සක්වා ලිහිණියාගෙ ඡායාරූප නැතත්............... |
Pra Jay නම් හොයාන යන්න පාරක් පෙන්වලා තිබුණා, වෙනදා
වගේම. ඒ ලින්ක් එකට ගියාම තිබුණා Swallow Bird ගැන බරසාර ලිපියක්.
ස්වැලෝ බර්ඩ්
වචනයේ අරුත ‘වැහි ලිහිණියා - දිය ලිහිණියා’ කියලයි, මලලසේකර ඩික්ෂනරියේ කියන්නේ.
ඉතින් අර ලිපියේ කියන විදියට නම් වැහි ලිහිණියා ග්‍රීක, රෝම මිත්‍යා කතාන්දරවල
නිතර සඳහන් වෙන කුරුල්ලෙක්. දෙවිවරුන් පවා වැහි ලිහිණි වෙසින් ඇවිත් තියෙනවා. හොඳම
කාරණාව තමා වැහි ලිහිණියා ආදරය එක්ක ගැටගැහිලා තිබීම. හැබැයි එතැන සක්වා ලිහිණි
කතන්දරයක් නැහැ.
සක්වා ලිහිණියා වගේම තවත් කුරුල්ලෙක් තමයි ෆීනික්ස්
කුරුල්ලා. ඌ ගැන නම් වැරැදි බෝනස් එක 2 පෝස්ටුවේදීත් කිව්වනේ.
කට්ටකාඩුවේ ලොකු මල්ලී තමයි මතක් කළේ මහගම සේකර
මහත්තයාගේ ‘සක්වා ලිහිණි’ කාව්‍ය සංග්‍රහය ගැන. ඒත් මේ කවිය නම් ගත්තේ ඒකෙන්
නෙවෙයි, වෙන තැනකින්.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්තයා ගොඩක් වෙහෙසිලා.............. |
ඉඳු නිල් මිණි තුළ පා සී මැඳුර තුර
මනකල් වන සඳ සදිසි නොවිතර
සුවි පුල් ගෙදිගුවිල් වැද සරණා නිතර
විය වුල් දුක්ව සක්වායුග ගියෝ හැර
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්තයා ලොකු ගවේෂණයක් කරලා
ලියපු ‘පුරාණෝක්ති සංග්‍රහය’ (2003- ගොඩගේ) ප්‍රකාශනයේ 325 පිටුවෙයි, මේ කවිය
තියෙන්නේ. කවියට ඉස්සෙල්ලා මෙහෙමත් තියෙනවා.
“සක්වාලිහිණි - චක්‍රවාක පක්ෂි
යනුවෙන්ද සඳහන්වේ. කෝකිල සන්දේශයේ මේ කව් ‘සක්වා යුග’ යනුවෙන් හැඳින්වේ.
පණ්ඩිත ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධනයෝ සිය ගුත්තිල කාව්‍ය
වර්ණනාවේ මෙසේ සඳහන් කරත්.
‘චක්‍රවාක පක්ෂීන් දෙදෙන දිවසාවසානයෙහි වෙන්වනු ඔවුන්ගේ
නියතියකි. ඒ වෙන්වීම බොහෝ දුකින් කරනු ලැබේ.”
අනේ ඉතින් පුහුදුන් මටත් අවසර දෙන්න ඕනේ, පුංචි
පුරාජේරුවකුත් කියන්න. ඒ පොත බලන්න ගත්තොත් xxi පිටුවත් බලන්න, මතක ඇතිව.
මහාචාර්යතුමා මේ ලියන්නටත් ස්තුති කරලා තියෙනවනේ!
............ ඒවාට කියන්නේ ප්‍රණය කලහ කියලාය. |
සක්වා ලිහිණි කියන්නේ කවි සමයේ හම්බවෙන කුරුලු වර්ගයක්
මිසක් ඇත්තටම ඉන්නා ජාතියක් නෙවෙයි කියලත් කියනවා.
මේ කුරුලු ජෝඩුව එකිනෙකාට හරි
ආදරෙන් දවස තිස්සෙම ඉන්නවා. ඇඳිරි වැටීගෙන එද්දි සිය කැමැත්තෙන්ම දෙන්නා දෙපොළකට
වෙනවා. ඉතින් දෙතැනක ඉඳගෙන රැය පුරා සින්දු කියනවා. ‘කොතැනක හිටියත් ඔබ මෙලොවේ -
සතුටින් ජීවත් වෙන්නකෝ’ වගේ විරහ ගීත වෙන්නැති කියන්නේ.
