අකුරු මැකී නෑ

Tuesday, March 12, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස

හම්බ වෙන හම්බ වෙන තරමක් හතුරන් කඩුගා දමමින්, සංහාරය කරමින් වීර වික්‍රම පෙන්නූ වේළුසුමන ඒ සේරම කළේ විහාර මහ දේවින්නාන්සේගෙ දොළදුක සංසිඳුවන්නටය. 

වේළුසුමන ඒ සේරම හපන්කම් කළේ ...................
කලිනුත් කිව්වෙමි; අපේ අම්මාට දොළදුක් ගාය හැදුණාමත් ලේසි වුණේ නැත. මේ පෝස්ටු මාලාවේ මුලදීම කිව්වා වගේ මට ලොකු සුමයක් කරන්නට වුණේය! ඒක මතක තියෙන නිසාම, අදටත් ගැබිණි අම්මලා ගැන මගේ කැවුත්ත උණු වෙයි.

මා දන්නා හඳුනන කාන්තාවක් දරු ලාභයක් අපේක්ෂාවෙන් පසුවෙන බව දැනගත්තොත් ‘බත් මුලක්’ සූදානම් කරදෙන්නේ ඒ හින්දාය. ඒත් මගේ මේ සද්ගුණවත් චාරිත්‍රය හින්දා තව ඩිංගෙන් විසිපහක්-තිහක් විතර සකල අමාරුවක වැටෙනවාය.

එදිනත් අප උන්නේ වනෝද්‍යානයකය; වල් වැදිලාය; නීතියෙන් ඉඩදී තියෙනවාට වඩා වැඩි ගණනක් ගමනට සහභාගිවී හිටි නිසා පිස්සුත් හැදිලාය. වනෝද්‍යානයක එක බංගලාවක හෝ එක කඳවුරු බිමක හෝ නැවතිය හැක්කේ වැඩිහිටියන් 10 ක් හා ළමුන් 2 ක් පමණි.(අපේ කුණු අපට එපාවී -1 පෝස්ටුවේ සියලු විස්තර ඇත.)  අප කරන්නේ ආසන්න තැන් දෙකක් වෙන් කරවාගෙන එහි ගොස් එක තැනට ගාල් වීමයි. අපේ කරුමයට එදා 24 ටත් වැඩියෙන් කට්ටිය ඇවිත්ය.

නිල්ගල මහදොරොව් ආරේ හිටියා වගේ එදාත් අප උන්නේ ...............
“ඔන්න නවතින්න දෙන්න බැහැ කිව්වොත් ඔක්කොටම ඒ කිට්ටුව පන්සලකට තමයි යන්න තමයි වෙන්නේ....” ගමන පිටත් වෙන්නට කලින් කිව්වාමත් කට්ටිය එකඟය. ඉතින් යනවා මිස මොනවා කරන්නද? ගියෙමු. අපේ කතාව ඇසූ ඒ වනෝද්‍යාන භාරකාර මහතා අපට අනුකම්පා කළේය.

“වැඩිපුර ඉන්න කට්ටියට visit කරන්න ආව අය විදියට ටිකට් එකක් කඩමු!”
අපේ නඩේට ඕනෑ හැමෝම එක තැනක ඉන්නටය. අමතරව වියදම් කරන්නට වීම ගණනක් නැත. ඒ විදියට කෙරෙන්නට කතාබහ කෙරී ටිකට් කඩන අතරේ පාලක මහතාගේ ගෙදර අයත් ඇවිදින්ය. ලොක්කා අපටත් ඔවුන්ව හඳුන්වා දුන්නේය.

එක බැල්මෙන්ම මට හුඟක් දේවල් පෙනිණි. 

“අම්මට සිරි!” ලොක්කාගේ බිරින්දෑත් ගැබිනියකි. කොහාට ගියත් කාට-කාට හෝ කොක්ක ගහන්නේ මාය. දුරකථන අංක ඉල්ලාගන්නේ මාය. කොටින්ම නොනිල විදියට වුණත් PR වැඩ සේරම මට පැවරිලාය.

