අකුරු මැකී නෑ

Tuesday, December 11, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දාහතරවෙනි කොටස

ඒ අවවාද නම් කාටත් වටිනවාය. හැම හය දෙනකුගෙන්ම එක්කෙනෙකුට දියවැඩියාව රෝගය තියෙන නිසා; පිළිකාව වසංගතයක් වාගේ පැතිරෙමින් තියෙන නිසා; ඔය දෙකටම වැඩියෙන් තරබාරුවත් හැමෝටම වාගේ තියෙන නිසා මේ අවවාද ගැන දැනුම්වත්වී හිඳීම වටිනවාය. ස්ථුලතාව වගේ ඒවා නිසාම උග්‍ර වෙන තව-තව ලෙඩත් ගොඩාරියක් නෙව! මං එහෙම කිව්වා මතකයිද?

කොහේ මතක හිටින්නද. මේ පංගොණ්ඩිත නිදිට වුණත් ඔහොම දේවල් ඉක්මනින් අමතක වී යනකොට. ඒ හින්දාමද කොහෙද දොස්තර මහත්තයා තවත් තුරුම්පුවක් සෙල්ලම් කළේය.

ඩොක්ටර් අයස්මන්ත තඩි පොතක්..........
“මෙන්න, කියවලා බලනවා!” පීරිස් තඩි ඉංගිරිසි පොතක් උස්සාගෙන ආවේය. මං නිතරෝම සාක්ෂි හොයන බව ඔහුත් දන්නවා වගේය.

අපේ බුදුහාමදුරුවන් වහන්සේත් කියා තිබෙන්නේ ‘කවුරුන් කෙසේ කීවත් තම-තම නැණ පමණින් විමසා බලන’ ලෙසයි. පීරිස් පොත ගෙන්නාගෙන තිබුණේ විදේශයකිනි. The Complete Guide to Fasting. කැනඩාවේ ප්‍රකාශයට පත් කෙරුණු පොතකි. කතුවරු දෙදෙනෙකි. Jason Fung, MD හා Jimmy Moore.

ඉස්-ඉස්සෙල්ලාම මගේ ඇහැ ගියේ පොතේ ප්‍රින්ටින් කොහොමද කියන කාරණයටය. මල්! නිමාවත් මසුරන්ය. ඉංගිරිසියත් සරලයි වගේය. හැබැයි වෛද්‍ය විද්‍යාත්මක වචන නම් තේරුම් ගන්නට දොස්තර මහත්තයාගේ උදව් ගන්නට වෙන පාටය. “උදව් ඕනේ වෙයිද කියලා දැන්මම තීරණේ කරන්නේ නැතිව තමුසෙ ඔන්න ඕක කියවනවකෝ!”

ටිකක් අදි-මදියෙන් වැඩේ පටන් ගත්තත් මට පොත අල්ලලා ගියේය. ඇල්ලුවේ නැත්තේ ‘Fasting’ වචනයයි. ඉංග්‍රීසියෙන් ෆාස්ටින් කියන්නේ උපවාසයටයි. උපවාසය ශීලයකි. කරන්නේ ස්ව කැමැත්තෙනි. ඒක හාමතින් හිඳීමක් නොවේ. කෙනෙක් හාමත් වෙන්නේ ආහාර නැති විටෙක හෝ බලෙන්ම කන්නට නොදී හිටින විටකය.

උපවාසය ගැන ලෝකයම දැන ගත්තේ එය අවියක් කොටගත් ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා නිසාය. නමුත් එය පැරැණි සංකල්පයකි. සිදුහත් තවුසා අත්තඛිලමථානුයෝගය වැඩූ බව ඉතාම ප්‍රකටය. ඉස්ලාම්වරු ‘නෝම්බි ඇල්ලීමත්’ උපවාසයකි. අවාසනාවට දැන් නම් උපවාසය බල්ලාට ගිහින්ය. ගිහින් නොවේ, යවලාය.