මට හිතෙන්නේ දැන් නම් සක්වා ලිහිණි සෑහෙන අමාරුවක
වැටිලයි ඉන්නවා ඇත්තේ. දැන් ඉන්න තරමක් තරුණ ගායකයො කොච්චරවත් අඬාගත්ත ගමන්; හොටු
පෙර-පෙරා කියන්නෙම විරහ ගීතනේ. තෝරාගන්න බැරි තරම් තියෙන ‘අඳෝනාවන් කන්දරාව’ නිසා
උන් සින්දු කීම අතෑරලාද දන්නෙත් නැහැ!
ඒ කාලේ දැන් තරම් ගායකයන් හිටියේ නැත. නළු-නිළියන්
හිටියෙත් නැත. ලස්සන; හුරුබුහුටි; කඩවසම් තරුණ-තරුණියන් හිටියත් ‘කලා ලොවට’ එන්නට
උනන්දු වුණේත් නැත.
‘කලාකාරයෝ හිඟන්නෝ’ කියලා තිබුණු කතාව විශ්වාස කළ නිසා
වෙන්නැතිය.
ඉතින් අපේ නාට්‍යවලට ගන්නටත් ගැහැනු ළමුන් හිටියේ නැත. නොහිටියාමත්
නොවේ; හිටියෝය. හිටියාට රඟපෑම බැරි නම්? එහෙම අහේනියක ඉඳිද්දී තමා සිරි අයියා නීලා
අක්කාව කැන්දන් ආවේ. ඇවිත් ටික දවසකින්ම පෙනුණේ ඒ දෙන්නා ‘කැලෑහඳේ ජයපාලට මාලිනී
වගේ, අතුලට රෝහිණී වගේ, දුෂ්මන්තට සකුන්තලා වගේ’ එකිනෙකාටම උපන් ජෝඩුවක් බව.
හින්දි සිනමා අම්බරයේ විරහ ප්‍රේමවන්තයා වගේ........... |
කරුමය වුණේ උන් දෙන්නාගේ නිමක් නැති ‘ප්‍රණය කළහ’ය. (විස්තර
ඕනේ නම් තරහ නැතිව වැරැදි බෝනස් එක 11 පෝස්ටුව බලන්න.)
හැබැයි ඒවා දිගින්-දිගට ගියේ නැත. ඉක්මනින් සංසිඳුණාත්
එක්කය. ආයේ මොකටද පස්සේ කියන්න ඉතිරි කරගන්නේ. අවුරුද්දකට විතර පස්සේ එයාලගෙ රණ්ඩු
එයාලටම ඇතිවෙලාදෝ ‘ස්ථීර ප්‍රේමය’ බිඳී ගියේය. ඒකෙන් වුණේ ගීත රචිකාවෙකු හා නිළියෙකු
මිහිඳු ළමා කලා කවයට නැතිව ගිය එකය.
මාස කීපයකට විතරක් සිරි අයියාවත් නැතිව ගියේය. එහෙම වුණේ
එයා අද්‍යතන ප්‍රේමවන්තයන් වගේ කෙල්ලගෙන් පළිගන්නට ගිය නිසා නොවේ. විරහ වේදනාවෙන්
දැවෙමින් උන්නු බව ‘ලෙසටම’ පෙන්වන්නට යමින් ‘රැඟූ’ නිසාය.
හින්දි සිනමාවේ විරහ ප්‍රේමවන්තයා දිලිප් කුමාර් වගේ
රැඟූ නිසාය;
දිලිප් රඟපෑවේ චිත්‍රපටවලය. සිරි අයියා රැඟුවේ මහරගම පාරක්-පාරක්
ගානේය. නිකම්මත් නොවේ. නීලා අක්කා සිරීට ලියලා තිබුණු ‘සෙනෙහෙ කොළ’ මිටි දෙක
තුනක්ම ඔළුව උඩින් තියාගෙනය. නහයෙන් අඬමින්; හඳුනන හැමෝටම ඒවා කියවන්නට දෙමින්ය!
(සිරිගේ ෆුල් සීරියල් පෙම් කතා තව ඉස්සරහටය!)