මතකයි නේද, සුනාමියක් එන්න ගිහින් වැලිකන්දේ පන්සලට ගිය හෙයියම්මාරුව. අර අඩ නිරුවත් අංගනාවගේ ගෙදර රූපවාහිනියෙන් මුල් පිටුව බැලූ හාමදුරුවන්ට වඳින්න වුණේ! 
මං ඉක්මනටම චමනිව පැත්තකට කරගත්තේ ‘සුමන්ත්‍රණයක්’ කරන්නටය.

එතකොට ගැබිණියකවී හිටි චමනී නංගි (එදා) හා දූලා තිදෙනා (අද)............. 
එතකොට චමනිත් ගැබිනියකි!

“චමනී, මෙහෙ ලොක්කගේ පවුලටත් බබෙක් හම්බ වෙන්න ඉන්නවා වගෙයි. අපි නවතින තැන ඉඳලා එයාලගෙ ක්වාටර්ස්වලට මහා දුරක් නැහැ. නංගි, ඔයා ඒ ගෑනු කෙනාත් එක්ක කතාවට වැටිලා අපෙත් එක්කම එයාලටත් කෑමට එන්න කියන්නකො.”

ටිකක් ඇඹරුණු චමනි දුන්නේ negative උත්තරයකි. “අනේ නිමල් අයියේ, ඔයාම කියන්න. මට ලජ්ජයි!”

ලබාගන්නට හැකි හොඳම චාන්ස් එකක් මඟ හරවා ගත යුතුද? මා ලොක්කාගේ පවුලේ උදවියත් එක්ක කතාවට වැටුණේ චමනී නංගීත් කැන්දාගෙනය. කතාවේ ටිකක් යද්දී මම හීය විද්දෙමි!

“කොච්චර එකක්ද අඳුනාගන්න ලැබෙන එක. මේ නෝනා මහත්තයත් අපේ මේ නංගි වගේම ඉන්න එකේ එන්නකෝ අපිත් එක්ක කෑම ටිකක් කන්න..... ඔය අසනීපෙ තියෙන කාලෙට ඉතින් බවලත්තු කැමතියිනේ පිට තැන්වල උයන කෑම කන්න! මේ චමනි නංගි නම් එහෙමයි.....”

ඒ මානුස්ස දෝණිය ඇඹරුණේ පුදුමාකාර ලජ්ජාවකිනි. ඇය ‘හා’ කිව්වෙත් නැත. ‘බෑ’ කිව්වෙත් නැත!

ඔහොම අසනීප වෙලා ඉන්න කාලෙට ආසයිනේ පිට තැනක උයන කෑම කන්න!
ඉතින් නැවතෙන තැනට ගිහින් උයා-පිහා ඉවර වෙලා අපි බලා හිටියෙමු. භාරකාර මහත්තයලාගේ පාටක් නැත. මං ඒ වනවිට අපත් සමඟ හොඳටම කුලුපගවී හිටි ‘ට්‍රැකර්’ සොහොයුරාට පැත්තකට කතා කරගත්තේ බැරිම තැනය; “බඩගිනියි නිමල් අයියේ, අපි කමුද?” කියලා දෙතුන් දෙනෙක්ම ඇහුවාටත් පස්සෙය. 

මගේ කතාවට කන්දීගෙන උන් ට්‍රැකර් ඔළුවේ අත ගසාගත්තේය.

“අනේ නිමල් මහත්තයෝ, අපේ සර්ගේ නෝනාව හෙට අනිද්දම ඔපරේෂන් කරන්නයි ඉන්නේ. බබෙක් හම්බ වෙන්න ඉන්නවා නෙවෙයි ඔය. බඩේ ලොකු ගෙඩියක්!....”

දොළදුක් දාන පාරමිතාව නිසා වෙන්නට ගිය වැරැද්ද ගැන තවමත් මට බැනුම්ය! 
“මූට කට තියාගෙන ඉන්න බැරිවට, එදා තව ඩිංගෙන් අපිට පන්සලක තමයි ඉන්න වෙන්නේ. (එදා චමනිගේ කුසේ හිටි බාලම දූ සිඟිත්තත් දැන් ලොකු කෙල්ලකි!)

එහෙම දේවල් සිද්ද වෙලා වුණත්, දොළදුක් ගාය ඇති බවලතියන් ගැන මගේ හිතේ ඇතිවෙන දුක්ගාය නැතිවෙලා නැත. 

