අකුරු මැකී නෑ

Wednesday, October 17, 2018

විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස

ශාන් විමුක්ති
මේ ඉන්නෙ ශාන් විමුක්ති. ශාන් කිව්වාට ඒකට මුලින් ‘අ’ අකුරකුත් තියෙන පාටයි පෙනෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මෙයාට හුරතල් නමකුත් තියෙනවා. එයාගේ pet name එක; ‘විමා’. 

අශාන් නොහොත්, ශාන් නොහොත් විමා කොහෙද ඉන්නේ කියලා මං දන්නේ නැහැ. දැකලත් නැහැ. හැබැයි කරන වැඩවලින් එකක් නම් දන්නවා. ඒ වගේම දන්නා දෙයක් තමයි, මනුස්සයාට හිටි ගමන් නප්පියටම තද වෙනවා! වැදගත්ම දේ.... අද වෙනතුරු අපි හමු වෙලා, කතා කරලා තියා ලියකියවිල්ලකින්වත් සම්බන්ධ වෙලා නෑ. සත්තයි!

එහෙව් මනුස්සයා නිසා තමයි මං ඔගී පුල්මන්ව අඳුනාගත්තේ. නම දැකපු ගමන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ, ඔගී ලංකාවේ එක්කෙනෙක් නෙවෙයි, ආසියාවේ එක්කෙනෙක්වත් නෙවෙයි. එයා නිව්යෝක්, මැන්හැට්න්වල.

උඩින් තිබුණු ෆොටෝ එක ගන්න වෙලාවේදී ශාන් බොහොම ආඩම්බරෙන් කැමරාව දිහා බලාගෙන ඉන්නවා වගේ වුණාට, ඔගී දවස තිස්සෙම ඉන්නේ මුහුණ හංගාගෙන. හරියට අභ්‍යවකාශගාමියෙක් වගේ. 

තඩි full face helmet එකක් දමාගෙනයි ඔගී තිස්සෙම ඉන්නේ. ගෙදර ඉන්නේ, කන්නෙ-බොන්නේ, සෙල්ලම් කරන්න යන්නේ සේරම හෙල්මට් එක දාගෙන.

ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන ඉන්නා ඔගී 
ඒක නම් ටිකාක් විතර අමුතුයි වගේ නේද? ම්ම්ම්ම්ම් තව ඩිංගෙන් අමතක වෙනවා. ඔගී තවම ළමයෙක්. අවුරුදු දහයයි. දැන් පහේ පන්තියට යන්නයි සූදානම. කොල්ලා මෙච්චර දවස් ඉස්කෝලේ ගියේ නැහැ. එයාගේ අම්මා තමයි පුතාව ගෙදරම තියාගෙන මෙච්චරකල් ඉගැන්නුවේ. හැමදාම ඕක කරන්නයැ. ඔගීගේ අම්මයි, තාත්තයි දෙන්නාම දැන් තියා වද වෙන්නේ ඒ නිසා!

මේ වෙද්දීත් ඔගී ඔපරේෂන්ස් 27කට මුහුණ දීලයි ඉන්නේ. එයාට එයාගේ තත්වය ආයේ අමුතුවෙන් කියලා දෙන්නත් ඕනේ නැහැ. හොඳට තේරෙනවා. ඒකම තමයි ලොකුම අවුලත්!

“මම දන්නවා මං කවදාවත් සාමාන්‍ය ළමයෙක් වෙන්නෙ නැහැ. සාමාන්‍ය ළමයෙක්ව දැක්ක ගමන් අනික් ළමයි බයවෙලා දුවන්නෙ නැහැ. සාමාන්‍ය ළමයෙක් යන යන තැනදි මිනිස්සු අමුතු විදියට එයා දිහා බලන් ඉන්නෙ නැහැ!”

නිදිගේ පංච තන්තරේ මුල ඉඳලම කියවපු අයට නම් ‘කමලා සංජීවනී දිසානායක’ ගැන මතක ඇති. 2018 මැයි මාසයේ මං ලියූ ‘ගස්සලා යවමුද -2’ පෝස්ටුවේදී මම එයා ගැන කිව්වා. 

