චිත්‍රකතා ඇඳීමේ කෙරුවාව මට යාදුන්නේ නැති වුණත්.................. |
අපේ ගෙදර පැදුරු සාජ්ජයකට සම්මාදම්වී, ඥාති සහෝදරයෙකු
ඇරලවන්නට ගිහිං සම්පත් පුංචිහේවා නීතීඥතුමා නොඑන ගමන්
ගියා මතකද?
ඒ 2008 අවුරුද්දෙය. ඒ විපත්තිය වුණේ මහ රාත්තිරියේ එකට විතරය.
සම්පත්ගේ වාහනය හැප්පුණේ, මහරගම ඉඳලා කොළඹට යන අතරේය; නාවින්නේ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරය
පහු කරනවාත් එක්කම ඇති වංගුවේ- වම් පැත්තේ තිබුණු විශාල යකඩ කණුවකය.
අබරන් මාස්ටර් ආවේ කොළඹ පැත්තේ ඉඳලාය; මහරගමටය. එයාගේ
කාරය හැප්පී තිබුණේත් පාරේ වම් පැත්තේය. එකම ඉසව්වේ.... හැබැයි දෙපැත්තේ! අවුරුදු 40 ක විතර පරතරයකුත් ඇතිවය.
විපත්තිය වුණේ හැන්දෑකරේකය; හතරට පහට විතර වගෙය. මං හිටියේ
පේව්මන්ට් එකේ රජ වෙන්නට ගිහින්ය. මාස්ටර්ලගේ ගෙදරට එද්දීම වෙනසක් පෙනිණි. සෙනඟක්
එකතු වෙලාය. මං ගෙට අඩිය ගහනවාත් එක්කම ඇන්ටි විලාපයක් දුන්නාය!
ඇස්වල කඳුළු තටාකයක්ම පුරවාගෙන............. |
“අනේ රංජි පුතේ මාස්ටර්.......!” S අක්කා හිටියේ ඇන්ටිව
වත්තන් කරගෙනය; ඇස්වල කඳුළු තටාකයක්ම හිර කරගෙනය. ඇන්ටිව පුටුවක වාඩි කරවා ඉවරවී S
අක්කා මට කතාව කීවාය.
“රංජි මල්ලී, මාමා එද්දී කාර් එක හැප්පිලා. හයියෙන් යන
කෙනෙකුත් නෙවෙයිනේ...... කවුරුවත් දන්නේ නැහැ මොකද වුණේ කියලා. G අයියා ගියා
ඉස්පිරිතාලෙට. මාමා අන්තරා වෙලාලු.” හැම මළ දානයක්ම මතක ඇතත් මේ සිදුවීමේ නම් මට මතක
ඇත්තේ ඔච්චරම විතරය. අනෙක් හැම දෙයක්ම blank ය.
මළගමින් පස්සේ මගේ ස්ථාන මාරුවක්
සිදුවුණු බව මිස, ඒකෙ විස්තරත් හුප්පේය.
මගේ අනුමානය නම් ඒ නිසා 1967 අවුරුද්දේ ‘විධුර’ නැටුවේ
නැති බවයි. වසරක දෙකක වෙනස මොකක්ද, මේ හඳට යාම වැනි ඉතිහාස ගතවෙන දෙයක්යැ? ඒ කාල
නිර්ණය චුට්ටකට පැත්තකින් තියලා............
“ඔය ආර්පිකෝ එක තියෙන තැන නිමල්ට මතකද ලොකු කැලෑවක්
තිබ්බා?”
“කැලෑවක්ම නෙවෙයි දේවිකා නංගිලාගේ අම්මේ. එතැන තිබ්බේ
පොඩිසිඤ්ඤොමරං මණ්ඩියක් නේද. ලොකු කැන්ද ගස් වගයක් නං තිබුණා වගේ......”
