අකුරු මැකී නෑ

Friday, April 12, 2019

හරි හුරතල් - විනාකිරි - සංග්‍රාමය- පළමුවෙනි කොටස



දන්නවනේ මං ඉතින් films පිස්සෙක් කියලා. මං වගේම සිනමාලෝලියෙක් තමයි ශාන්. මගේ ‘විරූපීට රැවටෙන්නේ සුරූපී කියලා’ පෝස්ටු කියෙව්වා නම් ශාන් විමුක්තිවත් ඔයාලා හොඳටම දන්නවා.

ගිය අවුරුද්දේ මුලදී ශාන් විමුක්ති ..........
ශාන් 2018 ජනවාරි 18 වෙනිදා බයිස්කෝප් සිංහලෙන් අඩවියට දායාද කරලා තිබ්බා චිත්‍රපටයක්. Three Billboards Outside Ebbing Missouri. 

නම දැක්කාම නම් ෆිලුම බාගන්න හිතුණේ නැහැ. නිකම්ම ඒකෙ සිංහල තේරුම ඔළුවට ආවේ මහා අවලස්සන විදියකටයි. එබින් මිසූරියෙන් එපිට දැන්වීම් බෝඩ් තුන! දැන්වීම් බෝඩ් කියන එකට ‘කටවුට්’ කියලා තේරෙන සිංහලෙන් රිප්ලේස් කරගත්තත් කිසි ගතියක් හිතට ආවේ නෑ.

සුද්දන්ටත් පිස්සු අම්මපා. නම මදිවට මොනවද මේ ෆිලුමට හදාගෙන තියෙන පෝස්ටර්. නාකි අම්මණ්ඩි කෙනෙක්ව දාගෙන. ඉස්සර නම් ඕවට කිව්වේ ‘කිසිම කිසි - නෑ කිසි’ කියලා.

film එකකට හරියන නමක්ද අප්පා? තවම මතකයි ඉස්සර සිංහල චිත්‍රපටවල නම්. ඇගේ වෛරය, සළුපට අහසට, කන්‍යාවියගේ රාත්‍රිය, තහනම් ගහ..... චිත්‍රපටි බලන්නෙ නැති මිනිස්සුත් බලන්න ඇදුණා නම් දැක්කම! 

ඊට දෙවෙනි නැහැ එව්වයේ කටවුට්ස් වුණත්. පෝස්ටරුත් එහෙමයි. ‘සුසී’ ෆිල්ම් එකේ මාලිනී ෆොන්සේකා නාන ඇඳුමෙන් සැරසිලා ඉන්න හැටි පෙන්වන ‘යෝධ කටවුට් එකක්’ ගහලා තිබ්බා මරදානේ පාලම අද්දර. කාර් ඇක්සිඩන්ට් කීයක් වුණාද මිනිස්සු ඒකට ‘නේත්තරා පූජා’ කරන ගමන් drive කරලා.

නම මදිවට කාවද අප්පා මේ පෝස්ටරේට දාලා තියෙන්නෙ.............
මං හිතන්නේ ශාන්ට වුණත් නමේ අප්සෙට් එක මීටර් වෙන්න ඇති! 

ඉංග්‍රීසි නමට ඉස්සරහින් ‘18+’ කියලත් දාලා, සිංහලෙන් දීලා තිබුණේ වෙනින් හෙඩිමක්. “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර?”. ඒක නම් පොළඹවනසුලු, ගතියක් ඇති කරවනසුලු කතන්දරයක්. ඉතින් මාත් ශාන් ලියලා තිබ්බ ලිපිය කියවන්න ගත්තා.

“මම මිල්ඩ්රඩ් හේයස්”

“මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට පත් කරලා මරල දාල තියෙන එක. මට හැම දේටමත්ම වඩා එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා.............”

“..... මම උන් ගැන මගේම විදියකට බලාගන්නම්........”

ඒක නම් හිතට වැදුණා. ඉතිරි හරිය කියවන්න කලින් පල්ලෙහාට ගියා, තව අය මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලත් බලාගන්න. එතකොට පළවෙලා තිබුණු හොඳම කමෙන්ට් එක Alankara කියන රසිකයාගේ! චමිල් අලංකාර.

