අකුරු මැකී නෑ

Sunday, March 10, 2019

පත්තෑයාට පෙත්තෙන් - තෙවෙනි කොටස

“............. ඒ සැරේ වපුරන්න වී වගයක් මදි වෙලා අපේ තාත්තා වී ගෝනියක් මගෙන් ඉල්ලාගෙන ගියා. හවස මෙයා වැඩ ඇරිලා ආවම මං ඒක කිව්වා. මෙන්න වදේ මේ මනුස්සයාට යකා නැග්ගා. උඹ කාගෙන් අහලාද වී ගෝනිය දුන්නේ? මෙයා මහ හයියෙන් ඇහුවා. එක බිත්තියෙන්නේ අපේ ගෙවල් වෙන්වෙලා තිබුණේ. මෙයාගේ කතාව අපේ තාත්තටත් ඇහිලා, තාත්තා දිගටම කන් දීගෙනත් ඉඳලා.....”.

මුල්ම කාලයේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය වුණත් රැකුණේ පොත්වල ලියවිලා නොවේ!
අපේ ගෙදරට TV තිබුණේ නැත; රේඩියෝවක් තිබුණේ නැත; විදුලිය තිබුණෙත් නැත. රාත්තිරියේ අඳුර මැකුණේ කුප්පි ලාම්පුවකිනි.
ඒකත් වාසියකට හිටිය බව පෙනෙන්නේ දැන්ය. ගෙදර හැමෝම වාගේ කා-බී හමාර වුණාම, නින්දට වැටෙනතුරු කළේ පවුලේ ඉතිහාස පට්ටන්දර පතුරු යැවිල්ලය. 

බුදු දහමත් ග්‍රන්ථාරූඪ කරන්නට පෙර රැකුණේ මතක මන්දිර ඇතුළේය. ඒ වාගේ නිතර සජ්ජායනා කෙරුණු බැවින්ය, මටත් මෙතරම් හොඳට අපේ පවුලේ ආගිය කතාව මතක තියෙන්නේ.

ඉතින්, අම්මා අපට මේ කතාව කියද්දීත් අපේ තාත්තා උජාරුවෙන් අහගෙන හිටියා මට හොඳටම මතකය.

“අනේ, තාත්තට ඇහෙයි. කියන දෙයක් මට කියන්න, හෙමින්.- මං එහෙම කිව්වා විතරයි මෙයාට තවත් කේන්ති ගියා. 
-පර නාකියා. ඕකාට වටිනවද මං ගෙදර නැති වෙලාවේ ඇවිත් වී ගෝනියක් ඉල්ලාගෙන යන්න. වපුරන්න.... කෙහෙල්මල් වැපිරිල්ල දවසක් පරක්කු වුණාම හෙණ ගහනවද? තොටත් වටිනවද බොන්ඩියෙ මොකා වුණත් ඉල්ලපු පළියට මිනිහගෙන් අහන්නේ නැතිව ගෙදර දෙයක් පිටට දෙන්න- 
කියලා මෙයා මට පාරවල් දෙක-තුනකුත් ගැහුවා.”

‘අපේ තාත්තා බිරිඳට තැලුවේ ආධිපත්‍යය පෙන්වන්නටය. කේන්ති ගියාමය. ස්වයං පාලනයෙන් තොරවය. එහෙම කළාට පස්සේ අම්මාට වාසිය. තාත්තා ඊළඟට පමණටත් වඩා නිවට වෙයි; වැඩි ආදරයක් පෙන්නන්නට යයි.’ 
මේ කියන්නෙත් මගේ විශ්ලේෂණයන්ය. මට නම් එහෙම හැසිරීම් පිළිකුල්ය. හරි හෝ වේවා, වැරැදි හෝ වේවා. එක ස්ථාවරයක හිටිය යුතුය. දොන් නම් දොන් - සිමන් නම් සිමන්. දොන් සිමන් දෙකම බැරිය.

