අකුරු මැකී නෑ

Monday, June 4, 2018

අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස

සම්පත් ආවා කුස්සියට. මං හිටියේ එතැන, බයිට් තසිමට අඩු-පාඩු බෙදන ගමන්. "නිමල් අයියේ, නිමල් අයියේ....." කියමින් සම්පත් බදාගත්තා මාව.

බට්ටිත්තෙක් මගෙ දුකට අඬනවා.... කට්ටියම සිංදුවල ...........
"ම්ම්ම්මාරයි නිමල් අයියේ.... එල ෆන් එකක්.... ".

තවම කට්ටිය සිංදුවල.....

'හන්තාන කඳු පෙළ හඳට ආවඩා - සරසවියට දිය පොදක් වැටෙනවා
මගෙ හද මැඳුරට අඳුර ගලනවා - බට්ටිත්තෙක් මගෙ දුකට අඬනවා
කෝ ඈ - කොයිද මගෙ රන් කිරිල්ලී - ඇයිද ගියෙ ඉගිල්ලී
මා මෙහි හැරදා
ඈතයි-" 

එතකොටම හරියට original සිංදුවේ වගේම කවුදෝ විසිල් කරනවා. 

අපේ කුස්සියට සාලේ පෙනෙන්නේ නැහැ. 
මට ඕනේ වුණේ කවුද විසිල් කරන්නේ කියලා බලාගන්නයි.

භද්‍රජී මහින්ද ජයතිලකගේ ඒ සින්දුව අපිට නම් නිතර කියවෙන එකක් නෙවෙයි.

භද්‍රජි මහින්දගේ බට්ටිත්තෝ එකේ වගේම ලස්සනට කවුද විසිල්  කරනවා!
කට්ටිය කාලා, වැඩියෙන්ම බීලා ඉන්න වෙලාවට ඔය වගේ ලස්සන- ළයාන්විත- සුමියුරු ගීත කියන්න ගන්නවාට මං නම් කැමැති නැහැ. තාලෙට අත්පුඩියක්වත් හරි හැටි ගහගන්න බැරි අයත් බිව්වාම ඔස්තාද් සිඟර්ලා වෙලා සිංදු කන වින්නැහිය ඔයාලත් දැකලා ඇතිනේ. 

ඒගොල්ලොන්ට ඒ වෙලාවට ඕනේ අනෙක් එකාට වැඩිය සද්දෙන් තමන්ගේම කටහඬ ඇහෙන එක විතරයි. ටෙම්පෝ එක, ශ්රුතිය කැලේ. ඒ මදිවාට සමහරු සින්දුව අලුතින්ම රචනා කරනවාත්නේ.

අපේ එක යාළුවෙක් ඉන්නවා, කටුව පැන්න ගමන් මනුස්සයා ඉංග්‍රීසියට බහිනවා. හැබැයි හැමදාම කියන්නේ එකම ඉංග්‍රීසි වචන දෙකක් විතරයි. 
'Fucking something'. 
යකඩෝ, අද වෙනතුරුත් ඇහිලා නැහැනේ එයා සින්ගිරිස්වත් කතා කරනවා!

ඔහොම පිස්සොත් ඉන්න අව්-අස්සේ කොහොමද, කවුද විසිල් කරන්නේ කියලා 
නොබලා ඉන්නේ? ඒත් මේ මනුස්සයා තවමත් මාව 'හග්' කරගත් ගමන් කොඳුරනවා. 
"....... කියල වැඩක් නෑ නිමල් අයියේ. මාර විදියට එන්ජෝයි කළා..... මීට පස්සේ...."

දූ දරුවෝ සම්පත්; උදේනි අල්විස් ආවා මාව හම්බවෙන්න ආරාධනයකුත් අරන්............
මීට පස්සේ නෙවෙයි, ඊට පස්සේ කාලෙක උදේනි අල්විස් ආවා මාව හම්බ වෙන්න.

