අකුරු මැකී නෑ

Sunday, September 9, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස

ලේ කැටි ගැහෙන්නෙ නැත්තේ ‘විටමින් කේ’ අඩු වුණාමලු. ඉතින් මා කළේ යහමින් පලා වර්ග කෑමට එකතු කරගැනීමය. නෙවිල් ඒකට කිව්වේ ‘මේකා එළුවොන්ටත් වැඩියෙන් කොළ කනවා!’ කියලාය. ‘හරක් එළුවෝ එහෙම මූ කොළ කන තරම දන්නවා නම් මූට ඇනල මරනවා ෂුවර්!”

එයා මොනවා කිව්වත් මං එක-එක පන්නෙට හදන කොළ එයත් කනවාය. මං හදන අලුත් කෑම ටෙස්ට් කරන්නට දෙන ‘ගිනිපිග්’ලාගෙන් එයත් එක්කෙනෙක්නේ! අනෙකා දහනායකය. දහනායකත් නෙවිලුත් දෙන්නාම මහරගම සයිට් එකක වැඩ නිසා දවල් කෑමට අපේ ගෙදර එති. පිපිරෙන්නට ඔන්න මෙන්න හිටි දහනායකත් දැන් ‘ඇට ඩයට් එක’ කන නිසා කිලෝ ගණන්වලින්ම බර අඩු වෙලාය!

2018 සැප්තැම්බර් 5 වෙනිදා දවල්ට......
ඔන්න බලන්න මගේ අලුත්ම ‘රෙසිපි’ එකක්! කොළ යහමින් එකතු කරගන්න පුළුවනි, තමන්ගේ මනාපයට. 

මේ විදියට කෑම හදාගන්නේ මොකද දන්නවද? කලිනුත් කිව්ව විදියට පිළිකා සෛල වර්ධනය වළක්වා ගන්නයි. මතකයි නේද? කාබෝහයිඩ්රේට්; සීනි, පිටි වගේ දේවල් ආහාරයට ගැනීම සහමුලින්ම නවත්තාගැනීමෙන් පිළිකා සෛල අකර්මණ්‍ය වෙනවා!

මම නම් මේකට ගන්නේ පොඩි නන්ස්ටික් තාච්චියක්. එකට පොල්තෙල් ටිකක් රත් වෙන්නට දාලා රටකජු ඇට මිටක් විතර දමනවා. ඒක මඳ ගින්දරේ බදිනවා. ටිකක් බැදෙනකොටම කපාගත්ත බී ළූණු, සුදුළූණු, අමුමිරිස්, කොහිල අල ඒකට එකතු කරනවා.

කටෙන් කන්න ඉස්සෙල්ලා ඇහෙනුයි, නහයෙනුයි කන්න තමයි මට පුරුදු. ඉස්සර කියමනක් තියෙනවා ඔය ගැන. ‘කටෙන් කන්න කලින් ඇහෙනුයි කන්නේ’ කියලා. 

ඒ  නිසා බැදුම ලස්සන වෙන්න, හැඩේට කපාගත්ත වියළි මිරිස් කරල් දෙකක් විතරත් ඒකට දමනවා. එව්වා බැදෙද්දී කඩාගත් බිත්තර දෙකක් ඒකට දාලා කවලම් කරමින් (සලාදයක් වගේ) හදාගන්නවා. ඊළඟට කෑලි මිරිස් ටිකක්... අන්තිමටම තාච්චිය ළිපෙන් බාලා  ඒකට කපාගත්ත කතුරුමුරුංගා, මුරුංගා, කංකුන් වගේ කොළ ජාතියක් දමලා, තව් මැරෙන්න කවලම් කරනවා. එහෙම මඳ රස්නය තියෙද්දීමයි මම නම් රම්පෙ, කරපිංච බැදුමට යට කරලා තියෙන්න අරින්නේ.