Alankara- මම චමිල් අලංකාර, film එක බලනවා තියා මම තවම බාගත්තෙවත් නැහැ. මට වෙලාවකට බය හිතෙනවා film එක බාගත කරගෙන බලන්න.
මොකද මට බයයි අන්තිමට මට හිතෙයි කියලා ෆිල්ම් එකට වඩා ලිපිය හොඳ වුනොත් කියලා.

එහෙම උනොත් මාටින් මැක්ඩොනෆ්ට මොනවා හිතෙයිද? ඔස්කා සම්මාන උළෙල ගැන හීනය පැත්තක තියලා මිනිහා film කරන එක නවත්තයිද දන්නේ නැහැ. මිනිහගේ film එකට වඩා ශාන් විමුක්තිගේ ලිපියට rating වැඩිවෙලා IMDB දර්ශකයට ඇතුළත් උනොත්, මට හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා....... film එක බාගත කරගන්නවද???? නැද්ද????

චමිල් අලංකාර ඒක දාලා තිබුණේ ගිය අවුරුද්දේ ජනවාරි 18 වෙනිදාම උදේ 11. 29 ට.

යසිරු, චනුල් හා ෂෙහාන් තුන්දෙනා ...................
ඊට අවුරුද්දකට පස්සේ චනුල් නේනුක මට කතා කළා. ඔයාලා චනුල්වත් දන්නවා. ඒ හාදයා තමයි ‘අම්මගේ බඩේ ඉඳිද්දීත්’ අපිත් එක්ක මහා වනාන්තර අස්සේ කරක් ගැහුවේ. ඒ නං කාලෙකට ඉස්සර. දැන් කොල්ලා ලොකුයි.

“නිමල් අංකල්. හොඳ තැනක් කියන්නකෝ අපිට ට්‍රිප් එකක් යන්න!”
“අපිට කිව්වේ?”

“අපේ ටියුෂන් පන්තියේ කට්ටියට. අපේ සර් ඕගනයිස් කරන්නේ. හොඳ, ලස්සන තැනකටයි යන්න ඕනේ!”

“කී දෙනෙක් විතර යනවද? කී දවසකටද?” මං ඇහුවා. ගමනක් යද්දී ඉස්-ඉස්සෙල්ලාම බලන්න ඕනේ කාරණා ඕවානේ. චනුල් සාපෙ කළේ ගිය අවුරුද්දේ අග. එයාලගෙ උපකාරක පන්තියේ හිටිය කට්ටිය තමයි ගමන යන්න හදන්නේ.

“හතළිහක් විතර ඉඳියි. girls ලත් යනවා. ඔයා මට කියනවද දවසකටයි, දවස් දෙකකටයි යන්න හොඳ තැන් ටිකක්.”

“කොල්ලෝ, ඒ වැඩේ කරන්නේ කොහොමද? විශේෂයෙන් 40 ක් විතර යනවා නම්, ගෑනු ළමයිනුත් යනවා නම් නවතින්න සුදුසු තැනකුත් වෙන්න එපැයි. අනෙක ලොකු බස් එකකට යන්න පුළුවන් තැනකුත් වෙන්න ඕනිනේ.” 

ට්‍රිප් එකට ටියුෂන් පන්තියේ ගෑනු ළමයිනුත් යනවා නම්..........
මං චනුල්ට කියලා දුන්නේ ‘පස් මහ බැලුම්’ බලන විදිය. ඒක කොච්චර හිතට වැදුණාද කියනවා නම්, ඒ හාදයා එකඟ වුණා පන්තියේ තව යහළුවෙකුත් එක්කම ඇවිත් විස්තර අහගන්න; ෆේස් ටු ෆේස් ඉඳලා.

“ඒක වැඩියත් හොඳයි. එතකොට ෆොටෝ ටිකක් වුණත් පෙන්නන්න පුළුවනි, දැනටම මගේ හිතට ආව තැන් දෙක තුනක.” ඔහොමයි චනුල්, යසිරුයි ඥාති සොහොයුරු ෂෙහාන් අයියයි එක්ක හවසක අපේ ගෙදරට ආවේ.

