අකුරු මැකී නෑ

Wednesday, March 6, 2019

යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස

2019 මාර්තු 05 වෙනිදා. උදේ හතහමාර පහුවුණා විතරයි. හිතේ තිබ්බ ලොකු බරකින් නිදහස් වුණා වගෙයි දැනුණේ. 

මගෙ අම්මේ පහුගිය ටිකේම තිබ්බ කලබල ගොඩ. සඳුදා උදේට පබ්ලිෂ් කරන පෝස්ට් එක ඊයේ කරගන්න බැරි වුණෙත් වැඩ ගොඩකට හිර වෙලා හිටිය නිසා. යාන්තන් අද ඒක නම් කරගත්තා; උදේ පහට නැඟිට්ට නිසා.

සෑම් පෙරේරා රසිකයාගේ කමෙන්ටුවෙන්................
එතකොටයි සිහි වුණේ දවස් ගණනකින් ඔළුවට තෙල් අල්ලක් දැම්මේ නැති බව. (මං සතියකට තුන්-හතර වතාවක් තෙල් ඩිංගක් දාලා ස්වයං head මසාජ් එකක් කරගන්නවා. එතකොට මොළේ හරියටම නැතත් බාගෙට හරි වැඩ කරනවනේ.) තෙල් බෝතලේ අරන් ඇවිත් අල්ලට තෙල් ටිකක් වක් කරගෙන ඉස් මුදුනට දාද්දි තමයි අකුණක් වැදුණා වගේ වුණේ!

නෑ, නෑ. ලෙඩක් දුකක් නෙවෙයි. ප්‍රශ්නයක් මොළය හරහා ගියේ; විදුලි වේගයෙන්! ඇත්තටම ලියන්න දෙයක් නැද්ද? ප්‍රශ්නය දෝංකාර දෙන්න ගත්තා. 
මට එහෙමයි හිතිලා තිබුණේ; ‘පත්තෑයට පෙත්තෙන් 2’ පෝස්ටුව කියවා සෑම් පෙරේරා රසික හිතවතා ලියා තිබුණු කමෙන්ටුව දැකලා.

මට නම් එහෙමයි. සමහර වෙලාවට සමහර දේවල් ඕනෑකමෙන්ම මතක් කරගන්න හදද්දීත් කිසිම විදියකට මතකෙට එන්නේ නැහැ. ඔන්න බොලේ හිටි ගමන් ඒක ඔළුවට එනවා. දැනුත් ඒකමයි වුණේ! මේක නම් හිතේ කොනකවත් තිබ්බ දෙයක් නෙවෙයි, හොඳේ.

ප්‍රශ්නයක් මොළය හරහා ගියේ විදුලි වේගයෙන්.....
“Sam Perera  March 3, 2019  at  2.13 AM

ඉයන්, “ඊයේ”වෙච්ච දේ ගැන “කල්‍යාණ මිත්‍ර ගේ වර්ෂන්” එක කියෙව්වා. නමුත් හොඳ සිහියෙන් හිටපු “නිදි” ගේ වර්ෂන් එක දාන්නේ කවදාද කියලා අහන්නේ නැද්ද?..........”

ඒක දැක්ක ගමන්, එදාම හවස 5.33 ට මං උත්තරයකුත් ලිව්වා. මං දැක්ක විශේෂතා කිහිපය ගැන. ‘ඔච්චරයිනේ සෑම් මට විශේෂයෙන් කියන්න තියෙන්නේ’ කියලත් ඒ පිළිතුරේදී කියවුණා.

එතකොටත් මං ‘කල්‍යාණ මිත්‍ර’ බ්ලොගයේ “කොළොම්පුරේගේ ඉල්ලගෙන ඇන ගැනීම, කටුස්සාගේ අනාගත ස්වරූපය,කම්මලේගේ හදිසි අතුරුදහන් වීම, යකාගේ වීදුරු බිඳිල්ල, නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය සමඟ කණ්ඩා ගේ සාදර සමාදර බ්ලොග් හැන්දෑව Blogger’s Eve March 2019”පෝස්ටුව කියවලයි හිටියේ; මගේ කමෙන්ටුවත් යවලා! කල්‍යාණ මිත්‍ර ඒක අපූරුවට ලියලාත් තිබුණා, මාවත් ‘මුරුංගා අත්තේ’ උඩටම නංවලා.

