අකුරු මැකී නෑ

Thursday, September 6, 2018

රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස



රැජින කිව්වේ රජරට රැජින නොවේ! Colombo ආවේ මොහාන්ගේ ‘රැජින’යි.

මොහාන් කිව්වාමත් කොහොමද? ප්‍රසිද්ධ, සුප්‍රසිද්ධ හා කුප්‍රසිද්ධ මොහාන්ලාත් ඉන්නවානේ. ඒ නිසා හරියටම කිව යුතුය. මොහාන් රාජ් මඩවල.

2013 දවසක අපේ ‘දුර බනුව’ බෑඟිරි දෙන්නට පටන් ගත්තේය. මම ‘සවනාව’ ඉස්සුවෙමි. “නිමල් දිසානායක මහත්තයට කතා කරන්න පුළුවන්ද?”

කතා කරන්නේ දන්නා-අඳුනන කෙනෙක් නම් මා කියන්නේ ‘ගොඩ කාලෙක ඉඳලම එයාට කතා කරන්න පුළුවන්’ කියලාය. එහෙමත් නැති නම් ‘තවම නම් පුළුවන්!’ කියලාය. ඒත් මට කතා කළේ මා දන්නා කටහඬකින් නොවේ. මාව ‘අන්දවන්නට’ කටහඬ වෙනස් කර කතා කරන යහළුවන්ය කියා අනුමාන කොට, පොල්ලෙන් කෙළලා අරිනවා වගේ උත්තරදී ‘ඇනගෙන’ ඉන්න නිසා මම පරෙස්සම් වීමි. “... ඔව්. කතා කරනවා.”

“නිමල් අයියේ, මං මොහාන් රාජ් මඩවල......” මොහාන්ට මගේ ටෙලිෆෝන් අංකය දී තිබුණේ ජනක ඉනිමංකඩය.

තුෂාරි නංගී, මොහාන් හා ජනක 
“..... මට ජනක කිව්වා නිමල් අයියා ගැන. මගේ නවල් එකක් තියෙනවා. මට ඕනේ නිමල් අයියට කියලා ඒකෙ වැරැදි තැන් තියෙනව නම් ඒවත් හදලා,  ප්රූෆුත් බලවා ගන්න. අනේ, බැහැයි කියන්න නම් එපා. ජනක තමයි ඔයාව රෙකමන් කළේ... ජනක කිව්වා ඔයාට නම් මේක තිතටම කරන්න පුළුවන් කියලා.” 

මොහාන් කතා කළේ බැහැයි කියන්නට බැරි විදියටය. ඔහු සාමාන්‍යයෙන් කතා කරන්නෙත් එහෙමය කියා මට තේරුම් ගියේ පසුවය!

අනෙක් පැත්තෙන් මෙය එක්තරා ආකාරයක අභියෝගයකි. මා ඒවා බාරගන්නට කැමැතිය. ජීවිතයමත් අභියෝග රැසක්නේ!

“මාගම් සෝලිය” දෙවෙනි මුද්‍රණයට පෙර මා එහි නිවැරැදි කිරීම් කරන්නට ගත්තේ ඊට පස්සේය.


උනහපුලුවාට....
මුලදීම වැඩේ කෙරෙන්නට ඕනෑ ආකාරය ගැන අපි සාකච්ඡා කළෙමු. නවකතා රචකයෙක් කියන්නේ ‘දරුවෙකුගේ අම්මා- තාත්තා චරිත දෙකම එකවර රඟන’ නළුවෙකි. මා සෝදුපත් බලද්දී අමතක නොකරන ප්‍රධානම කාරණාව ඒකය. 

දෙවැන්න ‘උනහපුලුවාට උගේ පැටියා මැණිකක්ය’ යන කියමනයි. තෙවැන්න ‘පොන්ත නෝනගේ මොකක්ද එක හෝදන්නේ මිරිස් වතුරෙන්ද කියා තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ඇයටමය’ කියන වගයි. හතරවෙනි එකකුත් තිබේ. එක-එක අයගේ රුචි-අරුචිකම්, හුරු-පුරුදු එක-එක විදිහය.