අපේ කවුරු-කවුරුනුත් තාත්තාගේ කේන්තියට බය අයයි. මොකට
එච්චර බය වුණාද? තාත්තා සද්දන්ත ඇඟක් තිබ්බ කෙනෙකුත් නොවෙනකොට. හැබැයි අයෝමය
එඩිතරකමක් නම් තිබුණේය. සමහර තැනදී ඕනෑවටත් වඩා, මෝඩකමුත් එක්කම.
මගේ එක ගොන්කමක් නම්.............. |
ඒවා ඒ හැටියටම
තාත්තාගෙන් ලොකු පුතාටත් ඇවිත්ය!
මගේ එක මෝඩකමක් නම් හිතෙන දේවල්; හැඟීම් සේරම හංගාගෙන
නොඉඳීමය. වැඩියත්ම අපේ තාත්තාගේ බල කිරීම හින්දා අබරන් මාස්ටර්ලගේ ගෙදරට ගියාමත් ඒ
මෝඩකම එළියට පැන්නේය.
එහාට කෙරුණු ඒ අභිනිෂ්ක්‍රමණය කොච්චර එපා කරපු එකක් වුණාද කියනවා නම්
ඒ ගැන ඡායා මාත්තරයක්වත්; එකම එක ෆොටෝජෙනික් සලකුණක්වත් මගේ මතක සංචිතයේ ඇත්තේ
නැත. මිනිස් හිත එහෙමද? සමහර අප්‍රසන්න දේවල් මතකයෙන් ඩිලීට් කරනවා වගෙය.
මරන්නට ගෙනියන හරකෙකු වගේ මාස්ටර්ගේ ගෙදරට ගියා මදිවාට,
ගිය දවසේ මුළු රැය පුරාම හරිහමන් නින්දක් ලබන්නට බැරිවීම නම් මට හොඳට මතකය! ඒ
කාලයේ විතරක් නොවේ, දැනුත් ‘නිදි’ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කුම්භකර්ණයෙකි. ඒ
නිසාය එදා රෑ අතිබියකරු රැයක් වුණේ!
මාස්ටර් හැරුණු විට එහෙ තව තුන් දෙනක් හිටියෝය.
පිටුපස පේළියේ තුන්වැන්නී සිමෝනා අඳින්නේ රෙද්ද සහ හැට්ටයයි. පස්වැන්නී ඩොල්පිනා අඳින්නේත් පලාපු ගවුමක් නොවේ! |
ඇන්ටි; මාස්ටර්ගේ බිරින්දෑ පළමුවෙනියාය. ඒ කාලේ පැටන් එකට ඇය දවස තිස්සෙම ඇඳගෙන හිටියේ ඉස්සරහින් පැලූ කිමෝනාවකි.
ටිකාආආආආක් ඉන්න, තරහ නැතිව. කැමිලස් පෙරේරාගේ ‘සිමෝනා’ ඇඳගෙන හිටියෙත් කිමෝනාවක්ද කොහෙදය. (ඉතින් සේරම නවත්තලා ඒක හොයාගෙන ඉන්න ඕනෑය. හිත හරියන්නේ එතකොටය.)
අප්පට සිරි! වැරැදිලාය; මට වැරැදිලානෙ! සිමෝනා අඳින්නේ
රෙද්ද හැට්ටයයි. එතකොට......
තව හෙව්වෙමි. එම්.ඩී. වීරරත්නගේ ‘මරිසිපාල’ එකේ
අම්මණ්ඩිත් අඳින්නේ ඉස්සරහින් පැලූ ගවුමක් නොවේ. තව.... ම්හු! බලාගෙන යද්දී කාටූන්කාරයන්
සේරම එක වල්ලේය. එයාලා කාටූනයේ ස්තිරියාවන්ට අන්දන ගවුම ඇඟට දාගන්න විදිය හිතාගන්නත් බැරිය....?
එතකොටමය තව එකක් මතක් වුණේ. මේ අන්තිම තුරුම්පුවයි. ඒකත්
හරි ගියේ නැතිනම් මේ බම්බුව නම් ආයෙ හොයන්නෙ නැහැ-නැහැ-නැහැමයි! සත්තයි සහතිකයි.
හිතවත් අංජන ඉන්ද්‍රජිත් ‘ඉරිදා ලක්බිමේ’ රිද්ම අතිරේකයට
අඳින එක.....
පත්තරය පෙරළුවෙමි. මේ තියෙන්නේ බඩු!
