අතුල තිලක් රණසිංහ, රංගන කණ්ඩම්බි දෙන්නා බ්ලොගර්ස් ඊව් එකේදී............. |
ඇත්තම කියන්නට ඕනෑය. මං දැනගෙන උන් චැට් ග්රූප් එකක් නැත! එහෙම
පාත්තරේ නැති වුණාම, ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කියලා කණ්ඩාත්, ලක්මාලුත් නිකම්
හිටියේ නැත. මේ මොට්ට මෝල් වහන්සේට උපදෙස් දෙන්නට වූහ.
එයාලා අරක ඔබන්න කීවාම
ඒකත්, මේක ඔබන්න කීවාම මේකත් ඔබමින්ය මං ඒ නොදන්නා මඟුල ඉගෙන ගත්තේ. හැබැයි
නොදන්නා මඟුලට ගිහින් පොට අල්ලා ගන්නට පුළුවන් වුණු නිසා මගේ වරිගේ නැහුණේ නැත.
එතැන ඉඳලා කෙළවරක් නැත.
ඔන්ලයින් හිටියොත් ‘ටින්-ටින්’ ගගා සද්දේ දාගන පණිවිඩ ගලයි. උත්තර බැඳෙයි.
මොනවාවත් නොකළත්; බකං නිලාගෙන හිටියත් ග්රූප් එක වැඩය.
ඒ සමහර දේවල් බ්ලොගයක
කොටනවා තියා හිතන්නවත් බැරි තරම් ‘සභ්‍ය’ය. ගමේ බාසාවෙන් කියනවා නම් කෙල්ලෙකුට ඒවා
ඇහුණත් ‘බඩ’ වෙන සයිස් එකේය. එහෙම ඒවා මෙතැනදී කිව්වොත් වෙන්නේ ඔයාලාගේ ‘ඉරිසිරියාවට’
භාජන වීම විතරය.
ඒ නිසා එව්වා ඕනෑ නැත. හැබැයි මෙච්චර ඉහ-නිකට පැහී ඉන්නා මාත් ඒ
chat group එක නිසා තිරිහන් වුණේය! යාවත්කාලීන වුණේය!!
රෝහිත ටට්යානා දෙන්නාගේ විවාහ මංගල්‍ය උත්සවයත්................ |
ඉස්සෙල්ලාම ‘දුවන
පුහුල්’ යෙදුම ‘අටම්පහියේ’ ලක්මාල්ගෙන් මං අහුලා ගත්තේ ඒකෙදිය. අලුතින් ඉගෙන ගන්නා
දේවල් පාවිච්චි කරන; අභ්‍යාස කරන තරමට මතක හිටින හින්දාම ‘සැවුළු සංහාරය 4’ පෝස්ටුවට ඒ වචනය එබුවෙමි.
බ්ලොග් සැඳෑව පැවැත්වුණු
මාර්තු 1 වෙද්දී නම් මගේ මේ අහුලාගෙන යෙදීමේ පුරුද්ද දෙතුන් දෙනෙකුටම මීටර්වී
තිබුණා වගෙය.
“මචංලා, නිදි ඉස්සරහ කතා කරන්නේ පරෙස්සමෙන්. මේකා හිමිජ්ජා වගේ අහගෙන
ඉඳලා ඒවා බ්ලොග් එකට ලියයි!” කියා කවුදෝ පූර්වෝපදේශයක් දෙනවාත් මට ඇසිණි.
එහෙම ඇහුණු ඒවාට කලින්
කියන්නට හිතෙන්නේ චැට් එකේ දැකපු හරිම නිර්මාණාත්මක දෙබසකි! කර්තෘ භාග නොගෙවන නිසා
එයාලගෙ නම් ඕනේ නැහැ නේද?
“උඹල කැමති රණවරාද,
පොල්පළාද? මං බැලුවේ රෝහිත කොලුවා ආදර්ශෙට ගන්න.”
“ගල්පලා වුණත් කමක්
නැහැ...... කොලුවා අජටාකාශගාමියානේ. ඉතින් හඳට යන්න යානාවක් ගත්තා. ටට්යානා!”
රා බොද්දිත් කටගැස්මක් නැතිනම් ලුණු කැටයක් හරි ගම්මිරිස් ඇටයක් හරි හපන එක....... |
ඔහොම දේවලට වැඩියෙන්
කවුරු-කවුරුනුත් උනන්දු වුණේ බෝතල ගැනය. දැන් ඉස්සර වාගේ නොවේ. ජාති ගොඩකි.
ඒ ඒ ඒවාට ගැළපෙන ෂැන්ඩි මොනවාද කියලා මගේ මිත්තරයනුත් හරියට වද වෙනවාය.
