අකුරු මැකී නෑ

Thursday, November 29, 2018

ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස


 ඇය කළුය. එහෙත් දැකුම්කලුය. එමෙන්ම රළුය; යුහුසුලුය; ලිස්සා යනසුලුය!

ඇය මෙච්චර සිරියාවන්ත නැතත්.....
එහෙම නැතිව ඇයගේ රාජකාරිය කරන්නට බැරිය. ඒ කිව්වේ වෙළෙඳාම් වැඩේය. දවස තිස්සේ කෙරෙන වෙළෙඳාමක් ඇයට තිබුණේ නැත. ඇයට තිබුණේ හරිම චුට්ට වේලාවකි. උදේට නම් මහා පාන්දර පහමාරට විතර රාජකාරිය පටන් ගන්නට ඕනෑය. හතහමාර-අට වෙන්නට කලින් ව්‍යාපාරය කරගෙන අහවර කළ යුතුමය! දවල්ට නම් ඇත්තේ පැයක ඉඩක් විතරය. හවසටත් එහෙමමය.

“හොඳට බලාගනිං. වැඩේ හරියට අල්ලා ගන්න නම් ඔය අම්මණ්ඩි කරගෙන යන විදිය බලාගනිං. ඔය මනුස්සයා තමයි නොම්මර එකට බිස්නස් එක කරගෙන යන්නේ!” අපේ තාත්තා මට කීවේය. ඒ 1970 මැද හරියේ දවසකය. 
“තව අය ඉන්නවා. මේකිට කිට්ටු කරන්නවත් බෑ. මේකි තමා කප් ගහලා ඉන්නේ! පිරිමියෙකුට හපන්, මහ පඩික්කම් කටක් තියෙන්නේ.”

නොදන්නා දෙයින් දන්නා දේකට යන එක අමාරුය. දන්නා දේකින් නොදන්නා දේකට පිවිසෙන එක ටිකාක් විතර ලෙහෙසිය. මට තෝරාගන්නට තිබුණේ දෙවැන්නයි. 

එතකොට තාත්තා හිටියේ කොළඹ මහ රෝහලේ, වාට්ටුවක ලෙඩෙක් වෙලාය. තාත්තා පෙන්නූ ගැහැනිය යන-යන තැනට මගේ ඇසුත් දිව්වේය. ඒ ඇයව අධ්‍යයනය කරන්නටය.

වයස අවුරුදු තිහක්-හතළිහක් විතර ඇති. කෙට්ටු ඇඟ. ඇඳලා හිටියේ රෙද්දයි හැට්ටෙයි. කිසිම විශේෂයක් බලපු බැල්මට නම් පේන්නෙ නැහැ. ඒත් ඒ ගෑනු කෙනා උස්සගෙන හිටිය වේවැල් බෑග් දෙක නම් හොඳටම බරයි! 

බුලතාගේ පවුලත් මේ වගේ වෙන්නැති! යක්ෂ අම්මණ්ඩියෙක්නේ එයාත්! මට හිතෙන්නේ එහෙමය.

සොරබොර වැව් කඳාණෝ......
බුලතා දුටුගැමුණු රජ්ජුරුවන්ට, රජ්ජුරුවන්ගේ සේනාවට බුලත් වැවූ යෝධයාය. හිටියේ මහියංගණයේය. ඒ දවස්වල රජතුමාගේ හමුදා සේනාව මහියංගණ චෛත්‍යය හදමින් හිටියාලු.

