අකුරු මැකී නෑ

Wednesday, May 23, 2018

මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි - දෙවෙනි කොටස

මං පළමු කොටස ඉවර කළේ මගේ 'අහිංසක ප්‍රයෝග'වලින් ටිකක් කියලා.මතකයිනේ? ඉතින්....

CID එකේ අය ඉස්සරහත් ඔය ප්‍රයෝග කොහොමද උපයෝගී කරගන්නේ කියන එක මගේ හිතේ දිගටම වැඩ කළා. එයාලා අපට වඩා දක්ෂ අයනේ. කොටින්ම එයාලා මගෙන් ඇසිය හැකි ප්‍රශ්න පවා මං මගෙන්ම අහගෙන, උත්තර හෙව්වා. 
ඒ සේරම කළේ බයට නම් නෙවෙයි. නයාවත් නොමරා පොල්ලත් කඩාගන්නේ නැතුව ප්‍රශ්නය විසඳාගන්නයි. මගේ ඔළුවේ හිටියේ අර අතිදක්ෂ ෂර්ලොක් හෝම්ස්, ඩිකී වීරකෝන්, කෝන්ගොඩ වික්‍රමපාල වගේ ඕනෙම හිච්චි ඉඟියක් පස්සේ පවා පන්නන කට්ටියක්.

CID කිව්වම බොහොම දක්ෂ විදිහට රහස් එළි කරගනියි කියලා.............
කට්ටියක් පොත ගැදර් කරන අතරේ, බයින්ඩ් කරන මැෂිමේ යාපා පොත් ටික ඇලෙව්වා. දවල් දොළහ විතර වෙද්දී පොත් දාහම අලවලා ඉවරයි. 
එයින් තුන්සීයක් -වගෙයි මට මතක- කපලා පාර්සල් කරලා මගේ මේසය යටින් තියා ගත්තා. තියාගෙන මංජුලට දුරකථන ඇමතුමක් දුන්නා. 'පොත් ටිකක් ගෙනියන්න පුළුවන්. ඉක්මනට එන්න.'

සාමාන්‍යයෙන් ඕනෙම පබ්ලිෂර් කෙනෙක් පොතකින් දාහක් අච්චු ගස්වනවා නම් දහයක්ද- පහළොවක්ද (දෙකෙන් කොයිකද හරි කියලා නිච්චි නෑ.) කතුවරයාට නොමිලේ දෙනවා, කර්තෘ භාග 10% මුදලට අමතරව. 

ඉතින් මංජුලාට වැඩිපුර පොත් දෙන්නද කියලා ගොඩගේ මහත්තයාගෙන් අහන්නත් බැහැ. තහනම් කරන්න යන කතාවක් උන්නැහේට කියන්නත් බැහැ. සේරම මටයි තීන්දු කරන්න වුණේ; ඒ වගේම එව්වා ක්‍රියාවට නඟන්නත්. 

ඒ එක්කම තවත් ටෙලිෆෝන් කෝල් එකක්................
මොනවා හරි අප්සෙට් වුණොත් ඒකට වග කියන්න වෙන්නෙත් මටමයි කියලත් මට කල්පනා වුණා. ඒත් එතැනදී මට පස්ස ගහන්න හිතුනෙම නෑ.

තිඹිරිලා ඇවිත් පොත් දහය අරන් ගියා. එයාලා යන්න කලින් මං අපේ ගෙදර ලිපිනය එයාලට දුන්නා, නොවරදවාම හවසට හමුවන්න එන්නයි කියලා.

ඒ එක්කම, දැනටමත් ගොඩ වතාවක් ඔයාලට හමුවෙලා ඉන්න නෙවිල්ටත් කෝල් එකක් දුන්නා. "නෙවිල්, තරහ නැතිව අද හවසට මට ලොකු උදව්වක් ඕනෑ වෙනවා ඔයාගෙන්. බැහැ කියන්න නම් එපා. මොන වැඩක් තිබුණත් ඔයා ඕෆ් වෙලා යන ගමන් ප්‍රෙස් එකට එන්න. අපේ ගෙදරට ගෙනියන්න බඩු වගයක් තියෙනවා." 