   ‘.... හෙට ඉඳන් උඹ අකුරු සාස්තරේ ඉගෙන ගන්ඩ ඕන... බණ පොත් වනපොත් කරන්ඩ ඕන...”
   සුදු බණ්ඩා එක්වරම මැද්දට පැන්නේය.
  ‘ඒත් මහණ වෙන්ඩ මගෙ කැමැත්තක් නෑ හාන්දුරුවනේ... මං ඔබ වහන්සේට උවටැන් කරගෙන ඉන්නං...’
  ‘බණ ඉගෙන ගන්ඩ ඕන මහණ වෙන්ඩම නෙවෙයිනෙ බොල... ජීවත් වෙන්ඩත් ඒව ඉගෙන ගන්න එක වටිනවා...’ (මාගම් සෝලිය- 16 පිටුව)

මොහාන් ලියන්නේ රිද්මයකට වාගෙය. ගීතවත්වය. සමහර වචනවලට පුදුම තරමට ආදරේය. ආදරේය කියනවාටත් වඩා ගැළපෙන්නේ ‘කෑදරේය’ කියන එකයි. ඉතින් මටත් ඒවාට අනුගත වෙන්නට සිදු විණි.

මට ලියවෙද්දී වැඩියෙන් දෙබස් පාවිච්චි වෙයි. මොහාන් එහෙම නැත. ඔහුට ඇත්තේ කෙටි දෙබස්ය. ඒ නිසාමද මන්දා එව්වා හරිම ප්‍රබලය. ඒ ලියැවිල්ල ඔබේ මනෝ ලෝකයේ ‘අපූරු චිත්ත රූප’ චිත්‍රණය කරවයි.


    ‘සොබනී සිය සිරුරටම තද වුණ රෙද්ද බුරුල් කළාය. උඩුකය වැසුණු හැට්ටය ගලවා දැම්මාය. අමු නිරුවතින් හැල හොල්මනක් නැතිව හිටගෙන හිටියාය. තරමක් මඳ කළුවරේ වුණත් ඇබිත්ත උන්නාන්සේ ඇගේ සිරුර පුරා පැතිරුණ තුවාල කැළැල් දුටුවේය. ඇගේ හුස්ම වැදෙන තරමට ඇයට ළංවූ ඔහු හද තුළින්ම නැඟ ආ .....’ (මාගම් සෝලිය-136 පිටුව)

මගේ දැනීමේ හැටියට නම් අද හිටි ගමන්; ඉක්මනින් මතුවී, දිදුලන්නට ලෙහෙසිය. එහෙම දිදුලන වයිවාරන්න උදවිය ඒ වාගේම ඉක්මනින් වල්ගා තරුවක් කඩා වැටෙනවාටත් වඩා වේගයෙන් පාතාලයටම ඇදගෙන වැටෙති. ඒ වටපිටාවෙන්; සමාජයෙන් කිසිම දෙයක් ඉගෙන නොගන්නා හින්දාය.

කෙනෙකුට ඉගෙන ගන්නවා නම් ඒකට හොඳම මඟ  චරිත කතා පොත් කියවීමය. සාර්ථක වුණු උදවියගේ මිස අසාර්ථක වුණු අයගේ ජීවිතය ගැන ලියන්නේ කවුද? ඉතින් එව්වායේ අපේ දිවියට එකතු කරගන්නට තරම් දේවල්  ගොඩාරියක් තිබෙයි. කොච්චර තිබ්බත්, ඇහේ ඇනුණත් මොකටද? ඕනෑකමක් නැති නම්. 

ඇස්වලින් පෙනෙයි, කන්වලින් ඇහෙයි. ඒත් අප ඇස්වලින් බැලිය යුතුය. කන්වලින් ඇහුම්කන් දිය යුතුය!

ඩී.එස්. සේනානායක මහත්තයා වතාවක් භෝජන සංග්‍රහයකට සහභාගි වුණාලු. ආරාධනය සර් ජෙරාඩ් විජේකෝන් මහතාගෙන්. ප්‍රධාන අමුත්තා වෙලා තියෙන්නේ සර් හියු ක්ලිෆර්ඩ් මැතිතුමා. ඒ කාලේ ඉහළින්ම වැජඹුණු සුද්දෝ, කළු සුද්දෝ- සුද්දියෝ ගොඩක් දෙනාත් ඒකට ඇවිත්.

