අකුරු මැකී නෑ

Wednesday, April 17, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස

රණ්ඩුව නවත්වන්නැයි කෑ ගැහුවොත්...............
“ඕක නවත්තපල්ලා යකුනේ!” මගේ කීමට බන්දුල, සමරසිරි දෙන්නගෙන් එකෙක්වත් කන් දුන්නේ නැත. කන් දෙන්න තරම් හයියෙන් මං කිව්වෙත් නැත. එතැන කෑ ගැහුවොත් වටපිටාවෙ ගෙවල්වල මිනිසුන්ටත් ඇහෙයි. (අපේ සීයාත් ලජ්ජාකාරයකු නිසාම කේන්තියෙන් ගෙදර පිඟන් පොඩි කළේ තෙත ගෝනියකින් වහලාය. මටත් තියෙන්නේ එහෙව් ලජ්ජාවකි.) අපේ නළුවන් දෙන්නාගේ ගෝරිය නිසා මටත් වැඩියෙන් කේන්ති ගිහින් තිබුණේ සුනිල්ටය.

“ගෙදර ගිය ගමන් මං තාත්තට කියනවා!” එහෙම කිව්වේ මංය, ඒත් හරි ගියේ නැත. තාත්තාට බයෙන් ඉන්නේ අපය. මුන්දලා නොවේ. දැන්.....? එතකොටම අපේ සුනිලා කළේ හිතාගන්න බැරි වික්‍රමයකි!

ඒ දවස්වල ගෙවල් වටේට දඩෝරියන් තාප්ප බැඳලා කොටුකොට තිබ්බේ නැත. වත්ත වටේ කම්බි වැටක් ගහලා තිබුණෙත් එහෙමත් තැනක විතරය. පියදාස මුදලාලිල වත්ත වටකොට තිබුණෙත් ඉණි වැටකිනි. ඒ වටේ වැඩිපුරම තිබුණේ වැට එඬරු ගස්ය.

වත්ත වටේ මායිම් ලකුණු කළ ඉණි වැටේ වැට එඬරු ගසුත්.........
අපේ පලේ උදවිය නම් වැට එඬරු ගස් හඳුනනවා ඒකාන්තය. “ළමයි, හෙට අපේ පන්තියේ කළු ලෑල්ල කළු කරනවා. මතක ඇතිව හැමෝම එඬරු කිරියි, ලාම්පු දැලියි අරන් එන්න ඕනේ!” ඒ කාලේ ඉස්කෝලේකදී අවුරුද්දකට වතාවක් කියවෙනවාමය. 

ඉතින් එදාට අපටත් පොංගල්ය. (තයි පොංගල් නොවේ. ඒ දවස්වල නං එහෙම කියවුණු ගමන්ම මොකෙක් හෝ නසරානියෙක් වචන දෙකේ මුලකුරු මාරු කරලා කියන්නේ මහා හපන්කමක් විදිහටය.) ඉතින් අද ලොකු ඉස්කෝල දෙකක් අතරේ Big Match එකක් තියෙනකොට හැදෙන උන්මාදයටත් වැඩි පිස්සුවකිනි, එදාට අප ගෙදර දුවන්නේ.

හැම එකාටම ඕනෑ කරන්නේ පහුවදාට ලොකුම එඬරු කිරි බෝතලයයි, ලාම්පු දැලි මුලයි පන්තියට අරන් යන්නටය.

එදා හවස්කරේ ළමයින් රංචු ගැහී ගම පුරා රෝන්දේ යාම කොයියම්ම අම්මෙකුටවත්, තාත්තෙකුටවත් නවත්තන්නට බැරිය. 

ගම පුරාම වැට මායිම්වල උජාරු පෙන්නනමින් සරුවට වැවී තියෙන එඬරු ගස්වල හතර හන්දි බිඳෙයි. දුකටමදෝ එඬරු ගස් කඳුළු පෙරද්දී අපේ අතේ තියෙන බෝතල් කුප්පි එව්වායින් පිරෙයි! ගොම්මන් වෙලාව වෙද්දී අප ගෙදර දුවන්නේ ඊළඟ හෙයියම්මාරුවටය.