ඊළඟට තව පිටපත් සීයක්ද කොහෙද කප්පලා තැබෙව්වා, ඔතන්නේ නැතිව. හරි. දැන් පිටිය සූදානම්! තරගය පටන් ගන්න පුළුවන් අනෙක් පිල පිටියට සම්ප්‍රාප්ත වුණාම.

ගෙදර යන ගමන් නෙවිල් ආවා. මං එයාගෙ කාර් එකේ දාගෙන 'මරියා' පොත් තුන්සීයක් ගෙදර ගෙනාවා.

නෙවිල්ගේ කාර් එකේ දමාගෙන මේරි නම් වූ මරියා පොත් 300ක් ගෙදර ගෙනාවා!
රහසක් රහසක් විදියට රැකෙන්නේ ඒක දන්නා අය අඩුම වෙන තරමට. 
මොනවද මේ පාර්සල් කියලා නෙවිල් ඇහුවාමවත් මං කෙලින් උත්තරයක් දුන්නේ නෑ. හුඟාක් දේවල් හුඟක් දෙනා නොදැන ඉන්න තරමට කාටත් හොඳයි නේද? ඉතින් එදා රාත්‍රියේ මංජුලලා ආවා.

"අපි දැන් මොකක්ද කරන්නේ?" මං එයාලාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නය එයාලා මගෙන් ඇහුවා.

"කරන දේ ඔයාලා තීරණය කරන්න. මම ඔයාලා නම් කරන දේ විතරක් මට කියන්න පුළුවන්."

"ඒ මොකක්ද?"

"ඕනෙම කතුවරයෙකුට වගේ මංජුටත් ඕනේ ඔයාගේ පොත පුළුවන් ත‍රම් වැඩිදෙනෙක් අතට යන්නනේ. දැන් තියෙන තත්වේ හැටියට සල්ලි නොලැබුණත් ඒක කෙරෙන ගමන්ම පොතට ප්‍රසිද්ධියකුත් ගන්න ක්‍රමයකුයි මං හිතුවේ." මං කියාගෙන ගියා. එයාලා හරස් ප්‍රශ්න ඇහුවේ බොහෝම අඩුවෙන්. "හෙට උදේ පාන්දරින්ම මේ පොතෙන් සීයක් දෙසීයක් විතර මහරගම හන්දියේදී නොමිලේ බෙදනවා..."

මම ඔයා නම් කරන්නේ හෙට පාන්දර මෙයින් පොත් ටිකක් මහරගම හන්දියේදී නොමිලේ බෙදනවා..........
"නොමිලේ... ඒ මොකටද?"

"මෙහෙමයි. එහෙම බෙදන ගමන්ම ඔයාලා ෆොටෝ ටිකකුත් ගන්න ඕනේ. CID එකෙන් ආවම ඔයාලාට කියන්න දෙයක් තියෙනවා එතකොට.... 
අපට ආරංචි වුණා පොත තහනම් කරන්න යන බව. 
පොත් ටික CID එකට ගෙනියන එක දන්න නිසා අපි පොත් ටික නොමිලේම බෙදලා දැම්මා. තහනම් කරන්න කලින් පොත් බෙදිල්ල වැරැද්දක් නෙවෙයිනේ..... 

-අපට ඕනි වුණේ සල්ලි නොලැබුණත් අපේ පොත පුළුවන් තරම් මිනිස්සු අතරට යවන්නයි කියලා කිව්වම ඉවරයිනේ...... ඒ වගේම කවුද දන්නේ පොත් කීයක් බෙදුවද කියලා. ඔයාලාට ඕනෙම ගණනක් බෙදුවා කියලා, පොත් ටිකක් ඉතුරු කරගන්නත් පුළුවනි." 

මම මගේ අදහස එයාලට කිව්වා.

මම තේ එකක් හදන්න කුස්සියට ගියා. 
වැඩියත්ම එහෙම කළේ එයාලට නිදහසේ කතා කරලා තීරණයක් ගන්න ඉඩ දෙන්නයි. මිනිස්සු විවිධයි, විෂමයි. 

සමහර අයට පුළුවන් ක්ෂණිකව තීන්දු ගන්න. සමහරුන්ට ඒකට කප්පරක් වෙලා යනවා. සමහරු හොඳයි,සමහරු නරකයි..... මේ පෙනෙනවද?

