අවුරුදුම 09ක්…! නෑ, ගඳ නෑ…
පුස් බැඳිලත් නෑ…😋
"පොතුබරි" නැත්නම් මුහුදු
කුකුලා....
![]() |
අර බාරේ ඔප්පු කරන්න ගිය ගමනනෙ... |
මට මෙච්චර කල් මේ ගැන පෝස්ටුවක්
ලියන්න හිතුන්නැත්තෙ ඇයි? ඒත්... පොතුබරි වචනෙන් පස්සේ හිතුණා අදම මේ post එකේ වැඩ
පටන් ගන්න.
එවෙලේම ගත්තා සාන්තල ගෙදරට call එකක්. ෆෝන් එක ඉස්සුවේ බබිතා නංගි; සාන්තගේ ප්‍රියම්බිකාව.
(මෙයාල ජෝඩුව ගැන කලිනුත් කියල තියෙනවා. මොකද, මේ දෙන්නගෙ විවාහ මංගල්ලේ දවසේ ‘හතර
වරිගෙම නෑදෑයෝයි හිත-මිත්‍රාදීනුයි සේරමලා’ ඒ මංගල්ලෙට වැඩිය උනන්දුවෙන් වෙනත්
මංගල්ලයක් දිහාවයි බලබලා උන්නේ. එදා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම World Cup
එක දිනන මාවතට වැටුණේ- කෙන්යාව එක්ක මැච් එකේදී colours පෙන්වන්න පටන් අරං...)
“ඉතිං කොහොමද නිමල් අයියේ... අද ඔයාගේ
කටහඬ නං හොඳයි...”
“ඒක පෙන්නන්නත්තෙක්ක තමයි කතා කළේ. නංගි- කෝ, සාන්ත එහෙම කිට්ටුවක ඉන්නවද?”
“එයා අදත් වැඩ අයියේ. මම එයාට කියන්නං- දැන්මම ඔයාට කතා කරන්නයි කියල.”
“එපා එපා නංගි. මගේ ළඟ සාන්තගේ මොබයිල් නොම්මරේ තියෙනවා. මම දැන්මම සාන්තට කතා කරන්නං”
මං කිව්වා; ඒ වගේමයි කළෙත්.
“සාන්ත, මට ඔයාගෙන් විස්තර ටිකක් අහගන්න
තියෙනවා... අවුරුදු දහයකට විතර කලින් ඔයාලා මාව කතරගම එක්කගෙන ගියා මතකයිද- මාතරට ගිහිං-
කොට්ටෙගොඩ හරහා...”
“ආ මතකයි මතකයි. අර බාරේ ඔප්පු කරන්න ගිය ගමනනෙ... ඉතිං මොකක්ද නිමල් අයියේ මගෙන්
කෙරෙන්න ඕනේ?”
“අනේ සාන්ත. කරදරයක්ය කියල නොහිතා,
අද වැඩ ඇරිලා ගෙදර යන ගමන් අපේ ගෙදරට ගොඩ වැදිලා යනවද -පැය බාගෙකට... ලොකු උදව්වක්
මහත්තයෝ.”
“මොන කරදරයක්ද නිමල් අයියේ... මම එන්නං. හැබැයි පහමාර විතර වෙයි. කමක් නැහැනෙ?”
“ඒකට මොකෝ? තෑන්ක්ස් සාන්ත!”
ඒත් එක්කම මං අපේ නමී උන්නැහෙටත්
කෝල් කළා.
“හා ලොක්කා... ගුඩ් මෝනින්! මොකෝ මේ උදෙන්ම?” නමී ඇහුවා.
“පුළුවන්කමක් තිබ්බොත් අද හවස පහට-
පහමාරට විතර මේ පැත්තට ඇවිත් යනවද?”
“වොයිස් ටයිපිං වැඩේ කරන්න ගත්තද?” නමී ගුරුන්නාන්සේ හිතන්නට ඇත්තේ මේ නිදි ගෝලයා
ඒ ගැන යමක් අසා දැන ගන්නට හදනවා කියලය. (කරුණාරත්න අමරසිංහ මහතා එසේ කරන විත්තිය ආයෙමත් මතකයේ ඉස්මත්තට පැමිණි පසු මේ දිසානායකයා ඒ ශිල්පය හදාරන්නට
පටන් ගත්තේය; නමී සර්ගේ මඟ පෙන්වීම යටතේ.)
