අකුරු මැකී නෑ

Tuesday, December 4, 2018

හයටත් කලින්........ - දෙවෙනි කොටස

ඉතින්, සමහර දවස්වලට අප ගෙදර එද්දී අම්මා මහ ගෙදරට ගිහින්ය. එහෙම දවසට ෂර්ලිගේ වැඩ තවත් වැඩිවෙයි. මාව කනුපැලැල්ලේ ගෙදරට ඇරලවන එකත් ඔහුටම බාරය. ඒත් ෂර්ලි ඒකත් කළේය. කැමැත්තෙන්ම එහෙම කළා වෙන්නට ඇත. ඊට වැඩි දේකුත් එක්කම.....! අද එතැන් සිටය!
ඇඟපත හෝදාගෙන මිස...............
ගෙදරට ආ විගස ඇඳුම් මාරු කරගත යුතු බවටත්, ඇඟපත සෝදාගෙන මිස බත් කන්නට නොආ යුතු බවටත් අපේ තාත්තා මට නීති පනවලා තිබිණි.

අම්මලාගේ ගෙදර තිබුණේ මයිලගස්තැන්නේ කන්දකය. ඒ දවස්වල ඒ මණ්ඩියට ලයිට්, වතුර මොනවාවත් නැත. හැබැයි වතුරෙන් නම් කිසිම හිඟ-පාඩුවක් වුණෙත් නැත. තුන්සිය හැටපස් දවසෙම වතුර ගලා හැලෙන පීල්ලක් ගෙදරට යාර දහයකටත් වඩා අඩු දුරකින් තිබිණි. ඊටත් වඩා පුදුමය, ඒ මණ්ඩියේ හැම ගෙදරකම මිදුලට කිට්ටුවෙන්ම එහෙම වතුර පීල්ල බැගින් තිබීමයි.

ඒ ගෙවල් සේරම තිබුණේ කන්දකය. කන්දක කිව්වාට එච්චර සීග්ගර එකකුත් නෙවෙයිය. හැබැයි, හැම ගෙදරකටම ඇති වෙන්නට, අවුරුද්දේ දවස් 365හේම; 24 පැයේම අර දිය පීලිවලට ‘ජල සම්පාදනය කරන්නට’ ඒ කන්දට හැකියාව තිබිණි. 

අනේ, දැන් මිනිසුන්ගේ තෙතමනය හිඳෙනවා වගේම, ඒ ඉසව්වේ තෙතමනයත් ලෙල්ලටම හිඳිලා ගිහින්ය. 

කඳුරේ කිසිම දිය සීරාවක්, පෙඳ පාසි පොදක්, කොළ පාටක් ඇත්තෙම නැත. ඇත්තේ පයිප්ප වතුර විතරය. වතුර පයිප්පවලින් මහා කඳු ඉසව්වක් කොහේ තෙමන්නද?

ඒත් එච්චර ලේසියෙන්, දවස තිස්සේ නොමිලේම සීතලම සීතල වතුර වැක්කෙරුණු නිසාද කොහෙද, කාටවත්ම ඒකේ අගයක් තිබුණේත් නැත. 

“අනේ ෂර්ලි. රංජිව එහෙදීම හෝදවලා එක්කං එන්න. පීල්ලෙන් හෝදවනවට වැඩිය ලේසියිනේ.” අම්මා ලේසිය බැලුවේ, ෂර්ලිටම මගේ ඇඟ සෝදවන රාජකාරියත් පටවමිනි.


ඒ දියකඳුරු සේරම............
හුඟක් අය එහෙමය. උකුණන් ලවා ගල් අද්දවන්නට සමත්තුය. තමන්ට ඕනෑ වුණාම විතරක් යකා වුණත් ළඟට ගනී.