ඒ වගේම දුකක් විහාර මහ දේවින්නාන්සේගේ දොළදුක ගැනත් හිතේ නළියයි. ඒ වෙන මොකවත් හින්දා නොවේ. ලෝකයේ පැරණිම ලිඛිත ඉතිහාසය ඇත්තේ අපටයි කියා උදම් අනද්දී, ඒ ඉතිහාසයේම මෙවන් අසික්කිත කෑලිත් තියෙන නිසාය.   

විහාර මහ දේවියගේ අසික්කිත දොළදුක..................
“.....ඒ දැක සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ වෙළුසුමනයන්ට බොහෝ සත්කාර කොට රන්තැටියක් ගෙන්වා එහි කඩුව සේධූ පැන් පුරා රන්මිණිකොඬොල් සහිත දෙමළහිස්දෙක පිටැ බිසවුන් සිටුවා තිසාවැවින් ගෙන ගිය පැනින් ඉස් සෝධා නාවා රන්තැටියෙන් පැන් පොවා මානෙල්මල් පැළඳවූහ. එකෙණෙහි බිසවුන්ට දොළ සංහිඳිණ.............”

‘කුසගිනි හැදුණට ඉඳුල් නොකව් - තණකොළ නුබුදිති සිංහ පැටව්
කොඳ මල් නොපිපෙයි ගිරි මුඳුනේ - ගව තෙල් නොදමයි රන් බඳුනේ’ කියලා සී.ටී. ප්‍රනාන්දු ගායකයා ගයා තියෙන්නේ කාකවර්ණතිස්ස රාජ්‍ය සමයෙන් ගොඩ කාලයකට පස්සෙය.

ඒ ගීතයවත් අහලා තිබුණා නම්, ඒ රජ්ජුරුවන් සතුරු සෙනෙවියන් දෙන්නාගේ මිනී ඔළුගෙඩි දෙක ‘රන් තැටියක’ නොතියනවා ඇත. 
වෛශ්‍යා නලඟනකගේ ඉල්ලීමක් ඉටු කරන්නට ස්නාවක ජුවාම්තුමාගේ හිස රන් තැටියක තබා යැවූ කතාවක් කිතුණු සාහිත්‍යයේත් එයි! 
රජවරු කළත් ඒවා නොහොබිනා වැඩය. ඒත් එහෙව් නොහොබිනා වැඩම; එදා රජවරුන් වහන්සේලා කළ දේවල්ම අදත් කෙරෙයි.

මෙන්න මෙතැනදී නම් මගෙනුත් වරදක් වෙලා වගෙය. කොළඹ පුරපතිනිය මහජනයාගේ බදු මුදලින් රුපියල් ලක්ෂ 57 ක් වැය කොට ‘සුපිරි toilet එකක් හැදීම ගැන වරක් විවේචනාත්මකව කීවෙමි. අනේ, මට දැන් ඒකට සමාව ඉල්ලන්න වෙලාය. මොකද එයාලා කන-බොන හැටියට ‘xන්නේ’; පහරන්නේ අශූචි වෙන්නට බැරි හින්දාය. 

ඒ ආරංචිය වඩාත් අපූරුවට කියා තිබුණේ ‘කවි ගුණදාස’ය.    

කවි ගුණදාසගේ ඒ ආරංචිය................
‘කවි ගුණදාසගේ පෝස්ට් එක’ මට එවූ නලින් මධුශංඛට තුති පුදමිනි මං ඒ පෝස්ටුව මගේ බ්ලොගය හැඩ කරන්නට යොදාගන්නේ! 

පාලකයන් හැමදාම ඔහොමය. අපත් එහෙමය. 

උන්ගේ වැරැදි දැක-දැක, උන්ට බැණ-බැණ උන්ටම මනාපය ලකුණු කොට උන්වම දිනවමු! ඉතින් උන් පොංගල් කෙළින එක වැරැදිද? රසික ඔයාලා වටවලංගුවේ; වංකගිරියේ ගෙනියමින් මේවා කියනවාට සමාවෙන්න. මේවා කියවන්නට ඔයාලා deta පුච්චන බව නොදන්නවා නොවේ. ඒත් මෙහෙමවත් මේවා නොකියා හිත හදා ගන්නේ කොහොමද?

හැබැයි දැන්, අපේ ගැටවර-ගැටවරියන් ඉස්සරට වඩා ගොඩාක් හොඳය.