දොඩම් බොන උපවාසයන්..........
දොඩම් විතරක් බොන උපවාසයක් ගැන මගේ ‘වස් කවි කීම’ පෝස්ටුවේදී පට ඇරලාම කිව්වෙමි. ඒ කාලයේ එහෙම එව්වා විරලය. දැන් නම් හරිම සුලබය. 
දැන් ඒවා පටන් ගන්නේම මාරාන්තික උපවාස කියලාය; සේරෝටම කලින් අම්බානක මීඩියාකාරයන් කැඳවාගෙන ඉවර වෙලාය; චුට්ටක් අමාරු වෙනකොටම දොස්තරලා ගෙන්වන්නත්; ප්‍රතිකාර දෙන්නත් සූජානම් කරලා ඉවර වෙලාය. ඉල්ලීම් දිනුවත් නැතත්, මැරුණේ නැතත් වගේ-වගක් නැත. ලැබෙන පබ්ලිසිටිය මදැයි!

“නිමල් අයියේ, Fasting කිව්වට මේක එහෙම පිටින්ම බඩගින්නේ නොකා ඉන්න එකක් නෙවෙයි. එක-එක විදියට මේක කරන්න පුළුවනි. එක-එක්කෙනාට ගැලපෙන විදියට.... අචීව් කරගන්න ඕනේ කරන target එකේ විදියට.” පීරිස් අපට කිව්වේය.


ඒ අතින් අප හතර පස් දෙනාගේ ඉලක්ක එකකට-එකක් වෙනස්ය. 

නෙවිල්ට ඕනෑ ‘සල්මන් ඛාන්’ වගේ සික්ස් පැක් ඇඟක් හදා ගන්නටය. කැකිරි ගෙඩියක් වගේ පිම්බී, කිලෝ 98 හිටි ගවීන්ට ඕනෑ වුණේ කිලෝ 60කට විතර බර අඩු කර ගන්නටය.
උත්පල දහනායකට නම් ලොකු ටාගට් තිබ්බේ නැත. “ඇඟට සැහැල්ලුවක් දැනෙන තරමට බර ටිකක් අඩු කර ගත්තාම ඇති!” දහනායක කිව්වේය. 
කැලෑ බේකරියේ දයානන්ද මුදලාලිට හිතිලා තිබුණේ ‘මුදලාලි බඩ බස්සා ගන්නටය’. මගේම කියා අරමුණක් නොතිබුණත්, අයස්මන්ත මහත්තයා මටත් ඉලක්කයක් දී තිබිණි. ‘කෑමෙන්ම අයියාටත් පුළුවන් කැන්සර් එක control කරගන්න’.

සල්මන් ඛාන් වගේ සික්ස්...........
තියරිය තිතටම වැඩ කරන බව දොස්තර මහත්තයාත්, නෙවිලුත් දෙන්නා කළ උපවාසයෙදී හොඳටම ඔප්පුවී තිබිණි. අපි මෙහෙයුමට බැස්සෙමු!

වාව්! මාස හයක් යන්නට පෙර අපේ ඉලක්ක හරි ගියේය! හැබැයි තවමත් ‘ලෝකල් සල්මන් ඛාන්’ මඟ එන ගමන්ය. ගවීන්ගේ දැන් බර කිලෝ 63 කි. දහනායකත් බර අඩුවීම නිසා දැනෙන සැහැල්ලුව ගැන ඔජ වඩයි. දයා මුදලාලිට නම් වුණේ හිතූ දෙයක් නෙවේ. 

“අනේ, ඔයා ඔය කෙට්ටු වුණා ඇති!” නෝනා මහත්තයා කිව්වාලු. ෆාස්ටින් කරන්නට ගත් තවත් කිහිප දෙනෙකුටත් එහෙම ප්‍රතිචාර තදින්ම බල පෑවේය. අපේ උදවිය කෙට්ටුවීම රෝගයක් යයි හිතන්නට පුරුදුවී හිටිති. කොච්චර මහත් වුණත් කමක් නැත! මහත් වීම නිසා, ලෙඩ ගොඩක් ඉස්සරහට පෝලිමේ එන බව හිතන්නට අකැමැතිය.

කලිනුත් කිව්වෙමි. මගේ වෛද්‍ය වාර්තා කියන්නේ පිළිකා මට්ටම ‘බිංදුව’ ආසන්නයටම බැහැලා බවයි! ඒ මදිද?

