"හතරට වුණත් යන්න පුළුවන් යකෝ, උඹ මට නිවාඩු අරං දෙනව නං... හ..ත..ට නේද?” නෙවිල් නමීව අවුස්ස ගත්තා. අපේ කට්ටිය ඔහොමමයි. එකේකාව අවුස්සගන්න දෙයියලා. නෙවිල් තමයි ඒ වැඩේ හොඳටම කරන්නේ.
![]() |
මිල්ටන්ගේ බැල්ම, හැසිරීම, ශරීර භාෂාව, කතා කරන විලාසය සහ සියුම්
අභිනයන් තමන්ගේම රංගන භාෂාවකින්... |
මුඛරි
හාදයෙක් නොවෙන නමී ෂේප් වෙන්නයි බැලුවෙ. ”හරි, හරි නෙවිල් අයියේ... මං ඒක එච්චර හිතල
කිව්වෙ නෑ හලෝ.”
“එව්ව ඔට්ටු නෑ නමියෝ. තමුසෙලා blog ලියන විදග්ධ උදවියනේ... මේ අපි වගේ ලපයි-සිපයි
නෙවෙයිනෙ😞😞😞... බුද්ධිමත්තු කතා කරන්න ඕනි හො..ඳ..ට හිතල-මතලා...”
“මේ බලන්නකො නිදි. අද නෙවිල් අයියා කොක්කක් ඇද ගන්නමනේ හදන්නේ...”
“මේ නෙවිල්. නමියට වැඩිය ඉගෙන ගත්තු, පට්ටම් ගහපු නම්බුකාර ලෝයර් මහත්තුරු සිරිලිය
නෝනා වෙනුවෙන් කතා කරන හැටි පේනවද😶😶😶? හිතල මතල ගොන්ම -ගොන් හතරබීරි කතා කියන ඒ වගේ
කෙනෙක් එක්ක පැටලෙනවකො ගිහිං, අපි වගේ අහිංසක blogකාරයොත් එක්කල ඇමිණෙන්න හදන්නෙ.”
මං
එහෙම කියල හීන් සීරුවේ මේ කොටසත් කතාවට එකතු කළා. “මේ ඒක නෙවෙයි මහත්තයෝ, දැන්
එතකොට කවද්ද අපි එදා රෑ බලන්නේ...”
“බලපංකො නමී, මේ මනුස්සයගෙන් තියෙන වදයක්... හරි. අඟහරුවාදට යමුකො එහෙනං...”
“මටත් විශේෂයෙන්ම බලන්න ඕනි රොෂාන් රවීන්ද්ර කොහොමද මිල්ටන් මල්ලවාරච්චිට act කරන්නේ
කියලා.”
“මොනවද
ඉතිං, සුපිරියටම ඇට් කරනවා ඇති. පේනවනේ ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලියේ...
හැබැයි, රොෂාන්ට වුණත් කරගන්න දෙයක් නෑ හොඳට කැරැක්ටර් එක ගොඩ නැඟිලා නැත්තං. ස්ක්රිප්ට්
එක හොඳට ලියැවිලා නැත්තං. ඩිරෙක්ටර් හොඳ නැත්තං... එහෙම වුණාම කොච්චර හපනෙක් වුණත්
අසරණ වෙනවා!
රොෂාන්ට එහෙම වෙච්ච ටෙලි කීපයක්ම තිබුණත් එක්ක. මේ මෑතකත්...”
‘“එදා
රෑ” බලලා ඉවර වුණාට පස්සේ, ආයෙත්
ගිහින් ඒ චිත්රපටය බලන්න හිතෙන තරමටම රොෂාන් රවීන්ද්රගේ රංගනය මට දැනුණා.
රොෂාන්
මිල්ටන්ගේ බාහිර පෙනුමේ සම්පූර්ණ පොටෝ කොපියක් නොවුණත්, ඒ වෙනුවට මිල්ටන්ගේ බැල්ම, හැසිරීම, ශරීර භාෂාව, කතා කරන විලාසය සහ සියුම් අභිනයන් තමන්ගේම රංගන භාෂාවකින් ඉදිරිපත්
කරලා තියෙනවා. චරිතයක් අනුකරණය කරනවාට වඩා, ඒ චරිතයේ
ආත්මය ප්රේක්ෂකයාට දැනෙන්න සැලැස්වීම කොතරම් වැදගත්ද කියන එක “එදා රෑ” තුළ රොෂාන්ගේ
රංගනයෙන් මනාව පෙනෙනවා.
ඒක තමයි
සැබෑ රංගන ශිල්පියෙකුගේ දක්ෂතාවය...’ එහෙම කියා තිබ්බේ තිළිණි
වරුෂවිතාන රසිකාවියයි.
![]() |
ඒ දවස්වල වැඩියෙන්ම හිටියේ
නළු-නිළියන් නෙවෙයි; තරු! දිදුලන තරු!! |
හැබැයි- එයාලා නිතරෝම හැම තැනම පේන්න උන්නෙත් නෑ. ඔවුන්ගේ රූපය වගේම ප්රතිරූපයත්
චිත්රපට සාර්ථක වීමට බලපා ඇති බවයි මට හැඟෙන්නේ.