![]() |
| ‘ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි’ වගේ සිටි කාලයක් පසුකොට; කෙස්-ලොම්- මයිල් සේරම හැලී... (2014 දී) |
“ඒකේ වැඩකට නෙවෙයි යක්ෂයො එන්න කිව්වේ...
එක අතකට එහෙම නෙවෙයි කියන්නත් බෑ. තව චුට්ටකින් සාන්ත මෙහාට එනවා... ඒ ආවාම මං
විස්තරේ කියන්නං දෙන්නටම එක සැරේ!”
“කව්ද සාන්ත?”
“WAL ප්‍රියන්තගෙ නංගිව; බබිත නංගිව බැඳල ඉන්න කෙනා...”
“අපි අර ලොකු බස් එකක රැස් වෙහෙර, අවුකන එහෙම බලන්න ගිය ට්‍රිප් එකට එයාත් ආව නේද නිදි?”
“බබිත නංගි ගියා... සාන්ත ඒ ට්‍රිප්
එකට ආවේ නෑ- මට මතක විදිහට. ඔයාට... ආ- කියනකොටම සාන්තත් ඔය ආවේ.” සාන්තගේ දඬුමොනර
යන්තරේ සද්දෙ ඇහිච්ච මං අනුමානයෙන් කිව්වා.
ඒ දෙන්නව එකිනෙකාට හඳුන්නලා දෙද්දී
දෙන්නම කිව්වේ එකම සිංදුව. ‘අපි මීට කලින්
මෙහෙදීම හම්බ වෙල තියෙනවා.’
“ඒක වැඩියත් හොඳයි. එහෙනං දෙන්නම තුන් හතර පොළකින් වාඩි වෙන්නකෝ- මං විස්තරේ
කියන්න...
-නමී, 2013 මට මල්ටිපල් මයෙලොමා blood කැන්සර් එක හැදිච්ච වෙලාවේ මේ සාන්තල නැන්දම්මා; චිත්තම්මලා එහෙමයි ප්‍රියන්තලගේ නෑදෑයෝ සේරමලයි එකතු වෙලා ලොකු බෝධි පූජාවක් කෙරුවා... තලපත්පිටියේ ශ්‍රී බෝධිරුක්ඛාරාම පන්සලේ. බාරහාර කීපෙකුත් වෙලා තිබුණා- මංවත් දන්නේ නැතුව...” මං කිව්වේ නමීට මේ කතන්දරේ තේරුම් ගන්න ලේසි වෙන්නටයි.
ඖෂධ හා විකිරණ ප්‍රතිකාර පටන් ගත් විට ‘ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි’ වගේ සිටි කාලයක් පසුකොට; කෙස්-ලොම්- මයිල් සේරම හැලී, අඟහරු ලොවින් ආ භූතයෙකුව සිටි කාලයක් පසුකොටය, නිමල් දිසානායකයා සනීප වීමේ මාවතට පිළිපන්නේ. ඒ විස්තරත් එවෙලේ මගෙන් කියැවිණි.
“අන්න ඒ සනීප වේගෙන එන කාලේ තමයි නමී
අපි නිමල් අයියට කිව්වේ, අපිත් එයා වෙනුවෙන් කතරගමට බාරයක් වෙලා තියෙන බව.
ඒ බාරය ඔප්පු කරන්න අපිත් එක්ක කතරගමට ගිය ගමන ගැන නේද දැන් නිමල් අයියට විස්තර අහගන්න ඕනි...”
“හරියටම හරි, සාන්ත!”
“ඔය පරණ කතන්දර අවුස්සන්නේ මොකටද අප්පා?”
“ඒ කතන්දරේ මගෙ blog එක කියවන අයට ලියන්න... මට ගොඩක් විස්තර මතකයි. ඒත් ඒවා හරිද කියලා තහවුරු
කර ගන්නත් එපැයි, සාන්ත.”
අන්න එතකොටයි නමී උන්නැහේත් ප්‍රශ්නයක්
ඇහුවේ. “නිදි, මොකද මේ එක පාරටම හදිස්සියේ ඒක ලියන්න හිතුණෙ... ඇහුවට කමක් නැහැනේ...”
