අකුරු මැකී නෑ

Sunday, September 30, 2018

මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස


මා දෙවෙනි කොටස අන්තිමට කිව්වේ මට පලදුන් දිට්ඨධම්මවේදනීය කර්මය ගැනයි. ජයන්ති ෆාමසිය වත්තේ රැස්වීමට පහුවදා දවල් වෙද්දීම mpm මාමා තඩි කාර් එකකින් අපේ ගෙදරට ආවේය. ගෙදරට කිව්වාට සිල්ලප්පු වත්තටය. (සිඳු දකින සඳ පෝස්ටුවලදීත් සිල්ලප්පු වත්ත ගැන කීමි.) සිල්ලප්පු වත්තේත් උඩහටය. පාර ඉවර වුණේ එතැනිනි.


තඩි කාර් එකකින්.....
කාර් එක mpm මාමාගේ නොවේ. එයා ඇවිත් තිබුණේ පාර පෙන්වන්නටය, නියතපාල මහත්තයාගේ පයින්ඩකාරයා හැටියටය.

සුදු සරමක් හා කමිසයක්, කෝට් එකක් ඇඳගත්, රැස් විහිදෙන තලත්තෑනි කෙනෙක් කැටුවය mpm මාමා ඇවිත් තිබ්බේ. “රංජිල තාත්තේ, මේ රණසිංහ මුදලාලි. මොනරාගල..... ලොකූ ලී මෝලක් අයිති මහත්තයෙක්.” මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයේ දෙවෙනි පිටුව පෙරැළෙන්නට පටන් ගත්තේ එහෙමය.

රණසිංහ මුදලාලි මහත්තයා ඇවිත් තිබුණේ ‘කථික දඩයමේය’.

ඒ ඉලෙක්ෂන් එකේදී යූ.ඇන්.පියෙන් මොනරාගලට තරග කළේ ඒ.බී. තලගුණේ මහත්තයාය. ඒ පැත්ත කංසා වැවිල්ලට වගේම තලවලටත් ගුණය. තලගුණේ මහත්තයාවත් එහෙ මිනිසුන්ට ගුණ වෙලා හිටියා වගෙය. 

මගේ මතකයේ හැටියට නම් එතකොට තලගුණේ මහතා මොනරාගල දිසාපතිය. ඔහු මැතිවරණයට තරග කරන්නට ආවේ දිසාපති තනතුරෙනුත් ඉල්ලා අස්වෙලාය. අහිතක් හිතන්න එපා, හොඳේ. රණසිංහ ලී මුදලාලි මහත්තයා ඇත දිගහැර හිටපු දිසාපතිතුමාට සලකන්නට ඇවිත් තිබ්බේ ‘කළගුණ සැලකීමේ’ පරම පවිත්‍ර චේතනාවෙනි.

අනිමිස ලෝචන පූජාව කළේ ....
සමහරුන්ට නම් ‘කෙළෙහි ගුණ’ තියෙන්නේ පඩික්කමේය. එහෙම හිතන්නේ කළගුණ නොදන්නා අසමජ්ජාතියෝ විතරය. 

අපේ බුදුහාමුදුරුවොත් ‘අනිමිස ලෝචන පූජාව’ කළේ ඇසතු බෝධියට කළගුණ සලකන්නටය. හැබැයි දිසාපතිතුමාත් ලී මුදලාලි කෙනෙකුත් අතර තිබුණු සම්බන්ධය වෘක්ෂ දේවතාවරුන්ට නම් හිතකර වෙන්නට නැතුවා නිසැකය. එදා නම් මට ඕවා තේරුණේ නැත.

“මේ මුදලාලි මහත්තයා නියතපාල මහත්තයාගේත් හිතවතෙක්... රණසිංහ මුදලාලිට රංජි ගැන කියලා තියෙන්නෙත් නියතපාල මහත්තයාමයි. මේ සැරේ මොනරාගලට යූ.ඇන්.පීයෙන් ඉල්ලන මහත්තයාගේ රැස්වීම්වලට කතා කරන්න රංජිව එක්ක යන්න ඕනිලු.” mpm මාමා සේරම කියන්නට ලෑස්තිපිටම ආවා වගෙය. “....... රංජිට එහෙම පිට ගිහිල්ලා ඉන්න බැරි විත්තියත් නියතපාල මහත්තයා මුදලාලිට කිව්වා.... කවි පොත් විකුණන්න යන්නත් එපැයි.”

රණසිංහ මුදලාලි කතා කළේ එවිටය. “ඒකෙන් කිසිම පාඩුවක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මේ ළමයා ගැන සේරම විස්තර මං එන්න කලින්ම මට කිව්වා.... මේක තියාගන්නකෝ දැනට. මං මේ ළමයව එක්ක යන්නේ සුමානෙකට විතරයි.”

ඒ කීයක්දැයි.............
ඔහු තාත්තා අතට මුදල් නෝට්ටු කිහිපයක් දුන්නේය. තවමත් ඒ කීයක්දැයි මා දන්නේ නැත. හැබැයි ඒකෙන් අපේ තාත්තා ‘බැහැයි කියන්නට බැරි’ තත්වයකට වැටුණු බව නම් පෙනිණි. එවෙලේ තාත්තා හිතන්නට ඇත්තේ මොනවාද? මොනවා හිතුවත් mpm මාමාගේ කතාවෙන් සේරම තීන්දු විණි.

“රංජිල තාත්තා බය වෙන්න එපා. මං රංජිව තනියම යවන්නේ නැහැ. අද හවසට මං ගෝලයෝ දෙන්නෙක් මෙහාට එවනවා, අපේ තරුණ සමිතියේ. එයින් ඔයාලා කැමති කෙනෙක් එක්ක රංජිව මොනරාගල යවමු. යන එක්කෙනාගෙයි, රංජිගෙයි කෑම-බීම, ඉඳුම්-හිටුම්, වියදම් සේරම මේ මුදලාලි බලා ගනීවි.” mpm කිව්වේය.

අදටත් ඉලෙක්ෂන් කාලෙට පක්ෂ කාර්යාල, ශාඛා සමිති, තරුණ සමිති අරවා-මෙව්වා ගොඩාක් හතු පිපෙන්නාසේ මතු වෙයි. පළාතේ රස්සා නැති තරුණ උදවිය උදේ හිට හවස් වෙනතුරු එතනය. කාඩ් සෙල්ලම්, කැරම් ගැහිලිවලට එතන පහසුකම් හැදෙයි. රෑට-රෑට පෝස්ටර් ගහන්නේ, කටවුට් එල්ලන්නට යන්නේ අර සමිතිවල උදවියයි.

කැරට් අලය පස්සෙන් යන......
අසරණ එයාලා කැරට් අලය පස්සෙන් යන බූරුවන් වගේය. පක්ෂය වෙනුවෙන් ගම්කාරයන් එක්කම වලි දාගන්නේ, මරාගන්නේ, මේ සපෝටර්ලාය. එහෙම කැපී පෙනෙන විදියට වැඩ කළාමය දිනන කෙනාගෙන් favours ඉල්ලිය හැක්කේ. එහෙම කරලාත් උදව්වක් ඉල්ලුවාට ලැබෙන්නෙත් දාහකින් එකෙකුටය.

ඡන්දය ඉවර වුණු ගමන්ම අර කාර්යාල වැහිලා යයි. මන්ත්‍රී වෙන එකා උඩ යයි. ගමේ පක්ෂ, විපක්ෂ සේරටම කෙළවෙයි, රට අගාධයටම වැටෙයි! දුප්පතුන් තව-තවත් බිහිවෙයි.......  

දැන් මට හිතෙන්නේ එදා මා විකිණුනා නොවේද කියලාය. කිසිම කෙනෙකුට මගේ පාසල් ගමන කඩාකප්පල් වෙනවා නේද කියලාවත් මතක් වුණේ නැත. එහෙම එදා නම් මා විකුණුනේ අපේ දුප්පත්කම නිසාය; නොතේරුම්කම නිසාය.  කොතරම් කයිවාරු ගැහුවත් හැම කෙනෙක්ම විකිණෙතැයි කියමනක් තිබේ. සමහරු විකිණෙන්නේ රහමෙරවලටය. තව සමහරු ස්ත්‍රී පරාණවලට විකිණෙති. වස්තුව-වලඳුවට, පට්ටම්-තානාන්තරවලට, කීර්තියට.... තවත් කොච්චරක් නම් දේවල්වලට මිනිස්සු විකිණෙනවාද? ප්‍රශ්නය නොවිකිණෙනවායැයි කියන උදවියගේ මිල හොයාගැනීම තරමක අමාරු දෙයක් වීමය.