කෙහෙල්මල් වැපිරිල්ල දවසක්-දෙකක් පරක්කු වුණාම.......
තාත්තා ගහන ඕනෑම වෙලාවක අම්මා  කරන්නේ ඉක්මනටම දරුවෙකු වඩා ගැනීමයි. එතකොට තාත්තා ගහන්නට එන්නේ නැත. තර්ජනාංගුලිය ඔසවනවා විතරය. 
“ලීලා, හොඳ හිතින් කියන්නේ. තියපන් ළමයව බිමින්. කිව්වම අහලා දරුවාව බිමින් තියාපන්.” මොන. එහෙම වෙලාවට අම්මාට ඇතිවෙන්නේ මහාමේරුවටත් වඩා ලොකු දාරක ප්‍රේමයකි. කීයටවත් දරුවා අතාරින්නෙ නැත.

තාත්තාත් බුරන්නේ ගව්වක් ඈතින් ඉඳගෙන විතරය. 
එහෙම කරන්නට පුරුදුවී තියෙන්නේ සුනිල් මල්ලී පුංචි කාලේ සිද්ද වුණු දෙයක් හිංදා වෙන්නැතිය.

එක දවසක් ගෝරියක් වෙද්දී සුනිලා බඩගාගෙන ඇවිත් තාත්තාගේ කකුල හැපුවාලු. 
තාත්තා කකුල ගසා දැම්මාද, නැතිනම් කකුලෙන් ගැහුවාද දන්නේ දෙයියන් විතරය. 
සුනිලා විසිවී ගිහින් නැවතී තියෙන්නේ මේසයක් යටය. ඒකෙන්ද කොහේදෝ කාලයක් යනතුරුම සුනිල්ගේ කනක් ඉදිමෙමින් තිබ්බේය.

“ඉතින්, ඉතින්. අම්මට ගහනවා බදුල්ලේ සීයාට ඇහිලද?”

තාත්තාත් බුරන්නේ අම්මාට ගව්වක් විතර ඈතින් ඉඳගෙන.............
“ඇහිලා නේන්නම්. අනේ...... ඒ මනුස්සයා අඬාගෙන ආවා. 
-අනේ ගුණපාල ළමයෝ, ඔය කෙල්ලව කන්න එපා. මං හෙටම කොහෙන් හරි වී ගෝනියක් හොයලා ගෙනත් දෙන්නම්. වඳින්නම්.... ඕකිව මරන්න යන්නේ නැතිව හිටපං...... අද තව වෙනකල්ම මං ඕකිලාට අතක් උස්සලා නැහැ ළමයෝ..... මට ඔය කෙල්ලව වැඩි නැහැ. උඹට ඒකිව එපා නම් ආයෙම මට දීහන්. මං ඒකිව බලාගන්නම්- 
කියලා අපේ තාත්තා අඬ-අඬා කිව්වා විතරයි. මෙයා මට බිම වැටෙන්නම එකක් ගැහුවා.... හරියට අපේ තාත්තට ගහනවා වගේ.

එහෙම මට  ගහලා, කුස්සියට දුවලා කැත්තක් උස්සගෙන ආවා. ඇවිත් මගේ කොණ්ඩවල්ලෙන් උස්සලා ගත්තා. 
-පර නාකියා, දැන් මේකි මගේ කසාද ගෑනි. මං මේකිට මොනවා කළත් තොට මොකද? තෝ ඕනවට වැඩිය කතා කළොත්, මං තොගේ ඉස්සරහම මේකිගේ බෙල්ල කපනවා- කියලා තරහෙන් වෙවුල-වෙවුලා කිව්වා විතරයි.........”

බදුල්ලේ සීයා අඬාගෙන ආපහු ගියාලු. එහෙම නොනිසි බලයක් පතුරවාගෙන හිටියාම පොඩි ඉඩක් ලැබුණත් ඇතිය. සීමාවන් පුපුරා යයි. 