උදේනිව මට මුලින්ම මුණ ගැහිලා තිබ්බෙ වැදි නැටුමකදී. පෙරහරක; නුගේගොඩ කන්දවත්තේ පන්සලක පෙරහරකදී. උදේනියි, අපේ ලොකු නංගියි, මායි. එදා අපි තුන්දෙනාම ඇඟ පුරාම දැලියි පොල්තෙලුයි මිශ්‍රණයක් නාලා, කොළ අතු එල්ලාගෙන වැද්දෝ වුණා. 

වැදි සිංදුවකුත් කියා-කියා නැටුවේ!

'දහතෝ- දහන්දිතෝ-
දහදිරිතෝ- දහිරිගතෝ'. එච්චරයි. වැදි ගී කොටයි, වැඩිය සංකීර්ණ නෑ, ස්වර පරාසයත් බොහෝම අඩුයිලු.
'දහදිරිතෝ' කොහෙන් ගත්තෝද කියලත් කියනවා නම් අපේ උපන් ගමෙන්, බදුල්ලෙන්. අපි බදුල්ලේ ගිය වෙලාවක තමා සෝමා පුංචිලගේ ගෙදරදී කවුරු හරි ඕක කරලා පෙන්නුවේ.

සෝමා පුංචි කිව්වේ අපේ අම්මාගෙ එක කුස උපන් නංගි. එයාගෙයිසිරි බාප්පගෙයි මඟුලට මුල් වුණෙත් අපේ තාත්තාලු. පුංචිලා පවුලේ වැඩි හරියක් තවම බදුල්ලේ

සෝමා පුංචිගෙයි, සිරි බාප්පගෙයි මංගල්ලෙට මුල් වෙලා තියෙන්නෙත් අපේ තාත්තලු.......
මං ඉතිං 'දහතෝ....' අහුලාගෙන ඇවිත් අපේ නෝනා; (පුෂ්පා රංජනී; ගෙදරට නෝනා) ලොකු නංගි එක්ක ඒ වැදි නැටුම ගෙදරදී නැටුවා. දැන් නම් සැකයි ඒක ඇත්තම වැදි ගීයක්ද කියලත්. ජංගි අඳින කාලේ නටපු ඒ නැටුම මට වගේම උදේනිටත් මතක තිබුණා 1990 විතරත්..... ඒ කිව්වේ අවුරුදු විස්සක් විතර කාලෙකට පස්සෙත්.

උදේනිත් ආවා 'තරුණ ජනගහණ කමිටුවේ' උඩවඩියා වගාව ඉගෙනගන්න. 

එතකොට මං ඒ පාඨමාලාව හදාරලා, ඒකෙම ගුරුවරයා වෙලා උගන්වනවා. අපේ කමිටුවෙන් උදේනිටත් කොක්ක ගැහුවා. 
අපේ ආගිය කතාවලදී තමා හෙළිවුණේ වැදි නැටුමේ කතාව ගැනයි, එඩ්වඩ් ලොකුලියනගේ සර් ගැනයි. 

ඒ සර් මටත් නැටුම් ඉගැන්නුවා! පස්සේ දවසක ඒ ලින්ක් එකට එන්නම්.

ඉතින් එදා උදේනි ආවේ භද්‍රජීගේ 'වැහි දවස'  චිත්‍රපටය බලන්න එන්නයි කියලා ආරාධනා කරන්න. ඒක තමයි මං දන්නා විදියට උදේනි ප්‍රධාන චරිතය රඟපෑ එකම ෆිල්ම් එක. ප්‍රධාන නිළිය සංගීතා තදානි. සුනිල් ආරියරත්න මහත්තයාගේ 'යශෝධරා' චිත්‍රපටයේ ප්‍රජාපතී ගෝතමී චරිතෙට පණ දෙන නිළිය. 

'වැහි දවස' film එකේ මංගල දර්ශනය තිබුණේ තරංගනී ශාලාවේ........
ඉතින් මාත් කලා රිට්ටෙක් කියලා දැනගත් කාලයේ පටන් උදේනි එයා ඉන්න නාට්‍ය බලන්න එන්නැයි කියලා කියනවාමයි. මගෙන් එව්වයේ ගුණ-දොස් දැනගන්නත් එක්ක. ඒ ගමන්වලදී එම්. සෆීර්, ගයාන් ගණකධාර, අජිත් ලොකුගේ වගේ කිහිප දෙනෙකුත් මං දැන-හඳුනා ගත්තා.