දැන් ඔය ආර්පිකෝ ෂෝ room එක තියෙන හරියට ඒ කාලේ කිව්වේ පෝරමෝල වත්ත............. |
“හරි නේන්නං. ඔය මතක තියෙන්නේ. ඉස්සර ඔතනට කිව්වේ ‘පෝරමෝල
වත්ත’ කියලා. ආර්පිකෝ නමක් නං අපි දැනගෙන හිටියේ නැහැ. රිචඩ් පීරිස් එක කියලයි
කිව්වේ.
ඒකෙ නළාවක් ගැහුවද කොහෙද....වැඩ පටන් ගන්න-ඇරෙන- කෑම වෙලාවල්වල. පළාතේ හුඟක් අය ඒකෙන් තමයි වෙලාව දැනගත්තෙත්
උදේ-හවස දෙකේ.”
“මට මතක ඒ මණ්ඩියෙ තිබිච්ච සිල්පර කොටන් තොගේ... අනෙක
තමයි දැන් ඔය කුණු ගොඩකරලා හදලා තියන පිට්ටනිය...”
එතකොටය දේවිකා නංගිලාගේ අම්මා හෙවත් සෝමාවතීටත් ඒ
විත්තිය මතක් වුණේ.
“ඒක නේන්නං නිමල්, පාර අයින දිගේ රූස්ස මාර ගස් පෙළක්
තිබුණා. පල්ලමේ ඉඳලාම වෙල් යාය. වත්තේගෙදර පාරේ එහා කොනෙන් නාවින්නට එන ගුරුපාරටත්
යතහැකි නියර දිගේ! එහෙම තමා අපි ඒ කාලේ ගියේ-කරේ. මොකෝ දැන් වගේ බස්- three වීල්
තිබ්බා කියලය.”
මේ විදියට අතීත තොරතුරු හාරා-අවුස්සද්දී පෙනෙන්නේ අප
කොතරම් අතීතකාමී අයද කියන එකය! අතීතය අපට කොතරම් නම් පාඩම් කියා දෙනවාද? ඉතිහාසයක්
නැති අයට වර්තමානයක් තිබුණත් අනාගතයක් තියේවිද?
“දැන් මොනවා කරන්නද? කොහොම හරි නාට්‍යය පෙන්නනත් ඕනැනේ.
බන්දු, තමුසේ කොයි විදියෙන් හරි තමුසෙගෙ කොටස කරනවා..... මට තමයි දෙබස් කියන්න
වෙන්නේ.” තාත්තා හොඳටම තැවුණේය.
කවුදෝ කෙනෙක් ඉලිප්පූ පොල් කෑලි ගොන්නක් පුච්චලා ගෙනැවිත් ........... |
ඒ අස්සේ කවුදෝ පුච්චපු පොල් කෑලි වගයක් උස්සාගෙන
ආවේය. පොදු වැඩක් කරද්දී ඕනෑ කරන්නේ පටන් ගැනීම විතරය. ඊට පස්සේ උදව්-පදව් ගොඩක්
ලැබෙනවාමය!
“ඕකත් කාලා බලනවා බන්දු. හොඳ වෙලාවට තමුසෙට වැඩිය
ඩයලොග්ස් නැත්තේ. පුච්චපු පොල් කනකොට උගුර හරියනවා!”
ඒ කතාව විශ්වාස කළ හින්දාද
කොහෙද පූර්ණකයා දිගටම හිටියේ පිච්චූ පොල්වලින් කට පුරවාගෙනය. එහෙම ඉන්දදීත් ඒ
යක්ෂයා ඉන්නට ඇත්තේ නම් යක්ෂ හිතිවිල්ලකුත් හිතේ හංගාගෙනය. ඒ බව හෙළිවුණේ තවත් ජවනිකා
කිහිපයකට පස්සේය.
