අකුරු මැකී නෑ

Sunday, December 16, 2018

ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස

ගමට, ගමේකමට, ගමේ නමට අවියෝජනීය බැඳීමක් අපට තිබෙයි. ගමෙන් අප ඈත්වෙන තරමට; ගම අපෙන් ඈත්වෙන තරමට අපි ගමට බැඳෙන්නෙමු. 
යමක අගය පසක් වන්නේ එය නැති වුණාමය. 

දැන් බැලූ-බැලූ ඇත take-away අවන්හල්ය. හැබැයි ඒ හුඟාක් ඒවායේ නම් ‘ගම උලුප්පන’ විදියේ එව්වාය. ඇඹුල, කමත, නෙළුම් කොළේ, පොල් අතු කඩේ, කුස්සිය එයින් සමහරකි. මේ යන විදියට නම් කළු සුද්දෙක් එයාගේ බොජුන්හලට නම දාද්දී ‘කුස්සිය’ට ඉස්සරහින්, වැඩි හොඳට ‘කක්’කෑල්ල එකතු කරගත්තත් පුදුම නැත.

ඔය බඩවැටියේ තියෙන කැබැල්ල ගහේ.......

අවුරුදු පනහකට ඉස්සෙල්ලාත් අපේ තාත්තාට නම් ඔය ‘ගමේ’ නිලය අහුවෙලා තිබිණි. “සුනිල්, ඔය බඩවැටියේ තියෙන කැබැල්ල ගහේ දළු ටික කඩලා ගනින්!” දවසක් තාත්තා කිව්වේය. සුනිල්ට ඒ කාරිය කරන්නට සෑහෙන වේලාවක් ගියේය. 
කැබෙල්ල ශාකය සදාහරිත එකක් වෙන්නැතිය. ගනව අතු විහිදී, තිස්සෙම කොළ පාටින් නැහැවී තියෙන ගහේ දළු දාද්දී විතරක් ළා දුඹුරු පාට මිශ්‍ර රතක් දකින්නට පුළුවන්ය.

කැබැල්ල දළු, හොඳට උම්බලකඩ ටිකකුත් දමා උයාගත් විට ඉඳියාප්පවලට මසුරන්ය. 

“රංජි, අද වාට්ටුවක් ගානේ යද්දී නිකම්ම ඉඳියාප්ප නොකියා කැබැල්ල දලුත් එක්ක ඉඳියාප්ප කියහන්, බලන්න.” ඇත්තය. වෙනදාට මගෙන් ඉඳියාප්ප නොගන්නා අයත් එදා ගත්හ. 
ඔය විදියට අපේ ඉඳියාප්ප මුල්වලට වරින්-වර කෙසෙල් මුව සීනි සම්බෝල, තෙල් දැමූ බී.ළූණු, කූනිස්සන් මැල්ලුම්, මොටෙයියන් ඇද්දවූ මුංඇට කරිය වගේ දේවල් එකතු විණි. පස්සෙන්-පහු නම් ඒ මොනවාවත්ම නැතත්, ගෙනියන ඉඳියාප්ප ටික ඉක්මනින් විකිණී ඉවර විණි.

ඒ විදියට බලද්දී දැන් එක විදියක ලෝකල් පිස්සුවකුත් තියෙනවා වගේය. ඉස්සර තුට්ටු දෙකට තිබුණු ගමේ එළවලු දැන් හරි ගණන්ය. 

ඒ කාලයේ විකුණනවා තියා එළිපිට කෑමටවත් නොගත් දේවල් දැන් කන්නේ උජාරුවෙනි. හොඳම උදාහරණ දෙකක් කිව්වාම ඇතිය. මඤ්ඤොක්කා කොළ හා වැටේ මුරුංගා (සිංගප්පූරු - ජපන් බටු) කොළ. ඒ දවස්වල ඒ දෙවගයම කෑමට ගත්තේ වටපිට අයට නොපෙනෙන්නටය. බත් පිඟානේ අහුපෑවත වැඩි කර ගන්නටය. දැන්? ඕනෑම පොළකට යන්න. ඔය ජාති දෙකම විකුණන්නට තිබේ.