ඒ දවස්වල මානව හිමිකම් ගැන ලංකාවේ නම් කතාබහක් තිබ්බෙම නැත! (මේ මං දැනගෙන හිටි තරමයි.) ළමා ශ්‍රමිකයන් ගැන නීති-රීතිත් තියෙන්නට ඇතත් එව්වා ක්‍රියාත්මක වුණු බවක් නම් පෙනුණේ නැත. හැම පොහොසත් ගෙදරකම වාගේ දුප්පත් පිරිමි ළමයෙක්, ගැහැනු  ළමයෙක් කඹුරමින් හිටීම සුළු දෙයක් විය.

දුප්පත්කම ගැන......
‘සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි - නෝන ඌට මට වැඩියෙන් ආදරෙයි’ කියලා ජේ.ඒ. මිල්ටන් පෙරේරා දුක්බර හඬින් ගයා තියෙන්නෙත් එහෙම’කොල්ලෙක්’ ගැනය. සුනේත්‍රා රාජකරුණානායක ‘සඳුන්ගිර ගිනි ගනී’ පොතෙන් ලියා තියන්නෙත් එහෙම’ කෙල්ලක්’ ගැනය. ඔය නිර්මාණ දෙකටම කලින් ටී.බී. ඉලංගරත්න මහත්තයාත් අන්ත දුප්පත් ‘කොල්ලෙක්’ ගැන අමරණීය පොතක් ලිව්වේය. ‘අඹ යහළුවෝ’!

දැන් එහෙම අන්ත දුප්පතුන් ඇත්තෙම නැති උතුරුකුරු දිවයිනක් පහළ වෙලාද? එහෙමත් නැති නම් එහෙම දුප්පතුන් ඉන්නා බව නොදන්නා සමාජයක් බිහිවෙලාද කියා මට නම් වැටහෙන්නේ නැත. හැබැයි වෙන මොනවා නැතත් අපට හැටහුටහමාරක් නීති නම් ඇත. එව්වා රකින්නේ නැති එක ප්‍රශ්නයක් නොවේ.

දැන් මට හිතෙන්නේ එහෙම තද නීති, ඒ කාලයේ නොතිබුණු එකත් හොඳය. එහෙම තිබුණා නම් මට ‘පේව්මන්ට් එකේ රජ වෙන්නට’ ලැබෙන්නේ නැත. බැරි වෙලාවත් එහෙම වුණා නම්? අපේ ගෙදර සේරෝම සහගින්දරේම මැරිලා ගිහින්ය. අනෙක් අතට දැන් මා කොටාගෙන යන ‘මඩ ගොහොරුවක පච වුණු’ අත්දැකීම් ලබන්නටත් මට ඉඩ ලැබෙන්නේ නැත.

ඒ කාලයේ අංගාරක්ෂකයන් බුරුතු පිටින්.....
mpm මාමා කියූ විදියටම එදා හවස unp තරුණ සමිතියේ දෙන්නෙකු අපේ ගෙදරට එව්වේය. දෙන්නාම මා කලින් දන්නා අයයි, ලක්ෂ්මන් හා පෝල්. ලකීලා හිටියේ දැන් පමුණුවේ 'සී.අයි.බී. ඇක්සෙසරීස්'  එක තිබෙන තැන වූ ගෙදරකය. මගේ බොඩිගාඩ් වැඩේට තාත්තා තෝරාගත්තේ ලකීවය. ඒ අපි එයාලාගේ මුළු පවුලම අඳුනන නිසාය.  

මට බොඩිගාඩ් කෙනෙකු එව්වාට ඒ කාලයේ ‘අංගාරක්ෂකයන්’ බුරුතු පිටින් හිටියේ නැත. මන්ත්‍රී, මැති-ඇමතිවරුන්ට වුණත් එහෙමය. කාගෙන් පරෙස්සම් වෙන්නද? අද වාගේ ඒ උත්තමයන් වහන්සේලා මහජනතාවගේ වෛරයට, අප්‍රසාදයට, පිළිකුලට බඳුන් වෙලා නොහිටි නිසාය ඒ. ඒ සේරම වෙනස් වුණේ නම් 1977න් පස්සේය. ‘ජයවෝඩන යුගය’ එළඹුණාට පස්සේය. උන්නැහේලා මහජන මුදල් කාබාසිනියා කරන්නටත්, ‘ජරාව කා’ හිටු කියලා හරහට ආරන්නටත් පටන් ගත්තේ ඊට පස්සේය. එතකොට ආරක්ෂකයෝ නැතිව පුළුවනැයි. නේද?

මෙහෙම බ්ලොගයක් ලියවේයයි ඒ දවස්වල මගේ තුන් හිතකවත් තිබුණේ නැත. එහෙම හිතුණා නම් විස්තර ටිකක් එකතු කරගෙන තියාගන්නට තිබුණි. කොම්පියුටර් තියා TVවත් ලංකාවේ නොතිබුණු සමයකි; ඒ.

ඒ පහසුකම් නැති වුණත් ගොඩක් දේවල් නිසි සැලසුමක් අනුව වුණා වගේය, මට පෙනුණේ. කඩදාසිවල පෑනෙන්, පැන්සලෙන් සටහන් කර ගත්තාට සේරම තිතට කෙරුණේය! හුඟාක් දේවල් තිබ්බේ පණ නැති කඩදාසි කොළවල නොවේ, පණ ඇති අයගේ මොළවලය. එහෙම මොළකාරයෙකි ජිනදාස නියතපාල මහත්තයා. ඒ දවස්වල යූ.ඇන්.පී.  තරුණ බල මණ්ඩලයේ (මට මතක විදිහට නම ඒකය.) මොළකාරයාත්, වැඩකාරයාත් වුණේ ඔහු බවයි මට පෙනුණේ.

ලී වාඩිය තිබ්බේ..........
ඉතින්, අපි මොනරාගල ගියෙමු. මායි, ලකීයි. රණසිංහ මුදලාලිත් එක්ක, එයාගේ තඩි කාර් එකේ. මට මතක විදියට නම් ඒ වැල්ලවාය විය යුතුය. මුදලාලිගේ ලී වාඩිය තිබ්බේ එහේය. වාඩිය කිව්වාට ඒක ගෙදරකි. හැබැයි හතර වටේම දැවැන්ත ලී කොටන්ය! ‘ලොකු වුණාම අපිත් ඔබට’ කියමින් වාගෙය, වාඩිය වටේ පැළ ගසුත් හුළඟට වැනුණේ.

වාඩියේ කෑම උයන්නට වෙනම කෙනෙක් හිටියේය. හොඳ රසට ඉව්වේය. කෑමෙන් නම් කිසිම අඩුවක් අපට කෙරුණේ නැත. හැබැයි උදෙන්ම නැඟිට, කා-බී, සූදානම්වී පිටත් වෙන්නට වෙයි. ඒ පැත්තේ වැඩිපුරම රැස්වීම් තිබුණේ දහවල් කාලයේය. රැස්වීම කිව්වාට මහ ලොකූ එව්වා නොවේ. පොඩි-පොඩි එව්වාය. සීයක්වත් හිටියේ එහෙමත් එකකය.

මගේ කතාව පැවත්තුවාට පස්සේ මට නම් හරි සැලකිලිය. මට විතරක් නෙවේ, ලකීටත්. තලගුණේ මහත්තයාත් මා දුටු හැම තැනදීම වචනයක් දෙකක් කතා කරන තරමට හිතවත් වුණේය.

ඒ ගොල්ලන්ගෙ කතා ...........
හැම රැස්වීමකම පාහේ කතා පැවැත්තුවේ එකම පිරිසක් වාගේය. ඒ හුඟක් අය ඒ පැත්තේම උදවියයි. ඒ ගොල්ලන්ගේ කතා අහගෙන ඉන්නට නොහිතෙන එව්වාය. නමුත් නගරයක තිබෙන රැස්වීමක තත්වය ඊට වෙනස්ය. එව්වාට ආවේ සුපිරි කථිකයන්ය. දැවමොට්ටාවේ අමරවංස හිමි, මීටියාගොඩ ගුණරතන හිමි, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න යන හතර දෙනාය වැඩියෙන්ම මගේ හිත් ගත්තේ. එයාලාට හොඳ ඉල්ලීමකුත් තිබිණි.

