අකුරු මැකී නෑ

Sunday, December 9, 2018

කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස


“ඒකේ ඉන්නේ හෙලන්!”
“නෑ,හෙලන් නෙවෙයි.”
“අනේඃ, උඹ ඔය බලලා තියෙන විදිය තමයි!”

“මං නෙවෙයි මෝඩයෝ. උඹයි හරියට බලලා නැත්තේ, එතැන ඉන්නේ වෙන කෙල්ලෙක්!” සෝමවීර ඔච්චම් ලීලාවෙන් කිව්වා. මට යකා නැංගේ වචනවලට නෙවෙයි, මිනිහගේ ආංගික අභින පෙනුණාම. ඊටත් බතික් වැඩපළේ ගෑනු ළමයිනුත් වැඩ නවත්තලා, කටවල් ඇරගෙන බලා ඉන්නේ අපේ වාදය දිහා.

හතුරන් වැඩි කරගන්න නම්..............
යහළුවන්ව දිනාගන්න කැමැතියි නම් එයාලා එක්ක වාදෙට යන්න එපා. එහෙම වාදෙකින් දිනුවත් ඔබ පරාදයි. මොකද, ඒකෙන් ඔබ යහළුවාගේ අභිමානයටම තදබල පහරක් එල්ල කරන නිසා. පුළුවනි නම් හොඳම දේ වාදෙකට නොගොහින් ඉන්න එක. 

එහෙම හොඳින්-ගොඩින් බේරෙන්නත් බැරි වෙලාවල් එනවනේ, අපට ඕනේ නැති වුණත් තව අයට ඕනේ අපි එයාලත් එක්ක වාදෙකට පටලවා ගන්න. එහෙම අයට ඕනේ තමුන්ගේ colours පෙන්වන්න. විශේෂයෙන්ම එහෙම අය එක්ක පැටලෙන්න වුණොත් හොඳම දේ තමයි ඔබ පරාද වෙලා එයාට දිනන්න ඉඩ හරින එක.

එහෙම කරන්නයි කියන්නේ මිතුරන් වැඩි කරගන්න ඔබට ඕනේ නම් විතරයි. නැතිව සතුරන් වැඩි කරගන්න ඕනේ නම්..... ඒකටත් කරන්න ඕනේ දේ රසික ඔයාලට මං කියා දෙන්න ඕනයැ.

මේ මතය මගේ නෙවෙයි. සමාජ විද්‍යාඥයන්ගේ. ඒ තියරිය මගේ ඇහැ ගැහුණ ගමන්ම මං අල්ලාගත්තා. ප්‍රැක්ටිස් කරලාත් බැලුවා. හරිනෙ බොලේ. මට නම් ඔය තියරිය මෙච්චර කාලෙකට වැරැදිලා නැහැ!

ඇත්තටම අපේ වටේ ඉන්න හුඟක් අයට ඕනේ දිනන්න මිසක පරදින්න නෙවෙයි. තමන් වැරැදිය කියලා අනෙක් හැමෝම සහසුද්දෙන්ම පෙන්නලා දුන්නත් වැඩක් නැහැ. 

අනෙක තමයි කිසිම දවසක වාදෙකින්, කවුරුවත්ම තමන්ගේ මතවාදය වැරැදියි කියලා පිළිගන්නවාත් මං නම් දැකලා නැහැ. (ඒකට හේතුව නම් මගේ වාද කරන සේරම යහළුවන් විදග්ධයන් වීම වෙන්නත් පුළුවන්!) මමනේ මොට්ටයා; බූරුවා මහත්තයා!

මමයි තකතීරු බූරුවා මහත්තයා!
එතකොට මං ඔය වගේ සූත්තර- සම්‍යක් ප්‍රයෝග ඉගෙනගෙන තිබ්බේ නැහැ. ඉතින් තකතිරුවා වගේ මාත් එදා නම් සෝමවීර එක්ක දිගටම පැටලුණා.

