අකුරු මැකී නෑ

Tuesday, December 18, 2018

කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස

ඔට්ටුවෙන් පැරදුණොත්.............
“මචං, උඹ ඔට්ටුවෙන් පැරැදුණොත් පනහේ තුනයි, එකයි, වියදමයි!” සෝමවීර මට කිව්වා. 

ඒ මොකක්ද බොලේ ඒ? මට හිතුණා. සෝමේ ඉස්කෝලේ යන කාලේ නම් බ්‍රයිටෙක්. මිනිහට තිබුණු ලොකුම වැරැද්ද උගත්කම තිබුණට මනුස්සකම අඩුයි වගේ වුණු එක. PR එක නිල්. මං වැරැදිද මන්දා. සමාවෙන්නෝනේ, මං කියන්නේ මට පෙනුණ විදියටනේ.

“ඒ මොකක්ද සෝමවීර අයියේ ඒ හරුපේ?” ගෑනු ළමයෙක් මටත් ඉස්සෙල්ලා මං අහන්න හිටි ප්‍රශ්නය ඇහුවා.

“නිමල් පැරැදුණොත් මං කියන සින්දු 50ක් කියන්න ඕනේ. එතකොට පනහේ එකයි. මේ දෙක. ළමා නිවාස පිට්ටනියේ වටේ රවුම් පනහක් එක දිගට දුවන්න ඕනේ. තුන්වෙනි එක නම් අමාරුයි. කොහොඹ ඉති පනහක් කන්න ඕනේ.......”

“ඉති කිව්වේ කොළද?”

“කවුද ඕයි කොහොඹ කොළවලට ඉති කියන්නේ? එක ඉත්තක දෙපැත්තේ තමයි කොළ ටික තියෙන්නේ. ඒවා පනහක්, කොළ පනහක් නෙවෙයි! මෝඩි.” සෝමවීර ඒ එකක්වත් කිව්වේ සැහැල්ලුවෙන් නෙවෙයි. බොහොම සීරියස්ව. 

“මේ අනෙක් දෙක. පාන් රාත්තලක් කන්න ඕනේ නිකම්ම, හොදි නැතිව. 
චිත්‍රපටය ළඟ පාත තැනකට දැම්ම ගමන් අපි දෙන්නා යනවා ඒක බලන්න. බස් එකටයි, ෆිල්ම් එකේ ටිකට්වලටයි, මඟදී තේ බොන්න යන වියදමයි සේරමත් පැරදෙන කෙනාගෙන්."

කොහොඹ ඉති පනහක් කන්න...........
සෝමවීර ඒක කිව්වා විතරයි පරල වුණේ නැතැයි ළමයි ටික. මිනිහාට බැණුම් වැස්සයි. “ඔච්චර දුෂ්ට වෙන්න එපා සෝමේ අයියේ. නිමල් අයිය ඔයාට කිව්වේ බුලත් විට කන එක නවත්තන්න විතරයි. ඔයා?”   - “ඒ මනුස්සයාට අපායේ වගේ වද දෙන්නද ඔයාට ඕනේ? ඔයා යම පල්ලෙක්ද”   - “ඔයා නිමල් අයියගේ යාළුවෙක්ද නැත්තං හතුරෙක්ද?”

ඒ විතරක් නෙවෙයි, එයාලා සේරම මගෙන් ඉල්ලුවා ඔට්ටුව අල්ලන්න එපා කියලත්. 

“සෝමේ අයියට කුද ගහගන්න කියලා ඔයා නිකම් ඉන්න නිමල් අයියේ!” වැඩි දෙනෙක් කිව්වේ ඒක. “ඔහොම අයත් එක්ක මොකට පැටලෙනවාද?”   - “දුෂ්ටකමේත් සීමාවක් නැහැ!”

ඔයාලට මතකද “සීයයි!” පෝස්ටුවෙදී මං කිව්වා අපේ තාත්තා මට දුන්නු අවවාදයක් ගැන. “අම්මව දෙනවයි කිව්වා නම් පුතේ තාත්තව ගස් බැඳලා හරි ඒක කරපං”.  
මාත් දැන් ඔට්ටුව අල්ලන්න සෝමවීරට කැමැත්ත දීලා ඉවරයි. 
‘හා’කියලා කියපු කටින්ම ‘බෑ’ කියලත් කියන්න බැහැ.

