අකුරු මැකී නෑ

Sunday, October 14, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස


අද, 2018 ඔක්තෝබර් 7. උදේ පහමාර වෙද්දී උහුලාගන්නට අමාරු තරමේ වේදනාවකින් දෙකකුලේ මස් පිඬු පෙරළෙද්දී මට ඇහැරුණේය. හිටි ගමන් එහෙම වෙයි. ඒක කෙණ්ඩ පෙරළෙනවාට වඩා අමාරුය. වේදනාකාරීය. ඒ වෙලාවට මස් පිඬු ඇඹරෙයි, පැතලි වෙයි.....

කොච්චර ස්වයං විශ්ලේෂණයක යෙදුණත්, මේ පණ්ඩිතයාට තවම මේ මරාලය කඩාගෙන වැටෙන වෙලාව හෝ විදිය හෝ තෝරා-බේරාගන්නට හැකිවී නැත. හැබැයි දැනට පෙනෙන්නේ නම් වැඩියෙන් වෙහෙසවූ විට; ආතතිය වැඩිවූ විට මෙහෙම සිදු වෙන බවයි!

ලොකුම බයිට් එක වුණේ........................
එහෙම බලද්දී මෙහෙම වුණු එකේ පුදුමයකුත් නැත. ඊයේ; හය වෙනිදා අපේ නඩය අපේ ගෙදරට රොක් වූහ. විසිර ගියේ පාන්දර දෙකටය. 

ගෙබිම පුරා විසිරී, හැලී තිබුණු කඩල ඇට- මුරුක්කු කෑලි- බත් ඇට- පාන් කුඩු එහෙමම තියෙන්නට ඇරියොත් උදේ වෙද්දී කූඹි ගඟක් ගෙට ගලනවා ෂුවර්ය. ඉතින් ගේ අතුගා ඉවර වෙනකොට දෙකහමාරය. ඊටත් පස්සේ ඇඳට වැටුණු මට, මුලින් කී වින්නැහිය වෙන එක පුදුමයක්ද?

ඊයේ ලොකුම ‘බයිට් එක’ වුණේ  වෛද්‍යවරියක් බීමතින්, අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදු කළ විත්තියයි. 

“ඉගෙනගන්න කාලේදී වැඩිම දෙනෙක් හදන්නේ දොස්තරලා වෙන්නයි. ඇයි ඒ?” “මේ දොස්තර නෝනා බීලා හිටියේ නැහැ කියලා වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීම හරිද?” “දොස්තරලා දොස්තර නෝනට ඇද්දාද?”  “ ඇක්සිඩන්ට් වුණේ සාමාන්‍ය මිනිහෙක් නම් පොලිසියේ මහත්තුරු මෙච්චර උනන්දුවෙන්, ඉක්මනින් රාජකාරි කරයිද?” “එයාලා නියමිත ක්‍රමවේදයට අනුව DMO (දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි) වෙත මේ ගැන දැන්නුවේ නැත්තේ ඇයි?” ඔය වගෙ ප්‍රශ්න වැලයි! 

තවත් ඇත. මීඩියාකාරයෝ ඔළු යකාගේ කම්මලට බදු දීලා වගේ මේක වාර්තා කළ විදිහ හරිද? වෛද්‍යවරියකට පෞද්ගලිකත්වයක් නැතිද?

යකාගේ කම්මලට ඔළුගෙඩි බදුදී.....
සාකච්ඡා මණ්ඩපයේ වැඩි දෙනා බොනපාට්ලා. දොස්තරලා තුන් දෙනයි, ඉංජිනේරුවයි, විධායක නිලධාරි දෙන්නෙකුයි, විශ්‍රාමික නාවික හමුදා නිලධරයෙකුයි, තව තුන් දෙනෙකුයි, මායි. JVP තුන්දෙනයි, UNP එක්කෙනයි, SLFP එක්කෙනයි, නව සමසමාජ එක්කෙනයි, කොහේටවත් නැති පස්දෙනයි.... මේවා කියන්නේ පම්පෝරියකට නෙවෙයි. විවිධත්වය කියන්නයි.

හැබැයි, මොන ජගතා හිටියත් අන්තිමට ඉතිරි වුණේ ප්‍රශ්නම විතරයි! 

