අකුරු මැකී නෑ

Sunday, April 21, 2019

හරි හුරතල්- විනාකිරි - සංග්‍රාමය - දෙවෙනි කොටස

“තව ඕනේ නම් ඔය යන පාරේම තියෙනවා රත්නපුරේ සමන් දේවාලෙ, පොත්ගුල් විහාරෙ, කල්තොට දූවිලි ඇල්ල..... ම්ම්ම්ම්.. එහෙමත්. දියවින්නේ ඉඳලා එන ගමන් තව ටිකක් දුර යන්න කැමතියි නම් වවුල්පනෙත් යතහැකි.”

වවුල්පනේ හිරිගල් ගුහාවට ඇතුළුවන දොරටුව හා හිරිලඹ (ගුහාව තුළින් ගලන දියදහරාවේ ගමන් මඟත් මෙහි දිස්වෙයි.) 
“අපෝ පන්සල් එපා! මොකක්ද නිමල් අංකල් වවුල්පනේ කියන්නේ?”.

මේ ගමන යන පිරිස ගැන පුංචිම අදහසක් මගේ හිතට කාන්දු වුණේ එතැනදීය. ‘ඒත් ඒ සමස්තය නෙවෙයිනේ’ මම මටම කියාගත්තෙමි.

“වවුල්පනේ කියන්නේ ආසියාවේ ලොකුම හිරිලඹ ගුහාව. එක ඇතුළේ වවුලෝ 50,000ක් විතර ඉන්නවා කියලයි කියන්නේ.සමහර රිපොර්ට්ස්වල කියනවා ලක්ෂ ගානක් කියලත්. ගුහාව මැදින් තරමක දිය පාරක් ගලාගෙන යනවා. වැස්ස කාලෙක නම් ඒක ලොකු ගඟක් තරම්. ඒ හින්දා වතුර වැඩි; වැස්ස දවස්වල වවුල්පනේ බලන්න ගිහින් වැඩක් නැහැ. 

අර වතුර පාරට පස් හේදි-හේදී ගිහින් ලොකු ගුහා ටිකක් හැදිලා තියෙනවා. ඒ ගුහා ඇතුළට වතුර කාන්දු වෙනවා. ඒ වතුරේ කැල්සියම් වැඩියි. ඉතින් ඒ වතුර කාන්දු වෙවී ගුහාවලට වැටෙන අතරේ කැල්සියම් කාබනේට් ටික-ටික හයි වෙනවා. උඩ ඉඳලා පහළට ලොකු කූරූ-කූරූ වගේ හැදිලා තියෙන එව්වාට තමයි හිරිලඹ කියලා කියන්නේ. ඔහොම හිරිලඹ හැදෙන්නේ කාලාන්තරයක් තිස්සේ.”

“ගොඩක් කල්ද අංකල්?”

“වැඩිය නැහැ, අවුරුදු බිලියන ගණනක ඉඳලා කියලයි හොයාගෙන තියෙන්නේ!”

ගුහා මුවවිට ඇතුළේ සිට - ගුහාව ඇතුළේ ජල තටාකයක්..........
ඔය පෞරාණිකකම හින්දද කොහෙද ‘විදු පියසේ’ හැමෝටම වවුල්පනේ හිතට වැදී තිබිණි. ඒ බව තේරුම්  ගියේ මං විදු පියසේ පියස්ස යටට ගියාමය!

මතකයි නේද අර ෆිලුම. 

ඒක පටන් ගන්නේ වියපත් අංගනාවක් වන මිල්ඩ්රඩ් හේයස් නෝනා තනියම පාලු පාරක් දිගේ රිය පදවාගෙන යන තැනින්. වසර ගණනාවක් තිස්සේ ගරා වැටෙමින්, දිරා යමින් තියෙන ලොකු බිල් බෝඩ්ස් තුනක් ඇයගේ නෙත ගැටෙනවා. 
ඒ දර්ශනය ඡේදනය වෙන්නේ එතරම් සරු නැති බව පෙනෙන කාර්යාලයකට. හේයස් නෝනාගේ කතාවෙන් කාර්යාලයේ රෙඩ් විල්බි විස්මයෙන් මුසපත් වෙනවා!