![]() |
"පොතුබරි" නැත්නම්
මුහුදු කුකුලා... (ටයිටන් ට්‍රිගර්ෆිෂ් Titan
Triggerfish) |
‘අවුරුදුම 09ක්…! නෑ, ගඳ නෑ…
පුස් බැඳිලත් නෑ…😚
"පොතුබරි" නැත්නම් මුහුදු
කුකුලා...
![]() |
මීට දවස් 3000කට විතර කලින් මං මේක
කළේ Bachelor's research එකේ පුංචි කොටසක් විදියට. |
මීට දවස් 3000 කට විතර කලින් මං මේක කලේ Bachelor's
research එකේ පුංචි කොටසක් විදියට...
මුල් අවුරුද්ද පුරාම කල් පැවැත්ම weekly
වගේ බැලුවා... ඒත් අවුරුදු 09 ක්ම පුස් බැඳීමක්වත් නොවී තියෙයි
කියලා ඇත්තටම මම හිතුවෙ නෑ... මාලු පොත්තක්නෙ මේ....
මේ පොත්ත හරි තදයි... වෙන මාලු වගේ
නෙමෙයි... වතුර අයින් කරල වේලුනාම කට්ටක් වගේ රෝල් වෙනවා... දිග අරින්නවත් බෑ...
සාමාන්ය මාලු සමක් treat
කරන procedures වලට මේක කරන්න බැරි උනා...😍
මාස 3- 4 ක් විතර ගියා flexible
කරන්න පුලුවන් ක්රමයක් හොයාගන්න... හැබැයි chemicals
use කලේ නෑ... ස්වාභාවික මිල අඩු
හොයාගන්න පහසු දේවල් වලින් කලේ...
මේ පාට... ඔයා පාට කලා නේද?😏
නෑ.. මුලදි samples
අරන් මං පාට කරලත් බැලුවා... එතකොට
කැතයි. මල් බබෙක් වගේ...
ඔය පොත්ත ටිකක් කලු පාටයිනෙ...
මට කැමති පාට එනකම් ඒ කලු පාට pigments හෙමීට පොත්තෙන් අයින් කරන්න පුලුවන් විදියකුත් හොයාගත්තා... මේක
පොත්ත ඇතුලෙන්ම ගනිපු ස්වාභාවික පාටක්...😗
(තව අවුරුදු 10 කින් විතර ආයේ බලන්න ඕනෙ ඉතින්...😊
ඒ කාලෙ මේ පර්යේෂණයට මට හැමදේම කියල දීපු මගේ
රුහුණ University එකේ Prof.
D.H.N. Munasinghe වගේම Zoology
Department එකේ මට උදව් කරපු හැමෝමත් ගෞරවයෙන් මතක්
කරනවා.❤
මේ ගැන suggestions
හරි, අඩුපාඩු හරි ඕනෙ දෙයක් ඔයාලා පහලින්
ලියන්න.
මං සහන්...
සාන්තයි, නමීයි දෙන්නටම පුදුමයි- ඒ
පෝස්ටුව මට එච්චරටම වැදිලා තියෙන එක ගැන.
සහන් විලියම්ස් අලුතින් යමක් කරල- ඒ පර්යේෂණය ගැන අවුරුදු නවයක් තිස්සේ විමසිලිමත්ව
හිඳීම පොඩි දෙයක්ද?
සහන්ගේ හිත මිතුරු සගයන් දක්වා
තිබුණු ප්‍රතිචාරත් හොඳයි. එයිනුත් කීපයක් මේ.
Kaveesha Supun- අපිත් skin එක use කරලා ග්ලූ එකක් හැදුවා. ඒක සක්සස් වුණා. ඒකෙන් ඕනෑම
දෙයක් අලවන්න පුළුවන්... ලී, වීදුරු - ඕනෑම දෙයක්. සුපර් ග්ලූවලට වඩා හොඳයි.
Sachini Karunarathne- මෙන්න ඔයාගෙ research
ek සචිමොටෝ... මුහුදු කුකුල හොයාගෙන
ලෙල්ලමේ ගිය කාලෙ මතකද
Shamika Senesh Bandara- Leather
සෑහෙන්න ගණන්. හැබැයි මේ වගේ දෙයක්
කරන්න පුළුවන් නම් ඒක අලුත් මාකට් එකක් හදලා දෙයි.’
