අකුරු මැකී නෑ

Friday, October 12, 2018

මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස

ගුරුලා මුදලාලිගේ දූපුතුන් හැම දෙනාම ඔවුන්ගේ තාත්තා සමඟ එන මා දිහා බැලුවේ විස්මයෙනි. මුදලාලිත් එක්ක කාර් එකෙන් බැහැලා ඒ ගෙදරට යන විට මාත් හිටියේ කුහුලෙනි. අරගොල්ලන්ගේ විස්මයත් මගේ කුහුලත් දෙකම ටික වේලාවකින්ම අතුරුදහන් වී ගියේ අජානේය අශ්ව වේගයෙනි. අපරාදේ කියන්නට බැරිය. ඒ වැඩිහිටි ජෝඩුවම මට සැලකුවෙත් තමන්ගේම දරුවෙකුට මෙනි.

අජානේය අශ්වයාගේ වේගය....
අජානේය අසෙකුගේ වේගය මෙන්ම ස්වාමියාට ඇති හිතෛෂීකමත් හොඳේ හොඳම එකක්ලු. ආයුධයක් වැදී උගේ පපුව පැළිලා තියෙද්දී වුණත් ඌ ස්වාමියාගේ අණට කීකරු වෙනවාලු. එහෙම ළබැඳිකමක් නැතිවත් මාත් ඒ දවස්වල unp එකට කඩේ ගියේ බොක්කෙන්මය!

ඉතින් මිනුවන්ගොඩදී, මොනරාගලදීටත් වැඩියෙන් මට වෙහෙසෙන්නට සිදු විණි.

උදේට කාබී ඉවර වුණු වහාම මට තියෙන්නේ කාර් එකට නැඟීමය. ගුරුලා මුදලාලිත් කාරයට නැඟී එය පණ ගන්වා ගනී. යන්නේ කොහාටද කියා මට නම් නිනව්වක් නොවිණි. ඒ සේරම තිබුණේ මුදලාලිගේ ඔළුවේය. රැස්වීමක් තියෙන තැනට ගියාමවත් මට වාහනයෙන් බහින්නට දෙන්නේ මුදලාලි නොවේ!

“ඔය ළමයාව එහෙම බාල්දු කරන්න දෙන්න බෑ. මං ගිහින් බලලා එන්නම්කෝ.” ඔහු යයි, රැස්වීම පවත්වන සංවිධායකයන් එක්ක කතා කරයි. ඒ පැත්තේ ඔහු ගැන නොදන්නා කවුරුන්වත් නැති පාටය, මට පෙනුණේ. ඔන්න, මුදලාලි ආපහු එයි.

එහෙම එන්නේ සංවිධායකයන්ට කොන්දේසියක් පනවලා ඉවර වෙලාය. එවෙලේ කතා කරමින් ඉන්නා කථිකයාට පසුව කතාව නිමල් දිසානායක දරුවාට දිය යුතුය! කවුරුන් ආවත් ඒක වෙනස් කරන්නට බැරිය. 

කථිකයන් හිටියාට, දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති, ඇඹිටිල්ලන් කොලු කථිකයෝ එච්චර ඉන්නා එකක්යැ? සංවිධායකයෝ කැමැති වෙති. ඒ රැස්වීමේ කතාව ඉවර වෙනකොටම ඔහු මාව ආයෙම කාරයට නංවා ගනී. තව එකකට..... එතනින් තවත් එකකට .....

බොහොමයක් ජනමාධ්‍ය කරන්නෙත්.....
දේශපාලන රැස්වීම්වලදී කථිකයෝ දේශන පවත්වති. ශ්‍රාවකයෝ අසා සිටිති, ඔල්වරසන් දෙති; හුරේ දමති! එහෙත් තමන්ගේ මනාපය, ඡන්දය දෙන්නේ කාටදැයි කියා තීරණය කරන්නේ එතනදී නොවේ කියලාය මා හිතන්නේ. ඇත්තටම මේ රැස්වීම්වලදී කෙරෙන්නේ කොළය වහලා ගැහීමකි. 

