අකුරු මැකී නෑ

Thursday, December 6, 2018

ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස

“එහෙම නැත්තං?” මම ආච්චීගෙන් ඇහුවෙමි.
“නැත්තංද? එතකොට වඩින්නේ මූදේවි! එයා දාලා යන්නේ මූසලකම මිටක්!” ඔහොම දේවල් අපට උගන්නාපු ආච්චී; දසනායක රත්නවතී උපදින්න තිබුණේ විකිපීඩියා තියෙන අද කාලේය.

ආච්චී ඉන්න තිබුණේ............
     ඉතින් මං ඉස්කෝලේ ඉඳලා ගෙදර එද්දී, උදේ එවූ පාන්පිටි ටික ළිපේය. පාන් පිටිවලින් ඉඳියාප්ප හැදිල්ලේදී මුලින්ම ඒවා වාෂ්පයෙන්; හුමාලයෙන් තම්බා ගන්නට වෙයි. පිටි ටික පෙනේරයෙන් හලලා, කොට්ටඋරයකට දමා තැම්බෙන්නට තියන්නේ තාත්තාය. ඒක එච්චර අමාරු නැත.

     ඒ බූමිතෙල් ළිප හින්දාය. ඒත් පිටි ටික තැම්බෙන්නට පැයක්-හමාරක් යයි. පිටි ටික පදමට තැම්බෙන විට සුවඳින් කියන්නට පුළුවන්ය. එතකොට ළිපෙන් බාගෙන.....

පාන්පිටි හුමාලයෙන් හරි පදමට තැම්බිලාද කියා වෙනම බලන්නට ඕනෑ නැත. සුවඳින්ම ඒක කියන්නට පුළුවන්ය. එතකොට තියෙන්නේ ඒක ළිපෙන් බාලා, නිවෙන්නට කලින් කුඩු කර, හලා ගැනිල්ලය. පදමට තැම්බුණු පිටිගුළිය තියෙන්නේ එකම කුට්ටියටය. ඒක නිවුණොත් ගල් වෙයි. එතකොට නම් ඒක කුඩු කිරිල්ල පණ යන වැඩකි. වංගෙඩියේ දාලා කොටාගන්නත් වෙන තරමට ගල් වෙයි.

ඔය හිංදා අපේ තාත්තා පිටි ටික තැම්බෙන්නට තියන්නේ වෙලාව අල්ලලාය. මං ඉස්කෝලේ ඇරී ගෙදර එද්දී පිටි තැම්බිලා අහවරය. පොත් ටික පැත්තකට දැමූ පමාවෙන් තියෙන්නේ ‘දිවා භෝජනය’ භුක්ති විඳින්නය. බරසාර වචනෙකින් කිව්වාට ඒක බරසාර නැති සොච්චම් දිවා භෝජනයකි. 

පාන් පෙත්තයි, සීනි ඇට ටිකයි. පාන් ගෙඩිය අටකට විතර කැපුවාම එන ‘කෝටා එක’ හිතාගන්නකෝ! තාත්තා නම් ඒකවත් කන්නේ නැත; ‘මට තේ කහට පොඩ්ඩක් හදල දීපල්ලා. ඒ ඇති’ කියයි.

රෝලින් පිං තියා..........
ඉතින් මං පාන්පෙත්ත කන්නේත් පිටි ගුළිය ගැන කල්පනාවෙනි. කාලා ඉවර වෙන පමාවෙන් පිටි ටික කුඩු කරන්නට.... ඒකට ගත්තේ වැලි පිරවූ අරක්කු බෝතලයකි. දැන් නම් හැම ගෙදරම ‘rolling pin’ එකක් තිබෙයි. ඒ කාලේ අපට මොන පින්ද? පව් මිස? ඒ තියා වැලි පුරවාගන්නට හිස් අරක්කු බෝතලයක් වුණත් හොයා ගත්තේ අමාරුවෙන්ය.

ඔන්න දැන් තවත් ගුරු මුෂ්ටියක් ඔයාලාට දෙන්නට ඕනෑය. පදමට තැම්බුණු පිටි ටිකක් ඇඟිලි දෙකට අරං පොඩි කරන්න. ඇඟිලිවල පිටි තැවරෙන්නේ නැත. ඇඟිලිවල පිටි ඇලෙන්නේ නැහැ නේද? ආන්න, හරි පදමට තැම්බුණු පිටිය!

පිටි කුඩු කර, හලාගෙන ඉවර වුණු ගමන් පැදුරට වැටී පියවෙන්නටය නේත්තරා දෙක බලාගෙන ඉන්නේ. 