ඔයාලට කැමැතියි නම් කොත්තමල්ලි, ගොටුකොළ, පාස්ලි, මිංචි, කැරට් වගේ කොළ ජාතියක් වුණත් මේකට එකතු කරගත්තැකි. එහෙම කරනවා නම් බැදුම නිවුණාට පස්සේ ඒවා දාන්න. ඒවා තැම්බුණාම රස අඩුයිනේ.

වැදගත්ම දේ තමා කොළ ජාතියක් දැම්මට පස්සේ, හොඳටම නිවෙනකල් බැදුම වහන්න එපා. එහෙම කළාම තමයි කොළ වැඩියෙන් තැම්බිලා කැත කොළපාටක් ගහන්නෙත්, කහට රහක් එන්නෙත්. මේ අනෙක. මං කිව්වේ නැතිවුණාට ඔයාලා මේකට ලුණු දමනවානේ. මොනම කෑමක්වත් සුවඳ ගහන්නේ නෑ පදමට ලුණු නොවැටුණොත්! දෙහි බින්දු කීපය දාන්නෙත් නිවුණාමයි කියලා කියන්න ඕනේ නැහැනේ.

මෙන්න තව විකල්පයකුත්. හීනියට කපාගත්.....
මෙන්න තව විකල්පයකුත්. ඔය බැදුමම සිහින්ව කපාගත් මස්, මාළු හෝ සැමන් එක්කත් හදාගන්න පුළුවන්. හරිම ‘ෆිලින් ඩයට්’ එකක්. ඒ වගේමයි, ‘balance’.

උඩම ෆොටෝ කෑල්ලේ තියෙන අනෙක් ජාති දෙකත් කියන්නද? පොල් සම්බෝලයි, තැම්බූ වඳුරු මෑ (kidney beans) ඇටයි. මගේ බැදුම් පිඟාන සැරසුවේ පිපිඤ්ඤා පෙති, බී ළූණු වළලු, තක්කාලි මල් හා මින්චි කිනිතිවලින්. ඒ ජාති ඔක්කොම අපි කරන ‘ෆාස්ටින් ක්‍රමයේදීත්’ වලංගුයි. අයස්මන්ත දොස්තර මහත්තයා මට නම් උපදෙස් දීලා තියෙන්නේ ධාන්‍ය වර්ග වුණත් නොකා ඉන්නයි. (පෙරේතකම ඉස්මතු වුණාම නම් මට එව්වා අමතක වෙනවා!)

තව එකක්! සුමානෙකට දවසක්, දෙකක් විතර මං මෙහෙම සරසලා කෑම වේල හැදුවාට හැමදාම නම් කරන්නෙ නෑ. බ්ලොග් එක කොටන්නත් ඕනිනේ!

මදැයි මෙච්චර දුර ආවා, හැරිලා. ඔන්න 2018 සැප්තැම්බර් 5 වෙනිදා දවල් කෑමෙන් පස්සේ ආපහු යනවා 2013 අප්‍රේල්වලට.

ඒ දොස්තර නෝනා දොස් තර කරනවා විතරක් නෙවෙයි, අම්බානක දෝස්මුරත් දමන පාටටය මට පෙනුණේ! “මිස්ටර් නිමල්, පල්ලෙහාට ගිහින් මේ ටෙස්ට්වලට සල්ලි බැඳලා එන්නකෝ ඉස්සෙල්ලා....ම් ම් ම් එක්කෝ මම නර්ස් කෙනෙක්ව එවන්නම් පල්ලෙහාට. එයා උදව් වෙයි සල්ලි බඳින්න.”

ඒ දොස්තර නෝනා.....
 ඒ කතාව මට ඇල්ලුවේ නැත. ඇයි මෙච්චර සත්ත කරුණාවක්?

මොකක්දෝ හරි නැතිවා වගේ පෙනිණි. ඒත් මොනවා කරන්නද? සුනිලුත්, මාත් ගෙවීම් කවුන්ටරයට යන්නත් කලින් ‘අර එවනවා කී මිසී’ එතනය. හරිම ‘ක්වික්’ය. අපි මුදල් ගෙව්වෙමු. ඒ අසලම තිබුණු පරීක්ෂණාගාරයට අප කැටුව ගිය මිසී ටෙස්ට්ස් කීපය කරවා ගත්තේ ‘ඩොක්ටර් යන්න කලින් තව එකක් කරගන්න තියෙනවා’ කියමිනි.