නීති තියෙන්නේ කවුරුන් වෙනුවෙන්ද?
නීති තියෙන්නේ කවුරුන් වෙනුවෙන්ද? නීති පනවා තියෙන්නේ බිඳින්නටද? රකින්නටද? 

අද කාලයේ නම් ඒවා කඩන සොක්කන්ට දෙයියන්ගේ පිහිටවත් නැත. නීති කඩන, නවන ලොක්කන්ට නම් තිස්තුන්කෝටියක් දෙවිදේවතාවනුත් බලනවා වගේය. මහ පාන්දර මහ ඉස්පිරිතාලයේ වාට්ටුවක් ගානේ ඇවිදිමින් මං කළෙත් නීති කැඩිල්ලකි. වාට්ටුවල වෙළෙඳාම් කිරීම සපුරා තහනම්ය. 

එතකොට එක වාට්ටුවක හිටි සිස්ටර් කෙනෙක් ‘තද නීතිකාරියක්’ විදියට නම් දරා තිබිණි. “අනේ දරුවෝ. උඹ මේ අම්මණ්ඩි ඉන්නකං මේ වාට්ටුවට නෑවිත් හිටහං. ඊයෙත් වෙළෙන්දෙක්ගේ බඩු මලු දෙකම උදුරාගත්තා. තව ඩිංගෙන් ඒ මිනිහාව පොලිසියටත් බාර දෙනවා. කිසිම තෙතක් නැහැ ඒකිට.” ඒ වාට්ටුවේ ලෙඩ්ඩු කිහිප දෙනෙක්ම මට හිතෛසිවන්තව අනතුරු ඇඟවූහ.

මගේ පැත්තෙන් බලද්දී ඇය වැරැදිය; නපුරුය. ලෙඩුන්ට පෙනෙන්නෙත් එහෙමමය. 
එහෙත් ඇය එදා අප පන්නා දමමින්, අකුරටම ඉටු කළේ ඇයගේ රාජකාරියයි. කෙනෙකුට වස කෙනෙකුට රස වෙන හැටි!

සමහර ලෙඩුන්ට සමහර කෑම ජාති තහනම්ය. එයාලාගේ ගෙදරවල අයවත් ඒවා ඒ ලෙඩුන්ට ගෙනවිත් දෙන්නේ නැත. ඒත් වාට්ටුවල වෙළෙඳාම් කරන අපි ඔව්වා දන්නවාද? 
අපට ඕනෑ අප ළඟ ඇති දේවල් විකුණාගන්නටය. බලන්නේ ලෙඩා ළඟ සල්ලි තියෙනවාද කියන එක විතරය. මා නොවික්කාට හුඟක් වෙළෙඳාම් ඇත්තෝ රෝගීන්ට බීඩි, සිගරැට්, බුලත්විට හා ස්වීට්ස් ජාති විකුණන්නටත් හුරුවී සිටියෝය. එව්වා නම් හෙද පාලිකාවන්ව යක්ෂාරූඪ කරවන අයිටම්ස්ය.


සමහර අයිටම්ස් සිස්ටර්ලාව යක්ෂාරූඪ ............
දවසක් වාට්ටු කොරිඩෝරයකදී අර සිස්ටර් නෝනා මට මුහුණට මුහුණම මුණ ගැහුණාය. මඳ අඳුරේ වංගුවකදී, හිමිදිරි පාන්දර මුහුණට මුහුණ හමු වීමෙන් මා ඇයට බියවුණු තරමට වැඩියෙන් ඇයත් තිගැස්සුණා විය යුතුය. ඇය තත්පර ගණනකට ගල් ගැහුණාය. ඇයගේ කට ඇරුණේ ඊටත් පස්සෙය. “ඔහොම ඉන්නවා! නවතිනවා!!”

එයා එහෙම කිව්වට ඉඳියි මං! සැණෙකින් ආපසු හැරුණු මම හැකි උපරිම වේගය දෙපයට දුන්නෙමි. මගේ දෙපා මා උස්සාගෙන ගියාද, නැතිනම් මා මගේ දෙපය ඇදගෙන ගියාද කියලා අදටත් මට වැටහෙන්නේ නැත. ‘ටොක්... ටොක්... ටොක්....’ පාළු කොරිඩෝරය දිගේ ගලාගෙන එන සද්දය නැවතිලා නැත. 

