මගේ දිවි මතක මං පෙතේ ඈතම ඈත කොනක යස රඟට මා බදුල්ලේ
සුජාතා බාලිකා විදුහලට යන හැටි තිබෙයි!
කොල්ලෙක්.... බාලිකා විදුහලට? ඔව්! වැරැදීමක් නොවේ. අපේ
අම්මාත් ගියේ සුජාතා බාලිකාවටය. ඒකෙන්ම ඉගෙනගෙන ඒකෙම ගුරු පත්වීමක් ලැබුණු ටීචර්
කෙනෙකුත් එතකොට සුජාතාවේ ඉගැන්නුවාලු. ඒ මදිවාට කනුපැලැල්ල, මයිලගස්තැන්නේ ඉඳන්
සුජාතාවටම යන නඩයකුත් හිටියේය. අනේ, එතකොට මං හරීඊඊඊඊඊඊ cute ලු.
මට හිතෙන්නේත් එහෙමය. මෙතැනදී මං සාක්කියට කැන්දන්නේ
පුංචිම සන්දියේ මගේ ෆොටෝ දෙකකි.
පුංචි රංජියා කියුට්ද? |
ඉස්සර ඉතින් වතුර බෝතල, පොත් බෑග් තිබ්බේ එහෙමත් කෙනෙක්ටනේ. කන්දක් විතර පොත් ගොඩක් උස්සාගෙන යන්න තිබුණේත් නැහැ. ඉස්කෝලේ ගියෙත් කට්ටි, කට්ටි ගැහිලා. එහෙම යන-එන ගමනේදී කට්ටියටම දන්නා-අඳුනන ගෙවල් ගාවදි කාටත් ‘දිය තත්තේ’ හැදෙනවාමයි. ඔන්න ඉතින් අර ගෙදරකට ගොඩ වැදිලා, කතා කරලා, වතුරත් ඉල්ලාගෙන බොද්දී දැන-හැඳුනුම්කමුත් වගා-දිගා වෙනවා.
ඒකක ප්‍රතිඵලය තමයි මාවත් ඉස්කෝලෙට එක්ක යන්න
ඉල්ලීම. ආආආ..... ඒ දවස්වල ‘මොන්ටිසෝරි මුරුගසන් වරුසාව’ වැටිලා තිබ්බෙත්
නැහැනේ!
එතකොට සුනිල් මල්ලී ඔක්කේ ගහගෙන, ලොකු නංගිව කුසේ දරාගෙන
උන්නු අපේ අම්මාත් එක වරුවකට හරි මගෙන් නිදහස් වෙන්න හිතන්න ඇති. තාත්තත් ඒ
අයිඩියාවට විරුද්ධව මොකුත් කියූ බවක් තවම නම් මට හෙළිවී නැත. (ගෘහස්ත සාමය ආරක්ෂා
කරගන්නයි, බිරිඳගේ හිත දිනාගන්නයි තමාලු අපේ තාත්තා එහෙම කරන්න පුරුදු වෙලා හිටියේ).
ඒකේ ප්‍රතිඵලය විදියට, මං සුජාතාවට යන්නට පටන් ගත්තාලු;
ඉස්කෝලෙට ඇතුළු කරන්නෙත් නැතිවම. එතකොට
ළමයින්ව ඉස්කෝලේ නොයවන අයට විරුද්ධව නඩු දාන කතාවකුත් මං අහල තියෙනවා! දැන්
කොහොමද?
පපුවෙයි පිට පැත්තෙයි කතිර දෙකක්.... |
කොට කලිසමක් හා කමිසයක් ඇඳ, එක උරයකින් පුංචි පොත්
බෑගයකුත් අනෙක් උරයෙන් පුංචි වතුර බෝතලයකුත් දමාගෙන මං උජාරුවට සුජාතාවට ගිය
හැටිය, ඈතම මතකයේ රැඳී ඇත්තේ. එහෙම යද්දී මට කවුරුනුත් කතා කළේ ‘රංජි’ කියා නොවේ.
