අකුරු මැකී නෑ

Thursday, March 21, 2019

යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස

“අන්න නිදි බොස් ඌරු සංහාරය, ගව සංහාරය, වීදුරු සංහාරය වගේ සීරීස් එකක් ලියන්න ප්ලෑන් කරලලු තියෙන්නේ. දැන් නම් ඉඳල ඉවරයි කමියෝ.”


කැලුම් හා ප්‍රදීප් සහෘදයන් දෙන්නාත් බ්ලොගර්ස් ඊව් එකේදී .........
අසංග රණසිංහ ආරච්චිට පිහි පහරවල් හතරක්ද කොහෙද ඇනලාය. එකක් පෙණහැල්ලක් කිට්ටුවටම ගිහින්ය කියලා අසංග අපට ඇලපිල්ලක්-ඉස්පිල්ලක් නෑර විස්තර කළේ එයාලගෙ ගෙදරදිමය. සාදය තෙක්ම අසංගව බලන්නට යා නොහැකිව හිටි මාවත් කාර්වල පටවාගෙන එහි ගිය ප්‍රදීප් ජයතුංගටත්, ප්‍රගීත්ටත් පින් සිදු වෙන්නට ඕනෑය! ස්තුතියි ප්‍රදීප්, ස්තුතියි ප්‍රගීත්! 

ඒ දෙන්නාත් මාර්තු 3 ඉරිදා උදේ, මා සමඟ අසංගගේ ‘ෆුල් සීරියල්’ ඒකාංගික රංගනය නැරඹූ රසිකයන්ය.

අපේ කතාවට නව නළු රසයෙන් රස තුනක්ම; රෞද්‍ර- වීර- භයානක රසයන් එකතු වුණේ මේ ‘පිහි ඇනුම’ නිසාය. හැබැයි තව ඩිංගෙන්, අර කමෙන්ටුවේ කියලා තිබුණු ඒවා විතරක් නොවේ, ‘බඩෝවිට චණ්ඩියෙකුගේ අමානුෂික සංහාරය’ වගේ පෝස්ටුවකුත් ලියවෙන්නට ඉඩ තිබිණි.

මේවා අප කාට-කාටත් පාඩමක් කියාදෙයි. අතිශයින් දියුණු අවදියක වුණත් මනුස්ස ජීවිතයක වටනාකම තුට්ටු දෙකට බැස ඇති හැටි පෙන්වයි. අර මනුස්සයා රණ්ඩුවට පැටලී ඇත්තේ ‘රුපියල් සීයක්’ ප්‍රස්තුත කරගෙනය!

හැබැයි පිහි ඇනුම් කාලා, ඉස්පිරිතාල ඇඳක් උඩ දපා තියා තිබ්බත් අපේ පුතයා count down එක- අවරෝහණ ගණනය නම් නැවැත්තුවේ නැත! එහෙන්-මෙහෙන් කටු ගසා තියෙද්දිත් උන්නැහේ චැට් ග්රූප් එකේ ස්වේච්ඡා සේවයට කටුව ගැහුවේ නැත. ‘තව දවස් හයයි... පහයි... හතරයි’ පණිවිඩ උදේම දකින්නට තිබිණි.

පිහි ඇනුම් කාලාත් අසංග එයාගේ ජොබ් එක නොකර හිටියේ...........
‘කාලක් ගැහුවොත් කාලකන්නියෙක් වෙනවා - බාගයක් ගැහුවොත් භාග්‍යවන්තයෙක් වෙනවා - බෝතලයක් ගැහුවොත් බෝධිසත්වයෙක් වෙනවා කියලා අපේ මිය පරලොව ගිය පප්පාත් කියලා තිබුණා’ය කියමින් උන් මනුස්සයාගේ හිතේ පාටිය ගැන තිබුණු උනන්දුව තරමේ උනන්දුවක් ඒ කාලේ කුමාර් ධර්මසේන ළඟවත් තියෙන්නට නැතිව ඇතිය.

ආ..... මාත් එහෙම උනන්දුවකින් කට මැදගෙන උන්නු කාරණයකුත් කියන්නේ අහිතකින් නොවේ! මගේ කෑදරකම; මජරකම හින්දාය. 