ඒ කොහොමද? මම හැරී බැලුවෙමි. මෙන්න වැඩේ, අර යකාගේ අම්මණ්ඩිත් එනවා මගේ පස්සෙන්. මා උන්නේ බර වේවැල් කූඩා දෙකකුත් උස්සාගෙනය. කොහොම දුවන්නද? තව වැඩි දුරක් දුවගන්නට කලින් මාව අතටම අහුවෙනවා සිකුරුය.

ඉස්සර කොළඹ ඉස්පිරිතාලය මතක අයට නම් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවී ටික දුරක් එනවිට වම් පැත්තේ තුබුණු කැන්ටිම ගැන කිව යුතු නැත. ඊට පස්සේ වමට හැරෙද්දී ක්‍රෝටන් ගොල්ලක තිබුණේ මිනී කාමරයයි; මෝචරියයි. එවෙලේ මට මතක් වුණු මිනියක් නැත. 

‘මගෙ හිත පිරී තිබෙන්නේ ඔබගේ සිතුවිල්ලෙන්’ නිරංජලා සරෝජිනී පෙම්වතා ගැන එහෙම හිතුවත් මගෙ හිත පිරී තිබුණේ පොලිසියට මා දක්කන සිස්ටර් ගැන විතරය. දඩිබිඩියේ ක්‍රෝටන් ගස් ගොන්නට රිංගාගත් මම එතැනම වකුටුවී වාඩි වුණෙමි.

විනාඩි දහයක්වත් මා හැංගී හිටියා විය යුතුය. දැනුණේ නම් කල්ප දහයක් වගේය. 

මහ පාන්දර වුණත්, ක්‍රෝටන් ගස් ගොල්ලෙන් බැහැරව එද්දී මං හිටියේ දහදියෙන් තෙමී 
බත් වෙලාය. සිස්ටර්ට බයෙන්ය. මිනීවලට බයෙන් නොවේ. ඒ රෑ පාන්දර එකම මිනියක්වත්, හොල්මනක්වත්, යකෙක් පෙරේතයෙක් හෝ කුම්භාණ්ඩයෙක්වත් මෝචරිය පළාතේ නොහිටියේය. වැඩියෙන් භයානක මළවුන් නොව පණ පිටින් ඉන්නා අය බව මට එදා තේරුණේය! මළවුන්ට පණ බයේ උන් ‘නිදි’ එදා හිට බය වෙන්නේ පණ තියෙන එවුන්ටය!


මෝචරිය කියලාවත් මට බයක් හිතුණේ නැත.
ලොකු බයක් දැනෙද්දී පොඩි බයවල් අමතක වී යනවායි කියන කතාව සහතික ඇත්ත බවත් එදාය මා ඉගෙන ගත්තේ.

නන්දනී ද සිල්වා මේ නොවැම්බර් 22 වෙනිදා උදෙන්ම මා හමුවන්නට ආවාය. 

“අනේ නිමල්, මගේ අතින් ඊයේ ලොකු වැරැද්දක් වුණා. අනේ සොරි. ඔයා ඇවිත් ගියාට පස්සේ මං අම්මගේ දිනපොත් ටික ආපහු කියෙව්වා. එතකොටයි මට අහු වුණේ. අම්මා ‘සිස්ටර්’ කෙනෙක් නෙවෙයි. ‘හදිසි හෙදියක්’. මාත් ඒක හරියටම දැනගත්තේ ඊයේ රෑ.”

21 වෙනිදා උදේ මං නන්දනීව හමුවෙන්නට ගියේ ‘ජේන් සීලියා එදිරිවීර විජේසූරිය’ මහත්මියගේ ෆොටෝ එකක් ඉල්ලා ගන්නටය; විස්තර ටිකකුත් එකතු කරගන්නටය. 
‘විජේසූරිය මිසී’ වැඩ කළේ කොළඹ මහ රෝහලේ 32 වාට්ටුවේය. 

ඒ වාට්ටුවේ ගොඩක්ම උන්නේ පිළිස්සුණු තුවාලකාරියන්ය. සීලියා මිසී පොල්ල කඩා ගන්නේ නැතිව, නයාවත් නොමරා ජාම බේරාගන්නට දැන හිටි ස්ත්‍රී රත්නයකි.