නමුත් මේ හතරදෙනාම සූරයන් වැඩියෙන්ම මට හමුවුණේ ඌව වෙල්ලස්සේදී නොවේ. අත්තනගල්ල, ගම්පහ, කුරුණෑගල, මිනුවන්ගොඩ, කුලියාපිටිය, ජාඇල, මීගමුව වගේ ආසනවලදීය. ඒ හරියට ඉක්මනින්ම එනතුරු ඔන්න ආයෙම මොනරාගලට. මගේ කථික වීරයන් ළඟට......

එයාලගේ කතා නිසා මගේ කතාවත් තව-තව හැඩ වෙන්නට විණි. ඒ එයාලා මට ඉගැන්වූ හින්දා නම් නෙවේ. මා ඉගෙනගත් හින්දාය; හරියටම කියනවා නම් එයාලාගේ කතාවල හොඳ-හොඳ කෑලි මං අහුලාගත් හින්දාය. ටිකෙන් ටික මගේ කතාවලට වැටෙන  ‘හුරේ’ වැඩිවෙන විට, අත්පුඩි ගැහිල්ල වැඩිවෙන විට, මුහුණු හිනාවෙන්-ආසාවෙන් ඔප වැටෙන විට... මම ඒ මොන වාගේ තැන්වලදීදැයි නිරීක්ෂණය කළෙමි. ඒවා වැඩියෙන් කතාවලට එකතු කරගත්තෙමි. මේ හොඳ කථිකයකුගේ ලක්ෂණයක් බව මා ඉගෙන ගත්තේ නම් පසු කාලයකය!

මගේ මතකය නිවැරදි නම්, ඩබ්ලිව්.එස්. කරුණාරත්න මහාචාර්යතුමා කතා කරද්දී චිත්‍රපටවල නම් ඈඳාගත් විත්තියකුත් තිබෙයි. ඒ කාලයේ මිනිසුන්ගේ ලොකුම විනෝදාංශය වී තිබුණෙත් චිත්‍රපටයක් බලන්නට යාමය. ඒ නිසාදෝ අර ‘ෆිල්ම්ස්වල නම් එක්ක කරන කතාවට’ ලොකු ගැම්මක් ලැබුණේය.

කුඩා රැස්වීමක් අමතන w s කරුණාරත්න.....
සූරියප්පෙරුම මහත්තයාත් මිනිස්සුන්ව හිනස්සන්නට සමතෙකි. බොහොම සීරියස් විදියට යමක් කියාගෙන ගිහින් ඒ බැරෑරුම්කමෙන්ම හාස්‍යය වැගිරෙන දෙයක් කියයි. ඒ තමුන් හිනාවෙන්නේ නැතිවය, අර බරපතළ කටහඬින්මය.

වාදීභසිංහ දැවමොට්ටාවේ හාමුදුරුවන්ටත් වඩා මීටියාගොඩ හාමුදුරුවෝ වේගවත්ය, රැස්වීම දෙදරවන්නට කතා කළේය. මං හිතන්නේ ඒ දවස්වල උන්නාන්සේ වඩා තරුණ නිසා ඒ ජවයත් කතාවලට එකතු වුණා කියලාය.

කොහෙදෝ ලොකු කන්දක තිබුණු ගම්මාන ගොඩකටම ගිය ගමනකදී අපූරු දෙයක් සිදු වුණේය. ඒ පාරවල් වාහනයකට යාහැකි තරමේ ඒවා නොවේ. තලගුණේ මහත්තයා ඒ ගමනට ජීප් රථ කීපයක් සූදානම් කරවා තිබුණේ ඒ හින්දා විය යුතුය. යන්නට හිටි පිරිස වැඩි නිසා රණසිංහ මුදලාලි නැවතුණේය. “ඔය ළමයත් නැවතුණා නම් තව එක්කෙනෙකුට ඉඩ හම්බ වෙනවා!” ඔහු ලකීටත් කිව්වේය.

“අනේ මුදලාලි, එහෙනම් රංජි මල්ලිවත් නවත්තා ගනිමු. රංජිව විතරක් තනියෙන් කොහේටවත් යවන්න එපා කියලයි මට mpm කියලා එව්වේ. අන්තිමට මට ගුටි කන්නයි වෙන්නේ මුදලාලි කියන දේවල් කළොත්.” ලක්ෂ්මන් ගත් කටටම කිව්වේය. රණසිංහ මුදලාලි ඊට එහා මොකුත් නොකියා නිශ්ශබ්ද වුණේය.

සූරියප්පෙරුම මහත්තයාත්......
ඉතින් අපි රැස්වීම් ගණනාවකටම ගියෙමු. කට්ටිය වාහනවලට බෙදා තිබුණේ පිළිවෙලක් ඇතිවය. රැස්වීමේදී පළමුව කතා කරන අය පළමු වාහනයේය. මං හිටියේ දෙවෙනි එකේය. ඒ මට කතා කරන්නට වුණේ දෙතුන් දෙනෙකුට පස්සේ නිසාය. තුන්වෙනි වාහනයේ තලගුණේ මහතා ඇතුළු පිරිසය.

එකටම ගියත් පළමු රැස්වීමේදී, පළමු කථිකයන් කතා කරලා ඉවර වුණු වහාම, පළමු වාහනය එයාලාව රැගෙන පිටත් වෙයි. ඒ දෙවෙනි රැස්වීම තිබෙන තැනටය. එතනට ගිය ගමන්ම එයාලා දෙවෙනි රැස්වීම පටන් ගනිති. පළමු රැස්වීමේ දෙවෙනි කථිකයන්ගේ කතා ඉවර කරනවාත් එක්කම ඒ වාහනයත් පිටත් වෙයි. හරියටම ‘රිලේ’ එකක් දුවනවා මෙනි. වෙලාව ඉතිරි කරගෙන, ටික දෙනෙකු යොදාගෙන  පොඩි රැස්වීම් ගොඩක් තියන්නට ඒ ක්‍රමය උදව්වකි.

ඉස්සර චිත්‍රපට පෙන්නද්දීත් ඔහොම වැඩක් කෙරුණේය. මට හොඳටම මතක ‘මාතලන්’ යළිත් ප්‍රදර්ශනය කරද්දීය. ඒ වතාවේ ඒක බොරැල්ල රිට්ස් එකේ පැල් බැඳගෙන දිව්වේය. අවුරුද්දකටත් වඩා කාලයක්ම. කොළඹම තවත් හෝල් එකකත් ඒකම ප්‍රදර්ශනය කෙරුණත් තිබුණේ එකම පිටපතකි. රිට්ස් එකේ ෆිල්ම් එක පටන් ගෙන පළමු රීලය දුවලා ඉවර වුණු වහාම ඒක දෙවෙනි ශාලාවට රැගෙන යයි. වාහනය ආපහු රිට්ස් එකට ඇවිත් දෙවෙනි රීලය පෙන්නා ඉවර වෙනතුරු බලා ඉඳියි. දෙවෙනි හෝල් එකේ ‘මාතලන්’ පටන් ගත්තේ වෙනදා වෙලාවට නොවේ. පරක්කු කරලාය!

ග්රාපාලීස්.......
‘ග්රාපාලීස් ලපාන්ත කුශාම් ශාන්ත ප්‍රාන්ත වීම්!’ මාතලන් එකේ චිත්‍රවල්ලි (ක්ලැරිස් ද සිල්වා) කියූ ඒ දෙබස් තවමත් මට මතක් වෙයි. ෂා, මරුනේ!

ඉතින්, අපේ රැස්වීම්වලට දුවපු රිලේ එකේ ඉතිරි හරිය කියන්නේ, ආපහු මනසින් ‘මාතලන්’ බලලා හෙම අහකවෙලාය!

Thursday, September 27, 2018

අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස


“ඔන්න අයියේ, මං හිතාගෙන ඉන්නවා මීට පස්සෙ හැම මාස දෙකකටම සැරයක්වත් weekend එකක කොහේ හරි යනවාමයි කියලා. යමු නේද?” අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා කිව්වේය. “මං වැඩ කරන හැටියට ස්ට්‍රෙස් එක හරි වැඩියි. ටිකක් හරි රිලැක්ස් වෙන්නම ඕනේ.” බොක්කෙන්ම වැඩ කරද්දී එහෙමය. අවුරුදු දෙක තුනකට ඉස්සර අයස්මන්ත එහෙම කිව්වත් ඒක නොකෙරුණා හා සමානය.

අයස්මන්ත මහත්තයාලට පොඩි විවේකයකදී ලොකු ට්‍රීට් එකක්....
හිතාගෙන ඉඳීමත්, ක්‍රියාත්මක වීමත් අතර ලොකූ පරතරයක් ඇත. ජීවිතය අපට දේවල් තිලිණ කරන්නේ ඒකටම ඕනෑ හැටියටය. එතකොට අර plan කරන් ඉන්නා එව්වා ඔක්කොම කැලේය.