“මූට නම් ඉතින් මේවා ගැන වගක් තියෙන එකක්යැ? යකෝ, ටිකක් බීලා බලහං, එක පාරක්.... අපි කියනවට......”
ඒ ඒ ඒවාට ගැළපෙන ෂැන්ඩි මොනවාද කියලා මගේ මිත්තරයනුත් හරියට වද වෙනවාය.
“මූට නම් ඉතින් මේවා ගැන වගක් තියෙන එකක්යැ? යකෝ, ටිකක් බීලා බලහං, එක පාරක්.... අපි කියනවට......”
එහෙම තියා ඔළුවේ හැළුවත් ඒවා ගැන මට වගක් නැත. ඒත් එයාලගෙ කතාබහෙන්ම
මාත් සමහර දේවල් ඉගෙනගෙනය.
‘ටිකිලා’ බොනවා නම් පෙති ගැසූ දෙහි, දියලුණු
කැට, ගම්මිරිස් ඇට නැතිව බැරියයි එක වංගියක් කියැවිණි. ඒවා දෙන ගමන්ම මට සිහි වුණේ
තොටළඟ පාලමයි. (පේව්මන්ට් එකේ රජවෙන කාලයේ මා
එතැනටත් ගිහින් තිබේ. ඒ ඉසව්වේ රා තිප්පොලවල් පිරී තිබිණි. ඒ නිසාම හින්ට් එකක්
ගහන්නටත් මට දැනීමක් තිබිණි.)
“තමුසෙලගෙ මහ ලොකු ටිකිලා රා වගේ වෙන්නැති. තොටළඟ රා
බොන මිනිස්සුත් ලුණු, ගම්මිරිස් හපනවා මං දැකලා තියෙනවනේ!”
ඉතින් බ්ලොග් හැන්දෑවට
එන්නට නියමිත අය බෝතල් ගැන කතා කරනවා වැඩි වෙන තරමට මගේ ඔළුවත් වැඩියෙන් වැඩ කළේය.
එදාට මොනවද හදන්නේ? බයිට්වලට..... කෑමට?
එතකොටම කල්පනාවට ආවේ
පූනගලය! පූනගලට ගිය ගමනය!!
පූනගල ගමන සංවිධානය කළ දොස්තර පෝල් හිතවතා sweet වොයිස් එකකට........... |
ගමනට තැන තෝරාගෙන බංගලාව
වෙන්කොට සංවිධානය කළේ පෝල් නොහොත් වෛද්‍ය එම්.සී. පෙරේරා නොහොත් චමින්ද පෙරේරා හිතවතායි.
“මචං, තැන
නරක වෙන්න බැහැ බං. රිචඩ් පීරිස් ග්රූප් බන්ග්ලෝ එක රිසර්ව් කරන්න කතා කළාමත් මාර
ස්වීට් වොයිස් එකක් තියෙන කෑල්ලක් කතා කළේ. ෆෝන් එක තියන්න හිතුණේ නැහැ මචං. කොච්චර
ස්වීට්ද කිව්වොත් පස්සෙත් මං ඒකිට ටෝක් කළා එක-එක ඩීටෙල්ස් අහන විදියට....”
ගමන පටන් ගනිද්දීම පෝල්
කිව්වේය. “ඔන්න බැලන්ස් එක ගෙවලා ඩොකියුමන්ට්ස් ගන්න යද්දී උඹලා එකෙක්වත් වත්තේ
ඔෆිස් එකට එනවා හෙම නෙවෙයි. මං විතරයි එහාට යන්නේ!”
(මං මේවා ලියන්නේ පෝල්ගේ අවසරය
ලබාගෙනය. මට හිතෙන්නේ චමිලා නංගි ඉංග්‍රීසි ගුරුවරියක් හින්දා සිංහල බ්ලොග්
කියවන්නේ නැතිවත් ඇති. නැතිනම් කසාදයක් දික් වෙන්නටත් මේ කාරණා හොඳටම ඇතිය.)
වත්තේ කාර්යාලයට අපේ
වාහනය පිවිසෙනවාත් එක්කම දහයෙන් අටක් බිමට බැහැලාත් ඉවරය; පෝල්ටත් කලින් ඔෆිස්
එකටත් ගිහින්ය. අර ඇත්තියගෙන් අරවා-මේවා අසා බලනවාය.
ඔහුගේ කතාව ඇත්තය. ඇගේ හඬ ඉතාම මිහිරිය, ඒත් හැඩ අඩුය, කොස්සකට තිබ්බේ වයස
තිස්පහකටත් වැඩිවීමය! පෝල්ටත් කලින් එතනට දුවපු යහළුවන් පල්ලම් බැස්සේ හීන් සීරුවේය. අන්තිමේදී ලියකියවිලි පිළියෙළ කෙරෙන විට එතැන ඉතිරි වුණේ පෝල් විතරය.