අපේ චූටිම නංගී. දවස් 21ක් විතරක් ජීවත් වෙලා, අපට මහා සැනසිල්ලක් දීලා මෙලොව හැර ගිය නංගී. ඔගීගේ කතන්දරේ එක්කම මට ඒ නංගිව සිහි වෙන්නේ නිතැතින්. නංගී මියගිය හිංදා අපි ප්‍රශ්න ගොඩකින් බේරුණා. ඔගී ජීවත්වුණු හිංදා එයාගේ අම්මට, තාත්තට වගේම අක්කාටත් ප්‍රශ්න වැලකටම මුහුණ දෙන්න වෙලා. හරිම පව්!

ඔගී පුල්මන් 
අපේ නංගී මියගියේ අංගවිකල, දුර්වල ළමයෙකු විදියට ඉපදුනු නිසා. එහෙම වුණේ අම්මා ඒ කළලය ගබ්සා වෙන්න බෙහෙත් ගත්තු නිසා. අම්මා එහෙම බෙහෙත් ගත්තේ මං තර්ජනය කළ නිසා. ඒ නිසා මං තැවුණු තරමක් ..... ඔලීවියාත්  එහෙමයි. එයාගේ හතරවෙනි උපන් දිනය දවසේ එයා ප්‍රාර්ථනා කළේ මල්ලියෙක්. ඒක හැබෑ කරමින් ඉපදුනේ ඔගී. ඒත්, ඒත්...... ඔගීව දැකපු ගමන්ම වියාට මල්ලීව අරහං වුණා!

සැත්කම් 27කට පස්සෙයි ඔගීට මෙහෙමවත් මනුස්සපාටක් හම්බ වුණේ!

“ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑවේ....”කියලා ක්ලැරන්ස් විජේවර්ධන ගයන්නේ ඇත්තමද? ‘ජනක සහ මංජු’ ෆිල්ම් එකේ තිබුණු අවස්ථාවට ඒ අර්ථය ගැළපුණාට සාමාන්‍ය ජීවිතේටත් එක හරිද? ඒක ඇත්තක් නම් එහෙම කැත අයට මොනවද වෙන්නේ? එයාලා සමාජයේ ජීවත් වෙන්න ඕනේ නැද්ද?

අපි හැමෝම දන්නා කාලේ ඉඳලාම රූපරාජිනී තරග තියෙනවා. පංච කල්‍යාණි තරගත් පැවැත්තුවා, ඉස්සර නම්. දන්නවනේ පංච කල්‍යාණය? 

කේශ කල්‍යාණය, මාංශ කල්‍යාණය, දන්ත කල්‍යාණය, ඡවි කල්‍යාණය, වයඃ කල්‍යාණය. දැන් පංච කල්‍යාණි තරග නම් පවත්වන්නෙම නැති තරම්. තිබ්බත් කෝ ඒවාට ඉදිරිපත් වෙන්න තරම් සුදුසුකම්? ඒ නිසා වෙන්නැති දැන් රූපරාජිනියන්වයි, අවුරුදු කුමරියන්වයි තෝරන්නේ. එහෙම තේරෙන සමහර අයගේ ඉරණම වෙනස්ම අතකට පෙරළෙන්නත් තියෙන ඉඩකඩ හොඳටම වැඩියි.

අවුරුදු කුමරියෝ..........
මේ මුලදීම මං ඔබට කියූ ශාන් ලියූ  වචන. “ජීවිතේ හරි  පුදුමාකාරයි, ජීවිතේ අපිට දෙන දේවල් අපි කැමති වුණත් අකමැති වුණත් අපිට බාරගන්න සිද්ද වෙනවා. ඉතින් ඒ විදියට අපිට උරුම වෙන දෙයක් තමයි ලස්සන කියන්නේ. ඇත්තටම ලස්සන කියන එක සාපේක්ෂ, එකිනෙකාට වෙනස් අන්දමට දැනෙන දෙයක්. Lizzie Velasquez කියන්නේ 2006 වසරේදී තිබුණ ඔන්ලයින් මනාප තරගයකින් මේ ලෝකේ අවලස්සනම කාන්තාව විදියට තේරුණ කෙනා. හැබැයි ද්වේශ සහගතව ඇය ගැන පිළිකුලෙන් කතා කරපු මිනිස්සු ඇයගේ සැබෑම තත්වය දන්නේ නැහැ......”

ලිසීගේ බර කිලෝ 28යි. සිරුරේ මේදය තැන්පත් වීමේ අවුලක් නිසා ලිසීගේ ඇඟේ මස් නැතිම තරම්. ඒක හෝර්මෝන අඩුකම නිසා සිදුවන්නක්. මේ තත්වය කොච්චර දුර්ලභද කියතොත් මිහිතලයෙන් වාර්තා වෙලා තියෙන්නේ මෙහෙම ලෙඩුන් දෙන්නෙකු ගැන විතරයි.