MRI වාර්තාව කියන්නේ...........
“මිස්ටර් නිමල්, දැන් මේ ට්‍රීට්මන්ට්ස් කරගෙන යද්දී ඔයාට ‘සොල්ට්රෝනික් ඇසිඩ්’ ඉන්ජෙක්ෂන් එකත් දෙන්න වෙනවා. මාසෙකට එකක්. මොකද ඔයාගේ ඇටකටු දිරන එක නවත්තා ගන්න. හැබැයි, ඊට ඉස්සෙල්ලා යන්තමට හරි නරක් වෙලා තියෙන දත් සේරම ගලවන්න වෙනවා. නැතිනම් පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි!” 
දොස්තර රොහාන් පුල්ලෙපෙරුම මහත්තයා අනතුරු ඇඟෙව්වේය. තිබුණු දත්වලින් තුන හතරක්ම මට නැති වුණේ එතැනදීය.

ඒත් සේරම හරි ගියේ නැත. දත් ගැලෙව්වාට මගේ හකු ඇටය සම්පූර්ණයෙන්ම විදුරුමස්වලින් වැහුණේ නැත!

“හොම්බ රිවට් වෙන්න දෙනවා” “හක්ක කැඩෙන්න ගහනවා!” වගේ කුප්පන කතන්දර, කේන්ති ගියාම සමහරුන්ට කියවෙයි. ඒත් ඒක නොකෙරෙන; කරන්නට බැරි දෙයකි. 
ඇයි ඒ? මනුස්ස ශරීරයේ වැඩියෙන්ම සවි-සක්තිය තියෙන්නේ ‘හකු ඇටයට’ය. යටි හනුවටය. කියවෙන විදියට නම් කකුලේ ‘ජංඝාස්ථිය’ වගේ 12 ගුණයක් යටි හනුව ශක්තිමත්ය !

මනුස්ස ශරීරයේ ශක්තිමත්ම..............
මගේ හකු ඇටය හයියද නැද්ද කියන කාරණය මං තවමත් දන්නේ නැත. කවුරුන්වත් හොම්බට දෙකක් ඇනලා නැති නිසාය, ඒ. ඒත් මොකක්දෝ වැරැදීගෙන එන බව නම් මට තේරෙන්නට පටන් ගත්තේය. 

අයස්මන්ත මහත්තයා හම්බන්තොට රෝහලේ ‘දන්ත වෛද්‍ය අංශයේ’ ලොකු මහත්තයාටම කතා කළේය. මාව පෙන්වන්නට වෙලාවක් යොදා ගත්තේය. දොස්තර කේ.අයි. සමරනායක මහත්තයාත් බොහොම හොඳට, උනන්දුවෙන් මා පරීක්ෂා කළේය.

“මිස්ටර් නිමල්ගේ හක්ක ලියලනවා. විදුරුමස්වලින් කවර් වෙලා නැති තැන්වලින් හකු ඇටය ලියලලා. ඒ වැවුණු තැන් කපලා, මට්ටම් කරලා, විදුරුමස් ඇදලා අරන් කවර් කරලා මැහුම් දාන්න වෙනවා!” ඩොක්ටර් ක්‍රිශාන්ත කිව්වේය. 

කියන විදියෙන්ම පෙනුණේ ඒක මහ යමර වැඩක් බවයි. ගෙවන්නට කරුමයක් තියේ නම් එය ගෙවන්නම වෙයි. නැතිව උරච්චි කරලාවත් ඒක ගෙවාගන්නට බැරිය.

හම්බන්තොට ඉස්පිරිතාලයේ දන්ත වෛද්‍යාගාරයේ ගිලන් ඇඳ උඩ දපාගෙන කල්පයක විතර කාලයක් ඉන්නට මට සිදු වුණේ එහෙමය. 
අමාරුම වුණේ මකර කට වාගේ ‘හායි ගාලා’ කටත් ඇරගෙන ඉන්නට වීමයි. විස්තර ඕනෑ නැත. මගේ මුහුණ දෙකවී තිබුණු හැටි දැක්කාම ‘සෙල්ෆියක්’ අරගෙන තියන්නට මට සිතිණි.

