බූවල්ලන් ලෙසින් අඬු විහිදා ........... |
සමාගම්වලට ඕනෑ මොන උප්පරවැට්ටියක් දමලා හරි එයාලගෙ
නිෂ්පාදන වැඩි- වැඩියෙන් විකුණා ගන්නටය. වැඩියෙන් ලාභ ලැබෙන්නේ එතකොටය. එතැනදී හුඟ
වෙලාවට ඇත්ත යට ගැහෙයි. පාරිභෝගිකයන් මුළාවේ හෙළන්නට කටයුතු සිදු කෙරෙයි! වැරැදි
තොරතුරු ප්‍රචාරය කරවාගන්නට ‘මීඩියාකාරයන්’ අල්ලා ගැනීම ‘හෝල්සේල්’ එකේ කෙරෙයි.
මීඩියාවලට සම්බන්ධ අයට වැඩිය ‘වෛද්‍ය විශේෂඥයන්’ ලොකුය. එයාලාවත් සමාගම්වලින්
සල්ලිවලට ගන්නවා නම්? ඊටත් ලොකු යැයි සැලකෙන මැති-ඇමතිවරුත් සමාගම්වල ඔඩොක්කුවලට
වැටෙනවා නම්.
“පසුගිය සැප්තැම්බරයේ JAMA Internal Medicine ජර්නලයේ පළ
කරනු ලැබූ පත්‍රිකාවක් මඟින් පෙන්වා දී තිබුණේ 1960 ගණන්වල සීනි සමාගම් විසින්
සීනි හා හෘද රෝග අතර සබඳතාව අවප්‍රමාණය කිරීමට හාවර්ඩ් සරසවියේ පර්යේෂකයන්ට මුදල්
ගෙවනු ලැබ ඇති බවයි. ඔවුන්ගේ උපක්‍රමය වී තිබුණේ එම චෝදනාව සීනිවල සිට මේදය දෙසට
යොමු කිරීමයි.
-මේ පත්‍රිකාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ අදට ද අප භාවිත
කරන ආහාර පරිභෝජන නිර්දේශයන් මේ සීනි සමාගම්වල කටයුතු මඟින් හැඩ ගැස්වී තිබෙනවා
විය හැකි බවයි. සමහර විශේෂඥයන් සැක පහළ කරන්නේ අද ලෝකයේ ඇති ස්ථුලතා ගැටලුවට
මෙවැනි වැරදි තොරතුරු හේතු වන්නට ඇත් ද යන්නයි.”
ප්‍රකට විද්‍යා ලේඛක දමිත නිපුණජිත් ‘2018 නොවැම්බර් 21
- විදුසර’ පත්තරේට ලියා තිබුණු ‘ආහාර නිෂ්පාදන සමාගම්වලට කත් අදින පෝෂණ විද්‍යා
පර්යේෂණ’ ලිපියෙනුයි මං උඩින් තිබුණු ඡේදය උපුටා ගත්තේ.
දමිත නිපුණජිත්ගේ............... |
විද්‍යා ප්‍රබන්ධ මං කියවන්නට කැමැතිම ප්රවර්ගයක්. ඒවා
හුඟ හරියක තියෙන්නේ අනාගත දැක්මක්. හිතන්නට, විශ්ලේෂණය කරන්නට, ඒ අනුසාරයෙන් පුරෝකථන කරන්නට මේ විද්‍යා ලේඛකයන් ඉසිවරු. මං
කියන්නේ ඇත්තද කියල දැනගන්න කැමැතියි නම් ආතර් සී. ක්ලාර්ක්ගෙ පොතක් කියවලා බලන්න.
නැති නම් දමිතගේ පොතක් හරි!
මෑත අතීතයේ නිත්ත-නිරන්තරයෙන්ම නොවුණත්, හුඟ දවසට හුඟක්
ඉස්පිරිතාලවල මට ගැවසෙන්න වුණා. එහෙම යන ඕනෑම කෙනෙකුට විමසිල්ලෙන් බැලුවොත්
දැකගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඉස්පිරිතාලේ ඇතුළේ නෙවෙයි. එළියේ. හැබැයි රෝහල්
පරිශ්‍රයේ; කාර් පාක් එකේ වගේ තැන්වල.
‘sales rep’ලා! ඒ වෙළඳ නියෝජිත මහත්වරුන්
කරන්නේ එයාලගෙ රස්සාව.
එයාලා දත කන්නේ, දොස්තර මහත්තුරු-නෝනලා ලවා එයාලගෙ
කොම්පැනියේ drugs වැඩියෙන් නිර්දේශ කරවාගන්න. අලුත්-අලුත් බෙහෙත් වර්ග දොස්තරලාටත්
හඳුන්වලා දෙන්න.