කාළගිරි පර්වතය මුදුනේදී එරන්දතී නාග කන්‍යාවිය පූර්ණක
යක්ෂ සේනාධිපතියාට පොරොන්දුවක් දෙයි. “මගේ මෑණියන්ගේ දොළ සංසිඳුවාලීමට විධුර
පණ්ඩිතයන් වහන්සේගේ හෘදය මාංශය ගෙනවුත් දෙන්නේ නම් මම ඔබගේ පතිනිය වන්නෙමි!”.
‘දැක්ක දාම සිත් ඇදී ගියා ප්‍රියේ - පෙම් තොටිල්ලෙ මා
ඉතින් ඔබේ ළයේ’ කියලා එරන්දතී කිව්වාම පූර්ණක full ජොලියෙන් පිටත් වෙන්නේ, විදුර
පඬිතුමා පර-සක්වල ගහලා හරි මරා දමා හදවත අරන් එන්නටය.
ඒක නිකම් බැරිය. ඒ කාලේ
යක්කු වුණත් ගුණ ධර්මයකට අනුව වැඩ කළ අය වූහ.
කුරු රජ්ජුරුවෝ මදිය නොකියන්නම දාදු කෙළියට ඇබ්බැහිවූ සූදු අන්තුවෙකි! |
කුරු රටේ රජතුමාට සේවය කරන විදුර
පඬිතුමා රජුට අයිති වස්තුවකි. අන්සතු වස්තුවක් බලෙන් හෝ හොරෙන් හෝ ගැනීම නීචකමකි. රජතුමා
එතරම් උතුම් වස්තුවක් නිකම්ම-නිකම් යකෙකුට දෙන්නේත් නැත. එය දන්නා යකා ඒකට ක්‍රමයක් හොයයි.
කුරු රජතුමාගේ ලොකු දුබලතාවක් යකාට අහුවෙන්නේ එතකොටය.
ඒක
මේ ‘ව්‍යාඝ්‍රා’ ගහන්න වෙන තාලේ දුර්වලකමක් නොවේ! වියාග්ඝරා නැතිවුණාට මොකෝ, ඉස්සර රජ්ජුරු ගොල්ලන්ටත්
වාජීකරණ අවුසද ඕනේ වුණාලුනේ; දැන් ඉන්න වයෝවෘද්ධ ලොක්කන්ට වගේම.
හැබැයි කුරු
රජතුමාට තිබුණු දුබලතාව adict වීමකි. උන්නැහේ සූදු අන්තුවෙකි; දාදු කෙළියට එක
පයින්මය. පූර්ණකයා රජා එක්ක දාදු කෙළියි. ඒ විදුර පඬිතුමාව ඔට්ටුවට තියලාය. රජු
පරදියි.
“දැන් සමරේ... ජාතක කතාවේ නම් තියෙන්නේ පූර්ණක විධුර
පණ්ඩිතයන්ව පර-සක්වල ගහන කතන්දරයක්ලු. ස්ටේජ් එකේ අපි ඒක කරන්න යන්නේ මෙහෙමයි.
තමුසේ පුටුවකට දකුණු කකුල තියලා..... මෙන්න මෙහෙම, ඒ කකුලෙ දණිස්ස උඩින් දකුණු අතේ
වැලමිට තියාගෙන කල්පනාවක් කරනවා.....” අපේ තාත්තා සමරසිරිට කියා දුන්නේය.
“තමුසේ ඉන්න ඕනි ඇඟ පණ නැති කරලා. එතකොට තමුසේ.....
බන්දු; තමුසේ යකා වගේ ස්ටේජ් එකට ඇවිත් සමරේගේ අනෙක් අතින් ඇදලා අරන්, රවුමක්
කරකවලා විසි කරනවා ඉස්සරහට.... හරිනේ. සමරේ මුල පොඩ්ඩේදි විතරයි ඇඟ පණ නැති කරලා
ඉන්න ඕනේ. බන්දු තමුසෙගෙ අතින් ඇදලා
කරකවනකොට පෙන්නන්න ඕනේ එයා තමුන්ව කරකවනවා වගේ... තේරුණා නේද. එහෙම කැරකිලා ගිහින්
බිමට වැටෙන්නයි තියෙන්නේ.”