එදාට කුප්පි ලාම්පුව කරන්නේ ගෙදර එළිය කිරීමේ රාජකාරිය නොවේ. පහන් දැල්ලට උඩින් අල්ලාගෙන ඉන්නා වළං කෑල්ලට දැලි උපද්දලා දීමය.

ළමයි රංචු පිටින් ගම පුරා කරක් ගහමින් එඬරු කිරිත්,,,,,,,,,,,,,
බන්දුයි සමරෙයි රණ්ඩු වුණුදා පියදාස මුදලාලිගෙ වැටේ තිබුණු එඬරු ගහක්ම අපේ සුනිල්ගේ අතට ආවේ විදිලි කොටන්නා වගේ ඉක්මනටය. පුංචි බට්ටෙක් වගේ ඉඳගෙන සුනිලා දිගට හරහට අර දෙන්නාටම එඬරු බැටේ බෙදුවේය. රණ්ඩුව නැවතුණේය. නමුත් බන්දුගේ හිතේ කෝන්තරය නම් ඉතිරි වුණේය!

පූර්ණක යකාට ආවේශවූ වෙලාවේ බන්දු විධුර පණ්ඩිතයන්වූ සමරසිරිගෙන් පිරිමැහුවේ ඒ කෝන්තරයයි. ඔහොම chance සමහරුන්ට වදියි.

“නිමල් අයියේ xxx අක්කටත් මුල් කාලේ හරි වැඩ වෙලා තියෙනවා. ඕනෙම නිළියකට නළුවෙකුට එහෙම වෙන්න පුළුවනිනේ. xxx අක්කත් මේන් රෝල් එකක් කළ මුල්ම filmsවලින් එකක්ලු මේ. 
ඒ දවස්වල හොඳටම ජනප්‍රිය .... අක්කට තිබුණලු xxx අක්කගේ කම්මුලට ගහන්න. එක ටේක් එකෙන්ම ෂොට් එක අරගෙන. 

ඩිරෙක්ටර් ok කියලත් .... අක්කගේ අම්මා කිව්වලු ‘නැහැ, නැහැ, ඒක ඔයිට වැඩිය හොඳට අපේ දූට කරන්න පුළුවන්. තව ටේක් එකක් ගනිමු කියලා. එහෙම කිය-කියා හත් අට වතාවක්ම මේ අම්මණ්ඩි xxx අක්කගේ කම්මුලට ගස්සවල, ඉරිසියාව හින්දා.”

සිනමා නිළියකගේ ජීවනාන්දරය ග්‍රන්ථයකට නැඟෙද්දී ඔය විත්තිය මා සමඟ කියූ එක්කෙනාත්, කම්මුල් පහර කෑ නිළියත් තවමත් සිනමාවේය. 

අර අම්මා විතරක් නොව දියණියත් දැන් ජීවතුන් අතර නැත. ඒත් ඒ සිදුවීමට සම්බන්ධ චිත්‍රපටය මහරගමත් ගෑවුණු එකකි. ඒකෙ ප්‍රධාන නළුවා වුණෙත් ආධුනික නළුවෙකි. හිටියේ අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලයේ ඉස්සරහම තියෙන හෝටලයේ කැෂියර් කූඩුවේය!

කරු හිටියේ අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලයේ ඉස්සරහම..........
film එක ජනප්‍රියවී නැඟලා යද්දී ඉස්කෝලේ ළමයි ඉන්ටවල් එකේදී හෝටලයට පිරෙන්නට වූහ. තේ බොන්නට නොවේ; වතුර බොන මුවාවෙන් ‘කරු නානායක්කාර’ව බලා ගන්නටය. එහෙම ගිය ළමුන් ගොඩේ මේ මැට්ටාත් උන්නේය.