එදා අපේ බයිට් එක ඔහුය.
ඇතා කොච්චර වැහැරුණත්
කොරහේ නාවන්නට බැරිය. පූනගල ගමනේ රසබර විත්ති එමට ඇතත්, අදාළම කාරණය විතරකි,
මෙතැන කියන්නේ.
පූනගල කිට්ටුව ඇති මිලේනියම් පොයින්ට් එක යන්නට වටිනා තැනකි! |
“යේක සේර්ලා කැමති වෙනවා
නම් පූරි තමා උදේට හදනවා.....”
පූනගල බංගලාවේ කෝකි
හිතවතා කිව්වේ රාත්‍රියේදී අපේ හිතවත්කම් දලු දැම්මාට පස්සෙය. අප හැමදෙනාගේම මනාපය
ලැබිණි. “උදේට ඒවා හදන්න යනකොට මටත් කතා කරන්න. මාත් ආසයි ඉන්දියන් කෑමක් හදන හැටි
බලාගන්න.”
හිතාදර සම්පත් රණසිංහ
නිසා නිදි නැති රැයක් ගෙවා මං නින්දට වැටුණා විතරය. කෝකි අප්පු ඇවිදින් මට
කීද්දුවේය. (එදායින් පස්සේ මං සම්පත් ඉන්නා පැත්ත පලාතක නිදියන්නේ නැත. ඒ ආලවකයා
එදා එළි වෙනතුරු නොකඩවා ගෙරවූ හැටියට ඊළඟ දවසේ මාව මරාගෙන කනවා ෂුවර්ය.)
හිමිදිරියේ, නිදි මරගාතේ වුණත් මං ‘පූරි’
හදන්නට ඉගෙන ගත්තේ ඒ දමිළ කෝකි අප්පු හිතවතාගෙනි.
‘ඔව්. පූරි හොඳයි!
ඉන්දියන් ටයිප් එකට තික් කරියයි, තෝසේ සම්බෝලෙයි....’ ඉස්සෙල්ලාම මගේ මෙනූ එකට
රිංගුවේ එහෙම මතකයක් නිසාය.
පූනගල බංගලාවේ පිටුපස සරුවට වැවී තිබුණු කොත්තමල්ලි පඳුරුවලින් එදා උදේම කඩාගත් කිනිති කීපයක්ම යහමින් දමා, උකුවට උයා තිබුණු පරිප්පු කරියට මං නම් අදත් ආසාය.
එහෙම වුණත් සමහරුන්ට කොත්තමල්ලි කොළවලින් එන ‘පැඟිරන් පොඩි වුණා වගේ’ සුවඳ
අල්ලන්නේ නැත.
මං හැදූ හත්මාලුව වැනි මිශ්‍ර කරියට ඉන්දියන් ෆ්ලෙවර් එක ගන්නට වුණත්........ |
ඒ නිසාම සාදය දවසේ මං
හැදූ හත්මාලුව වැනි මිශ්‍ර කරියට ඒවා දැම්මේ නැත. ගෙනැවිත්, සෝදා සූදානම් කර
ශීතකරණයේ තිබ්බා විතරය. “දීසි දෙකකට කරිය දානවා..... එකක් විතරක් මල්ලි කොළ එක්ක.”
මං හිතාගෙන හිටියේ එහෙමය.
ඒත් ගීත ගායනය කොච්චරට
නැඟලා ගියාද කිව්වොත් අන්තිම මොහොතේ ඒවා කරියට දමන්නට මට සිහිපත් නොවිණි.
නියමාකාරයෙන්ම ඒ මිශ්‍ර මාළුවේ රසය පරිපූර්ණ වීමට නම් කොත්තමල්ලි කොළ ඕනෑ වුණත්,
කාටවත්ම ඒ අඩුව දැනුණු පාටක් නැත. මට නම් එය ලොකුම ප්‍රමාද දෝෂයකි!
ඉතින් දැන් u turn එකක්ම
අරං යන්නට වෙලාය. චැට් ග්රූප් එකට තියා, ලක්මාල් කණ්ඩා දෙන්නාටවත් මුලින්ම මෙනූ එක
නොකියන්නට මම තීරණය කළෙමි. එයාලා නම් කියා තිබුණේ ‘පරිප්පුවකුයි බතුයි හැදුවත්
ඇති, අයියේ’ කියලාය. එහෙම පුළුවනැයි?