ඒ බ්ලොග් එක අපූරුවට ලියලා තිබුණා මාවත් මුරුංගා............ 
ඒත් දැනුයි කල්පනාවට එන්නේ. ඒ මාතෘකාවේ දිග! හෝමාගම පහු කරලා යද්දී තියෙන දික් හැතැක්ම වගේ.

අද උදේ විදුලිය කෙටුවේ ඒ මුරුංගා අත්තට නැඟපු එකත් හිතේ තිබ්බ නිසා වෙන්නැති. 
‘.... නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය!’ මං ගැන කියද්දී නම් ඒ පැසසුම අයිති මට විතරක් නෙවෙයි.

කමිගේ ඒ ප්‍රශංසාවෙන් වැඩි හරියක් අයිති විය යුතු තව කී දෙනෙක් ඉන්නවද තිරය පිටිපස්සේ. ඇයි මං එයාලා ගැන හංගාගෙන ඉන්නේ? දන්නවනේ මට හිතෙන විදිය ගැන. මගේ චිත්ත සමාදානය ඇති වෙන්න නම් මට අයිති හරිය විතරක් අරගෙන credit එකේ වැඩි හරිය වෙනත් කිහිප දෙනෙකුට දෙන්නම වෙනවා.

ඕකට ඉතින් වාක්‍ය දෙක තුනක් ලියලා නවතින්න පුළුවනැයි. 

ඊටත් පංච තන්තරේ කොහෙන්ද පුංචි කතන්දර, වැල්වටාරම් එක්කලා මිස? ඔන්න පුතෝ එතැනදී නම් එක පෙළට එන්න ගත්තේ නැතැයි ලියන්න කාරණා. දැන් මටම සැකයි. විශේෂයෙන් ලියන්න දෙයක් නැහැයි කියාපු මං කොහෙ-කොහේ කරක් ගහයිද කියලා!

දැන් මටම සැකයි මං කොහෙ-කොහේ කරක් ගහලා..............
බැරි-බැරි ගාතේ අමාරුවෙන් අකුරු හොයමින් කොට-කොටා බ්ලොගය ලියන්න අරං ටික දවසකින්ම ‘අසංග රණසිංහආරච්චි’ කියලා කෙනෙක් මගෙන් ටෙලිෆෝන් නොම්මරය ඉල්ලා ගත්තා. 

(අමාරුවෙන් කොට-කොටා කියනකොට සැකත් හිතෙනවා අසංගට කේන්ති යයිද කියලත්. මොකට කේන්ති ගන්නවද? ඔයත් කොටා, මාත් කොටා! කොටා කියන එක තව හොඳයි!ඉස්කෝලෙන් out වෙනකල්ම මං බට්ටා වෙලා හිටියෙ!!) ඊට පස්සේ අසංග මට කතා කළා. ගොඩක් තොරතුරු දුන්නා. උපදෙස් දුන්නා බොක්කෙන්ම!

අසංගත් ‘බොග දාන්නෙක්!’

සහතිකයි. බ්ලොගය ලියන්න අරන් සෑහෙන දවසකට පස්සෙයි, මං ඒ හරුපේ දැනගත්තෙත්. මුලින්ම නම් එක ඇහෙද්දීත් නිකං ගඳක් දැනුණා. බ්ලොග් ලියනවා- කොටනවා වගේම ඒවාත් දැනගන්න ඕනැනේ. නැත්තං කොහොමද ඉතින් අපි update- යාවත්කාලීන වෙනවයි කියන්නේ?

දැන් කෙරුමා වගේ update කතන්දර කියලා කට-පට්ටෙ ඇද්දට මාත් මහ මොට්ටයා. එහෙම නෙවෙයි නම් කොම්පියුටර් තියන තැන්වල අවුරුදු 25 ක් විතර රාජකාරි කරලවත් ඒ ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැති වෙයිද? 
ආවොත් නොයා බැරිය 1’ පෝස්ටුවේදී කිව්වා වගේ ඩී.බී. කුරුප්පු මහත්තයාට නිර්වාණ සම්පත්තියම ලැබෙන්න ඕනේ, 
තග දාලා බලෙන්ම මං වහන්සේට කම්පියුටරයක් තෑගි කිරීම වෙනුවෙන්!