අනේ, කරුට ඊට පස්සෙම ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ තැනක් ලැබුණු බවක් මට මතක නැත. ඒ තියා සිංහල සිනමාව ගැන විශ්ව කෝෂයක් වගේ පොතක් වන ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ ලියූ ආචාර්ය නුවන් නයනජිත් කුමාරටත් ඒ අවාසනාවන්ත ප්‍රධාන නළුවාව මඟ හැරිලාය. ‘චිත්‍රපට නාමාවලියේ’ විතරය ‘කරු’ ඉන්නේ.

අපේ විදුර පණ්ඩිතයන් වහන්සේවත්, විදුර නාට්‍යයවත් කරු නානායක්කාර තරම් අවාසනාවන්ත වුණේ නැත. යහතින් රඟ දැක්වුණේය. හැබැයි ෆයිනල් රිහසල් එකේදීම වැටෙන්නට ගිය ලෝක ලෙඩකින් බේරුණු හින්දාය. 

එහෙම නොවුණා නම් ප්‍රේක්ෂකයන් තවම හූ කියනවාය!

ඉස්සර ටීටර්වල ප්‍රධාන කතාවට අමතරව වෙනම විහිළු කතාවකුත් තියෙනවාමය. ඒබ්‍රහම් මාස්ටර් ගෙනා පිටපතේ එහෙම කතාවක් තිබ්බේ නැතත් විහිළු සින්දු කිහිපයක් තිබුණේය. “ගුණේ, එහෙම ඒවා තියෙන්නේ ස්ටේජ් එකේ  සෙට්ස් මාරු කරන්න වෙන වෙලාවල. ගොඩක් වෙලා main කර්ටන් එක වහගෙන ඉන්න ගියොත් මිනිස්සු හූ කියන්න ගන්නවනේ.” අබරන් මාස්ටර් කිව්වේ ටවර් එකේ නටද්දී කරපු හැටි හෙළි කරමින් ය.

එහෙම කොමඩි සීන්ස් දාන්නේ සෙට්ස් මාරු කරගන්න .........
“දැන් අයට ඔව්වා අල්ලන්නේ නැහැනේ. මාස්ටර් හිටියා නං හෙම ඒ සිංදුත් දාන්නම වෙනවා. දැන් ඉතින් මාස්ටරුත් නැති එකේ ඒවා නොදා ඉමු! සෙට්ස් වෙනස් කෙරිල්ලකට අපිට තියෙන්නෙත් මේසේ කොනකට තල්ලු කරලා කළු රෙද්දක් දාන එක විතරයිනේ.” අපේ තාත්තා තීරණය කළේය.

සාමාන්‍යයෙන් නම් නාට්‍යයක් පුරුදු පුහුණුවී ‘මංගල දර්ශනය’ පවත්වන්නට කලින් light රිහර්සල් එකක් පැවැත්වෙයි. එය බොහෝ විට ඩ්‍රෙස් රිහර්සල් එකකුත් වෙයි. අපේ නාට්‍යවලදී ඔය දෙකම තිබ්බේ නැත. දෙකම වෙනුවට ෆයිනල් රිහර්සල් එකක් විතරක් තිබුණේය.

ඒ අවසාන රඟ දැක්වීම කෙරුණේ මහරගම බුවෙනකබා විදුහලේ වේදිකාවේය. ඒකම තෝරාගත්තේ එඩ්වඩ් ලොකුලියනගේ හෙවත් ‘නැටුම් සර්’ හෙවත් ‘උදේනි අල්විස්ලාගේ සර් මහප්පා’ හින්දාය. එතකොට බුවෙනකබාවේම උගන්වමින් උන් නැටුම් සර් එක විනාඩියෙන් ‘මහරගේ සර්’ට කියා අපට අවසර අරන් දුන්නේය. මා බුවෙනකබාවේ ඉගෙනගත්තේ නැතත් විදුහල්පති මහරගේ සර් මටත් සැලකුවේ ඒ පාසලේම සිසු දරුවෙකුට වගේය.