ඉතින් යෝධකමට බුලත් වැව්වත් අතපය කැසිල්ල ඉවරයක් නොවුණු තැන බුලතා සිල්ලර වැඩක් පටන් ගත්තේය. හොරෙන්ම, නිවිහැනහිල්ලේ ටිකෙන්-ටික; බිඳෙන්-බිඳ වැඩේ කරගෙන ගියේය. ප්‍රසිද්ධියක්, පට්ටමක්, සම්මානයක් බලාගෙන නොවේ බුලතා ‘සොරබොර වැව’ හැදුවේ. රටට, ගමට, ගං පලාතට වැඩක් වෙයි කියා හිතාගෙනය. වැව හදන කාලයේ ‘බුලතී’ත් ‘අනේ, මේ මනුස්සයා නැහීගෙන කරන වැඩේට support එකක් දෙන්න ඕනෑනේ’ කියලා හිතුවා. හිතලා බත්, මාළුපිනි හදාගෙන, බටපොතු පෙට්ටියක අඩුක් කරගෙන සොරබොරට අරන් ගියා හැමදාම.

මිනිහටම කැපෙන ගෑනි. ඔහොම යන-එන ගමන් මේ අම්මණ්ඩි තඩි කළුගල් කුට්ටි උස්සාගෙන ගිහිං යන පාරේ පඩි පේළියක් හදලා. ඔන්න ඔයාලා මහියංගණේ පැත්තේ යනවා නම් ‘ගල්පඩි හෙළ’ ගැන විපරමක් දාන්නකෝ!

චෛත්‍යය හදලා ඉවර වෙද්දී වැවත් හැදිලා ඉවරයි. ඇඟ විතරක් තිබ්බට මදිනෙ. මොළෙත් තියෙන්න ඕනේ. විශේෂයෙන් රජ, මැති, ඇමැතිවරුත් එක්ක වැඩ කරද්දී.

අනේ, බුලතාට වැරැදුණේත් එතැනදී තමා. බුලතා හරිම සර්ධාවකින් දුටුගැමුණු රජ්ජුරුවෝ වඩම්මලා ‘සොරබොර වැව’ මහා රජ්ජුරුවන්ට ඔප්පු කළා. රජ වුණාම හැම රෙද්දටම තණ්හාව වැඩි වෙනවාද මන්දා, දුටුගැමුණු නරෝත්තමයාට පෙනුණාලු, චෛත්‍යය හැදුවාට වැඩිය පිනක්; කීර්තියක් මේ වැඩේට ලැබෙන බව.

ඔන්න බුලතාට වැරැදුණු තැන......

“වැව දිය මට. වෙහෙර ගං තොට!” කියලා රජ්ජුරුවන්ට නිකම්ම කියවිලා. හුවමාරුවට බුලතා කැමති වෙලා නැහැ. ඒකෙනුත් වැඩක් කරගෙන තියෙන්නේ වටේ හිටිය ඇම්බැට්ටයෝ. 

උන් කොච්චර ලස්සනට ගුළිය ඇඹරුවාද කියතොත් වැඩි දොහක් යන්න කලින් බුලතා හිස් ගැසුම් කෑවාලු. දන්නවද? අදටත් සමහරු මහියංගණයට කියන්නේ ‘වෙහෙරගංතොට’ කියලයි.

ඔව්වා දැනගෙන හරි- නැතිව හරි, මේ ගෑනු කෙනා ‘බුලතී’ වගේ දහිරියෙන්, වීරියෙන් වාට්ටුවක් ගානේ ‘රුවන් සක්මනේ’ යෙදෙමින් ජීවිතේ ගැටගහගන්න දත කෑවා. බර වේවැල් බෑග් දෙකක් පිරෙන්නම ඉඳියාප්ප මුල්, බුලත් විට, බීඩි, සිගරැට්, ටොෆී, තල කැරලි වගේ දේවලුත් අරගෙනයි එයා ගියේ. ලෙඩ්ඩුන්ට විකුණන්න.

හිතුවේ ඒක කියන තරම් ලේසියි කියලද? අනේ නැහැ. 

මිසීලට වැඩිය පරෙස්සම් වෙන්න වුණේ ‘සිස්ටර්ලාගෙන්’. “උඹටත් දැන් තියාම එහෙම සිස්ටර්ලා දැනගෙන ඉන්න එක වාසියි. සමහරුන්ට කිසිම හිතක්-පපුවක් නැහැ. උන්ගෙන් තමා පරිස්සම්වෙන්න ඕනේ.  අහුවුණොත් නම් පුතෝ බඩු ටික සේරම අරගන්නවා. එයාලට උඹව පොලිසියට වුණත් බාරදෙන්න පුළුවන්!”