ෂෙහාන් ගැනත් කියන්නම හිතුණේ කොල්ලගේ ගතියක් නිසා. 

එදා මිනිහා නෙවෙයි ‘හ්ම්’ කියන්නවත් කටක් ඇරියේ. මල්ලිටයි, එයාගේ යාළුවාටයි ප්‍රශ්න අහගන්න;තොරතුරු අහගන්න ඉඩ දීලා ෂෙහාන් පාඩුවේ පැත්තකට වෙලා හිටියා, මාවත් නොදන්නවා වගේ.


කාටද පුළුවන් එහෙම වෙලාවක හොට නොදා කට වහගෙන.........
අනේ හැබෑට, හුඟ දෙනෙකුට පුළුවන්ද එහෙම වෙලාවක හොට නොදා කට වහගෙන ඉන්න? ඇත්තම කිව්වොත් මටත් අමාරු තමයි. ඒත් කතා කරන්න එක කටකුයි, අහගෙන ඉන්න කන් දෙකකුයි දීලා තියෙන එකේ, අහගෙන ඉන්න එක පුරුදු කරගන්න වටිනවා නේද?.

අමාරුවෙන් හරි පුරුදු-පුහුණු වෙන්න ඇහැක් නම් ඇස් දෙකම තරම් වටිනා පුරුද්දක්. යහළුවන් ඇති කරගැනීමේ අතිසාර්ථක ක්‍රමයක්! අත්හදා බලන්න. අත්දුටු සත්ත ගුරුකමකි. වැරදුණොත් මුදල් ආපසු ගෙවනු නොලැබේ. (ගෙවලා නැති නිසා.)   

ඔහොම සාකච්ඡා කරන දවස්වල තමයි මං විනාකිරි බෝතලයක් ගෙනාවේ. අච්චාරු ටිකක් හදාගන්න.

“බත් හරි පිටි කෑම හරි කන වෙලාවක, ඊට කලින් විනාකිරි තේ හැන්දක් විතර බීලා ඉන්න. එතකොට ෂුගර් වැඩි වෙන්නේ නැහැ.” අයස්මන්ත මහත්තයා ඔය වගේ ‘පාරම්පරික රහස්’ මට වැඩිපුර කියා දෙන්නේ නැත. 

“තෝ මහ චණ්ඩාලයා, මේවා කියලා දුන්නම හැමදාම බත් කකා ඉඳියි විනාකිරි බිබී.” 

උන්නැහේ එහෙම කිව්වාට මං චුට්ටක්වත් අමනාප නැත. මං ඒ ජාතියේ එකෙකු තමාය! මං අයිති ‘ජීවත් වෙන්න කන’ කුලකයටය. හැබැයි හිටි ගමන් ‘කන්න ජීවත් වෙන’ කුලකයේ අය විදියටත් වැඩ කරන්නෙමි.

විනාකිරි බෝතලයක් ගෙනාවේ අච්චාරු ටිකක් හදාගන්න කියලාය.............
ගෙවල් ළඟ කඩේකින් ගෙනත් තිබ්බ විනාකිරි බෝතලේ කැඩුවා විතරයි මං, කරන්න හදපු වැඩෙත් නැවතුණා. අච්චාරු පොඩ්ඩක් හදන්නයි හැදුවේ. විනාකිරි බොනවට වැඩිය ලෙහෙසියිනේ අච්චාරු ටිකක් එක්ක බත් චුට්ටක් කන එක.          

මේ විනාකිරි සුදු පාටයි. විනාකිරි කොහෙද බොලේ සුදුපාට? ඔන්න රා නං සුදු පාටයි. කලියුග කාලේ විනාකිරිත් වෙස් මාරු කරලාවත්ද?

කොයිකටත් කියලා මං ලේබලය බැලුවා. නම ගිය කොම්පැනියක විනාකිරි බෝතලයක්නෙ. ‘ස්වභාවික පොල් රා විනාකිරි’. ඉංගිරිසියෙනුත් තියෙනවා, Natural Coconut Toddy Vinegar. එක්ස්පයර් වෙලත් නැහැ. 