ඉතින් එක වතාවක් විදුහල් වේදිකාවේ නාට්‍යය රඟපා ඉවර වුණාමය, පත්මේ මගේ ළඟට සේන්දු වුණේ. “රංජි මල්ලී, තාත්තාගෙන් අහනවකෝ මාත් ස්ටේජ් එකේ අර සිංදුව ඇට් කරන්නද කියලා.”

එවෙලේ තාත්තා උන්නේ නැටුම් සර්ලාත් එක්ක සාකච්ඡාවකය. නාට්‍යයේ ගුණදොස් විචාරමින්ය.

පත්මේ පත්මයක් නොව පව් පඳුරකි!
වචන දෙකකින් පත්මේ හඳුන්වන්නැයි කවුරුන් හෝ මට කිව්වොත් මං කියන්නේ මේ වචන දෙකය! ‘පව් පඳුරක්’. අනේ පත්මේ, අද වුණත් මෙහෙම කියන්නේ මගේ කෝණයෙන් බලලාය. අපේ ගෙදරට ඉස්සෙල්ලාම ඉබ්බෙක් අරන් ආවේ පත්මේය. 

ඉබ්බෙක් කිව්වේ දොරට දමන ඉබ්බෙක් නොවේ. දිය කුකුළෙක්! වටිනා වස්තුවක් වගේ, හිස් සිමෙන්ති බෑගයක දමාගෙන ඇවිත් අපේ තාත්තාට ඌව පෙන්වන්නට බෑග් එකේ කට ඇරියා විතරය. මුළු ගෙදරම ගන්දස්කාරෙන් පිරුණේය.

“ගණන් ගන්න එපා, ගුණපාල අයියේ. ඉබ්බෝ පඩ අරිනවා බය වෙච්ච ගමන්.” කියන ගමන්ම පත්මේ බෑග් එකේ කට වැහුවේය. “හැබෑම ගුණයි ගුණපාල අයියේ. බලා ඉද්දී ලේ උනන මාංශයක්.....”
  
“ඒකට නං කමක් නැහැ. හැබැයි ගොයියෝ මේ හතර මායිමේ තමුසේ ඕකාව මස් කරලා අපේ අම්මට අහුවුණොත් අපි දෙන්නම ගස්! මං උයන්නං. හැබැයි තමුසේ වෙන කොහේදී හරි ඕකව මස් කරලා ගේනවා.” මතකනේ අපේ ආච්චී; දසනායක රත්නවතී යකඩ අම්මණ්ඩිගෙ වග! 

“එච්චරයි ගුණේ අයියා!” කියාගෙනය පත්මේ එදා ගියේ. ඊට පස්සේ පත්මේ එහෙම කළේ නැත. ඒ කිව්වේ කිසිම සතෙකු පණ පිටින් නොගෙනා බවය. ගෙනාවේම මරලා, මස් කරලාත් ඉවර වෙලාය. වතාවකට දියකුකුල්ලු, වතාවකට තලගොයි! දුවන පුහුල්; කුකුළන් ගෙනාවෙත් අතින් සල්ලි හෙම ගෙවලා අරන් නොවේ. හොරාටය.

ඒ කිසිම සතෙකු පණ පිටින් අපේ ගෙදරට ............
එහෙම දවසට අපේ පිඟන්වලටත් ඒවා බෙදෙයි. තාත්තා උයා ඉවර වුණු වහාම පත්මේ මස් හට්ටියෙන් බාගයක්ම අපට වෙන් කරයි. ඊට පස්සෙය, එයාලා සප්පායම් වෙන්නේ. නිකම්මත් නොවේ, සුදුවා; කසිප්පු බෝතලයකුත් එක්කය.