ඒ එක්කම මේකත් කියන්න ඕනේ. මගේ හිතේ මුල්ම වතාවට සැකයකුත් ඇති වෙන්න පටන් අරන් ඉවරයි ඒ වෙනකොටත්. මිනිහා මෙච්චරටම දත කන්නෙ පැරැදෙන්න වෙන්නත් බැහැ. ෆිල්ම් එකේ ඉන්නේ හෙලන් නෙවෙයිවත්ද? ඕනේ එකක්. පරාද වෙනවා නම් වුණාවේ! එතැනදී නම් මගේ මුරණ්ඩුකම තමයි වැඩියත්ම ඉස්සරහට ආවේ.

මේ බතික් වැඩපොළේ වගේ..................
අපේ වැඩපොළේ සෝමවීර කළේ ඩයි දැමීම, රෙදි පදමට වේලලා ගැනීම, අන්තිමට තම්බලා ඉටි ඉවත් කිරීම වගේ වැඩ. තනියම නෙවෙයි. අපේ සුනිලුත් එක්ක හවුලේ තමයි ඒවාත් කළේ. 

ඉටි කිරීම වගේ සියුම් වැඩ කිරීමේ හැකියාව නම් මිනිහාට පිහිටලා තිබුණේ නැහැ. 
ඇඟපත වෙහෙසන කොටස් තමයි වැඩියෙන්ම කළේ. එහෙම වුණු එකෙන් මිනිහාට වැඩිය අනෙක් අයත් එක්ක ගැටෙන්න ඉඩ ලැබුණේ නැහැ. 

ඒකත් මගේ වාසියට හිටියා. නැති නම් මට එයාලගෙ රණ්ඩු බේරලා ඉවරයක් නැති වෙන්න ඉඩ තිබ්බා. සෝමවීර නිතරම හිටියේ කොක්කක් ඇදගන්න බලාගෙන. හුඟ වෙලාවට ඒවා කෙලවර වුණෙත් හිත් රිදීම්වලින්. ඒ හිංදා කෙල්ලොන්ට නම් මිනිහව දිරෙව්වෙම නෑ!

ඇත්තටම Manmohan Deshai ‘රාම් පූර් කා ලක්ෂ්මන්’ අධ්‍යක්ෂණය කරද්දී හීනෙකින්වත් හිතන්නට නැතිව ඇති මෙහෙම අලකලන්චියක්! ඇයි දෙයියනේ අපි වගේ පිස්සෝ වෙන කොහේ ඉන්නව ඇතිද?

මොනවා වුණත් තවමත් ඒ ෆිල්ම් එක මිනිසුන්ට මතකයි. ඒකේ සින්දුත් ජනප්‍රියයි. එහෙම වෙන්නම එපාය. R.D. Burman; රහුල් දේව් බර්මන් මියුසික් කළා කිව්වාම ඉතින්..... 

තවමත් අපි හරිම ආසාවෙන් රස විඳින සිංහල චිත්‍රපට ගී ගොඩක තනු; සංගීතය ආර්.ඩී. බර්මන්ගේ. උදාහරණයකට එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘ජීවිතේ තරුණ කාලේ’ විතරක් මතක් කළත් ඇති.

මන්මෝහන් දේශායි හා ආර්.ඩී.බර්මාන්...............
බතික් වැඩපොළේ සේරමලාම ඔට්ටුව අල්ලන්න එපා කියලා මට කිව්වත් මං ඒකට කන් දුන්නේ නැහැ. “එහෙනම් නිමල් අයියත් තව මොන-මොනවා හරි ටිකක් එකතු කරන්න, සෝමේ අයියා පැරැදුණාම කරවන්න.”