වැඩ පෙන්වන්නට අවස්ථාවක් ආවාම පෙන්විය යුතුය.
දෂ්ට නොකළත් පෙණය පුප්පන්නට ඕනෑ වෙලාවට ඒක කරන්නම
වෙයි. ඉතින් අපේ ගෙදරට එන අයට උපරිමයෙන් සංග්‍රහ කරන්නට ඕනෑ වගේම, ඒකට හරියන දේවල්
තීරණය කළ යුත්තේත් මාය.
කොත්තමල්ලි කොළවලින් එන සුවඳට මම නම් ......... |
කණ්ඩා ඉන්නේ නොරටය.
‘කණ්ඩාගේ කොලම’ ලියන්නේත් නොරට ඉඳගෙනය. ලක්මාල් එක්ක සමෝසමේ ‘අටම්පහිය’ට කර
ගහන්නෙත් එහෙම ඉඳගෙනය. එහෙම දාහක් වැඩ තියෙද්දීය; මේ සාදෙකුත් පටලවා ගත්තේ.
මනුස්සයා ලංකාවට එනවාය කිව්වෙත් දවස් හත-අටකටය.
“මං එද්දී බෝතල් ගේනවා.
ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තහැකි.”
කණ්ඩාගෙ ඒ මැසේජ් එකට හෝ ගාලා ප්‍රතිචාරය; උපදෙස්ය.
Duty Free වැඩ-කිඩ, හොඳ තැන්-නරක තැන්, ඇඩ්වාන්ටේජස්-disadvantageous.... හෙණ
ගොඩකි. ඒ ටික හරියට අධ්‍යයනය කළා නම් ‘ජනාධිපති උපදේශක’ පට්ටමක් වුණත් ගන්නට
පුළුවනිය!
මට නම් ඒවා ග්‍රීක් බව
අමුතුවෙන් කියන්නට ඕනේ නැත.
“අපි නම් එන්නේ අත් දෙක
වන-වනා, බොන්නම බලාගෙන.” වැනි ෂැන්ඩි නැතිව අමුවෙන්ම ඇත්ත කිව් තැනුත් චැට් එකේ
තිබුණේය!
වැඩි දෙනෙකුට මීටර්වී තිබුණේ
නැති, හැංගුණු කරුණකුත් තිබේ. මට ඒක අහුවුණේත් ‘කණ්ඩාගේ කොලමේ’ කමෙන්ට් එකකදීද
කොහෙදය. ඒකට අනුව නම් කණ්ඩා කළේ කොළය හංගා ගැහිල්ලක් හෝ එක ගලෙන් කුරුල්ලන්
දෙන්නෙකු බිම දමා ගැනිල්ලකි. මිනිහාට ඉන්ක්රිමන්ට් එකක් ලැබිලාය.
දන්නා කවුදෝ අහලා
තිබුණේ ‘පාටියක් නැතිද?’කියලාය! මේ ඒකටද- නැතිද කියලා උත්තර දෙන්නට දන්නේ කණ්ඩා
විතරමය.
කණ්ඩා එයාගේ කොලම ලියන්නෙත් නොරටක ඉඳගෙනය............. |
මං ලියන්නේ මා දන්නා
ඇත්ත විතරමය. අනුන් ගැන ලියද්දී වුණත්, වැරැදි තොරතුරක් රසික ඔයාලාට දීමත් මට අනුව
නම් වරදකි. ඒ නිසාම (උඩ ටික කෙටුවට පස්සේ) කණ්ඩාගෙ ‘පඩි වැඩිවීම’ ගැනත් කතා
නායකතුමාගෙන්ම අසා යැව්වෙමි.
දැන් ගෙඩිය පිටින්ම කොටන්නේ කණ්ඩා එවූ උත්තරයයි. “පඩි
වැඩි වුණා තමයි. හැබැයි කකුල් දෙකට”.
කොහොම වුණත් මුලින්ම
ගෙනෙන ජාතියක් ගැන පූර්ව නිවේදනයක් නිකුත් කළේ අතුල අබේරත්න සහෘදයාය. ඒකෙන්
කියවුණේ ඔහු බයිට් එකට ‘roasted කජු’ ගෙනෙන බවයි. ඔන්න ආයෙමත් නඩේ ෆෝම් වුණේය.
ගෙනෙන්නේ ‘බිලින් දාපු කජුද?’ වගේ ගැටළු මතුවිණි. කවුරුන්වත් ‘කජ්ජ බිස-බිසා
ගේනවද?’ කියලා ඇහුවේ නැත්තේ අමතක වෙලා වෙන්නැතිය.