අද බොහොමයක් ජනමාධ්‍ය කරන්නෙත් ඒ ටිකමය. අපේ හුඟ දෙනාට ඇහෙනවා විතරය. ‘ඇහුම්කන් දෙන්නේ නැත.’ දකිනවා විතරය. බලන්නේ නැත. දේශපාලන රැලි, රැස්වීම් ආදියට සෙනඟ එකතු වෙන්නේ ඒ ඒ පැතිවල සංවිධායකයන්ගේ වෙහෙසේ තරමටය.

එහෙව් රටක එදාත් මට ඉල්ලුමක් තිබුණේ, මා ළමයෙකුවූ බැවිනි. හැම ළමයාටම කතා පවත්වන්නට බැහැ නොවැ. අනෙක මගේ ශරීර කූඩුවේ විදියයි. කවදත් මට තිබුණේ වයසට වඩා අඩු පෙනීමකි. පුංචි බවකි. මෝරලා නැති ගතියකි. ඒකත් මෙතනදී නම් මගේ වාසියට හිටියේය.

දවස් කිහිපයක් යද්දී ඒ හතර දිග් භාගයේම unp රැස්වීම්වලට මාව එක්කාන එන්නට පණිවිඩ ලැබෙන්නට විය. මුදලාලිට සන්තෝසේ බැරිය. ඒකෙන් ඔහුට මොනම වාසියක්වත් වෙන බවක් නම් මං දැක්කේ නැත. 

අඩුම තරමින්, රැස්වීම් තියෙන තැනකින් සප්පායම් වෙන්නට ආරාධනාවක් ලැබුණත් ඒවා පිළිගත්තේ ඔහු නොවේ. “යටිකූට්ටු වැඩ වෙන්නත් ඉඩ තියෙනවා. මං ඔය ළමයාගේ පරෙස්සම ගැනයි වැඩියෙන් හිතන්න ඕනේ!” ගුරුලා මුදලාලි මට කීවේය.

ඒ අතින් ඔහු අපේ තාත්තාටත් වඩා මා ගැන සැලකිලිමත් වුණා වාගේය. 

කලින් පෝස්ටුවේදී කී විදියට අප ගියේ ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, අත්තනගල්ල, මීරිගම වාගේ තැන්වලට විතරක් නොවේ. කුලියාපිටිය වැනි දුරටත් ගියෙමු. ඒ හැම ගමනක්ම යද්දී, ඔහු උදේ පාන්දරම කාරයේ ටැංකිය පිරෙන්නට තෙල් ගසා ගනී. වෙනත් සපෝටර්ලා කවුරුන්මවත් වාහනයට නංවා ගන්නේ නැත.

ඊරියගොල්ල මහත්තයා.......
කුලියාපිටිය මට හොඳටම මතක අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහත්තයා හින්දාය. ඊරියගොල්ල මහත්තයා ඡන්දය ඉල්ලුවේ එහාටය.

1968 අගෝස්තු නිවාඩුවේදී එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ one and only; ඔව්, එකම එක සුවිසල් අධ්‍යාපන චාරිකාව පැවැත්වුණේය. කොළඹ සිසු-සිසුවියන් 150ක් සති දෙකක් මුළුල්ලේ ඌව පළාතේ සංචාරයක..... ඌව පළාතේ සිසු-සිසුවියන් 150ක් කොළඹට. සේරම විය-පැහැදම්, ඉඳුම්-හිටුම්, ගමන්-බිමන් අමාත්‍යාංශය මඟින් සංවිධානය කරලාය. එතකොට අධ්‍යාපන ඇමතිතුමා ඊරියගොල්ල මහතාය. මටත්; අපේ ඉස්කෝලයටත් පොට්ට චාන්ස් එකක් වැදී අර චාරිකාවට එකතු වෙන්නට ලැබිණි. ඉතින්, ඒ කෙළෙහි ගුණය පෙන්වන්නට ඉඩක් ලැබුණාම මං හිටියේ අකනිටාවේය.