හරිය! හරියටම හරිය!! ආප්පයක් උයන්න යන වෙලාවටත් කලින් සේරෝම ලෑස්තිය.

දොස්තර නෝනා ලෙඩුන් බලන කාමරයේදීම මාව හිරි වට්ටා, මගේ කොඳු නාරටිය සිදුරු කර ‘බෝන් මැරෝ’ ටෙස්ට් එකට ලේ ගත්තාය. “මිස්ටර් නිමල්, මං දැන් යන්න ඕනේ, හොස්පිට්ල් එකට. කොහෙවත් යන්න එපා. පහළින් කරපු ටෙස්ට්ස්වල රිසල්ට්ස් අපේ එක්කෙනෙක් මෙතනටම ගෙනත් දෙයි. එයාට මම කියලයි තියෙන්නේ එව්වා ලැබුණාම මටත් කියන්න. එතකොට මං ඇඩ්වයිස් කරන්නම්කො, මොනවද කරන්න ඕනි කියලා!”

රිසල්ට්ස් ආවාමය මට තරු පෙනුණේ! හරියටම කියනවා නම් තරු පෙන්නුවාය. අර ‘ඉසිවර වෙදැදුරුතුමිය’ගේ අගසව් හෙදිය විසින්!

හොඳම නීතීඥයා....
‘හොඳ නීතීඥයා නීතිය දනී. හොඳම නීතීඥයා විනිසුරුතුමාව දනී.’ කියන කියමන මෙතනටත් අදාළ වාගෙය. මේ දොස්තර නෝනා ඉස්පිරිතාලයේ කෙරුවාව අතැඹුලක්සේ දන්නියකි. එහෙම හිතුණේ මෙහෙම වුණාමය.

“දොස්තර නෝනා දැන් මට කෝල් කළා. සර්ගේ රිපෝට් එකේ විස්තර ඩොක්ටර් අහගෙන. සර්ලට ICU එකට යන්න වෙනවා. එන්නකෝ, මං එක්කං යන්නම්.” ඇය ඉස්සර වුණාය. සුනිලුත් මමත් පස්සෙන් වැටුණෙමු.

අයි.සී.යූ. යුනිට් එකට මාව පංගාඩම් කරලා ‘නයිටිංගේල් පරම්පරාවේ’ අර මිසී මොහොතින් ‘මිසින්ය’. එතනත් දොස්තර නෝනෙකි. අපරාදේ කියන්න බැරිය, ඇයත් හරිම සීදේවි පාටය. “මිස්ටර් නිමල්. මේ රිපෝට් එකේ හැටියට ඔයාගේ බ්ලඩ් ක්ලොට් වෙන එකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බෝන් මැරෝ එකට කලින් ඔයාට ස්පෙෂල් ඩ්‍රග් එකක් දීලා ඉන්න වෙනවා....”

එතනදිත් මගේ ගොංකම ඉස්සරහට පැනපි. “ඩොක්ටර්.... මගෙන් බෝන් මැරෝ ටෙස්ට් එකට සාම්පල් ගත්තනේ.”

නයිටිංගේල් පරම්පරාවේ දෝණියන්දෑ....
“කවුද ගත්තේ? මිස්ටර් නිමල් මෙහෙට ආවේ දැන්නේ.” වෙදැදුරුතුමියගේත් ගොන්කම ඉස්සරහට පැන්නා වාගෙය.

“උදේ මාව බලපු ඩොක්ටර්.”

“කොහෙදිද බ්ලඩ් සාම්පල් ගත්තේ?”

“මාව බලපු කාමරයේදී.”