වෙනදා වාගේම එදාත් අපි දෙන්නා හම්බන්තොට යන්නට සූදානම් වීමු. වෙනදා වගේම කිව්වේ, මාසයකට වතාවක්, වතාවතක් පරිද්දෙන් මට හම්බන්තොට රෝහලට යන්නට තිබෙන බැවිනි. ඒ බෙහෙත් ගන්නටය. (‘වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා’ පෝස්ටු කියෙව්වා නම්, මා ඇයි එහෙ යන්නේ කියන සේරම විස්තර ඔයාලා දැනටමත් දනී.) 

මේ වතාවේ ගමනට ගවීනුත් එකතු වුණේය. එතකොට නෙවිලුයි, ගවීනුයි, මායි ..... සේරම තුන් දෙනෙකි.

උදේ හතරයි විස්සට මහරගමින් අධිවේගයේ යන මාතර බස් එකට නැංගාම හයට මාතරය. එතනින් හයයි පහට තිස්ස බස් එක අල්ලා ගත්තාම අටයි කාල වෙද්දී අප හම්බන්තොටය.

එතකොටත් අපේ අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා වැඩ පටන් අරන්ය. “පව්නේ නිමල් අයියේ, සමහරු එන්නේ රෑ ඉඳලා. උදෙන්ම පටන් ගත්තාම ඒ මිනිස්සුන්ට දවල් වෙද්දී ගෙදර ගිහින් ඉන්න පුළුවන්!” අයස්මන්ත ඒ ගැන කියන්නේ එහෙමය.

අසංගලාගේ කුටුම්බය.....
එහෙමට වැඩ තිබ්බත්, ඔහු අප ගැනත් අමතක කරන්නේ නැත. අපි බස් එකෙන් බහිනකොටත් අසංග එතනය. නිකම්ම නොවේ! දොස්තර මහත්තයාගේ වාහනයත් අරගෙන ඇවිත් බලාගෙන ඉන්නේ අපිව ඉස්පිරිතාලයට එක්කං යන්නටය.

අසංග එක විදියක allrounder කෙනෙකි. ඔහු ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපාරයක් කරයි. ගොඩාක් දොස්තර මහත්වරුන්ගේ රියදුරු රාජකාරියත් (නසාර් වගේම තාවකාලිකව) කරයි. ඒ ගොල්ලොන්ගේ සාදවලදී කෑම-බීම, අඩුම-කුඩුම සේරම ගෙනත් දෙයි. හුඟ වෙලාවට එව්වා උයා-පිහා දෙන්නෙත් අසංගමය. අසංග අයස්මන්ත මහත්තයාට පණ ඇරලාය. ඒකේ වාසියත් අපටමය. ඇයි, අපිත් දොස්තර මහත්තයාගේ යාළුවොනේ? (නසාර් ගැන පස්සේ කියන්නෙමි.)

ලොකුම දේ අසංග හම්බන්තොට නාඳුනන කෙනෙක් නැති එකය. ලොක්කෝ- සොක්කෝ කවුරුනුත් එක්ක ගැවසෙන අසංග ‘නියම දුක්ගන්නා රාළ’ කෙනෙකි. ඔහු අපව රෝහලට රැගෙන යයි. ඒ වෙලාවට අයස්මන්තව අල්ලා ගන්නවා තියා කතා කරන්නවත් පුළුවන්කමක් නැත. ඒත් සේරම වැඩ අසංගට පවරලාය. 

අසංගත් නූලට-රූලට ඒ ඔක්කොම කරන්නේ “... නැත්තං දොස්තර මහත්තයට යකා නඟිනවනෙ” කියමිනි.


.... දොස්තර මහත්තයට යකා............
අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයාගේ යකා ගැන හම්බන්තොට දිස්තිරික්කයම දන්නවා වගෙය. ඉස්පිරිතාලයේ නම් කියන්නට දෙයක් ඇත්තෙම නැත. එහෙම නැතිවත් බැරිය. 

නැතිව දවසකට ලෙඩුන් සිය ගණන් බලන්නට පුළුවනිද? අක්ෂි වෛද්‍ය සායනයේත්, වාට්ටුවෙත් සේරෝමලා දොස්තර මහත්තයා යකා බැඳගෙන වාගේ කරන වැඩ කන්දරාවටම හරියන්නට, ගැළපෙන්නට සැරසී හිඳිති. ඒ නිසාම දෙයියන්ගේ අඩවියේදී වාගේ කටවත් වරද්දා නොගන්නට පරෙස්සම් වෙති.

ඉස්පිරිතාලයට යන අතරේම අසංග වැරැදි වැඩක් කරයි. වාහන එලවන අතරේ ෆෝන් calls ගැනීම වැරැද්දය, ඒ. 

එහෙම ගන්නේ ‘අමරා මිසීටය’. ඉතින් අපි ඉස්පිරිතාලයට ඇතුළු වෙනකොටත් අමරා මිසී එතනය. දාහක් රාජකාරි මැද්දේ ඇය මා කැටුව ගිහින් රුධිර පරීක්ෂණවලට අවශ්‍ය ලේ ගැනීම්, එව්වා පරීක්ෂණාගාරයට බාර දීම් සේරමත් කරයි; කරවයි.
අමරා මිසී මේ සේරම කරන්නේ....
අමරා මිසී මේ සේරම කරන්නේ දොස්තර මහත්තයා කියා ඇති නිසාම නෙවෙයිලු. මට ඇති විශේෂ කරුණාව හින්දාලු. මාව අවුස්සන්නට එහෙම කියන්නේ අපේම දෙතුන් දෙනෙකි. (පේනවා නේද, අමරා මිසී?) 

එයාලාගේ වැරැද්දක් නැත. වැරැද්ද සිද්ධවී තියෙන්නේ එයාලට රන් කිරි කට ගාන වෙලාවේය. හදිස්සියට රත්තරන් උරච්චි කරලා ඇත්තේ පඩික්කමේ අතුල්ලලාය. නැතිනම් අච්චර උදව් කරන  අර අහිංසක මිසීටත් පදයක් හදාවිද?

“දැන් නිමල් අයියලට උදේට කාලා-බීලා එන්න වෙලාව තියෙනවා. blood reports රෙඩි වුණාම මං නෙවිල්ට කෝල් එකක් දෙන්නම්!” එතනින් අමරා මිසී කරන මගේ රාජකාරිවල  පළමු වටය හමාරය. (මට මොබයිලයක් නැත. ඉතින් මේ ගමන්වලදී නෙවිල් මගේ කෝඩිනේටර් job එකත් කරයි!).

ඕනෑම කෙනෙක් තවකෙකුගේ මුවෙන් පිටවෙනවා අහන්නට කැමැතිම වචනය තමන්ගේ නමලු. හොඳට හිතලා බැලුවොත් නම් ඒක ඇත්තය. 

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඔය කාරණාව හොඳටම දැනගෙන ඉන්න ඇති කියා මට විශ්වාසය.

මමම මගේ දිහා බලා......
fb එකට යන අපි නිතරම බලන්නේ අප ගැන අනෙක් අය කොතරම් තකනවාද කියා කියලාය. වැඩිම දෙනෙක් ඒකට දාන්නේ එක-එක ඉරියව්වලින්, එක-එක ඇඳුම්වලින්, එක-එක තැන්වලදී අරගත් තම-තමන්ගේ ෆොටෝස්ය. මමම මගේ දිහා බලන එව්වාය, සෙල්ෆිය. වැඩිම දෙනෙක් අපේ එව්වාට likes දානකම් අපි බලා ඉන්නේ කොච්චර ආසාවෙන්ද?

ඉතින් ‘මා’ ළඟට වැඩියෙන්ම මිනිසුන් ප්‍රිය කරන වදන ‘අම්මා’ලු. (භාෂා විශේෂඥයෝ කියන්නේ එහෙමය. හැබැයි ‘අම්මා’ මිස ‘අම්මට’ නෙවේ! තමුන්ගේ වාග් කෝෂයේ අම්මාට වචනය නිතරම යොදන්නේ නම් ‘බාසා වෙල්ලෝය!’). හුඟක්ම භාෂාවල මව හඳුන්වන වචනය අම්මා- මා- මදර්- මමී- මමා- උම්මා- වගේ එක කිට්ටුවෙන්ම හඬ නැංවෙන එව්වාය.