හැමදාම අලුතින් බෙහෙත් වර්ග නිපදවෙනවා. වෙළෙඳ පොළටත් එනවා. ඒත් එක-එක ලෙඩත් අපට ලෙඩ දානවා. මේ දවස්වල මට දැනෙන අතුරු ආබාධයත් ඒ වගෙයි.
හැමදාම අලුතින් බෙහෙත් වර්ග නිපදවෙනවා. වෙළෙඳ පොළටත් එනවා. ඒත් එක-එක ලෙඩත් අපට ලෙඩ දානවා. මේ දවස්වල මට දැනෙන අතුරු ආබාධයත් ඒ වගෙයි.
අත් දෙකේ ඇඟිලිත් හොකර-බොකර වෙලා..... |
‘මස්
පිඬු පෙරළෙනවා’ කියන එකද මන්දා හරි වචනේ. මේ ඉලව්ව කෙණ්ඩා පෙරළීමට වැඩිය වෙනස්.
හිටි ගමන් මාංශ පේශි ඇඹරිලා, පැතලි වෙලා සමහර වෙලාවට ලෑල්ලක් වගෙත් වෙනවා.
විශේෂයෙන්ම කකුල්වල, දණහිසෙන් පහළ. ඒ වගේමයි අත් දෙකේ ඇඟිලිත්. ඒවා හොකර-බොකර වෙලා
නවන්නවත් බැරි විදියට කොර වෙනවා ටික වෙලාවකට.
“අයස්මන්ත මහත්තයෝ, ඇයි මෙහෙම වෙන්නේ?” මං උත්තර හෙව්වා.
ඒක ඉතින් මගේ පුරුද්දට කෙරෙන කාරණයක්නේ. හැමදේම හාරලා-පාරලා හෙවිල්ල.
“හේතු නම් නිමල් අයියේ ගොඩක් තියෙන්න පුළුවන්! ඒත් මට
තේරෙනවා ඕක ගොඩක් painful කියලා නම්. අපේ ඇඟේ මස්ල් එකකට ලේ සප්ලයි වෙන එක බ්ලොක්
වෙනකොට ඒක රිදෙනවා. කැක්කුම ගන්නවා.
-ඔයා දන්නවද ගැහැනු කෙනෙක් දරුවෙක් බිහි කරද්දී
ඔය දරුණුම වේදනාව විඳින බව? හාර්ට් ඇටැක් එකකදීත් ඒ වගේ. ඒ දෙපාරම.... මුල් එකේදී
ගර්භාෂයේ වටේ මස් පිඬුවලට ලේ සප්ලයි කෙරෙන එක බ්ලොක් වෙනවා. එකම හොඳේ ඒ වේදනාව
දිගින් දිගට තියෙන්නේ නැති එක විතරයි.
-හාර්ට් ඇටැක් එකේදී පපුවේ තියෙන මාංශ
පේශිවලට තමයි ලේ සප්ලයි කෙරෙන එක නවතින්නේ. දිගටම එහෙම තිබුණොත් ලෙඩා මැරෙනවා!”
දරුවෙක් බිහි කරන වෙලාවේදී..... |
ඒ බව කියවුණු
වහාම උපදෙස් වැලක්ම-වැල් ගොන්නක්ම මගේ වටේ එතීගෙන-එතීගෙන ගියේය. අරක එපා! මේක
එපා!! ඔහොම.... ඔහොම. කියන්න ලෙහෙසිය. ඇට නැති දිව හොලවන්නට විතරය තියෙන්නේ. හැබැයි
කිරීම අමාරුය. කරන්න වෙන්නෙත් මටමනේ. ඔන්න බැණුම් අහන්නට බලාගෙන ඇත්තක් කියන්නයි යන්නේ.
මේ ටික කියලා පීරිස් මහත්තයාගෙන් නම් හොඳට කන් පිරෙන්නම
අහගෙන මට දැන් පුරුදුය!
හිටි ගමන් මට දොළදුක් හැදෙයි. ඉඹුල් කිරිබත් කන්නට, තෝසේ
කන්නට, තැම්බූ මඤ්ඤොක්කා- පොල්සම්බෝලයක් හා කරවල කටු හොද්දක් එක්ක බුදින්නට....
ඉතින් හදාගන්නෙත් මංම නිසා මොන බාධකද? කවුරු තහංචි පනවන්නද?
ඒත් ඒ මොනවා කෑවත් මගේ
ලේ පරීක්ෂණ වාර්තා හොඳය! මෙන්න නිදිගෙ රහස් කෙම. අත් දුටුවයි! සත්තයි!! සහතිකයි!!!