ඉතින් අබරන් මාස්ටර්ගේ ඇඹණියන්දෑත් අද අඳින කිමෝනාවම............... |
ඉතින් අබරන් මාස්ටර්ගේ බිරින්දෑ; ඇන්ටි දවස තිස්සේ ඇඳගෙන
ඉන්නා කිමෝනාව පිටින්ම රෑටත් නිඳාගනියි, පහුවදාටත් ඒකමය. අරහේ රිදෙනවා- මෙහේ
රිදෙනවා කියමින් දවස තිස්සෙම වයිවාරන්න තෙල් ජාතිත් ඇඟ පුරා උලන නිසා තෙලුත්- ඒවායේ ගඳත්
ගවුමේය.
අනේ, ඒ මනුස්ස දෝණිගෙ වියපත් ආඝ්‍රාණ ඉන්ද්‍රියත්
ඉක්මනටම වයසට ගිහින්ය. ඉතින් එයාට නොතේරුණාට මට නම් ........ ඒ ගඳ මතක් වෙන විටත්
අජූවය. ඒ මගේ නහයේ වැරැද්දද මංදා. (හයටත් කලින් 3 පෝස්ටුවෙදී ‘පර්ෆියුම්’ චිත්‍රපටය
ගැනත්, මට ඕනෑවටත් වැඩියෙන් ගඳ-සුවඳ දැනෙන විදියත් කිව්වා මතකයිනේ!)
ගෙදර හිටි දෙවැන්නා G ය. එයා මාස්ටර්ගේ පුතාය. මෙච්චර
කාලයකට මං දැකලා තියෙන හොඳම සටහන් තබන්නා ඔහුය. සටහන් තිබ්බේ කොටුරූල් පොතකය.
ඒ
සේරම දවසේ අය සහ වැයය. “අයියා අන්තිම කුණා. රංජි මල්ලි දන්නවද, සත පහකට අඹ ගෙඩියක්
කෑවත් ඒකත් ලියනවා..... මේං බලන්නකෝ!” ඒ ගෙදර තෙවැන්නිය S පස්සේ දවසක G ගෙ සටහන්
පොත හොරෙන්ම මට පෙන්නුවාය.
“එයා මෙතැන නැන්දලටත් වැඩිය ඉදිමෙන්න හදනවා. බකයා. ඔයා
දන්නවද? එයාත් මං වගේම තමයි. හදාගන්න ගත්ත කොල්ලෙක්, පුතාය කිව්වට!” S මා එක්ක කිව්වේ
ඒ සුමානය ගෙවෙන්නත් කලින්මය.
ගමේ වරිච්චි ගෙයක් වුණත් ඊට වඩා ඉඩකඩ ඇති, එළිය, හුළං වදින.............. |
කලිනුත් කිව්වෙමි. ඒ ගෙදර පියස්ස පහතය.
ගමේ ගෙයක් වුණත් ඊට වඩා ඉඩකඩය; එළියය; හුළං වදිනවාය. මේ
ඉලව්වේ ජනෙල් කියා දෙයක් නැතිම තරම්ය. අඳුරුය; වාතාශ්‍රය අඩු නිසා පුස් ගඳය.
පළමුවෙනි දවසෙම මට තිත්ත වුණි.
“හරිම ෂෝක් රංජි මල්ලී. ඔයා දිගටම මෙහෙ ඉන්නවා නේද? මටත්
පාලු නැහැ. කොහෙද, මෙහෙ ඉන්න තුන් දෙනාම ගොළුවොනේ. තිස්සෙම කටේ පිට්ටු හිර කරන් ඉන්නේ.”
එදා පළමු පැය ගතවෙන්නටත් කලින්ම S මට කෙඳිරුවාය.
ඇගේ දෙමවුපියන් නැතිද? එයා එහෙම
අසරණවී ඉන්නේ ඇයි? එදා මට ඒවා ගැන නිනව්වක් නොවිණි. මට තේරුණේ මගේ ජීවිතය එකම
අපායක් වෙන්නට යන බවයි!
ටිකාක් හරි මගේ හිතට ඇල්ලුවේ S විතරමය. ඇගේ අහිංසක
හිනාවය; ඔව්, ඒ ගෙදර තිබුණු එකම ‘ඉනාව’ S අක්කගේ දයාව හා හිනාව විතරය.