ලක්මාල් කන්දෙවිදානගෙ කතාවට කන්දීගෙන ඉන්නා කැලුම්, නයනජිත් හා අතුල අබේරත්න 
ඊට පස්සෙවත් මගේ කොලෑ ගතිය ගිහින් ඉවර නැහැ. යන්තර-සූත්තර එක්ක තියෙන නොරිස්සීමද, හම්බවෙන ගුරාලගේ වැරැද්දද, මොළේ නැතිකමද මන්දා කොම්පියුටරෙන් වැඩ දාන්න මං දන්නෙම නැහැ. 

ඒකම තමා ‘කමි’ කියලා තිබුණේ ‘....අටමා නිදිව හාන්සි කරලම දැම්මා........’ කියලත්. 
අටමා නොහොත් ලක්මාල් කන්දෙවිදාන හිතවතා කීප විඩේ ටෙලිෆෝන් එකෙන් තාක්ෂණික උපදෙස් දුන්නා ‘අරහෙම කරන්න, මෙහෙම කරන්න’ කියලා. 
මොන? බූරුවෙකුගෙ පිටේ හකුරු පැටෙව්වට ඌට පැණි රහ දැනෙනවයැ.

ලක්මාල් තවමත් මා එක්කලා තරහෙන් ඉන්නේ මගේ කම්මැළිකම ගැනයි පසුගාමීකම ගැනයි!

එයා නොදන්නවා වුණත් ඔහොම ක්ෂේත්‍රවලදි මගේ මොළේ හරිම මන්දගාමීයි. ‘අජාසත්ත 2’ පොස්ටුවේදීත් කිව්වේ මංජුල, චිරන්ත, අපේ අකලංක, සංජීව, රාජිත වගේ කිහිප දෙනෙක්ම මේ වැඩවලදී උදව්වට ඉන්න හින්දා මං තවත් කම්මැළි වෙනවා වෙන්නැති. 
ඒ මදිවට හිටි ගමන් මගේ ඇඟිලි නවන්න, හරවන්න, වැඩ කරවන්නත් බැරිව යනවනේ ‘මල්ටිපල් මයෙලොමාව’ට පිං සිද්ධවෙන්න.

අසංග රණසිංහ ආරච්චිගේ 'කොළොම්පුරේ' බ්ලොගය........
එහෙම පසුබිමකදී අසංග වරුවක් විතර ඉවසිල්ලෙන්; හෙමින්; ටෙලිෆෝනයෙන් කියා දුන්නා පාඩමක්. දැන් මම පරණ පෝස්ට්ස් ගැන එහෙම කියද්දී ඔයාලට පුළුවන් නේද ඒක උඩ click කරලා ඒ පෝස්ටුවට යන්න. ඒ වික්‍රමය මං කරන්නේ අසංගගෙ පාඩමෙන් පස්සෙයි. 

ඉතින් මෙච්චෙල්ලා ගිහිනුත් මට කියන්න බැරි වුණානෙ. අසංගගෙ බ්ලොගය ‘කොළොම්පුරේ’. ඔයාලත් එහාට ගොඩ වැදිලා එහෙම  තියෙනවද?

අසංග අපේ ගෙදරටත් ගොඩ වැදුණා. ඒ විතරයැ. ඊට පස්සේ සහෘද ප්‍රදීප් ජයතුංගවත් කැන්දන් ආවා. එහෙමනේ මිත්‍ර සමාගම් වැඩි දියුණු වෙන්නේ.

ඔය අතරේම මගේ බ්ලොගයකට යහළුවෝ දෙන්නෙක්ගේ ෆොටෝ ඕනෙ වුණා. “නිමල් අයියේ, මගේ fb එකේ තියෙනවා. ඔයාටම තෝරලා ගත්තෑකි කැමැති එකක්. ‘චරිත් සුදර්ශන’ කිව්වා. ඔන්න ඉතින් ‘මුහුණු පොතේ’ ගිණුමක් හදවලා වැඩේට බැස්සා! අනේ අම්මේ, ෆොටෝ දෙක තුනක් ඩවුන්ලෝඩ් කරගන්න දමපු දහිරියක්. එහෙම ගත්තු ෆොටෝ දැම්මේ ‘අකල් මරණෙකට හවුල්වී 1’ පොස්ටුවේ.

