අකුරු මැකී නෑ

Tuesday, September 11, 2018

මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස

මඩ ගොහොරුවක..........
mpm හිටියේ මහරගමය. තවම ඉන්නෙත් මහරගමය. ඒ කාලයේ නම් ඔහු මුළු මහරගමම දන්නා චණ්ඩියෙකි. 

මහරගම තවත් චණ්ඩි හිටි බව මට මතකය. එහෙත් mpmගෙ කරට-කර හිටියේ ‘බේබි’ය. බේබි ‘කිංකොං’ගෙ පුතෙකු බවත් යාන්තමට මතකය. සත්තෙන්ම ඉස්සර හිටියේ නියමම චණ්ඩිය. දැන් ඉන්නේ ‘චා ගුණ්ඩිය’.

බේබිත් mpmත් හරි-හරියට අතින් පයින් ගහගත් වගකුත් ඒ දවස්වල කනට වැටිණි. ඇත්තද කියලා නම් මා දන්නේ නැත. අනේ, එහෙම කීමෙන් ඒ දෙන්නාටම මදිකමක් කරන්නට හෙම හිතනවා නොවේ. සමහර දමිළ, තෙළිඟු, මලයාලම් චිත්‍රපටවල නම් තවමත් ඒ ජාතියේ ‘ගුස්ති - ෆයිට්’ තිබෙයි.

මලයාලම් චිත්‍රපටවල......
ඉතින් අර දෙන්නා පළමු ශ්‍රේණියේ නම්, දෙවෙනි කෑලෑසියට අයිති වෙන චණ්ඩි දෙන්නෙකුත් මහරගම හිටියෝය. චුට්ටේ හා මරු සිරාය. ලස්සනම වැඩේ කියන්නේ පළමු ශ්‍රේණියේ දෙන්නා අතර තිබුණු විරසකය වාගේම කෝන්තරයක් දෙවෙනි ශ්‍රේණියේ දෙන්නා අතරත් තිබ්බ එකය.

mpm මුලින්ම මගේ මතකයට රිංගන්නේ හද්දා වැහි දවසකය.

“බුදු අම්මෝ .... මෙන්න මූ මාව මරනවෝ.... මාව බේරාගනියෝ...” මහා විලාපයක් මහ වැස්ස මැද්දේ අපට ඇහුණි. ඒ අපේ ගෙට පහළ ඕවිටට එපිටින් තිබුණු කුඹුරු යාය පැත්තෙනි. 

අපි හැමෝම ජනේලය ළඟට රොක්වී වෙල දිහාවට රබර් ඇස් යැවුවෙමු. කොණ්ඩය කඩාගත් ගැහැනියක් වැස්සේ තෙමි-තෙමී අද්දර නියර දිගේ දුවයි. ඇය සිරුරෙන් කුඩාය. ඒත් කට නම් මහා අප්පල්ලයක් වෙන්නට ඇත. ඒ තරමට සද්දය.

tv නොතිබුණු ඒ කාලයේ, ඔහොම ෆුල් සීරියල් දර්ශන බැලීමේ වාසනාව උදා වෙන්නේ කලාතුරකිනි. ඊටත් තාත්තයි අම්මයි දෙන්නම ගෙදර නැති වෙලාවේ!

ඇගේ පිටිපසින් එළවන්නා සද්දන්තයෙකි. ඔහුගේ අතේ තිබුණේ ඉණේ බඳින හම් පටියකි. (ඒ බව මා දැනගත්තේ පසු කලෙකය.) ගැහැනියගේ වේගය බාලවී, සද්දන්තයා ළංවුණු විගසම ඔහු පටිය කසයක්සේ ලෙලවා ඇයට තලයි. විලාපය නැඟෙයි.

නොමිලේම ලැබුණු ඒ ෆුල් සීරියල් දර්ශනය වැඩි වෙලාවක් නැරඹීමට අපට වාසනාව තිබුණේ නැත.