සුවඳේ අප්සෙට් එකකුත් නැහැ. ඒත්..... මට මහ මොකක්ද වගේ. ඒකෙන් අච්චාරු හදලා කාලා බඩ යන්න ගත්තොත්..... රුපියල් 125/- කට ලෝබ වුණා වගේ නෙවෙයිනේ. කඩෙනුත් අහලම ඉන්නවා. මොකක් හරි අවුලක් නම් තව මිනිස්සු කියලා නැතැයි!

“නැහැ අයියේ. වෙන කවුරුවත් නම් කම්ප්ලේන් කළේ නැහැ!” වෙළෙඳසලේ මල්ලියා කිව්වා. මනුස්සයා මට බොරු කියන්න හේතුවක් නැහැනේ. ඒත් මගේ හිත අවුලක.

මෙහෙම වෙලා තියෙන්න ඇත්තේ මේ විනාකිරි බෝතලේ විතරක් වෙන්න බැහැනෙ. ගෙදරක හදපු මඟුලක්යැයි. ‘නිකාඩෝ’ වගේ සමාගමකින් හදපු දෙයක්නෙ. තොගයක් හදනවනෙ. එතකොට තවත් විනාකිරි බෝතල් සෑහෙන ගණනක් මේ වගේ වෙන්න එපායැ. ඒවා ගෙනිච්ච සේරමලත් පොට්ටයෝද? මට හිතුණා.

පැන් තලියේත් කිඹුලන් ඉන්න පුළුවන්..........
‘තලියේ කිඹුලන් දකින්නා සේ’ කියන්නෙත් මේකට වෙන්න ඇති. මහා ලොකු ගානක්යැ? 125/- ක් පාඩු වුණා කියලා මං දුප්පත් වෙනවය? මමම මටම උත්තර දීගත්තා! ඒක තියෙද්දී ඔන්න ආයෙම අතීතෙට.............

චනුල්ලා ආවා. “දවසක එකක් යන්නේ. හැබැයි නිමල් අංකල්, යන රූට් එකේ තැන් දෙක-තුනකටවත් යන්න ඕනේ. නාන්නත් ඕනෙමයි.” චනුල් රික්වයර්මන්ට්ස් කිව්වා. “අපේ සර් කිව්වා පුළුවන් තරම් කලින් යන්න පුළුවන් කියලත්. අම්මලා තුන්-හතර දෙනෙකුත් යනවා.”

දවසකින් යා හැකි තැනක්. බලන්නට දෙයක්. නාන්නත් තැනක්. වැඩි වියදමකුත් නැති, ඇඩ්වෙන්චරස් ගමනකුත් වෙනවා නම් තවත් හොඳයිනේ. 

මගේ ඔළුවට ආවේ ‘දියවිනි ඇල්ල’.

නොකඩවා මගේ බ්ලොගය කියවන රසිකයන්ට නම් දියවිනි ඉනාව අමතක වෙන්න විදියක් නැහැනේ. 

චනුල්ලාට පෙන්නුවා දියවින්න ගමනේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත්. විස්තරත් කිව්වා. ‘විදු පියසේ’ ගෝලයන් දෙන්නාම නං සැටිස් වගෙයි පෙනුණේ. “එතකොට ඒ ඇල්ල විතරයිද අංකල් බලන්න වෙන්නේ?” යසිරු ඇහුවා.

දියවීනි ඇල්ල වගේම, ඇල්ල ළඟදි පෙනෙන ගමත් හරිම අපූරු දර්ශනයක්.......
“...... අපි නම් නිතර ගමන් යන හින්දා ගොඩක් තැන් එක ගමනෙන්ම කවර් කරන්න plan කරන්නේ නැහැ. යන්න පුළුවන් තැන්වල list එකක් මං දෙන්නම්. ඔයාලා පිටත් වෙන වෙලාවයි, තැන්-තැන්වලදී ගන්න වෙලාවයි අනුව සමහර තැන් අතහරින්න වෙයි.....” මං කිව්වා. කියලා කට ගන්න ලැබුණේ නැහැ, යසිරුම ආයෙත් පටන්  ගත්තා.

“අපි යන රූට් එකේමනේ අංකල්?”

දැන් ආපහු ශාන් විමුක්ති සබ්ස් දුන්නු ෆිල්ම් එකට යන්නයි හදන්නේ! සමහරුන් නම් මගේ මේ වංගු ගැහිල්ලට තරහා ගත්තු වෙලාවලුත් තිබුණා. ඒත් මොකද කරන්නේ.