අපේ තාත්තා ගෙදර වියදමෙන් ටිකකට කර ගහන්නැයි අම්මාට කිව්වාම වුණෙත් ඒකය. “ඔන්න” කියමින් අම්මා දික් කළේ පාන් රාත්තලක් ගන්නට සල්ලිය. 
(නැහැ,නැහැ. වැරැදීමක් නොවේ. අම්මා දුන්නේ එච්චරය. ඉඳියාප්ප ගන්නවාද - 1 පෝස්ටුවෙදී මම කීවෙමි, ඒ කාලයේ අප බඩ පිරෙන්නට කෑවේ, උදේ-රෑ වේල් දෙක පමණකි.)

බදුලු නිම්නයේ අයට තියෙන්නේ වෙනම ගතියක්ද?
“කොහෙද ළමයෝ. උඹලගේ තාත්තට කොන්ද පණ නැහැ. මුලින්ම ගෑනිව හදාගත්තේ නැතිවම ඔහොම තමයි. බලහං, වැඩට යන තැන්වලින් උදේටයි දවල්ටයි අඩුවක් නැතිව දුන්නත් අම්මෙකුට පුළුවන්ද මිනිහයි, ළමයිනුයි බාගෙට හාමතේ හිටිද්දී තනියම බඩ පැලෙන්න කන්න? බදුල්ලේ ගතිය! උන් දරුවෝ වදන්නේ බඩට එනවට........ බදුල්ලේ ගෑනුන්ට දරු හැවිකාරයක් නෑ” 
අපේ ආච්චී කිව්වේ ඇගේ මතයයි. මා නම් ඒකට එකඟ වෙන්නේ නැත. එක-එක්කෙනා වෙනස්ය! එච්චරය!!

අපේ අම්මාට සාධාරණය පිණිස මේ ටිකත් කිව යුතුය. ඇය සල්ලි ඉතිරි කළේත්, කරන්නේත් අඳින්නට- පළඳින්නට- කෑමට- බීමට- ඇවිදින්නට වැය කිරීම පිණිස නොවේ. 
එයා ලෝබ නැත්තේ ඉඩමක් ගන්නට, ගෙයක් හදන්නටය.

අපේ අම්මා ගිය ආත්මයේ ‘රන් කුඹලියක්’ වෙන්නට ඇති! 

ඒ පුරුද්දට පිං සිදුවෙන්නට දැන් මා  ඉන්නා දෙමහල් ගෙදර ඉදිවිණි. මට මතක හැටියට ඒකට ලක්ෂ 33 ක් වැය විණි. 30 ක් විතරම අම්මාගේය. හැබැයි අම්මාට ඕනෑ කරන්නේ මේ වග-විස්තර හැම තිස්සෙම මතක් කරමින් ප්‍රශංසා කරමින් ඉන්නවා දකින්නටය. 
මේ පුතයා නොකරන්නේත් ඒකමය. සැරයක් දෙකක් කිව්වාම මදිද?

හැබැයි මෙතැනදී අපේ ඩැඩා ගැනත් යන්තමින් හෝ කියලා ඉන්නටම වෙයි. 

රේස්වලින් රේස් එකට පිම්මක් 3 පෝස්ටුවෙදී කියා ඇති පරිද්දෙන්ම,මා එංගලන්තයට ගිය වෙලාවේ ‘දැන් උඹ පවුලට කළා ඇති කියා මට කිව්වේ ඔහුය; නංගිලා-මල්ලිලා සේරම කසාදත් බැඳලා ඇති නිසා ස්වාධීන වෙයන් කියලා මට කිව්වේ ඔහුය; ලංකාවට ගිය ගමන් වෙනම තැනකට පදිංචියට පලයන් කියලා මට කිව්වේ ඔහුය. 