එහෙම බෝඩ් තුනක් තියෙන බවත් මිනිහා හොයාගන්නේ ලිපිගොනුවලින්. “පාර වැරැදිලා ගියොත් ඇරෙන්න, වෙන කවුරුවත් නොයන පාරක තියෙන බිල්බෝඩ් තුනක් අවුරුද්දකට ගන්න ඕනෙද ඔයාට?” රෙඩ් අහනවා.

එතැන වෙන කතාබහෙන් හෙළිවෙන්නේ ඒ වෙද්දීත් හේයස් නෝනා සේරම තොරතුරු හොයාගෙන, අදාළ නීති-රීති දැනගෙන ඉන්න බවයි. 

බෝඩ්ස්වල වාරණයට ලක්වෙන ‘කෙලපන්, මුත්‍රා, ස්ත්‍රී ලිංගය, ගුද මාර්ගය’ වගේ වදන්, රූප ගැන පවා ඇය දන්නවා. එවෙලෙම නියමිත මුදල ගෙවා, නීත්‍යානුකූල ගිවිසුමකට එළඹෙන්නටත් ඇයට තියෙන්නේ පුදුම හදිසියක්.

එබින් පොලිසියේ ඔෆිසර් ඩික්සන් හොයාගන්නවා ..............
එහෙමයි ලොකු ගැටළු සහගත සිද්ධි දාමයක් පටන් ගන්නේ!

පාස්කු ඉරිදා රාත්තිරියේ එබින් පොලිසියේ ඩික්සන් හොයාගන්නවා කළු හාදයන් දෙන්නෙක් අර බෝඩ්වල ප්‍රදර්ශන පුවරු සවි කරන හැටි. 

ඒ ටික බලද්දී මට තේරුණේ, රට වෙනස් වුණාට ඒ වරිගේ ඇත්තන් නම් එක වගේම අය බව. කල්ලන් නීතිය නොදන්නවා වගේය කියලා හිතාගෙන ‘රැස්පොට්’ දාන්න යන පොලිසියේ හාදයා කටපට්ට අදිනවා. “මට ඕන නම් තමුසේව අත්අඩංගුවට ගන්න පුළුවන්”.

පුරවැසි කළු හාදයාත් අරින්නේ නැහැ. 

“මොනවා කරනවටද?......... ඔෆිසර් ඩික්සන් ඒක කරන්න කලින් අරහේ තියෙන පළවෙනි බිල්බෝඩ් එක බැලුවොත් කොහොමද? ඊට පස්සේ.......” 

අපේ රටේ නම් තවමත් පොලිසියේ අයට කතා කරන්නේ ටිකාක් ගරුසරුවනේ. එයාලත් අපේ බදු මුදල්වලින්ම පඩි කන රස්සාවක් කරන බව අපට අමතකයි; එයාලටත් අමතකයි. එහෙම යැපෙන 226 ඇතුළු හාරදහස් ගානක්ද කොහෙදත් ඉන්නවානේ ඔය ‘ඩිමෙන්ෂියා’ ලෙඩේම තියෙන.  
          
ඉතින් නීතිය දන්නා, කශේරුකාව සවිමත් එබින් පුරවැසියා ඉස්සරහදී අහංකාර පොලිස්කාරයා; ඩික්සන්ට සිද්ධවෙන්නේ ‘වාලධිය පශ්චාද් භාගය අස්සේ ගහගෙන’ පසු බහින්න.

හුඟක් වෙලාවට පොලිසියේ ඇත්තන්ගේ හෙවනැල්ල යට ඉන්න අය ගැන දන්නේ එයාලා නෙවෙයි; අපි!
දැන්-දැන් අපේ රටේ වුණත් කොන්ද පණ ඇති උදවිය ඉස්සරහ ‘පකුන්’ දාන්න යන ලොකු පොඩ්ඩන් දෙකේ කොළේටම වැටෙන තැන් හිටි-හිටි ගමන් ප්‍රසිද්ධ වෙනවා. 