ඇගේ මූණ ‘නාලු’ වුණේ එතකොටය. ඇය මා ළඟ තිබුණු ලියකියවිලි පිරික්සා බැලුවේ ඊට පසුවය. ඇයත් තව කෙනෙකුත් අතර සිදු වුණු කතාබහෙන් මට වැටහුණේ අර ‘ඉසිවරිය’ මගේ කොන්ද හිල් කර ලේ සාම්පල ගැනීම වරදක් බවයි.

එය කළ යුතුව තිබුණේ ‘තියටර් එකේදිලු’. ඔවුහු අර ‘නයිටිංගේල් පරම්පරාවේ දියණිය’ ගැනත් කසුකුසු ගෑවෝය. ඔවුන් සිතුවේ මා ඉංගිරිස් නොදන්නා බයියෙක් බවයි. ඇත්තය. මම බයියෙක්මි. කඩුවෙන් හරඹ කරන්නට නොගියාට, යමක් තේරුම් ගන්නට පුළුවනි නොවැ ආයුබොවන්ලා. හෙනං!

එය කළ යුතුව තිබුණේ...........
ඊළඟ ජවනිකාව ඒකට දෙවෙනි නැත.

“හරි.... මිස්ටර් නිමල්ට මෙහෙ ඇඩ්මිට් වෙන්න වෙනවා. ඩ්‍රග් එක දෙන්නෙ ඊට පස්සේ. පුංචි ගණනක් නම් යනවා....” දොස්තර නෝනා කිරා බලමින් වචන තෝරමින් කියයි. අපේ සුනිලුත් මට බොන්නට යමක් ගෙනෙන්නට ගිහින්ය. සමහරවිට ඇය හිතන්නට ඇත්තේ මා තනිවම ආවා කියලාය.

“කීයක් විතරද ඩොක්ටර්?”

“විසිපන්දාහක් විතර...” ඒකත් එයාලට පුංචි ගණනකි!

ආලවකයා මගේ සිරසට ආරූඪ වුණත් මම ඉවසුවෙමි. “ඩොක්ටර්, අපේ හිතවත් ඩොක්ටර් කෙනෙකුට මේක කියන්න වෙනවා, මොකද කරන්නේ කියලා අහගන්න.” මම කීවෙමි.

“එහෙනම් දැන්මම ෆෝන් කරන්න. පරක්කු කරන්න හොඳ නැහැනේ.” ඇය කිව්වාය.

පුංචි විසිපන්දාහක්.......
නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර ඔයාලා දැනටමත් දන්නා විදියට මාත් එක විදියක ‘පං ගොණ්ඩිතයෙකි’. නුහුගුණකාරයෙකි. ඒ නිසාම ජංගම දුරකතනයක් පාවිච්චි නොකරන්නෙක්මි. “ෆෝන් එක අපේ මල්ලිගේ අතේ. එයා එළියට ගිහින්. ආවාම කතා කරන්නම්.”

“නොම්මරේ දන්නවා නම් මං කෝල් එක අරන් දෙන්නම්.” ඇත්තමයි, මෙව්වා විශ්වාස කරන්නත් අමාරු තරමේ කතන්දරය. 

ඒත් සත්‍යය ප්‍රබන්ධවලට වඩා විස්මයජනකයි කියනවානේ. ‘දානපති’ ඇය ඇගේ මෝබයිලයෙන් වෛද්‍ය ශිරන්තට ඇමතුවාය. විස්තරය කිව්වාය. ඒ බාගේටය. එහෙම කියා මට ෆෝනය දුන්නාය.

ශිරන්ත ඒ වෙලාවේ ඉන්නට ඇත්තේ රෝහලේය, රාජකාරියකය. 

“නිමල් අයියේ, මං සල්ලි එවන්නම්, ඔයා ඇඩ්මිට් වෙලා බෙහෙත විද්දෝගන්න. ඕක මිස් කරන්න හොඳ නැහැ.” ඒ කතා-ලතාවෙන් තේරුණේ ශිරන්ත එවෙලේ කාර්ය බහුල බවයි. ඔහු සිතන්නට ඇත්තේ මුදල් අඩුවක් නිසා මා පස්ස ගහනවා කියා වෙන්නැතිය.