එයාලා ඉන්නේ අවදියෙනි. ඇස් ඇරගෙනය. නැති නම් මුහුණු පොතේ මේ වාගේ පින්තූර වැටෙන්නේ නැත. මේ පෝස්ට් එකේ credit එක ‘ප්‍රයිවෙට් කැම්පස් - අපේ සෙට් එකට’ය! 
මේ උපහාරය එවන් පිරිසට පුදන්නේ ඔවුනගේ - අවදියෙන් හිඳින්නන්ගේ වෑයම අගය කරමිනි. 

ඔහොම යං..... දිගටම යං..... ‘මහීෂ වන්දනාව’ නවතින තෙක් දිගටම .............

මහීෂ වන්දනාව තුරන් වෙන තෙක් අපේ රටට සුගතියක් නම් .....................
මේ ‘හරක් මානසිකත්වය’ නිසාම අපට ‘යටි පෙළ’ පෙනෙන්නේ නැතැයි කියලාය මට හිතෙන්නේ. විහාර මහ දේවියට හැදුණු දොළදුක සිංහල ජාතියටත් නිගා දෙවන්නකියි කියනවා මා දැක නැත. (එහෙම තියෙනවා නම් දැකලා නැතිකම මගේ වරදක් වෙන්නට ඉඩ තිබේ.) 

මෙහෙම ‘රීරි’ වෑස්සෙන දොළදුකක් ගැන තවත් එකම-එක තැනක විතරයි මං නම් දැකලා තියෙන්නේ. බිම්බිසාර දේවින්නාන්සේටයි ඒක ඇති වුණාය කියන්නේ, අජාසත්ත කුමාරයා පිළිසිඳගත් වෙලාවේ. ඒකත් හතුරෙකු මරලා නෙවෙයි. 
තමන්ගෙම සැමියාගේ; බිම්බිසාර රජ්ජුරුවන්ගේ ලේ බොන්නයි.

ඒ වගේ දොළදුකක් අම්මාට ඇති කරවපු අජාසත්ත රජතුමා නම් අපායට ගිහිල්ලලු නැවතුණේ, පීතෘ ඝාතක පාප කර්මය හිංදා. එතකොට අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ.....?

රජවෙන ගොඩක් දෙනා පිරිමි. 
බුදු පදවිය ලබන්න පුළුවනිත් පිරිමින්ට විතරයිලු. 
එතකොට අම්මලාට බුදුවෙන්න ඕනේ නම් පිරිමි ආත්ම භාවයක් ලබන්න වෙනවා! කොහොමද පිරිමියෙක් අම්මා කෙනෙක් වුණොත්?

ගැබක් දරා සිට පිරිමි දරුවෙකුට උපත දුන් තරුණයා වයිලි.................
Wyley Simpson පිරිමි දරුවෙකු උත්පාද කරලා. වයිලිට අවුරුදු 28යි. එයාගේ ආදරවන්තයා Stephen Gaeth ටත් 28යි. ඉන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ. බබා ‘රෝවන්’ මෙලොව එළිය දැක්කේ ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල. හැබැයි වයිලි උපතින්ම පිරිමියෙකු නෙවෙයි. හෝර්මෝන ප්‍රතිකාර අරන් පිරිමියෙකු වෙමින් ඉන්න කෙනෙක්.

වයිලිට දොළදුකක් ඇතිවුණු බවක් ඒ පුවතේ කොතැනකවත් තිබුණේ නැහැ. ගැහැනුන්ගෙනුත් දොළදුක ඇතිවෙන්නේ ආසියාතික රටවල ස්ත්‍රීන්ට විතරයිද? ඒ විස්තරේ ඒකේ තිබ්බේ නැහැ.

ඔන්න ඕක තමා වැරැද්ද. විස්තරයක් ලියද්දි සේරම ලියවෙනවයැ, සමහර දේවල් මඟ හැරෙනවා. වැරැදීම මිනිස් ගතියකි කිව්වට, දෙවියන්ට වුණත් වැරැදෙනවා.