![]() |
සාන්තලා එයාලගෙ වාහනයකින්ම කතරගම
යන්න පිටත් වුණේ, මං වහන්සේවත් පටවගෙන.
(සෙරාන්, බබිතා, චිරන්ත හා සාන්ත) |
“ඔයා මේ බණ කතා කරනවා නිමල් අයියේ... මම පුංචි කාලේ පොතුබරි හම් විතරක් නෙවෙයි අහක
දැම්මේ- මාළුවාව එහෙම පිටින්මයි අහක දැම්මේ. ඌට ඒ කාලේ කියපු පොතුබරි නමත් නිකං
අංජ-බජල් නමක් නෙව. අනික ඌ කිසි ලස්සනක් නැති මාළුවෙක්නෙ. උගෙ හමත් හරි ඝනයි... ”
“හෝව් හෝව් පොඩ්ඩක් හෝව්! ඕන්න ඔය විස්තර
ටික තමයි මට ඔයාගෙන් විශේෂයෙන් අහගන්න ඕනි. එදා කොට්ටෙගොඩදී ඔයා කිව්ව වගේ ඒ ගැන කියන්න.
හැබැයි, අද ඔයා කියන දේවල් අපි රෙකෝඩ් කර ගන්නයි හදන්නේ. කමක් නැහැ නේද... රෙකෝඩ්
කරන වැඩේටයි මම නමීව ගෙන්න ගත්තෙත්...”
නමී ඒ රාජකාරිය අකුරටම කරලා දුන්නා.
පටිගත වෙලා තියෙන අපි දෙන්නගෙ සංවාදෙන් මේ post එකට අදාළ කාරණා විතරක් තෝරාගෙන මතක
වීදිය දිගේ පෙළ ගස්සවා ගත්තේ පුංචි පහේ යුද්ධයක් කරලයි!
මොකද සාන්තටත් කියන්න දේවල් එමටයි!
එයා මාතර, ගබඩා වීදියේ ඉපදිලා එහෙ කරිජ්ජ
පාගලා, එතැනින් කොළඹට ඇවිත් ගෙන්දගම් පොළොව පාගලා, සකුරා මල් පිපෙන රටේ අවුරුදු 5 ½ ක් ඉඳල ආව පුතයෙක්. අත්දැකීම්
තොගයක් තියෙන කෙනෙක්.
ඉතිං, 2015දි තමයි සාන්තලා එයාලගෙ
වාහනයකින්ම කතරගම යන්න පිටත් වුණේ, මං වහන්සේවත් පටවගෙන.
“සුසිලක්කලා අපිට lunch එක ලැහැස්ති කරනවයි කිව්වා. ටිකක් කල් ඇතුව එන්න කියලත් කිව්වා.
ඊට පස්සෙ නිරෝ, අපි ඇඹිලිපිටියට ගිහින් නන්ද කුමාරවත් දාගෙනයි කතරගම යන්නෙ...”
සාන්ත කිව්වේ බබිත නංගිට විතරක් නෙවෙයි- මටත් දැන ගන්න වගෙයි.
(‘නන්ද කුමාර එනව නං ඉතිං හිනා
වෙනවා මිසක් හුස්මක් ගන්න ඉඩක් ලැබෙන්නෑ’ මට හිතුණා. අවුරුදු ගාණක් නැව්වල වැඩ කරල
තියෙන නන්දෙ අපි එක්ක trips යන නඩේ සාමාජිකයෙක්. අර ‘මලාකා’ (kaරි) කතාව එයාගේ අත්දැකීමක්.)
“ඔය කිව්වට සාන්ත, සුසිලක්කලා දවල් කෑම
විතරක් නෙවෙයි, ලොකු තේ මේසයකුත් සූදානං කරගෙන ඇති- මෙලහටත්... මං දන්නැද්ද එයාලගෙ
හැටි...”
“ඒක නිරෝ දකුණෙ මිනිස්සුන්ගෙ හැටි!”
බබිතා නංගි කිව්ව හරි!