ඒ සාදය නම් මාරයි වුණාට හමාර වුණේ සම්පත් පුංචිහේවා හිතවතාගේ අකල් මරණයෙන්! 
තෙරුවන් සරණින් ‘බ්ලොගර්ස් ඊව්’ එක නම් කරදරයක් නැතිව හමාර වුණා. ඒත් ‘අකල් මරණෙකට 2 ’ පෝස්ටුවේදී කියාපු අපේ ගෙදර සාදය නම් හමාර වුණේ සම්පත් පුංචිහේවා නීතිඥ හිතවතාගේ අකල් මරණයෙන්. ජීවිතේ හැටි!  

මගේ fb ගිණුමෙන් තව ලොකු හොඳකුත් වුණා. කාලෙකින් මුණ ගැහුණේ නැති, දුරකථන නොම්මරවත් නොදන්නා පරණ හිත-මිතුරන් ගොඩ දෙනෙකුත් ආයෙම හොයාගන්න ඇහැකි වුණා. fb එකට මාව ඇද දැමීමේ credit එක යන්නේ චරිත්ට. 
ඒ අතරේම මට පෙනුණා බ්ලොගය ප්‍රමෝට් කරන්නත් මුහුණු පොත උදව් කරගත හැකි  බව. ආයේ මොකද? අතින්-මිටින් යන එකක්යැ. 
ඒකෙන් ගත හැකි උපරිමය ගන්න තවම ඉගෙන ගන්නවා.

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා’ පෝස්ටු පෙළ කියවපු අය නම් දන්නවා මගේ හිත-මිතුරන් නෑදෑයන් වගේමවී මගේ වටේ ඉඳගෙන මට උදව් කරපු හැටි; තවමත් උදව් කරන හැටි. වරින්-වර අනෙක් පෝස්ටුවලදිත් මං කිව්වා, මං ලබලා තියෙන ලොකුම භාග්‍යය හිතෛෂී මිතුරු-මිතුරියන් කැළක්ම හමුවීමය කියලා. ඇත්තෙන්ම ඒ සම්පත්තියට මා බෙහෙවින් ලොල්ය; රිසිය!

කමි, මාධව, නෙවිල්, ගවීන් හා ප්‍රසන්නත් සල්ලාපයකට හවුල්වී ...........
“........සංසාර විෂවෘක්ෂස්‍ය - ද්වෙඵලෙ හ්යමෘතොපමෙ
          සුභාෂිත රසාස්වාදඃ - සජ්ජනෙෂු ච සංගමඃ'

සංසාරය විෂ වෘක්ෂයකි. එහි අමාව වන් ඵල දෙකකි. එකක් දැහැමි කතාවල රස විඳීමයි. දෙවැන්න සත් පුරුෂ ආශ්‍රය ලැබීමයි. 

මගේ පැත්තෙන් බලද්දී මට මේ දෙකම පමණටත් වඩා වැඩියෙන් ලැබේ! බොහෝ මිතුරෝ විපතකදී හැර යති. මගේ මිතුරන්ගෙන් කිසිවෙක් එසේ නොකළහ. මට සියල්ල හැර දමා යන්නට ඕනෑ වුණත් ඔවුහු යන්නට නොදෙති. මට දිරියක්ව මා අල්ලාගෙන හිඳිති. ඔවුන් එක පැත්තකය.....” මේ ශ්ලෝකය සහිත කොටස ‘වැරැදි බෝනස් එක 2’ පොස්ටුවේ තිබුණා මතකද?

මුහුණු පොතෙනුත් අලුත් මිතුරු-මිතුරියන් මට හමුවෙයි. එවන් මිතුරෙකුවූ අටම්පහියේ ලක්මාල් කන්දෙවිදාන 2019 ජනවාරි 16 වෙනිදා මා එක්කලා chat කළේය.