හිතෙන විට පුදුමත් හිතෙයි. ඒ දවස්වල හුඟ දේවල් නොදැන හිටීමත් වාසියට හිටියා වගේය. නින්ද පිළිබඳ විශේෂඥයන්ට අනුව නම් ඒ වයසේදී දවසකට පැය 8-10 අතර නින්දක් ලැබිය යුතුලු. දවසකදී ඇති තරම් නින්දක් ලබාගත්තේ නැති නම් එක-එක පන්නයේ අමාරුකම් ඇතිවෙන්නටත් ඇහැකිලු!

අමාරුකම් කියපුවාම බර අඩුයිද මන්දා. බර වැඩිවීම, ලෙඩරෝගවලට ඔරොත්තු දෙන්න තියෙන හැකියාව අඩුවීම, ආතතිය, මතකය දුර්වල වීම, අධි රුධිර පීඩනය, හදවත් රෝග..... එතකොට හිතාගන්නකෝ අමාරුකම්වල තරම. ඒ විදියට බලද්දී නම් අද හැම ගෙදරම ඉන්නේ ලෙඩ්ඩු වීමත් පුදුමයක් නෙවෙයි නේද? අපෙන් කාටද සුවබර නින්දක් ලබාගන්න වාසනාව තියෙන්නේ?

ඒ ඒ වයසේදී නිඳාගත යුතු පැය ගණන් .....
ඒ දවස්වල මට නිඳිමරන්නට වගේම යස අපූරුවට නිඳාගන්නත් පුළුවන්ය. දැනුත් එහෙමය. ඒකෙ වෙනසක් වෙන්නේ බෙහෙත් ගන්නා දවස්වලට විතරය. හිතේ බරක් නැති නම්, පසුතැවිල්ලක් නැති නම්, ආත්ම තෘප්තිය තියේ නම් මොකද නිඳාගන්න බැරි.

පැය එකහමාරක්- දෙකක් නිඳාගත්තාම, මං refresh වෙලාය. එතකොට සුනිල් එයාගේ කොටස කරලා තියෙයි. ඒ ‘හැලපේනියා ඔතේනියා’ නොහොත් කැන්ද කොළ හොයාගෙන ඒමය.

අර කිව් ‘විජ්ජාත්මක නාමය’ මගේ එකක් නොවේ. සංචාරක මඟ පෙන්වන්නෙකුගේ නිර්මාණයකි. 

රට වටේ යද්දී සුද්දෙකුට කැන්ද ගහට කියන විද්‍යාත්මක නාමය දැනගන්නට ඕනෑ විණි. ගයිඩ් කියන්නේ, සේරම දන්නා කෙනෙක්යැ? හැබැයි එයාලා තැනට සුදුසු විදිය දන්නා අයයි. ඉතින් මේ ගයිඩ් මහත්තයාත් ප්‍රශ්නය අහන පමාවෙන් ‘It’s Halapeniyaa Otheniyaa’ කියලා කිව්වාලු.

සුනිලා කැලේ-කොළේ කරක් ගහන්නට, ගස් බඩ ගාන්නට දෙයියාය. අපේ ගෙදර වැඩ්ඩා; කරුමාන්තකාරයා මිනිහාය. ඒ වැඩවලට දෙවෙනියා බඩා මල්ලා දීපාල්ය. මට එව්වා අරහංය. හැබැයි උන් දෙන්නාම වැඩියෙන්ම දක්ෂ වැඩ බාගෙට හරි තුන්කාලට හරි ඉවර කරන්නටය. දරුවන් හැදිල්ලෙදීත් ඒකම කළා වගේය. 

දෙන්නාටම ඉන්නේ පුතාලා ඩබල බැගිනි. දෝණියන්දලා නැත! පවුලකට දූලා-පුතාලා දෙගොල්ලම ඉන්න ඕනැයි කිව්වේ ඉස්සර කාලෙනේ! දැන් ඒක අඩුවක් කොට සලකන්නේ නැත.

හැලපේනියා ඔතේනියා..................
දැන් තියාම ‘කාලය’ ගැනත් කියන්න ඕනෑය. නැත්තං අවුල් වාගේ පෙනෙන්න හැකිය. මං ඉඳියාප්ප කරුමාන්තය කරන කාලයේ; 1970 වේදී අපේ දීපාල් මල්ලී ඉපදිලාවත් නැත!

