අකුරු මැකී නෑ

Thursday, October 11, 2018

අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස


සෙනුගිගේ ලස්සනම ලස්සන පින්තූරයක් ප්‍රභාත්ලාගේ ගෙට ඇතුළු වෙන තැනම බැබලෙමින් තිබුණේය. “හරිම ලස්සනයි” මම කීවෙමි. එතකොටම ළඟින් හිටි උදේනි; නදීගේ බිරිය අටුවාව කිව්වාය. “චූටි මල්ලී ගත්තේ. මේ ළමයා ෆොටෝ එකට ඉන්න බැහැම කිව්වානේ. හරිම අමාරුවෙන් ෂේප් කරගෙන වැඩේ කළේ."

චූටි මල්ලිත්............
චූටි මල්ලිත් දැන් තමන්ගේම කියා බිස්නස් එකක් කරයි. ප්‍රියන්තලා- අපේ ගමන්වලදී දෙවෙනි පරම්පරාව විදියට එකතු වුණේ චූටි මල්ලිලාය. එතකොට නම් ෆොටෝ ගත්තේ මංජු, නලින්, පීරිස් හා නෙවිල්ය. පීරිස් හැර අනෙක් තුන් දෙනාම නම් දැන් ඒ කාරිය අත්හැරලා වාගෙය.

‘විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටී’ යන කියමන මම තරයේම අදහන්නෙමි. ඒ පුරුද්ද මෙතනදීත් ඉස්මත්තට ආවේය. ඒ මගේ මහ දිග කතාවල් කියන පුරුද්දත් එක්කමය. මං කියන්නට හැදුවේ නදීලාගෙ උත්සවයේදී සමින්ද ගබඩාගේ කියූ කතාවක් ගැනය. 

සමින්දත් අපේ ගමන් සගයෙකි. මාස දෙකකට විතර කලින් මා ‘බුකියට’ සාමාජික වුණු දවසේ සිටම සමින්ද ප්‍රතිචාර දක්වයි. ඒ මදිවාට ‘පංච තන්තරෙත්’ කියවයි.

“අම්මෝ, නිමල් අයියා ඉන්න තැන නම් පිස්සු කෙළිනවා තියා කතා කරන්නත් බයයි. ඊළඟ සුමානේ මේ මනුස්සයා ඒක බ්ලොග් එකට ලියනවනේ.” සමින්ද කිව්වේ අහිතකින් නොවේ. මං මේ ටික ලියන්නෙත් අහිතකින් නොවේ. 

මමාස් එකේ විස්තර ලියන්නට හිතාගෙන නොහිටියා වාගේම, කොටහළු මංගල්ලයේ විස්තරත් ලියන්නට හිතේ තිබුණේ නැත. කොම්පියුටරය ළඟින් වාඩි වුණාම හිතෙනවා, මතක් වෙනවා මිස! මතක් වෙද්දී නොලියා ඉන්නත් බැරිය. එහෙම නොලියා හිටියොත් එව්වා හීන වගේ ඇවිත් නින්දට බාධා කරනවානේ! ඕකය, සිද්ධිය.

සමින්දත් අපේ ගමන් ................
දෙවෙනි කොටසේදී මං ‘මමාස්’ කතාව පීලි පැන්නෙව්වේ, කරිජ්ජෙන් නාලා ආවාට පස්සේ නෙවිල්ලාට අලුත් කාමරයකට යන්නට සිදු වුණු තැනින්ය. අලුත් කාමරයට ගිය පීරිස් වතුර මලෙන් නාලා, අලුත්වී ඉවර වුණු වහාම ඒ දෙන්නා අපේ කාමරයට කඩා වැදුණෝය. හම්බන්තොටින් ගෙනා මස්, මාළු, බැදුම්-පිළිස්සුම්-පිලිහුඩු, ටේස්ට් ජාති එළියට වැඩැම්මුවේ ඊට පස්සෙය. ඒ කෑම කන්දරාව තියාගන්නට කාමරයේ තිබුණු ටීපෝව පුංචි වැඩිය. ඇයි, බෝතලුත් තිබුණානෙ!

“කොහෙටද හලෝ මෙච්චර ජාති කන්නේ?” මම ඇසුවෙමි.

“ටිං ටිං. ඒකනෙ සාදර අනුග්‍රාහකයා ඩිනර් එක ඕඩර් කළේ නැත්තේ.” පීරිස් වෙළෙඳ දැන්වීම දැම්මේය. “අපිට නම් මේවා ඇති. අයියට....?”