අත්තානං උපමං කත්වා. තමන් උපමා කොට හිතන්න. මං කැමතියි ටිකක් මොළය වෙහෙසවන්න. පැටලිලිවල අවුල් අරින්න. 

පොඩි කාලෙදිම; හෝඩියේ පන්තියට යන්නත් කලින්ම අපේ මහරගම ආච්චිලට ඇහෙන්න දිනපතා ‘ලංකාදීප’ පත්තරේ කියවපු හින්දද මන්දා එහෙම මොළේ වෙහෙසවන්න කැමැත්තක් ඇති වුණේ. අනෙක පංච තන්තරේ පොතත් එහෙමනේ. ඉතින් ඔයාලවත් ටිකක් අවුල් කරවන්නමයි හිත. 

හැබැයි අද මේ කියාගෙන යන කතන්දර ටිකත් එකකට එකක් සම්බන්ධයි. බොහොම සියුම් හූයකින් ඒවා ගෙතෙන්නෙ. ඉතින්, ටිකක් ඉවසිල්ලෙ; නිවිහැනහිල්ලෙ කියවගෙන ගිහින් ළිහා ගන්නකෝ!


බිල් විල්ව්බිට (රඟ නොපා) රඟපාන්නේ වූඩි හැරල්සන්..........
මම බිල් විල්ව්බි

“මම තමයි එබින් නගරයේ ෂෙරිෆ්. මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව බොහොම ටික කාලයයි. මට දරුණු පිළිකාවක් තියෙනවා....... මේ අතරවාරයේ තමයි මිල්ඩ්රඩ් හේයස්ගේ දුව ඇන්ජලා හේයස්ව අතවරයට ලක් කරලා මරල දාල තිබ්බේ. මම හැම හෝඩුවාවක් පස්සෙන්ම ගියා. අපරාධකාරයාගේ DNA අපි ළඟ තියෙන හැම අපරාධකාරයෙකුගේම DNA වාර්තාවන් එක්ක සංසන්දනය කරලා බැලුවත්................” එහෙමයි ශාන් ලියපු ලිපියේ තියෙන්නේ.

අහුමුලුවල තමයි හොඳ-හොඳ කෑලි හැංගිලා තියෙන්නේ. මේ වගේ පෝස්ට්ස්වල නං කමෙන්ට්ස්වල. මං ආයෙමත් ...... ඔන්න ඉතින් තව වචනයක් අහගන්නයි වෙන්නේ. මීයාව පහළට ගෙනියනවා කියන්නේ, පරිගණක භාෂාවෙන් ‘mouse එක ස්ක්‍රෝල්’ කරනවා කියන එකටද? හරි! එහෙම කරනවා කියමුකො. කරලා කියවගෙන ගියා.

බණ්ඩාර මුදියන්සේ කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රසිකයෙකුත් 2018 අප්‍රේල් 2 වෙනිදා දාපු කමෙන්ට් එකක් මේ. ‘සබ් එක ගැන කියන්න වචන නැහැ.... පරුෂ, අසභ්‍ය වචන දාන්න ඕන තැනට නියමෙට දාල තියෙනව, ඔයා. Great!’.


මතකයි නේද 'අම්මට හැම නියං' කාලෙටම කමෙන්ට් එකේ...........
එහෙනං හොඳ; අලුත් කුණුහරුප ටිකකුත් ඉගෙනගන්න පුළුවන් වේවි වගෙයි! පරුෂ වචන නම් ඉගෙන ගත්තා කියලත් මොකාට බනින්නද? අර කමෙන්ට් එකකින්ම මං ඉගෙනගත්තු “...අම්මට හැම නියං කාලෙටම...” මතකයි නේද?

මගෙත් කැත හිත. හැබැයි බණ්ඩාරගේ ඒ කමෙන්ට් එක දකින්නත් ඉස්සෙල්ලම මං ෆිලුම ඩවුන්ලෝඩ් වෙන්න දාලයි තිබ්බේ. මොකද ශාන්ගේ ලිපිය ඒ තරම් රහයි. මතකනේ, Alankara කියලා තිබ්බ දේවල්. ඇයි ශාන්ගෙ ලිපියේ? ඒ ලිපියෙම තව ටිකක් මේ.