ඉතින් සුනිලා නම් හිතේ හැටියට රස්තියාදුවේ යන්නටත් චාන්ස් එකක් කැන්ද කොළ හෙවිල්ලෙන් පාදා ගත්තේය. එහෙම අවුරුද්දක් විතර කාලයක් කඩාගෙනත් අපට කැන්ද කොළ අහේනියක් වුණේ නැතිය. බොලේ, පමුණුවේ එච්චරට කැලේ තිබුණා නේද කියා හිතෙන්නේ දැන්ය! දැන් මෙහෙ තියෙන්නේ ගෙවල්, බිල්ඩින් විතරක්ම වගේය. සංවර්ධනයක මහිමය එහෙමය.

මගේ දිනචරියාවේ ඊළඟ අංකය ඉඳියාප්ප තැම්බීමය. මුලින්ම පිටි අනාගෙන.... 

ආච්චී පදමට අනන හැටි කියා දුන්නාට මං හොඳටම අනාගත්, නාගත් දවසුත් මුලදී තිබුණේය. මේ දිසානායකගේ පුරුද්ද, පුළුවන් හැමදේටම short cuts හොයාගැනීමය. තිරසාර විසඳුම්, විශේෂයෙන්ම ප්‍රායෝගික විසඳුම් හොයාගැනීමය. 

අපේ ආච්චී පිටි අනන්නට ගත්තේ හොඳටම උතුරණ උණු වතුරයි. ඒකට දියලුනුත්, ඇල් වතුරත් කවලම් කරයි. එහෙම කළේ ගණන්-මිනුම් අනුව නොවේ. අතේ පුරුද්දෙනි. මට හුඟ දවසට වැරැදුණේ එතැනදීය. ඒකට මං හොයාගත් පිළියම මෙන්න මේකය!

ඇති පමණට වතුර ළිපේ තියා, ඒකට යාන්තම් ලුනු රස එන්නට දියලුනු දාන්න. වතුර රත්වෙමින් පුංචි බුබුළු එන්නට අරං, විශාල බුබුළු දාන්නට කලින් පිටි ටික අනන්න! අත්දුටු සත්ත ගුරුකමකි. මෙහෙම පිටි අනාගත් විට පදම ටක්කෙටම හරිය. අතේ ඇලෙන්නේ නැත. මිරිකන්නට අමාරුත් නැත. 

ඉඳියාප්ප ටිකත් මල් වාගේ තදටත් නැතිව, බෙරිවෙලාත් නැතිව හිටියි. තට්ටුවලින් ගලවා ගැනිල්ලත් ලේසිය!

ඉඳියාප්ප ටිකත් මල් වාගේ...........
හයට විතර පටන් ගන්නා ඔය සුමේ කිරීම නවය විතර වෙනතුරු ඇදෙයි. තැම්බූ ඉඳියාප්ප පහේ ගොඩවල් විදියට ලොකු සාස්පානක අඩුක් කෙරෙයි. අන්තිමට ඒක වහන්නේ තෙත රෙද්දකිනි. එතකොට එව්වා පිළුණු වෙන්නේ නැත, වේලුම් කන්නෙත් නැත. අලුත් පිට වගේම තියෙයි.

ඊළඟටත් ඉතින් මට නම් සුව නින්දකි! දැන් නොවේ. එදාය. ඒක නෙවේ. එදා මා නිඳි පැදුරේ සුව නින්දක දැපූ හැටි, අද ඔබ කියවන්නේ සුව යහනක වැතිරී නිඳි වරාගෙනද?

සමහරුන් ඇඳට වැටෙන්නේ නිඳියන්නට නොවේ. fb යන්නටය. මල් කඩන්නටය. එහෙමත් නැති නම් රටේ තියෙන සේරෝම ප්‍රශ්න විසඳන්නට try කරන්නටය. ඉතින් ආතතිය වැඩියිලු! නින්ද යන්නේ නැතිලු!! පරෙස්සමෙන්.... ලෙඩ ගොඩක් මඟ එන ලකුණුය ඒ.

මෙයාලා 55 න් යා යුතු නැතිද? මොළේ කචල් වෙලා නැතිද?
පාඩම් කරන ළමුන්ට තියෙන්නේ එසේ මෙසේ වැඩ කන්දරාවක් නොවේ. විශේෂයෙන්ම අගෝස්තු, දෙසැම්බර් කිට්ටු වෙද්දී. අදත් දෙසැම්බරයේ දවසකි. පාන්දර මා මේවා කොටන අතරේ සිසු-සිසුවියන් දහස් ගණනක් පාඩම් කරමින් ඉන්නවා විය යුතුය.