කට්ටියටම විශ්වාසයි මං දිනයි කියලා. ඒත් මං ඒකට කන් දුන්නෙත් නැහැ. 
මොකද, මට සෝමවීරත් එක්ක පිරිමහගන්න කෝන්තරයක් තිබුණයැ. වාදෙකට පැටලුණා, ඔට්ටුවක් අල්ලනවා, එක්කෙනෙක් පරාද වෙයි. එච්චරයි. කියන දේ කරන්න බැරි නම් මොකටද කියන්නේ? ‘යථාවාදී තථාකාරී - තථාවාදී යථාකාරී’ කියලා කියන්නේ ඒකටනේ.

sporty ගතිය; ක්‍රීඩාශීලී ගතිය කියල කියන්නෙත් කෙනෙක් ළඟ තියෙන්නම ඕනේ ගුණාංගයක් විදියට හිතන මං ඒ චැලේන්ජ් එක බාර ගත්තා. හැබැයි මාස ගණනාවක් බලාගෙන ඉන්න වුණා අපි හැමෝටම.

“හරි, හරි. අන්න වැල්ලම්පිටියේ විලාසිනී එකට ෆිල්ම් එක දාලා. යමං, යමං. ගොඩ දවසක් තියෙන එකක් නැහැ!” දවසක් සෝමේ ආවේ ඉගිල්ලිලා. මේකා ඒ වෙනකොටත් විලාසිනී එකට හොරෙන්ම ගිහින් ෆිල්ම් එක බලලාවත්ද කියලත් මට හිතුණා. මිනිහා එහෙව් සතා!

ෆිල්ම් එක දාලා!
ප්‍රශ්නයක් මතු වුණාම කල් මර-මරා බලන් ඉන්න පුරුද්දක් මට නැහැ. 
ඒ ගැන හිත-හිතා තැවි-තැවී ඉඳිල්ල මට අරහං.

හිතන්නකෝ මට කවුරු හරි බනින්න බලන් ඉන්නවය කියලා. මං කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ මනුස්සයව හමුවෙන එක. බනිනවා නම් බනින්න අවස්ථාව දෙන එක. 
එහෙම කළාම ප්‍රශ්නය එතනින් ඉවරයිනේ. නැතිව අපි එයාව මඟ අරිමින් ඉන්නවා නම් මිනිහගේ හිතෙත් ඒ කාරණාව පැසවනවා; තව වැඩි වෙනවා නේද? සමහර විට මං වැරැදි ඇති. හැබැයි අදටත් මගේ ප්‍රතිපත්තිය ඕකයි.

“හරි සෝමේ, හෙට යමු!” මං ඒකටත් වචනේ දුන්නා. 

දැන් වගේ ඉන්ටර්නෙට් තිබ්බා නම් ඒ ප්‍රශ්නය තත්පර ගණනෙන් විසඳාගන්න තිබුණා. 
ඒත් ඒ කාලේ අපට පරිගණක තියා විදුලියවත් තිබුණේ නැහැ. අපේ ගෙවල් තිබුණෙත් එක්සත් සුබ සාධක මාවතේ ඩෙඩ් එන්ඩ් එකක. අපට විදුලිය ගන්නවා නම් ලයිට් කණු හත-අටක්ම හිටවලා, ලොකු දුරක් වයර් අදින්න වෙනවා කියලයි අපට කියලා තිබුණෙත්. 

අහළ-පහළ අයත් බලන් හිටියේ අපේ පහනෙන් එළිය බලන්නයි. අපි තනි වියදමෙන් සේරම කෙරෙව්වාම අනිත් අයට වියදම් වෙන්නේ සුළු ගණනක් විතරනේ.

ගෙවල්වල සේරමලා එකතු වෙලා, වියදම බෙදාගෙන ලයිට් ගනිමු කියන යෝජනාවත් මං ඉදිරිපත් කළා. “එක ගෙදරකින් එක කණුවකට ගණනේ වියදම දරාගත්තහැකිනේ. වැඩිපුර යන කණු ටිකට මම වියදම් කරන්නම්.”

හැමෝම කළුවර එළවා ගත්තේ............
තනියම කර ගහන්න බර වැඩි නිසයි මං එහෙම කිව්වේ. ඒත් අපි උඩ දම-දමා ඔජ වඩන පිරිසුදු ගම පමුණුවෙත් තිබ්බේ නැහැ. හැමෝම පස්ස ගැහුවා. 