මම ඇන්ජලා හේයස්

“එබින් නගරයම කතා වෙන්නේ දැන් මං ගැන තමයි. නගරේ මිනිස්සු විරසක වෙලා ඉන්නේ මං නිසා.ඇත්තටම මං දැන් ජීවතුන් අතර...............”

මම මාටින් මැක්ඩොනෆ්

“මම තමයි ඇන්ජලා හේයස්ගේ කතාව ලිව්වේ. ඒ වගේම අධ්‍යක්ෂණයත් මගේ...... මං හිතනවා මට වැරදුණේ නැහැ. මම එහෙම කියන්නේ මොකද මට මේ කතාවට IMDB 8.3 ක් ලැබිල හොඳම සිනමාපට අතර 122 වැනි ස්ථානය දිනාගන්න හැකි උනා විතරක් නෙමේ 2018 ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උළෙලේදී සම්මාන හයකට නිර්දේශ වෙලා සම්මාන හතරක් ලබාගන්න පුළුවන් උනා............. 


bill බෝඩ් තුනේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කළේ මාටින්...... 
මගේ බලාපොරොත්තුව මෙවර ඔස්කා සම්මාන උළෙලේදීත් මේ විදියටම.............”

ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන IMDB අගය 5 පැනලා නම්, මං ඒ ගැන වැඩියෙන් උනන්දු වෙනවා. සම්මානවලට නිර්දේශ වෙනවා කියන්නෙත් මගේ + පොයින්ට් එකක්. 

එහෙම හතර පෙර නිමිති බලලා බාගෙන තිබ්බත් අවුරුද්දක් යනතුරුවත් මට ඒ ෆිලුම බලන්න වෙලාවක් ලැබුණේ නැහැ. වැඩ, වැඩ, වැඩ! වැඩ වගේම ගමන්-බිමන්!! (ඩවුන්ලෝඩ් කරගත් ෆිල්ම්ස් සීයකට වැඩිය බලන්නත් තියෙනවා. ඒ වගේම dvd... කීපෙකුත්.)

බ්ලොග් එක ලියන රාජකාරිය පටන් ගන්න කලින් නම් සතියකට ෆිල්ම්ස් පහක්වත් බලනවාමයි. දැන් එහෙම ටාගට් එකක් ගැන හිතන්නවත් බැහැ. 

මේ බ්ලොගය කියවන රසික-රසිකාවියන්ටත් සාධාරණය ඉටු කරන්න වෙනවනෙ.

“යසිරු, එහෙනං ඔයාලා ලියාගන්න. එතකොට සර් එක්කත් කතා කරලා හොඳ විදියක් තීරණේ කරගන්න පුළුවන්නෙ..... පැල්මඩුල්ලේ කිරිඳි ඇල්ල. උසේ විදියට බලනවා නම් ලංකාවේ හත්වෙනියට උසම දිය ඇල්ල.....”

ෆොටෝ හතරක් වුණාට මේ සේරම කිරිඳි ඇල්ලේ ඒවා...........
මං එහෙම කියද්දී ඔයාලටත් ගිහින් බලන්න හිතුණද? අනේ හොඳයි. මේ දවස්වල නිවාඩුත් එක්කනේ. යන්න, යන්න! ගිහින් බලලා එන්න, ඉතිරි ටික කියවන්න වෙන්නෙත් ටික දොහක් ගියාමනෙ, අදට මෙතනින් නවත්තන හින්දා.


13 comments:

  1. එකම එක ප්‍රශ්නයයි. කාගෙද අර XR එක ?


    ඉස්සර නම් බයිස්කෙ ා්ප් අඩවිය බදු අරන හිටිය. දැන් නම් සුද්දගෙ බාසාව ටිකක් ටිකක් මන්දෙ ා් කරන නිසා ඒ ඉසව්වෙ යැවෙනව අඩුයි.

    ReplyDelete
    Replies
    1. මධූ, චනුල් මන්නාරම් ගිහින්. ආවම XR එක ගැන අහලා කියන්නම්!