“අනේ ඔව් නිමල්, අපේ අම්මගේ පුරුද්දක් තිබුණා. හැමදාම වැඩට යද්දී බත් මුල් තුන-හතරක්වත් බැඳගෙන යනවා. ඒවා ගෙනියන්නේ විසිටර්ස්ලා ආවේ නැති ලෙඩ්ඩුන්ට. 
අම්මා ඕෆ් වෙන්න කලින් බලනවාලු එදා ගෙදරින් කවුරුවත්ම ආවේ නැති ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා. ආයේ වැඩට යද්දී අර පේෂන්ට්ස්ලට දෙන්නයි ගෙදරින් බත් මුල් හදවාගෙන යන්නේ. අම්මා අන්තරා වුණාම මළගමට ආව ගැහැනු කෙනෙක් අඬ-අඬා කිව්වා, 
සමහර දවසට අම්මගේ කෑම එකත් ලෙඩෙකුට දීලා බනිස් ගෙඩියකින් මැනේජ් කරගත්තු හැටි!”


තාත්තයි, අම්මා සීලියා මිසීයි. නන්දනීයි..........

“ඇත්තමයි. මටත් ඉස්පිරිතාලේදී ඔයාලගේ අම්මා වගේ කෙනෙක් හම්බ වෙලාම නැහැ. මාව දැක්ක දවසෙම ළඟට අඬ ගහලා සේරම විස්තර ඇහුවා. ඊට පස්සේ මට තේරුම් කරලා දුන්නා සමහර ලෙඩ්ඩුන්ට ඉඳියාප්ප වගේ කෑම වුණත් හොඳ නැති බව. -ඔයා එන්න, මං පෙන්නන්නං ඒවා හොඳ නැති ලෙඩ්ඩු. එයාලා ඉල්ලුවත් එයාලට ඉඳියාප්ප විකුණන්න එපා- එහෙම කියලා තමයි සිස්ටර් දෙපැත්තම බේරුවේ.”

මාත් පමුණුවේ බව දැනගත් විට සීලියා මිසී මට තවත් හිතවත් වුණාය. එයාලා ඉන්නේ පමුණුවේ චන්දන උද්‍යානයේය.

2000 හෙදී අභාවප්‍රාප්ත වුණු විජේසූරිය මිසීට නොතිබුණු ‘සිස්ටර්- හෙද පාලිකා’ පට්ටමක් මගේ බ්ලොගයෙන්වත් දෙනවාට නන්දනී කැමැති වුණේ නැත.

“ඇත්තමනේ නිමල් අපි පිළිගන්න ඕනේ. අයිති නැති නම්බුවක්වත් අපිට මොකටද? අපේ සීයාට; හුංගම හාතාගල විදානාරච්චි රාලහාමිට එක පුතෙකුයි, දුවලා හත් දෙනෙකුයි හිටියා. 
ඒ සේරමලට ඉගැන්නුවේ බෝඩින් ඉස්කෝලවල. අපේ අම්මාව බෝඩින් කරලා තිබුණේ ‘මාතර ආවේ මරියා කොන්වන්ට්’ එකේ. ඒවායේ ඉගැන්නුවේ ‘නන්ස්’ලා. 
ඔය කාලෙදී තමයි දෙවෙනි ලෝක යුද්දේ පටන්ගෙන තියෙන්නේ. අර නන්ස්ලා අපේ අම්මගෙනුත් අහලා නර්ස් කෙනෙක් වෙන්න කැමැතියිද කියලා. අම්මත් කැමැති වෙලා.”

ජේන් සීලියා යුවතිය හෙද සේවාවට බැඳී තිබෙන්නේ ‘හදිසි හෙදියක’ ලෙසිනි. අවුරුදු 32ක් තිස්සේ රෝහල්වල සේවය කළෙත් ඒ පට්ටම යටතේමය. 

“අම්මා හිතුවේ එයාගෙන් වෙන සර්විස් එක ගැන විතරයි. තනතුර, පඩිය ගැන  හිතුවේ නැහැ. කොටින්ම එයාට පෙන්ෂන් එකක්වත් හම්බ වුණේ නැහැ, හදිසි හෙදි ඇග්‍රීමන්ට් එකට අනුව පෙන්ෂන් එකක් නැති නිසා.”