එළාර රජතුමාගේ පුත්තරයත්; වීදිවිඩාන්ගන් (Veedhividangan) කුමාරයත් මදාවියෙක් වගේ රාජකීය අශ්ව කරත්තේ එළවද්දී ඒකට යටවෙලා වහු පැටියෙක් මැරුණානෙ. මව් එළදෙන ගිහින් ‘යුක්තියේ සීනුව’ නාද කළාට පස්සේ රජතුමා පුතණ්ඩියාවත් ඒ අස්ස කරත්තෙටම යට කරලා මැරෙව්වලු. 

ඒ ගමන ශිව දෙවියන් අර වහු පැටියාටයි, කුමාරයටයි දෙන්නටම ආයෙමත් පණ දුන්නලු.

එහෙම කරපු ශිව දෙවියන්වත් ඇයි ද්වන්ද යුද්ධයෙදි තරුණ දුටුගැමුණු කුමාරයා අතින් ඝාතනය වුණු වියපත් එළාර රජතුමාට ආයෙම පණ නොදුන්නේ කියලයි මං හැමදාම හිතන්නේ. එහෙම කරන එක නේද සාධාරණේ? 

ඒ ද්වන්ද යුද්ධයේදී තරුණ දුටුගැමුණු අතින් වයසක එළාර ............ 
(ඉතිහාස කතාන්දරවල ඔහොම කිව්වට එළාර ලොක්කත් දැන් ඉන්න ලොක්කන් වගේම අස්ස කරත්තෙ වැරැද්දට ඉදිරිපත් කළේ ‘බිලි බෝයි’ කෙනෙක්වත්ද, පුතාව බේරාගන්න. ඒ මදාවියාව ආයෙම කල-එළියට ගෙනෙන්න ශිව දෙවියන්වත් abuse කළාද මන්දා!)

දමිළ ඉතිහාසය ලියන අය එළාර රජතුමාව නග්ගලා තියනවා වගේම සිංහල රචකයනුත් දුටුගැමුණු රජතුමාව උත්කර්ෂයට නංවනවා. සමහර වෙලාවට රජවරුන් පණ පිටින් ඉඳිද්දීම ගොනාටත් අන්දවනවා. 

ඒක කොයි තරම් අපූරුවට කෙරෙනවද කියනවා නම්.........

“............... කාවන්තිස්සරජ්ජුරුවෝ මතු බුදු වන මෛත්‍රෙය බුදුන්ට බුදු වෙන ජාතියෙහි පිය වන්නාහ. විහාරමහාදේවී මව් වන්නාහ. මෙ ම දුටුගැමුණු රජ්ජුරුවෝ ඔබට දකුණත් සව් වන්නාහ. තිස්ස නම් මලණුවෝ ඒ බුදුන්ට වමත් සව් වන්නාහ......” 
ඥාති සංග්‍රහය එතැනින්වත් ඉවර වෙන්නේ නැහැ. කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ නංගි අනුලා, දුටුගැමුණු රජතුමාගේ පුත්‍ර සාලිය විතරක් නෙවෙයි; භාණ්ඩාගාරික සංඝ ඇමැතිතුමාත් මෛත්‍රී බුදුන් කාලේදී ගොඩ යනවලු! එහෙම කියන්නේ මං නෙවෙයි. 
ධර්මකීර්ති සංඝරාජ නාහිමියෝ ‘සද්ධර්මාලංකාරය’ ලියද්දී.

භාණ්ඩාගාරිකයත්....? හාමුදුරුවරුන්ට ආණ්ඩුවේ සල්ලිවලින් කදමලු උස්සගෙන ගිහිල්ලද එච්චර පිනක්?

හොර මඟුලකදී ලියැවුණු හොර ලියුමකින් මුල පිරී, සුනාමියකටත් රජ මඟුලකටත් සුපිරි ඝාතන රැසකටත් හේතු වුණු ඒ කතාවේ දොළදුක ගැන මගේ තිබුණු විචිකිච්චාවෙන්; තිබුණු දුකෙන් ටිකාක් දැන් අඩුවෙලා වගෙය. 
ඒ, මේ පෝස්ටු මාලාව ලියමින් ‘භාව විරේචනය’ක් කළ බැවිනි. හැබැයි දැන් තවත් සැකයක් හදවතේ තෙරපෙයි. මෛත්‍රී බුදුන් කාලේ දුටුගැමුණු පරපුරම ගොඩ යයිද?