ඒ නළු-නිළියන් වගේම, ඒ කාලයේ උන්නු නුවණැති විශිෂ්ටයන් තම-තමන්ගෙ අබල-දුබලතා හංගාගෙන,
තමන්ගේ ප්රතිරූපය නඩත්තු කර ගන්න සටනක් දුන්නු හැටි Ano කෙනෙක් අපූරුවට comment
එකක මෙහෙමයි ලියලා තිබුණේ ‘පොතුබරියෝ!’
post එකේදී.
“... මම
උස පුද්ගලයන් සමඟ එකතු වීම බොහෝ දුරට සීමා කළෙමි. ඒ ඔවුන් අතරදී මාගේ මිටි බව
වඩාත් කැපී පෙනෙන නිසාය" - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර
එදිරිවීර
සරච්චන්ද්රයන් උත්සව අවස්ථාවලට ගියාම බොහෝ විට උස මිනිසුන් මග හැර උසින් අඩු අය
සමග සමාගම ප්රිය කළා.
වරක් අමරදේවයන්ද ඒ හා සමාන අදහසක් ප්රකාශ කර තිබුණා...
වරක් සිනමා
සම්මාන උළෙලකදි ඊලඟ කතාව කිරීමට තිබුනේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාටයි.
ඔහුව හඳුන්වා දීම සිදු කරනු ලැබුවේ සතිස්චන්ද්ර එදිරිසිංහයන්ය. සතිස්චන්ද්ර අඩි හයයි
අඟල් තුන හමාරක් උස පුද්ගලයෙක්.
ගාමිණී
දක්ෂ වුණත් උසින් අඩු සෑහෙන කොට පුද්ගලයෙක් නිසා සතිස්චන්ද්ර වේදිකාවෙන් බැස යන තුරු
කොට ගාමිණී වේදිකාවට ගොඩවූයේ නැත. ඒ ඔහුටද උස ප්රශ්නය දරුණුවට තිබූ නිසායි.
ගාමිණීගෙ
මේ උස ප්රශ්නය මාලනී ෆොන්සේකා මනාව දැන සිටියා...
කලක් ගාමිණී - මාලනී ඔරොප්පු වී සිටි අතර එවිට දිනක් එක්තරා චිත්රපටයකදි ගීතයක් සඳහා
මාලනී තමන්ගෙ කොණ්ඩය පිට්ටු බම්බුවක් සේ උඩට සිටින අයුරින් හැඩ ගන්වා ගත්තේ ගාමිණීට
වඩා උස වැඩි බව පෙන්වා ඔහුට රිදවීමටයි...
ගාමිණී
ලෝක අණ්ඩපාල රට කපටියා නිසාම ඔහු සිටින චිත්රපටවල කැමරා කෝණය පවා තීරණය කරන්නෙ ඔහුයි...
එම ගීතය පුරාම ගාමිණී සිටියෙ මාලනීට ඉහලින් තිබූ කන්ඩියක් උඩ සහ අශ්වයා පිටේයි...
එදිරිවීර
සරච්චන්ද්ර සහ ගාමිණී ෆොන්සේකා තම තමන්ගෙ ක්ෂේත්රවල සෑහෙන දැවැන්තයෝ වුණත් ඔවුන්ටද
එවැනි දරුණු පෞරුෂත්ව අභියෝග තිබුණි.
පට්ට හැන්ඩ්සම්
මාගේ මිතුරෙක් ඇත. ඔහු කවදාවත් ඔහුට වඩා හැන්ඩ්සම් අය සමග ඡායාරූපයකට මුහුණ දෙන්නෙ
නැත. ඔහුම එය පවසයි. ඒ ඔහු ඔහුව මේන්ටේන් කරන හැටිය...'
![]() |
දිදුලන තරු පෞරුෂයක් හා
ප්රභාවක් හොඳටම තිබුණු නළුවෙක් විදිහට මම දකින්නේ විජය කුමාරතුංගයි... |
ඇයි
දැන් ඉන්න නළු-නිළියන් වැඩි දෙනෙකුට අර වගේ ‘තරු ගුණය’ක් නැත්තේ... තරු පෞරුෂයක්
නැත්තේ?
ඒක උපතින්ම ලැබෙන දායාදයක්ද?
ඒ
ගුණාංගය / දිදුලන තරු පෞරුෂයක් හා ප්රභාවක් හොඳටම තිබුණු නළුවෙක් විදිහට මම දකින්නේ
විජය කුමාරතුංගයි. (විජයගේ 81 වෙනි ජන්ම දිනය මේ ඔක්තෝබර් 09 වෙනිදට යෙදිලා
තිබ්බේ.)