අපේ වාදයට ප්‍රස්තුතය වුණේ චිත්‍රපටයක්. ලංකාවේ එකකුත් නෙවෙයි. බොලිවුඩ් ෆිල්ම් එකක්. මං දන්නා තරමින් නම් ඒ දවස්වල ‘බොලිවුඩ්’ නමක් තිබ්බෙත් නැහැ. දැන් තමයි බොලිවුඩ් විතරක් නෙවෙයි, ‘කොලිවුඩ්’ ‘ටොලිවුඩ්’ එහෙමත් හැදිලා තියෙන්නේ. 

අපි ඒ දවස්වල කිව්ව විදියට නම් ඒක ‘හින්දි ෆිල්ම්’එකක්. Raampur ka Lakshman. 1972 නිෂ්පාදනය වුණු එකක්. ලස්සන වට්ටෝරු චිත්‍රපටයක්.

ඉස්සර හින්දි, ඉංග්‍රීසි ෆිල්ම්ස් කොයිවත් ලංකාවට එන්නේ කාලෙකට පස්සේ. එහෙ රිලීස් කරන දවසෙම නම් කොයි විදියෙන්වත් මෙහාට එව්වා ආවේ නැහැ.

ඒකටත් එක්ක දැන්. දැක්ක නේද මේ ඊයේ පෙරේදා වෙච්ච වික්‍රමය. රජිනිකාන්ත්, අක්ශේ කුමාර් රඟපාන ‘2.0’ දමිල චිත්‍රපටය රිලීස් වුණු දවසෙම ලංකාවෙත් පෙන්වන්න පටන් ගත්තා. එම්.පී.අයි. මණ්ඩලය යටතේ. ෆිල්ම් හෝල් 110ක! කවුද කියන්නේ අපේ සිනමාව කඩා වැටිලාය කියලා?

රසිකයන්ට අල්ලන ෆිල්ම් හදාගන්න බැරි වුණාට අපේ චිත්‍රපටකාරයෝ හිතන්නේ අපි එයාලා හදන මළ ජරාව සේරම බලන්න ඕනෙය කියලා. අතින් සල්ලි දීලා හූනියන් කරගන්න මෝඩයොද අපි? වෙන වැඩ නැතිවට, බලයි එහෙනම්!

රජිනිකාන්ත් අක්ෂේ කුමාර් දෙන්නා ඉන්න .......
මට මුලින්මයි කියන්න තිබ්බේ. අපේ සෝමවීර උන්නැහේ මටත් වැඩිය පිච්චර් පිස්සා. ඒ දවස්වල මිනිහට එක ආසාවක් තිබුණා. 'එතෙක් ලංකාවේ හැදිලා තිබුණු හැම චිත්‍රපටයක්ම මං බලලා තියෙනවා' කියන උදාන වැකිය කියන්නට. 
ඒ කාලේ ෆිල්ම් හෝල්වලට හිටි ගමන් පරණ චිත්‍රපට දානවා. දවසට දෙකට. සෝමවීර හැමදාම පත්තරෙනුත් බලලා ඈත ෆිල්ම් හෝල් එකකට හරි ගියා, list එක කම්ප්ලීට් කරගන්න.

1983 ජාති ආලෙ නොවෙන්නට ඒක කර ගන්නත් තිබුණා. කොහෙද? චිත්‍රාගාර වගේ තැන් ගිනි තිබ්බනේ. එදා නැති කළේ අපේ ඉතිහාසෙන් කොටහක්. ඉතිහාසේ කන්නයැ කියපු පණ්ඩිතයන්නෙ ඒ කාලේ රට කෙරෙව්වේ.

දැන් හැදෙන; හෝල්වලට නොදා පේව්මන්ට්වල dvd විකුණන තැන්වලින් දොරට වඩම්මන; චිත්‍රපට කියන නමටවත් නොගැළපෙන filmsතුත් සෝමවීර නොවරදවාම බලනවාද දන්නේ නැහැ.