පහුගිය දවස්වල (කෙළවුණාම) විතරක්  ශ්‍රී ලංකාවේ ජහමන පුරවැසි ලපයි-සිපයි අපෙන් ඕනෑම කෙනෙකුට ‘අරලිය මන්දිරේට’ ගිහින්, අනුන්ගේ වියදමෙන් කා-බී ජොලියේ නිවාඩුවක් ගත කරන්නට ඉඩක් ලැබුණේය. හැබැයි නිකම්ම නිකං නෙවේය. ප්‍රෝඩාතන්තරෙත් රකින ගමන්ය. ඒක රැකිල්ල කිකිළියෙකු බිත්තර රකිනවා තරම්වත් අමාරු නැත. ඔය රැකිල්ලට වැයවෙන වියදම ගැනත් කාටවත්ම රුදාවක් නැති හැටි!

ඒ එක පැත්තක කට්ටිය ගැනය. අනෙක් උදවියටත් යහමින් ‘වාසි කඳ වෙලා’ එහෙම නැත. මේ සාක්කියකි.

ෆෝබ්ස් ප්‍රකාශනය ලෝකයේ පොහොසතුන් ගැන දත්ත විශ්ලේෂණය කරන වාර්තාවකි. එහි නවමු වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ලොකුම පොහොසතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාය. වත්කම ඩොලර් බිලියන 18කි. මෛත්‍රී උත්තමයා දෙවෙනි පොහොසතාලු. උන්නැහේගේ වත්කම ඩොලර් බිලියන 14ක් විතරයිලු. 

ඔය විස්තරය තිබුණේ ‘2018 නොවැම්බර් 18 රාවය පත්තරේ 10 පිටුවේය’. එතැන මෙහෙමත් තිබිණි.

“..... අප දන්නා පරිදි මෙම දෙදෙනාම විශාල වශයෙන් ධනය ඉපයිය හැකි ව්‍යාපාරයක හෝ කර්මාන්තයක යෙදුණ පුද්ගලයෝ නොවෙති. ඔවුන් දෙදෙනාම යෙදුණ එකම ව්‍යාපාරය වන්නේ දේශපාලනයයි. ඉන් මෙතරම් විශාල ධනයක් රැස් කර ගැනීමට හැකිවූයේ කෙසේද? ඔවුන් දෙදෙනා සතු ධනය රට ජාතිය වෙනුවෙන් යොදවන්නේ නම් අපේ විදේශ ණය සම්පූර්ණයෙන්ම ගෙවා නිදහස් විය හැකිය. එවිට ණය ගෙවීම සඳහා ඔවුන් බෙහෙවින් ආදරය කරන ජනතාව මත බදු බර පැනවීමේ අවශ්‍යතාවක් නැත......”

මට නම් මේ උත්තමයන් දෙන්නා එක්කම කිසිම පයුරු-පාසනයක් නැත. 

අනේ, තියෙන කෙනෙක් මේ ටික එයාලාට දැනුම් දීලා රට ගලවා ගන්නට යෝජනා කරනවා නම්! ලොකුම උදව්වකි; මට විතරක් නොවේ. රටටම; ජාතියකටම. ජාතියකටම කිව්වේ ශ්‍රී ලාංකික හැමෝටමයි, හොඳේ.

හිටපු හා හිටින ජනාධිපතිවරු............
‘කම්මැළියාගේ ඔළුව යකාගේ කම්මලය’ කියලා කීවත් මෝඩයාගේ ඔළුව මොකක් වගේද කියලා මට නම් අහුවෙලා නැත. ඒ නිසා මගේ මොළය මොන වගේද කියලා මං නොදන්නවාට සමාවෙන්නෝනේ! හරිද! 

මෝඩකමට වෙන්නැති, මට තියෙනවා මෙහෙම යෝජනාවක්! ඊළඟ ජනාධිපතිවරණෙදී ප්‍රකෝටිපති රොහාන් පල්ලෙවත්ත මහත්තයාත් ඉල්ලන්න හදනවාලුනේ. උන්නැහේට පුළුවන්ලු ඕන නම් අපේ විදේශ ණය කන්දරාවම වුණත් ගෙවලා දාලා රටම නිදහස් කරගන්නත්.

ඒ අස්සේ මේ දවස්වල ඇල්ලේ ගුණවංශ තෙරුන්නාන්සේ හොයනවාලු අලුත් අපේක්ෂකයෙක්. 