මේ දෙසැම්බරයත් ලේසියෙන් එන එකක් නෙවේය. එහෙම කිව්වේ සිරි ලංකාවේ පොරෝඩාතන්තරේට ඇති කර තියෙන අවුල හිංදා නොවේ!

ඒවා ඉතින් හැටට වැඩි දේශපාලුවන් එකතුවී විහින් හදාගන්නා (අව)මඟුල් නෙව? අවුරුදු පහ පිරුණු ගමන් පෙන්ෂන් ලැබුණත් එයාලා යන්නේ නම් නැත. උන්දැලාව පෙන්ෂන් නොයවන වැරැද්ද දැන් ඇස් ඉදිරිපිටම පළ දෙන්නට පටන් අරගෙන වුණත් තවම ‘දේශපාලකයන්ටත් 55 ඇති නේදැ’යි කවුරුන්වත් අහන්නේ නැත.

ඉතින් මේ වගේ දෙසැම්බරයක් නම් එන්නේ අවුරුදු 823 කට වතාවකි. සෙනසුරාදාවල් 5ක්, ඉරිදාවල් 5ක්, සඳුදාවල් 5ක් මේ මාසයට ඇත. චීන්නු මේ මාසයට කියන්නේ ‘සල්ලි මලු පිරුණු මාසය’ කියලාය.

අවුරුදු 823 කට වතාවක් එන................
පාඩම් කරන ළමුන්ට පොඩි tip එකක් පත්තරයක තිබුණේය. මාත් එය අත්හදා බැලුවේ කුතුහලය නිසාමය. හරිනේ! 

අපේ වෙහෙස දුරලන්නට; ඉඳුරන් අවදි කරන්නට; refresh කරවන්නට හොඳ සුගන්ධයකට පුළුවන්ය. විද්‍යාඥයන් දැන් ඔව්වා හොයා ගත්තාට ඉස්සර ඉඳලාම ඔහොම දේවල් රහස් වුණේ නැත. විඩාවක් දැනෙන වෙලාවට දෙහි; ලෙමන්; ඇපල්; පැඟිරි සුවඳ ආඝ්‍රාණය කරලා බලන්න! මං කියනවාට.

ඒ විදියට බලද්දී අපේ තාත්තලාට නම් ඔහොම නින්ද නොයන තරමේ ආතතියක් තිබුණේ නැත. එයාලා කොයියම්ම දෙයක්වත් පමණට වැඩියෙන් ගණන් ගත්තේ නැත.

තාත්තා හොඳට නිඳාගෙන; ඇහැරී; නිදිමැලි කඩා, උදේ හතරට විතර ඇහැරෙයි. සුනිලාටත් ඇහැරවයි. සමහර දවසක අම්මාත් නැඟිටියි. ඒ තේ එකක් හදා දෙන්නටය. වැඩි දවසක අම්මා කරන්නේ ලොකු නංගිව කූද්දා තේ හදන රාජකාරිය එයාටම පංගාඩම් කර ආයෙත් නිදාගැනීමය. තාත්තා ඉස්පිරිතාලේ සිටින කාලෙක නම් එයාගේ කොටසත් මගේ පිටටම වැටෙයි.

උදෙන් නැඟිට්ට හැටියේ, දඩිබිඩියේ පොල් සම්බෝලය හරි පොල් මැල්ලුම හරි හැදෙයි. ඊට පස්සේ ඔන්න, අපේ සුන්නා පැදුරක කැන්ද කොළ එළාගෙන යන්න ඕනෑය. තාත්තා ඒවාට උඩින් ඉඳියාප්ප දහය බැගින් තියාගෙන යයි.  ඒ එක්කම පොල් සම්බෝල හැන්දක්, මිරිසට ඉයූ සාලයෝ කූරියෙක් බැගින් බෙදයි.

සාලයොයි පොල් සම්බෝලයි......
ඒක ඩී.එච්. ගුණපාලගේ බිස්නස් ට්‍රික් එකකි. “මෙහෙ හැමදාම වගේ ගෙනෙන්නේ ඉඳියාප්පයි, පරිප්පුයි, සම්බෝලයි. කිසිම වෙනසක් කරන්නේ නෑ. පරිප්පුවලට යන වියදමෙන්ම සාලයෝ කූරියෙකුත් දෙතෑකි. මිනිස්සුත් කැමතියි, මිරිස් රහට කන්න.” 