‘කතිර බබා’ කියලාය. දෙපැත්තෙන් එල්ලාගෙන යන බෑගයත්, බෝතලයත් පපුව මැදදී කතිරයක්
ලකුණු කරමින් තිබුණු නිසාය ඒ!
බදුල්ලේ පාලමේ එහා කෙළවරෙන් පල්ලමට ඇති අඩි පාරේ සීරුවට
බැහැලා සුජාතාවට යන එක ලේසිය. ආපහු එද්දී නම් එතැනින්ම නඟින එක පොඩි අයට තියා ලොකු
අයටත් අමාරුය. ඔන්න, එහෙ ගිය වෙලාවක බලන්නකෝ.
ඉතින්, අද හිතෙන්නේ එදා මං එල්ලන් ගිය බෑගයයි, බෝතලයයි
නිසා ඉබේ මැවුණු ඒ කතිරය තව දෙයකුත් සංකේතවත් කළාවත්ද?
එතකොට අපට හරි සරුය. තාත්තාට කිරි හරක් කිහිප දෙනකුම
හිටියේය. බඩු උකස් ගෙන පොළියට සල්ලිත් දුන්නේය. බදුල්ලේ සීයා කුඹුරු අස්වද්දා වී
කොටසකුත් අපට ගෙනවුත් දුන්නේය. ඒ අස්සෙම බූරුවා කෙළියෙනුත් තාත්තාට වාසි වුණාවත්ද?
ඒ මේ වැඩ හිංදා අපේ තාත්තාට ඉස්පාසුවක් තිබුණේම නැතිවා වාගෙය.
ඔහොම කප්පරක් වැඩ තිබුණු හිංදාම වෙන්නැතිය; අපේ තාත්තා
අපව හුරතල් කළ බවක ඡායාවක්වත් මගේ මතකයේ නැත. කල්ප කාලාන්තරයකට වතාවක්වත් අපේ තාත්තා මට
‘පුතේ’ කියා කිව්වෙත් අසෝක වීදුරුවෙන් කාලක් බීගත්තාට පස්සේය. එතකොටත් කළේ ‘මෙහෙට
වරෙන් රංජි.’ කියා විධානයක් කොට ඔහුගේ ළඟට ගෙන්නා, හිස අතගා ‘උඹ හොඳට ඉගෙන ගන්න
ඕනෑ.’ යැයි දරදඬු හඬින් මැතිරීමය.
එහෙම අවස්ථාවක් ආවෙත් කවුරු හරි තාත්තාගේ යහළුවෙක් ගෙදරට
ආ වෙලාවකය, රෑ කෑමටත් නැවතුණෝතින්ය. ඇත්තම කිව්වොත් අර ඔළුව අතගා දෙන රළු අවවාදයට
වුණත් ලෝබකමෙන් යුතුව මං බලා උන්නේ කවුරුන්ම හරි ගෙදරට කඩා වැදෙනකල්ය.
අම්මා ඊට හපන්ය. කලිනුත් කියා ඇත. ඇය දරුවන් වදන්නට
හපනියක වුණාට හදන්නට හපනියක නොවේ.
අපේ ගෙදර දරුවන් සේරෝම ගහට-කොළට හැදුණා විනා
අම්මාගේත්, තාත්තාගේත් හුරතලයක් නම් වින්දෙම නැතිවා වාගෙය. දෙන්නාටම දරු සෙනෙහස
තිබුණා වෙන්නට ඇත. පෙන්නුවේ නැතිවා වාගෙය. ‘දරුවන්ට ආදරේ පෙන්වන්න ඕනේ රෑට එයාලා
නිඳාගත්තාට පස්සෙයි’ කියන නරුම පඬි වදනකුත් අපේ තාත්තා තදින් ඇදහුවේය.