එයාට උන්නාන්සේලා ඉදිරිපත් කරන කාරණා පහක් ඉෂ්ඨ කරනවාය කියලා ‘දළදා වහන්සේ’ ඉදිරිපිට වැඳලා, දිවුරලා පොරොන්දු වෙනවා නම් එයාව දිනවන්නට වැඩ කරනවාලු! කොහොමට හිටියිද මේ දෙගොල්ල එකතු කළොත්? කාටද පුළුවන් මේ දේශපාලන දීගෙට කපුකම කරන්න? නාගානන්ද කොඩිතුවක්කු මහත්තයාටවත් බැරිද මුල පුරන්න.


නරකද මේ දෙන්නම එකතු වෙලා............
ඔන්න දැන් ආයෙම ෂර්ලි මට උදව් වෙන්නට පැමිණි තැනට......  

ඉස්කෝලය අහවරවී රේල්වේ ක්වාර්ටර්ස්වලට ආවාම ෂර්ලි මගේ ඇඳුම් ගලවන්නට උදව් වෙයි. මා නිරුවත් කරයි. එහෙම සහාය වෙමින් මා නිරුවත් කරද්දී, හෙමින් සීරුවේ මගේ සිරුර ස්පර්ශ කරද්දී, වරින් වර මා සිප ගනිද්දී මට කිසිම අමුත්තක් දැනුණේ  නැත. මම ඊට ලොල් වීමි. 

ඔහු ඉතාම සැලකිල්ලෙන් මගේ ඇඟ සෝදවද්දී, සබන් ගාද්දී, පිස දමද්දී මං ඊට විරුද්ධ වුණෙත් නැත. උද්දාමයට පත් වූවා මිස. ඒකේ පුදුමයකුත් තියෙනවාද? අම්මාගෙන්වත්, තාත්තාගෙන්වත් නොලැබුණු; ෂර්ලිගෙන් ලැබුණු ඒ දයාබර සත්කාරය මට මහමෙරක් මෙන් විණි.

අද, 2018 නොවැම්බර් 26 වෙනිදා අයස්මන්ත මහත්තයා මගේ කන්ඩිෂන් එක බලන්නට ආවේය. හිස් අතිනුත් නොවේ. 

මේ දිනවල මා කරන උපවාසයෙදී සිරුරේ යාන්ත්‍රණය වේගවත් කරන; උත්තේජනය කරවන KetoCaNa සප්ලිමන්ට් එකකුත් උස්සාගෙනය. ඒක දහ-පාළොස්දාහකටත් වඩා ගණන්ය. මීට ඉස්සෙල්ලාත් මට එය ගෙනැවිත් දී ඇතත් මං ඒකේ රහට කැමැති නැත. “මේ වෙලාවේ රහ බලලා බැහැ අයියේ. අමාරුවෙන් හරි බොමු!” ඉතින් කොහොමද බැහැ කියන්නේ?

ඔය මේ දාහක් දේවල් කතාබහ කරන අතරේදී මේ පෝස්ටුවට අදාළ කාරණාවකුත් මතුවී ආවේය. මෙහි පළමු පෝස්ටුවේ මා අතින් සටහන් වුණු පීරිස්ලාගේ දරුවන්ගේ හුරතල් ගැනය, ඒ කතාව ඇති වුණේ.


ආදරණීය 'හග්' එකක්.....
“නිමල් අයියෙ, කවුරු හරි කාව හරි හග් (hug) කරද්දී තත්පර 18 කට; 20 කට විතර වැඩි කාලයක් අනෙක් කෙනාව බදාගෙන ඉන්නවා නම් ඒ වෙලාවට Oxytocin හෝර්මොන් එක ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඔය ඔක්සිටෝසින් හෝර්මෝන් එකට තමයි ‘ආදරයේ හෝර්මෝනය’ කියලා කියන්නෙත්. ඒකෙන් හග් කරන කෙනාට ආකර්ෂණයකුත් ඇති වෙනවා.”

“හරි, හෝර්මෝන් එකකුත් වැගිරෙනවා නම්- ලිංගික ආකර්ෂණයකුත් ඇති වෙනවා නම් ඕක පුංචි ළමයින්ටත් බලපානවද? ඒක සෙක්ස් හෝර්මොන් එකක්ද?” මං හීංසීරුවේ ඇහුවේ මේ පෝස්ටුව ගැන මොනවාවත්ම නොකියාය.