හොර ලියුමකින් ඇරැඹී එළාර යුද්ධයෙන් කෙලවර වුණු කතාවක් ජයසිරි සේමගේ ශිල්පියාගේ සිතුවමින්....... 
වන්නාටය! සැක-සංකා නොසිතුව මැනැව සබඳ නිදි. විය හැක්කේමය!! මතු නොව දැනුදුත්; වර්තමානයෙහිදීත් මෛත්‍රී සංහතියම දුකින් තොර වෙමින් ඉසුරු සම්පත්, බාර් ලයිසන්, හෝටල් ඉදිකිරීමේ නිදහස හා අනේක වරදාන ලැබීම ඊට සාක්ෂි යයි හුදී ජනයා විසින් දත යුත්තේමය෴

14 comments:

  1. https://face2faceafrica.com/article/meet-the-great-warrior-woman-of-guadeloupe-who-fought-against-french-troops-in-1802-while-pregnant

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ගිහින් කියෙව්වා. ස්තුතියි Pra.

      ඒක කියවද්දියි හිතුණේ, මෙච්චර කරුණුත් ඒවා තියෙන තැනුත් දන්නා එකේ ඇයි ඒවා පරිවර්තනය කිරීමක්වත් නොකරන්නේ; ඉඳහිටවත්.

      Delete
  2. ඔය බබාලා හම්බවෙන්න ඉන්න අයට කෑම දෙන ලෙඩේ මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සෙල්ලත් ඉතින්.....

      Delete
    2. ඔය හිටපු ගමං කියවෙන්නෙ ස්වර්ණාට එහෙම කවපු හැටි.....

      Delete
  3. හැලපේ, Pra, ඔන්න මං නම් මේවා දැක්කෙත් නැහැ; කියෙව්වෙත් නැහැ; ඇහුනෙත් නැහැ; දන්නෙත් නැහැ!

    ReplyDelete
  4. මට හෙණ ආසාවක් තියෙනව අපේ මහාවංශයෙ තියෙන ඉතිහාසය ඔය වගේ යථාර්ථවාදි විදිහකට ආපහු ලියන්න. ඇනටෝල් ෆ්‍රාන්ස්ගෙ පෙන්ග්වින් දිවයින කියෙව්හම ඒක කල්පනා උනේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියන්නකෝ ඩ්රැකී, මාත් හරිම ආසයි එහෙම වෙනත් කෝණයකින් බලලා ලියන දේවල් කියවන්න.

      Delete
  5. අර වගේ හාමුදුරුවෙක් අපේ පන්සලෙත් උන්නා අපි සෙට් එක දවසක් මහරෑ උන්නාන්සෙ පන්සල ගාව ගෙදරකට වඩින්ඩ යද්දි අල්ලලා පන්සලේ ගේට්ටුව ගාව අඹ ගහේ බන්ධනය කරලා සැතපෙන්න සැළැස්සුවා...

    අපේ පන්සලේ වැඩසිටින ගරුතර සංඝරත්නය-
    1. ත්‍රිපිටක වාගීශ්වර කුපාඩියාවේ කීර්තිශ්‍රී ආනන්ද නායක ස්ථවිර
    2. ගල්බෝතලේ ගුණානන්ද අනුනායක ස්ථවිර
    3. කොල්ලන්කාරදෙණියේ චන්දානන්ද ස්ථවිර

    ReplyDelete
    Replies
    1. //අඹ ගහේ බන්ධනය කරලා//
      ඩ්රැකී, නීච කුල බන්ධනේ වෙන්ටැ!

      Delete
  6. අපේ හාමිනේ පුපුරන්න ඔන්න මෙන්න මහත් වෙලා උන්න කාලෙක අපි බස්, කෝච්චි, මෙට්‍රෝ යන වතාවක් ගානෙ කට්ටිය නැගිටලා සිට් දෙන කාලයක් තිබ්බ .. උන්දැ ඇඹරෙනවා මට පැලෙන්න හිනා :-D

    ReplyDelete
    Replies
    1. ඇයි, මහත අයට සීට් එක දෙනවා නං තමුන්නාන්සේට ....

      Delete
    2. ඒ හිත් උණු වෙන්නෙ බවලත් උදවියට විතරයි නෙව

      Delete
    3. කණ්ඩා, එහෙමත් වෙද්දී එයාලා සම තැන ඉල්ලනවා.

      Delete