දැන් නම් එහෙම ‘පණ්ඩිලා’ අඩුයි වාගෙය. හැබැයි නැත්තටම
නැතිවී ගිහින් නැත. ඔය දරු සෙනෙහසේ දිග-පළල සතියකට වතාවක්වත් දැකීමේ වාසනාව දැන් අපට ඇත. අපය කිව්වේ
නෙවිල්ටයි, මටයිටය. එයිනුත් හොඳම දවස ගැන අපි තවමත් කතා වෙන්නෙමු!
දැන් නම් එහෙම පණ්ඩිලා අඩුය! |
අවුරුදු හත-අටකට උඩදී දවසක් මාත්, නෙවිලුත් හැන්දෑවක
අයස්මන්ත දොස්තර මහත්තයාගේ ගෙදරට ගිහින් හිටි වේලාවකි මේ. ඒ ගියේ නෙවිල්ට
ගෙන්වාගත් කැමරාවක් අරගන්නටය.
ප්‍රීතිකා නංගී; පීරිස්ගේ ප්‍රියම්බිකාව එවෙලේ හරිම
‘බිසිය’. ඇඳුම් මදිමින් හිටි හින්දාය. එයා කලබලෙන්ම අපට තේ හදාදී, දඩිබිඩියේ ආපහු
ඇඳුම් මැදිල්ල පටන් ගත්තාය.
“අනේ අයියලා තරහ වෙන්න එපා, සත්තරනේ. දැන්ම මේකත් ඉවර
කරගත්තේ නැතිනම් මං සකල අමාරුවක වැටෙනවා. උදේට රෙදි මදින්න බැහැ අප්පා”. ප්‍රීතිකා
නංගිගේ හැටි එහෙමය. හරිම කඩිසරය, විවෘතය, සුහදය.
ඇය අරහෙම කියලා කට ගන්නටත් කලින් චූටී අම්මා ළඟට දුවගෙන
ආවේ half sheet එකක් උස්සාගෙනය.
“අම්මි මේ, මං ඇන්දා.” ප්‍රීතිකා යාන්තමට ඔළුව ඉස්සුවාය;
බැල්මක් දැම්මාය. “හරී ෂෝක්. තව අඳින්න පුතේ.” කිව්වාය. ඊළඟ විනාඩියේ තව කොළයක්.
තව බැල්මක්. “ලාස්සනයි කෙල්ලේ!” ආයේ, ආයේ එකම චක්කරය කැරකිනි.
එතැන ඉඳලා චූටි දුව විනාඩියෙන් විනාඩියට අඳින පින්තූර
උස්සාගෙන එයි. අම්මාට පෙන්නයි. ප්‍රශංසා ලබයි. එහෙම ඉවසීමක්! ඒ මව්වත්කමය. දැනටත්
ඒ ගෙදරට යන වාරවලින් වැඩිම ගණනකදී පීරිස්ගේ සරුවාංගය පුරාම කාබන් පෑන් දෙක තුනක
තීන්තය. “චූටිට ඕනේ තරමක් ඇඟේ බලිකුරුටු අඳින්න දෙන්න එපැයි, මං ගෙදර ඉන්නවා නම්.”
ඒ පීතෘ සෙනෙහසය.
චූටිට ඕනෑම කෝළමක් කරන්නට තාත්තා ඉඩ දෙයි! |
එව්වා දකිද්දී නම් ‘දිසානායක දූ දරුවන්ට’ පුංචි කාලෙදී
miss වී ඇති තරම කොච්චරද කියා හොඳට පෙනෙයි!
දැන් තවත් දර්ශනයකට මාරු වෙන්නට වෙයි. මේවා එකකට එකක්
වෙනස් වගේ පෙනුණත් link වෙවී තියෙන නිසා නොකියා කොහොමද?
අපේ තාත්තාට කිරි හරක් කිහිප දෙනෙකු හිටි බව මුලදී
කිව්වෙමි. කිරි දොවා, බෝතල් කොට ඒවා බෙදා හරිද්දී පුංචි මටත් කොටසකට කර ගහන්නට
සිද්ධ වුණේය. බදුල්ලේ ස්ටේෂන් මාස්ටර්ගේ ගෙදරටත් කිරි බෝතලයක් හෝ දෙකක් හැමදාම මං
ගෙනිච්චේ ඒ අනුවය.