“ඒකට උත්තරේ නම් නැහැ! පොඩි කාලෙදී ලිංගික හෝර්මෝන හැදෙන්නේ නැහැනේ. අවුරුදු දහතුන-දාහතර විතර වෙනකොට තමයි ඒවා produce වෙන්න පටන් ගන්නේ. හැබැයි ඉතින් තව එකක්. අර ලෝකෙට පෙනෙන්න කරන ‘ෂෝ ඕෆ් හග්’ එකේදී ඕක වෙන්නෙ නැහැ.”

“එහෙම වෙලාවට කවුරුවත් තත්පර දහඅටක්-විස්සක් දිගට බදාගෙන ඉන්නෙත් නැහැනේ!” කියලා උත්තර දෙද්දීත් මගේ ඔළුවේ හැඩ ගැහෙමින් තිබුණේ මේ ටික කොටන හැටිය. ඒ තියරිය මට අදාළ වෙන හැටි ගැනය. ඒකෙන් වුණේ පෝස්ටුව තව චුට්ටක් විතර බරසාරවී- දිග්ගැස්සෙන එකය.

‘හයටත් කලින් - 1’ පෝස්ටුවට කමෙන්ට් එකක් එවමින් මධූක පැතුම් රසිකයා මෙහෙම කියලා තිබුණා. “පුංචි කාලෙදීම ලිංගික කරුණු ගැන තියෙන අධිසංවේදීතාව මටත් තිබ්බා............” 

මධූක නිවැරැදි යැයි මට සිතේ. මාත් හිතන්නේ ඔය සංවේදීතාව හැමටම පොදුය කියලයි.  එනිසාම නේද ‘සිග්මන් ප්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය’ තියරිය හැබෑවක් වෙන්නේ. ඇයි පුතාලා අම්මාටත්, දුවලා තාත්තාටත් වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ?

Oxytocin ශ්‍රාවය වැගිරුණා හෝ නැතා හෝ වේවා, ඒ දවස්වල ෂර්ලි තත්පර දහඅටකට වඩා වැඩි කාලයක් මා වැලඳගෙන ඉන්නට ඇති බවට නම් මට සැකයක් නැත! ඒක ඉන්තේරුවෙන්ම සත්තකි!!

ඒ දවස්වල දරුවන් වැලඳ නොගත් අපේ අම්මා දැන් දකින-දකින වාරයක් ගණනේ අප කාවත් බදාගන්නට ලෑස්තිය. සිප ගන්නට ලෑස්තිය. පුතේ කියන්නට ලෑස්තිය. පරණ කෝන්තරය හිතේ තියෙන; අලියෙකුගේ මතකයක් ඇති මට එයාගේ ඔය වැඩ තුනම අරහංය.


අලියෙකුගේ මතකයක් ඇති ..................
අම්මා සාමාන්‍යයෙන් අවුරුද්දකට තුන් වතාවක්වත් ලංකාවට එයි. ඒ එක වාරයකදී අපේ අම්මාට මාව බදාගත හැක්කේ එක වාරයකි. එතකොට අවුරුද්දකට බදාගැනීමේ උපරිමය තෙවතාවකි. එක සංචාර වාරයකදී මා සිපගැනීමටත් ඒ සංතෑසියමය. ඒ දෙකම මා කන්ට්‍රෝල් කරගෙන ඇත්තේ අම්මාගේ හිත නොතළාය.

අපේ අම්මා ලෝබය. (හැබැයි මේ දෙමහල් ගෙදර හදාගන්නට මට සල්ලි දුන්නෙත් අම්මාය. මගේ සම්මාදම ලක්ෂ තුන-හතරක සොච්චමකි). අම්මා ලෝබ නැත්තේ ඉඩම් ගන්නට හා ගෙවල් හදන්නටය. 

“ඔන්න අම්මා ලංකාවට එන සැරයකදී එක පාරකට වැඩිය මාව ඉඹිනවා නම් හරි, මාව කිස් කරනවා නම් හරි එක සැරේකට මට රුපියල් පන්සීය ගණනේ ඕනෑ!” මම නීතියක් දැම්මෙමි. එදා ඉඳන් මටත් වැඩිය හොඳින් ඒ නීතිය මතක අපේ අම්මාටය.