ඔය විදියට ටියුෂන් ගන්නට වුණේ මගේ දඩබ්බරකම හින්දාය. ‘මඩ ගොහොරුවක පචවී’ පෝස්ටුවලින් කිව් විදියට unp පක්ෂයට කඩේ ගියාට පස්සේ ‘පේව්මන්ට් එකේ රජවෙන්නට’ මගේ හිත ඉඩ දුන්නෙම නැත. එහෙම මහන්තත්තකම් පෙන්නුවාට අපේ බඩේ රැලි මැකෙන්නේ නැති බවත් මට අමතක නොවීය. ඉතින්, ‘ඉස්පිරිතාලේ බිස්නස් කරන රස්සාවට’ පත්වීමක් මමම මටම දීගත්තෙමි.

ඒකත් උදේට විතරය. ඉස්කෝලේ යන්නත් තිබ්බානේ!

ඉඳියාප්පේ...........
ඉස්සෙල්ලාම ටියුෂන් ගන්නට වුණේ අපේ ආච්චීගෙනි. ඒ ඉඳියාප්පවලට පිටි අනාගන්න හැටි ගැනය. 

දැන් නම් ඉඳියාප්ප පිටි වෙනම ඇත. ඒ දවස්වල කඩෙන් ගන්නට තිබුණේ නිකම්ම නිකම් ‘ඇමරිකන් පිටි’ විතරය. එතකොට අමෙරිකාවෙන් තිරිඟු ඇට ලංකාවට ගෙනත් කුඩු කරවලා, රොඩ්ඩ විතරක් අපටත්- නිවුඩ්ඩ එක්ක හොඳම හරිය ආපහු ඇමරිකාවටත් පටවන කොම්පැනි ලංකාවට ඇවිත් තිබුණේත් නැත.

“පුදුමේ කියන්නේ නිමල් අයියේ, ඉස්සර වගේ නෙවෙයි, දැන් තියෙන පාන්පිටිවල පට්ටේ ඇදෙනවා අඩුයිනේ. ඒ කාලේ පිටි කෑම හදන්න ලේසියි. පෝරණුවෙන් පාන් බාන වෙලාවට පලාතම සුවඳයි. ඒකටත් එක්ක දැන්....”. 

තලපත්පිටියේ කැලෑ බේකරියේ දයානන්ද මුදලාලි මේ ළඟදී මගෙත් එක්ක කිව්වේය. (අපේ කට්ටිය එක්ක සෙට් වෙන්නට එද්දී දයාගේ රෝස්පාන් ගෙනෙනවාමය.) ඉස්සරෝම ප්‍රින්ටින් රස්සාව කළත් දයාට හරි ගියේ බේකරි කෙරුවාවය. දයා කියන්නේ ඇත්තකි. දැන් පාන් මෝලිය හදද්දී පට්ටේ ඇදෙන්නේ නැත්තේ ‘ග්ලූටන්’ අඩුකම නිසාලු. ඒක පෝෂණය අඩුවෙන්නටත් හේතුවක්ද?

පාන්වලට පිටි මෝලිය අනන්නේ සේරම දේවල් ගණනට මිම්මට කිරා දමලාය. ඉඳියාප්පවලට එහෙම කරන බවක් මං අහලා නැත. “ඒ වුණාට පුතේ හරි පදමට පිටි ටික අනාගත්තේ නැත්තං ඉඳියාප්ප ටික මිරිකලා ඉවරවෙද්දී අතේ කරගැටත් ඇවිත් තියෙයි.” ආච්චී කිව්වාය.

“ඒ කිව්වේ?”