ලිසී..........
‘මං කැතයි, අවලස්සනයි’ කියලා ලිසී මුලුගැන්වුණේ නැහැ ඔගී වගේ. ඇය ඉස්සරහට ආවා. ඒ හින්දාම එයාට ‘ලෝකයේ අවලස්සනම කාන්තාව’ කිරුළ උරුම වුණා. ලිසීටම ආවේණික සුන්දරත්වයක් ඇය ළඟ තියෙන බව ඔයාලටත් පෙනෙනවද?

මේ වර්තමානයේ තත්වය. ඒකත් හැබැයි යුරෝපා රටවල. මෙහේ..... අපේ රටේ? 

පොත්ත රතට තියෙනවා නම්, මාංශ කල්‍යාණය විතරක් තියෙන අංගනාවකට පුළුවනි නාම යෝජනා ගන්න. ටෙලියක හිටිය ගමන් අපි එයාට මනාපෙත් දෙනවා, උඩින්ම තේරිලා කවුන්සලේට යන්න. මොළේ කඳුළක් නැති වුණාම මොකෝ? අරක-මේක කියලා කවුන්සිලුත් හැටහුටහමාරක් තියෙද්දී, එව්වායේ ඉන්නෙත් පස්ස තියන්න ලස්ස ගණන් වියදම් කරලා පුටු ගෙන්නන, වැසිකිළි හදාගන්න අය වෙද්දී, ‘වැඩේ අමාරුත් නැතේ!’

‘මෝඩයා කතා නොකරන තාක් කල් පණ්ඩිතයෙකි’ කියලා පුරාණ කීමක් තියෙනවනෙ. අපේ මෝඩ උත්තමයෝ- උත්තමාවියෝ ඒක නොදන්නා හිංදා වැඩි-වැඩියෙන් කතා කරන්නේ ජනතාවට ආතල් දෙන්නද මන්දා! ඔන්න මනාපෙන් තේරිලා පඩි කන ගමන් අපිවත් කන අයගෙ රඟේ.


ලිසී ගෙදර අයත් එක්ක.......
නිර්මල බුදු දහම පන්දහසක් කල් ආරක්ෂා වෙනවය කියන ඉන්දියන් සාගරයේ මුතු ඇටේ; උදේ හවස බණ- පිරිත් ගමටම ඇහෙන්නට අහන රටේ; ‘රූපං ජීරති මජ්ජානං’ කියන බණ පදය විශ්වාස කරන අය නැහැ වගෙයි. දිරන රූපය අබ්ලික් නං no chance, no place.  තවමත් මෙහෙ එහෙම වෙද්දී, එහෙ ලිසී කරන්නේ පුදුමාකාර රාජකාරියක්. ශාන් මෙහෙමයි ඒක අකුරු කරන්නේ.

“..... ඉතිං ඇය, ඇයට අපහාස කරපු- ඇයව ට්‍රෝල් කරපු හැම කෙනෙක්ටම හොඳ පිළිතුරක් ලබා දීලා තියෙනව. මේ වෙනකොට ඇය ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකවරියක් සහ ලේඛිකාවක්..... ඇය කියනවා අනිත් අය ඔබට පහර ගසන දුර්වලම ස්ථානය ඔබේ ජීවිතය වෙනස් කරවන සංධිස්ථානය බවට පත් කරගන්න ඔබට හැකියි කියලා.”

සුපුරුදු පංච තන්තරේ ශෛලියෙන් මෙච්චර දුරක් ඔයාලව වංකගිරියේ එක්කං ආවා මදැයි. ගිය සතියේ මං ‘නැරඹුවා’ අපූරු සිනමා සිත්තමක්. ඒක කියන්නයි දිග අටුවාවක් ලිව්වේ.


වොන්ඩර් 
ෆිල්ම් එක ගැන දැනගත්තේ ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියෙන්. (අප්‍රේල් මාසයේ ‘සමුදුරු මූර්තිය’ පෝස්ට් එකේදී මේ සයිට් එක ගැන ගොඩක් ලිව්වනේ. මතකයිද?)

IMDB දර්ශකයේ 8.1 වගේ ඉහළ අගයක් ලබා තියෙන ‘WONDER’ ෆිල්ම් එක දැනට  ඩොලර් මිලියන 305ක ආදායමක් ලබාගෙන තියෙනවා. 

