අකුරු මැකී නෑ

Wednesday, October 24, 2018

විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස


ඛේමා බිසොවුන්නාන්සේ.....
ඛේමා බිසවුන්නාන්සේ හිටියේ රජගහ නුවර. ඒත් වැරදිලාවත් වේළුවනාරාමයට ගියේ නැහැ. කටකතාවලින් කියවිලා තිබුණනෙ, බුදුහාමුදුරුවෝ රූපයට ගරහනවයි කියලා. 

ඛේමාත් අතිශයින්ම රූමත් නිසා ලස්සන අගය නොකරන අයට ගරු කළේ  නැහැ. රජතුමාට මේ ගැන හරිම කනගාටුයි. එයා වේළුවනාරාමේ ගැනයි, දිවිය ලෝකේ අංගනාවන් ගැනයි සින්දු හදවලා, බිසවට ඇහෙන විදියට ගායනා කෙරෙව්වා. ඛේමා ඒවා රස විඳින ගමන් කල්පනා කළා ‘රූපෙට ගරහනවා නම් මෙහෙම ගීතවලින් කියන්නේ බොරුවක්ද?’ කියලත්. කොයිකටත් කියලා එයා එක දවසක් වේළුවනාරාමෙට ගියා.

හරි පුදුමයක්නේ. හිතාගන්නවත් බැරි තරමේ කාන්ති කඩා හැලෙන ගැටිස්සියෙක් බුදු සාදුට සෙමෙර සලනවා. දැන් ඛේමාවට වෙන මොනවාවත් පෙනෙන්නේ නැහැ. ඇස් දෙක තියෙන්නෙම අර රූමතිය ළඟ. මෙන්න වදේ අර රූමතිය බලාගෙන ඉඳිද්දී වයසට යනවා; වැහැරෙනවා; ජරාවට පත් වෙනවා. එතකොට තමා ඛේමාවට වැටහුණේ කවදා හරි මටත් වෙන්නේ මේ ටිකම නේද කියලා.

මාත් හිටියේ වියපත් වීම ගැන හොඳටම අකැමැත්තෙන්. මට ඕනේ වුණේ වයසට යන්න කලින්; වැහැරෙන්න කලින් යන්න. ඒත් මට බෝනසුත් ලැබුණා. ලෙඩකුත් ලැබුණා.

ඛේමාවන්ට සත්‍යය වැටහුණේ බුදු හිමියන්ගේ මවා පෙන්වීම නිසා. මට? උත්තරේ ‘අසනීප වීම නිසා’ කියන එකයි. අසනීපය ගැන ‘වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා’ පෝස්ට්වල ලියමින් ඉඳිද්දී මෙතනත් මොකටද කොටන්නේ. ඒත් ගිය මාසයේ බඩල්කුඹුරේදී ගත් ෆොටෝ එකක් මෙතනට යොදන්න හිතුණා. අභියෝගයක් ජය ගන්න ඕනේ නිසා.

කඩුගන්නාවේ රිලවෙක් වාගේ විරවිලා ඉන්න මං.....
“මුගේ හැටි විතරක්. බලපන්කො පීරා, අර කඩුගන්නාවේ රිලවු ඉන්නෙ, කන්ඩ දාපු ගමන් හක්කේ කෑම පුරෝගෙන ඉන්නෙ. ආං ඒ රිලවෙක් වගේ!” 

හම්බන්තොට රෝහලේ ඉඳන් එද්දී නෙවිල් මට කෝචෝක් කළේය. මා හිටියේ කෙඳිරි ගාගන්නටවත් බැරි ගාතේය. කටේ විදුරුමස් ඇද, ඒවායින් දකුණු පැත්තේ යටි හනුව වසා, මැහුම් දහයක් විතරත් දාලාය; පළමු දවසේ රෑ පුරාම විදුරුමස්වලින් ලේත් ගලන අතරේය; පැය 24කටත් වඩා කෑමක් නැතිව සාගින්දරේය. මට ඒ සේරම වින්නැහි කඩා පාත්වී තියෙද්දීත් නෙවිල්ගේ කට වැඩය.