ඉතින් අවුරුදු ගණනාවක්ම හැමෝම එක්කෝ චිමිනි ලාම්පුවලින්, එහෙමත් නැතිනම් පැට්‍රොමැක්ස් ලාම්පුවලින්, ඒත් නැත්තං කුප්පි ලාම්පුවලින් පිරිමහගත්තා! වැඩි දෙනා පස්ස ගැහුවේ ඉරිසියාව නිසාය කියල දැනගත්තාම නම් මාත් හිටියේ කෝන්තර බැඳගෙන තමයි. මගේ දුෂ්ටකමත් පිළිගන්න ඕනනේ. මොකෝ මං කෙලෙසුන් නසලා, රහත් වෙලායැ?

පන්න-පන්න පළිගන්න නොගියත් මාත් කොහොමටත් ඔහොම කෝන්තර නම් අමතක කරන්නෙම නැහැ. අමතක කරන්න ඕනේ වුණත්, මට එහෙම ලේසියෙන් දෙයක් අමතක වෙන්නෙත් නැහැනේ. 

“අපෝ, ලොකාද? පොළඟා වගේ තමා!” කියලයි අපේ ගෙදර අය නම් කියන්නේ. 
හැබැයි, මං කාගෙන්ද එහෙම පළිගෙන තියෙන්නේ කියලා ඇහුවාම කවදාවත් එයාලා උදාහරණයක් දීලත් නැහැ! කලින්ම කිව්වේ, පෙණය පුප්පපු ටිකට ඔහොම හිතනවා නම්, මොනවා නොකියාවිද දෂ්ට කළා නම්?

ඉතින් ‘ලක්ෂ්මන්ව’ අමතක කළා නෙවෙයි. පංච තන්තරේ ක්‍රමයත් ඉබේම; පුරුද්දෙන්ම ලියවිල්ලට එනවා. අනෙක ඉතින් අනෙක් අයගේ වැරැදි දකින මට මගේ වැරැදි පෙනෙද්දී නොකියා ඉන්න හැකියිද? පොඩි ලජ්ජාවකින් යුතුව වුණත් ඒ කාරණාවලුත් එළියට දමනවා. ඉවසා වදාරන්න ඕනේ රසික ඔයාලා හැමෝම.

ඉවසා වදාරන්න ඕනේ...............
සත්තයි! දැන් මේක ලිවීම මට භාව විරේචනයක් වෙලා. ඒ වගේම මොළය ක්‍රියාකාරී කරවන අපූරු ව්‍යායාමයක් වෙලා.

වැල්ලම්පිටියට මං පළමු වතාවට ගියේ පහුවදා. රාම පුරෙන් ආව ලක්ෂ්මන් නිසා නෙවෙයි නම් එදා යැවෙන්නෙත් නැහැ. සෝමවීර නම් ඔය හැම පැත්තේම කරක් ගහලා තිබ්බා. 
ඉතින් එදා මාර්ගෝපදේශකයා; Guide වුණේ එයා.

වැල්ලම්පිටියේ විලාසිනී හෝල් එක කළුද සුදුද කියලා දෑහින් දැකලා නොතිබුණත් ඕනේ තරම් අහලා තිබුණා. කියවලා තිබුණා. ඒ තියා සඳලංකාවේ සඳලංකා, අනුරාධපුරේ ඉම්පීරියල්, කොස්වාඩියේ දර්ශන වුණත්! 
ඇයි ඉතින් චිත්‍රපට ගැන රේඩියෝවේ යන දැන්වීම්, පත්තරවල ‘දැන් පෙන්වනවා’ තීරු එහෙම මදිය නොකියන්නම මාත් ඒ කාලේ ඔහේ පරිශීලනය කරනවානේ. 

පස්සේ දවසක ‘ශුද්ධ නගරෙ අනුරාධපුරේ’ ගිය වෙලාවක තමයි දැනගත්තේ ඉම්පීරියල් එකට ‘කැලෑ’ කියලා විශේෂණ කෑල්ලකුත් තියෙන බව, දැන්වීම්වල නොදැම්මට.

විලාසිනී කියන්නේ රොබින් තම්පෝ කියන ප්‍රසිද්ධ චිත්‍රපට අදියුරුතුමාගේ දුවගේ නම වගෙයි කියන මතකෙකුත් හිතේ කොනක තියෙනවා. ෆිල්ම් හෝල් එකත් එයාලගෙම වෙන්නැති. හැබැයි ඒ දවස්වල නම් ඒ සිනමා ශාලාව මගේ හිතට ඇල්ලුවේ නැහැ.