විජයට අගෞරවයක් වෙන්නේ නැහැයි කියල හිතාගෙනයි, මේ කාරණය කියන්නෙ. මට අනුව විජය කුමාරතුංග
එතරම්ම දක්ෂ නළුවෙක් නෙවෙයි; එයාට ඕනෙම චරිතයක් ගැලපුණේ නෑ / විශේෂයෙන්ම දෙබස්
උච්චාරණයෙදී...
හැබැයි
රොෂාන් රවීන්ද්ර දක්ෂයි... ඒත් මිල්ටන් මල්ලවාරච්චි වෙන්න ගිහිං මනුස්සයත් නා ගනියිද😕😕😕?
එදා රෑ ෆිලුමේ එක එක වීඩියෝ clips දකිද්දී නං හිතුණෙ එහෙම වෙන එකක් නැහැ කියලයි.
(තිළිණි වරුෂවිතාන හරි වගේ!)
කොහොමෙන්
කොහොමෙන් හරි අපි තුන්දෙනා අඟහරුවාදා ‘එදා රෑ’ film එක බලන්න ගියේ මහ වැස්සේ. ඒ
නිසා වෙන්නැති මහරගම සැවෝයි හෝල් එකේ සෙනඟ
ටිකක් අඩු වෙන්න ඇත්තේ...
ඒත් මං වහන්සේ වගේ ‘ෆිලුම් ඇම්ම’ තියෙන තවත් ගොඩක් අය ඉන්නවනේ. වැස්ස නොතකා චිත්රපටය
බලන්න ආව එයාලගෙන් hall එකේ තුන්කාලක් විතර පිරුණා.
Film
එක පටන් ගත්තයි කියමුකො. මට යකා නැංගා!
හරි වැඩක්නේ... සිංදු ඇහෙන්නේ ඩබල් වෙලා... මම හොඳට කන් දීගෙන උන්නමයි වැඩේ අහු
වුණේ.
අපි වාඩි වෙලා හිටිය සීට් පේළියට ඉස්සරහින් අසුන් ගෙන උන්නේ දහයක- දොළහක විතර නඩයක්.
එයාලගෙ දැඟලිල්ලෙන්- හැසිරීමෙන් පෙනුණේ නිතර චිත්රපට ශාලාවකට ඇදෙන උදවිය නොවෙන
වගක්. ඒ නඩේ දෙන්නෙක් හොඳ සද්දෙට අර සිංදු කියනවා!
එයාලා තදම මිල්ටන් මල්ලවාරච්චි රසිකයන්
වෙන්නැති!
එහෙම රසිකයෙක්ය කියල මට හැඟෙන ෂෙනික් පෙරේරාට ‘එදා
රෑ’ දැනිලා තිබුණේ මෙහෙමයි:
![]() |
මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය
අපට සිනමාවෙන් හමුවුණාද? |
ජීවිත කතාවක්, ගීත මතකයක්
සහ සිනමාවක් ශාලා තුල දැන් ප්රදර්ශනය වේ. චිත්රපටයක් අවසන් වූ පසු අප තුළ ප්රශ්න
දෙකක් ඉතිරි වේ.
“මේ කතාව මට දැනුණාද?”
“මේ කතාව සිනමාවක් ලෙස ගොඩනැඟුණාද?”
“එදා රෑ”
නරඹා සිනමා ශාලාවෙන් පිටතට පැමිණි මොහොතේ මට දැනුණේ මේ ප්රශ්න දෙක අතර ඇති පරතරයයි.
මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය අපට සිනමාවෙන් හමුවුණාද? නැතහොත් ඔහුගේ ගීත හරහා අප තුළ දැනටමත් ජීවත් වූ මිල්ටන් නැවත
අවදි වුණාද? මට හැඟෙන්නේ දෙකම සිදුවූ බවය.
නමුත් මේ චිත්රපටය කියවීමේදී මට වඩාත් වැදගත් වන්නේ එකම කරුණකි.
මිල්ටන්ගේ ආත්මය ඔහුගේ චරිතාපදානයට වඩා ඔහුගේ ගීතය තුළ ජීවත්වේ.
ජීවිතයක්
යනු සිදුවීම් මාලාවකි. සිනමාවකට එය ප්රමාණවත් නොවේ. සිනමාවට අවශ්ය වන්නේ සිදුවීමක්
මිනිසෙකු තුළ ඇති කරන වෙනසයි.
“එදා රෑ”
තුළ සිදුවීම් රාශියක් තිබේ. චරිත තිබේ. සබඳතා තිබේ. යුගයක් තිබේ. නමුත් ඇතැම් අවස්ථාවලදී
event arc එක, character arc එක අභිබවා
යයි. අපට නිතරම දැනෙන්නේ, “ඊළඟට මොකද වුණේ?”යන්නය.