නමුත් පුතේ කීල්ලට අම්මාට නීති දාන්නට මං ලෑස්ති නැත. ඒ ඔව්වා ගණන් තියාගැනිල්ල ප්‍රැක්ටිකලි අමාරු නිසාය.

ඊටත් දවස් දෙකකට වතාවක්වත් අම්මා එංගලන්තයේ සිට ටෙලිෆෝන් කරයි. පටන් ගන්නෙම ‘අනේ, මගෙ රත්තරන් පුතේඒඒඒඒඒඒ’ කියමිනි. ඒක හැතපුමක් විතර දිග ‘පුතේ’ එකකි. ඒකත් මට නම් හරිම ‘odd’ය. 

ඉස්සර කොටම කොට ‘පුතේ’ එකක්වත් අපේ අම්මා ළඟ තිබ්බේ නැත. අපේ මව් යානයෙ වාක් කෝෂයට ‘පුතා’ වදන එකතු වුණේ හැටත් පැන්නාට පස්සෙය. 

දිගින් දිගට ඒක ඇදෙන්නට පටන් ගත්තේ මං අසනීප වුණාට පස්සෙය. අම්මා අපේ අනෙක් අයට තවමත් දුවේ, පුතේ කියනවා මට ඇහිලා නැත. ටෙලිෆෝන් කරද්දී කියනවා වෙන්නැතිය. ඇත්තටම අපි දෙන්නාම පව්ය. දෙන්නා විතරයැ? හැමෝම පව්ය. පාරුවේ පුවක් වෙන්නැති!

කසන්නට ඇති දුර..................
ඒ අස්සේ මේ මෑතක හිට අපේ අම්මා අච්චර ආදරයෙන් දිගට ලෙළවා, නළවා පුතේ කියද්දී මගේ සිරස මස්තකයට වදින්නෙම බුකියේ තිබුණු ඡායාරූපයකි. බ්ලොගයට උවමනා වුණු ෆොටෝ වගයක් තෝරමින් ඉඳිද්දී මේකත් එහි තිබිණි. ‘පුකකැසුවා’ ඇත්තේ කිලෝමීටර් 72ක් ඈතිනි. ඉදිරියේදී ඕනෑ වෙයි කියලා සිතී ඒ ෆොටෝ කෑල්ලත් මම එදා ඩවුන්ලෝඩ් කරගත්තෙමි. කවුරුන් හෝ මේක දුටු ගමන්ම කැමරාවේ හිර කරගෙන, බුකියට දමා තිබෙන්නේත් විශේෂයක් නිසානේ.

දැන් කෝච්චරවත් ලොකු-ලොක්කනුත් කිසිම ඉවක්-බවක් නැතිව; ලජ්ජාවක් නැතිව මහා සභා මැද්දේත් ලොක්කන්ගේ පස්ස කසන්නේ! නැද්ද මං අහන්නේ? ඉතින් මගේ වලත්ත, ජාගර හිතත් ඔන්න ඔහොම දේවල් රසික ඔයාලටත් බෙදන්නට කියයි. 

අනේ තරහ ගන්න එපා. හිනාවෙන එක නරක දෙයක්යැ. නැහැනේ.

අපේ අම්මාට මං පනවා ඇති තවත් rule එකක් ගැනත් ඉන්දිරා, ගීතා, මර්වින්, නෙවිල්, මාලිකා, උදේනි වැනි ගොඩ දෙනෙක් මට දොස් පවරති! 

අම්මා ගරුනම්බු ගන්නට,වැඳුම්-පිදුම් ලබන්නට හරිම ආසාය; ආසාවකටත් වඩා ඒක කෑදරකමක්ය. හැබැයි ඒක නම් ඒ දවස්වල බදුල්ලේත් චාරිත්තරයක්ය. කොහෙට හරි ගියොත් වයසෙන් බාල අය හැමෝම වැඩිමහලු හැමොන්ටම වඳින්න ඕනෑය.