“ඇයි දෙයියනේ, මං සවුදන් ජෙමාද? ඊටත් මම බත් කන එකක්යැ. මේ මාළු ඇඹුල් තියලුයි, මසුයි තියෙන්නේ. කෑම මදියි වගෙ නම් මම එවෙලෙම කියනවනේ.” මා එහෙම කීවේ හවස කතාබහ මතක් වුණු නිසාය.

අප මමාස් එකට පැමිණි වහාම අපෙන් ඇසුවේ රෑ කෑම ගැනය. ඊළඟට උදේට ඕනේ මොනවාද කියාය. “මොනවද උදේට තියෙන්නේ?”

“සර්ලට ඕනේ දෙයක් දෙන්න පුළුවන්. ස්ට්‍රින්ග් හොපර්ස්, මිල්ක් රයිස්... ඒත් සර්ලා කැමති නම් අපිට පුළුවන් ග්‍රේට් කොන්ටිනන්ටල් බ්‍රෙක්ෆස්ට් එකක් ඇරෙන්ජ් කරන්න.” මමාස් එකේ ප්‍රධානියෙක් වගේ පෙනුණු guy ‘නැව් ටෝක්’ එකක් දුන්නේය.

ඉඳියාප්ප, කිරිබත් වගේද ‘කොන්ටිනන්ටල්’? අපි ඒකච්ඡන්දයෙන් ඒකට මනාපය දුන්නෙමු. “හැබැයි, අපට උදේ හයට බෙඩ් ටී එක ඕනේ. හත වෙද්දී බ්‍රෙක්ෆස්ට් එකට අපි එනවා!” පීරිස් කිව්වේය. උදේ දහය වෙද්දී කොල්ලුපිටියේ ඉන්න බලාගෙනය ඔහු එහෙම කිව්වේ.

පොසෙයිඩන් ..................
ඉතින් අපේ ත්‍රී යෙලෝ කැට්ස්ලා හීන් සීරුවේ ‘ඛජ්ජ-භොජ්ජවලින්’ සන්තර්පණය වෙද්දී පොසෙයිඩන් බලාගෙන හිටියා විය යුතුය. බලාගෙන නොහිටියත් පෙනෙන්නටත් ඇත. අපි හිටියේ සඳලු තලයේය. ඒක තිබෙන්නේ මුහුද පැත්තටය. අපට පෙනුණේ තරු එළියෙන් දිදුලන නිල්වන් සයුරයි.

ඒ නිල්වන් සයුරට අධිපති ග්‍රීක දෙවියා ‘පොසෙයිඩන්’ය. මට එකක් නම් ඒකාන්තය. මිනිස්සු අඩි-පුඩි ගහන තැන්වලට නම් පොසෙයිඩන් තියා මොනම දෙවියෙක්වත් ඈත ඉඳන් බලා ඉන්නවා මිස, ළඟට නම් එන්නේ නැත. ආවොත් නිමක් කොනක් නැති කතාවලට සම්මාදම් වෙන්නට වෙන නිසාය. බෝතලයේ අඩිය පේන්නට-පේන්නට වටේ ඉන්නන්ගේ ‘කටේ සවුදම’ වැඩි වෙයි. වාචාලකම ඉස්මතු වෙයි!

එහෙම වෙලාවට ‘විකිපීඩියා’ එකටත් වඩා කොයි අප්පුහාමිලාත් බහුශ්රුතයෝය. චතුර්වේදයේම කෙළ පැමිණියෝය. මගේ වලත්තකමටද කොහෙද මට එයාලාව පේන්නේ ‘කෙළවෙලා පැමිණි’ අය විදියටය. 

අපේ 225 සාමාජිකයන්ට තියෙන්නේ ඔහොම සාමීචි වෙලාවල්වලදී කියවෙන දේවල් එකතු කරගන්නටය. ඒ අදහස් අනුව රට ඉදිරියට ගෙන යන්නටය! එතකොට ඉක්මනින්ම ශ්‍රී ලංකාව ‘උතුරුකුරු දිවයිනක්’ වෙනවා ෂුවර්ය.

කවුරුනුත් එකතුවී ......
ඒ තරමට දැනමුත්තන් බිහිවීමේ පුදුමයකුත් නැත. දැන් ඇත්තේ කවුරුනුත් එකතුවී කුඩා කළ ලෝකයකි. හැබැයි දැනුම නම් සීඝ්‍රයෙන් වැඩි වෙයි. 1950 විතර කාලයේ තිබුණු ‘දැනුම’ double වුණේ අවුරුදු 25ක් විතර කාලයක් ගතවෙද්දීය. විද්වතුන්ගේ මතය ‘දැන් මාස දහතුනකදී’ දැනුම දෙගුණ වෙන බවයි! එහෙම කාලෙක ‘මීවිතට දැනුම ෂැන්ඩි වීම’ අරුමයකුත් නොවේ!