සර් ක්ලිෆර්ඩ්ගෙ කැමැත්ත නිසා කෑමට සූදානම් කරලා තිබුණේ ‘බුරියානි’ලු. 

ඔන්න ‘බුරියානි’ මේසවලට වැඩියා. දැන් හැමෝම ‘හැඳි- ගෑරුප්පුවලින්’ එව්වා කනවා, පුදුම වදයක් විඳ-විඳ. ඩී.එස්. මහත්තයා බැලුවා, සර් ක්ලිෆර්ඩ් තවම වැඩ පටන් අරන් නැහැ. බර කතාවක.... ඊට පස්සේ තමයි සර් ක්ලිෆර්ඩ් අත හෝදාගෙන කාරිය කෑම පටන් අරන් තියෙන්නේ. සේනානායක මහත්තයාත් ඒ විදියටම වැඩ ඇල්ලුවාලු.

අපේ කළු සුද්දන් දිහා බලලා, සර් ක්ලිෆර්ඩ් පුංචි ‘සදය හිනාවක්’ පාලා මෙහෙම කිව්වාලු. “අතින් කද්දියි බුරියානි රහ!”.


මොහානුත් ඩී.එස්. මහත්තයාගේ උපන් නැකතෙම වෙන්නැතිය. ඔහු වටපිටාවෙන්, සමාජයෙන් කොච්චර ඉගෙන ගෙන තියෙනවාදැයි දැනගන්නට මොහාන්ගේ එක පොතක්- දෙකක් කියවද්දීම පුළුවන්ය. ඒ විතරක් නොවේ. 

මගේ මතය නම් මොහානුත් ‘රට කපටියෙක්’ බවයි.

අනේ මොහාන්, අපහාසයක් කරන්නට කීවා නොවේ. සමහරු මටත් ඒ පට්ටම දෙති. මට හිතෙන්නේ හැම කෙනෙක්ම කපටි විය යුතු බවයි. ‘මොට්ට’ කපටි නොවේ. ‘දක්ෂ- සූර’ කපටින් විය යුතුය. තැනේ හැටියට ඇනේ ගහන්නට පුළුවන් වෙන්නේ එතකොටය. ජාම බේරාගෙන ඉන්නට පුළුවන් වෙන්නේ එතකොටය. 

එහෙම නැති නම් ‘ඔළුව’ බේරාගන්නට බැරිය!

ඉතිහාසය කෝෂ්ඨාගාරයකියි කියැවේ. මොහාන් ඒ ඉතිහාසයට යන්නේ සූරකම හන්දාමය. වැළලුණු අය සදාකාලික නින්දේ සැතපෙනවා මිස ගතු කියන්නට, එරෙහි වෙන්නට, විරෝධතා ව්‍යාපාර පවත්වන්නට හෝ පිකටින් කරන්නට එන්නේ නැති බව ඔහු දන්නවා වගේය.


ඉතිහාසය කෝෂ්ඨාගාරයකියි.....
මාගම් සෝලියට සෝලි නොවැටෙන්නේ මොහාන් 1809-1819 තරම් ඈතට ගිහින් තියෙන නිසාය. කුඩම්මා පුතා එක්ක, තාත්තා දූ එක්ක ව්‍යභිචාරයේ යෙදෙද්දී හුඟ දෙනා උහුලාගෙන හිටියේ එව්වා ‘අතීතය’ නිසා වෙන්නැතිය.

මොහාන් ‘ලොවීනා’හිදී පොකුණක රාගාන්විත වියරු (‘blue films’වල වැනි) රංගනයන් ඉදිරිපත් කරවන්නේ අද්‍යතන රජ පවුල්වල අය ලවා නොවේ. නරේන්ද්‍රසිංහ රජතුමා ලවාය. තමන්ගේ ‘අම්බිකාව’ට කාමාපචාර කරන්නට සැරසුණු වරදට, නඩු නොඅසාම සෙබළෙකුට වෙඩි තියන්නට අණ දෙවන්නේ තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරයා ලව්වාය! ඒ සේරම හපන්කම් කරන්නට හැකි වන්නේ අතීතයට යන නිසාය!