පිටි මෝලිය අනද්දී..............
“මෙහෙමයි. වතුර වැඩිය උණුවෙන් තිබුණොත් පිටි ටික තැම්බිලා වැඩිවෙනවා. එතකොට ඉඳියාප්ප ටික හරියට මිරිකාගන්න බැරිවෙනවා. හොඳටම තද නිසා. කොයි මක් කරලා හරි මිරිකාගත්තයි කියමුකෝ. ඒත් පුතේ, ඉඳියාප්ප ටික බෙරිවෙලා වගෙයි හිටින්නේ.” ඒ බෙරි වුණු ඉඳියාප්ප අතේ ඇලෙයි, ලඩ ගැහෙයි.

ආච්චී කියලා දුන් විදියට නම්, පිටි අනන්නට ගන්න වතුර නිවිලා තිබුණත් විපතකි. එතකොටත් ඉඳියාප්ප මිරිකීම අසීරුය. මිරිකාගත්තත් ඒවායේ හිටින්නේ දරදඬු පාටකි. “මල් ටික වගේ තියෙන්න ඕනෙ ඉඳියාප්ප ගල් වගෙ වුණාම කන්න හිතෙනවය?  රංජි, නිවිච්ච වතුරෙන් පිටි ටික අනලා, වරුවක් තැම්බුවත් ඉඳියාප්ප ටික ගල් වගේම තමයි!”

සමහර හෝටල්වලදී හරියට නොතැම්බුණු ඉඳියාප්ප ඔබටත් හමුවී තිබෙන්නට හැකිය. අතට ගන්න විටම කැඩෙන්නේ, යන්තම් පොඩි කළත් ගුලියක් වාගේ චප්ප වෙන්නේ එහෙම බාගෙට තැම්බුණු ඒවාය.

ඉතින් පිටි අනන්නට කලින් පිටි තම්බා ගන්නා හැටි කියලා ඉන්නට ඕනෙ නේද. මුල ඉඳන්ම කිව්වා වෙන්නේ එතකොටය. එතනදීත් ඉතින් ඕල්රවුන්ඩර් වැඩකාරයා වුණේ මං වහන්සේම හිංදා මගේ දවසේ වැඩ සටහනත් එක්කම කිව්වාම කතාවේ ලකයක් තියේවි.

පටන් ගනිමු මෙතැනින්. මෙන්න, කාල සටහන; routine එක.

ඇදගන්න අමාරු බරක්......
උදේ හත-හතාමාර වෙනකොට බස් හෝල්ට් එකට අනිල් මල්ලී ඇවිත් ඉඳියි. ඒ එන්නෙත් එයාගේ තරමට වඩා බරක් අදින්නටය. 

ඒ මගේ ඉස්කෝලේ පොත් ටිකත් අරගෙනය. ඉඳියාප්ප ටික විකුණලා ඉවරවී ඇස් වාට්ටුවේ සිට මං එනතෙක් ඔහු බලා සිටී. බස් එකෙන් බහින පමාවෙන් අපි දෙන්නම දුවන්නේ සෙන්ට්‍රල් බේකරිය හා හෝටලයටයි... ගෙදර අයට උදේට කන්නට දේවල් ගන්නේ එතැනිනි. ඊළඟට ගමගේ ස්ටෝර්ස් එකටය. පාන් පිටි ගත්තේ එහෙන්ය. එව්වා සේරම මගේ අතේ තියෙන වේවැල් බෑග්වලට දැමුවාම, බෑග් දෙක අනිල්ගේ අතට යයි. ඉස්කෝල පොත් ටික මගේ අතට එයි. ඔන්න ඉතින් මං ඉස්කෝලෙය!

මං ගියේ විද්‍යාකර විද්‍යාලයටය. 