සමහර වෙලාවට මාත් බොන අයගේ ‘අසීමාන්තික පරිභෝජනය’ ගැන ‘විවේචනාත්මක දෘෂ්ටියකින් යුතුව’ බලනවාය; හිත පාලනය කර ගන්නට බැරිකම ගැන ‘ධර්ම දේශනා’ පවත්වනවාය. හැබැයි මගේත් ‘චිත්ත සමාධානය’ නැතිව ගිහින් බලන් හිටියේ ‘වරකා’ ගෙනෙන තුරුය. විශේෂයන් කියලා තිබුණු නිසා මං මඟ බලන් හිටියේ ‘හඟුරන්කෙත පැණි වරකා ගහේ’ වරකා වගේ පැණි බේරෙන වරකා ගෙනෙන තුරුය.

මං ඉස්සරත් ඔහොමය. වරකා, බැදපු වල්දෙල් ඇට දෙජාතියටම හරිම පෙරේතය. 

ඒත් මගේ පුරුද්දක් නිසා මට හැමදාම වගේ කෙළවුණාත් එක්කය. ඒ දවස්වල වරකා විකුණන්නේ නැත. කොස්, පොළොස්, වැල, වරකා සේරම කාගෙ වත්තක තිබ්බත් ඉල්ලු ගමන් ලැබෙයි! (අජාසත්ත 2 පෝස්ටුවේ සමරේත් විමලෙත් අමු හෙළුවෙන්,‘ගෝරා අවුර් කාළා’ වගේ හඳපානේ හොරපොල් කැඩුව හැටි ලිව්වේ, කොස් නිකං දුන්නත් පොල් පිනට දුන්නේ නැති බැවිනි!)   

ගම්මිරිස් ඇට ටිකකුයි, දියලුණු කැට ටිකකුයි එක්ක වරකා මදුලුත්........
වරකා කද්දී මං ඉස්සෙල්ලාම කරන්නේ මදුලු ගලවා ඉරි ඉවත් කිරීමය. ඊළඟට ඒවා දෙකට පලා කොස්ඇට ටිකත් අයින් කළ යුතුය. දැන් වැඩේ ලස්සනය, ලකයක් තියෙනවාය. අතේ ගෑවී තියෙන කොහොල්ලෑ අයින් කරලා, අතුත් හෝදාගෙනය; මං පැත්තකින් වාඩිවෙන්නේ. ඒකත් ගම්මිරිස් ඇට ටිකක්, ලුණුකැට කිහිපයක් එක්කය. 

හුඟ දවසට මං ඔහොම සූදානම් වෙද්දී නංගිලා-මල්ලිලා උන්ගේ පංගුව කාලා මාවත් කන්න බලාගෙන ඉඳිති!    

අනේ, මෙදා පොටේ එහෙම කරන්නට වුණේ නැත. වරකා පොරොන්දුව ‘කඩවුණු පොරොන්දුව’ක් වුණේය! ඔච්චර පිරිසක් එකට එකතු වෙලාත් එකෙක්වත් ඒ ගැන ඇහුවෙත් නැත. ‘කමි’ට විතරක් ඒ වග මතක් වෙලා තිබුණේ එයාගේ ‘වර්ෂන්’ එක ලියද්දීය.

මේවා මෙහෙම අමතක කරන්න බැරි මගේ මතකය හොඳ නිසාද? මේ පෝස්ටු මාලාවේ දෙවැන්නට තිළිණ කමෙන්ටුවක් දමමින් හිතවත් තිළිණ ප්‍රියසාද් කියා තිබුණෙත් ‘නිමල් අයියගෙ මතකය ගොඩක් hondai නෙ’ කියලාය. 

ඒ ගමන්ම තිළිණ කියා තිබුණේ එයාට හම්බ වුණේ අන්තිම ‘පූරිය’ බවයි.

අතුල තිලක්, කමි, මාධව, නෙවිල්, ගවීන්, ප්‍රසන්න, අතුල, ලක්මාල්, කැලුම්, නයනජිත්, අතුල අබේරත්න අයියා හා තිළිණ...
අයියෝ, දුකේ බැරිය. මේසයට තිබ්බේ බැදපු පූරි ටික විතරය. බැදලා ගත්තේ ටිකකි.

‘එච්චර කැවෙන එකක් නැහැ’ කියලා ගොඩක් අය කියූ නිසා ටිකක් බැද්දත් special half cooked පූරි ගොඩක්ම ඉතිරිත් වෙලා තිබුණේය. (හැබැයි එහෙම ජාතියක් අන්තර් ජාලයෙවත් නැතිවාට සැකයක් නැත. එය නිදි නිෂ්පාදනයකි.) පිටිකෑම නොකන කෙනෙක් හිටියොත් කියන සැකේටය බත් ටිකකුත් උයලා තිබුණේ.