නමුත්
වඩා ගැඹුරු biopic චරිතාපදාන චිත්රපටියක් අපෙන්
අසන්නේ, “ඒ සිදුවීමෙන් පසු මිල්ටන් වෙනස් වූයේ කෙසේද” යන්නය. එතැනදී චිත්රපටයට තවත් අභ්යන්තර ගැඹුරක් ලබාගත හැකිව
තිබුණි. එහෙත් මිල්ටන්ගේ සැබෑ ජීවිතය තිබුණේ ගීතය තුළය. මිල්ටන්ගේ ගීත soundtrack එකක් පමණක් නොවේ. ඒවා ඔහුගේ අභ්යන්තර ජීවිතයේ භාෂාවයි.
ආදරය, වෙන්වීම, තනිකම, බලාපොරොත්තුව, අහිමිවීම සහ මතකය. ඔහු ගැයූ සෑම ගීයකම ඔහුගේ පෞරුෂයේ කිසියම්
කොටසක් තිබුණි. ඒ නිසා මිල්ටන්ගේ ජීවිතය සිනමාවට ගෙන එන විට ගීතය දර්ශනයකට පසුබිමින්
ඇසෙන සංගීතයක් වීම ප්රමාණවත් නොවේ. ගීතයම චරිතයේ අභ්යන්තර හඬ විය යුතුය.
“එදා රෑ”
සමහර අවස්ථාවලදී මේ සීමාව ඉතා සුන්දරව ඉක්මවා යයි. තවත් අවස්ථාවලදී ජනප්රිය ගීතයම
දර්ශනය අභිබවා යයි. එවිට අපි චිත්රපටය නොව, අප තුළ
දැනටමත් ජීවත් වන මිල්ටන්ව අසන්නෙමු.
චිත්රපටයේ
ප්රබලතම අංගයක් වන්නේ රොෂාන් රවීන්ද්රගේ රංගනයයි. ඔහු මිල්ටන්ගේ බාහිර හැසිරීම් අනුකරණය
කිරීමෙන් නතර නොවේ. ඔහු සොයන්නේ මිල්ටන්ගේ නිහඬ මිනිසාය. මෘදු බව, සංයමය, වේදනාව, ආදරය සහ අභ්යන්තර කැලඹීම ඔහු විශාල gestures අංග චලනවලින් නොව, ඉතා සියුම් facial
expressions සහ behavioural details හරහා ගොඩනඟයි. එය star impersonation එකකට වඩා character embodiment එකකි. විශේෂයෙන්ම ඔහුගේ micro-expression තුළ ඇති අර්ථය තවත් තත්පර කිහිපයක් තිරය මත රැඳුණා
නම්, එම රංගනයේ බලය තවත් ගැඹුරු විය
හැකිව තිබුණි.
අතීතය පෙන්වීම සහ අතීතය දැනෙන්නට සැලැස්වීම හැත්තෑව හා අසූව දශකයේ ලෝකය නැවත නිර්මාණය කිරීමට චිත්රපටය ගන්නා උත්සාහය පැහැදිලිය. ඇඳුම්, makeup, ගෘහ අභ්යන්තර, වාහන සහ පසුතල හරහා යුගය නැවත ගොඩනැඟේ. නමුත් හොඳ period film එකක් අතීතය පෙන්වන්නේ පමණක් නොවේ. එය අතීතය දැනෙන්නට සලස්වයි. ඒ සඳහා production design එකට camera language, lighting, soundscape සහ editing rhythm එකතු විය යුතුය.
මිල්ටන්ගේ
ගීතවලටත් එවැනි
subjective visual language එකක් ලැබුණා
නම්, “එදා රෑ” biography එකකින් ඔබ්බට ගොස් memory film එකක් බවට පත්වීමට ඉඩ තිබුණා.
“එදා රෑ”
යනු නමක් පමණක් නොවේ. එය මතකයකි. ප්රේමයකි. වෙන්වීමකි. නැවත නොඑන කාලයකි. චිත්රපටය
පුරා මේ සංකේත එකිනෙකට බැඳී අවසානයේ “එදා රෑ” ගීතය සමඟ ඒ සියල්ල එක තැනකට පැමිණියා
නම්, අවසානය තවත් ප්රබල emotional climax එකක් වීමට තිබුණි.
එදා රෑ
ගීතය අවසානයේ ඇසෙන්නේ තවත් ගීතයක් ලෙස නොවේ. සම්පූර්ණ චිත්රපටයේ මතකය ලෙසය. අවසානයේ
තිරයේ ඉතිරි වූයේ මිල්ටන් නොව, අපේම
අතීතයයි. චිත්රපටය අවසන් විය. තිරය අඳුරු විය. ශාලාවේ ආලෝකය දැල්වුණි.
නමුත්
මගේ ඇතුළත මිල්ටන්ගේ ගීතයක් තවමත් ඇසෙමින් තිබුණි. ඒ ගීතය චිත්රපටයේ soundtrack එකක් පමණක් නොවේ. සමහර ගීත චිත්රපටය තුළ මට ඇසුණේ
නැත. එය මගේම අතීතයේ හඬකි. අපේ පළමු ආදරය. අපේ පළමු වෙන්වීම.