මාත් ඔය වැඩේ කළා. හැබැයි මට ඕන වුණේ නැහැ හැම එකම බැලුවා කියලා පම්පෝරි ගහන්න නම්. ඒකටත් සම්මානයක් දෙනවයැ?

මට හොඳයි කියලා හිතුණු පරණ චිත්‍රපට විතරයි එහෙම හොයාගෙන ගිහින් බැලුවෙත්. හෝමාගම, නුගේගොඩ තමයි ගිය වැඩිම දුරත්. මං කියලානේ තියෙන්නේ, අපේ තාත්තා ඉන්න කාලේ අවසර තිබුණේ සතියට එකක් බලන්න විතරයි කියලත්. හැබැයි සමහර සතිවලදී මොකුත්ම බලන්න නොයා ‘කෝටා’ එක වැඩි කරගන්නත් මං පුරුදු වෙලා හිටියා.

සෝමවීරයි පැරැණි චිත්‍රපටයි.......
සෝමවීරව ඔයාලට මෙයිට කලිනුත් හමු වුණා ‘මඩ ගොහොරුවක පචවී 7,8,9,10’ පෝස්ටුවලදී. මිනිහාත් unp. එයයි, වී.ජී. පියදාස අයියයි තමා පමුණුවේ එක්සත් සුබසාධක මාවතේ පට්ටම unpකාරයෝ දෙන්නා.

ඉතින් රාම පුරේ ඉඳලා ආව ලක්ෂමන් මේ ජංජාලය ඇති කෙරෙව්වේ 1977-1978 විතර වෙන්න ඕනේ. මං කාල නිර්ණය කරන්නේ සාධක දෙකක් සලකලයි. 

තාත්තගේ අභාවයයි, අම්මගේ එංගලන්ත ගමනයි දෙකටම පස්සේ වෙන්න ඕනේ. බතික් කරද්දී වෙන්නත් ඕනේ. (ඒ වෙද්දී මුළු පමුණුවම අපේ ගෙදරට කිව්වේ ‘බතික් ගෙදර’ කියලයි.) ඒ විස්තර වෙනම කියවේවි, පසුව. 

මෙතනට අදාළ වෙන්නේ 60-70 දෙනෙක් අපේ බතික් වැඩපොළේ වැඩ කළ බවයි, සෝමවීරත් එයින් එක්කෙනෙකු වුණු බවයි විතරයි.

වැඩපොළ මගෙ වුණාට කවදාවත් මං වැඩ කළ අයට ‘බොස්’ හරි ‘සර්’ හරි ‘ලොක්කා’හරි වුණේ නැහැ. නිමල් අයියා විතරයි. මට වැඩිය වැඩිමහල් අයත් වැඩට ආවානේ. එයාලට මං ‘නිමල් මල්ලී’ හරි ‘රංජි මල්ලී’ හරි වුණා. ඕකට නම් අපේ ගෙදර ගොඩ දෙනකුට තිබ්බේ පොඩිපහේ අමනාපයක් නෙවෙයි. 

විහින් නම්බු අටවා නොගත්තට අපේ කිරියාව හොඳයි නම් නම්බුව නිකම්ම ලැබෙනවා කියන එක එතකොටත් මං අදහපු දහමක්! ඒත් අපේ ගෙදර හුඟ දෙනෙකු ළඟ නැති ගතියකුත් මට තිබුණා.

දන්නවනේ අර සිල් රැකපු නයාගේ කතාව.

මෛත්‍රී කිරීමේ අනුහස්...........
කැලයක් මැද්දේ සිල් රකින තාපසයෙක් එක්ක නාග රාජයෙක් යාළු වුණා. නයාට තාපසතුමාගේ සංවරය දැකලා ඕනේ වුණා සිල් රකින්න. අහගත්තා මොනවද සිල් කියලා. ‘උඹට රකින්න පුළුවන් ශීලය තමයි මෛත්‍රී වැඩීම’ තාපසයා කියලා දුන්නා. 