වැස්සේ තෙමි-තෙමී.........
“ගියාද නැද්ද අහකට. ලොකු එවුන්ගේ මරගාත බලන්නේ තොපිටත් පිස්සුද?” ආච්චී අපව පන්නා දැම්මා පමණක් නොවේ, ජනෙල් පියනත් ඇදලා අරන් ලණුව ගැට ගැහුවාය. අපේ ගෙදර වරිච්චි බිත්තිය තිබ්බේ බිම පැත්තට ඇලවෙලාය. ජනේල පියනත් විසිහතර පැයේම තිබ්බේ ඇරුණු ගමන්මය. ඒක ඇදලා අරන් ගැට ගහන්නේ තද හුළඟත් එක්ක මොර සූරන වැස්සක් වැටෙන වෙලාවක විතරය.

ආච්චී ඔය විදියට අපේ ගෙදර වැඩවලට මැදිහත් වෙනවාට නම් අපට කේන්තිය. ඒත් කොහොමද මොකවත් කියන්නේ? ඒකේ වාසියකුත් තිබුණනේ.

අම්මයි තාත්තයි රණ්ඩු වෙන වෙලාවක වුණත් අපි හයියෙන් අඬන්නේ ආච්චිව ගෙන්නා ගන්නටය. එතකොට ආච්චි එන්නේ ගිනි පිම්මේය. 

“ගුණේ, තෝ මේ ගෑනිව ගත්තේ තොට ඕනේ නිසා නේද, අපි එපා කියද්දීත්. දැන් මරාගන්න හදන්නේ? මේ පොඩි එවුන්ව අඬවන්නේ තොපි දෙන්නම ගොන්නුද බොලව්? ඕනෙමයි කියලා කරගත්ත මඟුල කාපියව්කො ඉතිං, අපට සැනසිල්ලෙ ඉන්න ඇරලා”.

ගෝරිය එතනින්....
99%ක් වෙලාවකම ගෝරිය එතනින් ඉවරය. ඉතාම අහම්බෙන් විතරක් තාත්තා ආච්චීගේ ඇඟටත් ගොඩවෙයි. “මේක ගෑනිගෙයි මිනිහගෙයි කතාවක්. අම්මට වැඩක් නෑ ඒකෙන්”.

“තොපි දෙන්නා හැඳිගෑවිලා ගියත් මට වැඩක් නැහැ තමයි බොලව්. හැබැයි මේ කිරි සප්පයෝ ගැන බලන්න ඕන නේද මනුස්සයෙක් හැටියට. වරෙන් ළමයිනේ අපේ දිහාට.... කාලකණ්ණි! .... පව් ගෙවනවා මෙතන...” ආච්චී අපවත් ඇදගෙන එයාලාගේ ගෙදරට යයි. 

හැබැයි අර රණ්ඩුවත් එතනින් ඉවර වෙයි. ඔහොම හින්දා ආච්චීගේ මැදිහත්වීම් මැදහත් හිතින් ඉවසන්නට අපට සිද්දවී තිබිණි. ඒත් ජනේලය වැහුවාට සද්දය ඇහෙයි. ඉතින්, ගොඩ වෙලාවක් යනකල්ම අර විලාප සද්දේ නම් අප පිනෙව්වේය.

ඒ විලාපය හොඳටම තීව්රවූ විටෙකය ආච්චීගේ කටින් mpmගේ නම එළියට පැන්නේ. “අර මදාවි .....යා අද අරකිව මරන්නම යනවා වගේ.” mpmගෙ නමත් මගේ රෙජිස්ටරයට නිකම්ම ඇතුළු වුණේ එහෙමය.

‘මදාවියා’ කියන්නේ අඩු ආවිස; මඳ ආයු ඇති එකාටලු. ඒත් ආච්චිගේ මදාවි කතාව mpm සම්බන්ධයෙන් නම් හැබෑ වුණේ නැත. චිරං ජයතු mpm මාමේ!