අච්චර හිත හොඳින් කතා කරන මනුස්සයාට ගරු නොකරන එකා තිරිසනෙක් නේද? 

“නැහැ ඩොක්ටර් ශිරන්ත, සල්ලි තියෙනවා. අපි සල්ලි අරන් ආවේ.” මම ශිරන්තට කිව්වෙමි. එතකොටම වාගේ සුනිලුත් ආවේය. වැඩි ආදරය හින්දාම සුනිලුත් කිව්වේ පරක්කු කිරිල්ල හොඳ නැති වගයි. සුනිල්ම ගිහින් විසිපන්දාස් ගණනක් ගෙවා ආවේය. මාව වාට්ටුවට ඇතුළු කර, ඇඳක වැතිරෙන්නට කියා පරීක්ෂා කළේ ඉන් පසුවය.

බකන් නිලාගෙන, බඩ උලාගෙන, දහේ ඔපාගෙන.....
“වැඩිය මහන්සි වෙන්න හොඳ නැහැ. හාන්සි වෙලා ඉන්න.” උපදේශයකුත් හම්බ වුණේය. දහයට විතර ඇඳේ හාන්සි කෙරෙව්වා කෙරෙව්වාමය, දොළහ වෙනතුරුත් මොකුත් කෙරුණේ නැත. 

මම ‘බකන් නිලාගෙන’ ‘බඩ උලාගෙන’ බුම්මාගෙන ‘දහේ ඔපාගෙන’ උන්නෙමි! ඒ අතරේ එයාලා දවල්ට කෑමට අවශ්‍ය මොනවාද කියලා නම් අහගෙන ලියාගෙන ගියේය. තේ එකකුත් ඕනෑ බව මම කලින්ම කිව්වෙමි. ඒකත් ලැබුණේය. (එව්වාටත් වෙනම අය කරන බව මං දැනගත්තේ බිල දැක්කාමය!).

“අයියේ, ඩොක්ටර් කිව්වා ඔයාගේ බෙහෙත හදවලා ගේන්න ටිකක් වෙලා යනවා කියලා. ඒක දෙන්නත් වෙලාව ගත වෙනවලු. පැය දෙක තුනකට වැඩිය යයිලු, මං ගෙදර ගිහින් එන්නම්, බයිසිකලෙත් හදන්න දාලා.” සුනිල් කිව්වේය. 

අපි එහෙ-මෙහෙ ගියේ සුනිල්ගේ මෝටර් සයිකලයෙනි. ඒක එදා උදෙන්ම ලෙඩ වෙලාය. කකුලක් කැඩිලා වගේ කියමින් සුනිල් ඉවසාගෙන උන්නේ හරිම අමාරුවෙනි.

සුනිල් ගියේය. මම නින්දත් නොනින්දත් අතර තාවර වෙවී හිටියෙමි. දවල් කෑමත් ලැබිණි. ඒත් බෙහෙත් නැත. බැරිම තැන මම ඇඳෙන් බැස්සෙමි. දොස්තර හිටි තැනට ගියෙමි. ගියා නෙවෙයි, යැවිණි.

“ඩොක්ටර්, තරහ නැතිව මට කියනවද මොකක්ද මට දෙන්න යන බෙහෙත කියලා. මොකටද දැන් ඒක දෙන්නෙ?”

මට දෙන්න යන බෙහෙත.....
“මිස්ටර් නිමල්ගේ ලේ කැටි ගැහෙන එකේ ඩිස්ඔර්ඩර් එකක් තියෙනවා. බෝන් මැරෝ ටෙස්ට් එකට සාම්පල් ගන්න පිටකොන්ද තුවාල වෙච්ච තැනින් බ්ලීඩ් වෙයි කියලා සැකේටයි මේ බෙහෙත දෙන්නෙ, බ්ලඩ් ක්ලොට් වෙන්න.” දොස්තර නෝනා බොහොම නිවිහැනහිල්ලේ ඒක කියාගෙන යද්දී නම් මට නම් ඉස්පාසු නැතිව ගියේය.