කිසිදා කිසිවෙකුට දොස් නොපවරන්න. අපට හමුවන හැම කෙනෙකුම........
ඔබේ  ජීවිතයේදී කිසිවකුට චෝදනා නොකරන්න.
යහපත් අය ඔබට සතුට ගෙනදෙද්දී අයහපත් අය ඔබට අත්දැකීම් ලබාදෙනු ඇත.
නරකම අය ඔබට පාඩම් උගන්වද්දී හොඳම අය සුමිහිරි මතකයන් ශේෂ කරනු ඇත!

මං තේ හදාගෙන එද්දී එයාලා නිගමනයකට බැහැලා තිබ්බා.

"නිමල්, අපි ඔයා ගෙනැත් තියෙන පොත් ටික ගෙනියන්නම්..... 
ඒවාට මොකද කරන්නේ කියලා අද රෑට තමයි තීරණය කරන්න වෙන්නේ. 
අපි හෙට ඔයාට කෝල් එකක් දෙන්නම්කෝ." 

ඒ ජවනිකාව එතනින් හමාර වුණා.

පසුවදා උදෙන්ම ප්‍රෙස් එකට ගිහින් තව පොත් දෙසීයක්ද කොහෙද කප්පලා, ඒවාත් පාර්සල් කරවලා මගේ මේසය යටින් තියාගත්තා.

මඟ බල-බලා හිටියා වගේම එදා දවල් CID එකෙන් ආවා. 

එදා දවල් රහස් පොලිසියෙන් කට්ටියක් ප්‍රෙස් එකට ආවා!
අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, විනාඩි පහක් යන්න කලින් මටත් බොස්ගෙ කාමරයට යන්න වුණා. 
ආව අමුත්තො එක ඇතුළේ තමයි වාඩි වෙලා හිටියේ. 
"මෙයා තමයි අපේ ප්‍රින්ටින් මැනේජර්. එයා තමයි පොත් සම්බන්ධව ඔක්කොම දන්නේ." බොස් මාව හඳුන්නලා දුන්නා.

ප්‍රශ්න කිරිල්ල පටන් ගත්තා. 

මට හොඳටම මතකයි මං එක බොරුවක්වත් කියන්නේ නැතිව එයාලා තෘප්තිමත් වෙන විදියට උත්තර දුන්නා. මුල හරියෙදීම වගේ මං වැදගත් කරුණකුත් හෙළි කළා.

"ඔය 'මේරි නම් වූ මරියා' කෙටි කතාවත් 'රාවය' පත්තරේ පළ වුණු එකක්නේ. පොත් දාහක් ගැහුවත් එව්වා විකිණෙන්නේ කාලාන්තරයක් ගිහිල්ලානේ. 
ඒ වගෙයැ පත්තරේ. මට නම් තේරෙන්නේ පත්තරේ කෙටි කතාව ගිය කාලෙයි පල්ලියෙන් ඇක්ෂන් ගන්න තිබ්බෙ." 

බොහෝම අහිංසක විදියට මං ඉස්සරහට දැම්ම ඒ තර්කයත් වැඩ කළා වගෙයි පෙනුණේ.....

ඔය කෙටිකතාව 'රාවය' පත්තරෙත් ගියානේ. තහනම් කරනවා නම් එතකොටයි .......
"ඇත්තද?"

ඊට පස්සේ එයාලා ප්‍රශ්න ඇහුවෙත් ආවට විනා වගෙයි. 

මගේ පිළිතුරු නිසාද, ඒ නිලධාරීන්ගේ ගුණ-යහපත්කම නිසාද එහෙමත් නැතිනම් මේක මේ අහක යන කුණ්ඩාවාඩයක්නේ කියලා හිතපු නිසාද දන්නෑ එහෙම වුණේ. ඒත් චාරිත්තරයක් වශයෙන් හරි එයාලා මුළු ප්‍රෙස් එක පුරාම සෝදිසි කළා. පොතට අදාළ සියලුම දේවල් ඒ ගොල්ලන්ට බාරදෙන්නැයි කියලා කිව්වා. 
මුද්‍රණ තහඩු (ප්ලේට්ස්), ට්‍රේසින් පේපර්ස්, පොසිටිව්ස්, අච්චු ගහලා තිබුණු පෝරම, කපා හා නොකපා තිබුණු පොත් වගේ සේරම දේවල් බොස්ගේ කාමරයට පොදි ගැස්සෙව්වේ මමමයි.