අලි පැටියෙක් ඇදගෙන වැටුණා වාගෙය විධුර පණ්ඩිතයන් වහන්සේ කැරකී ගිහින් පඩිපෙළෙනුත් .... |
ඒ සීන් එක විසි-තිස් වතාවකටත් වැඩියෙන් පුරුදුවී හිටි
නිසා වරදින්නට ඉඩක් තිබ්බේ නැත. ඒත් පූර්ණකයා කළේ පුරුදුවී හිටි විදියට නොවේ.
එක
වතාවක් වෙනුවට දෙවතාවක්ම විදුර පණ්ඩිතයන්ව කැරකෙව්වේය. විසි කරන බව පෙන්නනවා
වෙනුවට ඇත්තටම විසි කළේය.
ඒකෙන් වුණේ සමරසිරිව කැරකී; විසිවී ගොස් වේදිකාවේ ඉස්සරහ
පඩි පේළියේ පඩියකිනුත් පහතට පෙරළී යාමය. අලියෙකු පෙරලුණා වාගේය, සමරසිරි ඇද
වැටුණේ. යමක් වැරැදුණු බව කලින්ම පෙනුණේ ඉස්සරහ තිරය අයිනේම උන් තාත්තාටය.
“සමරේ.... සමරේ....” තාත්තා විධුර පණ්ඩිතයන්ට කෙඳුරුවේය!
සමරසිරි කෙඳිරිගාගෙන නැඟිට්ටේ ඇත්තටම අමාරුවෙනි; වේදනාවෙනි. පූර්ණක යකා ඒ දිහා
බලාගෙන හිටියේ උද්දාමයෙනි! ඒ උගන්නලා තිබුණාටත් වැඩියෙන් වගෙය.
එඩිතර සර්පයා මත්ස්‍යයෙකු දියේ ගිලීමෙන් වළක්වා ගත්තේය. -
අද මාධ්‍යවල ප්‍රවෘත්ති වාර්තාකරණය මෙපරිදිය! (පරිවර්තනය මගේය.) fb එකේ දුටු මේ
ෆොටෝ එක වගේම උද්ධෘතයත් හරිම ෂෝක්ය.
අද මාධ්‍ය මඟින් ප්‍රවෘත්ති වාර්තා කරන ක්‍රමයටම එදා පූර්ණක යක්ෂයාත්...... |
එදා බන්ධුල ජයකොඩිගෙන් එහෙම කළේ ඇයිදැයි කවුරුන්මවත්
ඇහුවේ නැත. ඇහුවා නම් බන්දු කියනවා ඇත්තේ ‘තව ටිකක් හොඳට ඇක්ට් කළා’කියලාය. දොරේ
හඬත්, පඩේ හඬත් හඳුනන නිසා බන්දු එහෙම තාත්වික රංගනයක යෙදුණු හේතුව අපට රහසක්
නොවිණි.
විධුර නාට්‍යයටත් ආධාර එකතු කරන්නට ගියේ නළු-නිළියන්මය!
එහෙම වචනෙට කිව්වාට අපේ කිසිම නිළියෙක් ඒ ගමන්වලට සහභාගී නොවූවාය. නාට්‍ය වේදිකාවේ
පෙනුමට නිකම් පෙනී හිඳින්නටවත් අපට හිටියේ, බොහොම අමාරුවෙන් ඇහිඳගත් කෙල්ලන් කිහිප
දෙනෙකු කොට..... මොන ආධාර එකතු කිරීමේ ගමන්ද?
“......2005 විතර වෙද්දී මම නාමෙල්-මාලිනී පුංචි තියටර්
එකේ වැඩක් ඉල්ලගෙන එහෙ නතර වෙනවා.වේදිකා පරිපාලන සහායකයෙකු හැටියට මම වැඩ කළා.