සාදය දවසේ අතුල අයියා
ගෙනා කජු සහිත බෑගය දැක්කාම නම් මට හිතුණේ ඒවා ගන්නට ඇත්තේ බටලීයේ කජු ලියන්ගෙන් නම්
නොවන බවයි. ඒ බෑග්වලට කජු පැකට් දමා දෙන අය, අතුල අයියාත් ෆොරිනර් කෙනෙකු කියලා
වරද්දා ගන්නට ඇත.
හැබැයි හිතන්නට ඇත්තේ ‘ජැමෙයිකාව වගේ රටකින්’ ආවා
කියලාය. අපේ සහෘද හිතවතා ඒ තරම් පැහැපත්ය.
ඒත්, දුටු පළමු දවසෙම වුණත් ටික වෙලාවක්
අතුල අයියාගේ ඇවතුම්-පැවතුම් දිහා බලන් හිටියාම මට පෙනුණේ මනුස්සයාගේ හිත ‘සුදු’
බවයි.
අතුල අබේරත්න අයියාත් නයනජිතුත් දෙන්නාම එදා මගේ අත්තේම වැහූ කුරුල්ලන් ........ |
සැනසුම් සුවය පතා ඈත දුරකටවී ඉන්නා, පරිසරය රැකීමට ගස් හිටවීමට සහාය වෙන,
නිවුණු- කළු- මැදිවියේ පාංශු දේහධාරී කෙනෙකු ගැන හිතාගන්න. ඒ හිඳින්නේ ඔහුය.
ඔහු ඉංගිරිසින්ගේ කලිසම්
කමිසවලින් සැරහී අපේ ගෙදරට ආවත්, ඒ නිමේශයෙන්ම අරගෙන ඇවිත් හිටි සරමට බැස්සේය!
“සරම විතර ලෙහෙසි ඇඳුමක් කොහෙන්ද?”
ඒ විතරක් නොවේ. එයා
සාදයට ආවත් එදා මගේ අත්තේම වැහුවේය. සැර බීම පාව්ච්චියෙන් වැළකුණේය!
එවැනි තවත් එක්කෙනෙකුත්
පාටියේ හිටියේය. පෙනුමෙන් ඒ දෙන්නාගේ සමානකමක් නැතත්, දෙන්නා එක තැන හිඳිද්දී මට
මතක් වුණේ ‘ගෝරා අවුර් කාළා’ හින්දි චිත්‍රපටයයි! ඒකත්, සිංහල ‘ආත්ම
පූජා’ චිත්‍රපටයත් හදලා තිබුණේ ඇලෙක්සැන්ඩර් දූමාස්ගේ ‘කෝර්සිකන් බ්‍රදර්ස්’
නවකතාව පාදක කරගනිමිනි. ඉතින් එදා පාටියේ හිටි ඒ අනෙකා නයනජිත්ය.
තවත් මගේ අනුමානයක් හරි
ගියේය. මං ඒක දැනගත්තේ මෙහෙමය. අතුල අබේරත්න අයියා දැන්; 2019 මාර්තු 13 හවස හතට
විතර මට කෝල් එකක් දුන්නේය.
“ළඟදි දවසක මං කොළඹ එනවා. ඒ එන්නේ ඔයාට පොඩි බඩුවකුත්
ගෙනෙන ගමන්.
මගේ ළඟ තියෙනවා පුංචි විස්කි වීදුරු සෙට් එකක්. ඔයාල ගෙදර නිතර කට්ටිය
සෙට් වෙන- කනබොන තැනක් වග එදා පෙනුණා.
අර වීදුරු ටික ඔයාගේ යාළුවන්ට තමයි ඕනෙ
වෙන්නේ!”
රාජේන්ද්‍ර කුමාර් ද්විත්ව චරිත රඟපෑ ඒ ෆිලුමේ හේමා මාලිනිත් හිටියාය.......... |
ඒකෙත් හැටි. වීදුරුවක්
දෙකක් බින්ද අය පැත්තකය. වන්දි ගෙවන්නට යන්නේ චුට්ටක්වත් නොබිව් කෙනෙකි. ඒ අස්සෙම
මගේ හිතේ තිබුණු ප්‍රශ්නයත් අතුල අයියාට දැම්මෙමි.
“ගම්පහ ඉඳලත් අතුල අයියා
ගෙනත් තිබ්බේ බටලීයෙන් ගත්තු කජු නෙවෙයිනේ. එක්ස්පෙන්සිව් තැනකින් නේද?”