“නිමෝල් අවුරුදු 19 ක් තිස්සේ පවුල ගොඩ ගන්නට කළ දේවල්වලට කළගුණ සලකන්න ඕනෑ. ලීලා උඹ එයාට ඉඩමක් අරන් ගෙයක් හදාගන්න උදව් කරපන්!” කියලා අපේ අම්මාට කිව්වේ ඔහුය!’

අපේ අම්මා - ලලිත් ප්‍රියන්ත දෙන්නාටම ලොකු තුති.........
එහෙම ඉඩමක් අරන් ගෙදර හදන්නට සැලසුම් කරද්දී ‘plan’ එක ඇඳලා, උපදෙස් දීලා නොමිලේම ඉංජිනේරු සේවාව සැපයුවේ ලලිත් ප්‍රියන්තය. වැරැදි බෝනස් එක 2 ඇතුළු පොස්ටු ගොඩක කියවෙන ‘WAL කන්ස්ට්‍රක්ෂන්ස්’ ආයතනයේ හිමිකරුවා ඔහුය. ගෙදරට ප්ලෑන අඳින්නට ඉස්සෙල්ලා ප්‍රියන්ත ඇහුවේ ‘මගේ රික්වයර්මන්ට්ස්’ මොනවද කියලාය.

“ගෙට ඇතුළුවෙන්න ඕනේ පඩියක් නැඟලා. සාලේ ලොකුවට ඕනේ. සාලයත් පඩියක් නැඟලා දෙකට බෙදෙන්න තියෙනවටයි මං කැමැති. හොඳට එළිය එන්නයි, හුළං වදින්නයි තිබුණාම හරි! තට්ටු දෙකේ ගෙයක්.” මං කිව්වේ එච්චරය. 

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරමින් හිටි ප්‍රියන්ත ඉස්සෙල්ලාම ගෙයක් හැදිල්ලට අත ගැහුවේ මගේ ඉල්ලීම හින්දාය.

එහෙම වුණත්, ප්‍රියන්තගේ ‘නිර්මාණාත්මක වැඩේ’ කොච්චර අපූරුද කිව්වොත් අපේ ගෙදර හොඳටම ‘හෝම්ලි’ය. 

පැති හතක් ඇති, පර්චස් දහයක්වත් නැති හොල්මන් ඉඩමකට හරි යන්නත්, මගේ ආසාවන්ට ගැළපෙන්නත් ඇඳලා දී, හැදූ ගෙදරට එන කවුරුත් නිදහස් ගතියක්  දැනෙන බව කියති. ‘ගෘහීය’ බවක් දැනෙතියි කියති. මාර්තු 1 වෙනිදා තිබුණු ‘බ්ලොග් සැඳෑව’ට ආ අය සේරම ඒකට සාක්ෂිය!

මේ මල් කළඹ ............
ඔන්න මගේ නිවස්නය තනන්නට තිස් ලක්ෂයක් වැය කළ අපේ අම්මාටත්, කිව නොහැකි තරම් උදව් කළ ලලිත් ප්‍රියන්තටත් ලොකු තුති මල් කලඹක්!

එච්චර වියදම් කළත් අපේ අම්මා......... මට පෙනෙන විදියට නම්, ටිකාක් විතර ආත්මාර්ථකාමීය කියලාත් නොකියා බැරිය!

චීනයේ අමුතු පුරුද්දක් තියෙන බව මා දැනගත්තේ පොත-පතින්ය. චීන්නු විශේෂ දවස්වලදී මුදල් නෝට්ටු පුච්ච්ති. ඒ මළගිය ඇත්තන්ට; පරලෝකයට සල්ලි යවන්නටය. මං හිතන්නේ අපේ අම්මා ඒ ක්‍රමය ගැන දන්නේ නැතිය. දන්නවා නම් එලොව ගියාම ගන්නට දැන් තියාම සල්ලි ටිකක් එලොව යවනවා ෂුවර්ය! අම්මා ඒ ක්‍රමය නොදන්නා එකෙන් වාසිය අපටය.