ඒත්
එයට එන වැඩිමල් පරම්පරාව සමඟ ඇතිවන මතවාදී ගැටුම් නිසා එතනින් ඉවත් වෙන්න සිද්ධ
වෙනවා. බුද්ධික දමයන්තයි, ධනංජය කරුණාරත්නයි පටන් ගෙන තිබුණු ඕෆ් තියටර් පදනම
මඟින් නාට්‍ය පෙන්නුවා. අනුර ඒකනායක කළ ලෝකාන්තයට ආදරය කරන්න නාට්‍යයේ සමනලී
ෆොන්සේකා පළමුවෙනි වතාවට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා හොඳම නිළියත් වෙනවා. මම
තමයි ඒකෙ ස්ටේජ් මැනේජර්.
ඕෆ් තියටර් එකේ අපට යැපෙන්න ක්‍රමයක් නැති වුණාම නාට්‍යයක්
කරන්න කියලා බුක් මාර්ක් ගහලා ඒවා විකුණලා
ජීවත් වෙන්නේ..........”
අපට යැපෙන්න ක්‍රමයක් නැති වුණාම නාට්‍යයක් කරන්න කියලා............ |
2019 මාර්තු 28 සරසවිය පත්තරේට අරුණි මුතුමලී සපයා
තිබුණු ලිපියකය මේ කොටස තිබුණේ. ඒ ටික පත්තරේට කියලා තිබුණේ ‘සුළඟ අප රැගෙන යාවි’
චිත්‍රපටයේ අධ්‍යක්ෂ නුවන් ජේ (ජයතිලක) කලාකරුවාය.
නාට්‍ය, චිත්‍රපට වැනි ක්ෂේත්‍රයන්ට පිවිසෙන්නට පෙරුම්
පුරන නවකයන්ට විඳින්නට වෙන ගැහැට පොඩි නැත; නිමකුත් නැත.
නුවන්ලා වික්කේ ‘බුක්
මාර්ක්ස්’ ය. එයාලා වැනි තවත් පිරිසක් කළ ‘සම්‍යක් ප්‍රයෝගයක’ට එක විදියකින් මමත්
දායක වීමි. ඒ අච්චු ගැහීමෙනි. එහෙම අච්චු ගැහුවේ නාට්‍ය ටිකට්ය!
දවසක් ප්‍රෙස් එකට ආවේ හරිම කඩවසම් හාදයෙකි. ඇත්තටම ඔහු
උස, උසේ තරමට මහත, පැහැපත් යව්වනයෙකි. ඕනෑම තැනක කැපී පෙනෙන මට්ටමේ ප්‍රභාවක් හිමි
කෙනෙකි. ආවෙත් තනියම නෙවේ. කලාව කරන බව ඇඳුම-පැළඳුමෙන් පවා පෙන්වන කොල්ලන්-කෙල්ලන්
ගණනාවකුත් පිරිවරාගෙනය.
එයාලා අර තරුණ නායකයාගේ අනුගාමිකයන් බව නිකම්ම පෙනෙයි.
එයාලා ඇවිත් තිබුණේ නාට්‍ය ගැන පත්තරයක් මුද්‍රණය
කරවාගන්නටය. ඔහොම අයව එවන්නෙම මගේ ළඟටය. හරියටම කියනවා නම් ඒකේ මිල ගණන්, මුලින්
ගෙවිය යුතු අත්තිකාරම් වගේ කප්පරක් විස්තර අසාගන්නටය; ඇවිත් තිබ්බේ.
අජාසත්ත,
විදුර වගෙ නාට්‍ය ගණනාවක් කරලා, ඒවාට සම්බන්ධ වීම නැවතී තිබුණත්, මෙහෙම උදවිය ආවාම
මගේ හදවත උණුවෙයි. මට පුළුවන් උපරිම සහයෝගය දෙන්නේ ඒ නිසාමය.