“ඔව්නේ, මං කජු ටිකක්
ගෙනත් දෙන්න මනුස්සයෙකුට පැවරුවා. එයා ආවේ නැහැ. ඉතින් මං වෙන තැනකින් අරං
ආවා.....” වටපිට තොරතුරු හොඳින් නිරීක්ෂණය කොට සාක්ෂි හොයාගන්නට මට ඉගැන්නුවේ
පොඩි පටු කෙනෙක් නොවේ. ලෝක ප්‍රසිද්ධ එක්කෙනෙකි; සර් ආතර් කොනන් ඩොයිල්ය.
බ්ලොග් සැඳෑවෙන් පස්සේ
මගේ මිතුරු ලැයිස්තුව තව ටිකක් දිගු වුණේය.
අතුල තිලක් රණසිංහ, තිලින ප්‍රියසාද්, ඉයන්, ප්‍රසන්න, ප්‍රගීත් හා තුන්වෙනි අතුලත් සාදයට ඇවිදින්ය. |
එයාලා ගැන කියන්න කලින්
‘නිදිගෙ පංච තන්තරේ’ට full support එක දෙමින් හිටි අය ගැන සඳහන් කළ යුතුය! එහෙම
ටික දෙනෙක් ගැන ගිය වතාවේ කිව්වෙමි. හොයාගන්න වෙලාව යනවනේ; මේ වගේ උදවිය self
පම්පෝරි ගහන්නෙත් නැහැනේ.
ඉතින් තව නම් මඟ හැරිලා
තියෙන්නත් පුළුවනිය. අහසෙන් එන්න, කල්‍යාණ මිත්‍ර, ඉවාන් පවුලුෂා, දේශකයා, තරුරසී, ඩ්රැකීගේ අඩවිය, කණ්ඩාගෙ කොලම, ඉකොනොමැට්ටාගේ බොජුන් හල, ඉයන්ගේ අඩවිය,
chef-architect, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය. බ්ලොග් වසන්තය. ඔන්න බ්ලොගයේ දෙවෙනි කොටසට ඔයාලව දැම්මා
කියන්නේ ‘දෙවෙනි පෙළ’ට දැම්මා කියන එක හෙම නෙවෙයි, හොඳේ!
පෙබරවාරිය පටන්ගත් දා
ඉඳලා බ්‍රහ්ම මුහුර්තයෙන්ම fb පණිවිඩයක් ග්රූප් එකේ සාමාජිකයන්ට ‘වඩින’ එක පටන්
ගත්තේය.
‘සාදයට තව දවස් මෙච්චරයි!’
මං හිතන්නේ ඒ රාජකාරිය
‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි ස්වේච්ඡාවෙන්ම බාරගත් එකකි. එහෙම රාජකාරියක්
බාරගෙන, නූලට -රූලට ඒක ඉටු කරමින් හිටි අසංගට.............
නෙළුම් යායම හවසට මුකුලිත වන්නාසේ.................... |
නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස
එදුරු නොවෙයි කළ කම් පළ දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි වෙද කෙලෙස -
කියලා
‘සුභාෂිතයෙ’ත් තියෙන්නේ. ඒ වගේ වැඩක් තමයි අසංගට වෙන්නේ.
ග්රූප් එකේ සාමාජිකයන්ට ඒ
‘විපත්තිය’ වාර්තා කරන්නෙත් අසංගමයි!
“මිතුරනි, 21 වෙනිදා මා කප්පම් කරුවෙකු සමඟින් වූ
ගැටුමකදී සිදුවූ කිනිසි ප්‍රහාර නිසා කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත්ව
ශල්‍ය කර්මයකට ලක් වුණා. දැනට 27 ward එකේ ඉන්නේ.”
ඇත්තම කිව්වොත් ඒ මැසේජ්
එක දැක්කම මාත් හොල්මන් වුණා. මේ මනුස්සයට මොකක්ද යකඩෝ මේ කඩා පාත් වෙච්ච
වින්නැහිය?
හැබැයි, අසංගට එච්චරටම සීරියස් නැති බව දැනගත්තම කාගෙ-කාගෙත් හිත හරිගියා.
මං හිතන්නේ ඒ දවස්වල අසංග ‘ගෝඨා’ ගැන කියවන්නවත් ඇති. මං කිව්වේ ඊළඟ ජනාධිපතිවරණේට එනවයි කියන
කෙනා ගැන නෙවෙයි.
දුටුගැමුණුගේ ගෝඨයිම්බර ගැන. යුද්ධෙන් පස්සේ රා බීලා රිටිගල
ජයසේන දාගත්තු කචල් එකට ගෑවුණේ; ඉස්බක් උඩ පැනලා රිටිගල ජයසේනගේ ඔළුව ගැලවිලා
‘අහසෙන් යන්න’ පයේ මහපට ඇඟිල්ලෙන් ගැහුවේ; අන්න ඒ ගෝඨා.
