අකුරු මැකී නෑ

Sunday, November 25, 2018

සීයයි!


“ඔන්න රංජි, එක දවසක් එක බමුණෙක් කැලේට ගිහින් වළක් කප-කපා ඉන්නවා. ඔතනින් යන්න ආවා තව බමුණෙක්. එයා ඇහුවා අර ඉස්සෙල්ලා බමුණාගෙන් මොනවද කරන්නේ කියලා. 

‘මං මගේ මිනීවළ කපනවා. තව පැය දෙකකින් මං මැරෙන බව මගේ ශාස්ත්‍රඥානය මට කිව්වා! ඒකයි.’ බමුණා උත්තර දුන්නා. 

එතකොට දෙවෙනි බමුණා එතැනම නැවතුණා. ඇඟිලි ගැන්නා.

‘වැරැදියි. උඹගේ දැනීම වැරැදියි. උඹ මැරෙන්නේ තව පැය දෙකකින් නෙවෙයි, හතරකින්.’ එහෙම කියලා මිනිහ යන්න පිටත් වුණා.

මිනීවළ කැපීල්ල නවත්තලා.....
පළමුවෙනි බමුණා මිනීවළ කැපිල්ල නවත්තලා දෙවෙනි බමුණාගේ පස්සෙන් දිව්වා! 
‘අනේ පින්වතාණෙනි, ඔබතුමා ඔය ගණන් බැලූ ශාස්ත්‍රය මට උගන්වන්නකෝ’ කිය-කියා.”

ඒ කතාව මට කියා දීලා අපේ තාත්තා මෙහෙමත් කිව්වා! 

“ඕකේ වැදගත්ම දේ තමයි රංජියො, අපිට යමක් ඉගෙනගන්න පුළුවන් නම් මැරෙන මොහොතේදී වුණත් ඉගෙනගන්න ඕනේ කියන එක.” මං ඒකේ ඇත්ත-නැත්ත නම් හොයන්නට ගියේ නැත. 
ඒත් ඒකෙන් කියැවුණු විදියට හැකි හැම දේම ඉගෙනගන්නට නම් උත්සාහ කළෙමි.

ඇත්තෙන්ම මං තවමත් ඉගෙනගන්න කෙනෙක්! 
හැමදාම, හැමවිටම 
ඉගෙනගන්න සහ ඉගෙනගනිමින් ඉන්න කෙනෙක්!

ඉගෙනගනිමින් ඉන්න.......
හැබැයි මා ගොඩාක්ම ඉගෙන ගත්තේ කතන්දරවලිනි; අත්දැකීම්වලිනි; වටපිටාවෙනි. 
එතනදී මගේ අගනාම; අමිලම; උත්කෘෂ්ඨම කෝෂ්ඨාගාරය වුණේ අපේ ආච්චීය. 
උන්දෑ මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා! ආච්චී මුලින්ම මගේ නුවණ වැඩිවෙන්නටය කියා, මා ළපටි වියේ සිටම මට නානාප්‍රකාර කොළපලා කැව්වාය. ජාතක පොතින්, සද්ධර්මාලංකාරයෙන්, විමාන වත්ථුවෙන්, ප්‍රේත වස්තුවෙන්, කවි පොත්වලින් විතරක් නොවේ.... ඇය නැරඹූ චිත්‍රපටවලින් පවා අනේක කතන්දර මට කියා දුන්නාය. 

ඊළඟට පොත්, පත්තර, කලා නිර්මාණ වගේම ජනමාධ්‍යයන්ය; මට ගුරු වන්නේ!

අදටත් මගේ හිත ඇදගන්නේ න්‍යායයන් නොවේ. අත්දැකීම්ය. 
ඒවා කපමින්, කොටමින් එහෙම වෙන්නේ මන්දැයි හෙවීම වෙනම කර්තව්‍යයකි. 
එය මගේ උනන්දුව, බුද්ධිය වඩවන අභ්‍යාසයකුත් වෙයි.

“පුටුව! එහෙම කියනකොටම සිංහල දන්නා ඕනෙම කෙනෙකුට මැවිලා පෙනෙන්නේ මොකක්ද? හැබැයි සිංහල නොදන්නා; ඉංග්‍රීසි විතරක් දන්නා කෙනෙකුට chair කියද්දීත් මැවෙන්නේ අර මුලින් කියූ විදියෙම රූපයක් නේද? අපේ මනසේ රූප, සංකල්ප ඇතිවෙන්නේ භාෂාවත් එක්කමද? මනුස්සයා කියන්නේ සංකල්ප, අදහස් ආදියේ සංකලනයක්ද?” 
ඔන්න ඔයාකාර අදහස් ගොන්නක් තමයි මට X කණ්ඩායමේ ලියවිලි කියවද්දී හිතට වැටුණේ. සමහර විට මං එව්වා තේරුම් ගන්න ඇත්තේ මට ඕනේ විදියට වෙන්නත් ඇති. 
මගේ නොතේරුම්කම; නොමේරූකම වෙන්නත් ඇති.