ඒ යුවළම ඒ දවස්වල තුරුණු වියේ අග්ගිස්සේ හිටි බවය මට මතක! ‘නෝටි
ෆෝටිවලට’ කිට්ටුවෙන්වත්ද?
මාසයේ අන්තිමට අපේ තාත්තා පුංචි තුණ්ඩුවක අපට ලැබෙන්නට
තියෙන මුදල ලියා මගේ අතට දෙයි. මං ඒක දුන්නාම, එදාම එයාලා ඒ සල්ලිත් මගේ අතේම
තාත්තාට එවන්නටත් පුරුදු වෙලාය හිටියේ. එදාත් එහෙම දවසකි. ඒ වාගේම උදේ ඉඳන්
‘චිරි-චිරි-චිරි-චිචිරි-චිරි’ පොද වැස්සකුත් ඇද හැලෙන්නට පටන් අරන්ය.
වෙනදා පුරුද්දට මං බංගලාවේ දොරට තට්ටු කළෙමි. සද්දයක්
නැත. ආයෙමත් සැරෙන් තට්ටුවක්..... ඒත් ම්හු! ටිකාක් සද්දෙන්, ‘සර්! මහත්තයා....’
සර් වචනය කට ඇරලා කියන්න බැරි එකකි, මහත්තයා එකේ ‘තයා’කෑල්ල අඬහැරේකටත් ඔට්ටුය! ඒක
නම් ඇහුණා වගේය.
වෙනදා පුරුද්දට මං........... |
“ආආආආං රංජී, ඔහොමම ඇතුළට එන්න. අපි මෙහෙ.....” ස්ටේෂන්
මාස්ටර් මහත්තයාගේ කටහඬ ඇහුණේ ඇතුළු කාමරයකිනි. කිරි බෝතලුත් උස්සාගෙනම මං ඒ
පැත්තට ඇදුණේ පැකිළෙමිනි. වෙනදාට නම් එහෙම කතා කරන්නේ නැත, කවුරුන් හරි ඉස්සරහට
ඇවිත් කිරි බෝතල් ටික අරගන්නවා මිස!
“කෝ එනවද??????”
“ඔව් සර්!”
කාමරයේ දොරත් හායි ගාලා ඇරපු ගමන්ය. කාමරයට ගියා විතරය.
මා ගැස්සී ගියේය. මොකක්දෝ ලජ්ජාවක් මගේ ඇඟ පුරාම දිව්වා තවමත් මතකය.
නමුදු මා
දුටුවේ අතිශය සොඳුරු ප්‍රේමාලිංගනයක වෙළී හුන් අඹු-සැමි දෙන්නාය. නිදන කාමරයේ සයනය
මත අඩ නිරුවතින් වගේ, එකිනෙකාට තුරුලුවී හිටි දෙන්නාය. දෙන්නාගේ යටිකය නම්
ඇතිරිල්ලකින් වැහිලාය.
මොන හේතුවකටද කියන්නට දන්නේ නැතත්, මා ඒ දසුනින් ඉමහත්
සතුටකට පත්වුණු බව නම් තවමත් මට මතකය.
අදටත් ඒ පියකරු දසුන මා උණුසුම් කරවයි. ඒ
දසුන චිත්‍රයට නඟන්නට හැකියාවක් නැති බැවින් ඊට ඉතාමත් ආසන්න මේ දසුන ‘If Only’
චිත්‍රපටයෙන් ගෙනහැර පාන්නෙමි!