තුන්දෙනෙක් ඉන්නා ගෙදරකට දෙන්නෙක් ගොඩවැදුණාය කියා හිතමු. ගෙදර ඉන්නේ අවුරුදු 50ක, 30ක හා 10ක තුන් දෙනෙකියි හිතමු. අමුත්තන් දෙන්නා 40හේ හා 20 දෙන්නෙක්ය. පවුල් දෙකේම අය සමුගැනීමේදී වඳින්නේ දෙගොල්ලන්ට විතරය. ඔන්න පටන් ගන්නවා. මුලින්ම 10 හාදයා 40, 20 දෙන්නාට වඳියි. එතැන දෙවාරයයි. 30 එක්කෙනා 40 එක්කෙනාටත් වඳින්න ඕනෑය. එතකොට තව එකක්. සේරම 3යි. දැන් අනෙක් පැත්තට.


වඳින්නේ පෝලිමේ හිටන්ය...........
හිතා බලන්නකෝ. වැඳීම් පෝලිමකි; එතැනත් වැඳීම් වාර තුනකි. පවුල් පිටින් පන්සලකට ගියාම නම් ලස්සනේ බැරිය. වන්දනාව හරිම උජාරුය. 

දැන් බදුල්ලේ කොහොමද කියා දන්නේ නැතත් ලංකාවේ වැඩි දෙනා වැඩිහිටියන්ට වඳින්නේ හින්දි ෆිල්ම්ස්වල ඇක්ෂන් එකෙන්ය; දණ ගහලා නොවේ. බාගෙට කොන්ද නවා ඇඟිලි තුඩින් දෙපය අල්ලා නළලේ ඇඟිලි තියමිනි.

අපි දහ වැඳුම් වඳින්නේ හැබෑවටම හිතේ ගෞරවයක් ඇතිවද? නිකම් ලෝකෙට පේන්නට; පරකාසේටද? බොහෝ දෙනා ආදරය සම්බන්ධයෙනුත් ප්‍රතිචාර දක්වන්නේ අවංකවමද? සෙනෙහසට අප කොතරම් නම් සංවේදීද? මං පුංචිම සන්දියේ හිටියා වුණත් ෂර්ලිගෙන් ලැබුණු ස්නේහය මගේ ඉස්මුදුනේ හිට දෙපතුලටම දැනිණි!

ඒවා අපේ තාත්තලාට කියන්නට එපා කියා ෂර්ලි කීවාදැයි මට නිච්චි නැත. මා නොකිව් බව නම් හොඳටම මතකය. එදා ඒ බව කාටවත්ම නොකිව්වේ මගේ හොර හිත හින්දාවත්ද? ඒ අත්දැකීමට ලෝබකමින්ද? අනෙක් අතට,  දුකක් නම් කා සමඟ හෝ කියනවා මිස සතුටු වේදයිතයක් හැමෝටම කිය-කියා ඇවිදින්නේ කවුද?

ඔයාලා එහෙම කියනවාද? ඒ ප්‍රශ්නය ගැන හිතන්න වෙලාව දීලා ඔන්න අදට සමු ගන්නවා!

සතුටු වේදයිතයන්............

4 comments:

  1. ඇල්ලේ බැලවංශ, නගානයිනන්ද, ජරාපස්ස වගේම ඔය පල්ලෙවත්ත ගමරාළයන්වත් සත පහකට විශ්වාස කරන්න බැරි ඒවුන් ... ඕකුන් පස්සේ යන්නේ මෝඩයො. දැනට අවුරුදු කිහිපයකට කලින් මාත් පොළොවෙන් මතු වෙලා ආප්ප කාපු ඉහඳ පණුවෙක් උන ගමරාළයෙක්ට සපෝට් කරපු මෝඩයෙක් !

    ReplyDelete
    Replies
    1. අපේ රටේම කරුමයක් කණ්ඩා. එන්නෙම හොරු. තෝරාගන්න වෙන්නෙම හොඳ අයව නෙවෙයි. නරක අඩුම අයව බලලයි.

      Delete
  2. දෙකම කියෙව්වා , අදනේ දැක්කේ

    ReplyDelete