ඒ උපායත් හොඳටම අල්ලලා ගියේය. හැබැයි ඒකෙන් සුනිල්ටත් හැමදාම හවසට අමතර රාජකාරියක් පැවරුණේය. මහරගමට ගිහින් සාලයෝ ගෙනෙන්නයි, සුද්ද කරන්නයි. උයන එක විතරක් තාත්තා කළේය.

මට මතක හැටියට නම් අර කළු අම්මණ්ඩිත්, ඊට පස්සේ අපේ තුරුම්පුව හොරාගත්තාය. මේ ළඟදී අපේ ජනාධිපතිතුමාත් පලිප්පු දමා, ඔජ වඩා ‘තව තුරුම්පු තියෙනවා’ කියා වහසි දෙඩෙව්වා වගේම මාත් කියන්නට ඕනෑය. අපටත් තව තුරුම්පු තිබිණි!

ඉතින් ඊළඟ කොටස ඉඳියාප්ප මුල් ඔතන එකය. වට දෙක තුනකට ඔය රාජකාරිය යන අතරේය මට කූද්දන්නේ. මාත් පට ගාලා ලැහැස්ති වෙන්නට ඕනෑය.

තව තුරුම්පු තියෙනවා...........
ඕනෑම දේකට පුරුදු වුණාම ලේසිය. යාන්ත්‍රිකව වාගේ කෙරෙයි. “සුමාන දෙකක් එකම රූටින් එක කරන්න. එකම විදියට ඩිස්ටර්බ් නොවී. ඊළඟට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉබේම පුරුද්දට වගේ කෙරෙයි.” අපේ අයස්මන්ත දොස්තර මහත්තයා ෆාස්ටින් කරන්නට උපදෙස් දෙද්දී කියයි. 

ඒ ඇත්ත එදා නම් මං වුණත් දැනගෙන හිටියේ නැත. විද්‍යානුකූලව දැනීම ලබාගන්නවා කියන්නේ මේ චුට්ටටනේ. කෙරෙන කියන දේවල්ම විග්‍රහ කිරීම, විශ්ලේෂණය කිරීම. එහෙමත් නැතිනම් හැංගිලා වගේ තියෙන න්‍යාය වටහාගැනීම! (ඒ ගැන වැරැදි බෝනස් එක පෝස්ටුවලදී කියන නිසාය මෙතැන නොලියන්නේ!)

වේවැල් කූඩ දෙකට ඉඳියාප්ප මුල් අඩුක් කළාම තාත්තාගේ ජොබ් එක ඉවරය. මහරගම හන්දියට යනතෙක් සුනිල් හරි, අනිල් හරි එක කූඩයක් උස්සාගෙන එයි. ඇස් වාට්ටුවට යන බසයකට නැග්ග තැන ඉඳන් ‘ගේම’ තනිකරම මටය.

මහ පාන්දර මහ ඉස්පිරිතාලේ මහ ගේට්ටුවෙන් ඇතුළුවීම නම් එපාම කළ එකකි. ඉන්නා මුරකරුවන් ගොඩකි. අද එකා නෙවෙයි හෙට. ඉතින් නව වැඳුම් වඳින්නට, එයාලාගේ රැස්පොට් බලන්නට වෙයි. හැබැයි හදිසි අනතුරු වාට්ටුව පැත්තේ ගේට්ටුවෙදී රෝහලට ඇතුළු වීම ලේසිය.

එතැන ඉන්නා මුරකරුවන්...........
බොහෝවිට එතැන මුර කරන්නට ඉන්නේ එක්කෙනෙක් නිසා වියදම් වෙන්නෙත් එක ඉඳියාප්ප මුලක් හරි දෙකකි. 

එපාම කළ නසරානියෙක් හිටියොත් නම් ආපහු එද්දී සිගරැට් දෙකකුත් ගේන්නැයි කියයි. අමතක කරලාත් බැරිය. ඊළඟ දවසේ උදේටත් එතැනින්ම යන්නට වෙන නිසාය. මගේ වාසනාවටදෝ අර විදියේ නසරානියන් හිටියේ අඩුවෙනි.

ඉතින්..... ඊළඟ ටික තව දවසක. හොඳේ!

2 comments:

  1. සෙල්ලම් නෑ ඉඳි ආප්ප බිස්නස් එකත් ... දැන් නම් මහා පරිමාණයෙන් ඉඳි ආප්ප මිරිකන අයට ඒවාටම හදාපු මැනුවල් සහ යාන්ත්‍රික මැෂින් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. කඩයප්පන් හැදීම ලාභදායී ව්‍යාපාරයක්. මහන්සිය තමා මිල වෙන්නේ!

      Delete