අර මදාවියා.......
1966 අජාසත්ත (මහරගම පෙන්නූ පළමු නාට්‍යය මේකය. අප්‍රේල් පෝස්ටු කිහිපයකම මේ ගැන ලිව්වෙමි.) නාට්ටිය පෙන්නීම හින්දා හුඟ අය අපව හඳුනාගෙන හිටියෝය. දැනගෙන ඉඳලාත් නොදන්නවා වගේ හිටි උදවියත් ආපහු අපේ ආස්සරයට ආවෝය. 

ඒ එයාලාගේ දූදරුවන්වත් නාට්‍යවලට අරගන්නැයි කියන්නටය. කොයි විදිහෙන්දැයි මතක නැතත් mpmගෙ ඥාති දූපුතුන් කිහිප දෙනෙකුත් ඒ වෙද්දී අපේ ඇසුරට වැටී තිබිණි. එයාලාගේ ගෙවල්වලටත් යද්දීය මට mpm අඳුනාගන්නට ලැබුණේ.

වෙල්යාය දිගේ බිරිඳට එළව-එළවා පහරදුන් සද්දන්තයා නෙවේ එවෙලේ හිටියේ. “ඒයි, මේ රංජිට තේ එකක් හදලා දෙනවකො!” ඔහු කිව්වේය. ඇය තේ හදනතුරු ඔහු අපේ ගෙදර තොරතුරු ඇහුවේය. එයින් මට පෙනී ගියේ අපේ විස්තර සේරම ඔහු දන්නා බවයි.

mpm ඇන්දේ සුදු පාට සරොම් විතරය. පාට කමිස නම් ඇන්දා වගෙය මතක. හැබැයි ඇඟට හිරටය. (ඉස්සර චණ්ඩි කවුරුත් එහෙමය. පිරුණු මස්පිඬු පෙන්නන්නට කැමැත්තෙන් එහෙම කළා විය යුතුය.) 

ඔහු වැඩ කළේ මහරගම CTB ඩිපෝවේය. මා දන්නා තරමින් නම්, චණ්ඩියෙක් වුණත් ඔහු  එකල සිගරැට් ඉරුවේ නැත. මත්පැන් බිව්වේ නැත. සූදු කෙළියේත් නැත. පගා ගත්තෙත් නැත. ඔහුගේ වැරැද්දකට මා දුටුවේ විටෙක අසීමිත ලෙස බිරිඳ සමඟ කෝප වීමය.

ඇය කටු බැල්ලියකි....
එක අතකට ඒකත් වැරැදි නැතිය. ඇය කටු බැල්ලියකි. කොච්චර කිව්වත් කට වහගන්නා ජාතියේ නොවේ. කියවයි. තැන නොතැන නොබලයි. “උඹේ කට වහගත්තේ නැතිනම් පටි පාර කන්නයි උඹට වෙන්නේ...” කියලා mpm කියද්දීවත් නිහඬ නොවෙයි. ඉතින් ඉණේ බඳින පටිය ලෙහෙයි. ඇගේ පිටට පනියි. අඳෝනා නැඟෙයි.

එයාලාගේ ගෙවල් හත අටම එක පොකුරට තිබුණේ මහරගම දුම්රිය මාවතේ වත්තකය. ගෙවල් සේරම වාගේ එකම මිදුල්වල තිබුණත්, ඒ සේරගේම හිටියේ නෑදෑයෝ වුණත් ඒ එකෙක්වත් අර රණ්ඩු බේරන්නට නම් ආවේ නැත. කම්මලේ බල්ලන්ට අකුණු කොටන සද්දය හුරුයිලුනේ!

බල්ලන් ගැන කියද්දී හිතේ වද දිදී තිබුණු කාරණයකුත් එළියට දැමිය යුතුය. බල්ලාට ගිය පන්සලක් ගැනය.

ඔයාලා ‘අපේ කුණු අපට එපාවී’ පෝස්ටු කියෙව්වා නම් මං ඒකෙදී කියූ මේ කාරණය දකින්නට ඇත. 