ඊට ඉස්සෙල්ලාත් ඊරියගොල්ල මහත්තයා හරිම දැවැන්තයෙක් විදියට මගේ ඔළුවේ වැජඹුණේය. ඒ දේවතාපය හා මනුතාපය හින්දාය. ‘දේවතාපය’ The Last Days of Pompeii නවකථාවේ අනුවර්තනයයි. ‘මනුතාපය’ Les Miserables කෘතියේ අනුවර්තනයයි. ඊරියගොල්ල මහතාගේ ඒ අනුවාද දෙකම මට නම් සුපිරිය!

ඒ විතරකුත් නොවේ. ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි’ ගීතයත් ‘සැම දන මන දිනු සුජාත ධරණී’ ගීතයත් රචනා කර තිබුණේ එතුමාමය. ඒවා ඇහෙන විටම ‘ගටක්’ එන විදියේ තනුත් සහිත ගීතය. මා කියන්නේ බොරුය කියා හිතෙනවා නම් හොයාගෙන අහලාම බලන්නකෝ.

දේවතාපය හා මනුතාපය........
‘ඊරියගොල්ලට මෙච්චර පන්දම් අල්ලන්නේ මේ යකා මාර බත් ගොට්ටෙක්නේ’ කියලා ඔයාලා හිතනවාද දන්නෙත් නැත. දැන් නම් වැඩිය ඇහෙන්නේ නැතත් ඒ දවස්වල unpකාරයන්ට කිව්වේ බත් ගොට්ටෝ කියලාය! 

බත් ගොට්ටෙක් වුණාට ගුරුලා මුදලාලි ‘ඩීසන්ට්’ය. තැනකට ගියාමත් බජනය සීමාසහිතවය. ගණනට මිම්මටය. ඒ නිසාම තුට්ටු දෙකේ මටත් නිකම්ම VIP තත්වයක් උදාවෙලාය. මට මතක හැටියට නම් අපේ තේ, කෑමබීම කෙරුණේත් සාමාන්‍ය තැන්වලින් නොවේ!

ඉලෙක්ෂන් එකෙන් පස්සේ මට මිනුවන්ගොඩ යන්නට හෝ ඒ පවුලේ අය ඇසුරු කරන්නට හෝ ඉඩක් ලැබුණේ නැත. 

ඒත් ඊට ගොඩ කාලයකට පස්සේ මට පොටක් පෑදුණේ ‘පිවිතුරු’ නිසාය. පිවිතුරු යොවුන් පත්තරයකි. ඉමාෂි පබ්ලිකේෂන් මඟින් පළ කෙරුණකි. එය සංස්කරණය කළේ අංජන ඉන්ද්‍රජිත්ය. මටත් එහි පිටු දෙකක් ලියන්නැයි අංජන කීවේය. දැන් හැමෝම අංජනව දන්නේ ‘ලක්බිම’ පත්තරයේ කාටුන් ශිල්පියෙකු පරිද්දෙනි.

“නිමල් අයියේ, මං දන්නවා ඔය ගුරුලා මුදලාලිගේ පුතෙක්ව. එයා දැන් ප්‍රසිද්ධ සංගීතකාරයෙක්..... නිමල් අයියත් දන්නවා ඇති.” අංජන මට ඔහුගේ නමත් කිව්වේය. ඒක කියලාත් දැන් අවුරුදු දොළහකටත් වැඩිය. 

පොඩි දරුවන් කාලයේ අප සමීපව හිටි බව ඇත්තය. ඒත් දැන්? අංජන වගේම ඔහුත් ‘ජිත්’ කෙනෙකු නිසා පරපුරක් දිනාගත්තෙකි. ඔහු මා වාගේ සොක්කෙකු ගණන් නොගෙන ඉන්නට ඇති සම්භාවිතාව වැඩිය. ඒ සේරටමත් වඩා මුණ ගැහුණාම අප මොනවා කතා කරන්නද? මම නිකම් හිටියෙමි.

