම අකුළලා කිහිල්ලේ ගහගෙන; පළමු විධායක ජනාධිපති වුණු උතුමාණන් වහන්සේ කියා දුන් 'ප්‍රශ්නයක් විසඳන්නට ඕනේ කොරන ක්‍රමය' රොටුඹ උත්තමයන් වහන්සේත් ප්‍රගුණ කරලා තිබුණු බවයි; මට නම් පෙනුණේ.

"ප්‍රශ්නෙකට සලකන්න ඕනේ දෙබරෙකුට සලකන විදියට. එක්කෝ ඒකාව කොහෙත්ම ගණන් ගන්නේ නැතුව ඉන්නවා. නැත්තම් එක පාරෙන්ම ගහලා ඌව විනාශ කොරනවා!" ජයවෝඩන මහත්තයාගේ උපදේසෙන් පළමු එක අනුගමනය කරලා හාමුදුරුවන් වහන්සේ ඇඟ බේරාගත් නිසා මටත් නිහඬ වෙන්න වුණා.

අපේ තාත්තාගෙ උපදෙස් පිට, අපේ අම්මා ගබ්සා බෙහෙත් ගත්ත තැනින් තමා මං අතුරු පාරට හැරුණේ, ගස්සලා යවමුද 1 පෝස්ටුවෙන්. 

මගේ අම්මෝ, හැරිලා සෑහෙන්න දුරක් ඇවිත්නේ. 'යං යං හනිකට යං - සුමන සමන් දෙවි පිහිට ලබන්!' තව ටිකකින් සමන් දෙවි හාමුදුරුවෝ ඉස්සරහ මුල පටන්ගත්ත කතාවකුත් 'ගස්සලා යවන්න' පෝස්ටුවට ඈඳෙනවා.

සමන් දෙයි හාමුදුරුවන් වහන්සේගේ අඩවියේදී මුල පිරුණු ගස්සලා යවන කතාවකටත්.........
අර බේත් ගත්තාට 'ගැස්සිලා' නෑ. ගැස්සුණේ කළලය, එහෙමත් නැති නම් භ්‍රෑණය නිසි විදියට වැඩෙන එකයි. දොස්තරලා කියලා අම්මා ගත් බෙහෙත්වල සැරටයි උපන් බිළිඳිය අංගවිකල වෙලා තියෙන්නේ කියලා.

කිසිම පැකිළීමක් නැතිව අද වුණත් මම කියනවා, මං ඇගේ මරණය ප්‍රාර්ථනා කළ බව. 

එහෙම කළේ අපේ අම්මාගෙ බඩ පිසගෙන ආ බඩපිස්සිය ගැන ආදරයෙන්. ඈ දිගු කලක් ජීවත් වුණොත්.... කොර අත-පයත් එක්ක මොනවා කරන්නද? 
කොහොම වේදනා ගොඩකට සංජීවනී නංගිට මුහුණ දෙන්න වේවිද? මං තිස්සෙම හිතුවේ එයාගෙ අනාගතය ගැන. 
එතැනදී නම් දෛවය අපට කාරුණික වුණා. 

දවස් විස්සයි සංජීවනී ජීවත් වුණේ. හැබැයි එයා අංගවිකල දරුවෙක් කිරීමේ මහා අපරාධයේ පාපයෙන් කොටසක් මේ මටත් උරුමයි! 

තවත් දෙයක් ගැන මටම පුදුමයි. ඔයාලා විශ්වාස කරනවාද..... එකම එක තත්පරයකටවත් ඒ චූටි නංගියා මගේ ඇස නොගැටුණු බව. හිතා-මතාමද මං ඇයව බලන්න නොගියේ?

ජීවය දෙන ඖෂධය කියන තේරුම ඇති 'සංජීවනී' නමම එයා ඉපදෙන්නත් කලින් මං එයාට තෝරලා තිබුණු එක කොයි තරම් දෛවෝපගත සමච්චලයක්ද?

ඊට හත් අවුරුද්දකට පස්සේ ආයෙමත් එහෙම කරුමයකටම කර ගහන්නට මට සිද්ධ වුණ හැටි!
එදා ඒ සිද්දියෙන් හොඳටම පසු තැවෙමින් හිටි මම, හත් අවුරුද්දකට පස්සේ තවත් ප්‍රාණඝාත අකුසලයකට කර ගහපු හැටි! 

එහෙම ලිව්වාට ඒ ගැන නම් මගේ කිසිම පසුතැවිල්ලක් නෑ. ඒ මගේ වසලකමද, මොට්ටකමද එහෙමත් නැත්තං උත්පත්තියෙන් ගෙනා ගතියද? මමත් තාම උත්තර හොයනවා.

උත්තර හොයන්න වෙලා තව ප්‍රශ්නෙකටත්, මේ පෝස්ටුව දිග වැඩි වේවිද? 

මොනවා කරන්නද. ඇතා කොච්චර වැහැරුණත් කොරහේ නාවන්න බැහැනේ. බලමු ඊළඟ පෝස්ටුවෙන්වත්.....

2 comments:

  1. මම හිතාගෙන හිටියෙ 'පන්සල' කියන වචනය එන්නෙ "පුණ්‍ය ශාලා" කියන එකෙන් කියල ... ඒත් මොකක් උනහම මොකෝ ... පන්සල් ගැන කතා කරලා වැඩක් නැහැ අයියෙ. 'සංජීවනී' නංගිගේ නික්ම යාම හොඳ දෙයක් විදිහටයි මමත් දකින්නෙ ... දුක් විඳිනවට වඩා ඒක හොඳයි ඔයා හිතන විදිහ හරි ඒ සම්බන්ධයෙන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි කණ්ඩා, ඒ ගැන හිතද්දීත් ඇඟ හිරිවටෙනවා!

      Delete