වහලුන්......
මෙවරත් මොහාන් ඒ ‘කපටිකම’ කරයි. ‘COLOMBO’වලදී ඔහු යන්නේ දහනවවෙනි සියවසේ මුල අඳුරු- ගුප්ත-හැංගුණු අහුමුළුවලටය. ඔහු වඩුවන්, තණ්ඩලේලා, ඇපොතිකරිලා, වහලුන්, වෙසඟනන් මෙන්ම කුලීන-කුලහීන සියල්ලන් අල්ලේ නටවයි. ඔවුන්ගේ ඉරණම ලියා ඇත්තේ දෛවය විසින්ම යයි අපට ඒත්තු ගැන්වෙන පරිද්දෙන් ලියයි. එයට සීමා මායිම් නැත; වැට කඩුලු නැත.

   “‘හැමෝගෙම ලස්සන බලන්න පුළුවන් වෙන්නෙ කූඩු කරල තියෙන කොට.....’

   අන්තිමට ඇය එලෙස තීරණය කර තෝමස්ද අර කුරුළු කූඩුව තුළටම ඇතුළත් කළාය. මුල් දවස් කීපයේදී ඌ ‘ක්‍රැක් ක්‍රෑක්’ ගාමින් යටි ගිරියෙන් කෑ ගැසුවේය. කූඩුවේ සිටින ගිරවුන් සමඟ රණ්ඩු කළේය. කෝපයෙන් උන්ට කෙටුවේය. එළිසබෙත් කීන, දං, ඇඹිල්ල දික් කරමින් ඌව සංසුන් කළාය.

   ‘මං උඹව කූඩු කරේ උඹට තියෙන ආදරේට...’

   ඇය තොඳොල් වචන තෙපලමින් ඌව සැනසුවාය. කූඩුවක් තුළ තිබෙන නිදහස සහ සැප පහසුව වෙන කිසිම තැනක නැති බව ඌට තේරුම් කර දුන්නාය. කල් ගත වන විට ඌ උගේ පුංචි කුරුලු මොළෙන් එය තේරුම් ගත් අතර, මේ ගෙදර බල්ලන්ටත්, කුකුළන්ටත්, අශ්වයන්ටත් පමණක් නොව මිනිසුන්ටත් එසේ ඉන්න පුළුවන් නම්.......”(COLOMBO-290,291 පිටු)



මෙලෙස කීකෝරු වුණේ කවුද? කවරදා පටන්ද? කොහෙද? එහෙම වුණේ ඉබේමද? මොහාන් අපට නොකියයි. ඒකට හරියටම හරියන යෙදුම ‘නොකියා කියයි’ කියන එකය.

ඒක සූරකමක්, කපටිකමක් නෙවෙයිද? එව්වා කරන්නාට කිව යුතු වචනය මා දන්නා තරමටය උඩින් කෙටුවේ!

‘මාගම් සෝලිය’, ‘ලොවීනා’, ‘ආදරණීය වික්ටෝරියා’ සහ ‘රැජින’ විතරක් නොවේ, ඔහුගේ අලුත්ම පොත ‘COLOMBO’ත් පසුබිම් කරගන්නේ අතීතයමය. මේ හැම පොතක්ම ඉස්-ඉස්සෙල්ලාම කියවීමේ ගෞරවය මටත් ලැබෙයි. ඒ නිකම්මය; පොත අච්චු ගහන්නත් කලින්මය. ටයිප් සෙටින් කළ ගමන්මය. සෝදුපත් බලන අයට ලැබෙන වාසනාවකි, ඒ.

පොතක් හෝ කලා කෘතියක් මිනිසුන් අතරට යා යුතුමය. බහුජනයා අතරට නොවේ. කෙනෙකුගේ කලා නිර්මාණයක රස විඳින්නට හැකියාව ඇත්තවුන් අතට එය යා යුතුමය. ඔවුන් විදග්ධයන් වෙන්නටම උවමනා ඇත. හුඟ දෙනා බර දේවල් ‘දිරවාගන්නට’ කම්මැලිය. හැබැයි ටිකෙන් ටික එව්වාට පුරුදු වෙයි.