ඒ සොඳුරු ආලිංගනය ............... |
වෙනත් පුංචි දරුවෙකුටත් ඔව්වා ඔය තරම් අපූරුවට හිතට කාවදිනවාද
කියලා නම් මා දන්නේ නැත. එය හොයාගන්නට ක්‍රමයකුත් නැත. කොහොමත් මට ඇත්තේ උකුසු ඇස්
දෙකකි; අලි කන් දෙකක් හා මතකයකි; සර්ප දිවකි! යමක් දකින පමාවෙන් 99% ක්ම උකහාගෙන
සේරෝම දත්ත ගබඩා කරගැනීමය මගේ පුරුද්ද.
ඉතින් ඔය විදියේ පසුබිමකය ‘ෂර්ලි’ මගේ කතාවට ඇතුළු වන්නේ.
එතකොට ෂර්ලි ගැටවරයෙකි. දැන් තේරෙන්නේ ගැටවරයෙකි කිව්වාට
විස්සක් විතරවත් ඇතිය කියලාය. නැතිව කොහොමද මනුස්සයාට CGR එකේ රස්සාවක් ලැබෙන්නේ?
ෂර්ලි
ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රස්සාව කළත්, අපේ තාත්තා එයාගේ වැඩවලටත් ෂර්ලිව යොදා
ගත්තේය. විශේෂයෙන් මගේ පහිනපත්වලට. ps සර්විස්වලට! හරියටම කියනවා නම් මාව
සුජාතාවෙන් එක්කං එන්නට.
එතකොට ෂර්ලි ගැටවරයෙකි. |
ඉස්කෝලෙට ඇතුළු කරගෙන නැතිවත් මං හිටියේ හෝඩියේ පංතියේය.
එව්වා වේලාසන ඇරෙයි. මාව එක්කං යන අක්කලාගේ පංති ඇරෙන්නේ ඊට පැයකට විතර පස්සෙනේ.
ඉතින්
වැඩියත්ම මං කරන්නේ පාළු පන්තියේ, තනිවම වාඩිවී කිරා වැටෙන එකය. කොහොමින් හරි
තාත්තාට ඒක ආරංචිවී තිබිණි. “රංජියා පව්. අපි ෂර්ලිව යවලා කොල්ලව ගෙන්නා ගමු
කලින්.” තාත්තා ෂර්ලිව වැඩේට පංගාඩම් කරගත්තේ එහෙමය.
අපේ තාත්තාට දැක්වූ සැලකිල්ල නිසාදෝ ෂර්ලි කවදාවත්
පරක්කු වුණේ නැත. නොසැලකිල්ලක් පෙන්නුවෙත් නැත. තාත්තා පවරා තිබුණු රාජකාරිය නූලටම
ඉටු කළේය. කොටින්ම ඉස්කෝලය ඇරී එද්දී මගේ පොත් බෑගයත්, වතුර බෝතලයත් උස්සාගෙන
ආවෙත් ඔහුමය!
2004 දී විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ජයතිලක
කම්මැල්ලවීර මහතාගේ කෙටිකතා පොතක දෙවන මුද්‍රණය පළ කළේය. එය පරිවර්තනයකි. පොතේ
මුල්ම කෙටිකතාව ‘ඉසබෙල් අයියන්දේ’ගෙය. ‘පව්කාර දරුවා’! ඒ ජයතිලක මහත්තයා කතාවට දී
තිබුණු නමයි.
අවුරුදු 11ක දියණියක් වන එලීනාත් සමඟ, බෝඩිමක් පවත්වාගෙන
යමින් ජීවිකාව රැකගන්නා තනිකඩ මවක් ක්‍රමයෙන් ජුවාන් ජොසේ සමඟ ගොඩනංවාගන්නා
සම්බන්ධකමකි. එලීනා මෙය දකියි. අම්මාගේත්, බෝඩිංකාරයාගේත් ලිංගික හැසිරීම් දකින
එලීනා ටිකෙන් ටික ජෝසේට ආශක්ත වන්නට පටන් ගනියි. කුතුහලයෙන් ආතුර වෙන්නට වෙයි.