“ලංකාවේ පොඩි මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන නීතියමද ලොකු මිනිසුන්ට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්නේ? තමන්ගේ එකා බේරන්නට වැඩ කෙරෙන හැටි නේද හැම තැනම තියෙන්නේ?” ඒක වැරැදියි නම් මාත් වැරැදිකාරයෙක්. මගේ සුබසෙත සඳහාත් කී දෙනෙක් නම් නීති-රීති නවනවාද? එහෙම නොකළා නම් මං අද ඉන්නවා ඇත්තේ කොහේද?

හතරේ වාට්ටුවේ හිටියදීත් මගේ හිතට ඔය කාරණය වද දුන්නා. මගේ ගැන කී දෙනෙක් හෙව්වා බැලුවාද? 

ඒත් සමහර ලෙඩුන් හිටියේ කිසිම පිළිසරණක් නැතිව. හොඳටෝම අසරණ වෙලා. එහෙම වෙන්නේ කර්මය නිසාද, අවාසනාව නිසාද, ක්‍රමයේ වැරැද්දක් නිසාද.... වගේ දේවල් හැම තිස්සෙම මට හිතුණා. ඒත් අද වෙනතුරුමත් උත්තර නැහැ.

මගේ ගැන වෛද්‍ය වෘත්තිකයන්ගේ තිබුණු මැදිහත්වීම හා හොයා බැලිල්ල නිසාද මන්දා මට කීමෝතෙරපි වගේම රේඩියෝතෙරපිත් කරන්න තීරණය වුණේ. මං ඒක අහලා තිබුණේ ‘කරන්ට් අල්ලනවා’ කියන පොදු බාසාවෙන්. මාව ඒකට සූදානම් කරවද්දීත් මං හිටියේ විචිකිච්ඡාවෙන්.

.... තිබුණු මැදිහත්වීම හා හොයා බැලිල්ල...........
මුලින්ම මාව x ray කරලා, ඒ පිටපත බලලා, හරියටම කිරණ ඇල්ලිය යුතු තැන තීරණය කෙරුණා. හොඳට සෝදිසි කරලා, ඒ තීන්දුව ගත්තේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහත්තයාමයි. 

මගේ බෙල්ලට පහළින් තියෙන දකුණු ඉල ඇටයේ තමා කෙළවරක් ඉදිමිලා තිබුණේ. එතැන හරියටම ලකුණු කෙරුණා. “මිස්ටර් නිමල්ට නාන්නේ නැතිව ඉන්න වෙයි. මේ මාර්ක් කරලා තියෙන එක හේදෙන්න දෙන්න එපා, කරන්ට් අල්ලලා ඉවර වෙනකල්.” උපදෙසකුත් හම්බ වුණා!

‘කාලා වරෙන්කො!’ කියලයි මට හිතුණේ.

දැන් මට තියෙන ප්‍රශ්නය කොහොමද නාන්නේ කියන එක? හුඟක් අයට නම් කොච්චර නෑවත් කිසිම ගනිච්චියක් නැහැ. 

ඔන්න, මහරගම උදවිය හොඳට අඳුනන සමාජ සේවකයෙක් හිටියා. “නිමල් දන්නවද මන්දා ඉස්සෙල්ලාම මරණාධාර සමිතියක් පිහිටෙව්වේ පමුණුවේ බව?” ඒ මහත්තයා දවසක් මගෙන් ඇහුවා. අපරාදේ! දැන් එතුමා නැහැ. කාලක්‍රියා කරලා, නැතිනම් ගිහිල්ලා හරියටම විස්තර අහගෙන ඔයාලට කියන්න තිබ්බා. ඉතින් ඒ මහත්තයා හරියට ප්‍රසිද්ධ වෙලා තිබුණා කාරණා දෙකකට. (එයාත් අර මරණ සමිති දෙකකම නිලධාරියෙක්).

සමිතියේ සාමාජිකයෙක් මැරුණාම අවමංගල්‍ය පෙරහරට අනෙක් සාමාජිකයෝ යන්නම ඕනේ. තමුන්ට බැරි නම් ගෙදර කෙනෙක් හරි ඒක නියෝජනය කරන්න ඕනේ. නීතිය ඒකයි. (හුඟ දෙනෙක් කැමති මළාට පස්සෙත් පුරාජේරුව පෙන්නන්න. ඒකයි වැඩියත්ම මරණාධාර සමිතිවලට බැඳෙන්නේ. සමහරු සමිති දෙක තුනකටම බැඳිලයි ඉන්නේ.) ඉතින් ඔය පෙරහරට එකතු වෙන්න වැඩියත්ම එන්නේ අංගනාවෝ. මහත්තුරු වැඩට යනවනේ. හාමිනේලගෙ වැඩේ ආව වෙලාවේ ඉඳලා දන්න-අඳුනන අය එක්ක ‘පාජාව’ දාගෙන ඉන්න එක.