‘රටෙන් ඔබට නෙවෙයි පුතේ - ඔබෙන් රටට මොනවද දෙන්නේ?’ එහෙම අහන්නේ මා නොවේ. කරුණාරත්න අබේසේකරයන්ය. ඔහු ලියූ ‘පුන්සඳ වන් ලස්සන මගෙ.....’ ගීතය ගයමින් සිනමා සක්විති ගාමීණී ෆොන්සේකා දරු සුරතල් බලමින් ඒ ගීයට රැඟුවේ 1973 ‘හොඳයි නරකයි’ චලන චිත්‍රයේය.


දෙවෙනි ලෝක යුද්දේ කාලේ.............
සීලියා මිසී තමන්ගෙන් කෙරෙන්නට ඕනෑ සේවය මුල් තැනෙහි දමා හිතුවාට අපත් එහෙම හිතනවාද? මියගොස් වසර 18ක් ගතවී ඇතත් අම්මාට අයිති නැති පට්ටමක් ලියවිල්ලක සටහන් වීමත් ‘ලොකු වැරැද්දක්’ ලෙස හිතන නන්දනීත් ‘අම්මාගේම දියණියකි’. එහෙම කියන එක වැරැදිත් නැත.

මං ෆොටෝ හොයාගෙන ගියත් සීලියා මිසීගේ තරුණ කාලයේ ඒවා විතරය තිබුණේ. ඒත් නන්දනී දැන් 100% ක්ම අම්මා වගේමය! නන්දනීගේ ‘වැරැදි නිවැරැදි කරන්නට’ තිබුණු උනන්දුව නිසාම මෙච්චර විස්තර ලියන්නට මටත් හිතුණේය.

මේක වුණේ අවුරුදු කීපයකට කලින්ය. 

මං වැඩ කරමින් හිටියේ ප්‍රකාශන ආයතනයකය. වියපත් කතුවරයෙකුගේ පරිවර්තන කෘතියක සෝදුපත් බැලීමත්, පිටපත සංස්කරණය කිරීමත් කරද්දී මට පුදුම හිතිණි. 

මුල් පොත The Black Tulip ය. කතාවට පසුබිම් වෙන්නේ 1600 ගණන්ය. එහි ‘වැන් බෙලේ’ සිරගතවී හිටියදීත් කළු ටියුලිප් මලක් නිපදවන්නට වෙහෙසෙයි. අර පරිවර්තකයා ලියා තිබුණු වැකියක වූයේ ‘ඔහු සිමෙන්ති පෝච්චියක ටියුලිප් අලය රෝපණය කළ අයුරුයි’.

මා පොතක් සංස්කරණය කරද්දී එය වෙනස් කරන්නේ කතුවරයාට කරුණු පහදා දීමෙන් පස්සෙය. ඉතින් එතැනදීත් දුරකථන ඇමතුමක් දී කතුවර මහතා ගෙන්නා ගත්තෙමි; කාරණය කීවෙමි. “මහත්තයෝ, 1600 ගණන්වල සිමෙන්ති හොයාගෙන තිබුණේ නැහැනේ. පොතේ තියෙන්නෙත් stone pot කියලනේ.”


ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ The Black Tulip පොත..........
එහෙම කිව්වාමවත් ඒ විද්වතා මගේ තර්කය ගණන් ගත්තේ නැත. 
“අයියෝ නිමල්, ඕක එච්චර හිතන්නේ කවුද?” මට එහෙම කියූ ඔහු හා සසඳද්දී නන්දනී කෙතරම් සත්‍යවාදීද? පෙරටුගාමීද? මට හිතෙන්නේ ජාතියක් වශයෙන්ම අප අපටම අවංක නොවෙන්නන් බවයි! අනේ, මගේ තකතීරු නිගමනය වැරැදි එකක් වේවා!