අපේ නංගිලා මල්ලිලා හා මාත් එයාට කියන්නේ “අපට වුණත් දැන් උදව් කරන්නට එපා. දැන්වත් හොඳින් කා-බී හැඳ-පැළඳ සතුටු වෙන්න” කියලාය. ඒත් අම්මාට ඒවා ඇහෙන්නේ නැත. ධනදාසයන්ට, ධනදාසියන්ට එහෙම වෙනවා වෙන්නැතිය.

අම්මා ඉච්චිකම් කරයි. අවශ්‍ය දේකට වුණත් වියදම් නොකර ඉඳියි. අපේ තාත්තාගේ අම්මා; මහරගම ආච්චී; දසනායක රත්නවතී කියූ ‘බදුල්ලේ ගතිය’ ඒකද මන්දා?

ගෙදරට අවැසි දේ නිසි කලට-වෙලාවට නොකිරීම නිසා.............
අවැසි වෙලාවට නිසි දේ නොකිරීමේ ගතිය නිසා අපේ නංගිලා-මල්ලිලා කවුරුනුත් අම්මාට ගරු කරන්නේ, ආදරය කරන්නේ අඩුවෙනි. 

මා ඔවුන් වෙනුවෙන් කළේ අඩු යුතුකම් කොටසකි. කන්නට බොන්නට අඳින්නට දී රැක බලා ගැනීම පමණි. අම්මා ඒ බොහෝ දෙනාටත් ලක්ෂ ගණනින් උදව් කර තිබේ. එහෙත් ඔවුන්ගේ වැඩි ගෞරවය මටය. අම්මා ගැන මටත් දුකය. ගෞරවය, ආදරය, සෙනෙහස සල්ලිවලට ගත නොහැකිය. නිරායාසයෙන්ම ඔබ සොයා පැමිණිය යුතුය.

ජීවිතේක හැටි! දැන් ලක්ෂ ගණනින් කතා කළත් එදා..... 
අම්මාට කීයක් ලැබුණාදැයි මං හෙව්වේ නැත. ඉඳියාප්ප විකුණා ලැබෙන සල්ලි එහෙම පිටින්ම තාත්තා අතට දුන්නේ ගෙදරට වියදම් කරන්නටය. 
උදේට කොහොම වෙතත් රෑට නම් අපේ හතර මුල්ලම පිරෙන්නට ‘කෑම’ සූදානම් වුණේය. නරක තත්වයක් උදා වෙන්නට; අහේනි කාලයක් එන්නට ඉඩ තියෙන බවක් අපේ ගෙදර කව්රුන්මවත් හිතුවේ නැත.

ශාරුක් ඛාන් වුණත් එහෙම හිතන්නට නැතිව ඇත. 

“දැන් ශාරුක් ඛාන්ගෙ සුපිරි තත්ත්වය නැතිව යාගෙනයි එන්නේ....... තවමත් සල්මන් ඛාන්ටයි, අමීර් ඛාන්ටයි එහෙම වෙලා නැහැ.” තවත් හින්දි නළුවෙකු වන ‘නව්සුඩාන් සිද්දික්’ ඊයේ පෙරේදා කියලා තිබිණි. ඒ ‘ෆොටෝග්‍රැෆි’ ෆිලුමේ ප්‍රචාරක වැඩ සටහනකදීය.

නව්සුඩාන් සිද්දික් ඊයේ පෙරේදා දවසක කියලා තිබුණේ............
   නපුරු  කලට සතහට පැමිණෙන    වෙහෙස
   එ දුරු  නොවෙයි කළ කම් පල දෙවා      මිස
   තඹුරු  වනය මුකුලිත වන බව             සවස
   කවුරු  විසින් වැළකිය හැකි වෙද   කෙලෙස

කියලා ‘සුභාෂිතයේත්’ කවියකින් කියන්නේ ඔය හින්දානේ.

නපුරු කාලය එළඹෙමින් තිබුණේ අපට විතරක් නොවේ. මුළු ශ්‍රී ලංකාද්වීපයටමය.