“අපරාදේ මචං. ඊයෙයි මෙයාගේ ෆොටෝ එකක් ගන්න තිබුණේ, මූණ දෙක වෙලා තියෙද්දී. දැන් ඉදිමුම බාගයක් බැහැලා. ඔන්න තමුසේ චණ්ඩියා නම් දානවකෝ මේ ෆොටෝ එකත් බ්ලොග් එකට. අපේ රෙද්දවල්ම දාන්නේ.” අභියෝගය නෙවිල්ගෙනි.

“අන්න හරි මචං.” පීරිසුත් හූමිටි තිබ්බේය. ඇත්තය, මම ලස්සනට ප්‍රිය කරන්නෙක්මි. ඉතින්
තියෙන හැඩත් නැතිවී, කැතවී ඉඳිද්දී ගත්තු ෆොටෝ එකක් ඔයාලාට පෙන්වන්නේ මොකටද? චැලේන්ජ් එක දිනුවත්, මට දැනෙන්නෙ මොකක්දෝ වාගෙය. 

නතානියෙල් පවුලේ අයත් සමඟ.......
ඔගී නම් සිනමාවේ චරිතයකි. නතානියෙල් නිව්මාන් හැබෑ ලෝකයේ ජීවත් වෙයි. නතානියෙල් තමන්ගේ ගෙදර අයත් එක්ක මේ විදියේ පිංතූරයකට පෙනී ඉඳිද්දී ඔහුට  මොනවා හිතෙන්නට ඇද්ද.

දන්නවනේ, පැලැසියෝ ලියාපු ‘WONDER’ පොත අසීමිත විදියට ජනප්‍රිය වුණා. ඒ පොත පදනම් කරගෙනයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ.

හැබැයි හින්දි, දමිල, තෙලිඟු, සිංහල චිත්‍රපටවල වගේ මේකේ සීයට සීයක්ම දුෂ්ට දුර්ජනයෝ නැහැ. ටික කාලයක් එහෙම වෙන ජුලියන් වුණත් ඉක්මනින්ම ආයේ ඔගී එක්ක යාළු වෙනවා.

යුරෝපා රටවල නිර්මාණයක් කරද්දී හුඟාක් අධ්‍යයනය කරනවා. දඩිබිඩියේ ආප්ප බානවා වගේ කෙරෙන්නේ නැහැ. සිනමා නිර්මාණයක් විතරක් නෙවෙයි, නවකතාවක් වුණත් එහෙමයි. අනෙක බැරෑරුම් කාරණා වුණත් දිරවාගන්න පහසු විදියට, රසවත් විදියට ඉදිරිපත් කරන්න වග බලාගන්නවා.

“නිවැරදි භාවය හෝ කාරුණික භාවය හෝ යන දෙකින් එකක් තෝරාගැනීමේ ගැටලුව ඔබට ඇති වුණොත්... දෙවැන්න තෝරාගන්න. අනිවාර්යයෙන්ම එය වඩා සුදුස්ස වනු ඇත.” 

....කාරුණික භාවය තෝරාගන්න.
ටික කාලයකට ඉස්සෙල්ලා මිතුරෙක් මට එවූ ඊමේල් එකක් ඒ. කවුරු, ඒ අදහස  කොහෙන් අරගත්තද කියලා මං දන්නේ නැහැ. ඒත්, මෙන්න දෙයියනේ ඒකත් මේ ෆිල්ම් එකේ publicity වැඩවලට යොදාගෙන. ඒ අදහස ‘වොන්ඩර්’ පොතේ තියෙනවද මන්දා.

කොහොම වුණත් මොකද? හොඳ දෙයක් කොහේ තිබුණත්, කොච්චර ප්‍රයෝජනයට ගත්තත් වටිනාකම අඩු වෙන්නේ නැහැනේ!

    නි න්    පහන් සිය ගණනක්          ඇවිලුවද
    න්    සිලෙහි අලු අඩු නොව දිලෙන ලෙද
ලොවැ අන්    සතන් ගුණ පළ කරමින්      නොමද
සු    ස  න්   ගුණෙනි වැජඹෙති සුජනෝ     පබඳ - කියලා ‘සුභාෂිතයේත්’ කියන්නේ!

අපට ලෝකයක් වෙනස් කරන්න අමාරුයි. ඒත් අපට වෙනස් වෙන්න පුළුවනි. ඔගීටත් ඉස්කෝලේ යන්න කලින් ඒ ගැන අපූරු අවවාදයක් ලැබෙනවා! “ඔයා ඉන්න තැනට අකමැතියි නම්, ඔයාට ඉන්න ඕනේ තැන ඔයාගේ හිතේ මවාගන්න!”