“මගෙන් සාම්පල් එක ගන්න කොන්ද හිල් කළේ අටටත් කලින්. දැන් දෙකත් පහු වෙලා. ඉන්ටර්නල් බ්ලීඩින් එකක් වෙනවා නම් මෙලහටත් වෙලා ඉවරයිනේ ඩොක්ටර්..... ඉතින් බෙහෙත නැතත් කමක් නැහැ වගේ මට නම් පේන්නේ....” 

මං ඒ ටික කියද්දී නම් දොස්තර නෝනා තක්කු-මුක්කු වෙනවා හොඳටම පෙනිණි.

“ඉන්න, ඉන්න. මං චෙක් කරලා බලන්නම් ඩිලේ එක මොකද කියලා...” හේතුව මොක වුණත් පැය බාගයක් යන්නට කලින් බෙහෙත ලැබිණි. සේලයිනුත් එක්ක බෙහෙත සිරුරුගත කරලා ඉවර වෙද්දී පහටත් කිට්ටුය. ඊටත් ටිකකට පස්සේ උදේම මගේ කොන්ද හිල් කළ ‘ඉසිවරිය’ වාට්ටුවට ආවාය. ඒ කඩිනම් ගමනකිනි.

“මිස්ටර් නිමල්ට ප්‍රශ්නයක් නැහැනේ....” යාන්තම් වටේට කැරකී, එහෙමත් කියාගෙන ආපිට හැරී ගියාය. ඒ ඇවිත් තිබ්බෙත් මට ආදරේට නොවේ. සල්ලි ගිලින්නය. ඒක පෙනුණේ බිල්පත දැක්කාමය. ඇගේ ඒ තත්පර ගණනේ පෙනී සිටීමට; visitingවලට අටසීයක්ය. හොඳයි නේද?

ලේ මාපිලුන් එන්නේ....
ගම්වල උදවිය ලේ මාපිලුන්ට පණ බයය. උන් එන්නේ තනිවම නෙවෙයිලු. හත් දෙනෙක් එක්කලු. එකෙක් අපෙන් ලේ උරා බොද්දී තව එකෙක් උගේ වලිගය සිදුරු කර ලේ ඉරීම පටන් ගන්නවාලු. උගේ වලිගයට එල්ලෙන්නේ තවත් එකෙකි. මට ආසිරි ප්‍රාර්ථනා කරමින් වැඩ ඇල්ලුවෙත් එවැනි ලේ මාපිලුන් රොත්තක්ම විය යුතුය. ඊළඟ එකා ආවේ බිල්පතත් අරන්ය.

බිල විතරක් නොවේ, තව ලැයිස්තුවකුත් මිනිහා මට දික් කළේය. “මේ ටෙස්ට් ටිකත් මිස්ටර් නිමල්ට කරවාගන්න වෙනවා... වැඩිය ලේසියි නේද එව්වාත් අදම කරගෙන යන එක.”

තවත් පරීක්ෂණ හත අටක් නිර්දේශ කරලාය.

ඒ වෙලාවේ එව්වා කළා නම් ලැබෙන ප්‍රතිඵල වරදිනවා සිකුරුය. ඒ තරම් තරහකින් දැවෙමිනි මා උන්නේ! ලේ කෝපවීලාය. ඒ හැඟීම තවමත් දැනෙයි. ඒ නිසා මගේ තරහව අඩු වෙනතුරු අදට නවතින්නම්. ඔයාලත් තරහ ගන්න එපා, හොඳේ!

2 comments:

  1. මුන්ගෙ අම්මටසිරි ආසිරි !!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් තනිකරම ආසිරි පතලා අන්තිම ලේ බින්දුවමත් උරා බොන්න හැදුනු තැනක්! අනෙක් තැනුත් එහෙමද මන්දා.

      Delete