බ්ලොග් සින්ඩිකේටරයක් වාගේ මෙව්වා එක..........
“මාර්තු  පළවෙනිදා බ්ලොග්කාරයෝ සෙට් වෙන  සීන් එකක් තියෙනවා.ඔයා එනවද?”
“කොහෙද?”
“රාගම හෝ ගම්පහ අවට තැනක. තාම හරියට තැනක් සෙට් වුණේ  නැහැ.සමහරු රෙස්ටුරන්ට්වලට කැමති නැහැ. සමහරුන්ට ගස් යට බොන්ඩ ඕන. අපේ ගෙදර පිළිවෙලක් නැහැ, පිරිසකට එකතුවෙන්ඩ තරම්”
“කී දෙනෙක් විතර එයිද?”
“රංගන කණ්ඩම්බි තමයි සෙට් කරන්න හදන්නේ. ඌ සතියකට ලංකාවට එනවා.....”

ඒ වෙද්දීත් මගේ බ්ලොගයේ පෝස්ට්ස් ගැන ‘අටම්පහියේ’ පළ කරන්නට පටන්ගෙන ඉවරය. ‘වැරැදි බෝනස් එක 1’ පෝස්ටුවෙදී මා ‘අටම්පහිය’ හා අනෙකුත් අඩවි ගැන ලිව්වේ මෙහෙමය.
"................ 2018 අප්‍රේල් 01 වෙනිදා බ්ලොගයේ පළමු පෝස්ටුව පබ්ලිෂ්කළේ හරියටම මාස හතරක් වෙද්දී 'හිට් කවුන්ටරය' 9,999 ක් වෙතැයි හීනෙකින්වත් හිතේ තියාගෙන නොවේ.

(ඒ ජුලි 31 වෙනිදා වන විට නිදිගේ පංච තන්තරේපිටු පෙරලා තිබුණු වාර ගණනයි. දැන් 2018 අගෝස්තු 15 වෙනිදා ඒක 11,746 කි. 


දැන් ඒ උදව් කරන්නන්ගේ ලිස්ට් එක තවත් ප්‍රසාරණය වී තිබෙයි. ඒවා ගැනත් ලියන්නට තිබේ! 

එහෙව් මිතුරු සහෘදයන් වෙනුවෙන් අපේ ගෙදරදීම සංග්‍රහයක් කරන්නට; කෑමකින් කෘතගුණ දක්වන්නට මට හිතී තිබිණි. එහෙත් පුංචි හීනමානයකුත් මගේ යටි හිතේ තිබුණා විය යුතුය. රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න පුළුවන්ද? 

අවුරුදු කෑමක් දෙනවා වගේ ඒ හැම දෙනාටම අපේ ගෙදරදීම......

ඊටත් මගේ අමද්‍යප ප්‍රතිපත්තිය........ ඒ හැඟීමෙන් තාවර වෙමින් හිටියදී; අසංග එක්කත් මගේ ගැටලුව කතා කොට තිබියදීය, ඉහතින් කියූ ලෙස ලක්මාල් මා හා චැට් කළේ.

“මං කණ්ඩාටත් කියන්නම් නිමල් අයියත් එක්ක කතා කරන්න.”

ඒ අදහස් හුවමාරුවෙන් මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. මටත් පොටක් පෑදෙන පාටය. මගේ ඉලක්කය වුණේ ‘එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්ම බිම දමා ගැනිල්ලය’.

බැහැර තැනක සෙට් වෙනවා නම් මට තනියම යන්නට බැරිය. ඊටත් නොදන්නා පිරිසක් මැදට. අසනීප වීමෙන් පස්සේ මට හිතෙන-හිතෙන විදියට ගමන් බැරිය. බ්ලොග්කරුවන්ගේ සාදයකදී එහෙම නොවන මගේ යහළුවෙකු එක්ක එහි යාමද මගේ මහන්තත්ත හිතට මදිකමකි. සාදයට එකතු වෙතැයි ගණන් බලා ඇති විදියට 15 ක් දෙනාට නම් අපේ ගෙදරත් සෑහෙයි. වැඩේ කෙරෙන්නේ අපේ ගෙදර නම් ප්‍රශ්න සේරම විසඳෙයි!   