විසි එක්වැනි සියවසේදීත් මේ වගේ තහනම් කිරීම් සාර්ථක වෙනවාද? 
තහනම් කිරීමකින්ම සියල්ල වළලා දාන්න පුළුවනිද? 
මට මතක් වෙන්නේ අශෝක හඳගමගේ 'අක්ෂරය' ෆිල්ම් එක. ඒකත් වාරණයට අහුවුණු එකක්.

තහනම් කළ ගමන්ම ඔක්කොම හරි යනවාද?
සමහරුන් ඒකට විරුද්ධව තමන්ට තියෙන හොඳම අවි-ආයුධ කෙලින් කරගෙන ආවේ චිත්‍රපටය බලලාවත් නැතුව. කනින්-කොනින් අහලා විතරක් කලා කෘතියකට විරුද්ධ වීම සාධාරණද? 
බොරු කියන්නේ මොකටද? මටත් මිතුරෙක් 'අක්ෂරය' ෆිල්ම් එකේ DVD එකක් ගෙනවිත් දුන්නා. 

ඒක බැලුවාම මට නම් හිනා ගියා. යම් විදියකින් ෆිල්ම් එක තහනම් නොකර රිලීස් කළා නම් එහෙම ඒක ගැන මෙච්චර කතා කරන එකක් නෑ. ෆිල්ම් එක එච්චර දුවන එකකුත් නෑ, කියලයි මට හිතුණේ.  

ඉතින්, 'මේරි නම් වූ මරියා' තහනමේ කරුමය මුලින්ම පළ දුන්නේ ඊළඟට. 
ඒ අපේ බොස්ට. 
මේරි තහනමේ ලොකුම කරුමෙට කර ගහන්න වුණේ අපේ බොස්ටයි!
"අපට දැන් බාර දෙන ඔක්කොම දේවල්වල ඔයා අත්සන් කරන්න ඕනේ."
එයාලා බොස්ට කිව්වා. 

අනේ ඒ අහිංසක මනුස්සයා දාඩිය-මුගුරු දදා පැය ගණනාවක් තිස්සේ අත්සන් ගැහිල්ල කළා. නිකමට හිතන්නකෝ පොත් පන්සීයක විතරයි, ප්ලේට්ස්වලයි, ට්‍රේසින්ස්වලයි..... අත්සන් හත්-අට සීයක් ගහන්න වෙනවා කිව්වාම.

ඊට පස්සේ මොකද වුණේ? 
දැන් ඔයාලා අහයි. 

ගොඩගේ මහත්තයා ඒකට මොනවාවත් ඇක්ෂන් එකක් ගත්තයි කියලා මට නම් දැනගන්න ලැබුණේ නෑ. 
CID එක මංජුල වෙඩිවර්ධනවත් හමු වුණාද, එයා ළඟ තිබ්බ පොතුත් අත් අඩංගුවට ගත්තාද, අර අත්සන් ගහන පරිප්පුව මංජුටත් කන්න වුණාද වගේ ප්‍රශ්න අදටත්, මටත් ප්‍රශ්න විතරයි.

අද වෙනතුරුමත් මං ඒ විස්තර එකක්වත් දන්නේ නැහැ. ඒත් මට හරිම සතුටුයි හැකි උපරිමයෙන්ම...
අද වෙනතුරුත් මම ඒ පැත්ත ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. 
ඊට පස්සේ මට මංජුලව මුණ ගැහිලත් නෑ. 
නමුත් මේ සිදුවීම මතක් කරද්දීත් මට හරිම සතුටුයි, මම නිස්සරණාධ්‍යාශයෙන් මට පුළුවන් උපරිමය කළ නිසා෴

2 comments:

  1. අනේ අම්මපා අඹ ගෙඩියක් කැඩුවත් කිරිමේල් කෙස් දාන අමුතු රටේ ... අපරාධය, විත්තිකාරයො සහ සාක්කි ඔක්කොම ඔක්කොම විස්තර පිටින් බ්ලොග් ලියල මෙන්න මෙයා :)

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, අමුතුවෙන් කියන්න ඕනය අපේ රටේ හැටි!

      Delete