මටත් වයිවාරන්න දොළදුක් හැදෙයි! |
මේ පෝස්ටු මාලාවේ 8 වැන්නේදී කිව්වා මතකද මං මිදුල්
පොඩ්ඩේ වවාගෙන ඉන්නා ජාති. එයින් දෙකක් මගේ පිහිටට එයි. එකක් ‘කිරාත’ය.
වවනවා
කිව්වාට ඒකට කිසිම සාත්තුවක් ඕනෑ නැත. හිටවන්න ඕනෑ එක පැලයකි. ඊට පස්සේ ඇට
වැටෙමින් ගාලට වැවෙයි. ඒකෙන් කොළ පහ හයක් කන එක විතරය. කනවය කිව්වාට විකලා කන්න
නම් මෙලෝ පුතයෙකුට බැරිය. ඒවා කල් කදුරු තිත්තය. කොහොඹවලටත් වඩා. මම කරන්නේ කොළ
ටික එකතු කර සුරුට්ටුවක් සේ ඔතා ගිරියට තියා පහතට තල්ලු කිරීමය. පහුවදාට සීනි මට්ටම
හොඳටම හොඳය!
අනෙක කෝවක්කාය. ඒක නම් තිත්ත නැත. කොළ සම්බෝලයක් විදියට
හදා ගත්තාම මරේ මරුය. නැත්තං කොළ කැඳක් විදියට. වාරණය කර ඇති ජාති කනවා නං, තහංචි
බිඳිනවා නං මං ඔය කෙම්වලින් එකක් හෝ කරනවාමය.
“බලපන් මචං, මූ වගේ බුවෙක් තව මේ ලෝකේ ඉන්නවද කියලා. මූ දොස්තරලවත්
රවට්ටන ලස්සන.” පීරිස් බණියි. බොහෝවිට ඒ නෙවිල් හෝ මර්වින්, ගවීන්, දහනායක හෝ
සුජානි වගේ කෙනෙක් එක්කය. හූමිටි තියන්නත් කවුරු හරි ඉන්නෙපැයි!
“මං දොස්තර මහත්තුරු රවට්ටනවයැ. චී චී, මගේ හිතකවත් නැහැ
එහෙම චේතනාවක්. මං කරන්නේ සරීරය නිවැරැදි කර ගැනීමක්. ආපහු යථා තත්ත්වයට...”
දොස්තර මහත්තයාට යකා නඟින්නේ එතකොටය.......... |
ඒ වෙලාවට නම්
පීරිස්ට ගෞරවාර්ථ නාම පදයක් නොවරදවාම කියැවෙයි. ඒ එක්කම මං ස්ත්‍රී යෝනියකින්
බිහිවුණු පුතෙක් බවත් මතක් වෙයි. හොඳටම කේන්ති ගිහින් නම් තව විශේෂණ පදත් එකතු
වෙයි.
එහෙම වෙලාවට නං මං කටක් අරින්නේ නැතිව ඉන්නවාය. අමාරුම දේ මගේ හිනාව තද කරගෙන
ඉඳිල්ලය! අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයාගේ ‘ක්ෂණික කෝපය’ ස්ටාෆ් එකේ
විතරක් නොව ඔහු සේවය කළ ඉස්පිරිතාල තියෙන හතර දිග් බාගේම අය දනිති.
“තෝ... තෝ... දන්නවද .......xxxx පුතෝ ඔය විදියෙන් තමුසෙ
කරන්නේ මොකද්ද කියලා? අයියේ මං මේ ඔයාගෙ හොඳට කියන්නේ. තමුසේ ඔය කරගන්නේ හූනියමක්”
“මං දොස්තර කෙනෙක් නෙවෙයිනේ මහත්තයෝ! සාපෙ විතරයිනේ
පාස්! ඔයා නම් ඉතින් A/L වලදී ලංකාවෙන්ම 39 වෙනියා වෙලා මෙඩිකල් කොලේජ් ගිය හපනා.... ඉතින් මට කියලා දෙන්න එපැයි.”
මගේ ටෝන් එක සාමකාමීය. ඔන්න පීරිස් නියුට්‍රල් වේගෙන
එයි. “විහිලු නෙවෙයි මනුස්සයෝ. හොඳයි දන්නවද ඔයා ඔය කරන්නේ මොන වාගේ රැවටිල්ලක්ද
කියලා. ඔයා විතරක් නෙවෙයි, මුළු ලෝකෙම
මිනිස්සු වැඩි දෙනෙක් කරන්නේ ඕක.
-ලේවල සීනි අඩු කරන්න බෙහෙත් ගන්නවා කියන්නේ එක
විදියක බොරුවක්. හිතන්නකෝ ගෙයක බිම කුණු පිරිලා තියෙනවා කියලා. මොකද අපි කරන්නේ.