ඒ අඳුරු ගුහාවේ තිබුණු එකම එක ඉනා බෙහෙත........... |
එහෙම ඉනාවක් තිබ්බත්, ඒ නරකාදී අපායේ යමපල්ලන් රංචු
පිටින් පොර වැදෙමින් මගේ නින්ද නැති කළේ එදා රාත්තිරියේ පැදුරට වැටෙනවාත් එක්කමය.
මගේ අම්මෝ! එහෙම මකුණෝ කන්දරාවක්!! ඈතක තබා තිබුණු කුප්පි ලාම්පුවේ එළියෙන් වුණත්
මට උන් ‘පේළි-පේළි-පේළි සැදී’ දිවගෙන එන හැටි පෙනිණි.
පහුවදා සෝදිසි කරද්දීය නිවැරැදිම විපත්තිය තේරුම් ගියේ.
ඒ ගෙය පරණය. බිත්ති හැමතැනම කඩතොලු වෙලාය. ඒ හැම
කඩතොල්ලකම මකුණු කොලනිය. ඒ ගෙදරදී නම් කවදාවත් සැප නින්දක් ලබනවා බොරුය.
යකෝ, මේ මකුණෝ මේ ගෙදර ඉන්නා එවුන්ගෙ රීරි බොන්නේ නැද්ද? මේකලාට මොකුත්ම දැනෙන්නේ
නැතිද? (ඉස්සර පිචර් හෝල්වල පුටුවලත් මකුණන් පිරිලාය. දැන් උන් ඉන්නේ එහෙමත් තැනක විතරය.)
ලොව ඇති එකම ඛේදවාචකය දුප්පත්කම නොවෙන බව මට තේරුම් ගියේ
එහිදීය.
පේළි පේළි පේළි සැදී උන් දිව එනවා.............. |
තනිවෙන්නට වීම කොච්චර දුකක්ද?
විශේෂයෙන්ම පිරිසක් මැදදී? S අක්කාට සිද්ධවී තිබ්බේ ඒ කරුමයයි. S දුකෙන් හිටියේ
ඇයට හිතවත් කිසිම කිසිවකු ඒ ඉලව් ගෙදර සිටියේ නැති බැවිනි. ඒ නිසාමය පළමුවෙනි දවසේ
පටන්ම මා ඇයගේ හිතවතෙකු ලෙස බාරගත්තේ.
ඇත්තම කිව්වොත් මට නම් ඇයව පෙනුණේ අසරණ මෝඩ ගහක්
විදියටය. තකතීරු නිවට කෙල්ලෙක් විදිහටය.
මොකට එහෙම නිවට වෙනවද? ගෙදරින් පැනලා
යන්නවත් බැරිද චිත්‍රපටවල වගේ........... ඒ කාලේ මගේ දැනුමේ වපසරිය එහෙමය!
ඒ ගෙදර වැඩ කන්දරාවම පැටවෙලා තිබුණේ S අක්කාගේ කරපිටය. ඇන්ටි
ඉඳහිට ගෙය අතුගෑම විතරක් කළාය.
ඒ හැරුණාම ඇය කළේ තොරතෝංචියක් නැතිව S අක්කාට
කෙණෙහිලිකම් කිරීමයි. වෙලාවක හොඳටම බැණුම් අහන S අක්කා, ඊළඟට ටොකු කයි; නැතිනම්
ගුටි කයි. තිස්සෙම කෙරුණේ කෙනිත්තිල්ලයි.
මාස්ටර්ගේ ඇඹණියන්දෑ ගැහුවත්, ටොකු
ඇන්නත්, කොනිති ගැහුවත් S කළේ චුට්ට වෙලාවක් හඬමින් ඉඳීම විතරය. ටිකකින් ඒ සේරම
නොවුණා වගෙය. ඇයට තිබුණේ එකම සිහිනයකි.
ඒ එදා මගේ දැනුමේ වපසරියයි! |
“අනේ රංජි මල්ලී. මේ ගෙදර එවුන්ට හොරෙන් ඔයා මට ලොකුම
ලොකු උදව්වක් කරන්න ඕනේ. මං සල්ලි දෙන්නම්. ඔයා මට බෙහෙත් කඩෙන් හොඳ ඔලිව් තෙල්
බෝතලයක් ගෙනත් දෙන්න ඕනේ. පුළුවන් නේද මල්ලී.” දෙවෙනි දවසෙම S අක්කා මාව රහසකට
හවුල් කර ගත්තාය.