“මං නම් බොන්නේ නැහැ. හැබැයි ඔයාලගේ වැඩේට අපේ ගෙදර හරි යාවි කියලා හිතනවා නම් මෙහෙට එකතු වෙමු. නිදහස්... කලබල නැහැ. පාඩුවේ enjoy කළෑකි. හොඳ බයිට් එකක් දෙකක් හදලා, කන්න දෙයක් පිළියෙළ කරලා දෙන්නම්, මගේ ගණනේ. හැබැයි ප්‍රතිපත්තියක් විදියට මගෙන් බීම-සිගරැට් සංග්‍රහය නම් කෙරෙන්නේ  නැහැ. අනික්වා මං බලාගන්නම්. ඔයාලා කැමැතියි නම් මට කරදරයක් කියලා හිතන්න එපා......” මම කීවෙමි.

අපේ ගෙදර නම් නිදහස්. ඔයාලට එන්ජෝයි කරන්න ඉඩ තියෙනවා.......
එවන් දේකට අපේ ගෙදර ගැළපේද, නැතිද යන්න තීරණය කිරීමට කලින් අසංග, ප්‍රදීප් දෙදෙනාගෙන් අසන්න කියලාත් රංගනට කීවෙමි. 
“ඒ දෙන්නම අපේ ගෙදරට ඇවිත් තියෙන නිසයි, ඔයාලගෙන් කිහිප දෙනෙකුව හරි හම්බ වෙලා තියෙන නිසයි, එහෙම කරන එක වැඩිය  හොඳයි නේද?”

ඒ ගැන එයාලාගෙන් සහතිකයක් ලැබුණාද නැද්ද කියලා නම් මා දන්නේ නැත. රංගන කණ්ඩම්බි නොහොත් කණ්ඩා අපේ ගෙදරට මනාපය දුන්නේය! පොඩ්ඩක්වත් සුනංගු වෙන්නෙත් නැතිවමය. ජනවාරි 17 වෙනිදාය!!

ඉතින්.... ඉතින් තමයි. ලියන්න දෙයක් නැහැයි කිය-කිය ඉඳලා දෙවෙනි කොටසකටත් යන්නයි වෙන්නේ.......... නේද?

28 comments:

  1. පිලිවෙලට හරි රසට "කුරක්කන් පිට්ටුයි මීකිරියි" වගෙ ් පෙ ා්ස්ටුවක් 💟 න්යමයි.

    ReplyDelete
  2. කෝ ඉතින් සාදය ගැන මුකුත් ලියලම නැහැනේ...

    කමක් නැහැ, ඊළඟ කොටසෙන් ඒවා බලමු, නිමල් අයියගේ සහ මිතුරන් පිරිසගේ ආගන්තුක සත්කාර වලටනම් බොහොම ස්තුතියි කියල නොකියාම බැහැ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතේ! සාදයට ඉස්සෙල්ලා තවම නිදාන කතාවයි කියන්නේ!

      Delete
  3. නිදීගේ පංච තන්තරේ එහෙන් මෙහෙන් එක දෙකක් කියවලා තිබුනා ට නිමල් අයියාව නං ලොකුවට හඳුනගෙන උන්නේ නෑ.
    කණ්ඩාගේ හා අටංගේ ආරාධනාවට උන් කී තැනට ගියා මිසක්.
    අපොයි අඩියක් වත් ගහන්නේ නැති මේ මනුස්සයාට සෑහෙන වදයක් මුන් ටික දුන්නා කියලයි මම හිතුවේ. අනික ඉතින් සුළු පටුවට ලෑස්ති කල සංග්‍රහයක් යැ‍යි ඒක.
    කොහොම වුනත් නිමල් අයියාගෙන් ලැබුනු උනුසුම් සත්කාර එක්ක රසවත් භෝජනය නිසා තමයි ඉතින් ඒ හැන්දෑව පූර්ණ ලෙසම රසවත් වුනේ.
    තවත් ලියවෙයි වගේ ඒ ගැන කථා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නයනේ. අත්දැකීම් ලියවෙන්න උත්තේජනය එන්නේ ඔයාලගෙන්.