ඉඳියාප්ප කෙරුවාවෙදී කළ කපටිකමක් තවමත් මගේ හිතේ නම් ඇනුණු කටුවක්ව ඉතිරිවී තිබෙයි! ඒක මතක් වෙද්දී මටම හිරිකිතය; ලජ්ජාය. ඒත් මොනවා කරන්නද? 
දැන් ඒවා undo කළ නොහැකිය. ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපං බළලෝ!’ 
මම මටම කියා ගන්නෙමි.

ධම්මපදයේ එක ගාථාවක අරුත මෙහෙමය. ‘කවුඩකු මෙන් ගසා කෑමෙහි ශූරවූ බුහුටිවූ, පාපයෙහි ලජ්ජා නැති, අනුන්ගේ ගුණ මකන, ගෙන් ගෙට දුවන, කිලිටි දිවි පැවැත්මක් ඇති තැනැත්තාට ජීවත් වීම ඉතා ලෙහෙසිය.’


කාකසූරෙන ධංසිනා ............
‘සුජීවං අහිරිකෙන - කාකසූරෙන ධංසිනා
පක්ඛන්දීනා පගබ්භෙන - සංකිලිට්ඨෙන ජීවිතං’

අද මෙහෙම අය ඉන්නවාද? මෙතැනදීම කිව යුතුය. මා නම් වැරැදි කළ කෙනෙකි; වැරැදි කරන පුහුදුන් කෙනෙකි. හැබැයි, හැකිතාක් අඩුවෙන්ය. ඒ කාටවත් බය නිසා නම් නොවේ. මටම බය නිසාය. මට මගේ හෘද සාක්ෂිය රවටාගන්නට බැරිය.

ඉතින් අර රැවටිල්ලට අයිඩියා එක දුන්නේ නම් අපේ තාත්තාය. 
“දැන් මිනිස්සු හුඟාක්, හාල් මෝලෙන් නිවුඩු හාල් පාස්සා ගන්නවා. මෝලේ මිනිස්සු නිවුඩ්ඩ වෙනම එකතු කරලා විකුණනවා. එව්වා ලාබයි. ඒවායින් ගෙනත් පිටිවලට කවලම් කරලා ඉඳියාප්ප හැදුවම කුරහන් පිටි වගේලු.”

සතුන්ගේ කෑමට විකිණූ හාල් නිවුඩ්ඩ අපේ කුස්සියෙදී ඉඳියාප්පවලට එකතු වුණේ ඊට පස්සේය. පාන්පිටිවලින් නියමෙට කුරක්කන් ඉඳියාප්ප හැදුණේය. විකිණුනේය. 
ඒකෙන් කාටවත්ම අගුණයක් නොවුණත් මං කළේ වංචාවකි. ලොකු වංචාවකි. 
ලොකු ප්‍රෝඩාවකි.

එදා මා කළේ වංචාවකි......
අදට මේ ඇති කියා හිතෙයි. දැන් මා ගැන අප්‍රසාදයෙන් ඉන්නවා වුණත් ඊළඟ පෝස්ටුව කියවන්නටත් එනවා නේද?

4 comments:

  1. අපි උස මහත් වෙන කාලෙ ගමේ කෑම කන එක විහිළුවක් හෝ මදිකමක් විදිහට සැලකූ බවක් මට මතක නැහැ ... අපේ වත්තට යාබදව තිබුණු රබර් වත්තෙන් ගොටුකොළ, ජපන් බටු වගේම වත්ත පුරා තිබ්බ මයියොක්ක, කංකුන්, හතු වගේම කොළකැඳ හදන්න ඉරමුසු, පෙනෙල වගේම කොස් පොළොස් අරන් එන එක මං බොහොම ආසාවෙන් කරපු දෙයක් ... ඒ පුරුද්ද මම උසස් පෙළ කරල රස්සාවක් කරන්න පටන් අරගෙන ගමෙන් එනකනුත් තිබ්බ. අදටත් කොහේහරි ගිහින් ඒ වගේ දෙයක් දැක්කහම එහෙම කරන්න හිතෙනව :)

    ReplyDelete
    Replies
    1. දැන් ඒ සේරම ජාති යස අගේට විකිණෙනවා. ඒත් කණ්ඩා, ඒ දවස්වල ලීක්ස්, ගොවාවලට මිස තෝර, ජපන් බටු, මඤ්ඤොක්කා වගේ කොළවලට no place.

      Delete