එහෙව් පත්මේය මට අර යෝජනාව ගෙනාවේ. සාමාන්‍යයෙන් නම් පත්මේ ලජ්ජාකාරයෙකි. හැබැයි එදා විධුර නාට්‍යයේ කොලු-කෙලි විස්සක-තිහක කෙරුවාව දකිද්දී පත්මෙත් ෆෝම් වෙලාය. මිනිහාට බැහැයි කියන්නත් බැරිය. ඉතින් මං කළේ හෙමින් සීරුවේ තාත්තා ළඟට කිට්ටු කිරීමය.

එතකොට තාත්තලාගේ සාකච්ඡාව ඉවරය. තාත්තාටත් කලින් මට කතා කළේ නැටුම් සර්ය.

“යසයි කොල්ලෝ. උඹට නටන්න සීන් එකක් නැති එක තමයි පාඩුව.” බුලත් විටකුත් ඒදා ගනිමින් එඩ්වඩ් ලොකුලියනගේ ගුරුතුමා කිව්වේ ඇත්තටමය. ඒ දවස්වලය එතුමා මට අලුත්ම ගීතයකට රංගනයක් උගන්වමින් හිටියේ. 

සිංදුව හින්දි කොපියක සිංහල කොපියේත් කොපියකි. ඔරිජිනල් හින්දි ගීතය මොහමඩ් රාෆිගේ ‘Ehsaan Mere Dil Pe Thumhara Hai Dostho’ය. මිල්ටන් පෙරේරාගේ “සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ” සිංහල කොපියයි. විමලා දේවියට රැඟූ නීලා අක්කා ඒ තනුවට ලියූ ගීතයකට නටන්නටය මා උගනිමින් හිටියේ. මුල් පද දෙක මෙහෙමය.

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ.......................

   ‘ප්‍රියංකර පොඩි පුතුනේ පොඩියක් අහන්නකෝ
   සුරැකීමට ලක් මෑණී පෙරමුණ හිටින්නකෝ...”
බය නැතිව; කිසිම ලැජ්ජාවක් නැතිව මේවා මෙහෙම ලියන්නේ සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, රත්න ශ්‍රී විජේසිංහ වැනි ගේය පද රචකයන් නීලා අක්කා ඉදිරියේ කැළේ තමයි කියා හිතාගෙනය.

දිව්‍ය අංගනි 11 පෝස්ටුවෙදී විචිකිච්ඡාවෙන් කියූ දේකටත් මේ දැන් උත්තරයක් හිතට නැඟිණි. විධුර පෙන්නුවේ 1968 තමාය. ‘එහ්සාන් මෙරේ දිල් පෙ’ සිංදුව තිබුණු ‘Gaban’ හින්දි ෆිලුම ඇවිත් තියෙන්නේ 1966 අවුරුද්දෙය. එඩ්වඩ් සර් මට නැටුම් ඉගැන්නුවෙත් 68 විතරය. 

මං කිට්ටුවට ආවේ මොකක් හරි කියන්නට බව තාත්තා දනියි. ‘මොකෝ’ කියලා ඇහුවේ නිකට උඩට උස්සන ගැස්සීමකිනි; ඔළු බාසාවෙනි. “තාත්තෙ, පත්මේ අහනවා එයත් ස්ටේජ් එකට ගිහින් අර සිංදුව ඇක්ට් කරන්නද කියලා.”

“ඈ?”

තාත්තාට කියවුණේ එච්චරය. පත්මේ ළඟට ගියේය.

අපේ තාත්තා පත්මෙට වරම් දුන්නා වගෙය..............
නීලාක්කාගේ ගීත රචනා මිස ඒ දවස්වල, අබරන් මාස්ටර්ගේ මොනිටර් එක්සයිස් පොතේ තිබුණු කොමඩි ගීත ලිව්වේ කවුද කියන එක මට වැදගත් නොවුණු හැටි. එයිනුත් පත්මේ රඟන්නට හැදූ ගීතයේ මුල විතරය මට අමතක නොවී තියෙන්නේ. 
“ස්ටයිල් බොහොම ගුඩ් ලුක් - මං වගේ නැත්තේ තරුණෙක් දැන් - ජොලි පිට ජොලි මල් මල් මල් හැලෙනවා”.