ඒ නිසාමද කොහෙද වෙළෙඳ ප්‍රචාරණයෙදීත් ‘අම්මාගේ කැමැත්ත’, ‘අම්මාගේ තේරීම’ හිටු කියා යොදා ගැනේ. සංචාරකයන් අද්දවා ගැනීමටත් මෙහෙම කළ තැනක් ගැන මා දැනගත්තේ, අප මෙවර හම්බන්තොට ගිය ගමනේදීය. 

‘මමාස්’. කොහොමද, නම වගේම තැනත් ලස්සනද?

නම වගේම තැනත්............
ඉතින්  අපි ඉස්පිරිතාලෙට යන ගමනේදී රෝහල ඉස්සරහ කොහේ හරි තැනකින්; අයිල කඩයකින් කඩයප්පම් කෑමක් කන්නට මං හරි කැමතිය. මොන? නෙවිල් ඒ ආසාව ගැන අයස්මන්තට, සුජානි නංගීට, අසංගට විතරක් නොවේ නසාර්ටත් කියයි. “මූට මැස්සෝ වහපු නැති කෑම ඇලර්ජික්ලු.”

ඉතින් කොහොම මගේ දොළ සංසිඳුවා ගන්නද? ඒක පැත්තක තිබ්බත් සුජානි නංගීගෙ හිත රිද්දන්න ඇහැකිද? 

“නිමල් අයියලා හෙට එනවා නේද?” කියා කලින් දවසෙම කෝල් කරලා අහන්නේ ඇයමය. ඒ අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා මට නිර්දේශ කර ඇති විදියට, ‘අනුමත ආහාර වේලක්’ හදා දෙන්නටය. වැඩිම දවසක අප උදේ කෑම ගන්නේ එහෙන්ය. 

ඒ විතරක් නොවේ. රුධිර පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු, පොඩි විවේකයක් ගෙන ‘රිප්‍රෙෂ්වී’ යළි පණ ලබාගන්නෙත් එහෙදීය.

“ඔන්න තමුසේ ලෙඩේ හොඳ කරගන්නෙ එහෙම නැහැ ඕං. අපිටත් මෙහෙම පිනා චාන්ස් එකක් නැති වෙයි, තමුසෙට සනීප වුණොත්!” නෙවිල් කියන්නේ හිතන දෙයම නොවේ. කට තියාගෙන ඉන්න බැරිකමටය. 

එයා සුජානි නංගිලාව පසසන්නේ එහෙමය. අනෙක, මේ ගමන්- සත්කාර විඳිලි හින්දාම දැන් සුජානි නංගිගේ සැමියා සාන්ත විතරක් නොවේ, උයන්නට එන ඥානකුමාරිත් අපේ යහළුවෝය.

සුජානි නංගි, සාන්තයි පුතණ්ඩියායි එක්ක.....
“මං අද එන්න නෙවෙයි මහත්තයෝ හිටියේ. ඒත් නෝනා කිව්වාම මහත්තයල එනවයි කියලා, අද ආවා!” සමහර දවසට ඥානකුමාරි කියයි. 

ඇය නැති දවසක වුණත් අපට උදේ- දවල් දෙකටම සුජානිලගේ ගෙදරින් දානය වරදින්නේ නැත! එහෙම දවසට උදෙන්ම නැඟිට සුජානි නංගී අපට උයා තබයි. එයාත් දැන් අපේම මිතුරියක් වුණාට අයස්මන්ත මහතාගේම කාර්ය මණ්ඩලයේය. ඉන්නේ රෝහල පෙනෙන මානයේය.

ඉතින් ඔහොම සුහද හිත මිතුරු-මිතුරියන් සමඟ හම්බන්තොටදී කෙරෙන ප්‍රතිකාර හොඳටම වැඩ කරයි. වෙදකම වගේම හෙදකමත් අපූරු හින්දාය ඒ. ඔන්න මං එහෙම කිව්වාම හම්බන්තොට උදවිය සන්තෝසෙන් උඩ පනින්න එහෙම එපාය. 

අලි-ඇතුන් වගේ ඉන්න ඕනෙය. එහෙම කිව්වේ හිතා-මතාමවත් අලි-ඇත්තුන්ට අඟලක්වත් උඩ පනින්නට බැරි නිසාය. (හම්බන්තොට  ඉන්න අලින්ට වුණත් ඒ තියරිය වලංගුද මන්දා!) ඒකටත් එක්ක බලුමැක්කෝ! උන්ට තමුන් වාගේ 200 ගුණයක් උඩ පනින්නට පුළුවන්ලු.

ඔන්න, අපි කාට-කාටත් ආදුරුසේට ගන්න හොඳ උපදේශ කවියකුත් තියෙන්නේ උඩ පැනිල්ල ගැන.... දන්නවා වුණත් ආයෙම මතක් කරගනිමුද ආයුබොවන්ලා.

බො  රැ ල් ලේ  තරම  දැනගෙන උඩ           පනිනූ
ගො ඩැ ල් ලේ  තරම  දැනගෙන ළිඳ           කපනූ
  ඩු  ල්  ලේ   තරම  දැනගෙන කද            බඳිනූ
    න්  ගේ   තරම  දැනගෙන              දවසරිනූ

උඩ පැන්නොත් බිම..........
ඔය කවිය නම් අපි දන්නෙමු. ඒත් නොදන්නේ අපේ තරමය! අයස්මන්ත මහත්තයාත් ඒ වාගෙමය.

මං කියන්නේ, එයා තමන්ට තියෙන වැඩ කන්දරාව දන්නේ නැත කියන කාරණාවය. ඒ නිසාම මං වගේ හැච්චො-බැච්චො සේරමලගේ උවන්දිරම්වලටත් කර ගහයි. ඒ මිත්‍ර සම්පත්තිය උතුම් කොට සලකන හින්දාය. ඉතින් කොහොමද ට්‍රිප් යන්නේ?

ඒත් ගිය මාසේදිමයි මේක යෝජනා වුණේ; “මේක හරි යන්නේ නෑ අයියේ. මේ වතාවේ බෙහෙත් ගන්න ආවාම, අඩුම තරමේ එදා රෑට විතරක් හරි ගල් වෙන්න ඕනේ!” ඒ යෝජනාව ආවේ පීරිස් දොස්තර මහතාගෙන්. 

නෙවිලුත් ‘හා’ කිව්වේ එක පයින්. එයාලටත් එක දිගටම වැඩ, වැඩ, වැඩලු. “රස්සාවත් එපා වෙලා යන තරමට වැඩ!” කියලයි ඒ හාදයා කියන්නේ.

වැඩ තිබ්බත්, කන්කෙඳිරි නොගා ඉඳ-හිටවත් නිවාඩු හොයා ගන්නා ගවීනුත් stress එක නිවා ගන්නේ ‘කොහේ හරි’ යන එකෙනි. පිස්සු හොඳ එක! කාට හරි, රස්තියාදුවට බර අපව එහෙම පෙනෙන්නත් පුළුවනිය.

ඒ අස්සේ දොස්තර මහත්තයා මට රහසකුත් කියාපි!

“අයියේ, එදාට මගේ ලෙඩ්ඩු ටිකකට පොඩි උපදේශන වැඩ සටහනක් තියෙනවා. දැන් ඉන්න හුඟාක් ඇස් ලෙඩ්ඩුන්ට දියවැඩියාවත් තියෙනවාමයි. බෙහෙත්වලින් විතරක්ම ඒක අඩු කරනවාට වැඩිය හොඳයි, කෑමෙනුත් ඒක control කර ගන්න එක. දැන් අයියටත් ඒ මෙතඩ් එක හරි ගියේ. ඉතින් එදාට අයියාත් පොඩි ලෙක්චර් එකක් කරන්න ඕනේ, ඩයබිටික් ලෙඩ්ඩුන්ට ගැළපෙන කෑම ජාති ටිකක් හදා ගන්න හැටි ගැන.... ඔයා හදන ඩයට් එකෙන් නෙවිලගෙයි, ගවීන්ගෙයි බරත් අඩු වුණේ, මාස හයට කිලෝ තිහක්-තිස්පහක් විතර. එතකොට කැමති අය try කරලා බලයිනේ!”

කාට හරි හොඳක් වෙනවා නම් මොකට පස්ස ගහන්නද? මම ‘හා’ කිව්වෙමි.