මේ මගේ පළමු සෙල්ෆියයි! 2017 මාර්තු මාසයේදී මේක ගත්තෙත් දෙවෙනි දවසේ ඉදිමුම බාගෙට බැස්සාටත් පස්සෙය!! මේකත් මෙහෙම නම් පළමුවෙනි දවසේ කොහොමදැයි හිතාගැනීම අමාරු නැහැ නේද?

මගේ පළමු හා එකම සෙල්ෆිය ගත්තේ..........
බුද්ධාගම ආගමක් නොව දර්ශනයක් බව මගේ හැඟීමයි. අසූහාර කෝටියක් සංවර ශීලය රකින; පරහිතකාමී උන්නාන්සේලාත් ‘ඔය දර්ශන කතාව’ පිළිගන්නවා විය යුතුය. ඒ නිසාමදෝ සමහර උන්නාන්සේලා හිටි ගමන් ‘දර්ශන දමන’ එකත් කරති! 

ඔයාලට මතක ඇති නේද, ජුනි මාසයේ ‘අපේ කුණු අපට එපාවී-1’ පෝස්ටුවෙදීත් මං එහෙම දර්ශනයක් ගැන කී හැටි. අර පන්සලක ලොකු හාමුදුරුවන් වහන්සේ නමක් හිමිදිරියේ නයිටියක් ඇඳගත් අංගනාවකගේ ගෙදරදී ‘මුල් පිටුව’ බැලූ හැටි! ඒක වැරැදිද කියා මා දන්නේ නැත. හැබැයි ‘හරි මදි’ කියලා නම් මගේ හිත කියයි.

මං බුද්ධාගම ගැන දන්නේ ටිකකි. එයිනුත් වැඩිම හරිය අ.පො.ස.සාපෙට ඉගෙනගත් ‘බුද්ධ ධර්ම සංග්‍රහව’ පොතෙන්ය. ‘සංග්‍රහව’ කියා කිව්වේ පොතේ තිබුණේ එහෙමය කියා මට මතක නිසාය. සමහර විට මට වැරැදීමක් වෙන්නත් ඉඩ ඇත. ඒකෙන් කටපාඩම් කරගත් ‘ධම්මපද’ ගාථාවක් මෙහෙමය.

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ජේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසෝ - යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා

යම් තැනෙක සිට පවේ විපාකයෙන් මිදිය හැකි ද එ බඳු තැනක් අහසෙහිත් නැත; මුහුද මැදත් නැත; පර්වත කුහරයකත් නැත; එ බඳු බිම් පෙදෙසක් ලොව කොහේවත් ඇත්තේ නැත.

පවේ විපාකයෙන් මිදිය හැකි ස්ථානයක්...........
මගේ පළමු සෙල්ෆිය දකින වාරයක් ගණනේ මට සිහිවෙන්නේ එයයි! ඒ අරුතයි!! ඒ දහම තවත් සනාථ කරවමින්, මට තවත් විඳින්නට කර්මය ඉතිරිවී ඇති බව කියන්නට වාගේ වැඩත් සිද්ද වුණේය.

2017 මාර්තුවලදී හක්කේ ලියැලූ තැන් කපා දමා විදුරුමස්වලින් වැහුවත් ඒක 100%ක්ම හරි ගියේ නැත! 
ඒ සැත්කමට සියලුම උපදෙස් දුන් ක්‍රිශාන්ත දොස්තර මහත්තයාගේවත්, සැත්කම කළ දොස්තර ධනුෂ්ක රණසිංහ මහත්තයාගේවත් වැරැද්දකින් නොවේ. එතුමන්ලා කොච්චර මහන්සි වුණත් ‘මගේ අලි හක්ක’ කවර් කරන්නට තරම් විදුරුමස් කොහෙන් හොයන්නද? 
කඩෙන් ගෙනෙන්නද? ඒ නිසාම දැනට තුන් වතාවක් හකු ඇටය කපන්නටත් මහන්නටත් සිද්දවී තියෙයි! හැබැයි, මෙදා සැරේ නම් වැඩේ complete වගේය කියා මට හිතෙයි.