තලපත්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පන්සලේ කුලඟන සමිතියේ විනෝද චාරිකාව. ඉන්ද්‍රානි පුංචි ඒ ගමන සංවිධානය කළ අයගෙන් කෙනෙකි. මාත් කිහිප අතකින්ම උදව් කළ නිසා එයාලා මාවත් ඒ ගමනට ඇදගත්හ. ආපසු ගමනේදී අපි ................... ගියෙමු. මේ ඒ පන්සලේ බුදු මැඳුර ඇතුළට යද්දී මා දුටු දේය. කුක්කුරයෝ දෙන්නෙක් බුදු මැඳුර ඇතුළේය.

එක බල්ලෙක් බුදු හිමියන්ගේ සිරි සිරුරේ ගෑවෙමින්......
එකෙක් සැතපී ඉන්නා බුදු හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ගෑවෙමින් තද නින්දකය. බල්ලා බුදු හිමියන්ගේ රැකවරණය පතනවාද නැතිනම් බුදු හිමි............. කියලා නම් මට වටහාගත නොහැකි විය. මේ තරම් දේවල් දැකලාත් ‘පන්සල බල්ලාට ගිහින්’ හෝ ‘බුදුන් වහන්සේටත් xx සරණයි’ හෝ කියලා කියන්නට මම එඩිතර නොවෙමි. මං එහෙම කිව්වොත් ‘බුද්ධාගමේ උරුමක්කාර පොල්මඃකාර ප්‍රජාව’ මාරාන්තික උපවාසයකට වුණත් එළඹෙන්නට බැරි නැත.

මාලක දේවප්‍රියගේ ‘තරුවන් සරණයි’, ‘නිහොන් සැප ලැබේවා’ කියන ගුවන් විදුලි නාටක දෙකටත් ගෝරි දාන්නේ, බුදු දහමට අපහාස වෙනවා කියලා. මට එරෙහිව මොනවා නොකරාවිද?

හැබැයි බුදුහාමුදුරුවන් වහන්සේවත් ඔහොම කළේ නැත්තේ මොකද මන්දා.

මතකනේ, චිංචිමානවිකාව දර මිටියක් බඩේ බැඳගෙන ‘මාව බඩ ගැබ්බර කළේ බුදු හාමුදුරුවෝය’ කියලා අභූත චෝදනා කරද්දීවත් කිසිම සාමනේර නමක්වත් කුපිත වුණාද? ඒකටත් එක්ක දැන්. 

‘බුදුන්ගේ රස්තියාදුව’ කියලාවත් කියන්න බැරිය. ඇයි හත් දෙයියනේ දැන් වගේ බෙන්ස්, මර්සිඩීස් වාහන නැතිවත් බුදුහාමුදුරුවෝ සිරි පතුල් ගෙවෙනකල්ම අසරණ ජනයාට දහම් දේශනා කරන්න දඹදිව පුරා රස්තියාදු වුණේ නැත්ද? ‘සදහම් චාරිකා’ වෙන්නේ posh වාහනවලින් ‘වඩිනකොට’ විතරද? 

ඔහොම ‘කුදිර වලිප්පුව’ හැදෙන ඇත්තන්ට ඕනේ නම් මං ‘අර’ පන්සලට යන පාර පෙන්වන්න ලෑස්තිය. මෙන්න වැඳලා ඉල්ලනවා, වඩිමුකො එහෙට!

බල්ලාට ගිය.........
ඉතින් තව බල්ලෙක් අප යන විට නින්දෙන් ඇහැරී මැස්සන් පන්නන්නට විය. ඌ හිටියේ භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසේ හරි මැදමය. 

අන්නියාගමික මිත්තියාදෘෂ්ටිකයෙක් එහෙම ඕක දැක්කා නම්.... හත් දෙයියනේ, කාට කියන්නද මේ දුක? මට  හිතුණේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ කනේ අර ‘සුනඛ’ විත්තිය තියන්නටය. මොන? පෙරුම් පුරාගෙන එකත්පස්ව බලන් හිටියත් උන්නාන්සේ ‘නයනග බැල්මක්වත්’ නොහෙළූහ.