මිනිහෙක් කියන්නේ සංකල්ප ගොන්නක්.......
කොහොම වුණත් නිමල් දිසානායක නමැති සංකල්ප ගොන්න 
එහෙම හැඩ ගැහිලා වාගෙය. 
“අම්මව දෙනවයි කිව්වා නම් පුතේ, තාත්තව ගස් බැඳලා හරි ඒක කරපන්!” තාත්තා මට කීවේ එහෙමය. එයින් මා ගත්තේ වාච්‍යාර්ථය විතරක් නොවේ. ‘කරන්නට බැරි දෙයක් කියන්නට එපා’- යන ඔවදනය. එමෙන්ම යමක් කීවොත් කරලා මිස පසු නොබලන්නටත් ඒකෙන් ඉගෙන ගත්තෙමි.

පොත-පතත්, මට හමුවුණු වෛවාරන්න මිනිස්සුත් සහමුලින්ම මා වෙනස් කළහ.

“වානරයා අතේ ඇඟිලි පහෙන් එකක්; මහපටැඟිල්ල වෙනම අතකට නවන්න ගත්ත දවසෙයි ලෝකය වෙනස් වෙන්න පටන් ගත්තේ. 
ඒකෙන් තමයි අපට ආයුධ පාවිච්චි කරන්න හැකි වුණේ. එතැනින් තමයි අපේ මොළය වර්ධනය වෙන්න ගත්තේ. දන්නවද, සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ලොකුම මොළය තියෙන්නේ මිනිහාට. සිරුරේ ප්‍රමාණයත් එක්ක සසඳද්දී ප්‍රාණවත් ලොකුම ලිඟුව තියෙන්නෙත් මිනිහාට. 
එච්ච්ච්රද? ලිංගික ක්‍රියාවල යෙදෙන්න වෙනම කාල වකවානුවක්, සමයක් නැති එකම දියුණු සතාත් මිනිහානේ.” 
ඩෙස්මන්ඩ් මොරිස්ගේ ‘මනුසත් උයනෙන්’ ‘නිරුවත් වානරයාගෙන්’ එබඳු දේ මා උගත්තේ විස්මයෙන් ඇළලෙන ගැටවරයෙකු වශයෙනි.

මගේ දිවි කුසලානය......
ආතර් සී. ක්ලාර්ක්ගේ පොත්වලින් මුළුමහත් විශ්වයම වාගේ දෝතට ගත්තෙමි. 
තව කොතෙකුත් උදාහරණ දිය හැකිය.

මා මෙතෙක් ලබා ඇති ලොකුම භාග්‍යය 
මගේ ජීවිත කුසලානය මදිය නොකියන්නම ඒ දැනගැනීම්වලින් පිරී තිබීමයි. 

නහින-දෙහින කාලයේ වුණත් ‘ඩිමෙන්ෂියාව’ වැනි රෝගයකට ගොදුරු වෙනවාට 
මා නම් අකැමැතිය. එහෙම වෙන්නේ මොළෙන් වැඩ ගැනීම අඩු වුණාමලු. 
එයින් ගැලවෙන්නට මා හොයාගත් විසඳුම මොළය වෙහෙසවීමයි. 
ඒකට කදිම ව්‍යායාමයකි, මේ! බ්ලොගය ලිවීමත්.

අනෙක මරණින් මතුත් ජීවත් වෙන්නට, අමරණීය වෙන්නට ඇති කැමැත්තයි. 
අප මේ දන්නා දහංගැට සේරම දමන්නේ ඒකට නේද?

අමරණීය නොවුණත් මොකද, මගේ අත්දැකීම්වලින් තව කාට හරි සෙතක්; 
යහපතක් වෙනවා නම්! ඒ සේරෝමත් ඇත්තය. ලොකුම ඇත්ත මගේ හිතේ ඇති බරයි. 
මට අනුව, මගේ හෘදය සාක්ෂ්‍යයට අනුව නම් 
මම දෙබිඩ්ඩෙක්මි. මා යනු හොඳ-නරක දෙකේම උපරිම සංකලනයකි. 
Yang Yin එකට අදාළව බලද්දීය ඒ.

Yang Yin සංකල්පයට අනුව ...... 
මට පමණට වඩා පැසසුම් ලැබෙයි. මාව වර්ණණා කෙරෙයි. 