“ඕක දීසියකට දාන්න එපා. සාස්පාන පිටින්ම තියමු! කවුරුවත් කයිද මන්දා.” උදව්කාරයෙක් සාස්පාන පිටින්ම බත් එක මේසයට ගෙනිච්චේය.  කෑම මේසේ උඩ සාස්පාන පිටින්ම බත් තියෙන ෆොටෝ එක දැක්කාම ලජ්ජාවේ පණ යයි!
    
එවෙලේ ගොඩ දෙනා ‘අද මෙච්චර දේවල් තනියම කළේ කොහොමද?’ කියලා මවිත වෙද්දී මං මොකුත් කිව්වේ නැත. එහෙම කිව්වා නම් එවෙලෙම ‘ක්‍රිමිරාජ කරල් ගුළි’ හොයන්න වෙනවාය. 

මගේ කෑමවල සුලමුල ඇහුවාම සමහරුන්ට බඩේ අජීරණය හැදෙන්නට පුළුවන් නිසාය; එදාම මේවා නොකිව්වේ. වංහුං නොදැන කෑවාම නම් මොකුත් වෙන්නේ නැති බව අත් දුටුවයි; සත්තයිය.

නිල්ගල නදියක් අසබඩ කෑම්පින් කළ  දවසෙත් ..............
මුලින්ම ගෙදරදී පූරි හැදූ දවසෙත්, යාල කුඹුක්කන් ඔයබඩ කඳවුරු බිමකදීත්, නිල්ගල නදියක් අසබඩ කඳවුරු ලාගත් දවසේදීත් විතරය මං එවෙලෙම පිටි අනා, පූරි බැද්දේ! මේ දක්වා විසිතිස් වතාවක් පූරි හදා ඇතත් ඒවා හැදුවේ pre cooked විදියටමය. ඔන්න ගුරු මුෂ්ටි නැතිවම එයින් එකත් කියලා දාන්නටය; මේ සූදානම.

“මාතියා, පාන්පිටි කිලෝ එක හොඳට අලලා අරන්, ලොක්කු සාස්පානකට තමා දාගන්නවා! යේක ගේව පොල් ගෙඩිය තමා යේකටම දානවා. තව මාගරින් හැඳි දෙක්ක-තුනයි ලුණුකුඩු ටික්කයි දාලා කවලම් තමා කරනවා! බිත්තරත් තුනයි-හත්තරයි දානවා.” පූනගල කුස්සි කාමරයේදී කෝකි අප්පු පියවරෙන් පියවර කරන ගමන් කිව්වේය. 
“.... ඒම කරලා හොන්ද උණු වත්තුරෙන් තමා අනනවා!”

පූරිවලට පිටි අනන්නේ උතුරණ වතුරෙනි. දියාරු නොවෙන්නට; රොටි පදමට වඩා ටිකක් තදට හිටින්නට මෝලිය හදා ගත්තාම හරිය. පිටි මෝලිය හොඳින් අත්ගසා, ඊළඟට පැයක් හමාරක් ඒක පිපෙන්නට තිබ්බොත් වඩා හොඳය.