උපදේශන වැඩ සටහනේදී......
“ලොකුම වැඩේ, එදාට නෙවිලයි, ගවියයි දෙන්නවත් ස්ටේජ් එකට නග්ගවමු. හැබැයි ඒ වෙලාව එනකල් අයියා මේක කාටවත් කියන්න බැහැ. ඔන්න දැන්මම කිව්වා එහෙනං. මං දන්නවනේ නිමා කොලුවට රහසක් තියාගෙන ඉන්න අමාරු බව!”

අයස්මන්ත කීවේ ඇත්තය. මා හිටියේ කට කොකිය-කොකියාය. ඒත් රහස නම් කිව්වේ නැත. අනතුරු ඇඟෙව්වා විතරය. මෙහෙමය. දවසක් ගවීනුත් ඉන්නා විටකදීම නෙවිල් මොකක්දෝ එකකට මට පාරම් බෑවේය. මට යකා නැංගේය. 

“තමුසේ ඕනෙවට වැඩිය කට ගහගෙන ආවට බලනවා තමුසෙට වෙන දේ, තව සුමානයක් යන්න කලින්.”

“ඇයි, මට මොනවා වෙන්නද?”

“මං කිව්වට බලනවකො. තමුසෙගෙ ඔළුවේ ඉන්න උකුණෝවත් දන්නේ නෑ නෙවිල් අනුරසිරිට වෙන්න යනදේ.” මා කීවේ එච්චරය. ඉතිරි ටිකත් කියන්නටම හිතුණා වුණත් දත් මිටි කාගෙන නිස්සද්දව හිටියෙමි. (නෙවිල් වැඩියෙන් කැපී පේන්නට ඉස්සරහට පනින වරිගයේ නොවේ! ලජ්ජාකාරයෙකි!!) සමහරුන් නම් පේවී ඉන්නේ අනුන්ගේ ඔටුන්නක් අරන්, තමන්ම හරි දාගෙන නම- තැන ගන්නටය.

අනුන්ගේ ඔටුන්නක් හරි තමන්ම දාගෙන..........
මා නෙවිල්ට අවසන් දිනුම් පදය කිව්වේ අර මහත්තුරු දෙන්නාවම ස්ටේජ් එකට නැග්ගුවාට පස්සේය! stage එකෙන් බැස්සට පස්සේ නම් නෙවිල් මුණු-මුණු ගගා කුණුහරුප දෙක-තුනක්ම වායු ගෝලයට මුදා හැරියේය. මගෙ මොකෝ? එව්වා මගේ ඇඟේ ඇලෙන්නේ නැති හින්දා මට නම් කිසිම වගක් නැත.

දොස්තර මහත්තයාත් මා වාගේමය. කුණුහරුපෙන් බැන්නත් ගණනක් නැත.

“මොකක්ද  පx ඔය හුxx වැඩේ?” කියලා නෙවිල්ට කියවුණාම අපි බඩ අල්ලාගෙන හිනා වුණෙමු! 

නෙවිල් එහෙම කිව්වේ, ‘මං හෙට උදේ දහය වෙද්දී කොළඹ ඉන්න ඕනේ මචං.’ කියලා අයස්මන්ත කී වෙලාවේය. මට බෙහෙතුත් අරගෙන, සුජානි නංගිලාගේ ගෙදරින් අවේලාවේ සප්පායම්වී ආපසු එන්නට සැරසෙන විටය අයස්මන්ත ‘කඩි ගුලට උණු අළු දැම්මේ’.

මගේ පෝස්ටු 75ක් කියවා ඇති නිසාම දැන් මා කියන්නට යන්නේ මොකක්දැයි හිතාදර ඔබ දනී! ඔබ හරිය. සෙස්ස පස්සටය!

Monday, September 24, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස

ඉතින් කොහොමද? ජීවිතේට ගොඩක් දේවල් ඕනෙද? මට නම් ඕනේ කරන්නේ ටිකාක්මත් නොවේ.... තරමක් දේවල්ය. මං ‘සල්ලහුක වෘතය’ ඉක්මවලා වගෙය. ඒත් මොකෝ ‘අධිපරිභෝජනයට’ නොයනවා නම්, නේද.

මොකක්දෝ සැර ඔසුවක්...................
මහේන්ද්‍ර පෙරේරා දොස්තර මහතා මට ප්‍රතිකාර කිරීම පටන් ගත්තේය. 

මුලින්ම කෙරුණේ ‘කීමෝතෙරපි’ ප්‍රතිකාරයි. එහිදී මොකක්දෝ සැර ඔසුවක් සේලයින් දියරයත් සමඟ මගේ සිරුරුගත කෙරිණි. එය කෙරෙන්නේ රෝහලට නේවාසික රෝගියෙක් ලෙස ඇතුළත් කළ පසුවය. බෙහෙත ශරීරගත වීමට පැය එකහමාරක්, දෙකක් විතර ගත වෙයි. ඊටත් ටිකකට පසුය ටිකට්  කපා රෝගියා ගෙදර යන්නට නිදහස් කරන්නේ.

අවුරුදු ගණනාවක්ම මල්ලිකාත් සමඟ ‘අපේක්ෂා රෝහලේ’ කරක් ගැසූ නිසා සුනිලුත් ඒකෙම කෙනෙකු තරමට එහේ කටයුතු කෙරෙන විදිහ දැනගෙන උන්නේය. එබැවින් මට බෙහෙත් දෙන අතරේ, ගෙදරදී නිතිපතා ගන්නට ලබාදෙන ඖෂධ ටික ගන්නට ගියේ සුනිල්ය. ඒ වෙලාව ඉතිරි කරගන්නටය.

කීමෝතෙරපි දෙන වාට්ටුවේ සේවය කරන හැමෝම ඉන්නේ අත්වැසුම්, මුවවැසුම් දමාගෙනය. ඒ විකිරණශීලී බවෙන් ආරක්ෂා වීමට වෙන්නැතිය. පිටස්තර අයට වාට්ටුවේ රැඳෙන්නට ඉඩ නොදුන්නත්, අයස්මන්ත දොස්තර මහත්තයාට ඒ තහනම බලපෑවේ නැත. 

විකිරණශීලී අවදානම ගණන් නොගෙනම ඔහු මගේ ගිලන් ඇඳ ළඟ උන්නේය. අදත් මා හරිම ලජ්ජාවෙන් මතක් කරන දෙයක් සිදු වුණේ එහෙම වෙලාවකය.

වෙනදා වාගේම එදාත් වාට්ටුවට ඇතුළු වුණාට පස්සේ මට බෙහෙත එන්නත් කිරීම පටන් ගත්තේය. පීරිස් මගේ ලෙඩ ඇඳ ළඟය. වෙනදාට නම් මිසී කෙනෙක් අයස්මන්ත දොස්තර මහත්තයාට කොහෙන් හරි පුටුවක් හොයා දෙයි. එදා ඒකත් නැත. “පීරිස්...” මං බැරි-බැරි ගාතේ කතා කළෙමි. “මේක දීලා ඉවර වෙන්න වෙලා යනවනේ... ඔයා යන්න.... සුනිලුත් ඉන්නවනේ, මං සුනිල් එක්ක ගෙදර යන්නං. ඔයාට වැඩ තියෙනවනේ මහත්තයෝ.”

බිතු සිතුවම් රූ මෙන්......
මා පීරිස්ගේ තැන හිටියා නම් කරන්නේ එහෙමය. ආයේ කියන තුරු ඉන්නෙත් නැත. මමම අහලා යනවා මිස. කාලය අපතේ යැවිල්ල මට පෙනෙන්න බැරිය. ඒත් මගේ කෝණයට වඩා වෙනස් පැත්තකින්ය ‘අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා’ බලන්නේ!

“මට කොච්චර වැඩ තිබුණත් කමක් නැහැ නිමල් අයියේ. එව්වා දාලා මං මෙහෙම ඉන්නේ යාළුකම හින්දා. මෙහෙම වෙලාවක ටිකක් ළඟින් ඉන්නවත් බැරි නම් අපේ යාළුකමෙන් ඇති වැඩේ මොකක්ද?” ඒ ඔහුය.

සැළලිහිණි සංදේශයේ සුප්‍රසිද්ධ කවියෙන් කියන්නේ මෙවැනි මිතුරන් ගැන විය යුතුය.
‘මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවැතී
 බිතු සිතුවම් රූ මෙන් පිටු     නොපාවිතී’

යළිදු කියන්නෙමි. පීරිස් විතරක් නොවේ! ජීවිතය මට දී තිබෙන ලොකුම තිළිණය මගේ හිතමිතුරු කැලය. දැනුදු ඔවුහු නිබඳව මා වටා සිටිති. මට දිරි දෙති. අඩුම තරමින් අවුරුද්දකට සංචාර දුසිමකවත් යෙදෙන්නට මට වාසනාව ලැබෙන්නෙත් එයාලා නිසාමය. මේ සමහර මිතුදම් වසර 40ත් ඉක්මවූ ඒවා බවත් මෙතනදී කියන්නේ සාඩම්බරයෙනි!