අවමඟුල් පෙරහරට හැම සාමාජිකයෙක්ම.....
එතකොට “හා, හා. දැන් කරුණාකරලා පෙළ ගැහෙන්න... පෙළ ගැහෙන්න.” කිය-කියා එයාලව පෝලිම් ගස්සන්නේ මං කලින් කියූ වීරයායි. 

මොන කරුමෙකටද මන්දා, එතුමා “පස්සට වෙන්න, පස්සට වෙන්න” කියමින් අර අංගනාවන්ව පස්සට තල්ලු කරන්න පුදුම විදියට try කරනවලු. තරහෙන් නෙවෙයි. බොහොම ආදරෙන්. මෘදුව! කොච්චර අවිහිංසක විදියටද කියතොත්, අර ස්ත්‍රී පරාණකාරියන්ව පස්සට තල්ලු කරන්නේ හොඳට විදහාගත් එයාගේ දෑතම, අර ළඳුන්ගේ පිරුණු දෙතන්වලට තද කරලාලු!

ආච්චිලා නම් ඕං කියන්න ඉඩ තිබුණා ‘මාවත් තල්ලු කරහං’ කියලා. ඒත් තරුණ අය කැමතියැ නාකි මනමාලයෙක් එහෙම කරනවාට. එයාලා කළේ නිතරෝම පස්සටම වෙලා ඉඳිල්ල. ඒක තමා ‘ප්‍රසිද්ධ රහසක් වුණු’ පළමු කාරණය.

දෙවෙනි කාරණය නම් බලපෑවේ සමිතියේ අයට විතරක් නෙවෙයි, අවමඟුලට සහභාගී වුණු හැමෝන්ටම. මෙතුමා ‘මයික් කාක්කෙක්’. වාචාලයෙක්! සමහරු එහෙමනේ, ඇහුම්කන් දෙන්නේ නැහැ, කතා කරනවා විතරයි. මේ මහත්තයාත් මයික්‍රෆෝනයක් අතට ගත්තාම ලෝක විනාශය තෙක්ම කතා කරාවි, ඉඩ දුන්නොත්.

“අනේ තමුසේ කෙබර කෙළිනවා, මැරිච්ච මනුස්සයෙකුටත් ඉන්න නොදී.” මෙව්වා කියද්දී මං ගැන හිතුවේ එහෙමද? මෙන්න එකම එක සාක්කියක් මගේ පැත්තට.

ඇහුම්කන් දෙන්නේ නැතිව කතා කරනවා......
දවසක් මෙයාට කතාව පැවරුණේ කතා දෙකකට විතර පස්සේ. මෙයා මයික් එක අතට ගන්නකොටම මිනී පිට්ටනියේ හිටි සේරමලා හැරිලා යන්න පටන් ගත්තා. මිනිහාට හොඳටම තරහයි. ලජ්ජයි. “.... තමුන්නාන්සෙලා ඔහොම පිටත් වෙලා ගියාම මං කාටද කතා කරන්නේ?” කියලා ඒ මනුස්සයා සොහොන් කොතුත් දෙදරණ සද්දෙන් අහපි. තේරෙනවනේ එදා එයා නාපු නෑම!

ඒත්, මගේ ‘නාන හටන’ තිබුණේ වතුරත් එක්කනේ. 

ඔන්න මං ඉස්සෙල්ලාම අර ලකුණු කරලා තියෙන හරියටත් වඩා අඟලක් විතර ලොකු ප්‍රදේශයක් කවර් වෙන්න ගන තුවා කෑල්ලක් තිබ්බා. ඒකට උඩින් පොලිතීන් කෑල්ලක් තියලා වටේට සෙලෝටේප් ගැහුවා. ආයෙමත් ඊට උඩින් ඒ චක්කරේම....

නාලා ඉවර වුණු වහාම අර ලකුණු උඩින් ආපහු permanent marker එකකින් ඇඳගත්තා. ප්‍රශ්නය විසඳුනේ එහෙමයි.