වෙජිටෙරියන්ස්ලා එන දවසට මා බිත්තර දාන්නේ නැත. (අනෙක් දවස්වලටත් එහෙමමය. ඒ මා කිකිළියක නොවන නිසාය.) මා අදහස් කළේ පූරිවලට පිටි අනද්දී එයට බිත්තර මිශ්‍ර කිරීම ගැනය. ආආආආ.... තව එකක්. දැන් මේ රෙසිපිය මට උවමනා හැටියට මොඩිෆයි කරගෙන තිබේ. පිටි අනද්දී සූදුරු ඇට තේ හැන්දක්-හමාරක් ඒකට දාන්නේ ඒ නිසාය. ඕවා නම් කුකරි  රහස්, හොඳේ!.
එකම ප්ලේන් තොසේ මිශ්‍රණයට රතුළුණු ටිකක් කපලා දැම්මාම...............
ලොකු-ලොකු නම් දරාපු තැන්වල කෙරෙන්නේත් මෙහෙමය. එකම plain තෝසේ මිශ්‍රණයට රතුළූණු ටිකක් කපලා දැම්මාම Red Onion Thosai ය. කංකුන් ටිකක් කපා කවලම් කළාම Keera Thosai ය. අමුමිරිස් කරල් දෙකතුනක කෑලිත් එක්ක හැදුවාම Green Chilly Thosai වෙයි. කොහොමද වෙනස?
ඉතින් පූරි හදද්දීත් බී ළූණු, කරපිංචා, කතුරුමුරුංගා - අසමෝදගම් කොළ වගේ එක-එක ජාති එක්ක අත්හදලා බලන්නකෝ! මං එහෙමය. 
ඒත් ඊට කලින් නිකම්ම පූරි හදලා ඉඳිමුකෝ! අර අනාගත් පිටි මෝලිය තියෙනවනේ. ඒකෙන් ලොකු දෙහි ගෙඩි විතර ගුලි හදාගෙන පාන්පිටි තවරමින් තුනී කරගන්න. පපඩම් වගේ තුනීවටමත් නොවේ. රොටි තරම් ගනකමටත් නොවේ. වැරැදුණා. ඔබතුමන්ලාට කැමැති විදියකට............. ඊළඟට ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්නා එකය. (ළා කහපාට වෙනතුරු විතරක් බැදගත්තොත් මෘදුය! සමහරු කැමැති ඒ විදියටය.)
කවුරු හරි එන දවසටම ඔය සුමේ කරන්නට මට වෙලාවක් නැත. එක දිගට වෙහෙසෙන්නට බැරි නිසා; විදිහකුත් නැත.
මෙදා සැරෙත් මං පූරි හැදුවේ තුන් දවසකට ඉස්සෙල්ලාය! පූරි තුනී කරගත්තාට පස්සේ නන්ස්ටික් සාස්පානක ඒවා යාන්තමට පුච්චා ගත්තාම හරිය. එතකොට ඒවා එකට ඇලෙන්නේ නැත. එහෙම පුච්චාගෙන ඒවා ශීතකරණයේ මාසයක් - හමාරක් වුණත් තියාගන්නට පුළුවන්ය. හමුදාවක් හටනට ලැහැස්තිවී සීරුවෙන් ඉන්නවා වගෙය. ඕනෑ වෙලාවට බැටේ දෙයි. පූරි බැදගන්න එකත් ඒ වගේමය.

සූදානමින් ඉන්නා අසරු හමුදාවක් වගේ............
තෙල් කෑම හොඳටම අගුණ නම් මේවා රොටි වගේ කබලේ බැදගන්නත් පුළුවන්ය. 

හැබැයි බාගෙට පිසගත් පූරි තියන්නේ ෆ්‍රිජ් එකේ පහත තට්ටුවේ නොවේ. උඩ කොටසේය. පාවිච්චියට ගන්නට පැය හතර-පහකට කලින් ෆ්‍රිජ් එකෙන් එළියට අරන් සාමාන්‍ය උණුසුමට එන්න තිබ්බාම ‘පට-පට ගාලා’ බැදගැනීම ටොයිස් වැඩකි! කුකරි පාඩම අහවර නිසා දැන් ‘පූරි පුරාණයේ’ තව කොටසක් කියන්නට කල් හරිය!

මේ අපි පළමුවරට කැබිලිත්තේ නොහොත් සියඹලාවේ දේවාලයට ගිය ගමනයි. කතරගම දෙවියන් වැඩ හිඳින්නේ කැබිලිත්තේය කියලාය, බොහෝ බැතිමතුන් අදහන්නේ.

“නිමල් අයියේ, කෑම ලැයිස්තුව හදද්දී මස්, මාළු, කරවල, සැමන් තියා උම්බලකඩවත් ගන්න එපා. ෆුල් වෙජිටෙරියන් ඩයට් එකක් ගනිමු, දවස් හතරේම. හැබැයි දැන්ම කාටවත් ඕව කියන්න යන්න එපා. යනකල් විතරක් පේවෙන්න කියලයි මං කියලා තියෙන්නේ.” දොස්තර අයස්මන්ත මහත්තයා කලින්ම මට  කිව්වේය. 

අපි දෙන්නාම මාසයක්ද කොහෙද පේවුණු බවත් මට මතකය. එදා සැරෙත් තිහකට කිට්ටු ගණනක් ගමනට ඇවිත් හිටියෝය.