අර කුණු ටික අතුගාලා එළියට විසි කරනවා.
-ඉන්සියුලින් ගන්නකොටත් ඒක කොස්සක් විදියට
වැඩ කරනවා. හැබැයි කරන්නේ අතුගාලා එකතු කරන කුණු ටික පාපිස්ස යටින් හංගන එක. ඒක
නිසා තමයි එන්න-එන්නම ගන්න ඉන්සියුලින් ඩෝස් එක ටිකෙන්-ටික වැඩි කරන්න වෙන්නේ!
කාලයක් යද්දී වකුගඩු නරක් වෙන්න ගන්නෙත් ඒ නිසා.”
ඒ විදියට බලද්දී හොඳම දේ ඉවක්-බවක් නැතිව ඇතුළට කුණු
පුරවා ගැනීමෙන් වැළකී හිඳීමය. මාත් ඉතින් පුළුවන් තරම් try කරනවාය. බැරි වෙලාවලුත්
එනවාය.
ඉවක්-බවක් නැතිව ඇතුළට පටවා ගත්තාම ............ |
මට හිතෙන්නේ Medical
Research Institute එකේ රුධිර පරීක්ෂණ වාර්තාවලට අනුව ‘මල්ටිපල් මයෙලොමාව’ zero
ලෙවල් එකටම වගේ පහත වැටී තියෙන්නෙත් මගේ මේ කෑම පාලන රටාවට පිං සිදු වෙන්නටය.
පීරිස් මහත්තයෝ, ඔයාට ගොඩක් පිං, මාව මෙතැනට ඇද දැම්මාට! එහෙම පිං දෙන එක වෙනම
දෙයකි. ඒත් මගේ කඩප්පුලිකම නිසා හිටි ගමන් මගේ අතින් තහංචි බිඳෙයි!
හැමදාම පීරිස් හමුවුණු විගසම අහන්නේ “තමුසේ කෑවා නේද?” කියලාය.
බොරු නොකියන හිංදා මාත් ඇත්තම කියනවාය. කියලා කන් දෙකම පිරෙන්න බැණුමුත්
අහගන්නවාය. කොච්චර බැන්නත් ආයේ-ආයෙමත් මට කරුණු-කාරණා කියලාත් දෙනවාය.
ඒ ඉතින්
උන්නැහේගේ කරුණාවන්තකම හින්දාය! සකල මහා ජනයාට පතළ මහා කරුණාව කියන එකත් ඒ වාගේ
වෙන්නැතිය.
ඒ අවවාද නම් කාටත් වටිනවාය. හැම හය දෙනකුගෙන්ම
එක්කෙනෙකුට දියවැඩියාව රෝගය තියෙන නිසා; පිළිකාව වසංගතයක් වාගේ පැතිරෙමින් තියෙන
නිසා; ඔය දෙකටම වැඩියෙන් භයානක තරබාරුව හැමෝටම වාගේ තියෙන නිසා මේ අවවාද ගැන දැනුම්වත්වී
හිඳීම වටිනවාය. ඒවා නිසාම උග්‍ර වෙන තව-තව ලෙඩත් ගොඩාරියක් නෙව!
ඒ අවවාද නම්...... |
එදා අයේෂ්මන්ත ආවට කතා කරන්න හම්බ උනේ නැහැනේ කට්ටිය වැඩි නිසා ... කිරාත සහ කෝවක්ක වැනි දේ වලින් ඇත්තටම රුධිර සීනි පාලනය කරනවා නම් අවුලක් නැහැ නමුත් වැරදිලාවත් මේවයෙ තියෙන මොනවා හරි සංඝටක හේතුවෙන් කරන රුධිර හෝ අනෙකුත් පරීක්ෂණ වලට False Results දුන්නොත් මොකද වෙන්නෙ ?
ReplyDeleteඔයා හරි කණ්ඩා, කිරාත කෝවක්කා වගේ දේවල් ගැන දොස්තර මහත්තයා වුණත් මට බනිනවා. ඒත් මම නම් ඒවා වුණත් අසීමිත විදිහට පාවිච්චියට ගන්නේ නැහැ. සොබාවික අල, කොළ, පලා, මල්, මුල් කිසිවක් සීමිතව පාවිච්චියට ගැනීමේ වරදක් තියෙය කියල මට හිතෙන්නේ නැහැ.
Deleteඒ සේරටම වැඩියෙන් වෙනත් කාරණයකුත් තියෙනවා. 'නොපවතින කලට - පවතින ඔසු කුමට?' කියන එකත් මගේ හිතේ තදින් තියෙනවා.