ඇත්තටම මේවා ගොඩක් හොඳයි. නීතිය ස්ථාපිත වෙන්න, හැමෝන්ටම එකම විදියට නීති ක්‍රියාත්මක වෙන්න මෙහෙම දේවල්වලින් කෙරෙන බලපෑම සුළුපටු නැහැ. පාරේ ඉගිලෙන්න හදන VIP වාහනවලට විශේෂයෙන් ඉඩ දෙන්න එපා කියල fb එකේ මේ දිනවල සංසරණය වෙන පෝස්ට්ස් රැල්ල වුණත් මෙහෙම කැරැල්ලක් නේද?

මිල්ඩ්රඩ් හේයස් නෝනගේ බිල්බෝඩ් තුන මුළු එබින් නගරයම අවුළුවන්න පටන් ගන්නවා. “අර බිල්බෝඩ් දැම්මේ පොලිසියත් එක්ක හැමිනෙන්නද” හේයස් නෝනගෙන් යෙහෙළියක් අහනවා.‘ඔව්!’.

මිනිසුන් පොලිසියත් එක්ක කොච්චර තරහෙන්ද කියලා පෙනෙන්නේ ඒ මිතුරිය ඊළඟට දෙන උත්තරෙන්. “ඔහොම යමන් කෙල්ලේ. පොලිස් හැත්තට කෙළවපන්.”

හේයස් නෝනා සංග්‍රාමය කරගෙන යන්නේ හෙමිහිට. උපක්‍රමශීලීව. පළමුවෙනි බෝඩ් එකේ පොල් ගෙඩි අකුරෙන් තියෙන්නේ වචන තුනයි. 

‘RAPED WHILE DYING’ (මියයද්දී දුෂණය කෙරෙයි). එහෙමයි හේයස් නෝනා පළිගහන හේතුව අපට එළිවෙන්නේ. එයාගේ දියණිය දුෂණය කර මරා දාලා! තවමත් මිනීමරුවන් නිදැල්ලේ. ‘එහෙම වුණේ කොහොමද බිල් විල්ව්බි’.

බණක්-භාවනාවක් කරගෙන ඕනෙ හොරෙකුට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඉන්න එකද පුරවැස්සෙකුගේ යුතුකම?
 වැඩි දෙනෙකුට ඕනේ කරන්නේ හැලහැප්පීම් නැතිව ඔහෙ ඉන්නයි. සාන්ත-දාන්තව; ඕන්නම් බණක්-භාවනාවක් කරගෙන. ටිකක් නිවට වුණාම වුණත් මොකෝ? මිල්ඩ්රඩ් හේයස්ටත් තියෙන්නේ පාඩුවේ ඉන්න. කලබල ඇති කළායැ කියලා මැරිච්ච දුවට පණ එනවයැ? ආගමික නායකයන් හේයස්ට කියන්නෙත් ඒක. එතකොට යුක්තිය.... සාධාරණේ..... වැරැද්දට දඬුවම්?

2019 පෙබරවාරි 26 වෙනිදා උදේ වෙනතුරු මාත් හිටියේ ටිකක් පසුබාමින්. 

අපට උගන්වලා තියෙන්නෙත්, පුරුදු-පුහුණු කරවලා තියෙන්නෙත් සාමකාමීව ඉන්න. ප්‍රශ්න නොකර ඉන්න. මතකයිනේ, ගැමුණු කුමාරයට කිරිබත් කවන ගමන් ගන්න හදපු පොරොන්දු! නිකාඩෝ එකට කතා කරන්න ගියාම තවත් කීයක් හරි ටෙලිෆෝන් එකට වියදම් වෙනවා විතරයි. ඒත් මගෙත් තියෙන දැවිල්ලට මං ෆෝන් කළා. 2925560 අංකයට. 
විනාකිරි බෝතලේ ලේබල් එකේ තිබුණු අංකයක් ඒ.

අපරාදේ කියන්න බැහැ, බොහොම ආචාරශීලීව උත්තර දුන්නා. “සර් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් අපේ රසායනාගාර අංශයට. තව ටිකකින් එයාලා සර්ට කතා කරයි.”

එයාලට තව + point එකක් එකතු කරගනිමින්, මට ඇමතුමක් ලැබුණා විනාඩි දහයක් යන්නත් කලින්. අංකය නම් වෙනස්. හැබැයි, ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩිය ගොඩක් වේගවත්නේ.