දවස් හතරේම ෆුලි වෙජිටේරියන් කෑම විතරයි!
සුපුරුදු විදියටම කඳවුරු බිම් තුනක් වෙන් කරගෙන එකකට ගාල් වීමය අප කළේ. මට මතක හැටියට නම් ඒ යාල නුගගහ ආර කෑම්පින් සයිට් එක වෙන්නට ඕනෑය. 

එක රැයකට පූරි හදන්නටය මා සැලසුම් කළේ. නඩේ හිටි ගාය ඇති නාඹර කොල්ලන් තුන්-හතර දෙනෙක්ම එකතුවී පිටි මෝලිය හොඳින් අත් ගසා දුන්නේ කුතුහලයෙන් ප්‍රශ්න දාහක් අසමිනි. ඒ  දිහා හොඳ විපරමෙන් බලා උන්නේ අවට ගස්වල ලැගගෙන උන් රිලවුන්ය! උන්ගෙන් අපේ බෑග, කෑම පරෙස්සම් කරගත්තේ පුදුම කරදරයක්  විඳිමින් බවත් දැනට මතක තියාගමුකො, හොඳේ.

පාන්පිටි කිලෝ පහක පූරි හදන්නට ආවත් ඒවා තුනී කරගැනීමට ඕනෑ කරන දේවල් තිබුණේ නැත. “අයියෝ නිමල් අයියේ, ඔයා බය වෙන්න එපා. මං දෙන්නෙක්-තුන්දෙනෙක් අල්ලාගෙන ඒ වැඩේ කරන්නම්කො” ප්‍රීතිකා නංගි; පීරිස්ගේ ප්‍රියම්බිකාව කිව්වාය. 

වැඩේ පටන් ගත්තා විතරය. සූ ගාලා පිරිසක් උදව්වට ආවෝය. තිබුණු තරම් සාස්පාන් පියන්, ට්‍රේ එහෙමත් පූරි තුනී කෙරිල්ලට අරගෙනය.

පැය බාගයක් විතර යද්දී එකා-දෙන්නා හීන් සීරුවේ මාරු වෙලාය. පෝල් සම්බෝලයත්, මිශ්‍ර කරියත් හදලා මං පූරි බදින්නට ගත්තේ ‘උණුවෙන්ම කන්න එන්න’ කියලා නිවේදනයකුත් කරමිනි. විශ්වාස කරන්න, එක ගැටවරයෙකු පූරි පහළොවක් කාලාය. ඒ තව එක්කෙනෙකු එක්ක තරගෙටය.

 පවුල් පිටින් ගස් උඩටවී අපේ වැඩ දිහා බලා උන් රිලව්...........
කවුරුනුත් හොඳට සප්පායම් වෙද්දී අන්තිමට ප්‍රීතිකා නංගිත්, තව දෙන්නෙකුත් මාත් විතරය ‘පූරි’ කරුමාන්තයට ඉතිරිවී හිටියේ. හැබැයි හදපුවා ඉතිරිත් විණි! 
“නිමල් අයියා, ඔන්නොහෙ ඕවත් බැදලා තියමු අප්පා. උදේට හරි කට්ටිය කයිනේ.” ප්‍රීතිකා මට වැඩේ නවතන්නට නොදී කිව්වාය.

ඒත් පහුවදා පාතරාසයට කවුරුනුත් කෑවේ සීතලවී තිබුණු පූරි නොවේ. උදේ හැදූ නූඩ්ල්ස්ය. “නිමල් අයියා .... මේ ඉතිරි පූරි අරගොල්ලන්ට දාන්නද?” හක්ස්ලි ඇහුවේ ඒ අල්ල-පනල්ලේය. මොකට එපා කියන්නද. 
හේෂාන්, සසිඳු, චිරන්ත, ෂෙහාන් වගේ ගැටවරයනුත් එක්කාගෙන හක්ස්ලි ‘පූරි පූජාව’ කළේය! රිලවුනුත් පොරකමින් මේ අලුත් කෑම වර්ගය ඩැහැගත්හ.