නයාත් දැන් සිල් රකිනවා. ටික දවසයි ගියේ අවට ගං හත-අටෙත් මිනිස්සු දැනගත්තා නයා සිල් රකින බව. මෙන්න දෙයියනේ හිටි ගමන් නයා අතුරුදහන්! අනේ, තාපසයාටත් පුදුමයි. ඉස්සර හැමදාම නයා දවසකට වතාවක්වත් එනවා එතුමාව බලලා යන්න. දැන් නැහැ. කාගෙන් කියලා අහගන්නද මූකලාන මැද්දේ.

ඔන්න සුමානෙකට විතර පස්සේ නයා එනවා. බොහොම අමාරුවෙන් බඩ ගගා. පුරුක් ඇදිලා. තුවාලත් වෙලා.

“මොකද දරුවෝ වුණේ” තාපසයා නයාව උකුලට අරන් තෙල් ටිකක් කාරිය ගාලා සාත්තු කරන ගමන් ඇහුවා. 
“දවසක් මං සිල් අරන් භාවනා කරන ඉසව්වේ දරට ආව ගෑනු කෙනෙකුට දර මිටි බඳින ලණුව ගෙනෙන්න අමතක වෙලා. ඒ අහළ-පහළ වැල් පොටක්වත් තිබුණෙත් නැතිකොට මේ අම්මණ්ඩි මාව ඇදලා අරන් ලණුවේ අඩුව පිරිමහගත්තනෙ, තාපසතුමෝ.”

“ඇයි මෝඩයෝ, උඹ පෙණය පිප්පුවෙවත් නැද්ද?” තාපසයා නොරුස්සන හඬින් ඇහුවා.

උඹ පෙණය පිප්පුවෙවත් නැද්ද මෝඩයෝ.......
“පෙණය පුප්පන්නේ කොහොමද? ඔබතුමාමනෙ මට ඉගැන්නුවේ මෛත්‍රී වඩන්න කියලා.”

“හරි. මං උඹට මෛත්‍රී කරන්න කියාපු එක ඇත්ත. ඒත් මෝඩයෝ තමන්ගේ ආරස්සාවට හරි ඉඳ-හිටලා පෙණේ පුප්පන්නත් ඕනේ. එහෙම නොකළ නිසා තමයි අර අම්මණ්ඩි උඹව දර බඳින්න ලණුවකට ගත්තේ.” තාපසයා නයාට කියල දුන්නා.

හය-හතර තේරෙන දවසේ ඉඳලමද, ඔය කතාව දැනගත්තු දවසේ ඉඳලාමද කියලා නම් මට නිච්චි නැහැ. 
ඒත් මාත් නොවරදවාම ඉඳහිට පෙණේ පුප්පනවා. ඒ ගතිය නිසාම ගොඩ දෙනා මගේ ගැන මවාගෙන ඉන්නේ වැරැදි impression එකක්. 
මගේ මොකෝ? ඒ ප්‍රතිරූපයෙන් මට වෙන්නේ වැඩක් මිස අවැඩක් නෙවෙයි. ඉතින් මං ඒක නම් නිවැරැදි කරන්න යන්නෙත් නැහැ. එහෙම තියෙන එක මටම වාසියකුත්නේ.

හැම තිස්සෙම මට පිරිස් කළමනාකරණය කරන්නනෙ වුණේ රැකියාවලදීත්. 

එතැනදීත් ඔය ඉඳහිට ‘පෙණය පිප්පීම’ මට නම් වැඩ කළා. ඒත්, ඔන්න නොකිව්වයි කියන්න එපා. නිස්කාරණේ, අහේතුකව, අසාධාරණ විදියට හෙම පෙණය පිප්පුවොත් නම් හම්බ වෙයි පෙණේ කුඩු වෙන්නම! 

බතික් කරන්නට ආව හැමෝමත් අදටත් මට සලකන බව මෙතැනදී කියන්නේ පම්පෝරියක් විදියට නෙවෙයි. දැඩි තීරණ ගන්නා, වැරැදිවලට සමාව නොදෙන, tuff කෙනෙක් හැටියට මාව ගණන් අරන් හිටි අය වුණත් මගෙ හොඳක්ම දැකපු බව කියන්නයි.