“ඔලිව් තෙල් මොකටද අක්කේ?”
“මේ බලන්නකෝ රංජි මල්ලී.” S අක්කා විදහා පෑවේ බලු නකුටක්
තරම්වත් නැති ඇගේ කෙහෙවැටියයි. ඇත්තමය. බලුනගුට මල් නටුවක් වුණත් ඊට වැඩියෙන්
මහතයි වගෙය! “හොඳ ඔලිව් තෙල් ටිකක් රත් කරලා හැමදාම ගානවා නම් කොණ්ඩේ වැවෙනවලු.”
ඇය කීවේ හොඳ විශ්වාසයකිනි.
“ඉතින් ඔයාටම ගිහින් ගන්න බැරියැ. බෙහෙත් බඩු කඩ කීයක්
තියෙනවද හන්දියේම?”
“යන්නම දෙයි. නැන්දා එක්ක මිසක් කොහෙවත් යැවිලි බොරු.
එයා අවුරුද්දට සැරයක්වත් ගෙයින් එළියට බහිනවද? අර අල්ලපු ගෙදර අය එක්ක විතරයි
නාන්නවත් යන්න දෙන්නේ!”
බලුනගුට මල් දණ්ඩක් තරම්වත් දැනෙන - පෙනෙන තරම් එකක්.............. |
අප නාන්නට ගියේ කුරුන්දේ තිබුණු නාන ළිඳකටය! කුරුන්දය
කිව්වේ තඩි කුරුඳු කැලයකටය!! ඒ ගෙදර තිබුණු ළිඳ ගැඹුරුය. ඒකෙන් ඇදගෙන නානවාට වඩා
කුරුන්දේ ළිඳට යන එක ලෙහෙසිය; විනෝදය.
අප්පෝ ඔය පොඩි කාලේ වෙන ගෙවල්වල ගිහින් ඉන්නවා කියන එක මල ඇණයක් ... දැනුත් එහෙම තමා
ReplyDeleteපොඩි කාලේ නෙවෙයි දැන් වුණත් මට නම් නංගිලා-මල්ලිලා ගෙදරක ගිහින් වුණත් දවස්ක් හිටියත් දෙකක් ඉන්න බැහැනෙ ලක්මාල් මං හිතන්නේ අහිගුණ්ටික නැකතක උපන් හින්දා වෙන්නැති.
Deleteතාම ඔලුව කැරකෙනව කිමෝනා ගඳට
ReplyDeleteඩ්රැකී. පොල් පටවපු බස්වල යන්නෙම නැහැ වගෙයි!
Deleteඅපොයි නෑ. එක්කො බයික් එකේ. නැත්තං ට්‍රේන් එකේ...
Deleteමම කිව්වෙ නිදිගෙ ලියවිල්ලෙ සැරට අර ගඳ දැනුනා වගේ උනා කියල.
ඒක මිසක්! ප්‍රශංසාවට ස්තුතියි!!
Deletehttps://www.woodlandtrust.org.uk/naturedetectives/blogs/nature-detectives-blog/2019/02/which-birds-mate-for-life/
ReplyDeleteහා යමු...
ReplyDeleteයමු කිව්වේ ඊළඟ පෝස්ටුවටද කසුන්, නැත්තං කුරුන්දේ ළිඳටද?
ReplyDelete//සක්වා ලිහිණි කියන්නේ කවි සමයේ හම්බවෙන
ReplyDeleteඉන්ටරෙස්ටින් හින්ද ටිකක් හෙව්වා නිදි,
රාමායනය සහ සස දා විවරණයට අනුවනං සක්වා ලිහිණි කියන්නේ චක්‍රවාක හෙවත් ruddy shelduck (Tadorna ferruginea)
ස්තුතියි සිරිබිරිස් උන්නැහේ. මඟ හැරුණු පෝස්ට් ටික කියවාගෙන එනවට ගොඩක් ස්තුතියි. Pra Jay කියපු ඔත්තුවකින් ස්වැලෝ බර්ඩ් හොයාගෙන ගියා වගේ, 'රඩි ශේල්ඩක්' ඉන්න දිහාටත් ගිහින් විපරම් කරන්නං.
ReplyDeleteඒ ගෙදර මහ මාරාලයක් වගේ :)
ReplyDeleteමට අදත් හිතෙන්නේ පෙරේත පාදයක තිබුණු එකක් වෙන්නැති.
Delete