ඉල ඇට කූඩුව නම් මගේ නෙවි. කළු රවුමෙන් තියෙන හරියටයි මට කරන්ට් ඇල්ලුවේ.
කිරණ අල්ලන්නෙ අවශ්‍ය තැන විතරක් නිරාවරණය කරලයි. අනේ තරහ වෙන්න එපා, මට ඒ විස්තර නම් වැඩිය මතකයේ නැහැ. දිග පෝලිමක හිටි බව, කරන්ට් ඇල්ලීම වැඩිය දැනෙන දෙයක් නොවෙන බව විතරයි දැන් මතක.

සමහර අය එතනට ආවේ ‘මාස්ක්’ එකක් වගේ දෙයක් අරන්. එහෙම ඕනේ වුණේ දිගටම වැඩි දවසක් කරන්ට් අල්ලන්න වෙන සංකීර්ණ විදියට පිළිකාව පැතිරිලා තිබුණු අයට වෙන්නැති.

එතනට යන පිළිවෙලට නෙවෙයි කරන්ට් අල්ලන්න ගන්නෙත්. ඒ තරහකට නෙවෙයි, වෙලාව ඉතිරි කරගන්න. 

හිතමුකෝ, වැලමිට හරියටයි කරන්ට් අල්ලන්න තියෙන්නේ කියලා. ඒ හරියට කරන්ට් අල්ලන්න තියෙන අයව එක දිගටම ගන්නවා. ඉතින් මගේ වගේ, ඉල ඇට කොටසට කරන්ට් අල්ලන්න තියෙන අයව ගත්තෙත් එක දිගටම. ඒ නිසා හුඟ දවසට, හුඟ වෙලාවක් බලා ඉන්නයි මට වුණේ.

මාස්ක් එකක් හා කරන්ට් ඇල්ලීමක් 
අපේ බඩා මල්ලා; දීපාල් මගෙත් එක්ක එහාට යද්දී පොතකුත් අරන් යන්න පුරුදු වුණා. මිනිහා හුඟ වෙලාවට පොතෙන් ලොකු චැප්ටර් එකක්ම කියවලා ඉවරත් කළා! 

එච්චර නම් මදැයි. මිනිහා හිනා යන තැන්, හිත යන තැන් සේරම “Loku, listen to this...” කියලා පටන් අරන් මහා හයියෙන් මටත් ඇහෙන්න කියෙව්වා. මිනිහගේ කටත් සද්දයි, දිසානායකලා කාගේත් වගේම. මරු වැඩේ කියන්නේ මිනිහට තවම සිංහල කියවන්න බැහැ. කියවන්නේ ඉංගිරිසි පොත්!

මොක වුණාම මොකෝ, කියවීම මිනිසා සම්පූර්ණ කරනවාලුනේ! ඊටත් මේ ඔක්තෝබර් මාසයනේ. ‘කියවීමේ මාසය!’. 

ගිය මාසයේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයට මාත් ගියා. පොත් ටිකකුත් ගත්තා. දැනටමත් ‘අප්පච්චි ඇවිත්’, ‘අසනග වැසි’, ‘වරණ’ හා ‘ප්‍රංශ පෙම්වතා’ පොත් හතර කියවල ඉවරයි. (විදර්ශන ප්‍රකාශන කුටියට ගියාම මෙදා සැරෙත් ජනක ඉණිමංකඩ මහත්තයයි, තුෂාරි නංගියි දෙන්නා අලුත් පොත් ටික බෑගයකට දාලා මගෙ අතෙන් තිබ්බා; සල්ලි නොගෙනම. ‘වරණ’ විදර්ශන පොතක්. දැනටම 12,000ක් ගහලාත් ඉවරයි!) 

පොත් කියවිල්ල හිංදා බ්ලොග් එක කොටන වැඩෙත් ටිකක් මන්දගාමී වුණා. ඒ අතරට අකුණු ගගහා වහින එකෙනුත් බාධා වුණානේ.

ඉතින් ආයෙම දීපාල් මල්ලාගේ ‘හඬ නඟා කියවීමේ’ ජවනිකාවට යන්නම්. එවෙලේ දුර ඈත ඉඳන් අපේක්ෂා රෝහලට ආව ලෙඩ්ඩුයි, එයාලගෙ නෑයෝයි අපි දිහා බැලුව විදියවත් අපේ මෝලාට පෙනුණේ නැති හැටි! (මතකයි නේද ‘පේව්මන්ට් එකේ රජවී - 7 පෝස්ටුවෙදී  මං කිව්ව එක.) මේකානේ මට කිව්වේ ‘ලංකාවේ ස්ටඩි කරන්න තරම් කැරැක්ටර්ස් නැහැයි’ කියලත්. 