මං හිතන්නේ මෙව්වා සේරම මට මතක තියන්නෙත්, කියන්නට හැකිවී තියෙන්නෙත් මේ පෝස්ට් එකේ මුලින්ම කිව්වා වගේ ‘මතක සජ්ජායනාවන්’ තිස්සෙම කෙරුණු නිසා වෙන්න ඇතිය. ඒ ගැන සහතිකයක් අද උදේ දැක්කෙමි.

‘ශක්තිමත් මනසක් ඇති දරුවෙක් හදන්න පවුලේ අතීතය දරුවාට කියා දෙන්න’ 
- ඉරේෂා කල්හාරි සේනාධීර ලියූ ලිපියක් 2019 මාර්තු 8 වෙනිදා ‘ලංකා හොට් නිව්ස්’ 
වෙබ් අඩවියේ පළ කරලාය. ඒ පෝස්ට් එකෙන් කියන්නේ දරුවන්ට පවුලේ නෑදෑයන්, හිත මිතුරන්, අසල්වැසියන් හා එකතු වෙන්නට අවස්ථාව දෙන ලෙසය. පවුලේ, පරම්පරාවේ තොරතුරු - පැටිකිරිය දරුවන්ටත් කියා දෙන්න කියලාය. 

එමඟින් දරුවන්ට ශක්තිමත් මනසක් ඇති වෙයිලු!  

මේ  වෙබ් අඩවියේ තිබුණේ............
ඉතින්, ඒ කාලයේ, විශේෂයෙන්ම ලංකාවේ දහස් ගණන් තරුණ-තරුණියන්ට භීම සමයක් උදාවෙමින් තිබුණේ ය. අප ඒ ගැන හාංකාවිසියක්වත් දැනගෙන උන්නේ නැත! අප විතරක් නොවේ. ඒ තරුණ තරුණියන්ගේ ‘ඔළුවේ ඉන්න උකුණෝ’වත් ඔවුන්ට වෙන්න යන දේ ගැන දැනගෙන හිටියේ නැත!

හැබැයි, එදා එහෙම වුණත් මා අදට මේ පෝස්ටුව නවත්වන්නට යන බව නම් දැන් හිතාදර රසික ඔබ දනී.

27 comments:

  1. ගෙදර නිදහස් බවක් දැනෙනවා තමයි ... කුස්සිය නං ටිකක් ලොකු උනානං තවත් හොදයි

    ReplyDelete
    Replies
    1. කට්ටියක් එන වෙලාවට නම් මටත් ඕක හිතෙනවා!

      Delete
  2. //චීන්නු විශේෂ දවස්වලදී මුදල් නෝට්ටු පුච්ච්ති. ඒ මළගිය ඇත්තන්ට; පරලෝකයට සල්ලි යවන්නටය. //
    දැන් අලුත් පරම්පරාව ඇත්ත මුදල් නෝට්ටු පුච්චන්නේ නැහැ. ඔය වැඩේට ෆෝන් වල ඇප් තියෙනවා. ඕනැ තරම් පුච්චන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මං ඉතින් ඇප්ස් තියා මොබයිල් එකක්වත් පාවිච්චි නොකරන මැට්ටෙක්නෙ ඉකොනෝ!

      Delete
  3. පැති 7ක් තියනවද?

    ReplyDelete
    Replies
    1. හරියටම පැති හතයි. Pra, කොයිකටත් කියලා මං ආයෙම ගැනලා බැලුවා. ගෙදරින් තුන් පැත්තක්ම blind walls.