ප්‍රිටි වුමන් චිත්‍රපටයේ.....
අර්ථවත්, සාර්ථක චිත්‍රපටයක් නරඹද්දී හොඳ දේවල් කොච්චරක් නම් අපට දැනගන්න පුළුවන්ද? මගේ ජීවිතේට නම් එහෙම දැකලා එකතු කරගත් දේවල් එමටයි. ඒක වෙන්නේ අපි ලබන අත්දැකීම් එක්ක.

වියපත් වීමත් සමඟ ‘රූපය දිරන බවට’ හොඳම සාක්කියකුත් වොන්ඩර් බලද්දී ඔයාලට ඉබේම ලැබෙයි. මට එහෙම දැනුණේ, 1990 දී  බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලාවේදී බැලූ ‘Pretty Woman’ මතක් වෙලා. 

එතකොට ජූලියා රොබට්ස්ගේ ලස්සන, රිචඩ් ජියර්ගේ කඩවසම රිදී තිරේ පුරාම දෝර ගැලුවා. (මට මතක හැටියට ඒ කාලේ දැවැන්තම තිරය තිබුණේ කොල්ලුපිටියේ ලිබර්ටි එකේ. මැජෙස්ටික් එකේ තිබුණේත් ලොකු තිරයක්. මං කියන්නේ මේ හෝල් නවීකරණය කරන්නට කලින් වකවානුව ගැනයි, හොඳේ.)

වොන්ඩර් එකේ ජූලියාගෙ දක්ෂකම මිසක් දිදුලනකම (glamour) පෙනුණේ නෑ, මට නම්. ඒකෙ පුදුමෙකුත් නැහැ. කොම්පියුටරෙන්නේ බැලුවේ. ෆිල්ම් එකක් බලන්න ඕනේ ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා. හැබැයි, තවම මේ කිට්ටුවත් තියෙන්නේ film hall නෙවෙයි, hole! සමහරක කොලිටිය ඒ තරම් අජූතයි.

වොන්ඩර් පොතේ කතුවරිය පැලැසියෝ පොතට වස්තු බීජය ලද අයිස්ක්‍රීම්හල ඉදිරියේ... 
වොන්ඩර් පොත ලියැවුණේ 2012  දී. චිත්‍රපටය නිපදවුණේ 2017 දී. ඉතින් පොතේ කතුවරියට නතානියෙල්වයි, ඔගීට රඟපෑ ජේකොබ්වයි දෙන්නාවම මුණ ගැහුණාම ඇගේ විශ්මය ඉහවහා ගිහින් “අනේ දෙයියනේ, මේ ඉන්නේ ඔගී පුල්මාන්මයි!” කියලා කියවුණාලු.

වොන්ඩර් හැම විදුහල්පතිවරයෙක්ම, හැම ගුරුවරයෙක්ම බැලිය යුතු ෆිල්ම් එකක් විදියටයි මට නම් තේරෙන්නේ. හැබැයි හොඳ විමසිල්ලෙන් නරඹන්නත් ඕනේ. මොකද, මේකේ ඉන්න ගුරුතුමා වගේම විදුහල්පතිතුමාත් ඒ රස්සාවට හොඳටම ගැළපෙන අය.

මට මතකයි එක ජනාධිපතිතුමෙක් සමෘධිය ලබන දුප්පත් තරුණ පිරිසකටත් ගුරු පත්වීම් දුන්නා. මට මතක හැටියට O/L හරි A/L හරි තියෙන අයට. ඉගෙනගත් පමණින් පුළුවන්ද උගන්වන්න? එහෙම ගුරුවරු යටතේ ඉගෙනගන්න ළමයින්ට මොකද වෙන්නේ?


මිස්ටර් බ්‍රව්නියි පන්තියේ ගෝලයෝ රොත්තයි....
බලන්නකෝ, ෆිල්ම් එකේ ඉන්න ප්‍රින්සිපල්. ඔගී ගැන කලින්ම දැනගෙන ඉන්න එතුමා ඔගීව පාසල වටේ එක්ක යන්නට බාර දෙන්නේ ළමුන් තිදෙනෙකුට. නිකන්ම නෙවෙයි ඒ ළමයින්ව තෝරාගෙන තියෙන්නේ කියලා ඔයාලටත් හිතේවි, චිත්‍රපටය බලද්දී.