අපට අහිමි
වූ මිනිසුන්. අපට නැවත නොලැබෙන තරුණ කාලය. ඒ නිසා “එදා රෑ” තිරය මත පෙන්වන්නේ එක් චිත්රපටයකි.
නමුත් මිල්ටන්ගේ ගීත අපේ ඇතුළත චිත්රපට දහස් ගණනක් පෙන්වයි.
රොෂාන්
රවීන්ද්ර අපට මිල්ටන්ව නැවත රඟපා පෙන්වන්නේ නැත. ඔහු අප තුළ තවමත් ජීවත්ව සිටින මිල්ටන්ව
නැවත මතක් කරවයි. මිනිසෙකු මිය යා හැකිය. කාලය ගෙවී යා හැකිය. චිත්රපටයක් අවසන් විය
හැකිය. නමුත් මතකයක් ගීයක් බවට පත්වූ
විට... ඒ මිනිසා තවදුරටත් අතීතයට අයත් නොවේ. මිල්ටන්ගේ ආත්මය ඔහුගේ ගීතයමයි.’
2025,
2026 වකවානුව කලා ක්ෂේත්රවල නව පිබිදීමක් සනිටුහන් කරන කාලයක්ද?
ඒ දෙවසර තුළ අසීමිත ප්රේක්ෂක ආදරය දිනාගත්; ආදායම් වාර්තා තැබූ චිත්රපටි රැසකි.
එයින් එකක්; ‘රිවර්ස්ටන්’ මෙවර ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරයි💗💗💗!
කලාත්මක යැයි / ප්රශස්ත යැයි කිව හැකි ටෙලි නාට්ය කිහිපයක්මත් මෑතකදී නිපදවෙයි.
එච්චරක් නොවේ! අවරට යමින් තිබෙතියි කියූ blog කලාවත් මේ වෙද්දී යම්කිසි
පුනර්ජීවයක් ලබා තිබෙන සෙයක් පෙනෙයි. මේ ඒ බවට සාක්ෂිය:
![]() |
ආදරණීය රසිකයෙක් එවූ ඉපැරණි
ඡායාරූපයකි. |
මයියා අඩවියේ පළවී
ඇති “ෂ්! ෂ්!” - නිශ්ශබ්ද වෙන්නද, නැත්නම් බය වෙන්නද?’ ලිපියටත් ලොකු පාඨක අවධානයක් ලැබිලය...
ඒ විතරක්ද?
කොළඹ ගමයා බ්ලොග්
අඩවියේ ‘ගරාවැටෙන යටත්විජිත ශ්රී විභූතිය - ඓතිහාසික ගල්කිස්ස හෝටලය (Hotel Mount Lavinia)’ පෝස්ටුවත් රසික ප්රසාදය දිනාගෙන
ඇති විත්තිය commentsවලින් පෙනෙයි.
එහෙම පිබිදීමක්
ගැන මේ ලියන්නාට; නිමල් දිසානායකයාට ඇත්තේ අප්රමාණ සතුටකි...
යම්කිසි නිර්මාණයක් ආදරණීය රසික-රසිකාවන් අතරට යන තරමටය; ඒවාට ලැබෙන ප්රතිචාර
වැඩි වෙන තරමටය නිර්මාණකරුවන් තෘප්තියට පත් වන්නේ...
මේ posts කිහිපයත් සහෘද පාඨකයන්ගේ අතීත මතකයන් කළඹා ඇති බවයි- මට දැනෙන්නේ!
පසුගිය
පෝස්ටුව කියවූ (නොනමින් පෙනී සිටීමට කැමැති) ආදරණීය රසිකයෙක් එවූ ඉපැරණි ඡායාරූපයකි,
ඉහළින් යොදා ඇත්තේ. (ගොඩක් ස්තුතියි මහත්තයෝ!)
‘එදා
රෑ’ බැලූ ආදරණීය නරඹන්නන් රැසක්මත් හරි ලස්සනට ඔවුන්ගේ හැඟීම් අකුරුකොට තිබීම අපූරු
දෙයක්. මං වහන්සේට එහෙම හිතෙන්නේ මාත් මගේ හැඟීම් අකුරෙන් කියන්නෙකු නිසා
වෙන්නැති.
‘පෙර එක
දවසක සඳ නැති සවසක…
මිල්ටන්ගේ කතාවද? ඔයාගේ කතාවද?
මිල්ටන්ගේ
“එදා රෑ” චිත්රපටිය ආසාවෙන් බැලුවා. ලෝකේ කොච්චර පොඩි වෙලාද කියන්නේ, සති දෙකකට කලින් ලංකාවේ ප්රදර්ශනය පටන් ගත්ත චිත්රපටියක්
රටේ නැති අපිටත් ඒ විදිහටම සිනමා අත්දැකීමක් විදිහට විඳගන්න දැන් පුළුවන්.
තමන්ගේ
ජනප්රිය තාත්ත නැති උනාම "අපේ තාත්ත සින්දු කියල / රඟපාලා ඕගොල්ලන්ව පිනෙව්වා.