      Delete
    2. අන්තිමට අපි හිතපු නැති තරම් වැඩ කොටසක් ශරීරෙන් පොඩි හිතෙන් යෝධ මනුස්සයෙක් තනියම කරල තිබ්බ කිසිම අඩු පාඩුවක් නොවෙන්න.

      Delete
    3. ඔයාලට කොහෙද අඩුපාඩු තේරෙන්නේ, ඔන්න ඔයා ගෙනා බැලන්ටයින්වල අඩුවක් තිබ්බා නම්...... කණ්ඩා.

      Delete
  4. ලස්සන සාදයක්. එකතුවෙන්නට බැරිවිම ගැන මේ ලිපිය කියවද්දිත් හිතට බොහොම දුකයි. දහසක් රාජකාරි අතරේ මා බලන්නට පැමිනි බ්ලොග් සහෘදයින්ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අපේ සාදය සතියක් දිග්ගැස්සවීමට ගත් මහා ව්‍යායාමය ගැන කොළොම්පුරේට අපේ උණ්ඩුකපුච්චයෙන්ම නැග එන උපහාරය !

      Delete
  5. අසංග, ඔයා ලෙඩක් දාගත්ත නිසා සනීප වෙනතුරු ඉන්නේ, solo පාටියක් හරි දෙන්න එපයි!

    ReplyDelete
  6. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ගොඩාආආආආආආආආආආරියක් ස්තුතියි Pra.

      Delete
  7. මේ තියෙන්නේ " නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය" පිලිබඳ අටුවා ටීකා සහිත සම්පුර්ණ ඇත්ත කතාව. අපි නොවැරදීම කියවනවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැහැ සෑම්! සත්තයි. ඔයාගේ කමෙන්ට් එක නිසයි මේ පෝස්ට්ස් කිහිපයට මුල පිරුණේ. හැකි නම් ෆොටෝ එකක් එවන්න, කරදරයක් නොවේ නම්.

      Delete
  8. යකඩෝ මේකට පංච තනතරේ නෙවෙයි මහා පතරංග ජාතකේ කියල එපයි දාන්න.. පෝස්ට් එකේ එක කොටහක් ඉවරයි. තවම පාටියට දින ගනිනවා.. හෙහ් හෙහ් හෙහ් .. එල එල.. ඔහොම යන් ඔහොම යන්.. පුරී රස අමතක නොවෙන්න කාලයක් කියවන්න බැරිය..

    ඒක නෙවෙයි කවුද අර තඩි කළු කැත බඩා අර ෆොටෝ වල ඉන්න? ඌ ඉන්න ෆොටෝ තිබිල මම නම් ඩිලීට් කල්ල දැම්ම.. :))))

    ReplyDelete
    Replies
    1. කමි, මටම පුදුමයි පෝස්ටුවට ලියන්න හිතට එන කාරණා ගැන. ඔයාගෙනුත් ආවේ ලොකු උත්තේජනයක්.

      මාත් ඩිලීට් කළා! හැබැයි මං ඉන්න ඒවා.

      Delete
    2. මම ෆොටෝ ටික මූණු පොතේ දාන්නද එපාද කියල හිත හිතා ඉන්නව තාම 🙂

      Delete
    3. කණ්ඩා, මගෙන් නම් තව ලස්සන ෆොටෝ මඟ එනවා, හොඳේ!

      Delete
  9. හෙක්.. ඔය ලියවෙන්නෙ අගේට.

    ReplyDelete
  10. සහභාගී වෙන්න තිබුණා නම් ...... ලොකු වෙනසක් දැනෙන එකක් නෑ සම්පූර්ණයෙන්ම කියවල ඉවර කළාම......අගෙයි

    ReplyDelete
  11. අදද මන්දා ඉස්සරෝවෙලාම මේ පැත්තට ආවේ

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකෝ සංජීව? කවදා හරි මුල්ම දවසකුත් තියෙනවනේ. ආයේ එන්න!

      Delete
  12. පූරි පාටිය. +++++++++++

    ReplyDelete
    Replies
    1. මට හිතුණේ ඉයන් නම් වැඩියම රසවින්දේ සින්දුය කියලයි!

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete