අකුරු මැකී නෑ

Sunday, March 24, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස

තඩි කුරුඳු කැලයක් අයිනේ තිබුණු ඒ නාන ළිඳ...........
අප නාන්නට ගියේ කුරුන්දේ තිබුණු නාන ළිඳකටය! කුරුන්දය කිව්වේ තඩි කුරුඳු කැලයකටය!! මාස්ටර්ලගේ ගෙදර තිබුණු ළිඳ ගැඹුරුය. ඒකෙන් ඇදගෙන නානවාට වඩා කුරුන්දේ ළිඳට යන එක ලෙහෙසිය; විනෝදය. වැඩියත්ම එහෙම වුණේ නාන්නට යන ගමනට එක්වුණු ප්‍රසාද්ලගේ අක්කලා දෙන්නා නිසාය. 
එයාලා හිටියෙත් මාස්ටර්ලගේ අල්ලපු වැටේම වාගෙය. අර ගැහැනු ළමුන් දෙන්නාගේම රන් කිරි කටගාලා තිබුණේ ‘පඩික්කමේ’ උරච්චි කරපු රත්තරන් අරගෙනය.

අපේ ගෙදරදී නම් අවකැපෙන කතා, දෙපිට කැපෙන කතා කිව්වේ වැඩිමහල් උදවියයි. ඒවාට වඩා ගැටවර අය කියන කතා රසවත්ය; හැඟීම්බරය; අසභ්‍යය. 

මං ඒ බව ඉගෙනගෙන හිටියේ නාට්‍ය කරන්නට ආ අයගෙනි. ඒ වැඩි දෙනෙකුම මට වඩා චුට්ටක් වැඩිමහලු අයයි. හැබැයි එයාලා මං ඉන්නා තැනකදී ‘ඒවා’ කියන්නේ හොඳට වට-පිට බලලා අපේ තාත්තා නැතිනම් විතරය.

“කොච්චර කිව්වත් අහන්නේ නැහැ රංජි මල්ලී. හිනාවෙන ඕනෙ එකෙක් එක්ක නීලා සිරික්කිය දානවා. කොල්ලෝ එහෙම වුණාට කෙල්ලෝ දැනගන්න ඕනිනේ ටිකක් ගණන් උස්සගෙන ඉන්න! ඒවාට වචනයක් කියන්න බැහැ, අඬන්න ගන්නවා.” 
ජවනිකාවක් ඉවර වුණු තකහනියේ නීලා අක්කා හොයාගෙන ආ සිරි අයියා ස්ටේජ් එකේදිම මට කිව්වේ හිත අමාරුවෙනි. තාත්තා කොහේදැයි හතර වටේ  බලමිනි.

ඉතින් සිරි අයියේ, හිනාවෙන මනුස්සයෙකුට රවන්නයැ..............
“ඉතින් හිනාවෙන කෙනෙකුට රවන්නයැ.”

“රංජි මල්ලිත් මොකද. ඕනෙ බල්ලෙක් එක්ක හිනාවෙන්නනෙ පුරුදු වෙලා ඉන්නේ.” 
සිරි අයියාට උත්තර දෙන්න නොවේ, ඒ වෙලාවේ මා බලා උන්නේ. වේදිකාවට යන්නටය.

මිගාරුචි උයනට සිල් ගන්නට ගිය නා රජ්ජුරුවන් ආපහු නාග ලෝකයට ඇවිත් ආ-ගිය විත්ති විමලා දේවියට කියයි. ඒ කතන්දර අහන බිසවට ‘විධුර පණ්ඩිතයන් වහන්සේ දකින්නටත්, ඔහුගෙන් බණක් අසන්නටත් ආසාවක්’ ඇති වෙයි. 
ඇත්තම කිව්වොත් කාරිය කෙරෙන්නේ නැත. ආදම්-ඒවගේ ඉඳලාම වෙන්නට ඇත්තෙත් මේකය. බිසව සැමියා රවටන්නට ප්‍රයෝගයක් යොදන්නීය.

“ස්වාමිනී, මට දොළක් ඉපිද ඇත. ඉදින් එය සපුරාගන්නට නොහැකි වන්නේ නම් මගේ දිවි තොර වෙනවා නිසැකය.” වගේ දෙයක් විමලා දේවිය හිමියාට කියන්න ඇති. හැටහතර මායම් පාලා බදා-වැළඳගෙන වෙන්නත් ඇති, නේද? දොළදුක විධුර පණ්ඩිතයන්ගේ හෘදය මාංශය වැළඳීමටය.

සමහරවිට සයනයෙදී බදා වැළඳගෙන වෙන්නටත්...........
ඒ කාලයේ ඉඳලාම රජකම් කරන බොහෝ දෙනා මැටිමෝල්ලුය! (මතකයිනේ, දහබලු කතා වස්තුව 2 පෝස්ටුවේදී හම්බවුණු කොසොල් රජ්ජුරුවෝ. කොහෙද යන බාසා වෙල්ලෙක් මඟුල් පොකුණ අද්දරදී මල්ලිකා බිසවුන්නාන්සේට අහවල් වැඩේ කරනවා දැක්කම වෙච්චදේ.... මල්ලිකා බිසවගේ මුසාවාදෙට රැවටුණා.)

මෙයාත් ඒ රජා වගේමයි, හෙට අනිද්දා දීග දෙන වයසේ ‘එරන්දතී’ දෝණි ඉඳිද්දී, මව් බිසව ආයෙමත් ගැබ්බර වෙන්න පුළුවනිද කියලා කල්පනා කරන්න ඕන නේද? 
මොන, රන්ගොජා බිසව දීපු ලණුව එහෙම පිටින්ම ගිලිනවා. ඔන්න දැන් රජ්ජුරුවෝ පඹගාලක පැටලිලා. පාලකයන් ප්‍රශ්නවලට පැටලුණාම ගෙදර ඉන්න පූසා ගිරවා හිට හොට දානවා; ඒවා විසඳන්න බලනවා.  එරන්දතීත් එහෙමයි.

දැන් තියෙන්නේ එරන්දතී තාත්තා කල්පනාවේ ගැලිලා ඉන්න තැනට එන සීන් එක! විධුර නාට්‍යයේ එරන්දතී ඉස්සෙල්ලාම ස්ටේජ් එකට එන්නේ දැන්. මතකයිනේ, මායි එරන්දතී. ඒ එද්දිත් මං හිනාව නවත්තගෙන ආවේ අමාරුවෙන්. දැනුත්, මේ ටික කොටද්දීත් මට හිතෙන්නෙම නාග ලෝකයට අධිපති නා රජතුමා ‘පොට්ටනිය එළියේ දාගෙන වාඩි වෙලා හිටි හැටි’ ගැන.

දිව්‍ය අංගනි සේ මම සැරසී - යන්නෙමි පර්වත කාළ එ ගිරී.............
දත් මිටි කාගෙන ඒ ටික කළයි කියමුකො. ඔන්න, විධුර පණ්ඩිතයන්ගේ හදවත ගෙනත් දීමට හැකි සමතෙකුව හොයාගෙන එරන්දතී යනවා. එයාගේ පළමුවෙනි ගීතය. මට දැන් මතක මෙච්චරයි!

“දිව්‍ය අංගනි සේ මම සැරසී- යන්නෙමි පර්වත කාළ එ ගිරී//
වීනා වයමින්, ගී කියා මං//
හදවත ගෙන්වා ගන්න සේ තුම්
දිව්‍ය................”

සිංදුව කියන්නේ නාග භවනේදීය. යන්නේ කාළගිරි පර්වත මුදුනටය. එරන්දතී කුමරිය එතනට ගිහින් වීනාව වයමින් ඉඳිද්දී ‘පූර්ණක යක්ෂ සේනාධිපතියා’ අහසින් යන ගමන් ඇයව දකියි.

දැන් ඉස්සරහ තිරය වහලාය. දෙතුන් දෙනෙක් එකතුවී මේසයක් වේදිකාවේ මුල්ලකට තල්ලු කරති. ඒකට උඩින් තද පාටක රෙද්දක් දමලා කාළගිරි පරුවතය හැදීම ටොයිස් වැඩකි. 
හැබැයි එරන්දතීට වයන්නට වීනාවක් නැත.
එහෙම වුණේ නාට්ටියට සංගීතය සැපැයූ සරත් ජයරත්න අයියා ළඟ වීනාවක් නැති හින්දාය. “කමක් නැහැ සරත්, තියෙන සිතාර් එක මෙයාට දෙමු. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ සිතාර් එකෙයි වීනාවෙයි වෙනස.”

මිනිස්සු දන්නවය සිතාර් එකෙයි වීනාවෙයි වෙනස.........
“එහෙනං ගුණපාල අයියේ, රංජි මල්ලිව මේසේ උඩින් වාඩි කරවලා තියලා සිතාරේ අතට දෙමු. මෙයා සිතාර් එක තරම් උසත් නැහැ වගෙයිනේ.” සරත් අයියා කිව්වේ ඇදලා-පැදලා වැනි-වැනීය. ඊළඟට තාත්තා චුට්ටක් එහාට යනවාත් එක්කම මගේ කණට කෙඳිරුවේය.

“අනේ බුදු මල්ලියේ, සිතාර් එක පරෙස්සමෙන්. මේක හෙණ ගණන්. ගෙඩිය පිපිරුවොත් හෙම...........”

“බන්දු.... කෝ බන්දු.... ආ හරිනේ, තමුසේ ස්ටේජ් එකට පනින කොටම මහා හයියෙන් හිනා වෙන්න ඕනේ ඕඩියන්ස් එකම බයවෙන තරමට....” තාත්තා ඒක කියන්නට ඇත්තේ දසදහස් වෙනි වරට විය යුතුය.

මීට ඉස්සරත් මා කියා ඇත. බන්දුල ජයකොඩිට හරි ගියේ නපුරු, යක්ෂ පාට් විතරය. අජාසත්ත 2 පෝස්ටුව කියෙව්වා නේද? මතකයිද ‘වධකයිනි, මේ බිම්බිසාර රජුගේ දෙපතුල් පලා ලුණු දමව්’ වගේ ගාම්භීර දෙබසක් කියලා, ඒ එක්කම සරම කැටිකරලා අරන්, මිනිහා පරම්පරා කුට්ටමට යටින් දෙපරැන්ද අස්සේ ගහගත් හැටි..... මේ වෙද්දී බන්දුල හොඳට මෝරලා, තිතට රඟපානවා. හැබැයි සොෆ්ට් කැරැක්ටර්ස් බැහැ. ලව් සීන්ස් බැහැ. උපන් හැටිනේ ඒ!

මහානාද ගුවන් විදුලි නාටකයේ කතාව ඩ්රැකියුලා කතාවම වගෙය...........
ඒ දවස්වල රේඩියෝවෙන් රෑ නවයයි කාලට විතර ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය වුණේය. වෙළඳ සේවයෙන්ය. මගේ මතකය හරි නම් එය ‘ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි’ දැන්වීමත් ප්‍රචාරය කරවූ ලී මෝලෙම නිෂ්පාදනයකි. නාට්‍යය ‘මහානාද’ ය. හරියටම ඩ්රැකියුලා කතාව වගෙය! මහානාදට පණ පෙව්වේ එම්.ඒ. සිමියොන්ද කොහෙදය. එයාටත් ඒ මරුමුසු හිනාව තිබ්බේය. ඒකට වහ වැටිලාද මන්දා අපේ තාත්තාත් පූර්ණක යකාට ‘භයංකර සිනහවක්’ දමන්න කිව්වේ!

ඔන්න එරන්දතී වීනාවත් තියාගෙන කාළගිරි පර්වතය මුදුනේය; අනෙක් පැත්තේ පුටුවක් උඩටවී බිමට පනින්නට බලාගෙන ඉන්නා  පූර්ණක යක්ෂ සේනාධිපතියාය. 

තාත්තා තිරය ඇරියේය. පූර්ණකයා පැන්නේය, හිනාත් වුණේය. හඃ හඃ හා! තාත්තා බන්දුට කියා තිබුණේ දෙපාරක් හිනා වෙන්නටය.

ඉතින් මිනිහා දෙවෙනි වතාවේ හිනාවෙද්දී ඇක්ෂන් විතරය. සවුන්ඩ් නැත!

පුරුද්දක් වශයෙන්ම හඬ නඟා නිතර කතා නොකරන අය වැඩියෙන් කතා කළොත් උගුර බැරැන්ඩි වෙයි. නාට්‍යය ප්‍රැක්ටිස් කරද්දී වැඩියෙන් එන්නට බැරිවුණු නිසා බන්දුල අන්තිම දින කිහිපයේ ‘ඇරියස් cover’ කළේය. නාට්‍ය දවස වෙද්දී මිනිහාගේ උගුර බාගෙට ‘බල්ලෝ කාලාය’ තිබ්බේ. කාළගිරි පරුවත හෙවණේදී තිබ්බ ටිකත් නැති වෙලාය. 
බන්දුල තිරය අයිනේම හිටි අපේ තාත්තා දිහා බලා, අත් දෙක නොපිට හරවා ඉඟියක් කරනවා මටත් පෙනිණි.

පූර්ණක එරන්දතී තර්ගය කියලාය............
‘පූර්ණක - එරන්දතී තර්ගය’ කියලාය අබරන් මාස්ටර් ගෙනා පිටපතේ එතැන ලියා තිබ්බේ. යක්ෂ සේනාධිපතියෙක් වුණත් කටහඬ නැතිව ගිහින් නම් තර්ග සිංදුව කියන්නේ කොහොමද?

‘තමුසේ දිගටම කරනවා. මං කියන්නම්.’ 
අපේ තාත්තා කොඳුරලා කියන ගමන්ම අභිනයෙනුත් කිව්වේය. 

නාට්‍ය කලාවේදී ‘අභිනයන්’ හතරක් යොදා ගැනේ. ඉස්සෙල්ලාම ‘වාචික අභිනය’යි. ඒ කියන්නේ වචනයෙන්; කතා කිරීමෙන් කෙරෙන රඟපෑමයි. දෙක: ‘ආංගික අභිනය’යි. අංග චලනවලිනුයි ඒ රංගනය. තෙවැන්න හැඟීම් පෙන්වමින් කෙරෙන ‘සාත්විකාභිනය’යි. වෙස් ගැන්වීම් ආදී බාහිර කටයුතු මඟින් කෙරෙන්නේ හතරවෙනි ‘ආහාර්ය අභිනය’යි.

එදා බන්දුලට රඟන්නට වුණේ වාචිකාභිනය නැතිවයි.

“එතකොට ඔතැන තිබ්බේ මහා විශාල කුරුඳු වත්තක්. දැන් තරුණ සේවා සභාවේ ගේට්ටුව තියෙන හරියට වෙන්න තමයි මහරගම අම්බලම තිබුණේ. කුරුඳු කැලය තිබ්බා අක්කර ගණනක්..... ඇල්හේන පාරේ පල්ලෙහා හරියට යනකල්ම. ඒක කොච්චරද කියනවා නම් ඒ වත්තේ කැපෙන කුරුඳු තලන්නම වෙනම පවුලකුත් හිටියා ඔය හරියේ.”

කුරුඳු තලන පවුලකුත් හිටියා ඔය සම්පත් බැංකුව අයිනෙන්..............
දේවිකා නංගිලාගේ අම්මා වාචික අභිනයෙන් විතරක් නොවේ ඒ  විස්තර කිව්වේ. ආංගික, සාත්වික අභිනයන් දෙකත් උදව්වට ගනිමිනි.

ඩබ්ලිව්.ජේ.සෝමදාස ගෝමස් මහත්තයා ගෙන්නාගෙන මං මහරගම ඉතිහාසය හොයන බව අල්ලපු ගෙදර දේවිකා නංගිටත් දැනිලාය. දේවිකා නංගිලා ඉන්නේ මා ගැන හොඳ සෝදිසියෙනි. ‘චීත්තවාහිනියට’ කරුණු හොයන්නට නොවේ! මෛත්‍රියෙනි; කරුණාවෙනි.

වැරැදි බෝනස් එකේදි කියූ විලසින් මයෙලොමාවට බෙහෙත් ගනිද්දී සමහර වෙලාවට මා හොඳටම දුර්වල විණි. එහෙම වෙලාවක හිටි ගමන් කලන්තයක් හැදී තැන්-තැන්වල ඇදගෙන වැටෙන්නට වීමි. එහෙම වැටුණු හත්-අට වතාවෙම වැටුණේ ගේ ඇතුළේය. 

එක වතාවක් සාලය මැද්දේ දඩ-බඩ සද්දෙන්, පුටු පෙරලාගෙන වැටෙන සද්දේ ඇසී, දේවිකා නංගිලා දුවගෙන ආවේ නනා ඉඳලාය! 
(තවමත් වාසනාව මගේ පැත්තේ බව හොඳටම පෙනුණේත් ඒ දවස්වලය. ඔච්චර කලන්තේ දාලා වැටිලත් තැල්මක් මිස මට කිසිම තුවාලයක් වුණේ නැත.)

දැනුත් හිමිදිරියේම දේවිකා නංගි බලන්නේ මං ඇහැරිලා ඉන්නවාද කියලාය. හදිසියෙවත් හුචස් ගාලා මගේ පණ කෙන්ද ගිහින් තිබ්බොත්! උදෙන්ම මං දොර-ජනෙල් ඇරලා නැත්තං............. එහෙම බලන්නට කියලා තියෙන්නෙත් මං වහන්සේමය. 

‘කිකලද මහසෙන් මරු ඇප වන්නේ - කෙලෙසද හෙට මරු නේති සිතන්නේ’ නොවැ.   

අල්ලපු ගෙදර දේවිකා නංගියි එයාලගෙ අම්මයි........
“නිමල් අයියේ, ඔයාට ඕනේ කරන සමහර විස්තර අපේ අම්මත් දන්නවා ඇති. ආව වෙලාවක අහල බලන්නකෝ. අම්මා පුංචි කාලේ ඉඳල තියෙන්නෙත් බුවෙනකබාව ඉස්සරහ හරියෙ ගෙදරක....” හිතකවත් නොතිබුණු වාසනාවක් කඩා වැටුණේ  එහෙමය. 

අටාන ලියන පතිරණගේ සෝමාවතී නොහොත් කුසුමාවතී නොහොත් දේවිකා නංගිලගෙ අම්මා මහරගම පරණ විස්තර කියන්නට එකතු වුණේ එහෙමය.

සර්වාභරණ තිබුණේ නැතත් කාඩ්බෝඩ් අත්පට, ලලාටපට, කර්ණාභරණ, කර්ණකුණ්ඩලා, වොටුණු, වළලු ආදියෙන් සජ්ජිතවී එදා එරන්දතී වේදිකාවේ රඟන විදිය ප්‍රේක්ෂකයන් පොදි කකා බලා හිටියේ අර විසාල කුරුඳු කැලය අයින දිගේත් හිටිමිනි. 
(නොකියාම  බැරිය. අර ආභරණ කාඩ්බෝඩ් ඒවාය කියලා කාටවත් හිතෙන්නට නැතිව ඇති. ලයිට් එළියට ඒවා නියමෙට දිලිසුණේය. ඒවා හදාගන්නට ඕනෙ නම්, ක්‍රම සහ විධි දැනගන්න ‘අජාසත්ත 4’ ක්ලික් කරලා මෙතැනින්ම යන්න පුළුවන්, හොඳේ!)

“මං අබරන් මාස්ටර්ලගේ ගෙදර ඉඳිද්දී නාන්න ගියේ ඒ කුරුඳු වත්තේ තිබ්බ ළිඳට.”

අම්මෝ, ඒ වනාතේ ළිඳට නම් අපිට යන්න දුන්නේ නැහැ!
“අම්මෝ, අපිට නම් ඒ වනාතට යන්න දුන්නේ නැහැ. මාත් හරි පොඩියිනේ ඒ කාලේ. හැබැයි දැන් ඔය සම්පත් බැංකුව අයිනෙන් තියෙන පාරේ..... අර ඉංග්‍රීසි ටියුෂන් පන්ති තියන පාරේ.... ඒක එතකොට අඩි පාරක් විතරයිනේ. ඒකෙ තමයි අර කුරුඳු තලන මිනිස්සු හිටියේ. නිමල්ට මතක ඇතිනේ එහෙනම් බුවෙනකබාව ඉස්සරහම වගේ තිබ්බ මිනී පෙට්ටි සාප්පුව!”