ගුරුතුමාත් එහෙමයි. පන්තියේ ළමුන් ‘ඕවර්’ යන්න නොදී තියාගන්නේ, එයාලට රිද්දලා නෙවෙයි. උපායශීලීව. මං කලිනුත් කිව්වේ, මට නම් ඔහොම චූටි දේවල් පවා මහමෙරක් වටිනවා. අනේ, අපේ රටෙත් ඉන්න දූලා-පුතාලා හැමෝටම ඒ වගේ විදුහල්පති-ගුරු මව්පියන් ලැබේවා. (මගේ මේ ප්‍රාර්ථනාවෙන් සම+හරක් විදුහල්පති-ගුරු පිම්පියන්ට රිදෙයිද මන්දා?)

ජුලියන්, විදුහල්පති ටුෂ්මන් හා ඔලිවියා..........
කොහොමින් හරි ඔගීගේ අසාමාන්‍ය බුද්ධිමත්කම නිසාම එයා ටිකෙන් ටික කැපී පෙනෙන්න ගන්නවා. ඒ එක්කම එයාට වැටහෙනවා ජීවිතේට මුහුණ දෙන්න ඕනේ කරන විදිය ගැනත්. කතුවරිය ‘පැලැසියෝ’ ඔගීට එව්වා වැටහෙන්න දෙන්නේ අපටත් නොතේරෙන්නට ගොඩක් පාඩම් අපටත් උගන්වමින්....

කලින් සුමානේ දවසක ‘දිදුල මන්තුජ පබාත්’ චූටි පුතා මොන්ටිසෝරි ගිහින් ආවේ උඩ පැනගෙන. ‘නිමල් සීයේ, අපි නයිට් කෑම්ප් යනවා’. එයා හරිම සතුටෙන් උඩ පැන්නා! 

එයාලා ඉන්නේ අල්ලපු වැටේ. හැමදාම උදේ 7.45 වෙද්දී මං ඉන්නේ සූදානමින්. නිරෝෂා; දිදුලගේ අම්මා අපේ ගේට්ටුව අරිනකල්. දිදුල මොන්ටිසෝරි යන්නේ මටත් වැඳලා. ඔළුව අතගාලා, ආසිරි පතලා, හිසමුදුන ඉඹිනකල්ම වැඳගෙන ඉන්නවා.

දිදුල පුතයි මොන්ටිසෝරි දරුවොයි නයිට් කෑම්ප් එකේ.....
නිරෝෂාම තමයි විස්තරේ කිව්වේ. “නිමල් මාමෙ, මොන්ටිසෝරියෙන් මෙයාලට නයිට් කෑම්ප් එකක් තියනවා. හතරේ ඉඳලා අට විතර වෙනකල්. පිජාමා එකක් හිට ගේන්න කිව්වා....” කොච්චර එකක්ද? මට හිතුණා. 

අපි කෑම්පින් එකකට ගියේ විස්සත් පැන්නට පස්සෙනෙ. මං හිතන්නේ දැන් ලංකාවේ හැම  මොන්ටිසොරියේම මෙහෙම වෙන්නැති. ෂෝක් අත්දැකීමක්නේ පුංචි කාලෙදීම.

එහෙම දැනුම්වත්ව තියෙද්දී, WONDER බලන අතරේ මටම පුදුමයි. ඔගීත් කෑම්ප් එකකට යනවා! එතනදී තමයි ඔගීට තමන්ගේ බියගුළුකම, පසුබාන ගතිය පැත්තකට දාන්න වෙන්නේ. එයා එක්ක වැඩිය මිතුරු නැති පාසල් සගයින්ගේ උදව් එයාට ලැබෙන්නේ. 

‘වටු වැද්දගෙන් බේරෙන්න කුරුල්ලෝ රංචුවම එකතු වෙලා දැල උස්සගෙන ගියා’ කියලා ‘එකමුතුකම’ උගන්වනවට වැඩිය ප්‍රායෝගිකයි නේද කඳවුරු වැඩක නියැළෙද්දී ඒක උගන්වන එක.