දැන් තාත්ත නැහැ අම්මටය් අපිටය් ජීවත් වෙන්න විදිහක් නැහැ. අපිට උදව් කරන්න."
කියල කියන පුතාල ඉන්න රටක තමන්ගේ තාත්තට ඒ අගෞරවය වෙන්න නොදී, තමන්ගේ දෙයක් කරගෙන ජීවත් වෙලා එතනින් නොනැවතිලා
තාත්තගේ රසිකයන්ට එයාගේ කතාව කියන්න චිත්රපටියක් හදන්න දායක උන රනිල් මල්ලවාරච්චි
ඇතුළු මිල්ටන්ගේ දරුවන් හතර දෙනාට මුලින්ම ස්තුතිය්.
මුලින්ම
කියන්න ඕන පළවෙනිම දර්ශනයේ මිල්ටන්ගේ වේශ නිරූපණය ගැන.
ඒ නම් මිල්ටන්ම තමයි!
ඒ දර්ශනයේ ඉන්නේ රොෂාන් නෙමෙයි, ඒ මිල්ටන්!
ඒ කලබලයක් නැති මුහුණේ ඉඳන්, මයික්
එක අල්ලන විදිහ දක්වාම මිල්ටන්.
මම චිත්රපටි
විචාරය කරන්න ඉගෙනගෙන නැහැ. මම දන්නේ චිත්රපටියක් මට දැනෙන විදිහ ගැන විතරයි. “එදා
රෑ” මට ගොඩක් දැනෙන්න හේතු කීපයක් තියෙනවා.
එකක්, මම මිල්ටන්ගේ හඬටත්, ඒ ප්රේමනීය ගීතවලටත් බොහොම ආදරෙයි. අනික, මිල්ටන්ගේ ජීවිතයට සම්බන්ධ ප්රදේශ එක්ක මට තිබුණු
සම්බන්ධය.
![]() |
චිත්රපටිය පුරාම මම සින්දු
ටික අස්සේ හොයලා තියෙන්නේ මගේ කතාව කියලා... |
මිල්ටන්ගේ
අවමංගල්ය රථ පෙරහැර එනකොටත් මම ජුබිලි කණුවේ. සාමාන්ය පෙළ කරලා
ප්රතිපල එනකන් ඉන්න කාලේ, රස්තියාදුවක්
ගහල ගෙදර එන ගමන්...
ඔහුගේ
ගීතවල තිබුණු ශෝකී වදන් පුවරු ලෙස සකස් කරලා තිබුණා.
“උයනක් පිරී පිපි මල් අද පරවෙලා…”
මුලින්ම ආපු සුදු පැහැති වෑන් රථයේ ඉදිරි අසුනේ රනිල් මල්ලවාරච්චි හිටියා. ඊට පස්සේ
ආපු වෑන් රථයේ ඉදිරි අසුනේ හිටියේ තවත් මම කැමති කෙනෙක්. සතිෂ් පෙරේරා. අවාසනාවකට, පනස් ගණන්වල මැදට එන්න කලින් මියගිය කලාකරුවන් අතරට
සතිෂුත් එකතු වුණා.
මිල්ටන්
ජනප්රිය ගායකයෙක් වෙන්න කලින් මගේ පියාගේ මිතුරෙක්. ඉස්සර කෝට්ටේ රජමහ විහාරයට පයින්
යනකොට, දැන් සංහිඳ වැඩිහිටි නිවාසය තියෙන
තැන ඉඩමේ තිබුණු මිල්ටන්ගේ කුඩා කාලයේ ගෙවුණු කුඩා නිවස තාත්තා මට පෙන්නනවා. ඒ ගෙදර
90 දශකයේ අග වෙනකන්ම එහෙම තිබුණා.
මිල්ටන්
දවල් වෙනකන් නිදාගන්න කැමති බවත්, තාත්තා
ඇතුළු මිතුරන් ඔහු නිදාගන්නා ඇඳ පිටින්ම උස්සගෙන එළියට ඇවිත් මිදුලේ තියා, හැංගිලා ඉඳන් ඇඳට කුරුම්බැට්ටි විසි කරන බවත් තාත්තා
කියන්නේ හිනාවෙමින්.
චිත්රපටියේ
පෙන්වනවා වගේම මිල්ටන් කායවර්ධනය ගැනත් උනන්දු වුණු කෙනෙක්ලු. මගේ තාත්තත් ඒ වගේ.
මිරිහානේ
අපේ මහ ගෙදර ඉස්සර තාත්තගේ මිතුරන් එකතු වෙලා ව්යායාම කරන බවත්, මිල්ටනුත් ඉඳහිට එතැනට ඇවිත් කතාබහ කරමින් ඉඳලා
යන බවත් තාත්තගේ මිතුරන් අතර තිබුණු කතාබහවලින් මම අහලා තියෙනවා. වරක් ඒ කුඩා “ජිම්”
එකට මිල්ටන් කුඩා බංකුවක් තෑගි කරලා තිබුණා. පස්සේ කාලෙක ඒ බංකුව අපේ කුස්සියේ තිබුණා.