මේ අපේ බතික්  වැඩපොළ නම් නෙවෙයි......
සෝමවීර බතික් වැඩපොළේ එකට වැඩ කළ සගයෙක් වුණත් අර ගෑනු ළමයි හැමෝමත් එදා  ඉත-සිතින්ම ප්‍රාර්ථනා කළේ මගේ ජයග්‍රහණය; සෝමවීරගේ පරාජය.

සෝමේ විහින්ම මිනිස්සු තරහ කරගන්න දෙයියෙක්. කිසිම කමක්-පලක් නැති දේකට වුණත් අනෙක් අයගේ හිත රිද්දනවා. 
මගේ වචනෙකින් කියනවා නම් කෙළහනවා! ඕනෙම කෙනෙකුට අභිමානයක් තියෙනවා කියන එක නම් මිනිහා දැනගෙන උන්නෙත් නැහැ, ඒ දවස්වල. 
මිනිහගෙ ලොකුම සතුට කාට, කොහොම හරි කෙළවෙනවා දැකීම. උඩින් නොපෙන්නුවත් එහෙම අයට කවුද කැමැති? 

සැරෙන්-සැරේ සෝමවීර ‘රාම් පූර් කා ලක්ෂ්මන්’ව ඇදලා ගත්තා, එදා දවස පුරාම. “එතකොට උඹ කියන්නේ ඒකේ ඉන්නේ හෙලන් කියලනේ.” මිනිහ ඇහුවා.

“ඔව්” මං කිව්වා. “ඒත් ඉතින් දැන් උඹටවත් මටවත් ඒක හොයාගන්න විදියක් නැහැනේ. ෆිල්ම් එක ගලවලත් ඉවරයිනේ. ආයෙම කොයි කාලෙක ඕක දායිද කියලා කවුද දන්නේ?” මං කිව්වේ තිබුණු ඇත්ත තත්ත්වේ. මොන. මේ යක්ෂයා එක පාරම කිව්වේ අපූරු කතාවක්.

“හරි, උඹට වැඩේ සහතිකයිනේ. මොකද කියන්නේ. එහෙනම් අල්ලමුද ඔට්ටුවක්?” ඒ දවස්වල අපේ තිබුණා එක-එක මඟුල්වලට ඔට්ටු අල්ලන පුරුද්දක්!

“යකෝ, ඔට්ටුව අල්ලන්න නම් බැරියැයි. කවද්ද අපි ඕක සුද්දෙන් දැනගන්නේ. ඒකට ඉතින් ආයෙම ෆිල්ම් එක දානකල් ඉන්න වෙනවනේ කියලා මං ඉස්සෙල්ලත් කිව්වේ!”

සුරූපී හෙලන්.............
“ඒකට කමක් නැහැ. උඹට බය හිතුණද?” සෝමවීර හැදුවේ මාව තව ටිකක් අවුස්සාගන්න. පස්සෙයි තේරුණේ. මං ඇවිස්සුණා නේන්නම්! “යකෝ මේ, සෙවෙල කතා කියන්න එපා. අල්ලමු ඔට්ටුව. මොනවද ඔට්ටු?” මං ඇහුවේ තරමක කේන්තියෙන්.

ඒ කාලේ හෙලන් හින්දි චිත්‍රපට හැම එකකම වගේ හිටියාමයි. ක්ලබ්වල නැටුම්වලට නම් ආයේ හෙලන්ට කිට්ටු කරන්නවත් වෙන කවුරුන්වත් හිටියේ නැහැ. 
ඇයි ඉතින් සමාජ ශාලාවල නාටිකාංගනාවෝ අඩ නිරුවතින්නේ නටන්නේ. ඒ දවස්වල කොහෙද එහෙම කරන නිළියෝ, කලාතුරකින් මිස? 
ඒ මදිවට හැම ෆිල්ම් එකකම දුෂ්ටයා ක්ලබ් එකකටත් සම්බන්ධයි. ඒ වගේ දේවල් නිසා හින්දි සිනමාවේ හෙලන්ට ලොකු ඉල්ලුමකුත් තිබුණා.