චිත්‍රපටය හදන්න ගිහින් තියෙන්නේ ඩොලර් මිලියන විස්සයි. 'කාසි වඳයි' නේද?

ලංකාවේ ඉන්න ශාන් මේ සාර්ථක ෆිල්ම් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? එයා සිංහල සබ්ස් දෙනවා, බයිස්කෝප් අඩවිය ඔස්සේ. ශාන් සබ්ස් දුන් 177 වැනි ෆිල්ම් එක තමා මේ. (මම තවම ඒවායින් 19යි බලලා තියෙන්නේ. තෝරාගෙනනෙ බලන්නේ! එයා දෙන ඒවා ඔක්කොම බලතහැකියැ. තව ගොඩ දෙනෙකුත් හිටු කියලා සබ්ස් දෙද්දී.)

සබ්ස් දෙනවා විතරක් නෙවෙයි. ඒ එක්කම රසබර ලිපියකුත්; ෆිල්ම් එකේ හිස්ට්‍රිය, බැක්ග්‍රවුන්ඩ් එක, සේරම තියෙන සාරවත් ලිපියකුත් එයාලා පළ කරනවා. මේකේ තියෙන සමහර තොරතුරු මං එකතු කරගත්තේ ඒ ලිපියෙන්. ඇල අකුරෙන් තියෙන්නේ කෙළින්ම ශාන්ගේ වදන්, ඒ ලිපියෙන් අරගෙන. මගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් මාත් කරුණු හෙව්වා; මතක ගබඩාව පීරුවා. ශාන්ලට වඩා ඉඩක් මට මගේම බ්ලොගයේ තියෙනවානේ.


සමර්, ඔගී හා ජැක් විල්......
ඉස්සර ෆිල්ම් එකක් බලන්න ඕනේ නම් අපට හෝල් එකකට යන්න වෙනවා. ඒ කාලේ tv, කොම්පියුටර්, dvd මොනවත් නැහැනේ.

මතක් වෙද්දීත් හිනා යනවා, එතකොට මට තාත්තාගෙන් අවසර නැතිව ෆිල්ම් එකක් බලන්න යන්න බෑ. හොරෙන් ගිහින් ‘තුන්මංහංදිය’ බලලා තව ඩිංගෙන් හතරහංදිම කඩා ගන්න වෙන තැනට වැඩ සිද්ද වෙච්ච හැටි ‘අනේ කුරුලු කූඩුවලට’ පෝස්ටුවෙදී කිව්වේ. ඒ ඉස්කෝලේ යද්දී. එතකොට පර්මිෂන් තිබුණේ මාසෙකට එකක් බලන්න විතරයි. ඊට පස්සේ නම් අවසර ලැබුණා සුමානෙකට එකක් බලන්න.

දැන් කාගෙන්වත් අවසර ඕනේ නැහැ. හැබැයි වෙලාව හොයාගන්න එකයි ප්‍රශ්නේ. ඒත් සතියකට ෆිල්ම්ස් දෙක-තුනක් බලනවාමයි, ගෙදරදී. 

එයින් 99%ක්ම බයිස්කෝප් සයිට් එකෙන් බාගත් එව්වා. ඉතින් ශාන් වගේ අයව නොදැක, හමු නොවී, කතා නොකරම අඳුනාගන්න බැරිද? හොඳ ෆිල්ම් එකක් බැලුවාම ඒකට අදාළ ලිපියයි, කොමෙන්ට්ස් ටිකයි එහෙමත් කියවා බලන එක මගේ පුරුද්දක්. කොමෙන්ට් එකක් දැමිල්ල කරන්නේ ඊට පස්සේ.


පළමුව අවවාද - දෙවනුව පාසලට!
වොන්ඩර් චිත්‍රපටිය බලපු ගමන්ම මං තීරණය කළා කොමෙන්ට් එකක් විතරක් මදියි කියලා. බොන අයට ඕනේ වටපිටාවේ ඉන්න හැමෝටම පොවන්න. ඒ වගේ මමත් ආසයි, දන්නා නොදන්නා කවුරු වුණත් මං බැලූ, කියැවූ හොඳ කළා නිර්මාණයක් රස විඳිනවාට. ඒකත් සහෘදයන් හා එක්වීමක්නේ.