එහෙම වාසනාව තිබිලාත් මෙහෙම ලෙඩ හැදෙනවාද? මොකද නැත්තේ.

ලීසා රේටත්............
ඔයාලට සරලා කාරියවසම් දැරිය මතකද? නැති නම් චුයියා.... කල්‍යාණි.... නාරායන්.....? චුයියා අට හැවිරිදි වැන්දඹුවකි. ඒ ‘වෝටර්’ චිත්‍රපටයේය. චුයියාට රඟපෑවේ ශ්‍රී ලාංකික සරලා කාරියවසම් දැරියයි. කල්‍යාණිට ලීසා රේ නිළියත්, නාරයන්ට ජෝන් ඒබ්‍රහම් නළුවාත් පණ පෙවූහ. ලීසාටත් මල්ටිපල් මයෙලෝමා වැලඳුණු පසුව ගත් ඡායාරූපයකි දකුණු කෙළවරේ තිබෙන්නේ.

පිළිකාවට වයස් භේදයක්, ජාති භේදයක් හෝ පන්ති භේදයක් හෝ වෙනත් කිසිම භේදයක් අදාළ නැත. කොටින්ම ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිමී කාටර්ටත් පිළිකා රෝගය වැලඳුණි. ඔහුගේ දෙමාපියන්, සොහොයුරියන් දෙදෙනෙකු හා සොහොයුරෙකුද පිළිකාවට බිලි වූවන්ය. මේ තරමට මේ රෝගය බහුල වන්නේ වැරැදි ආහාර රටාවනුත්, ආහාර වර්ගත් නිසා බව දැන් කියවෙයි.

1992 සිට ජාන විකරණය කළ ආහාර වර්ග වාණිජ මට්ටමෙන් නිපදවෙන්නට විය. ඒවා රෝග ගොඩකටම හේතු වෙතැයි දැන් සැක පහළ වීලාය. අද අප ආහාරයට ගන්නා දේවල්වල පැටිකිරිය නම් හොයන්නට පුළුවන්කමක් ඇත්තෙම නැත. ඒත් එහෙමය කියා ඒවා නොතකා ඉන්නටත් බැරිය. 

අපට හැදෙන රෝගවලින් 60%කටම හේතුවන්නේ අපේ ආහාර බව විශේෂඥයන් කියද්දී..... මේ ඇස් පනාපිටම පෙනෙන දෙයකි. දැන් ඉස්සරට වඩා ‘ඇලජික්’ වෙන අය හොඳටම වැඩිය.

අද ජාන විකරණිත ආහාර එමටය.............
මිනිසුන්ව ඇලජික් වීම වෙනම කතාවකි. මේ කියන්නේ මිනිසුන්ව ඇලජික් වීම ගැන නොවේ. ‘අසාත්මිකතා’ ගැනයි. මේ විදියට හුඟක් අයට, ගොඩක් දේවලට අසාත්මිකතාව ඇතිවන්නට හේතුව ජාන වෙනස් කළ බෝග වර්ග කෑමට ගැනීමලු! එව්වා ගැන හරිහමන් පර්යේෂණ කරලා, 100%ක්ම නිවැරදිදැයි හොයාගන්නට තව කල්පයක් යනවා ඇත. නොදැනුවත්වම වුණත් දැන් අප ලොකු සමාගම්වල ‘ප්‍රාණ ඇපකාරයන්ය.

1998 දී ආචාර්ය Arpad Pusztai ජාන වෙනස් කළ කෑම දෙමින් පර්යේෂණයක් කළා, මීයන් යොදාගෙන. ඒ වාර්තාවලින් කියැවුණේ මීයන්ට ආහාර ජීරණ පද්ධතියේ පිළිකා වැලඳුණු බව. මේ ගැන තවත් පර්යේෂණ වාර්තාත් කියන්නේ දුක හිතෙන, භයානක කතාවකි!

මේ තවත් විදියක කතාවක්!

එතකොට මං ප්‍රෙස් එකක ප්‍රින්ටින් මැනේජර්. එක සේවාදායක මහත්තයෙක් ලොකූ කොම්පැණි ගොඩකින්ම එක-එක පන්නේ ප්‍රින්ටින් ඕඩර්ස් ගේන්න පුරුදු වෙලා හිටියා. මාස කිහිපයකට වතාවක් එයා ගෙනෙනවා ස්ටිකර් ඇණවුමක්. එක ස්ටිකරයක් අඟලයි අඟලටත් වැඩිය කුඩායි. එක වර්ගයකින් උවමනා කරන ප්‍රමාණය නෙවෙයි තව වර්ගයකින් ඕනෑ වුණේ.... ඕඩරයට ස්ටිකර් වර්ග 25ක්-30ක් විතර අඩංගුයි. එක-එක වර්ගවලින් එක-එක කොන්ටිටීස් තමා ඕනෙ වුණෙත්.... දන්නවාද එව්වා මොනවටද කියලා?

චොක්ලට් වර්ගවලට..... ඕෆ්සෙට් ප්‍රින්ටින් මැෂිමක කාර්යක්ෂමව අච්චු ගහන්නට  හා කඩදාසි වර්ගය අපතේ නොයන්නට අර ඕඩරය ප්‍රින්ට් කරන හැටි ප්ලෑන් කළේ මං. අර සේවාදායක මහත්තයාත් ඔය නිසාම මගෙත් එක්ක නිතර කතාවට වැටුණා.

ඕෆ්සෙට් මැෂිමක කාර්යක්ෂමව...
“මොකක්ද මිස්ටර් .......... මේ වැඩේ? ඇයි මේ චොක්ලට් ගෙන්නන කොට අලුතින් ස්ටිකර් අලවන්නේ? ඒවායේ ගහලා තියෙනවානේ එක්ස්පයර් ඩේට් එක. ඒකම ආයේ ගහන්නේ මොකටද....” මං ඇහුවා.

“නිමලෝ.... උඹ දන්නේ මොනවද මචං. ඔහොම ගෙන්නන්නේ කල් පනින්න ඔන්න-මෙන්න තියෙන බඩු. මේ කොම්පැණිය අර එක්ස්පයර් ඩේට් එක වැහෙන්නයි මේ ස්ටිකර් අලවන්නේ.... සුද්දෝ වගේ මෙහෙ එච්චර ඔව්වා ගැන බලන්නේ නෑනේ මචං. මේවා එක්ස්පයර් වෙනවා කිව්වට අපි මාස හයක් විතර තමා දිනේ වැඩි කරලා දාන්නේ.” මිස්ටර් ........... මට රහස කිව්වේ එහෙමය. මා තක්බීර් වුණු හැටි ඔහු දකින්නට ඇත.

“උඹ බය වුණාද මචං.... ඔව්වා වහ වෙන්නේ නැහැ බං. මටත් ඕනේ තරම් හම්බ වෙනවා. හිටපන්කෝ, උඹලගේ ඇනුවල් ට්‍රිප් එකටත් මං චොක්ලට් බාර් ටිකක් ගෙනත් දෙන්න. උඹ මගේ හරහා රික්වෙස්ට් කරනවා කියල ලියුමක් විතරක් ලියලා දීපන්කො.”

මම ලිපිය ලිව්වෙමි. ඔහු එසේම වචනය රැක්කේය. සුපර් මාර්කට්වලත් විකුණන ඒ චොක්ලට් වර්ග මල්ලක්ම අපේ වාර්ෂික චාරිකාව යද්දී ලැබිණි. ප්‍රෙස් එකේ කට්ටියත් එක්ක මමත් ඒවා කෑවෙමි.(පේව්මන්ට් එකේ රජවී - 5 පෝස්ටුවේදී ලින්ටන් දුන් චොක්ලට් ගැන කිව්වා වගේමය. වෙන දෙයක් හැමෝටමනේ.) අත්දැකීමෙන් කියමි. අපි කාටත් එව්වා හොඳින් දිරෙව්වේය! එකම එක නොදිරවන දෙයක් විතරක් සිද්ධ වුණේය.