ලොකු හාමුදුරුවෝ තෙල් බෙහෙත් ගන්නට ආ කිහිප දෙනෙක් එක්ක බිස්නස් සාකච්ඡාවකය. (දන්නවනේ මගේ ‘අලි කන් දෙකේ’ වග? සියඹලා කොළයක් වැටුණත් ඇහෙන.) උන්නාන්සේට අපේ නඩය ගැන කිසිම වගක් නොවුණු තැන අපි, අපේම මනාපයට තැනින් තැන බලන්නට ගත්තෙමු.

බණ මඩුව ළඟ තැනෙක කවුදෝ ළිපක් අවුළුවන්නට සැරසෙයි. පත හැළියක් පැත්තකින්ය. හා, හා වරද්දලා හිතාගන්න එපා. ඒ යම පල්ලෙක් ලෝදිය හැළිය රත් කරන්නට සූදානම් වෙනවා නොවේ. ‘රාජකීය රාජතරංගනී තෛලය’ වඩියක් හිඳින්නට සැරසෙනවාය.

සිවුර ගහක එල්ලා, අඳනය පිටින්.....
තරුණ හාමුදුරුවෝ කෙනෙක් සිවුර ගහක එල්ලා, අඳනය පිටින්ම ඉඳගෙන තවත් පිරිමි ළමයෙකුත් එක්ක බෙහෙත් කොටමින්, ඉස්ම මිරිකමින් යම යුද්ධයකය. පව් දෙයියනේ. එහෙම නොකර සසර සයුරෙන් එතෙර වෙන්නේ කොහොමද? 

මෙව්වා මං වැනි කඩප්පුලියන්ගේ ඇහැ ගැහුණාට, නායක, අනුනායක, මහනායක ඇත්තන්ගේ සිරි දෙනයනට වැටෙන්නේ නැතිවාට මෙන්න කැට.

ඔය සිද්ධියේ climax එක දකින්නට අපේ නඩයේ සේරම අර දෙපොළටම කැන්දන් යන්නය මට හිතුණේ. ඒත් ‘මොකටද මේ පිරිසේ සැදැහැවත් චිත්ත සන්තානය දැදුරු කරවන්නේ’ කියනා හිතිවිල්ල මට බාධා කළේය.

පස්සේ ආරංචි වුණේ ලොකු හාමුදුරුවෝ අපත් එක්ක ‘කුලඟන සමිතියේ’ ට්‍රිප් එක ගියාටත් සමහර අය උරණ වුණු බව. එයාලා ඒකෙත් ඇදයක් හොයලාය. අනේ, මං දුටු විදියට නම් ඒ ඇත්තියෝ කවුරුන්වත් උන්නාන්සේගේ සිල් බිඳින්නට ගියේ නැත. ට්‍රිප් එක පටන් ගන්නට කලින්ම, බසයට නැංග ගමන්ම උන්වහන්සේ පුංචි දෙසුමක් කළහ.

“කවුරුත් මතක තියා ගන්නවා හොඳයි, අපි යන්නේ වන්දනා ගමනක් නෙවෙයි. වැඩිහිටියෝ එකතු වෙලා විනෝද වෙන්න යන චාරිකාවක්. ඉතින් විනෝදෙන් යන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳලා. ඒ වගේම මතක තියාගන්න ඕනෑ, අපි මේ ගමන ගිහින් කරන කියන විනෝද වෙන එව්වා සේරම ගමනට විතරයි. එව්වා ආයෙම ගමට ගෙනෙන්න බෑ.” 

හාමුදුරුවන්ගේ ඒ අතිශය ඉදිරිගාමී කතාව මට නම් අල්ලලා ගියේය. කොච්චරද කියනවා නම් මං ‘අයි පෑඩ්’ එක එළියට ගත්තේ මේ සමූහ ඡායාරූපය ගන්නට විතරමය.

කුලඟන සමිතියේ........


ගමන ගිය ගොඩ දෙනාගේ දූලා-පුතාලා-නෑදෑයෝ මටත් ෆෝන් කරලා විස්තර ඇහුවෝය! මං කිව්වේ මෙතෙක් ඔයාලට කියා තියෙන හරිය විතරමය!