වොන්ඩර් එකේදී ඔගීලාට ‘එකමුතු නැත්තං කම්මුතු’ වෙවී අම්බානක කන්න වෙනවයි කියලා පෙනෙද්දී අපිටත් එතනට දුවන්න හිතෙනවා. මට නම් එහෙම හිතුණා! ඇඟේ ලේ කකියලා ආවා. මාත් ඉතින් ෆිල්ම් එකේ අයත් එක්ක ජීවත් වෙන නිසාද මන්දා!

ඔගී බය පැත්තකට දාලා.......
මට තවම මතකයි ටයි මහත්තයාගේ ‘හඳයා’ බලන දවස. බම්බලපිටියේ මැජෙස්ටික් එකේ. හඳයා පෝනි රේස් එකෙන් දිනද්දී මුළු හෝල් එකම චියර් කළා. සමහරු විසිල් කළා. අත්පුඩි ගැහුවා. ඒ තරම් චියර් එකක් මං තවම දැකලා නෑ! (වොන්ඩර් හෝල්වල පෙන්වද්දී කොහොම තිබුණද දන්නේ නැහැ.)

සාමාන්‍යයෙන් චිත්‍රපටියක් විචාරය කරන්නේ ශිල්ප දක්වලා. එක-එක මිනුම් දඬු අනුව. න්‍යායයන් පාවිච්චියට අරන්. දැනුම්-තේරුම් ඇති විදග්ධ අය එහෙම කරපුවාවේ. 

මං ඔව්වා ඉගෙන ගෙන නැහැනේ. හැබැයි අහුවෙන විචාර සේරම කියවනවා. 

මට මතකයි ප්‍රසන්න විතානගේ හදපු ‘පවුරු වළලු’ ෆිල්ම් එක ගැන තිබුණු විවේචනයක්. පෞරාණික බව පෙන්නන්න කහපාට ගතිය වැඩි කරන්න විශේෂ ලෙන්ස් එකක් පාවිච්චි කළ බව. ඊට පස්සේ මං ෆිල්ම් එකක ඒ වගේ උපක්‍රම ගැනත් හෙවිල්ලෙන් බලනවා.

ඔය මොනවා තිබ්බත් මට නම් වැඩක් නැහැ චිත්‍රපටයෙ තෙතමනයක් නැති නම්. ඒක හිතට වදිනවා නම්, ෆිල්ම් එක බලා ඉවර වුණාමත් එයාලා එක්කම ඉන්නවා වගේ දැනෙනවා නම්, ලොකූඌඌඌවට හීල්ලෙනවානම්..... කඳුළු උනන, හිනා යන, දැනෙන ෆිල්ම්ස්වලට මං ආසයි. හීන වුණත් කමක් නැහැ, හරියට ඉදිරිපත් කෙරෙනවා නම්.

ෆිල්ම් එක සබ්ස් එක්ක ගෙනාවට ශාන්ටත්....
හරියට ඉදිරිපත් කරනවා කියද්දී මතක් වුණේ, අන්තිම මිනිත්තුව වෙනකල්ම මේ පෝස්ට් එකට ‘සිරසක්’ ඔළුවට ආවේ නැහැ. 

එතකොටයි ‘සමන් ද සිල්වා’ගෙ  ගීතය සිහි වුණේ. ඇත්තටම අපි ගොඩ දෙනා තවමත් සුරූපි කියලා රැවටෙන්නේ විරූපිලාට නේද? මනාප දෙන්නේ එහෙම වංචාකාරයන්ට නේද? (ඔන්න මාත් වංචාවක් කරමින් පෝස්ට් එකේ මාතෘකාව සින්දුවෙන් හොරාගත්තා!)

පෙනුමෙන්ම මිනිස්සු මනින්න එපා, මොට්ට නිමලෝ! ඔගී උඹට කියල දෙන්නේ ඒකයි!

ඉතින්, බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට මම නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ආයෙමත්. හොඳ ෆිල්ම්ස් ගොඩක් රසික අපට දෙන නිසා. නිකම්මද, සිංහල උප සිරැසිත් එක්කමනෙ. 

ශාන් විමුක්ති, ඔයාටත් විශේෂෙන්; WONDER ගෙනාව නිසා. මාත් ආයෙම ඔගීලා එක්ක කෑම්පින් යන්නයි හදන්නේ- ‘තව මොනවා හරි ඉගෙන ගන්න’෴


2 comments:

  1. අපි අදටත් බොහෝ දුරට සුරූපි කියලා රැවටෙන්නෙ විරූපිලාට තමයි ... :)

    ReplyDelete