විනාඩි දහයක් යන්න කලින් වෙනත් අංකයකින් මට කෝල් එකක් ආවා...........
විනාකිරි බෝතලේ පැටිකිරිය; නිෂ්පාදිත දිනය, බැච් අංකය, ගත්තු දිහාව වගේ දේවල් සේරම එයාලා අහගත්තා. 
“සර්, දැන් අපේ කම්පනිය විනාකිරි හදන්නේ නැහැ. එඩින්බරෝ එකෙනුයි හදන්නේ. අපි බොට්ල් කරලා සේල් කරනවා විතරයි....” කතා කරපු කෙනා පමණටත් වැඩි විස්තර ටිකක් දෙන්න පටන් ගත්තා. රටම පටලවාගන්න හදනවා කියලයි මට හිතුණේ.

“මට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මේ විනාකිරිවල සුදුපාට ගැන වෙනින් කවුරුවත්ම කම්ප්ලේන් කරලා තියෙනවද කියන එක. ඒ වගේම දැනගන්න ඕනේ මේවා පාවිච්චි කරන එක හොඳද කියලා.” 

මගේ කතා ඉතින් පොල්ලෙන් ගහනවා වගේ වුණත් එයාලා එහෙම නෙවෙයි. වටේ පඳුරු තැලුවා. එහෙම කරද්දි කියවුණු තොරතුරකින් කියවුණා හැම විනාකිරි නිෂ්පාදන තොගයකින්ම සාම්පල්ස් වෙන-වෙනම ආරක්ෂිතව තියාගෙන ඉන්න බවත්. ඔන්න එයාලට මගෙන් තවත් ලකුණක් එකතු වුණා.

“අපි තවත් ටිකක් බලලා සර්ට කෝල් එකක් දෙන්නම්!” කොච්චර වුණත්, විනාකිරි බෝතලේ පාවිච්චි කරන්නද එපාද කියලා එකපාරටම කියවුණේ නැහැ. ඔන්න එයාලා ඒක කියනකල් මං යනවා විදු පියස දිහාවට.

විදු පියසේ චානක ලසන්ත ගුරුතුමා...............
“නිමල් අංකල්, අපේ සර් කියනවා පුළුවනි නම් අපේ ක්ලාස් එකට ඇවිත් අපි යන්න හදන රූට් එකයි, යන්න පුළුවන් තැන් ටික ගැනයි අනිත් ළමයින්ටත් කියලා දෙන්නලු. නිමල් අංකල්ට එන්න පුළුවනි නම් අපි ඇවිත් එක්කරගෙන යන්නම්.” චනුල් මගෙන් තවත් විමසීමක් කළේය.

“අනේ නිමල් අයියේ, අපේ චනුල්ලට යන්න තැන් කියද්දී පරෙස්සමෙන්. දන්නැද්ද ඔය ළමයි එකතුවුණාම. පේනවනේ දැන් කාලේ වෙන දේවල්?” චනුල්ගේ අම්මා එක සැරයකටත්, තාත්තා එක සැරයකටත් කතා කරමින් මගෙන් ඉල්ලා තිබුණු බව හෙළි කරන්නේ දැන්ය.

මගේ දරුවන් නොහිටියා වුණාට අම්මලා-තාත්තලා දරුවන් ගැන හිතන විදිය තේරුම් ගන්නට මට පුළුවන්ය. නාඹර වයසේ එවුන් හිතන-පතන විදියත් ටික දුරකට හරි තේරුම් ගන්නටත් මට පුළුවන් වගේය.

චනුල් එදා ආවෙත් ෂෙහාන් හා මිතුරන් දෙතුන් දෙනෙකු සමඟිනි. චානක ලසන්ත ගුරුතුමා මාව සිසු-සිසුවියන්ට හඳුන්වා දීලා ‘සෙෂන්’ එක මට බාර දුන්නේය. ඒ බැච් එකට වැඩියෙන්ම හිතට වැදී තිබ්බේ වවුල්පනේ හිරිගල් ගුහා ටිකය.