“පුදුමේ කියන්නේ මට ඒක මතක නැහැනේ. හැබැයි හැත්තෑ ගණන්වල නම් අනුෂා හෝල් එක ළඟ ‘ජයරත්න මල් ශාලාව’ක් තිබුණා. දැන් සරසවි බුක් ෂොප් එක තියෙන තැන.”

විද්‍යාකර විද්‍යාලයේ ඉඳලා පාසල ඇරී අප පමුණුව පාරට එන්නේ කෙලින්ම නොවේ. හිස වටේ අත යවා කණ අල්ලනවා වගෙය. දැන් කාර්ගිල්ස් ෆුඩ් සිටි එක අද්දරින්ම තියෙන ගුරු පාරේ වට වන්දනාවේ ගිහින්ය. අනේ, දැන් ළමයින්ට කොහෙද එහෙම ඉස්පාසුවක්?

දේවිකාල අම්මා එක්ක කතා කරද්දීත් සමහර දේවල් නිකම්ම මගේ මතකයට ආවේය. ගෝමස් මහත්තයා එක්ක සංවාදයේදී වගෙමය. 

හැබැයි ඒකේදි වගේම, මේකෙදි කියවුණු දේවලුත් එක විඩේම පට ඇරලා දිගාරින්නේ නැතිය. ලෝබකමකට නොවේ; පෝස්ට් එක රීඩබල් විදියට තියාගන්න ඕනේ හින්දාය.

සේරම එක විඩේටම පට ඇරලා............
ඉතින්..... විධුර තව දිගාආආආආආය. ගොඩාක් දිග මහරගම විස්තර නම් විඩෙන්-විඩේ පටාරින්නට පුළුවනිය. කියවන ඔයාලටත් දැන් මහන්සි ඇති කියා හිතෙනවාය. ඒ හින්දා අදට සමුගන්න අවසරය!

8 comments:

  1. මොනවද අප්පා මේ වැල්වටාරම්? කැස්සට බෙහෙත් අරං කැරකි කැරකි ඉන්න අතරෙ කියවපු හින්දද මන්දා, කැරකිල්ල ඩබල් උනා.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, එහෙමද නැත්තං මගේ ලියවිල්ලේ වැරද්දක්ද කියල 'ඔයාගේ කෝණයෙන්' කියවලා බලන්නම්.

      Delete
  2. එකසිය පනහයි.... එකසිය පනහයි.....තා දහ අටදාස් හත්සිය විසිතුනක් ලියන්ට හැකි වේවා!!!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකුත් පිරෙන්න එනවා ලොකු. මමියක් වෙලා හරි ඔයා කියන ගණනම මට ලියන්න ලැබේවා!

      Delete
  3. ලියන ඔබට මහන්සි ඇති. කියවන මටනම් කිසිම මහන්සියක් නැහැ. කියවීමට වෙලාවක් තියෙනකොට ඉස්සරලම බලන්නේ අලුත් පොස්ට් එකක් දාලද කියල. තවත් බොහෝ රසවත් දේ ලියන්නට ශක්තිය දයිර්ය ලැබේවා.

    ReplyDelete
  4. ඉංග්‍රීසි පන්ති කිව්වෙ IEM එකද ? අපි ගොඩ දෙනෙක් ඉංග්‍රීසි බහ කරන්න අඩිතාලම දාපු තැනක්.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, මම ඒවාට නොගිය නිසා නම් නම් හරියට දන්නේ නැහැ. කිත්සිරි ජයසූරිය මහත්තයාගේ කියලයි ඇහිලා තියෙන්නේ.

      Delete
    2. ඒක තමයි .. අපි ආදරේට කිව්වෙ "කිත්ත" කියල :)

      Delete