'වැහි දවස' චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණේ තරංගනී සිනමා ශාලාවේ. භද්‍රජී ෆිල්ම් එක හදන්න තීරණය කළේ මුරුගසන් වැස්සට තෙමුණට පස්සේ වෙන්නැති. පව්! මම නම් උදේනිට කිව්වා, එයාට හම්බවෙලා තිබුණේ ගිලෙන නැවක වැඩක්ය කියලා. කොහොමින් හරි ඒ ෆිලුම හෝල්වලට රිලීස් වුණේ නෑ!

හන්තාන කඳු පෙළ වගේ ෂෝක් සිංදුවක් ලියලා, තනුවත් දාලා, අපූරුවට ඒක ගැයුව- රසවත් නවකතා කිහිපයකුත් රචනා කළ භද්‍රජී මොන කෙහෙල්මලකටද අර ෆිල්ම් එක හැදුවේ?

හන්තාන කඳු පෙළ ඉවර වෙන්න කලින් "........ මීට පස්සේ හැම සෙනසුරාදාම අපි සෙට් වෙමු."එහෙමයි සම්පත් පුංචිහේවා නීතීඥතුමෝ. 
ඔබතුමා අපේ කුස්සියේදී මාව වැළඳගෙන කිව්වේ. 

අදට අවුරුදු දහයක්! ඒත් ඇයි ඔයාට එකම එක දවසක්වත් ඒ පොරොන්දුව ඉටු කරන්න දෛවය ඉඩ නොදුන්නේ?
 
කොහොමද ඒ තරම් රුදුරු ඉරණමක් අපේ දෛවයේ ලියවිලා තිබ්බේ?
කොහෙද- කොහොමද එච්චර රුදුරු ඉරණමක් ලියවිලා තිබුණේ?
මේ අපි පතාගෙන එන විදියද?

ඔයා ඉස්සෙල්ලාම අපේ ගෙදරට අඩිය තිබ්බෙ එදා. මුණ ගැහුණම යාන්තමට හිනාවෙලා හායි-බායි කියනවාට වැඩිය දෙයක් අපි අතරේ තිබ්බෙත් නෑ. අපි ටිකාක් දැන-හඳුනා ගන්නට පටන් ගත්තා විරයිනෙ දෙයියනේ!

මට නම් අවුරුදු දහයක් වේදනා දෙකක් උහුලාගෙන ඉන්න වුණා සම්පත්. මේ ඇති. හොඳටම ඇති. මෙච්චර දවස් රැකපු රහස් දැන් එළි කළාට කමක් නැහැ නේද?
කවුද ඔච්චර පරණ දෙයක් හාරන්න-පාරන්න හගිස්සවන්න එන්නේ?

දැන් ඔය කවුරු-කවුරුත් මෙව්වා අමතක කරලත් තියෙන්න පුළුවන්..... ඒගොල්ලොත් මං වගේ පිස්සු අතීතකාමියෝ නොවෙයි නම්.

මේ ඔක්කොටම මුල රොෂාන්. එයා තමයි ඔයාවත් ප්‍රෙස් එකට එක්කං ආවේමටත් හඳුන්නලා දුන්නේ.
"නිමල් අයියේ, අර සම්පතාත් හරි හිත හොඳ එකා. රංගයාත් එහෙමයි. තව එල බුවාලා දෙතුන් දෙනෙක් ඉන්නවා. උන්ටත් ඕනෙලු ඔයාලගේ ගෙදරදී සෙට් වෙන්න."

අපේ ගෙදරදී කට්ටිය සෙට් වෙලා, කාලා-බීලා-සන්තෝස වෙනවා කියන කාරණේ රොෂාන් ...........
එහෙමයි මේ වින්නැහියට මුල පිරුණේ.