කල් ඉකුත්වන චොක්ලට්....
ලොකුම, ප්‍රසිද්ධම, reputed සමාගම්වලින් වුණත් වෙළෙඳපොළට එවන බඩුවල සඳහන් ‘කල් ඉකුත්වීමේ දිනය’ ගැන මගේ තිබුණු විශ්වාසය නැත්තටම නැතිවී ගියේය! අපි බලන්නේ ළඟ විතරය, ලාභය විතරය. වහ වුණත් කමක් නැත, ලාබ නම්! එහෙම කෑම බඩට දමාගන්නා අපට පිළිකා නොහැදී තිබුණොත්ය  පුදුමය.

ඉතින්, මට කීමෝතෙරපි ප්‍රතිකාර කෙරෙන හැමදාම පීරිස් ආවේය; මට තනි රැක්කේය. 

මගේ මතකය හරි නම් ඔහුට ‘මිස්’ වුණේ එකම දවසක් විතරය. එදාත් කල් තියාම ‘බොඩිගාඩ්’ වැඩේ සුමිතුරු ‘ඩොක්ටර් පෝල්ට’ පැවරුවේය. ඒත් හිතට මදිවා වගේ විඩෙන්-විඩේ පෝල්ට ටෙලිෆෝන් කරමින් විස්තර ඇහුවේය.

කීමෝතෙරපි කරද්දී ‘බ්ලඩ් කවුන්ට් එක’ වැටෙන්නට ඉඩ තිබේ. මටත් කිහිප විටක්ම ඒ විපත්තිය සිද්ධ වුණේය. 

එහිදී ශරීරගත කරන ඖෂධ ඉතා බලගතුය; සැරය. විසය කිව්වත් වැරැද්දක් නැත. ඒවායින් සිරුරේ අලුතින් නිපදවෙන සෛල අඩපණ කෙරෙන හින්දා අලුතින් රුධිර සෛල හැදෙන එකත් අඩාල වෙයි. ඒක තදටම සිද්ධ වුණාම ලෙඩා ‘හාන්චි පයිස්’ය. කෙලින් හිටගෙන ඉන්නට බැරිය. පණ කඳුළක් නැතිවා වගෙය. කොටින්ම ඔළුව උස්සාගෙන ඉන්නත් අසීරුය. එහෙම වුණු දවසක හැන්දෑවේ සුනිලුයි මර්විනුයි දෙන්නා, කපා දැමූ කෙහෙල් කඳක් වගේ හිටි මාව උස්සාගෙන ගිහින් රෝහල්ගත කළහ.

එහෙම වුණාම බ්ලඩ් කවුන්ට් එක......
(එවෙලේම, නොපමාවම මට ලේ දෙන්නට පටන් ගත් බව අපේ සුනිල් මට කිව්වේ පස්සේය.) මා හිටියේ අසිහියෙන් වගේය.... මහ රාත්තිරියේ හිටි ගමන් මට හැඟුණේ මගේ වටේ තුන් හතර දෙනෙක්ම ඉන්නවා වාගෙය. මා බරට බරේ දැනුණු ඇහිපිය අමාරුවෙන් විවර කළේ ළඟ ඉන්නේ කවුදැයි දැනගන්නටය.

ප්‍රියන්ත... ඩොක්ටර් ශිරන්ත.... ඩොක්ටර් පෝල්... ඩොක්ටර් අයස්මන්ත.... හා වාට්ටුවේ දොස්තර මහත්තයාත් මගේ වටේය. ඒ කට්ටියම මා යටිගම් යන්නට හදනවාය කියා හිතුවාද? එහෙම වෙලත් ‘නිමල් දිසානායක’ ගොඩ ආවේය. එහෙම සැලකිලි ලැබෙද්දී නිකම්ම දමලා යන්නට පුළුවනිද? බැහැනේ!

එදා සැරේ පණ ගහලා ආවාට මගේ කෑම රුචිය නම් තිබ්බේ නැත්තටම නැතිවී ගිහිල්ලාය. කිසිවක්ම කන්නට නොහිතෙයි, ගිලින්නත් අමාරුය. ඒ දවස් මතක් වෙද්දී මගේ අතින් කෙරුණු වස නපුරු හපන්කමක් ගැන මම මට සමාව නොදෙන්නෙමි.

“ලොකා, ඔයාට කන්න හිතෙන දෙයක් කියන්න.... මං හදාන එන්නම්!” මානෙල් නංගී අමාරුවෙන් කඳුළු වහංගාගෙන කිව්වේ දවල් ඉස්පිරිතාලයට ආ වේලාවේය. දවස් දෙක තුනක්ම මගේ බඩට යමක් ගිහින් තිබුණේ නැත. මානි එහෙම කිව්වේ එනිසාය. ඒත් මං කළේ  ඔළුව දෙපැත්තට වනන එකය.

පැළිවළන් පැලිලා වගේ..........
“එපා කියලා බැහැනෙ ලොකා. මොනවා හරි කෑවෙ නැත්තං නැඟිටගන්නවත් බැරි වෙයි. මං හවසට නූඩ්ල්ස් ටිකක් හදාගෙන එන්නං ....”

එතකොට මගේ කටත්, දිවත් පැළිවළං පැලිලා වගේය. මිරිස්, ඇඹුල් කිසිම දෙයක් කට හරියට ගන්නට බැරිවය මා උන්නේ. “හරි, හරි... මං මිරිස් පෙන්නන්නේවත් නැතිව හදන්නම්!” මානි බලෙන්ම මගෙන් මනාපය ගත්තාය.

“මට ගොඩක් ගේන්න එපා... දකිනකොටම එපා වෙනවා. තේ හැඳි දෙකකුත් වැඩි තරම්....” මං කිව්වා හොඳටම මතකය. 

අනේ, දවල් මාව බලලා කොට්ටාවේ ගෙදරට ගිය මානෙල්, මහන්සියත් නොතකා නූඩ්ල්ස්සුත් හදාගෙන හවස පහට ආයෙමත් ඉස්පිරිතාලෙට ආවාය. ඒ එනකොටත් තව කවුරු-කවුරු හරිත් මගේ ඇඳ ළඟය. 

එතනට ආ ගමන්ම මානි කළේ කෑම පෙට්ටිය ඇරලා, හැන්දකුත් එක්ක මට දික් කරන එකය. හැන්ද කෑම පෙට්ටියට ඔබද්දීම නංගිගේ කපටිකම මට අහුවිණි. මට යකා නැංගේ එතකොටය.....

“ම්හු!” තරහ යට කරගෙන මං කළේ කෑම පෙට්ටියත් හැන්දත් පැත්තකට කළ එකය. මට වැඩියෙන් කවන්නට හිතලා මානි කෑම පෙට්ටියට නූඩ්ල්ස් දමා තිබුණේ පෙත්තටම පුරවලාය. හැන්ද ගහන්නටවත් තැනක් නැතිවෙන තරම් තදටය. (ඒ අම්මණ්ඩි ඒක මට කිව්වේ පස්සේ වෙලාවකය.)

නූඩ්ල්ස් දමා තිබුණේ................
“කන්නකෝ ලොකා...” මානිගේ පෙරැත්තය ඇහුණා විතරය, මට උන්හිටි තැන අමතක වුණේය. “යකෝ, ආයේ එහෙම මට ඇහෙන්න කන්නකෝ තියා කෑම කියන වචනෙවත් කියන්න එපා.”

ඇත්තටම ඒ වචන ටික කියවුණේ මහ සද්දෙටය. හතර වටේම උන් අයට ඇහෙන්නටය. මානෙල්ගේ මූණ බෙරිවී, ඇස් දෙකින් කඳුළු පනිද්දී..... මට වුණේ මොකක්දැයි අදටත් මට තේරෙන්නේ නැත. ඒත් මං ඒ වෙලාවේ එච්චර නපුරු වුණේ හිතාමතා නම් නොවේ, සත්තය! අසනීපවී, මූඩ් එක බැහැලා ඉඳිද්දී එහෙම වෙනවා ඇතිය. ඒත් ඉතින් අපේ අමාරුවලට අනිත් අය පඤ්ඤංද?

මනුසතා කොහොමත් නපුරුය. මාය කියලා වෙනස් වෙන්නට විදිහක් නැත. ඒ අතින් අප ලජ්ජා විය යුතුය. “වන සතුන් තවත් සතෙකු මරන්නේ අවශ්‍යතාවක් ඇති විටෙකය. මිනිසා තවත් සතෙකු ඝාතනය කරන්නේ හුදු කෑදරකම නිසාය.” එහෙම නපුරු අපි....

වන සතෙකු ..............
ඉතින් නපුරු නොවී ඊළඟ කොටසටත් එන්නට සුහද ඔබට ආරාධනා කරමින්...... තිත් ගොඩක් තිබ්බා ඔන්න!