පොත් හතරක් දැනටමත්.........
එංගලන්තේදී හැදුණත් ඒකා ඉපදුනේ ලංකාවෙනෙ. ඒ ශ්‍රී ලංකා ගතිය තියෙනවා. ඈත තියෙන ඉඳිකටුව පෙනෙනවා, තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පෙනෙන්නෙ නෑ.

කොහොම වුණත් ඒ ඩ්‍රාමා එක වැඩිය ප්‍රදර්ශනය වුණේ නැහැ. ඒ මගේ වාසනාවට වගේ සුනිල් වැඩි දවසක් මාත් එක්ක ඉස්පිරිතාලෙට ගිය නිසා.

රේඩියෝතෙරපි ප්‍රතිකාරවලින් කරන්නෙත් පිළිකා සෛල විනාශ කිරීමක්. ඒ වගේම එව්වා නැවත-නැවත ද්විගුණ වෙමින් බෙදෙන එක අඩාළ කිරීමක්. කීමොතෙරපියි, රේඩියෝතෙරපියි ක්‍රම දෙකෙන්ම මට නම් හොඳ ප්‍රතිඵල ලැබුණු බවයි පෙනුණේ.

ඒවා කරලා ටික දවසකින්ම ආයෙමත් මගේ කෙස් වැවෙන්න ගත්තා. ඇයි මයිල්? ඒවාත් වැවුණා නේන්නම්. හුඹහෙන් ඇදලා ගත්තු තලගොයා වගේ හිටි කොල්ලාගේ ඇඟේ මස් ටිකක් දාන්නත් පටන් ගත්තා.

“හැමදාම මඤ්ඤොක්කා කන්න. එතකොට පිළිකාව හොඳ වෙනවලු.” සමහරු උපදෙස් දුන්නා. “කටුපිල තම්බලා බොන්න. පිළිකාවට නියම බෙහෙතලු!”  තව අය කිව්වා. “කතුරුමුරුංගා නම් පැත්ත පළාතේ ගන්න එපාලු.” සමහරු කිව්වේ ‘ඒක එහෙම පිටින්ම සාවද්‍ය මතයක්ය’ කියලා පිළිකා රෝහලේම පෝස්ටරුත් ගහලා තියෙන බව නොදැන.

මඤ්ඤොක්කා කනකොට පිළිකාව........
අනුරාධපුරේ, නුවර, බලංගොඩ, අවිස්සාවේල්ලේ වගේ හතර දිග් භාගයේම ඉන්න ඉරිසින්නාන්සේලා ගැනත් එක-එක්කෙනා ඔත්තු දුන්නා. නොමිලේ! ඒ හැමෝම හදන්නේ මට උදව් වෙන්න. ඒත් මං හිටියේ මුලදීම ගත්තු තීරණයේ. එක ප්‍රතිකාර ක්‍රමයක් විතරයි කරන්නේ!

එහෙම වුණේ අපේ ලොකු නෑනණ්ඩි; සුනිල්ගේ ප්‍රියම්බිකාව නොහොත් මල්ලිකා ගල්හේන උපාසිකාව හිංදා.

පංච තන්තරේ තැනින් තැනදී උන්දැත් එළි-පහළියට, කරලියට ඇවිත්-ඇවිත් ගියානේ. දැනුත් එයාව ටිකකට ගෙන්නා ගනිමු. හැබැයි ඊළඟ කොටසින්!  

2 comments:

  1. // ඒත් මං හිටියේ මුලදීම ගත්තු තීරණයේ. එක ප්‍රතිකාර ක්‍රමයක් විතරයි කරන්නේ! //

    මොළේ තියන වැඩක්, ඔය සම්බන්ධව සිංහල වෙද්දු කියාගෙන බෝඩ් හැන් ඉන්න එවුන් බාගෙට බාගයක් අසරණයන්ව හූරාගෙන කන හොරු ! :)

    ReplyDelete
    Replies
    1. ඔච්චර තරහ ගන්න එපා මනුස්සයෝ. නිකරුනේ මොකටද ඇඟේ ලේ පුච්චාගන්නේ?

      Delete