කරණම වැරැදී, ඉරණම හින්දා බේරුණු අසංග කළුබෝවිල ඉස්පිරිතාලේ.......... |
ඈ අසංග, එහෙම උඩ
කරණමක්වත් ගහන්නද හිතුවේ බඩෝවිට චණ්ඩියෙක් එක්ක? ඔන්න අසංගට උත්තර දෙන්න විරාමයක්
දෙනවා.
ඉවසලා ඉවසලා බැරිම තැන තව ටිකක් ඉවසීමයි කලයුත්තේ කියලා තේරුනේ රෝහලේ ඇදේ ඉන්නැද්දි. එත් ගෙදරට ඇවිල්ලා චන්ඩිපාට් දමලා කරදර කරද්දි නිවටයෙක් වාගේ අකුලන් ඉන්න බැරිවුනා නොවැ.ගෝඨා වාගේම ඉස්බක් උඩ පැනලා ගහන්න හැදුවට අසංගට ගුරුත්වාකර්ෂනය තදින්ම බල පෑවා. කොයි දේත් සිදුවන්නට ගතවෙන්නේ සුලු මොහොතක් විතරයි. හැබැයි ජිවිත කාලේටම විදවන්නට සිදුවෙනවා. මේක මට විතරක් නොවෙයි හැමෝටම හොද පාඩමක්.
ReplyDeleteවිශේෂයෙන් නයනජිත් මහත්මයා ‘බ්ලොගර්ස් ඊව්’ chat group හරහා රෝහලේ ඇද උඩ හිටි මාගේ හිත සුවපත් කරන්නට දිරිය වඩවන්නට කරපු දයාබර උපදෙස් ගොන්නට ස්තූතියි කියන්න ඔනේ. අටං අතුල අබේරත්න කණ්ඩා ඇතුලු මිතුරන් කරපු විහිලු තහලු හින්දා තව ඩිංගෙන් පපුවේ තිබ්බ බටෙත් එලියට එනවා
Deleteඑහෙම තමයි, අසංග. සමහර වෙලාවට අපට මොළේ පෑදෙන්නේ ඒක තැලෙන්නම පස්ස බිම ඇනුනාට පස්සේ. ඔය 'තලතුනා' ගත්තමත් එහෙමනේ!!
Deleteනිමල් අයියගෙ මතකය ගොඩක් hondai නෙ..
ReplyDeleteඅනිතිම පූරිය හම්බුනේ මට.. ඇත්තම කියනව නම් මට හම්බුනේ එකම එක පූරියයි... මට කලින් polime හිටපු අටං අයිය යන්තං එකක් ඉතුරු කලා... පොල් samboleth එක්ක ඒක මාර රසක් දැනුන...
ඒ සැඳැවනම් හරිම අපූරුයි තමා..
ඒවගෙ සාද වැඩි වැඩියෙන් සංවිදානය කරන්න නිමල් අයියටත් කන්ඩතුමාටත් සක්තිය දහිරිය labewa
තිළිණ, තිළිණයක් වගේ කම්ප්ලිමන්ට් එක්ක එවූ කමෙන්ට් එකට ස්තුතියි! තව තියෙනවනේ ලියන්න. ඒවා කියවලා........?
Deleteසූදුරු චිකන්?
ReplyDeletePra, ජීරා චිකන් විතරක් නෙවෙයි, තව වැල්වටාරම්- පම්පෝරි ගොඩක් තියෙනවා...........! ලියන්නම්!!
Deletehttps://www.lifeinitaly.com/food/aphrodisiac-herbs-part-ii
ReplyDeletePra, ස්තුතියි, වටිනා කරුණු ගොඩක් තිබුණා, වැඩක් ගත්තැකි, පසුව.
Deleteබටලීයෙං කජු ගෙන්න ගියානං තව මොනවහරිත් වෙන්න තිබුණ. ඒ හින්ද ඔය හොඳා.
ReplyDeleteඇයි, කජු ලියෝ අතුල අයියගේ හිරිඔතප් බිඳියි කියලද?
Deleteනිමල් අයියේ ඔයා පිංතුරයක් ඉල්ලලා තිබුනානේ. 1samperera @gmail .com එකට ඊයක් එවන්න ස්තුතියි.
ReplyDeleteහරි සෑම්, ඊළඟ කොටසකට දානවා, හැබැයි. මොකද මං මුලින්ම කිව්වා වගේ මේ පෝස්ටු කිහිපය ලියන්න හිතුනෙම ඔයාගේ කමෙන්ට් එක නිසා. කමක් නැහැනේ!