දැනටමත් පෝස්ටු ගොඩකදී ඒ ගැන කියලා තියෙනවානේ. සුනිලුත් ගියේ ඒකටමය. අනෙක් නංගිලා මල්ලිලා සේරම බුවෙනකබා විද්‍යාලයට ගිය අයයි. 
අපේ ගෙදර සිට වෙළෙන් පැන්නාම, බුවෙනකබා ප්‍රාථමිකයට විනාඩි පහෙන් යා හැකිය. ඒ නිසා බඩු බෑග දෙකත් උස්සාගෙන ගෙදර දුවන අනිල්, කඩිමුඩියේ පාන් බාගයක් විතර ගිලලා ඉස්කෝලෙට දුවයි. එතකොට එයාත් ඉස්කෝලේය.

ගෙදර මොන ප්‍රශ්න තිබුණත් අපේ හැමෝම පාසල් ගියෝය. නොගියොත් ලෙඩකි! හැබැයි ලෙඩක් වුණාම නම් ගෙදර ඉන්නට වරම් ලැබෙයි!

ඒ කාලයේ අපේ ගෙදර ඉදුණේ ලොකු බත් හැළියකි. ඒත් රෑට විතරය. තාත්තා ගෙදර ඉන්නා කාලයට උයන්නේ තාත්තාය. ලොකු නංගිත්, අනෙක් හැච්චෝ-බැච්චෝත් උදවු කළෝය. රාත්‍රී හත-හතාමාර වෙද්දී සේරම වළං-පිඟන් ගෙයි මැදට වඩී. පොඩ්ඩෝ පිඟන් ටික පෙළ ගස්සමින් තාත්තට සහාය දෙති.

....පෝලිමේ තියන්නට.........
ඉස්සෙල්ලාම මගේ පිඟානය. “මං නැති වෙලාවක වුණත් උඹලා ඉස්සෙල්ලාම ලොකයියාගේ බත් එක බෙදන්න ඕනේ. ඌනෙ දැන් මේ ගෙදර හම්බ කරන එකා.” හුඟ දවසට තාත්තා කියන්නට පුරුදුවී හිටියේය. මේ කියන්නේ සහතික ඇත්තය! ඔය කතාව මතකයේ තිබ්බත්, එහි සැඟවී තිබුණු අගය කිරීම; ඇප්රිෂියෙට් කිරීම මගේ හිතට වැදුණේ මේ කොටන මොහොතේය. ඒ විදියට බලද්දී මාත් නොම්මර එකේ ටියුබ් ලයිට් එකකි! (ඔන්න තාත්තේ, ඔයාට තව ක්‍රෙඩිට් එකක්!)

ඊළඟට තාත්තාගේ, අම්මාගේ, සුනිල්ගේ..... ඔහොම අනුපිළිවෙලට බත් බෙදාගෙන-බෙදාගෙන යයි. ආයේ බත් ඇටයක්වත් මුට්ටියේ ඉතිරි කරන්නේ නැත.

“මොකද්ද ගුණේ, උඹ මේ කරන මූසල වැඩේ?” තාත්තාගේ බෙදිල්ල දකින ආච්චී කොච්චර නෝක්කාඩු කිව්වත් තාත්තා නම් පුරුද්ද වෙනස් කළේ නැත. “බලපන්, හදිසියේ කවුරු හරි ආවා. දෙන්න බත් ඇටයක්වත් තියෙනවද? අනෙක, මේ පොඩි එවුන්ටත් කොත ගහලා බෙදන්නේ උන්ගේ බඩවල් තවත් හාරවන්නද? වෙන ගෙදරක ලොකු මිනිහෙක් කන තරමෙ බත් එකක්නෙ යකෝ මේ පොඩි එකෙක් ගිලින්නේ.”

ශ්‍රියා කාන්තාව වඩින්නේ...........
තාත්තාගේ ප්‍රතිතර්කය වුණේ, අප දවාලට කුස පිරෙන දෙයක් නොකන නිසා රෑ වේල හෝ හොඳින් සප්පායම් විය යුතු බවයි. හැබැයි ඒ පුරුද්ද ඕනෑකමින්ම, හිතාමතාම පස්සේ වෙනස් කෙරිණි. ආච්චී මන්තරයක්සේ එකම කතාව ජප කළ නිසා, කන්දොස්කිරියාවෙන් බේරෙන්නට තාත්තා එහෙම කළා වෙන්නට ඇති.