නිරීක්ෂණය කළේ කවුද කියලා ප්‍රසිද්ධ නැත. ඒත් කියවුණු දේ හරිම ප්‍රසිද්ධය; පෙරාපු රත්තරන් වගේ ඇත්තය. ගමන නිමාවී අප ආපසු එනතුරුමත් එක රිලවෙකුවත් ආයේ ඒ කඳවුරු බිම පැත්ත-පලාතට ආවේ නැත. (කොච්චර හිතේ අමාරුවෙන් වුණත් ඒක ඇත්ත බව මමත් කියමි.) ඉතින් කට්ටිය ඉතා පහසුවෙන් නිගමනයකටත් එළඹුණාහ. 

‘නිදිගේ පූරි කෑවොත් යාල රිලවු කැලයත් අතහැරලා යති!”.

පූරි හින්දා ඔහොම නවනින්දාවකට පාත්‍රවී හිටි නිදිට ‘කමි’ එයාගේ පෝස්ටුවට දී තිබුණු මාතෘකාව දැක්කාම ඇතිවුණු සන්තෝසේ....... ‘සන්තෝසා අයිලන්ඩ්’ එකටත් වඩා ලොකු එකකි! ‘කමි’ ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!

මේ කතාව නම් පූරි ගැන වෙන්නට බැරිය. ඔරොප්පුවක්ද?
මේ ෆොටෝ එකේ ටීපෝව උඩ තියෙන කැන්ද කොළ පෙනෙනවාද? මගේ නිරීක්ෂණයට අනුව නම් පූරිවලටත් වැඩියෙන් කට්ටියට අල්ලලා ගියේ කැන්ද කොළවල තියලා ‘සර්ව්’ කළ ‘මඤ්ඤොක්කා’ බයිට් එකය. ඒකෙන් නම් එක කෑල්ලක්වත් ඉතිරි වුණේ නැත. ‘ඔට්ටමාවඩු’වල මහපාර අයිනේ ‘දුවනගිරියක තියාගෙන බයිට්-ටේස් විකුණන මුස්ලිම් හිතවතාණෙනි, ස්තුතියි- ගොඩක් ස්තුතියි’ ඒක මට ඉගැන්නුවාට.

එදා රාත්තිරියේම අපේ සගයන්ගෙන් තුන්දෙනෙක් කුස්සියටම ඇවිදින් ඒ විදියට මඤ්ඤොක්කා බදින හැටි මගෙන් අසාගත්හ!

............කොහොමද ඇහුවා...... පිස්සුද මෙයාලා. එක දවසේ  රෙසිපි දෙක තුනක් කියනවද? එතකොට අගයක් නැතිව යනවනේ! ඕනේ නම් එදා මෙනු එක කියන්නම්. රෙසිපීස් ඊළඟ පෝස්ට් එකේදී, හොඳේ.

බයිට් හැටියට මං හදලා තිබුණේ ඌරු මස් ඩෙවල් එකකුයි, ජීරා චිකනුයි, බැදපු මඤ්ඤොක්කා හා ලුණුමිරිස් dip එකයිය. අතුල අබේරත්න අයියා ගෙනා රෝස්ටඩ් කජු, ඉයන් ගෙනා රටකජු- මුරුක්කු වැනි දේත් තිබිණි! දන්නවද? එහෙම තිබිලත් අපේ නඩේ කිලෝ තුනකම මඤ්ඤොක්කා බයිට්වලට වග කිව්වෝය!

එදා එයාලට බැලන්ටයින් බෝතල හතරක් එක්ක, එච්චර කාලාවත් නොදැනුණු මත් ගතියක් මේවා ලියද්දී මට දැනෙයි. ඒ හින්දාය මං මේ විරාමයකුත් ගන්නේ! 

32 comments:

  1. ඔය පූරි එක්ක රිලවුන්ගේ සම්බන්ධයක් තියෙන්ඩ පුලුවන. කැබිලිත්තේ රිලවු මෙන්ම එදා පාටියට ආපු කිසිවෙකුත් තාම නිදිතුමාගේ ගෙදර පැත්තේ ආයෙත් ආවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අරින්ඩ එපා ලොකු මල්ලි ... නියමයි .. අපි යයි ආයේ එහේ.. මූ වේලෙන්ඩත් කලින් පත්තරෙත් දානවා පින්තුරත් එක්ක

      Delete
    2. එදා අපේ ගෙදරට ආවේ නම් රිලවු පවුලේ අය වෙන්න බැහැ. එයාලා අපූරුවට හිනාවුනේ, විරිත්තන්නේ නැතිව!අනෙක ඊට දවස් දෙකකට පස්සේ දෙන්නෙක්ම ඇවිත් ගියානේ, ලොකූ

      ලක්මාල්ලා කිව්වයැ පින්තුර දාන්න එපැයි කියලා. එහෙම කිවා නම් මුහුණු නැතිව දානවනේ. මං එහෙමයි!