Deleteහපොයි, මගේ පින්තුරයක් ඔයාගේ බ්ලොග් එකේ දාන්න එපා.මමත් ""කවදා හරි "" බ්ලොග් එකක් ලියන්න හිතාගෙන ඉන්නවානේ. ඒකේ ලියන්න තියන කතා බොහොමයක ඉන්නා පාත්‍ර වර්ගයාගේ "චරිත ඝාතන" නොවෙන්න මම මගේ අනන්‍යතාවය සියලුම දෙනාට එලි කරගන්නේ නැතිව ඉන්නම්. මගේ බ්ලොගයක් හැදු දවසක පළකරනවා කියා හිතේ ලියාගෙන ඉන්නා කතාවල් වල මගේත්, මිතුරන්ගේත්, පෙම් සබඳතා, හොරකොටු පැනපුවා, පිස්සු කෙලපුවා ආදිය තමයි තියෙන්නේ. දැන් හතර පෝයටම සිල් අරගෙන දරු මල්ලන් සමග යහතින් පවුල් ජීවිත ගත කරන මගේත්, පැරණි මිතුරන්ගේත් ගෘහ මූලිකයන් මේවා පළකරන්නේ මමයි කියා දැනගත්තොත් (ඒ ඒ සිද්ධි වල චරිත නිර්නාමිකව පල කලත්) කාගේ කාගේත් සායම යනවා. ස්තුතියි.
Deleteඑහෙනම් ඉතින් මක්කැයි කරන්නේ?
Deleteසෑම්, ෆොටෝ එක එව්වේ නැතිවට කමක් නැහැ. ඉක්මනින් බ්ලොග් එක ලියන්න ගන්න. මට පෙනෙන්නේ ඒක මගේ පන්චතන්තරේට එහා ගිය එකක් වෙයි වගේ!
අද ලිස්ට් එකේ මගෙ බ්ලොග් එකත් උඩින්ම ඔය තියෙන්නේ! හෙහ් හෙහ්
ReplyDeleteඕක මොකක්ද කසුන්. ඡන්ද ඉල්ලන අය නමුත් මාරු කරන්නේ උඩටම එන්න.
Deleteඔයාලව නම්, ලිස්ට් එකේ නොතිබ්බත් හිතේ තියෙනවනේ!
හැක් ඔය එක චැට් එක්කවත් නොයිද මාවත් ඕකට ගෙන්න ගත්තාට පිං ඈ.
ReplyDeleteපූරි තමා පූරි කෑව කෑමක්
ඒක නේන්නම්. මධු, කන්න පින තියෙනවා නම් ඉබ්බෙක් වුණත් ගෙටම රිංගනවාලු 'මරාගෙන කාපන්' කියලා.
ReplyDeleteකොත්තමල්ලි කොළ එපා උනේ ඉන්දියාවේදී තමයි. උන් කොච්චර එපා කියුවත් හෙන ගොඩක් දානවා. අපි කාම ඕඩර් කරද්දී වඳිනවා 'නෝ දනියා ප්ලීස්' කියල.. ම්හු. උන්ගේ මෙනු එකට උන් දනිය හෙවත් කොත්තමල්ලි කොළ දානවම තමයි. දැන්නම් ඒ සුවඳට රසට ටිකක් හුරුවෙලා කලින් විතරම අවුල් නෑ. හොඳ අවුසදයක් අපිත් කෑම වලට දානවනම්. ජයවේව! මේක පෝස්ට් කරන ෆ්රිකුවන්සි එක ටිකක් වැඩි කරහන් නිමල් අයියේ. ඉක්මනට කියවන්න ඕනි.
ReplyDeleteකමි, ඔයාගේ අත්දැකීම් අනුව බ්ලොගය ගැන දුන් උපදෙසුත් ඔළුවේ වැඩකරනවා. ඒවාට ස්තුතියි!
ReplyDeleteමං නම් කොත්තමල්ලි කොළවලින් එන ඇරෝමා එකටයි, ෆ්ලෙවර් එකටයි කැමතියි. කොච්චරද කියනවා නම් ගෙදරත් වවා ගන්නවා.
මේ දවස්වල වරින්වර කරන්ට් කපන නිසා ඉදිරි පොස්ට් පරක්කු වෙන්නත් පුළුවන්. ඒත් සිකුරාදා පාන්දර වෙද්දී තුන්වෙනි කොටස දානවාමයි, හම්බන්තොට යන්න කලින්!
නිමල් අයියෙ මේ කොටහ කියෙව්ව බව මතක නෑනෙ ... කමෙන්ට් එකක්වත් දාල නැහැ !
ReplyDeleteඒ දවස්වල ඔයාට බැරි වෙන්න ඇති. දැන් තියෙනවනේ!
Delete