මොහාන් ලියන පොතුත්....
‘අජාසත්ත-3’ හා ‘ගස්සලා යවමුද-4’ පෝස්ටුවලදී කිව්වා වාගේ ‘මරලත් මදි’ එකට පස්සේ; මුල් කාලයේ මා කියෙව්වේ ‘මාරක කතා චක්‍රවර්ති - ඩීමන් ආනන්දගේ’ පොත්ය; ප්‍රංස රස, මකුණා වගේ එව්වාය. එතනින් ඇරඹුණු කියවීමේ පිපාසාව නිවාගන්නට ‘අපරාධය හා දඬුවම’, ‘නිවටයා’, ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ විතරක් නොව සීනි ගොට්ටේ පත්තර කෑල්ලත් කියෙව්වෙමි. ඒ කියවීමට ආසා හිතෙන ජාතිවලින් පටන් ගත් හින්දාය.

මොහාන් ලියන පොතුත් එහෙමය. ඒකක් කියවන්නට අතට ගත්තාම ‘නවක පොත් කියවන්නෙකුට’ වුණත් පොත පැත්තකින් තියන්නට හිතෙන්නේ නැත.

අවුරුදු කීපයකට කලින් ‘ජනක ඉනිමංකඩ මහත්තයාම’ තවත් රැඩිකල් ලේඛිකාවක් අපේ ගෙදරට එව්වේය. එයාගේ පොතෙත් හරි-වැරැදි බලවා ගන්නටය. එයාත් මොහාන් වගේම අතීතයට මුවාවී වර්තමානයට එබෙන කෙනෙකි. මොහාන්ටත් වඩා ගොඩාරියක් ගෙදර වැඩත් කරලා බව ඒ පොත කියවද්දී ඔයාලටම වුණත් වැටහෙනු ඇත. ඒත් ප්‍රශ්නයක් තිබුණේය. එයා study කරද්දී එකතු කරගත් සේරම පොතට රිංගවා ගන්නට හදා තිබීමය.


“නංගී, තරහ වෙන්න එපා. මේක රීඩබල් පොතක් නම් නෙවෙයි. මාර්කට් වෙන එකක් නැහැ!” මම කිව්වෙමි.

“නෑ අයියේ, මට ඕනේ හැම කෙනාටම අල්ලන විදියට ලියන්න නෙවෙයි. ප්‍රබුද්ධ ටික දෙනෙක් කියෙව්වත් ඇති.” ඇගේ උත්තරය වුණේ ඒකය. මම ‘පොන්ත නෝනාගේ තියරිය’ මතක් කරගත්තෙමි. එහෙත් මගේ අවංක අදහස ඇයට කීවෙමි. 

පොත ගැහුණේය. පොත ගැන විචාරයකට මා දැක්කේ එකම එක ලිපියක් පමණි. (තව තිබෙන්නට ඇත.) අවුරුද්දකට විතර පස්සේ අර නංගී මට කතා කර සුවදුක් විමසුවාය. අපි පොතටත් ගියෙමු.

“..... අනේ බලන්නකෝ නිමල් අයියේ, තවම මගේ පොත ඔක්කොම කියෝපු අය හම්බ වුණේ අතක ඇඟිලි ගණනටත් අඩුවෙන්!” දැන් කොහොමදැයි කියලා නම් මා දන්නේ නැත. මා දන්නා තරමට නම් ඊට පසු ඇයගේ වෙනත් කෘතියක් තවම පළ වුණේ නැත. (ඒකෙන් මටත් පාඩුය. මොහානුත්, ඇයත් දෙන්නාම ලෝස් නැත. ගෙවීම් කිරීමට පමාවකුත් නැත.)

පවතින තත්වය, වාතාවරණය ගැන හොඳටම අවදියෙන් හිඳිමින් නිර්මාණ කාරියේ යෙදෙන මොහාන්ගේ පොත් අලෙවිය අතිනුත් වාර්තා තබයි. 