හිතෙනවා විතරක් නෙවේ, දැනෙනවත් එක්කය! ඒ කර්මය ගෙවා අහවර වෙන්නැතිය!

මෙහෙම තැනකදී මගේ උපරිමයෙන්ම කළ හැකිවන්නේ හම්බන්තොට දන්ත වෛද්‍ය අංශයේ ක්‍රිශාන්ත සමරනායක හා ධනුෂ්ක රණසිංහ දොස්තර මහත්වරුන්ටත් කාර්ය මණ්ඩලයටත් මගේ හද පිරි ස්තුතිය පිරිනැමීමය. ‘ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි! You have done en excellent job!’.     

ක්‍රිශාන්ත සමරනායක, ධනුෂ්ක රණසිංහ දොස්තර මහත්වරුන් දෙන්නා.....
හක්කේ ප්‍රශ්නය එහෙම ගොඩ දමා ගත්තත් ඇටසැකිල්ලේ ප්‍රශ්නයත් ඉතිරිවී තිබුණේය; තවමත් එයින් විසඳී ඇත්තේ කොටසක් විතරය. සොල්ට්රෝනික් ඇසිඩ් ඉන්ජෙක්ෂන් ගණනාවක් ඉදිරි මාස කීපයේදීත් මට විදිනු ඇත. නැති නම් ‘මගේ අස්ථි පඤ්ජරය’ හොඳටම දිරාපත් වෙනු ඇත. මටත් කලින්!

ඒක සිද්ද වෙන්නේ වාසනාවේ හැටියටය. වාසනාව තියෙනවා නම්!....

ඒ අතින් බලද්දී තමිල්නාඩුවේ ඌටිවල වසන්තාත් එහෙම වාසනාවන්ත ඇත්තියකි. මාස කීපයකට කලින් ශල්‍ය වෛද්‍ය Sethil Kumar කොයිම්බතුර් ඉස්පිරිතාලයෙදී වසන්තාගේ ‘ඩිම්බ කෝෂ’ පිළිකා ගෙඩියක් ඉවත් කළේය. ඒක ගෙඩියක් නොවේ. ගෙඩි රාජයෙකි. 

කිලෝ 33.5 ක් කිව්වාම සයිස් එක හිතාගන්නකෝ. එච්චර ගෙඩියක් දරාගෙන උන් වසන්තාගේ බර (සැත්කමෙන් පස්සේ) කිලෝ 42.5 ක් විතරය. ඇඟේ තරමටද ගෙඩිය? කොහොම නමුත් දැන් ඇය යහතින්-හොඳින්ය.

වසන්තාගේ ඩිම්බ කෝෂ පිළිකා ගෙඩිය කිලෝ 33.5කි.
වාසනාව කියන්නේ මේකට නේන්නම්!

ඉතින් වාසනාවන්ත රසික ඔයාලාව ඊළඟ කොටසින් හමු වෙනතුරු අදට, ‘ආයු බොහෝ වේවා!

2 comments:

  1. උපවාසය කියන සංකල්පය ලෙඩ වලට ගැලපුනාට මිනිස්සුන්ට ගැලපෙන්නෙ නැහැ ... ඒත් නොකර බැරි වෙනව ලෙඩ වලදි. මට ෆාස්ටින් පේන්න බැහැ ... අකාල මරණං කියන්නෙ එහෙම්පිටින්ම දුකක් !!! පහුගිය අවුරුදු 11 ක් කිසිම රාමසාන් දවසක මම නොකා ඉඳල නැහැ ... ඒ මම ඒක ප්‍රතික්ෂේප කරන නිසා !

    ගුණ දායක කෑම කන්න උනන්දුවක් තිබ්බත් දැනට කාල මරණං කියල හිතාගෙන ඉන්නෙ .. ඉස්සරහට වෙනස් වෙයිද කවුද දන්නෙ .. ???

    ඔයා බැඳලා හිටියනම් හාමිනේ කලින්ම දත් ගලවන නිසා ලේසි වෙන්න තිබ්බ ... අර සෙල්ෆිය දැක්කම ඇඟ සීතල වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. හාමිනේලා සූර විදියට දත් ගලවන ගැන නම් සේරම විවාහක මිතුරන් එමට කියනවා!

      Delete