ඔහු
පිළිබඳව වියරු වැටෙන ඇය, දිනක් මව මෙන් සැරසී, කාමිනියකසේ ජෝසේගේ යහනට කඩා පනී. ජෝසේ
කැහැටු, නොමේරූ දැරියක වන එලීනාව පන්නා ගනී. හොඳම හරිය එන්නේ ඊට වසර කිහිපයකට
පසුවය. දැන් එලීනා තරුණියකි. දුරක සිටින ඇය යළි නිවසට එද්දී ජෝසේ බලන් ඉන්නේ ඇගේ
කාම වියරුව තවමත් ඇතැයි සිතමිනි........ ඇය ගැන සිහින මවමිනි........ යළිදු ඇය තම
යහනට කඩා වදිතියි සිතමිනි....
ජයතිලක කම්මැල්ලවීර හා ඉසබෙල් අයියන්දේ........... |
ඉතිරි ටික කියන්නට මට හිත දෙන්නෙම නැත. ඔයාලා ඒ කතාව
හොයාගෙන කියවතැයි හිතෙන නිසාය. සහතිකය. ඒ කෙරෙන මහන්සියට ප්‍රතිඵලය වටිනවාය. මට
නම් ඒ කතාව ඒ තරමට රසවත්ය.
ජෝසේ හිටියේ ඉසබෙල් අයියන්දේගේ මනෝ ලෝකයේය. පසු කාලයේ
ජෝසේගේ මනෝ ලෝකය පුරාම රැජණකවී උන්නේ එලීනාය.
ෂර්ලි හිටියේ එහෙම මනෝමය ලෝකයක නොවේ;
ප්‍රබන්ධ කතාවක නොවේ. මිහිපිටය. හැබෑ ලෝකයේ
ලෙයින් මසින් පිරිපුන්වය. එතකොට මගේ මනෝ ලෝකයේ? එතැන ඔහුට කොතරම් ඉඩක්
තිබුණේද? අදටත් මා දන්නේ, මට ඒ ගැන කිසිම ගනිච්චියක් නොවුණු බව විතරය. හැබැයි,
ලොකු ඉඩක් තිබුණාම වෙන්නැතිය.
ඉතින්, සමහර දවස්වලට අප ගෙදර එද්දී අම්මා ගෙදර නැත. මහ
ගෙදරට ගිහින්ය. එහෙදී අම්මාට සුනිල්ව බලා ගන්නට වෙන්නේ නැත. උයන්නට වෙන්නේ නැත.
ගමකදී ගැබ්බර ඇත්තියක් දැක්කාම කාටත් උණු වෙයි. ගෙදර ඉදෙන කෑමකින් කොටහක් අර
ඇත්තියටත් ගෙනවිත් දෙයි. අපේ අම්මාගේ වග හොඳට තේරෙන මං හිතන්නේ, අම්මා ඒ වාසිය
උපරිමයෙන්ම භුක්ති විඳි බවයි. අපේ අම්මා අදටත් එහෙමය. ‘ඇඩ්වාන්ටේජස්’ ගන්නට
දෙයියෙකි.
එහෙම දවසට ෂර්ලිගේ වැඩ තවත් වැඩිවෙයි. මාව කනුපැලැල්ලේ
ගෙදරට ඇරලවන එකත් ඔහුටම බාරය. ඒත් ෂර්ලි ඒකත් කළේය. කැමැත්තෙන්ම එහෙම කළා වෙන්නට
ඇත. ඊට වැඩි දේකුත් එක්කම.....!
එව්වාට ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පඩිත්
ගෙවන්නට ඇතුවා නිසැකය!
ගැබ්බර ඇත්තියක් දුටුවාම... |
ඉතින්, අදට විරාමයක්
ගෙන, ඒ හරිය කියන්නට ඊළඟ කොටසට යන්නෙමි.
අද නං කතාව යන අහක් තේරෙන්නෙ නැහැ උඩ යට මාරු වෙලා වගේ :)
ReplyDeleteඑහෙමද? වැරද්දක් නම් කියන්නකෝ අනෙක් කොටස් දෙකත් කියවලාම.
Delete