      Delete
  4. චීන්නු පුච්චන්නේ හැබෑ සල්ලි නොවෙයි. වරක් මෙල්බර්න් ගුවන් තොටුපොලේ කස්ටම් එකේ මට ඉදිරියෙන් හිටපු චීන හෝ වියට්නාමීස් ජෝඩුවකගේ බැගේජ් එකකින් විශාල මුදල් පාර්සලයක් අල්ලා ගත්තා. මම බය උනේ පෝලිමේ විනාඩි විස්සක් විතර ඉඳලා කවුන්ටරයට ආපු අපිට මේ විශාල මුදල් තොගය නිසා වෙනත් පෝලිමකට යන්න වේවි කියලයි. අනිකුත් පෝලිම් වල හිටපු අයත් මේ ගැන උනන්දුවෙන් බලනවා දැක්කා. ඒ උනාට කස්ටම් නිලධාරියා මුදල් සියල්ලම (කවුන්ටරය උඩට හලලා ඒවා තිබුන ආකාරයටම පැක් කරලා) ආපසු දුන්නා පමණක් නොවේ මුළු පරීක්ෂාවටම ගත කලෙත් බොහොම සුළු කාලයක්. මගේ වාරය ආපුවාම මම ඔහුගෙන් ඒ මුදල් තොගය (1'x 1'x 1/2' තරම් විසාල පාර්සලයක්) ගැන ඇහුවා. ඔහු කිව්වේ ඒක ඔවුන්ගේ සාම්ප්‍රදායිකව සිදු කරන කටයුත්තකදී පිළිස්සීමට භාවිතා කරන කඩදාසි වල මුද්‍රණය කල මුදල් අනුරුවක් බවත්, එය ව්‍යාජ මුදල් ලෙස නොසලකන බවත්, මසකට දෙකකට වරක් කවුරුන් හෝ මේ අයුරින් මුදල් ගෙනයාම දැන් ඔවුනට සාමාන්‍ය දෙයක් වී ඇති බවත්ය.

    ReplyDelete
    Replies
    1. දැනගන්නට දෙයක්! ස්තුතියි සෑම්. ෆොටෝ එකක් එවනවද?

      Delete
  5. පැති හතක් තියෙන ඉඩමක් කොහොම වෙයිද කියලයි මම කල්පනා කළේ.

    ReplyDelete
    Replies
    1. කොහොම වෙන්නද කියලා බලාගන්න නම් අපේ ගෙදරට එන්න. පර්චස් දහයක්වත් නැහැ හැබැයි! දැනුයි තේරෙන්නේ. මම වගේම ඉඩමත් පිස්සු වගේද, ප්‍රසන්න? මෙච්චර කල් මට ඕකේ ඔඩ් ගතියක් දැනුණේ නැහැ!

      Delete
    2. හැක්.. පැති හතක් තියා විස්සක් තිබ්බත් ඕක ගණං ගන්නැති මිනිහට අවුලක් නෑ.

      Delete
    3. හා හා එහෙම කියන්ඩ එපා. භූමි දෝෂ වලක්වන්ඩ විශේෂ පූජාවක් තියනවා. නිදිතුමාටයි අපේ සභාපතිතුමාටයි ඕන නං මං කරලා දෙන්නං. 50% ඩිස්කවුන්ට්!!! විශේෂ මිල මිලියන් 20

      Delete
    4. ලොකූ, හරි ලාබයිනේ, බැරිද භූමිතෙල් දෝෂවලට මොකුත් කරන්ඩ?

      Delete
  6. නිදිතුමාට 'එලොවට' සල්ලි යවන්ඩ ඕන නම් මට දෙන්ඩ. කොමිස් තියාගන්නෙ නෑ.ඉන්ස්ටන්ට් ඩිලිවරි. ඩොලර් නං වඩා හොදයි!

    ReplyDelete
    Replies
    1. වක්කඩේ හකුරු හංගලා තිබ්බනං ඊට වඩා ප්‍රයෝජනයි...

      Delete
    2. ඩ්රැකී, ස්තුතියි. මටත් එක්කම නේද ලොකුට උත්තර දුන්නේ?

      Delete
    3. මං ලෝයර් වැඩෙත් කරනව, ගාස්තුව එවන්ඩ...