නියම මා; සැබෑ නිමල් දිසානායක තවමත් ඉන්නේ වසන්වී වාගෙය. 
එහෙම ඔට්ටු නැත! එව්වා වානාය!! දැන්වත් උඹ ගැන ඇත්තම; ඇත්ත කියපන් නිමල්. කොටින්ම මගෙන් පෙනෙන්නේ ඇත්ත නිමල් දිසානායක නොවේ. 
හැබෑ නිමල්ගේ, හැබෑම ඇතුළාන්තය එළිදරව් කළ විට හිත-මිතුරන් කොහොම සලකාවිද?
  
එහි ප්‍රතිඵලය දැනගන්නට මට ඕනෑ විණි. හිත එහෙම කියූ විට මම මේ බ්ලොගය ලියන්නට හිතුවෙමි. ඒකට තවත් හේතු එකතු වුණේය. පිළිකාව වගේ එව්වා. 
ඇයි බ්ලොගය ලියද්දී දයාබර පාඨක ඔබලාගෙන් ලද ප්‍රතිචාර!

මාස අට සපිරෙන්නටත් පෙර පෝස්ට්ස් 100 ක්. බ්ලොගයේ රීඩර්ස්ලා 23,136 ක්. 
ඒ උත්තේජනය නව පණකි. පෝඩ්ඩක් ආඩම්බරත් එක්ක, චුට්ටයි.  
තවත් එඩිතරව, නිර්භයව, සැබෑම සැබෑව ලිවිය යුතුය. ලියන්නෙමි! 
එයට මොනම විදියකින් හෝ දායක වුණු හැමෝටම පිං. 
මල් කළඹක් පිරිනමා, ස්තුතියි කියනවාට වඩා එහෙම කීම ළෙංගතුය.
ඒත් ලස්සන මල් ටිකකුත් පිරිනැමීම ලස්සනය. හැබැයි 
මෙච්චරට ‘නිදිගෙ පංච තන්තරේ’ උස්සා තිබ්බ කට්ටියගේ නම් ලැයිස්තුව 
මෙතන කොටන්නේ නැත්තේ, ඒක බෙල්ල ගහලා යන වැඩක් වගේ දැනෙන නිසාය. 
හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව හොඳනේ, නේද?


එහෙනම් තව රහසකුත් කියන්නද? මේ පෝස්ට් එක තමයි මෙච්චර දවසකට ලියාපු අමාරුම එක!

මෙහෙම ලියද්දී, නොසංගා ඇත්තම ඇත්ත ලියද්දී 
ඔයාලගේ අවංක ප්‍රතිචාර ගොඩක්-ගොඩාක් වටිනවා- වටිනවාමයි. හොඳේ!!
ඒත්.......


පැසසුම් වගේම හිතාදර ඔයාලට පෙනෙන, දැනෙන අඩුපාඩුත් 
විශේෂයෙන් මට කියන්න. 

කීයටවත් තරහ වෙන්නේ නැහැ, හොඳේ!

ඉතින් මටත් ලියන්න ෴
***දැන්මම ඌන පූරණයකුත් කරන්න වෙලා. අද බලද්දීයි මේක දැක්කේ! දැන් ලිපියට යටින් තියෙන කමෙන්ට්ස් ක්ලික් කළාම කමෙන්ට් කරන්න පුළුවන්. 
මුලින්ම එහෙමයි තිබුණේ. පස්සේ මොකක්ද හේතුවකින් එහෙම විවෘත වුණේ නැහැ. ඒකයි මගේ විසඳුමක් උඩින් දැම්මේ!

6 comments:

  1. යින් ඇන් යැන්ට සුභ පතනව !

    ReplyDelete
  2. x කණ්ඩායමේ ඒවත් කියවල තියෙනව නෙහ්... ඒ කෑල්ල ව්‍යුහවාදය නේද?


    x කන්ඩායමේ ගත්තු දැනුමත් පෝස්ට් වලට දාන්ඩෝ

    ReplyDelete
  3. දැනුම ලබපු විත්තිය ඔප්පු කරන්ඩ ඒවා පෝස්ට්ස්වලට ලියන්න බෑ නවීන්. ගැලපෙන තැන්වලදී මතක් වෙලා එන තරමට වැදගත් නං විතරයි මට ඒවා ලියවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැනුම ගත්තා කියලා ඔප්පු කරන්න නම් කිසිම වෙලාවක් ඕනි නෑ නේද?

      මම නිකම් යෝජනා කරේ අන්න ඒ විදියට ගැලපෙන දේවල් තියෙනව නම් දාන්න කියලා😀

      Delete