බෝතලය හිස් වුණේය. බයිට් එක ඩයට් එක කරගෙනත්, තිබුණු කෑම ඉවර වුණේ නැත. “නිදාගනිමු නේද? උදෙන් නැඟිටින්නත් තියෙනවානේ.” කවුදෝ යෝජනා කළේ හොඳටම රෑ වුණාමය. කොතෙක් රෑ වුණත් උදෙන්ම නැඟිටින්නේ මාය.

එදාත් එහෙමය. මට උදේටත් නාන්නට ඕනෑය. හැබැයි මට හවසටත් නොනා බැරිය. ඒ ගැන කියද්දී මට එකක් හොඳටෝම ස්ථිරය. ඉපදුනු දවසේ සිට අද දක්වා ගතවී ඇති දවස් ගණන වාගේ දෙගුණයක්වත් මේ කොටන්නා ස්නානය කොට ඇත. එහෙම වෙන්නේ ඉඩක් තියෙනවා නම් දවසට තෙවතාවක් නෑවත් මට මදි හින්දාය. මට ඇත්තේ එතරම්ම ඌෂ්ණාධික සිරුරකි.

එඩ්වින් ආරියදාස වියතාණෝ ..........
“ඔහෙල දන්නවද? ඇඩොල්ෆ් හිට්ලර් උන්නැහේටත් හැමදාම උදේ නාන පුරුද්දක් තිබුණය කියලා?....” එඩ්වින් ආරියදාස මහත්තයා අපට කිව්වේය. 

ඒ, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ‘පරිසර පර්ෂදයේ’ සම්මන්ත්‍රණයකට යන්නට එතුමාව එකතු කරගනිද්දීය. වෙනදා නම් වෙලාවට සූදානම්වී ඉන්නා ආරියදාස මහත්තයා එදා විනාඩි කීපයක් පරක්කු වුණේය. “...... මමත් හැමදාම උදේට නානවා. ඩිංගක් ප්‍රමාද වුණාට සමාවෙන්න ඕනේ!” හිසත් යාන්තමට ඇල කොට ආරියදාස මහත්තයා කීවේ ඉතාම නිහතමානිවය.

එතකොට ‘පරිසර පර්ෂදයේ’ සභාපති ධුරය දැරුවේ එතුමාය. නන්ද පී.කළුතන්ත්‍රී ලේකම් ධුරය ඉසිලීය. පරිසර ප්‍රඥාප්තිය සැකසීමේදීත් ආරියදාස මහත්තයා ලොකු වැඩ කොටසක් කළ බව මට මතකය. එහෙම තැනකදී ‘එව්වා අලින්ගේ අපේ වැඩ’ කියලා කියූ කූඹියාත් ටියුෂන් ගත්තේ මගෙන්ය. 

හිට්ලර් කොච්චර දරුණු ඒකාධිපතියකු වුණත් සිත්තරෙකි. එතරම් කලාකාමී කෙනෙකු තිරශ්චීන මිනීමරුවෙකු වුණේ කොහොමදැයි මට නම් අදටත් ප්‍රශ්නයකි. 

ජාත්‍යෝන්මාදය! උත්තරය ඒක වෙන්නැතිය. එය එක ජාතියක පිස්සුවකි. හුඟ දෙනෙක් ජාතිකානුරාගයත් ජාත්‍යෝන්මාදයත් පටලවා ගනිති. ජාතිකානුරාගය හොඳය, ඒක නිසා උන්මාදය හදාගැනීම නම් මෝඩකමක් නේද?. 

හිට්ලර් එවන් උමතුවකින් දැවුණු නිසා සිදු වුණු විපත් කන්දරාව දැන-දැනත්, අදත් ඒ පිස්සුව හදාගන්නා අයට නමක් දෙන්නට ඔයාලට පුළුවන්ද?

හිට්ලර් කලාකාමී ................
අපි හතර දෙනාම ලැහැස්ති වෙනකල්මත් bed tea එක ලැබුණේ නැත. තිබුණු කලබලය හින්දා ඒක එච්චර ගනිච්චියක් ලෙස දැනුණේත් නැත. “යමු, යමු. පහළට යමු! මට පරක්කු වෙයි.” පීරිස් හදිසි කළේය. අපි උඩ තට්ටුවෙන් පහතට බැස්සෙමු. මනුස්ස පරාණයක් ඉන්නා පාටක් නැත. එතකොට හතයි කාලත් පහුවෙලාය. එහාට-මෙහාට තට්ටු කරලා, කැහැලා, කාරලා, අහලා.... සද්දයක් දාද්දී අවුරුදු විස්සක්වත් නැති හාදයෙක් මතු වුණේය.