      Delete
    4. මේක නිකං 'ගෙදර ගියොත් අඹු නසී - මඟ රැඳුනොත් තෝ නසී' වගේ මඟුලක්නේ!

      Delete
  7. මං ආයෙම බ්ලොග් ලෝකෙට ආව. හැබැයි තදින්ම අධිෂ්ඨාන කරගත්ත තමුන්නැහැගෙ ලියවිලිවල අග මුල හොයන්න යන්නෑ. කියවල ගන්න තියෙන දෙයක් ගන්නව විතරයි කියල.

    ReplyDelete
    Replies
    1. එච්චරටම අවුල්ද මහත්තයෝ?

      Delete
    2. ඩ්‍රැකී, නිදිතුමාට පොඩ්ඩක් වැරදිලා මේක පංච තන්තරේ නෙවෙයි උම්මග්ග ජාතකේටයි වඩා කිට්ටු......

      Delete
    3. නිදි,

      අවුල් නෑ. අමුතුම ගතියක් තියෙනව. නැචුරල්. ඒ නිසා ශෛලිය වෙනස් කරන්න එපා. එකපාරටම වැඩ අස්සෙ කියවන්න ආවම, පරණ කතා කියවන්න වෙලාව නෑ කියල දැනුණම අපසට්. ඒකයි

      කට්,

      පංචතන්තරේ මේ වගේ තමයි, කතා අස්සෙ කතා. ඒක මදි කියල හිතෙනවනං අරාබි නිශොල්ලාසය වගේ නමකුත් ගැළපෙනව. උම්මග්ගෙ දිගයි තමයි. ඒත් මේ වගේ සංකීර්ණ නෑ. රේඛීයව ගළාගෙන යනව.

      Delete
    4. භුරිදත්ත ජාතකෙත් ටිකාක් ඒ වගේ. පරම්පරා කිහිපයක් ඈඳෙන නිසා.

      Delete
  8. ගෙදර දැක්ක ගමන් මටත් හිතුනෙ කව්ද මේක ඩිසයින් කරේ කියල.

    මම මෙච්චර කාලෙකට දැකපු හොදම සාලය තියෙන්නෙ අයියගෙ ගෙදර තමයි.

    ReplyDelete
  9. මධු, මං ප්‍රියන්තට කියන්නම් ඔයාගේ කමෙන්ට් එක ගැන.
    අවුරුදු කිහිපයකට කලින් ප්රියන්තගේම යහළු ඉන්ජෙක්ගේ ගෙදර තිබුනු සාදයකට අපිටත් ඉන්වයිට් කළා. අපිත් ගියා. සින්දුවක් කියන්න ලැස්තිවී තැන තැන ඩ්‍රින්ක් එක දමමින් උන් සෙට්ස් එකතුවෙන්න බැලුවා. විශ්වාස කරන්න, එක තට්ටුවකවත් පුටු අටක් එක ළඟ තියන්න තැනක් ඒ ගෙදර තිබුණේ නැහැ!

    ReplyDelete
  10. නිමල් අයිය තමන් ගැන ස්වයං විවේචනයක් කරන ගමන්ම තමන්ගෙ පවුල ගැන තුන් වෙනි පාර්ශවයක් වගේ ඉඳගෙන ලොකු විවේචනයක් කරන හැඩයි .. අපි ඔව්ව කරන්න ගියා නං බත් කාඩ් කැන්සල් වෙන වැඩ !

    ReplyDelete
    Replies
    1. ලොකු ප්‍රශංසාවක් කණ්ඩා. ගොඩක් ස්තුතියි.

      මගේ අරමුණත් උපරිමයෙන්ම ඇත්ත කීමයි. තනි අලියා වුණාම ඕනේ පිස්සුවක් කෙළින්න ලේසි වුණාට, ඇඳේ එක පැත්තකින් විතරක් බහින අයට එහෙම බැහැනේ මහත්තයෝ.

      Delete