අපේ තාත්තා පත්මෙගේ ළඟටම ගිහින් එයාට වරම් දුන්නා විය යුතුය. 

පත්මේ හරි-බැරි ගැහී පඩි පෙළ නැඟගෙන වේදිකාව උඩට ගියේය.... හරි මැදට. පහතින් වාඩිවී හිටි කිහිප දෙනා දෙසට බැල්මක් දැම්මේය. මැන්ඩිය පාගන ඉරියව්වෙන් හිට ගත්තේය.

නාට්‍යයට දාන්නට නොහිටියත්, පත්මෙගේ ආසාවටම එයාට රඟන්නට කියා දෙමින් තිබුණේ එහෙමය. “මේක කොමඩියක්නෙ. තමුසේ ඔහොම හිටගෙන අත් විතරක් එහෙ-මෙහෙ කර-කර පේළි දෙකක් කියනවා..... ඊට පස්සේ බකල ගගහ ඇවිදින ගමන්..........”       


මැන්ඩියට හිටි පත්මේ ලොකු හුස්මක් ඇදලා පටන් ගත්තේය!

‘ස්ටයිල් බොහොම ගුඩ්..... ස්ටයිල් බොහොම ගුඩ්..... ස්ටයිල් බොහොම ගුඩ්....’ තැටියට ඉරි ගහලා වගෙය. වචන තුනක් විතරක් ආයෙ-ආයෙත් කියවුණේය. හැබැයි කටේ සද්දෙත් එන්න-එන්නම අඩු වුණේය. කටේ සද්දය අඩුවේගෙන-වේගෙන යනවාට සමාන්තරව පත්මෙගේ කකුල් වෙවුලන වේගය වැඩිවේගෙන-වේගෙන ගියේය. 

කුකුළන්ගේ බෙලි කැපුවාමවත් උන් එච්චර වෙවුලුවේ නැත. මිනිහා එහෙමම වේදිකාව උඩය. තිර ඇදලා තිබ්බා නම් වහන්නවත් පුළුවන්ය. අපේ තාත්තා ඉක්මනට ස්ටේජ් එකට ගොහින් වෙවුල-වෙවුලා අන්ද-මන්දව හිටි පත්මේ පහළට කැන්දන් ආවේය.

පත්මේ මැන්ඩිය පාගන ඉරියවුවෙන් හිට  ගත්තේය..........
පුදුමය නම්, අච්චර දෙයක් වෙලාත් අප හැමෝම ඒ වෙලාවේ ගල්බීතවී හිටියා මිස හිනා නොවීමය! බැරි වෙලාවත් නාට්‍යය දවසේ පත්මේ ස්ටේජ් එකට නැංගා නම්? මගේ ‘ආයි ආයි ආයි ලොව කැරකෙනවා’ සින්දුවට ඉස්කෝලේ කට්ටිය කෝරස් කිව්වාට හපන් වෙනවා නිසැකය.

එදා හිනා නොවුණත් මේ මෑතක් වෙන තුරුම පත්මේ දකින-දකින වාරයක් පාසා මට හිනා ගියේය. ඒ එයා මහරගම රේල් ගේට්ටුව ළඟ රෙදි තට්ටුවක් දමාගෙන වෙළඳාම් කරමින් ඉඳිද්දී එතැනින් යනකොටය. 

රඟපෑම හරි නොගියත් පත්මෙට රෙදි බිස්නස් එක අල්ලලා ගියේය. දැන් නම් පත්මේ වෙනුවට එතැන ඉන්නේ පුතා විදිහය!

කොච්චර ආසා වුණත් හැම දෙනාටම රඟපාන්නට බැරිය; සිංදු කියන්නටත් බැරිය. පත්මේ වගේ තම-තමන් ගැන තමුන්ටම තක්සේරුවක් කරගන්නට පුළුවන් නම් එය අපට මෙන්ම සමාජයටත් යහපතකි. 