ඒත් ඒ ගමන ගිය කුලාංගනාවන් ගැන මේ ටිකත් කිව යුතුමය. ඔවුහු මැනවින් ගමනට සංවිධානයවී සිටියහ. එකාවන්ව! සංගීත පුටු, ගීත ගායනා, නාට්‍ය, විවිධ ඇඳුම්, ක්ෂණික අභින වැනි තරග ඉසව් ගණනාවක් පැවැත්වූහ. සමිතියට සම්බන්ධ නැති හින්දා විනිශ්චය මණ්ඩලයටත් මාව දමා ගත්හ. 

අහා! සේරම මරේ මරුය, නිර්මාණශීලීය, forwardය. කොච්චරද කියනවා නම් ජයගත් ‘අවුරුදු කුමාරිය’ 70වත් පැනපු ආච්චියෙකි.

මේ වාගේම එකමුතු නඩයක් අති පිරිසුදු පැතුමක් ඇතිව mpm වටාත් රොක්වී හිටියෝය. ඒ හැත්තෑවේ මහ මැතිවරණ සමයේදීය. ඒ හැමෝටම ඕනෑවී තිබ්බේ; එකම පැතුම වූයේ මොන හෙයියම්මාරුවක් කරලා හරි රස්සාවකට පැන ගන්නටය.

70 ගැන මතක අය නම් සාක්කි දේවි. ඒ කාලේ රස්සාවල් තිබුණේ හරිම අඩුවෙනි. පෞද්ගලික අංශයක් තිබ්බෙම නැති තරම්ය. තිබුණු එව්වායේත් වේකන්සි පිරෙව්වේ English qualified අයගෙනි. අඩුවෙන් ඉගෙනගෙන හිටියත් ඉංගිරිසි පුළුවන් පවුල්වල අයට තැන තිබුණු බවය මං දැක්කේ.

ගුලිගේ දෝන කමලාවතී...........
ගරු මන්තිරිතුමාලා ඇහැට-කනට පෙනෙන නාඹර ගැටිස්සියන්ට නම් ‘තානායම්වලදී’ අතිශය පුද්ගලික ලෙස හමුවී, රැකියා ප්‍රදානය කළ කතන්දර....... එක්කෝ ඒවා අදම කියන්නට ඕනෑ නැත. ඊළඟ පෝස්ටුවේදීම කියන්නෙමි.

5 comments:

  1. අම්මප නොර්වේ කාරයො ආච්චිඅම්මා දැනගෙන හිටියනම් සාම සාකච්චා තියන්න එක්කගෙන යනව !

    ReplyDelete
    Replies
    1. කණ්ඩො, අපේ ආච්චි ඉංගිරිස් දැනගෙන හිටියේ නං රේස් කොලේ කියවන්න විතරයි!

      Delete
  2. කුදිර වලිප්පුව හොයාගෙන මෙහෙට ආව. මෙතනත් වචනෙ විතරයි කුදිර මාම ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ අග්නි තාරා, කුදිර වලිප්පුව මෙච්චර ප්‍රශ්නයක් වේවි කියල හිතුවේ නෑ. හැබයි ඔයාගේ උනන්දුව ගැන හරිම කැමතියි!

      කුදිර කියන්නේ අශ්වයාට නෙව. අශ්වයන් බලාගන්නාව දෙමළෙන් හඳුන්වන්නේ 'කුදිරෛක්කාරන්' කියලයි.

      අපේ ආච්චිලා කුදිර වලිප්පුව හැදිච්චි එවුන්ය කිව්වේ 'දාංගලේ වැඩි ලමිස්සියෝ' දැක්කම!

      Delete
    2. ගොඩක් ස්තූතියි. ගෑල්ලමයි අස්සයින්ගෙ තියෙන දාංගලේට සමාන කරල වෙන්නැති එහෙම කියන්නෙ සමහරවිට.

      Delete