අම්මා උයනකන් මම ඒ බංකුවේ වාඩිවෙලා ලුණු ගෙඩියක්, අල ගෙඩියක් සුද්ද කරලා දෙමින් පාලු කපපු හැටි…
ඒකත් දැන්
සුන්දර මතකයක්.
මමයි, බිරිඳයි, පුතයි
තුන්දෙනාම ආසාවෙන් චිත්රපටිය බැලුවා. ආපහු එද්දී කෝච්චියේදී බිරිඳ චිත්රපටිය ගැන
කතා කළා. “සින්දු ටික ලස්සනට චිත්රපටියට ගලපලා නේද?” කියලා එයා ඇහුවා.
“ඔව්. ඒත් තව එක සින්දුවක් දාන්න පුළුවන්කම තිබ්බා.” මම කිව්වා.
![]() |
ලංකාවේ පෙම් හසුන් ලියපු අය
අතරින් මිල්ටන්ගේ සින්දුවක පේළියක් දාපු නැති කෙනෙක් ඉන්නවා නම්, ඒ බොහොම කලාතුරකින් වෙන්න
ඕන! |
මම කිව්වා, “පෙර එක දවසක සඳ නැති සවසක…”
“මේ ඔයාගේ කතාව නෙමෙයි, මිල්ටන්ගේ
කතාව!” කියලා එයා හිනාවුණා.
එතකොට තමයි මට තේරුණේ… චිත්රපටිය පුරාම මම සින්දු ටික අස්සේ හොයලා තියෙන්නේ මගේ කතාව
කියලා.
80 මුල
ඉපදිලා, 90 ගණන් මැද වෙනකොට ගැටවර වියට
ආපු අපිට ආදරය ගැන මුල්ම මිහිරි හැඟීම් දැනුණේ මිල්ටන්ගේ සින්දුවලින්.
ඒ කාලේ
ආදරේ කරනවා කියන්නේ හැඟීමක් විතරයි. අද වගේ ඒක ප්රකාශ කරන්න, සමරන්න ලොකු දේවල් ගොඩක් තිබුණේ නැහැ. තිබුණු එකම
විකල්පය ලියුම් ලියන එක. ලංකාවේ පෙම් හසුන් ලියපු අය අතරින් මිල්ටන්ගේ සින්දුවක පේළියක්
දාපු නැති කෙනෙක් ඉන්නවා නම්, ඒ බොහොම
කලාතුරකින් වෙන්න ඕන.
ඉතින් ඔය සම්ප්රදාය අනුව මිල්ටන්ගේ සින්දු දාලා කෙල්ලෙක්ට ලියුම් ලියපු කෙනෙක් මමත්.
සම වයසේ, එකම පන්තියේ අය අතර ඇතිවෙන ඒ විදිහේ ආදර සම්බන්ධතා
බොහොමයක් වයසින්
වැඩෙත්ම ලෝක යථාර්ථයට මුහුණ දීලා නතර වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙන් වෙන්න සිද්ධ
වෙනවා. ඒක දෙන්නගෙම වරදක් නෙමෙය්, ඒත් ලංකාව
වගේ රටක ආදරේ කරද්දී ඔය ගැටළු මතු වෙනවා.
අවුරුදු
21 දී ඒ අත්දැකීමට මමත් මුහුණ දුන්නා.
අවුරුදු හතක ආදර කතාව අවසන් කරන්න (පටන් ගත්ත වයස උඹලට වැඩක් නෑනේ) ඇතුල්කෝට්ටේ දියවන්නා
ඔය ගාවදී මුණගැහිලා, බොහොම ගෞරවාන්විතව සමුඅරගෙන තනියම
ගෙදර යන්න 168 බස් එකට නැග්ගා.
දැන් ඒ
බස් සේවාවත් නැහැ.
බස් එකේ ගුවන්විදුලි යන්ත්රයේ මිල්ටන්ගේ “පෙර එක දවසක…” සින්දුව වාදනය වුණා. ඒ වෙලාවේ
මට හිතුණේ ඒක ඒ වෙලාවේ සිදුවිය යුතුම දෙයක් කියලා. ඒත් ඒක කොච්චර අහඹු දෙයක්ද කියලා
මට හිතුණේ ඊයේ “එදා රෑ” බැලුවට පස්සේ.
ඔය බිඳ
වැටීමෙන් පස්සේ මම ටිකක් අමුතු මිනිහෙක් වුණා. ආදරය, මානුෂික සම්බන්ධතා අපි කියන තරම් සුන්දරද? ඒවායේ ඇත්තටම පලක් තියෙනවද? මම ඒවා ප්රශ්න කරන්න ගත්තා. ඒවා මහ පොළොවේ යථාර්ථයෙන්
එහා තියෙන දේවල් වගේ මට හිතුණා.