අනුන්ට බණ කිව්වත් මාත් මගේ ගැන තවමත් හරි-හමන් තක්සේරුවක් කරගෙන නැත. මෙච්චර කාලෙකට හරියටම-පරතෙරටම කරපු මඟුලකුත් නැත. නොකරපු මඟුලකුත් නැත. ඒත් අත්දැකීම් සම්භාරයක්ම නම් අයිති කරගෙන- එකතු කරගෙන ඇත. ඒත් මදැයි! නේද?

මහරගම ගමක් විදියටම තියෙද්දී නැටූ නාට්‍ය ගැන පවා.............
විධුර නාට්ටියේ කතන්දරය මෙතැනින් නැවැත්තුවත්, මහරගම ගමක් විදිහටම තියෙද්දී නැටූ නාට්‍ය ගැන පවා ලියන්නට දේවල් එමට ඇත්තේ ඒ හින්දාය.

පංච තන්තරේට පළමුවෙනි කමෙන්ටුව දැම්මේ ආර්.ඒ. හක්ස්ලි (එයාම කියන විදියට බ්රූස් ලීගේ මල්ලීය.) හිතවතාය. ඊට පස්සෙත් විඩෙන්-විඩේ කමෙන්ට්ස් දදා එයා අහන්නේ සාම ජාතක නාට්‍යය ගැනමය. ඒ අංජබජල් වැඩ කෝටියක් විතර ඒකේදී වෙච්ච නිසාය. ඔන්න හක්ස්ලි, ඊළඟට නාට්‍ය අත්දැකීම් ගැන ලියද්දී කියන්නේ ඒවාය; ‘මාරක හී පහර’ පෝස්ටුවෙන්ය෴


14 comments:

  1. එඬරු වැඩේ නම් මතකයි කළා. මේ වගේ නාට්‍ය කිරිල්ලක්
    ඒක නෙමේ අර නිළියගේ නම මොකක්ද

    ReplyDelete
  2. අජිත්, ඒ ෆිල්ම් එකේ විලන්ස්ලා ජෝඩුවේ මේල් පාර්ට් එක කළේ ඩොමී ජයවර්ධන.

    තිරගත වුණේ 1969 අප්‍රේල් 11. සිනමාස් මණ්ඩලයේ. නාමාවලිය snake & ladder ක්‍රීඩාව කෙරෙන විදිහ පසුබිමෙන් යද්දී (කාටූන් විදිහට) යොදලා තිබ්බේ.
    පසුබිම් ගීතය ලිව්වේ අරිසෙන් අහුබුදු මහතා හෝ හියුබත් දිසානායක මහත්වරු දෙන්නාගෙන් කෙනෙක්. ගැයුවේ අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක දෙන්නා.
    ගීතව 'නැඟෙන වැටෙන නැඟී වැටෙන පෙරලෙන ලෝකේ - වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ' ගීතය යූ ටියුබ් තියෙනවාද මන්දා. මේ ලින්ක් එකට 'මියුරු ගී' අඩවියට ගිහින් Ivor Dennis ගායකයාණන්ගේ 57 වෙනි ගීය හොයාගන්න. ෆිලුමේ නම තියෙනවා.

    එතකොටත් නිළිය අනුමාන කරන්න අමාරු නම් මෙන්න අන්තිම රුකුල් කිහිපය. අපේ අසහාය රංගධර ගාමිණී ෆොන්සේකා මහතාට අනුව සිංහල සිනමාවේ සුරූපිම නිළියයි මේ. සිනමාවට ආවේ අන්වර්ථ නමකින්. මුල් නම ඉවෝන්.

    අර කම්මුල් පහර කෑ නිළිය අතිශයින් ජනප්‍රියවී සිටි කාලේ එයා දියණිය විදියටත්, මේ නිළිය අම්මා විදිහටත් එක film එකක රඟපෑවා. හැබැයි දෙන්නම එකට ඉන්න එක සීන් එකක්වත් තිබුණේ නැහැ.