      Delete
  2. පොල් රා වලින් හදන විනාකිරි තිබුණෙ ඉස්සර නෙ. දැන් තියෙන්නෙ පොල් වතුර වලින් හදන ඒව.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසන්න, ඒත් සුදු පාට?

      Delete
  3. ඉස්සරලාම ඔබට සුභ අලුත් අවුරුද්දක් පතනවා. රසවිඳීම දෙවෙනි තැනට දාල රස බෙදනවාට බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. ඔයාටත් බොහොම ස්තුතියි, අවුරුද්ද ලබනවත් එක්කම පංච තන්තරේ පෙරලුවට!

    ReplyDelete
  5. මම කතාවක් ලියාගෙන යනව මේ ශෛලියටම... හැක් හැක්!

    ReplyDelete
  6. ඩ්රැකී, හැබෑම සන්තෝසයි! අපටත් කියවන්න පුළුවනිනේ!!

    ReplyDelete
  7. බයිස්කෝප් එකේ කැප්ටන් මාවල් එකට දාපු කමෙන්ටුවෙන් තමා දැක්කේ ආයේ ෆිල්ම් එකක් බලල ඒක හිතට බොහොම දැනිල තියෙන බව.
    ඇවිදිල්ල කියවල බැලුවම තමා දැක්කේ වනල තියෙන වැනිල්ල
    බෝම සන්තෝසයක් දැනුනා හැබැවටම :D
    බොහොම සතුටුයි වෙන මහන්සියෙන් ඔයාල වගේ උදවිය අඩු නැතිව ප්‍රයෝජන ලබන විත්තිය දැනගන්න ලැබීම
    ඒ වගේම කණගාටුයි කලින් නොදුටු එකට මේ ලිපිය පිලිබඳව....
    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. මම ශාන් විමුක්ති :D

      Delete
    2. ස්තුතියි ශාන්,

      ඔයාටත් මේ ගැන දන්වන්න ඕනෙයි කියලා හිතාගෙන හිටියට ඒක මඟ හැරුණා පුදුම විදියට. ඉස්සෙල්ලාම සමාවෙන්න, ඒකට. ඇත්තටම මං අසාධාරණ තරමට වනලාද?

      මං අමාරුවෙන් හරි සතියකට ෆිල්ම්ස් තුන-හතරක් බලනවා. ඒ සේරම ඔයාලගේ 'බයිස්කෝප් සිංහලෙන්' සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඒවා. බලන හැම එකකටම වචන දෙකක කමෙන්ටුවක් හරි දානවාමයි. බලලා ඉවර වෙලයි ඒක කරන්නේ. දහයක් විතර එකතු වුණාම.

      ඊයෙත් ඒක පටන් ගන්න හදන කොටයි දැක්කේ ඔයාගේ 250 කඩඉම. එතකොටම ක්ලික් වුණා මගේ වැරදීම. ඒකයි ෆිල්ම් එක බාගන්නටත් කලින්ම සුබ පැතුවේ!

      හිතට තදින්ම දැනුණු-වැදුණු ෆිල්ම්ස් නම් තව තියෙනවා. ඒත් ඉතින් මං චිත්‍රපට විචාරකයෙක් නෙවෙයිනේ. හැබැයි, ෆිල්ම් එකක් හරි- පොතක් හරි- සින්දුවක් හරි හිතට වැදිලා තියෙද්දී එක මගේ ජීවන අන්දරයට ගැළපෙන ලින්ක් එකක් එක්කම ඔළුවට ආවම නම් පොස්ට් එකකින් ලියවෙනවා. ඒකයි වෙන්නේ.

      Delete
  8. අපි නම් සුදු පාට විනාකිරි පාවිච්චි කරනවා අවුලක් නැතිව ... පෙට්‍රල්, භූමිතෙල් වලින් හදනවද දන්නෙත් නෑ ... දියවිණි ඇල්ල සහ කිරිඳි ඇල්ල ... කෝ ලිස්ට් එකේ ඉතිරි ටික?

    ReplyDelete
    Replies
    1. දවසකදී යන්න වගෙයිනෙ මේ මහත්තයා ලිස්ට් එක අහන්නේ.

      Delete