ඒ පරුවත තේ මේසයේ තිබුණු ජාති... තෝරල- බේරලා සප්පායම් වෙලත්... හුස්ම ගන්න වුණේ
අමාරුවෙන්. “සුසිලක්කේ, මේ නිමල් අයියා කියනවා දවල්ට කෑම එපැයි කියලා...”
“ඇත්තෙයි? අනේ... හාපුරා කියල අපේ
අහට ආව දවසේ බත් කටක් නොකා යන්නෙයි... ඔය බඩ බහියි- සාන්ත මල්ලී මෙයැයිව මුහුදු
හුළං ටිකක් වදින්න එක්කං ගියොත්...”
![]() |
ගෙදර ඇවිත් බැලින්නං එකට එකකටත් වැඩිය
වැලි! කත්කාරය පොකිරිස්සන්ගේ ඔළු අස්සට වැලි පුරෝලා... |
“මේ හරියෙත් සැහෙන දෙනෙක් සුනාමියට
අහු වුණා. සුසිලක්කලගෙ ගෙවල්වලත් වහලෙ ගාවටම මුහුද ගොඩ ගැලුවලු. ඒත් එක්කම ආණ්ඩුවේ
හෙංචයියොයි, රජ පැටවුන්ගේ පිරිවරකුයි ඇවිත් මෙයාලට කියල ‘ගොඩකරෙන් ඉඩම් දෙන්නං-
එහාට යන්න' කියලා...
සමහරුන් ඒ ඉඩම් අරගෙනත් ඒවාට ගිහිං නෑ. අර කාලකන්නි යක්කු හදල තියෙන්නේ ඒ අවස්ථාවෙනුත්
ප්‍රයෝජන අරගෙන බීච් එක අයිති කර ගන්නයි...” සාන්ත කිව්වේ මං සයුරේ අසිරි-සිරියෙන්
මත් වී ගෙන සිටියදීය.
“ඒ විතරක් නෙවෙයි, නිමල් අයියේ...
මේ හරිය පීනන්නත් මරු.
දන්නවනෙ, අර අසපුවක ඉන්න- බණට වඩිනකොට එයාගෙම sound setup ගේන රත්තරං පාට සාදු... උන්නාන්සේත්
දවසක් මෙහාට ඇවිත් පීනල ගියාලු.”
අපේ කතාව නවත්තලා ආපහු ගෙදරට යන්නට
සිද්ද වුණේ බබිතා නංගි කතා කළ බැවිනි. “අපිට බෝට්ටු කරවල ටිකකුයි, උම්බලකඩ ටිකකුයි
ගන්න ඕනි සාන්ත. නිමල් අයියත් ගනීවිනෙ... මෙහෙ කරවල ෂෝක් අයියේ- ලාබත් එක්ක.”
“ගමු ගමු! සාන්තත් ඉන්න එකේ... මං ඉතිං මාළු- කරවල අඳුනන්නෙ නැති එකානෙ...”
“අනෙඃ! ඔයා දන්නෑ නිමල් අය්යේ,
මෙච්චර දන්න මනුස්සයා වෙලත් අපේ සාන්තත් ළඟදි පොකිරිස්සො විකුණන මිනිහෙකුට අහු
වෙලා තිබුණනේ.” බබිත කිව්වේ ඇස් දෙකෙනුත් හිනා වෙවී.
“ඔව් අයියේ! කියන්නත් ලජ්ජයි. ඒ
දවස්වල අපේ ලොක්කා; චිරන්ත නුගේගොඩ ටියුෂන් class යනවා. මම හවසට සිටි ටිම්බර් හෝල්
එක ළඟට යනව, චිරංව එක්කගෙන එන්න. එදාත් හතට විතර එතෙන්ට යද්දී කත්කාරයෙක් පොකිරිස්සෝ
වගයක් විකුණනවා. මටත් ආස හිතිලා, හෙට්ටුත් කරල කිලෝ එකහමාරක්ද කොහෙද ගත්තා. ගෙදර
ඇවිත් බැලින්නං එකට එකකටත් වැඩිය වැලි! කත්කාරය පොකිරිස්සන්ගේ ඔළු අස්සට වැලි පුරෝලා...”
“නරකමත් නෑ ඔයැයිලගේ හිනාව... මම
ඒත් බැලුවා අන්දරේ අපේ අහට ඇවිල්ලද කියලත්... අපි උයල නං අහවරයි. බත් කාල අහවර
වෙලාමද බෝට්ටු කරවල ගන්න යන්නෙ...”
“අනේ සුසිලක්කේ. කන එක අන්තිමටම තියාගමු.”
“නංගිලාගේ කැමැත්තක්. ඔයා මස් ජාති නොකන
හින්දා, මම ඉව්වා පොතුබරි මාළුවක්. ඊයෙමයි පහේ අතගාලා තිබ්බේ...”
එවෙලේ වෙනතුරු මං වහන්සේගෙ දෙසවනට ‘පොතුබරි’
වචනයවත් වැටී නොතිබිණි!
පස්සෙ වෙලාවක සාන්තගෙන්ම කියැවුණු පොතුබරි විත්තිය මේ දැන් ඔබට ලියන්නේ.
![]() |
ඒ දවස්වල තිබිච්ච බයිසිකල් වින්කල්...
හැම ගමකම; හැම පාරකම තිබුණා. මාතර වින්කල්වල
ටයර්වල පැච් දාන්න කලින්... |
“... පන්න කරනකොට හරි, රිටිපන්න කරනකොට හරි, දැල් දානකොට හරි ඕකුන් අහු වුණත් ආපහු
මුහුදටම දාපු එකයි කළේ.
-එතකොට මාතර පැත්තෙ අය කෑවෙ බොහොම
සීමිත මාළු ජාති ටිකක්. වැඩියත්ම ලේ රහ තියෙන මාළු. තලපත්- කොප්පරු වගේ එව්වා අපේ
ගෙවල්වලට ගෙනාවෙවත් නෑ.
ඔයාට මතකයිද නිමල් අයියේ, ඒ දවස්වල තිබිච්ච බයිසිකල් වින්කල්... හැම ගමකම; හැම පාරකම
තිබුණා. මාතර වින්කල්වල ටයර්වල පැච් දාන්න කලින් අතුල්ලලා ක්ලීන් කළේ sand paper
කෑල්ලකින් නෙවෙයි... වැලි කඩදාසි වෙනුවට එයාල ගත්තේ තලපත් හොටක් හරි කොප්පර හොටක්
හරි. ඕන්නං උන්ගේ හොටක් අල්ලල බලන්නකො නිකමට.
-අනිත් කාරණය තමයි- අපේ පැත්තේ එක
එක කාලෙට දිගටම අහු වුණේත් එක එක ජාති. කාලෙකට හුරුල්ලෝ... කාලෙකට කුම්බලාවො... මාසයක්
දෙකක් විතර එක දිගට.
බලයො, කෙලවල්ලන්ට නං සීසන් එකක් නෑ; හැමදාමත් අහු වුණා...
-පොතුබරි මාළුන්ගෙ වැඩෙන් මට පේන්නේ
නිමල් අයියේ, අපි දුප්පත් වෙලා තියෙන තරම!” සාන්ත එහෙම කිව්ව වෙලාවේ නං මගේ කටෙනුත්
ප්‍රශ්නයක් පැන්නේ නොහිතපු විදිහටයි.
“ඒ මොකක්ද බොලේ ඒ ‘අපේ දුප්පත්කම පෙන්නන අලුත්ම දර්ශකේ?’”
“ඉස්සර කවදාවත් කෑමට නොගත්තු
පොතුබරි දැන් කෑමට ගන්නවා කියන්නේ අපි පවත්වාගෙන ආපු කොලිටිය විහින්ම පහත වට්ටවා
ගැනිල්ලක් නෙවෙයිද... ඒක දුප්පත් වීමක් නෙවෙයිද?”
සාන්තගෙ තර්කය සෑහෙන්න සාධනීය එකක් වගේ දැනුණු හින්දා මං මුනිවත රැක්කා.
පොතුබරි කියලා කියනකොටම පොඩි
මදිපුංචිකමක්- පහත දැමිල්ලක් වෙනවලු. ඒ නිසා කවුරු-කවුරුන් හෝ ‘මුහුදු කුකුළා’
කියන නම මේ මාළුන්ට දෙන්න ඇතිලු!
“මට මෙහෙමත් හිතෙනවා. මේ මාළු පෙති කපලා ගැඹුරු තෙලේ බැදලා අරං ඩෙවල් කෙරුවම චිකන්
පරාදයිනෙ. ඒ හින්දා මුහුදු කුකුළා නම වැටුණා වෙන්නත් පුළුවනි!”
කොහොම වෙතත් එදා අපි කෝට්ටෙගොඩින්
බෝට්ටු කරවල ගොඩාරියක් අරගත්තා. මූදු කුකුළු කරවලත්.
ගෙදරදී ඒවා තෙල් දාල බැලුවම පුදුම රහයි.
ඒත් ඒ වෙනකොට මහරගම කරවල කඩවල්වලට මුහුදු කුකුල්ලු ඇවිත් තිබ්බේ නෑ. නමුත් මාස
ගාණක් යද්දී උන් ඇවිත් උන්නා!
![]() |
මඩු වලිගෙන් පාරක් කෑවොත් හම පැලිලා
තුවාල වෙනවලු... |
(ඊයේ මේ post එක ලියන ගමන්, නිකමට වගේ ඉන්ටර්නෙට් එකෙන් හෙව්වා මූදු කුකුළො ගැන.
අම්මෝ! එන තරමක් ආවේ එකේක පන්නෙට මේ
කුකුල්ලුන්ව උයන- පිහින- බදින- තෙල් දාන- පළහන විදිහවල්.)
දකුණේ සිරිතක්නෙ කෑමට පස්සෙ
කිරිපැණිවලිනුත් සංතර්පණය කරවන එක. “එහෙම නේන්නං මල්ලියෙ කෙරෙන්න ඕනිත්... නැත්තං
ඉතිං අපේ හිතට මක්කැයි මක්කැයි වගේ නෙවැයි!” කියමින් තමා සුසිලක්කා අපිව කිරිපැණිවලින්
නෑව්වේ.
හවස එහෙන් පිටත් වෙලා ඇඹිලිපිටියටà එහෙන් කතරගමට.
එහෙදී බාරය ඔප්පු කිරීම... දැන් ඒ විස්තර ලියන්න යන්නෑ.
මොකද, මට හිතෙනවා ‘අපේ මාළු විශේෂඥ සාන්ත’ගෙන් වරින්-වර කියැවුණු මේ විස්තර ටික
ලිව්වොත්... ඔයාලටත් අල්ලලා යයි කියලා- නමීටයි මටයි වගේම.
“කොට්ටෙගොඩ බෝට්ටු කරවලවලට ප්‍රසිද්ද
වුණාට මොකද, එහාට පොඩි ධීවර වරායක්වත් නෑ. එහාට මාළු එන්නේ ගන්දර, කුඩාවැල්ල වගේ
පැතිවලින්. හැබැයි, මෙහෙ දිගටම කරවල වේලන්නේ පාර අයිනේ නිසා වෙන්නැති නමක් හැදුණේ.
/
ලංකාවේ ගොඩක් අය මාළු අඳුරන්නෙ නෑ.
/
වෙළෙන්දෝ පරා මාළු කියල කට්ට මාළු
විකුණනවා. කෙලවල්ලෝ කියලා බලයෝ දෙනවා. බලයෝ කියල විකුණන්නේ ඇටවල්ලෝ... කට්ට මාළු
කියලා වන්න පරා මාළු විකුණනවා... එව්වත් උයල එච්චර රහක් නෑ. කරවල තමයි රස!
දන්න අපිට වුණත් කට්ට කරවලයි- වන්න පරව් කරවලයි දෙක අඳුරගන්න අමාරුයි./
නිමල් අයියේ ඔයා දන්නවද මඩු වලිගෙ කියන කසය ගැන? ඒකත් මාළු වල්ගයක්... ඒකෙන් පාරක් කෑවොත් හම පැලිලා තුවාල වෙනවලු...
බුදු සංතෝ! මට කල්පනා වෙන්නේ දැන් අපේ රට යන විදිහට නං මඩු වලිග දාස් ගණනක් තිබිලත් මදි වෙයි වගේ!”෴0෴

.jpg)
















.jpg)