පිවිතුරු අංජන .............
රට මුලුක්කාදියේ ඉලෙක්ෂන් මීටින්වලට ‘නිමල් කොලුවාව’ කැන්දන් ගියත්, මට home sick හැදෙන්නට ඉඩ තියෙන බව ගුරුලා මුදලාලි දැනගෙන හිටියා විය යුතුය. අතරින්-පතර දවසකට ඔහු මාව ගෙදර ඇරලුවේය. ඒ එන හැම වතාවකම අපේ තාත්තා එක්ක දිග කතාබහකට වැටෙන්නටත්, ‘මගේ කුලිය’ ගෙවන්නටත් ඔහු අමතක නොකළේය.

“මං ඔයාව ගෙදර ගිහින් ඇරලන්නේ වැඩ නැතිවට නෙවෙයි. ගෙදරත් යන්න එපැයි, නංගිලා-මල්ලිලාව බලලා එන්න. මෙහෙ අපට තව මීටින්ස් ගොඩක් තියෙනවා. මං හෙටම එනවා පුතාව ආයේ එක්ක යන්න. ඔන්න වෙන කොහේ හරි යනවා හෙම නෙවෙයි, හොඳද නිමල්?” ගුරුලා මුදලාලි මාව හගිස්සවා ගත්තේ මහරගමට එන ගමනේදීය. ඒ වාගේම ‘නිශේධ බලය’ හිමි අපේ තාත්තාව පොරොන්දු කරවාගන්නටත් මතක තියා ගත්තේය.

එහෙම ගෙදර ආ විටකදීය අපේ ආච්චී ගෝරියක් දැම්මේ.

“මොකක්ද ගුණේ උඹලා මේ කරන වැඩේ? මේ නොදරුවාව කෙහෙල්මල් මීටින්වලට යවන්නේ. ඉස්සෙල්ලා ඌව මහ පාරේ නටන්න යැව්වා. දැන් මේ මල ඉලව්වකට.... ඉස්කෝලේ යවන එකත් පාඩු කරන්. කොහොම හරි කොල්ලව ගොනෙක් කරපංකෝ. අනේ අම්මපා මාත් උඹ වගේ පුතෙක් වැදුවනේ!”

ආච්චී එදිරිව තාත්තා........
දිසානායක හේවාගේ ගුණපාල, දසනායක රත්නවතීගේ වග-විස්තර හොඳින්ම දැනගෙන උන්නේය. ඒ නිසාම හරිම තැනට; හරිම නිලයට ගැහුවේය. ආච්චී ඊට පස්සේ objection දාන්නට ආවේ නැත!

“අනේ නිකං ඉන්න අම්මේ. මං දන්නේ නැත්ද අම්මගේ හැටි. අම්මා මට බනින්නේ රංජියව මීටින්වලට යවනවට නෙවි, යූ.එන්.පී. මීටින්වලට යවන හිංදා. ඌ ශ්‍රී ලංකා මීටින්වලට යැව්වා නම් අම්මත් උඩ දාගෙන උදව් කරයි!” තාත්තා කිව්වේය. ඒක බොරුවක්මත් නොවේ. ආච්චී ‘බණ්ඩාරනායක’ හිතවාදිනියකි. ‘මාව කැපුවත් ගලන්නෙ නිල් පාට ලේ තමයි බොල.” ආච්චී පාරම් බාන්නට පුරුදුව හිටියේ එහෙමය.

ඒ කාලයේ නම් මිනිසුන් ඉපදුණේම පක්ෂවලට බෙදිලා වගේය. එහෙම නොවෙන්නට පටන් ගත්තේ අත්තෙන් අත්තට පනින චොහොර කුරුල්ලන් වැඩි වෙන්නට ගත්තායින් පස්සේ වෙන්නැතිය.

ඉතින් මිනුවන්ගොඩින් මහරගම ආ වෙලාවක mpm මාමා මට පණිවිඩයක් දුන්නේය. කල් ඇතිවම ඔහු අපේ තාත්තාටත් ඒක කියලාය. “රංජිලයෙ තාත්තේ, රට වටේම ගියත් ඉලෙක්ෂන් එකෙන් පස්සේ වැඩක් කරවාගන්න වෙන්නේ මෙහෙ අයගේ පස්සෙන් ගිහිල්ලයි. ඇඹුල්දෙනියෙයි ගම්සභා හන්දියෙයි තියෙන ලොකු රැස්වීම් දෙකට නම් රංජිව ගෙන්නා ගන්නම වෙනවා. එදාට ඩඩ්ලි, ජේ.ආර්. වගේ ලොක්කෝ සේරම එනවා.”