මෙහෙම උදවිය ආවාම මගේ හදවත උණු වෙයි........ |
දැන් සැකය තහවුරුය. මේ මගඩි නාටකයකි.
ඕෆ්සෙට් ක්‍රමයට
යමක් මුද්‍රණය කරද්දී ප්ලේට්ස් (මුද්‍රණ තහඩු) යළිත් පාවිච්චි කළ හැකිය. එහෙත්
ඒවායේ තිබෙන දේ වෙනස් කළ නොහැකිය.
නාට්‍යයකට ටිකට්ස් මුද්‍රණය කෙරෙන්නේ, දිනය-
පෙන්වන ශාලාව ආදියත් එක්කය. ඉතින් එහෙම ටිකට්ස් යළි-යළිත් ගහන්නට යනවා නම්, ඒක
තක්කඩිකමක් නෙවෙයිද?
වත්තේ පොල් කඩන්නට ආ එකා වත්තේ ඔප්පු-තිරප්පු, හතර
මායිම් හොයන්නේ නැත. තමුන් ආ රාජකාරිය කරනවා මිස. මටත් වුණේ ඒකමය. ඊටත් වඩා මා
දන්නා තරමින් නම් එවැනි මුද්‍රණ ඇණවුමක් ලැබුණාම ඒකෙ පැටිකිරිය හොයන්න යන සිරිතක්
එදා තිබ්බේ නැත; අදවත් තියෙනවාද?
වත්තේ පොල් කඩන්නට එන මිනිහා හතර මායිම් හොයමින් ඉන්නේ......... |
ටිකෙන්-ටික අපේ
හිතවත්කම් ලියලද්දී එයාලගෙ ප්‍රයෝගය එළි වුණේය.
ඒ ටිකට්ස් විකිණුවේ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි වැනි
‘පොෂ්’ සාප්පු සංකීර්ණ ඇතුළේය. හොඳට ඇඳ-පැළඳගත්, අව් කන්නාඩි දමාගත් නියම
කෙල්ලන්-කොල්ලන්ය; එයාලගෙ කලා ශාලිකාවට ‘සපෝර්ට්’ එකක් විදියට ටිකට් එකක් ගන්නට
ඇරයුම් කරමිනි.
නාට්‍යය තියෙන්නේ මාස හයකට විතර පස්සේ දවසකය. ප්‍රසිද්ධ නැති හෝල්
එකකය.
ටිකට් එකක් ගන්නවා මිස, ඒක පරෙස්සම් කරගෙන මාස පහ-හයක් තිස්සේ නාට්‍යයක්
බලන්නට පෙරුම් පුරන්නේ මොන ජගතාද?
අන්තිමේදී නාට්‍ය පත්තරයත් ගැහුණේය; මාස කිහිපයක්
තිස්සේ.
පස්සේ අර ගෝලයන් සමහරෙක් කලාව විකලාවවී ආපහු ගම්වලට ගිහින්ය. සමහරුන් අලුතෙන්
ඇවිත්ය. නඩේ ගුරා ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පියෙකු ගැන හරබර- අගනා පොතකුත් අච්චු
ගැස්සෙව්වේය. රාජ්‍ය නාට්‍ය උළෙලකදී සම්මානයකුත් දිනා ගත්තේය!
කලා උණෙන් පෙළෙමින්
ඔහු හා හිටි ටික දෙනෙක් දැන් රූපවාහිනී තිරයේ ඉන්නවා පෙනෙයි. එකියකට නම් හරියටම
හරි ගිහින්ය. ඇය විදේශිකයෙකු හා විවාහවී නර්තන පාසලක් පවත්වාගෙන යයි.
මේ ටික කිව්වේ හැම නරකකම හොඳකුත් තියෙන බව කියන්නටය.