මගේ බිරිඳව
මට හමුවෙන්නේ ඊට අවුරුදු දහයකට පස්සේ. එතකොට මම අවුරුදු ගණනක් පිටරටවල, විවිධ රැකියාවල අත්දැකීම් අරගෙන, පරිනත මිනිහෙක්. පොඩි යාන්ත්රික ගතියකුත් තිබුණද
මන්දා!
![]() |
දවස් 50ක් ඉක්මවා සාර්ථකව
තිරගත වෙන ‘එදා රෑ’ උසස් ගණයේ කලාත්මක චිත්රපටයක් නොවේ. එහෙත් නොමඳ ආස්වාදයක් සපයන
සංගීතමය ෆිලුමකි. වැරදි- අඩුපාඩු ඇතත් නරඹන්නට වටියි! |
කිව්වා
වගේම, එයා බොහොම
ප්රේමනීය විදිහට ෆොටෝවලට හිටියා. මම නිකන් මොකාද වගේ!
ප්රේමය
ගැන කලින් කිසිම අත්දැකීමක් නැති, අවුරුදු
හතකින් මට වඩා බාල ගැහැනු ළමයෙක්, තමන්ගේ
ප්රථම ප්රේමය විදිහට ඒ ප්රේමයෙන් බැටකාපු පුද්ගලයාව තෝරාගන්නවා. ඒ පුද්ගලයාව දරාගෙන
ගමනක් යන්න පටන් ගන්නවා.
ඒ ගමන
අතරතුර, ආපහු ආදරය ගැනත්, මනුස්ස සම්බන්ධතා ගැනත් විශ්වාසයක් මට ඇති වෙනවා.
මහා ලොකු දේවල් ගොඩක් නැහැ. ඒත් ආදරණීය බිරිඳක්, පුතෙක්, ජීවිතේ
ඕන කරන දේවල් ටිකක් තියෙනවා.
ඉතින්
දැන් මට “පෙර එක දවසක” ඉස්සර වගේ දැනෙන්නේ නැහැ. ඉස්සර ඒක අහද්දී
මට දැනුනේ සමුගැනීමක් , අහිමිවීමක්, පාළුව, කාන්සිය
ගැන හැඟීමක්...
අද ඒක අහද්දී මට මතක් වෙන්නේ ඒ සමුගැනීමෙන් පස්සේ මම ජීවිතේ ආපු දුර. සින්දුව වෙනස්
වෙන්නේ නැහැ, හැබැයි අහන පුද්ගලයා වෙනස් වෙනවා.
ඒක දැනෙන හැටි වෙනස් වෙනවා!
ඒත් ජීවිතේ
ලොකු කඩා වැටීමකට මුණ දීපු අවුරුදු 21 එකක, හෙට උදේ ඉර පායය්ද කියලත් විස්වාසයක් නොතිබුන
කොල්ලෙක්ට තමන්ගේ හිත හදා ගන්න උදව් කරපු "පෙර එක දවසක" සින්දුවටය් මිල්ටන්ගේ
ඒ ප්රේමනීය හඬටයි මම තාමත් ආදරෙය්.
පෙර එක
දවසක වෙනුවට දැන් මගේ ඔළුවේ තියෙන්නේ මිල්ටන් තම ජීවිතයේ අන්තිම වසර දෙක තුළ ගායනා
කළ ගීයක්.
“ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙමි…”
ඉතුරු පද දෙක ලියන්න බැහැ අනේ… අපි ලජ්ජා බයට හැදුණු 80 දශකයේ ළමය්!!’
දුමින්ද එදිරිසිංහ එදා රෑ
film එක ගැන ‘අඩයාලම’ට ලියල තිබුණු සටහන එහෙම පිටින්ම මගේ පෝස්ටුවට ගත්තේ ඒකේ
තියෙන අව්යාජ ගතිය නිසාත්- රසබර තොරතුරු සමුදාය නිසාත්...💗
ඒත් එහෙම
කළායින් වුණේ මේ පෝස්ටු මාලාවේ තව කොටසකට යන්නයි. ඊට කලින් පොරොන්දුවකුත් ඉටු කරල ඉන්න ඕනිනේ. පහුගිය පෝස්ටුවේ commentsවලදී මං
කිව්වා ‘එදා රෑ’ ගැන මගේ අදහස මේ post එකේදී ඔයාලට කියන බව. මෙන්න ඒක ඉතා
කෙටියෙන්.
‘දවස් 50ක් ඉක්මවා සාර්ථකව තිරගත වෙන ‘එදා රෑ’ උසස් ගණයේ කලාත්මක චිත්රපටයක්
නොවේ. එහෙත් නොමඳ ආස්වාදයක් සපයන සංගීතමය ෆිලුමකි. වැරදි- අඩුපාඩු ඇතත් නරඹන්නට
වටියි!’
à වැඩි විස්තර තෙවෙනි කොටසෙන්...