සහෘදයන්ගේ හදවත් ගැහෙන රිද්මය කොච්චර සුසර වුණත්, වෙලාවකට තේරුම් ගන්න බැහැ. ඔලීවියාගේ ගෙදරදීත් වෙන්නේ එහෙම දෙයක්. “ඕගස්ට් කියන්නේ ඉර. මමයි, අම්මයි, තාත්තයි කියන ග්‍රහලෝක තුන ඉර වටේ කැරකෙනවා.... ඒත් මම මගේ මල්ලිට ආදරෙයි. මේ විශ්වය මට සලකන විදියට මම හුරු වෙලා.” ඔලීවියාට දැනෙන්නෙ එහෙමයි. උපාධියට ඉගෙනගන්න එක නවත්තලා පුතා වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මෙකුට වුණත් දුවගේ හුදෙකලාවීම නොදැනෙන තරම්. එහෙම බලද්දී අවාසනාවන්ත ඔගීද, නැතිනම් ඔලීවියාද?

වියාට ගෙදරින් නොලැබෙන ආදරය පිටතින් හොයන්න වෙන්නේ එතකොටයි. ජස්ටින් කතාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ එතනදී.


ජස්ටින් හා ඔලීවියා......
ජස්ටින්ව ගෙන්වන්නේ ශෘංගාරය ෆිල්ම් එකට එකතු කරන්න නෙවෙයි. ඔලීවියාගේ තනිවීම අපට වඩාත් හොඳින් වටහාගන්නට උදව් වෙන්නයි. ඒ එක්කම මිරැන්ඩා. මේ චරිතවලින් මිනිස් සන්තානය ක්‍රියා කරන විදිය විග්‍රහ වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. මිත්‍ර සමාගමක අගය කාටත් අමිලයි නේද. අපට හිතෙන්නේ මිරැන්ඩා පිටින් වෙනස් වුණා වගේම ඇතුළතිනුත් වෙනස් වෙලා කියලයි. ඒත්..... අපි නොහිතන දේවල් කොච්චර තියෙන්න පුළුවන්ද?

වොන්ඩර් ෆිල්ම් එකට පදනම් කරගෙන තියෙන්නේ නවකතාවක්. රචිකාවිය R.J. Palacio.

"ඇය මේ කෘතිය ලියන්නේ ඇයට මුහුණ දෙන්න සිද්දවෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරින්. දවසක් ඇය තමාගේ අවුරුදු තුනක් වයසැති පුත්‍රයා එක්ක අයිස්ක්‍රීම් ගන්න පෝලිමේ ඉන්නකොට ඇයගේ පුතා දකිනවා උපතින්ම විකෘති අන්දමින් යුතු මුහුණක් තියෙන ගැහැනු  ළමයෙක්ව. ඒ ගැහැනු දරුවාව දකින R.J.Palacio ගෙ පුතා බය වෙලා අඬන්න ගන්නවා.” එතැනිනුයි පැලසියෝට නවකතාවේ වස්තු බීජය ඔළුවට එන්නේ.


Treacher Collins Syndrome කියන නමින් හඳුන්වන රෝගය, ඇමෙරිකාවේ 50,000කින් එක්කෙනෙකුට විතර වැළඳෙනවාලු. පහතින් තියෙන්නේ මේ රෝගය වැළඳුණු නතානියෙල් නිව්මන් හා වොන්ඩර් චිත්‍රපටයේදී එවන් දුර්ලභ රෝගී දරුවෙකුගේ; ඔගීගේ  චරිතයට පණ පෙවූ ජාකොබ් ට්‍රෙම්බ්ලේ පෙනී සිටින ෆොටෝ එකක්.


රෝගී නතානියෙල් නිව්මන් හා නළු ජාකොබ් ට්‍රෙම්බ්ලේ 
ඉතින්, දැන් අනුන්ට බණ දෙසුවට මාත් ඉස්සර හිටියේ ඛේමා බිසව හිටිය ආකල්පයෙමයි! අනේ, ගොං ගහ! ආයේ මොකටද හංගන්නේ. ඉන්නකො, ඊළඟ පෝස්ට් එකේදී ඒ ටික කියනකල්.

2 comments:

  1. එහෙම පුද්ගලයෙක් තමන්ට සිද්ද වෙන මදි පුංචිකම් කොහොම දරා ඉන්නවද කියල තේරෙන්නෙ නැහැ :0

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, මට නම් වැඩියෙන් සිහි වෙන්නේ ඒ වගේ අයට ඔච්චම් කරන මන්ද බුද්ධිකලා ගැන,

      Delete