ඒ නිදිගැට පිටින්මය. මගේ මොට්ටකමම විය යුතුය, මට සමහර අයව දැක්කාම හොම්බට හැටක් විතර අනින්න හිතෙයි. (මෙච්චර කාලෙකට එහෙම ඇනලා නැති එක වෙනම දෙයකි.) මේ හාදයාත් මුහුණේ ලේ පොදක්, සිරියාවක්, තියා උනන්දුවක්වත් නැති ‘බං පඩයෙකි’.

“සර්ලා යන්නද?” ඔහු ඇසුවේ ‘එපා වාහෙට හොදි බෙදන්නා වාගෙය’. “අපි හතට බ්‍රෙක්ෆස්ට් එක ඉල්ලුවා.” පීරිසුත් තෙතක් නැති ටෝන් එකකින් උත්තර දුන්නේය. දැන් එයාගෙත් රතු ඉර පැනලාය.

“තවම කිචන් එකේ කවුරුවත් ඇවිත් නැහැ.” අර මෝලා උත්තර දුන්නේ, හරියට එය අප නිසා සිදු වුණ වැරැද්දක්ය හිතන විදියටය. ඔන්න එතකොටම ගැහැනු පරාණයක් එතැන පහු කරගෙන ගියාය. එතකොටම තව දෙන්නෙක්..... ඒ අස්සේ ඈතින් තවත් යුවතියක් මතුවී ආවාය. “ඇයි මල්ලී?


ඇය ඇසුවේ අපෙන් නොවේ. අර හාදයාගෙනි. එතකොටත් අර වැඩට ආ ස්ත්‍රී පරාණ දෙක තුනක් එතනටම රොක්වෙලාය. හැබැයි යුනිෆෝම් දාගෙනය. එයාලා, අපි ‘මමාස් එක’ කොල්ලකෑමට ආවා කියලා හිතුවද දන්නෙත් නැහැනේ. මට හිතුණේ එහෙමය.

“තවම සර්ලා කවුරුවත් ඇවිත් නැහැ. අපිට යතුරු දීලා යන්නෙත් නැහැ. සර්ලා මොනවද බ්‍රෙක්ෆස්ට් එකට ඕර්ඩර් කළේ....?” අර එකියක් දැන් එතන ඉන්චාර්ජ් වාගේ අහයි. අපේ කතාව අහගෙන හිටි ඇය දුන්නේ අපූරු උත්තරයකි. “සර්ලා ටිකක් ඉන්න.... පැය-දෙක තුනක් ඉන්න සර්, අපි කොන්ටිනන්ටල් බ්‍රෙක්ෆස්ට් එක හදලා දෙන්නම්. අපේ සර්ලා ආව ගමන්!” ඒක නම් කිව්වේ අපේ ගමන් මලු දිහාත් බලලාය.

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබුණත් මදිය. තවත් ඩිංගක් ඕනෑ වෙයි!

එතකොටම තවත් එකියක් හොට දැම්මාය. “නැහැ සර්. අපි බ්‍රෙඩ් ඇන්ඩ් බටර් එක්ක එග්ස් හරි හදල දෙන්නම්, ඉක්මනටම... යතුරු හම්බවෙච්ච ගමන්ම.” දැන් එතන සේරමලාම එක-එක දේවල් කියන්නට පටන් අරන්ය. එංගලන්තයේ බකිංහම් පැලස් එකේ කෑම මේසයක් අරින ගණනට, කතා කිලෝ ගානකි!

එංගලන්තයේ...................
එන පොට හොඳ නැත. මම මැදිහත් වීමි. “පීරිස්, අපි යං, පරක්කු වෙනවනේ. මඟදී මොනව හරි කමු!”. වෙලාවේ හැටියට අපට වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. කාලවෙලාව තිබුණා නම් පීරිස් හොඳ ජල්ලියක් අල්ලන බවත් මට නම් සිකුරුය. මගේ චිත්තයේ හැටි සුබාව හැම නරකකම හැංගී තියෙන ‘හොඳ’ හොයා ගැනීමය. එවෙලේම මේ බ්ලොගයට මාතෘකාව ‘අම්මගෙ රෙද්දෙ මමාස්’ මගේ ඔළුවට ආවේය!