එතකොටත් රොෂාන් දන්නවා සමහරු අපේ ගෙදරදී එකතු වෙලා කාලා-බීලා, සිංදුවක් කියලා සතුටුවෙන බව
නෙවිලුයි, මායි එහෙම කල්ලි; කණ්ඩායම් ගොඩක ඉන්න බව. ඒ වගේම මට ටිකක් රහට උයන්න-පිහන්න පුළුවන් බව; විශේෂෙන් බයිට් හදන්නත්. අනෙක අපේ ගෙදර 
හොඳ නිදහස්; ඉඩ-කඩ ඇති තැනක් බව.

"මොකද කියන්නේ? අපි සේරම ගේන්නම්."

"කන්න දෙයක් නම් මං හදන්නම්. දන්නවනේ බොන දේවල් මොකුත් මගෙන් බෑ. ඒකට ඕනෑ දේවල් සේරම විතරක් ඔයාලම ගේන්න." ඒ මගේ ප්‍රතිපත්තියයි.

'නැණ ලැබ ගත්තෙමි...' පෝස්ටුව කියෙව්වා නම් ඔයාලා දන්නවා මං 'ටී ටොට්ලර්' කෙනෙක් විත්තිය. නොබොනවා වගේම මං ඒවායෙන් කාටවත් සංග්‍රහ කරන්නෙත් නෑ. 

නෙවිල්ලා, අයස්මන්තලා, ජයවීරලා විතරක් නෙවෙයි ඉන්දිරා, බබීතා, මාලිකා වගේ තව ගොඩ දෙනෙකුත් මට හින්ට් ගහනවා 'මෙයා බොන්නේ නෑ. ඒ වුණාට බොන අයට බයිට් හදලා දෙනවා.' කියමින්.

ප්‍රෙස් එකේ නිමල් ප්‍රේමචන්ද්රයි, චරිත් සුදර්ශනයි දෙන්නා සාක්කි.............
මං හොඳටම දන්නවා මං බයිට් හදලා නොදුන්නත් ඒ මිනිස්සු බොන බව.
එච්චරයැ, සමහර මහත්තුරු හැමදාම චුට්ටක් විතර සප්පායම් වෙලා, නෝනාට හංගන්න ඕනේවටම බුලත් විට කන්නත් පුරුදු කරන් තියෙන්නේ.

ඉතින් රොෂාන් වැඩේ සංවිධානේ කෙරුවා.
ප්‍රෙස් එකෙන් නිමල් ප්‍රේමචන්ද්‍රයි, චරිත් සුදර්ශනයි දෙන්නා ආවා.
රොෂාන්ගෙන් සම්පතුයි, රංගයි, තව පස් දෙනෙකුයි. අපෙන් උදේනි දසනායකයි, නෙවිලුයි මායි. නම් ටික මතක් කළාමයි පෙනුණේ දහතුන! අපිනේ 'නවය නපුරු - අට සෙනසුරු' කියන විශ්වාසෙන් ඉන්නේ. බටහිර රටවල 'විනාශකාරී'ය කියලා අදහන්නේ දහතුන. අනේ 'මන්දා නාලිනී'. ඒ කියුම මං මෙතැනදී ණයට ගන්නවා  ඕං
ඒක නිතර කියන විජේසිරිගෙන්. ඒත් දහතුන වැඩි වෙලාවක් යන්න කලින් දාහතරක් වුණා.

දහ තුන නෙවෙයි ඒකයි විනාසෙට මුල් වුණේ!

කට්ටිය සප්පායම් වෙන අතරේ සම්පත්ට කෝල් එකක් ආවා. ඒකට උත්තර දීලා එයා මගේ ළඟට ආවා. "නිමල් අයියේ, හමුදාවේ ඉන්න අපේ අයියා කෙනෙක් ගමේ යන්න කොළඹ ඇවිත්. මං කොහෙද ඉන්නේ කියලා ඇහුවා. මිනිහත් හෙණ ජොලි පොර. කමක් නැද්ද, මිනිහටත් එන්න කිව්වට?".
කෝල් එක ආවාම සම්පත් ගිහින් එයාලගේ අයියාව............
මං මොකටද අකැමැති වෙන්නේ කියලයි මම හිතුවේ. එහෙමම සම්පත් අයියාට කිව්වා මහරගමට ඇවිත් කෝල් එකක් දෙන්න කියලා. ඒ අතරේ පාටිය නැඟලා ගියා. වික්ටර්, සනත්, බෙග්, ජෝති, මිල්ටන් ඩබලම හෙමත් ඇවිත්-ඇවිත් ගියා. වෙන එකක් තියා 'මුතු කුඩ ඉහළන මහ වරුසාවේ' රෝහණ වීරසිංහත් ආවා මට හොඳ මතකයි.