      Delete
  2. මුන් මෙච්චර කාලද? heh heh +++++++

    ReplyDelete
    Replies
    1. මාත් ගණන් හැදුවේ පස්සේ, ඉයන්. හැබැයි,මාත් ඔහොම කනවා ෆාස්ටින් කරලා 'චීටි ඩේ' දවසට නම්. මෙයාලත් එහෙම වෙන්ටැති, නේද?

      Delete
  3. හම්මේ ඉතින්.. වෙල්කන් වෙල්කන් වෙල්කන් කියුව.. අම්මප පුරි ගැන වනුවට මට මයියොක්ක එක ගැන ඒ හැටි කියන්න බැරි උනා නෙව. අන්න බයිට් නම් බයිට්. බලන්ටයින් නෙවෙයි කස්ට ගැහුවත් වදින්නේ නෑ ඒවා බයිට් එකට කනකොට. හැකි ඉක්මනින් ආයෙම පාර්ටියක් ගන්න වෙනවා :)))))

    ReplyDelete
    Replies
    1. කමි, කණ්ඩා ආයෙම ලංකාවට එනවද එච්චර ඉක්මනටම? මයියොක්ක බයිට් එක හදන රෙසිපිය ඊළඟ පොස්ට් එකේ තියෙනවා. කොටමින් ඉන්නේ.

      Delete
  4. Replies
    1. එහෙමයි නේන්නම් කසුන් මහත්තයෝ!

      Delete
    2. කොහේ ඉන්න මහත්තයෙක් ද නිමල් අයියේ. ඔය මහත්තය හලල දාන්ඩ.

      Delete
  5. කතාව කියවනකොටත් පූරි රස දැනෙනවා.
    මහරගමට සත පහේ බාගේ ටිකට් එකක දුර හිටපු මට, ඔයාගේ කථාවල කියැවෙන පරණ තැන් තාමත් හොඳට මතක තියනවා.
    පූරි මිශ්‍රණය දිනක් දෙකක් කලින් අනාගෙන අවශ්‍ය දිනට පූරි සාදා ගැනීම නරක දෙයක් නොවෙයි. මේ පහත කථාව ඊට සාක්කි.
    කලකට පෙර ඕස්ට්‍රේලියාවේ කෝල්ස් කියන වෙළඳසැල් සමූහයේ පාං ප්‍රචාරණය කලේ 'එදිනම පුළුස්සා ගත් පාං ' ලෙසටයි. ඒ ප්‍රචාරණයෙන් පාරිභෝගිකයා මුලා විය හැකි යැයි පවසා, මෙහේ පාරිභෝගික ආරක්ෂක ආයතනය ඩොලර් ලක්ෂ විසිපහක (රුපියල් කෝටි 30 කටත් වඩා) දඩයක් ඉහත සමාගමට පැනවූවා. ඒ කියන පාං පුච්චා ගන්නේ එදිනෙදා උනාට පිටි මෝලිය අයර්ලන්තයේදී අනා ශීතාගාර නැව් මගින් ඔස්ට්‍රේලියාවට ගෙන ආපුවායි. මෝලිය මාස හයක් පමණ පරණ උනත් දඩය ගැහුවේ ඒකට නොවෙයි. 'පාන් සම්පුර්ණයෙන්ම ඕස්ට්‍රේලියාවේ සාදා ඇති බවට' වැරදි වැටහීමක් ඇතිවෙන නිසායි. මාස හයක් පරණ පාන් මෝලියෙන් හදාපු පාන් කාලා අපිට තාමත් හුස්ම වැටෙනවා නම්, දවසකට දෙකකට පෙර අනාපු පූරි මෝලියෙන් පුරි හදලා කෑවාට මුකුත් වෙන්නේ නැති බව සහතිකයි.
    මම මේ පිලිතුරම මීට කලිනුත් ලියා පල කළා. නමුත් ඒක අන්තරස්ධාන උන නිසා මුල ඉඳන්ම ආයිත් ලිව්වා. බලමු මේකවත් හරි යයිද කියලා.