හික්කඩුවෙන් පිටත්වී හයිවේ එකට එන අතරේ උදේට කන්නට තැනක් තිබුණේ නැත. තිබුණු එව්වාට අපේ නඩේ ලකුණු දුන්නේත් නැත. “පරක්කු වුණත් කමක් නැහැ. වැලිපැන්නෙන් කාලා යමු!” පීරිස්ට මතක් වුණේ එතනය.

“ගවීන්, තරහ නැතිව මේ නොම්මරේට කෝල් එකක් ගන්නකො.” මම කීවෙමි.

“කාටද?” නෙවිල් ඇහුවේය.

“මේ තමුසේ නසාර් වෙලා ඉන්න වෙලාවට අනං-මනං හොයන්නේ නැතිව වාහනේ එළවනවා!”

තමුසේ නසාර් නොවී ..............
නසාර් ඉන්නේ හම්බන්තොටය. පීරිස් හොඳටෝම මැරිලා කොළඹ එද්දී වාහනය පදවන්නේ නසාර්ය. ඇවිත් මහරගමින් බැහැලා ආපහු යයි. ඒ බස් එකේය. පීරිස් කොළඹ සිට යද්දීත් හුඟ දවසට එහෙමය. එතකොට නසාර් බසයෙන් ඇවිත් රාජකාරිය බාර ගනී.

එයා අපූරු මිනිහෙකි! අපත් එක්ක කොච්චර දුරක් ගියත් ඇහුවොත් යමක් කියනවා මිස කට අරින්නේ නැත. මිනියක් මරන්නට වුණත් එක්කං යා හැකිය. කන්කෙඳිරි ගාන්නෙත් නැත. කවුරු එක්ක ගියත් එහෙමලු. ඒ නිසාමද කොහෙද නසාර්ට වැඩවලින් හිඟයකුත් නැත. ඉස්පිරිතාලයේ හුඟක් දොස්තර මහත්වරු ගමන්-බිමන් යන්නේ නසාර්ව කුලියට අරන්ය. හැබැයි, නසාර් ප්‍රයෝරිටි එක දෙන්නේ අයස්මන්ත මහත්තයාටය. වෙනින් හයර් බාරගන්නේත් පීරිස්ගේ කාල සටහන බලා ඉවර වෙලාය. අපි හම්බන්තොට යන දවසේ නම් නසාර්ට හුළංය. ලෝකල් නසාර්; නෙවිල් හින්දාය!

“යකෝ, පඩි නැති මඟුල් කරනවා මදිවාට මුංගේ රැස්පොට් බලන්නත් වෙන හැටි!”. එහෙම වෙලාවට අපේ කට්ටිය එකා වගේ හිනාවෙන්න දන්නේ නැත.

ගවීන් මානෙල්ව අල්ලාගෙන, මොබයිලය මට දුන්නේය. “මානෙල්, මේ ලොකා. අපි හතර දෙනෙක් එනවා තව පැයක් විතර යද්දී. පීරිස් මහත්තයාත් එක්ක. අපිට උදේට කන්න ඕනේ!”.

හොඳක් කරන්නට ගිහින් එතැන ඉඳලා බයිට් වුණේ මාවය. ඇතිවෙන්න කන්න තියෙයිද? පානුයි පරිප්පුයිද? අපි යනකොට කඩේ වහලා තියෙයිද? එන්නේ හෙටය කියලා හිතයිද? ප්‍රශ්න වැලකි.

කොට්ටාවෙන් මාලබේ පාරේ ගිහින්, හොරහේන පාරට හරවා ටික දුරක් යද්දී තියෙන ‘මානෙල් ඇන්ටිගේ කඩේට’ අපි යද්දී නවයටවත් නැත. කොන්ටිනන්ටල් බ්‍රෙක්ෆස්ට් එක වෙනුවට කිරිබත්, ඉඳියාප්ප, නූඩ්ල්ස්, පිට්ටු, බත්, ඌරු මස්, කුකුළු මස්, මාළු, බිත්තර, කිරිහොදි, පොල්සම්බෝල විතරක් නොවේ පානුත් අප එනතුරු මඟ බලා උන්නේය.

මමාස් එකේ වැඩ අම්මගෙ රෙද්දෙ වැඩ ඇති තැනක් වීමෙනුත් අපට යහපතක්ම වුණේ  එහෙමය෴ 

2 comments:

  1. චික් විතරක් "මහා මහද්වීපික පාතරාසය" මිස් වෙලානෙ ... ආයෙ රෙද්දෙ මමාස් එක හොයාගෙන ගිහින් හරි කාල බලල එන්න එපැයි :-D

    ReplyDelete