ලංකාවේ ඒ ඉල්ලුම සපිරුවේත් හෙලන් කෙනෙක්. හෙලන් කුමාරි. එයාට තරගයක් දුන්නේ ෆරීනාලයි. එතකොට ෆරීනාලයි ගිනි නැටුම්වලටත් ප්‍රසිද්ධයි. මේ දෙන්නම නැටුම්වලට වගේම රඟපාන්නත් දක්ෂයි. 

ෆරීනාගෙන් හොඳටම වැඩ ගත්තේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂවරයායි. ‘උතුමාණෙනි’ ෆිල්ම් එකේ රඟපාවලා. මතකද මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් ඒ හපන්කමම කළා ‘සරුංගලේ’ එකේදී? (මං තවම ‘උතුමාණෙනි dvd එක’ තියෙනවද කියා හොයමින් ඉන්නේ!). 

හෙලන් කුමාරි හා ෆරිනාලයි දෙන්නා...........
“උඹටම චාන්ස් එක දෙනවා! අල්ලපන් ඔට්ටුව.” සෝමේ කිව්වා. මං කලින්ම කිව්වනේ,අපි දෙන්නටම වැඩිය මේ වාදේ ගැන උනන්දුවෙන් හිටියේ වැඩපොළේ ගැහැනු ළමුන්ය කියලා. එයාලගෙන් කිහිප දෙනෙක්ම එක පොකුරට කතා කරන්න ගත්තා. යෝජනා ගෙනෙන්න ගත්තා.

“අනේ නිමල් අයියේ, සෝමේ අයියා පැරැදුණොත් බුලත් විට කෑම තහනම් කරවමු!” කීප දෙනෙක් සද්දේ දැම්මට තිබුණේ එකම යෝජනාවක්!

ඒ දවස්වල සෝමවීර තදින්ම බුලත් විට කනවා. මටත් ඒක නම් එපා වෙලා තිබුණේ. වත්ත පුරාම බුලත් කෙළ. 
ඊටත් යහළුවෙක් විදියටත් මං ගොඩ සැරයක් කිව්වා බුලත්විට හැපීමේ ආදීනව. අපි සේරම දෙනා කියලාවත් මේ ගොබිලා එව්වා කනකට නොගත් හැටි. ඔන්න මං චාන්ස් එක ගත්තා. “ඔට්ටුද සෝමේ? උඹ පැරැදුණොත් විට කෑම නවත්තන්න ඕනේ? හරිද.”

මිනිහා එක පයින්ම කැමැත්ත දුන්නා.

බුලත්විටයි කන එක්කෙනයි..............
“එතකොට මං පැරැදුණොත් මොනවද කරන්න ඕනේ?” මං ඇහුවා.

“උඹ පැරැදුණොත්ද? ඔච්චර ලේසියෙන් නම් මගෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ පුතෝ. මගේ කොන්දේසි තුන හතරක්ම තියෙනවා. උඹටත් ඕනේ නම් තව එව්වා එකතු කරපන්, මං මගේ ඔට්ටුව කිව්වාම.” සෝමවීර කලින්ම ඒවාත් හිතලා බලලා වගෙයි.

මිනිහගෙ ඔට්ටු කොන්දේසි කියවන්න ඊළඟ කොටසට එනව නේද?

2 comments:

  1. ෆරීනා ලායි ගහ විස්තර හෙව්වට හොයා ගන්න බැරි උනා ... මැලේ නමක් වගෙයි.

    ReplyDelete
  2. දැන් එයා සිනමාවේ නැහැ. සරුංගලේ, උතුමාණෙනි තමා ෆරීනා ලයි හොඳටම රඟපාලා තිබුණේ. මට මතක විදිහට නිල්ල සොයා එකෙත් හිටියා කණ්ඩො.

    ReplyDelete