ඒ රැස්වීම් දෙක තියෙන දවසට.......
“ඒ හිංදා ඒ රැස්වීම් දෙක තියෙන දවසට උඹව මිනුවන්ගොඩ යවල බැහැ. උඹ මුදලාලිට මතක් කරපන්, මෙහෙත් එන්න ඕනේ කියලා. මාත් කියලා තියන්නම්. අපි අතේ ඉන්නා කුරුල්ලව අත ඇරලා දාලා හරි යන්නේ  නැහැනේ.” තාත්තා මට තේරුම් කර දුන්නේය!

මහරගම සිට පරණ පාර දිගේ නුගේගොඩට යන අයට ඇඹුල්දෙනිය හන්දිය පසු කරන්නට වෙයි. ඇඹුල්දෙනිය හන්දියෙන් දකුණට හැරෙන්නේ මාදිවෙල පැත්තට යන්නටය. ඒ හැරෙන තැන වමත පැත්තේ තිබ්බේ හිස් ඉඩමකි. 

ඉස්සර උදවියට නම් එතන තිබුණු ලොකු හබරල ගාල මතක ඇතිවා නිසැකය. මස් කඩවලට හබරල කොළ සපයාගන්නට එව්වා වවලා තිබුණා වගේය. ඒ දවස්වල මස් ඔතා දුන්නේ හබරල කොළවලය.

එක රැයින් අර හබරල ගාල වනසා, එළි-පෙහෙළි කර unp රැස්වීමට ස්ටේජ් එකක් ගසා තිබුණි. රැස්වීමට සෙනඟත් කට කපලා හිටියේය. 

මගේ කතාවටත් ලොකූඌඌඌ චියර් එකක් හම්බ වුණේය. රැස්වීමේ නිවේදක විදියට කටයුතු කළ කෙනා කවුද කියලා නම් මට මතක නැත! එහෙත් ඔහු ඊළඟට කළ නිවේදනය නම් මට මතකය. එය කනට මී පැණි වක්කරනවා වාගේ රසවත් එකකි.

“ඒ ඔබ අමතා කතා කළේ නිමල් දිසානායක සිසු දරුවායි. ඔහුගේ කතාව නිසා ඉමහත් ප්‍රසාදයට පත් මේ වේදිකාවේ දැනුත් අප අතරේ ඉන්නා ප්‍රසිද්ධ, සත්ගුණවත් ව්‍යාපාරික .... ටිම්බර් හෝල් අධිපතිතුමා මේ අවස්ථාවේදී ඔබ තමුන්නාන්සේලා ඉදිරියේදී මේ ශිෂ්‍යයාට පොරොන්දුවක් දෙන බව ඔබලාට කියන්නට ලැබීම මටත් හරි ආඩම්බරයක්. ඔව්, හිතාදර පාක්ෂිකයනි, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙනුයි එතුමා මේ පොරොන්දුව දෙන්නේ.... මෙතැන් පටන් නිමල් දිසානායක දරුවාගේ අධ්‍යාපනය අවසාන වෙනතුරු ඔහුගේ සියලුම වියදම් මේ ....ටිම්බර් හෝල් අධිපති ................ මහතා දරනවා ඇති!"

හබරල ගාල තිබුණු තැනදී පොරොන්දුවක්.............
ඔන්න ඊළඟ කොටසට යනවා. මට ලැබෙන්න යන ශිෂ්‍යත්වය ගැන ඔයාලටත් සතුටුයි නේද?   

2 comments:

  1. අම්මේ ලොකු කැරට් අලයක් ඉස්සරහින් එල්ලුව වගේ ... බලමු මොකද වෙන්නෙ කියල :-D

    ReplyDelete
    Replies
    1. ඒක නං කණ්ඩො කැරට් ගෝනියක් එල්ලුවා වගෙයි!

      Delete