    මේ නිළිය අවසන් සමයේ අසීමිතව බීමට අබ්බැහිවී හිටි බවත් කියවුණා. මගේ හර්දේ රස මාලිගේ විවර කරලා ඔන්න අජිත්, සෑහෙන්න රුකුල් දුන්නා!

    ReplyDelete
    Replies
    1. මේක නිකන් යකාගේ ප්‍රෙහෙලිකාවක් වගේනේ

      Delete
    2. සන්ධ්‍යා කුමාරි

      Delete
    3. //නැඟෙන වැටෙන නැඟී වැටෙන පෙරලෙන
      අම්මපා මරු සින්දුවක්නේ නිදි,
      https://www.youtube.com/watch?v=RtfLqNOSeF0

      Delete
    4. ඒ සිංදුව යද්දී නාමාවලිය යන අතරේ sanake & ladder කාටූන් එකක් වගේ තිබුණු අපුරුව..... ෆිල්ම් එක බැලුවා නං සිරිබිරිස් උන්නැහේටත් මතක නැතිවෙන්න බැහැ!

      Delete
  3. ඔය එඬරු කිරි සීන් එකනං එපා වෙන වැඩක් තමයි.

    පත්මෙය ස්ටේජ් එක උඩ කලන්තෙ දාල වැටුනෙ නැතුව මදැයි.

    ReplyDelete
  4. ඇත්තමයි ප්‍රසන්න, ලොකු ඕඩියන්ස් එකක හිටියා නම් එහෙමත් වෙන්න තිබුණා. හැබැයි පත්මෙට මාර හයියක් තිබ්බේ. දියකුකුල් මස් කාපු නිසා වෙන්නැති. අපිත් ඒ දවස්වල බයේ හිටියේ. ඉබි මස් කන අයට ඉන්ජෙක්ෂන් ගහන්න ගියාම කටුව කැඩෙනවා කියලා රාවයක් තිබ්බ නිසා.

    ReplyDelete
  5. එඩරු වෙනුවට අපි කෙසෙල්මුවක් දෙකට කපලා දැලි ගාන්න ගත්තා

    ReplyDelete
  6. //‘Ehsaan Mere Dil Pe Thumhara Hai Dostho’
    තව සිංහල කොපියක් තියේ නිදි
    බෙග් මහත්තයාගේ "මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවනේ "
    අපි වැඩිය හින්දි කොපිකරලා නැහැ වගේ :-)

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං සිරිබිරිස් උන්නැහේ. ඒක කැසට් එකක නේද තිබ්බේ? ඔයා කිව්වමයි ක්ලික් වුණේ. ස්තුතියි!

      Delete
  7. ඔය ස්ටේජ් ෆ්රයිට් ලෙඩේ අඩු වශයෙන් හැමෝටම තියෙනව ... 2-3 දෙනා සිට 30-40 කට වෙනකන් නිතර ප්‍රෙසන්ටෙෂන් දෙන මට උනත් තාමත් අතට මයික් එක්ක හම්බ උනහම පොඩ්ඩක් බොක්ක කූල් වෙන ගතියක් දැනෙනව .. හැබැයි විනාඩි 7-8 ක් යනකොට ඒ ගතිය මග ඇරෙනව.

    ReplyDelete
  8. ඉස්සර ... වැඩි ඈතක නෙමෙයි අවුරුදු 30 කට විතර කලියෙන් කොළඹ අවට ගම්බද පළාත් වලත් දිය කුකුල්ලු, කලු වඳුරෝ, හාවො, තලගොයි, ඉත්තෑවො එමට හිටිය ... දැන් මිනිස්සු උන්ව බයිට් එකට අරගෙනමද මන්ද දකින්න ලැබෙනව හරි අඩුයි :(

    ReplyDelete