කොච්චර අග-හිඟකම් තිබුණත් ආච්චී නම් බත් මුට්ටිය හින්දෙව්වේ නැත. හැම වෙලේම එහි බත් මිටක් හෝ ඉතිරි කරන පුරුද්ද! 

“ළමයෝ, හරි නම් උඹලගේ අම්මයි මේවා උඹලට උගන්නන්න ඕනේ. එයා දන්නේ වදන්න විතරනේ, හදන්න දන්නේ නැහැනේ. බින්තැන්නේ පුරුද්ද වෙන්නැති.” ආච්චීට වැඩියත්ම හොඳින් හූමිටි තිබ්බේ- කන් දුන්නේ මා නිසාදෝ එයා සේරම කිව්වේ මටය. ගුරුහරුකම් දුන්නේ මටය.

ඒත් බින්තැන්නේ කතාවට; බින්තැන්න හෙළා දකිනවාට නම් මාත් කැමැති වුණේ නැත. මාත් උපන්නේ බින්තැන්නේය; බදුල්ලේය. ඒ කාරණය බොහොම ආඩම්බරෙන් කියන්නේ ‘ඌව වෙල්ලස්සේ වරුණ’ දන්නා බැවින්ය. ඒත් එදා මං අපේ ආච්චිට  හරස් කපන්නට ගියේ නැත. මොකටද ඒ මනුස්සයාගේ හිත රිද්දන්නේ? 

“ශ්‍රියා කාන්තාව හැමදාම රෑට රෑට හැම ගෙදරකටම වඩිනවා. කුස්සියට යනවාමයි. ගිහින් හෝදපු නැති ඉඳුල් වළං-පිඟන් තියෙනවද බලනවා. නෑඹිලිය උස්සලා බත් හැළියේ බත් ටිකක් හරි ඉතිරියිද කියලත් බලනවා. කුස්සිය අතුගාලා සුද්දෙට තියෙනවද කියලත් බලනවා. එහෙම තියෙනවා නම් ශ්‍රියාව මිටක් ඒ ගෙදරට දමලයි සිරිදේවි යන්නේ.”

“එහෙම නැතිනම්?”

මං එහෙම අහන්නේ බොහොම පරෙස්සමෙනි. කඩප්පුලිකමට අහනවාය කියලා ආච්චිට හිතුණොත් නම් ඉඳලා ඉවරය. අපේ ආච්චී ‘දොරේ හඬයි පඩේ හඬයි දෙකම යස අපූරුවට අඳුනන කෙනෙක්’ නිසා බොරු කරලා බේරෙන්නත් බැරිය. මං අරහෙම අහන්නේ තවත් යමක් ඉගෙන ගන්නටය. අපේ ආච්චීත් ඒක තේරුම් අරන් මගේ කිරියාව ගැන මනාපයෙනි හිටියේ.

එහෙනම්, ඊළඟ  පෝස්ටුවෙදී හම්බ වෙන්න මනාපයි නොවැ, ඉතිරි හරිය දැනගන්න?

2 comments:

  1. ඉඳි ආප්ප නම් තාමත් කනවනේ ඒත් මේක කියෝගෙන යනකොට කොහේදෝ ඉඳල දර පෝරණුවේ පුච්චපු රෝස් පාන් ගෙඩියක් උණු උණුවේ මොකවත් නැතිව පෙරේතකමට කනකොට එදා ආපු රහ දිව අගට දැනෙනව දැනෙනව වගේ දැනුනා :0

    ReplyDelete
    Replies
    1. ලොකු මතකයකින්, රසම රස කොන් කෑල්ලකින් චුට්ටි සංග්‍රහයක් කළාට ගොඩාරියක් ස්තුතියි කණ්ඩා!

      Delete