ලියන්, කිරිල්ලියන් විතරක් නොව ඕනෑ තරම් xxවියන් පවා අද කලා කෙතට ඇවිත් බව..... |
‘කලා උණ’ තියෙන සමහරුන්ට ‘උලා කන’ මට්ටමින් ඉන්නටත් වෙන බව පහදලා දෙන්නටය; එදා අපට
නොහිටියාට අද නම් කලා ක්ෂේත්‍රවල ඕනෑ තරම් ‘ලියන්; කිරිල්ලියන් විතරක් නොව
xxවියන්’ පවා ඉන්නා බව කියන්නටය.
ඉතින් අර කිව් විදියට ආධාර එකතු කරන්නට ගිහින් එන ගමනකදී
බන්දුත් සමරේත් ගිනිරාමෙට පැටලුණාහ. රණ්ඩුව ඇවිළී ගියේ අප දෙන්නාම නොහිතූ විදියටය. අපය
කිව්වේ අපේ ලොකු මල්ලී සුනිලුත්, මාත්ය.
එතකොට රෑ හතට-අටට විතර ඇතිය. තැනත් කියනවා නම් පමුණුව
පාරේ ‘පද්මමාලි ට්‍රේඩ් සෙන්ටර්’ එක ඉස්සරහය. ඒ දැන්ය.
ඉස්සර තිබ්බේ පියදාස
මුදලාලිල කඩයයි, ගෙදරයිය. මගේ මුකුණුවැන්න මිටි වික්ක කඩය ඒකය! එතකොට
සුන්නාත් මාත් දෙන්නාම පුංචිය. අප දෙන්නාම බලාගෙන හිටියේ ගෝරිය නවත්තන්නට විදියක්
නැතිවය.
සමරේත් බන්දුලත් දෙන්නා පාර පුරා පනිමින් ගුටි කෙළගනිති. දිගටම ඔහෙ ගහගත්තාවේ තව ටික
දවසක්, ඊළඟ කොටස ලියන තෙක්!
සාම ජාතකය සහ වඳුරාගේ කථාව ට තව දුරද ??
ReplyDeleteතව ටිකක් විතර දුරයි හක්ස්ලි මහත්තයෝ!
Deleteකලා උන :D :D
ReplyDeleteමොනවාද මධූ මේ D: D: ඩබල් ඩිස්ටිල්ඩ් නෙවෙයි නේද?
Deleteතව ටික දවසක් ගහගත්තොත් අරුං දෙන්න ඉතුරු වෙයිද.
ReplyDeleteඑහෙම වෙද්දෙන් ප්‍රසන්න, එදා ඒ තරං වදයක් ඒ දෙන්නා අපට දුන්නේ.
Deleteපූර්ණකට තිබුණෙ අරුන්දතීවත් උස්සල විසික්කරන්න...
ReplyDeleteඩ්රැකී. ඔයාට උත්තරයක් දෙන්න බැරි වෙලා. සමාවෙන්න, මඟහැරුණු විදිහ හිතාගන්න බැහැ.
Deleteඅපේ පූර්ණකයා අද ඉන්නවා නම් දැන් වුණත් ඔයා කියන දේ කරයි. මොකද මනුස්සයාත් පස්සේ කුඩ්ඩෙක් වුණා!
//‘කලා උණ’ තියෙන සමහරුන්ට ‘උලා කන’ මට්ටමින් ඉන්නටත් වෙන බව //
ReplyDeleteමේක ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනෙක්ට වෙන දෙයක් ... නමුත් හිතෙන්නෙ ඒකට එයාලගෙ අතෙත් වැරද්දක් තියෙනවා කියල. පළගැටියෝ වගේ ජීවත් නොවී කුඹියෝ වගේ ජීවත් වෙන්න ඕන.
ඔයා හරි, කණ්ඩා. මොන රස්සාව වුණත් කරන කෙනා දැනගන්න ඕනි අනාගතය ගැනත් හිතන්න. මොකෝ, කලාකාරයයි කියලත් මහා පොළොවේමනෙ ජීවත් වෙන්නේ.
Delete