    ReplyDelete
    Replies
    1. එච්චරකල් තියාගන්න පුලුවන් කියලා කවදාවත් හිතුවේ නැ පිටි මෝලියක්

      Delete
    2. මං අනපු පිටි මෝලිය නෙවෙයි තියාගන්නේ.

      වැඩිම වෙලාවක් යන්නේ පූරි හදන්නයි; පොඩියට රොටි වගේ තුනී කරගන්න. ඒ නිසා ඒවා තුනී කරන ගමන්ම රොටි තැටියක හරි, නන්ස්ටික් එකක හරි තරමකට පුච්චනවා. තැම්බෙන තරමට විතරයි.
      එහෙම හදාගත් ඒවා තමයි නිවුණාම ෆ්රීසරේ තියාගන්නේ.

      අනෙක ඕක මොකද්ද? (මේ කතාව කියන්නේ මං හෙම නෙවෙයි. මගේ අතීසාර මිත්‍රයෝ.- නිදිගේ ෆ්‍රිජ් එකේදී තමයි ඌරු තාත්තයි, පුතයි, සීයයි පරම්පරා තුනම මුණ ගැහෙන්නේ-හිටි ගමන් ඌරුවරිගේ වෙනුවට වෙන-වෙන වරිග දාලත් ඔය කතාව කියනවා උන්ගේ මස් හදල දුන්නාම.)

      Delete
  6. හැබැයි ඉතිං පූරි කාපු සෙට් එකට රිලවු කියපු එකනං වැරදියි නේද. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇයි වැරදි? වඳුරොත් හිටියද?

      Delete
    2. පිස්සුද ප්‍රසන්න, ඇත්තක් වුණත් නොකිය යුතු තැන්, මෞන වෘතය රකින්ඩ ඕන තැන තියෙනවානේ!
      පේනවානේ, දැන්මම Pra Jayට තරහ ගිහින් වගේ!

      Delete
  7. ඔය පුරි පාටියේ හිටියේ රා කලගෙඩි බඩගෙඩි ඇත්තෝ බව පින්තුර වලින් හොදැහැටි පේනවා. බඩක් නැතිව හිටයේ ප‍්‍රා සහ නිදි ලොක්කා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඊගාව පිහි පාර කන්නෙ බඩට අපහාස කරලා...නොකිව්ව කියන්ඩ එපා. අපි මෙච්චර අමාරුවෙන් හදා ගත්ත බඩ!!!!හ්ම්....අපිට පාටිත් නෑ...තියන බඩටත් අනං මනං කියනවා.

      Delete
    2. ඒකනේ ලොකු, හරියට කියන කෙනාට බඩ නැහැ වගේ. ගමේදී නම් කියන්නේ නියම පිරිමියෙකුට බඩයි පුකයි දෙකම තියෙන්න ඕනේ කියලනේ.

      Delete
    3. බඩට කරපු අපහාසෙට කිනිස්සකින් ඇනල මදි ... හොඳ මන්නයක්වත් හොයාගන්න ඕන !

      Delete
    4. කණ්ඩා, අපේ ගෙදර නම් තියෙනවා එකක්, කුලියට දෙන්නං. අසංග තව එකක් ඕනේ නම් ඔයාටත් දෙතහැකි! හැබැයි කුලියට. මාත් දැන් අපේ ලොක්කන්ගෙන් ඉගෙන ගනිමින් ඉන්නේ!

      Delete
  8. //කැන්ද කොළවල තියලා ‘සර්ව්’ කළ ‘මඤ්ඤොක්කා’ බයිට් එක // මම එද්දි කැන්ද කොලත් නෑ

    ReplyDelete
    Replies
    1. මධු! පරක්කු වෙලා එනකොට පනිෂ්මන්ට් කන්න වෙනවනේ!

      Delete
    2. අනිත් දවසෙ අපායට ගියත් කලින් පලයන් !

      Delete
  9. බඩගින්නේ ඉන්න වෙලාවක කියෙව්ව නම් සොරිම තමයි😁😂

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්! අනේ අමිල, එහෙම අහිතක් නම් හිතකවත් තිබ්බේ නැහැ.

      Delete
  10. අයෙත් කොනක හිට කෙළ ගිලෙනව මේක කියවපු වෙලේ ඉඳල !

    ReplyDelete
    Replies
    1. ඔයාටම තමයි ආයෙම එන වෙලාවක ඔර්ගනයිස් කරන්න වෙන්නේ!

      Delete