පැයකින් විතර කෝල් එක ආවාම, සම්පත්ම කාර් එකෙන් ගිහින් අයියාව එක්කං ආවා. එයාත් හරි ඉක්මනින්ම කට්ටියට මුහු වුණා.

එදා තමයි අපේ පැදුරකට ඉස්සෙල්ලාම 'දර්බග්' එකක් ගෙනැත් තිබුණේ. රොෂාන් ඒකට විහිලුත් කළා 'ගර්බාසේත්' ගෙනැල්ලා කියමින්. ඒක play කළේ 'පැටා'. එකෝඩියන් එකක් ගෙනාවෙත් එදාමයි. එව්වා සෙල්ලම් කළ දෙන්නාම පැලවත්ත පාලම් තුන හන්දියට කිට්ටුව, කනවට වැඩිය බොනවාට ප්‍රසිද්ධ තැනක හවසට-හවසට 'මී විතට' ගී විත මුසු කරන්නෝ.
එයාලව එක්කං ඒම වගේ සේරම රොෂාන්ගේ වැඩ. 

කොහොමින් හරි පැදුර නම් හොඳ රහට දිග ඇරුණා. ඒකෙන් චූන් වෙලා තමයි සම්පත් මාව ලුහු බැඳගෙන කුස්සියටම ආවේ.

ඔයා වියදම් කරන්නවත්, මහන්සි වෙන්නවත් ඕනේ නැහැ. සේරම මගේ ගණනේ... අපි එළ fun එකක් ගනිමු!
 "...... මීට පස්සේ හැම සෙනසුරාදම අපි සෙට් වෙමු!" එයා එහෙමයි කිව්වේ.  

දැන් මගේ තියෙන එක දුර්වලකමක් ගැනත් කියන්න එපැයි. මං එහෙම පොරොන්දුවලින් බැඳෙන්න, අනුන්ගේ කාල සටහන්වලට බැඳෙන්න කැමති නෑ, එක පාරටම.
එතකොටත් ජීවිතේ ඒකාකාරී වෙනවා වගෙයි, මට නම්.
ඒත් ඒකට එක වංගියේම 'බෑ' කියන එකත් හරි නෑනේ. මං සුපුරුදු උපක්‍රමයක් පාවිච්චි කළා. "හැබෑටම?" විහිළුවට වගේ මං කිව්වා.

"ෂුවර්. ඔයා වියදම් කරන්න ඕනෙත් නෑ, මහන්සි වෙන්න ඕනෙත් නෑ. මං ඒ සේරම ලැහැස්ති කරගන්නම්. ඔයා කැමැතියි නම්." කාපු-බීපු වෙලාවට කියන දේවල් ගණන් ගන්න එපා කියලා බිලාළයෙකුත් කිව්වලුනේ. මං ඒකත් විහිළුවෙන්ම ලිස්සලා ඇරියා. එතකොටවත් මගේ හයවෙනි ඉන්ද්‍රියයෙන්වත් මොකුත් ඇඟෙව්වේ නැති හැටි!

අදට ඇති! මෙහෙම තැනකින් නවතින එක හොඳයි තව දුර ගිහිල්ලා එහෙම කරනවට වඩා. ඉතිරිය ඉක්මනටම.

3 comments:

  1. අම්මප නිමල් අයියෙ ... එදා අපිත් සංගීත කාරයො කී දෙනෙක් විතර අනුභව කරන්න ඇතිද ? අපිටත් ටිකට් එක ඇදෙන්න කලින් ආයෙත් සෙට් වෙමු හොඳේ :)

    ReplyDelete
    Replies
    1. අනිවා! නොවැම්බර්වල එනවද?

      Delete
    2. එහෙම තමයි හිතාගෙන ඉන්නෙ :)

      Delete