රොබින් තම්පෝ මහත්තයා හැදූ ................
රොබින් තම්පෝ මහත්තයා හදපු හැම ෆිල්ම් එකකම නම පටන් ගත්තේ ‘ස’ අකුරේ ප්‍රභේදයකින්. 
සිරිමලී, සුහද දිවි පිදුම, සුදු සඳේ කළු වලා, සුලලිත සෝබනී, සමාජේ අපි ඔක්කොම සමානය, සුදෝසුදු, සැඟවෙන සෙවණැල්ල වගේ නම් දිහා බලද්දී පේනවනෙ ‘ස’ අක්ෂරය සුබ අකුරක් විදියට තම්පෝ මහත්තයා ගණන් ගත්තු විදිය.

ඒක වෙනස් වුණේ එතුමාගේ අන්තිම ෆිල්ම් එකේදී වෙන්නැති. මොකද ඒකෙ අධ්‍යක්ෂවරුත් දෙන්නෙක්. චිත්‍රපටය ‘අද මෙහෙමයි’. රුවිනා දීපානි, ඔස්වල්ඩ් ජයසිංහ දෙන්නා තමා ප්‍රධාන චරිතවලට හිටියේ.

ඔන්න දැන් අපි “Rampur ka Lakshman” ෆිල්ම් එක බලනවා!

සීන් එක ආවා. ආමුඛ සංගීතය එක්කම නාටිකාංගනාව..... ඈඈඈඈඈ? “Sanwala Rang Hai Mera” ආශා බෝන්ස්ලේ මිහිරි හඬින් ගයනවා! ‘මෙරා’ තමයි, මට කෙලවෙලා. ඒ ගීයට නටන්නේ හෙලන් නෙවෙයි!

සෝමවීර එවෙලේ හිටියේ සෙකන්ඩ් ක්ලාස් පුටුවක් උඩ වුණත් බැල්කනියටත් වඩා උඩින්. “දැක්කද?”
“පෙනුණා!”  

ඒකෙත් හැටි. මේ බ්ලොගය ලියද්දී කරුණු එකතු කරන කොට තමයි ‘පද්මා ඛන්නා’ ගැන දැනගත්තේ පළමුවෙනි වතාවට. හැබැයි එයා මහා නළු අමිතාබ් බච්චන් එක්කත් ප්‍රධාන චරිතය රඟපාලා තියෙනවා ‘Saudagar’ එකේ.

පද්මා ඛන්නා හින්දි සිනමාවේ............
හින්දි සිනමාවේ sex නාටිකාංගනාවගේ ප්‍රතිරූපය මවන්න මුල්වුණු කෙනෙක් හැටියටත් පද්මා ඛන්නා ගැන කියවෙනවා. 

ඒ කාලේ හිටියේ ඛන්නාලා ටිකයි. දැන් ඛන්නලා ගොඩයි. හැබැයි දැන් වැඩියත්ම ඉන්නේ ‘කන්නා’ලා. ගමයි, රටයි, සංස්කෘතියයි, නමයි, නම්බුවයි සේරම කන්නලා; කාගන්නලා! කොයි රටේද කියන එක නම් ඊළඟ කොටසින්වත් කියන්නේ නැහැ, නැහැ, නැහැමයි ඕං!

මේ ‘නිදි කන්නා’ට කන්න වෙච්චි කැවිල්ල කියනකොට ඒ කොටසේ වෙන දෙයක් කියන්න ඉඩක් තියෙන එකකුත් නැහැ කියලත් දැන්මම හිතෙනවා!

4 comments:

  1. හප්පේ ... ඉතින් කොහොඹ කොළ කෑවයි ?

    ReplyDelete
    Replies
    1. කිව්වොත් කිව්වා! .කිව්වොත් දිව්වා නෙවෙයි!!

      Delete
  2. පොළඟා වගේනම් බයයි යකෝ මොනවත් ලියන්න

    ReplyDelete
    Replies
    1. දැන් විෂ නෑ අජිත් ධර්ම මහත්තයෝ!

      Delete