එහෙම වෙන්නේ ‘ස්වර්ණ පුස්තක’ හෝ ‘සාහිත්‍ය සම්මාන’ හෝ ලැබිලා හෙම නොවේ. ජීවිතේටම මේ වගේ පොත්වලට එහෙම සම්මාන ලැබෙන එකකුත් නැත! (පොත් තෝරන, නිර්දේශ කරන එව්වා ගැන පුංචි කතන්දරයක් මා ‘කෙලින් සනා-2’ පෝස්ටුවට ලිව්වා මතකය.) තව රහසකුත් හෙළි කරන්නටම හිත කියන්නේ දැන්ය. ඒ අප දෙන්නා අතර ඇතිවූ සංවාදයකි.

“මරු වැඩක් වුණානේ නිමල් අයියේ. COLOMBO කියවපු ............ කිව්වනේ ‘සේරම හොඳයි. අර sex කෑලි නැති නම් කියලා. ඔයා මොකද හිතන්නේ, ඒවා ඕනවට වැඩියිද?"


“මට නම් එහෙම හිතුණේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු සමහර තැන් විතරක් වෙනම අරන් බලන්නේ ඇයි කියලා. මොහාන්ට මතකද ‘බැන්ඩිට් ක්වීන්’ ෆිල්ම් එක. ඒ වගෙම ‘තනි තටුවෙන් පියාඹන්න’. එව්වා බලද්දී සීමා බිස්වාස්ගෙවත්, අනෝමා ජනාදරීගෙවත් හෙළුව නෙවෙයි මට පෙනුණේ. එයාලා නිරූපණය කළ චරිත මුහුණ දෙන ඛේදවාචකය.” මම කිව්වෙමි. මොහානුත් එයට එකඟ වෙනවාත් මට මතකය.

ට්‍රිබල් xxx බලන ඇහෙන්ම සේරම බලන්නට යන්නේ ඇයි?

ඒ මට හිතෙන හැටිය. හැබැයි එකක් තිබේ. මොහාන්ගේ පාත්‍ර වර්ගයන් හැම විටම කාමාශක්තය. ඒකේ ඇති වරදකුත් නැත. අපි හැමෝම එක-එක මට්ටමට කාමාශක්තයෝය. එහෙම වෙන්නේ අපේ අන්තරාසර්ග ග්‍රන්ථිවලින් ලිංගික හෝර්මෝන වහනය වෙන මට්ටම අනුවය. මහබඹාගෙන් හරි, දෙවියන් වහන්සේගෙන් හරි, ජානවලින් හරි අපට උපතින්ම ලැබී තියෙන්නේ එහෙම නම්?

අනේ, හංගන්නේ මොකටද? මම නම් ‘ශෘංගාර රසය’ට කැමැතිය..... ඒ වාගේම...

බය හිතෙන කතාවක් කියන්නට යන්නේ විවේක අරන්ය! අදට ‘බායි’!!

3 comments:

  1. ලොවීනා කියවල තියෙනව විශේෂයෙන් කියන්න තරම් හොඳක් හෝ නරකක් ඒකෙ දැක්කෙ නැහැ .. නමුත් අතීතයෙන් වස්තු බීජයක් අරගෙන ඒක නවකතාවකට හරවපු එක ගැන සතුටුයි. අනෙක් පොත් නම් කියවල නැහැ. ඒ ඇරෙන්න මේ පොත් වලට එල්ල වන ගල් මුල් බැලුවම ... ලිංගිකත්වය ජීවිතයේම කොටසක් කියල නොතේරෙන ... ඒක ටැබූ එකක් කර ගත්ත රටක ඔයිට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද ?

    ReplyDelete
    Replies
    1. ලිංගිකත්වය ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතයේ කොටසක් වෙන්නේ කොහොමද? ගිහියෝ පන්සල්- හාමුදුරුවරු රකිනවා අඹුදරුවනුත් දමා ගහලා. හාමුදුරුවරු අඹුදරුවන් රකිනවා සාසනෙත් දමල ගහලා.

      Delete
  2. හෙහ් .. හෙහ් .. ඒක මරු කතාව ... අඹු දරුවො නැති හාමුදුරුවො පොඩි උන්නාන්සෙල බයිට් එකට ගන්නව :)

    ReplyDelete