“ඒකට යනවා නම් අනිවාර්යයෙන්ම වෙනම ඇඳුමක් ගෙනියන්න ඕනේ. ගුහාව ඇතුළෙන් යද්දී නොවරදාවම වවුල් බෙටිවලින් නාන්න වෙනවා. ඉතින් ගුහාවේ අනෙක් පැත්තෙන් එළියට ආවාම පොඩි වොෂ් එකක් දමාගෙන, උඩවලවේට ගිහින් නාගන්න වෙයි.” එතකොට නම් බාලිකාවියෝ ටික දෙනෙක් මුහුණ ඇඹුල් කරගත්හ. 

එයාලාගේ මූලික ඉලක්කය දියවිනි ඇල්ලට නඟින එකය. නාන එකය. ද්විතීය ඉලක්කය වවුල්පනේය.

චාරිකාවක් යද්දී කාලය කළමනාකරණය කරගත්තේ නැති නං.............
කොච්චර කීවත් ඒ හැමෝමත් හිටියේ ‘කාලය ඉගිලී යයි සැණෙකින්’ කියන කාරණාව නම් තේරෙන වයසක නොවේ! “යන්න පුළුවන් තැන් තිබුණට ඒ සේරම තීන්දු වෙන්නේ ඔයාලා වෙලාව ගන්න විදියටයි.” මම පහදා දුන්නෙමි.

එදා චානක ලසන්ත සර් විදු පියසේදීම මටත් ඒ ගමනට සහභාගී වන්නැයි ආරාධනා කළේය. මං හිටියේ එක සැරේම පොරොන්දු වෙන්නට බැරි තැනකය. ගමන යෙදී තිබුණේ පෙබරවාරි 24 වෙනිදාට වීම නිසාය; ඒ.

22 වෙනිදා මා හම්බන්තොට රෝහලට යායුතුය. 
ඒ මාසිකව කෙරෙන පරීක්ෂණවලට සහභාගී වීමටය. “අයියේ, 22 කීයට හරි ඔයාගේ වැඩ ඉවර වුණාම මං නාවලපිටියේ හොස්පිට්ල් එකට යන්න ඕනේ. 23 උදේම මං එහෙ ඉන්න ඕනේ නිසා. මොකද කරන්නේ, මාත් එක්ක එහෙ යන්න එනවා නම් හොඳයි.... 23 දවල්ට මගේ වැඩ ඉවරයි, හවස් වෙන්න කලින් ගෙදර යතෑකි.” 

දොස්තර අයස්මන්ත පීරිස්  මහතා නොකියා කියන්නේ අපටත් එදාට නාවලපිටියේ එන්නටය. එතකොට එයාටත් පාලු නැත. වාහනය එළවන එකෙනුත් නිදහස් වෙන්නට පුළුවන්ය. නෙවිල් අනුරසිරි ඉන්නවානේ.

“මං එන්නං. හැබැයි 24 චනුල්ලගේ ගමනටත් යන්නම කියලා චනුල්ල අම්මයි තාත්තයි මට කියනවා. එතකොට එයාලගෙත් හිතට ෆිට්ලු!”

යකෝ මූ නදීල පවුලේ සේරමත් එක්ක ට්‍රිප් ගිහින්.............
“යකෝ, මූ නදීල උදේනිලා එක්ක ට්‍රිප් ගිහින් දැන් උන්ගේ ළමයි එක්කත් ට්‍රිප් යන්න ලැහැස්ති වෙනවා. අනේ මැන්ටලේ. මචං පීරා, කෙනෙක් තමන්ගේ වයසට ගැළපෙන එවුන් එක්ක නේද ට්‍රිප් යන්න ඕනේ?” නෙවිල් බර-බරයකුත් දැම්මේය.

“මේකව ගාර්ඩියන් ජොබ් එකට යවන්නේ නදීලානෙ මචං. මූට ගානක් ගෙවනවද දන්නෙත් නැහැනේ!” එහෙමත් කියලා, 23 සවස් වෙන්නට කලින් මහරගමට එන බවට පීරිස් පොරොන්දු වුණු බැවින් මමත් චානක සර්ට පොරොන්දුවක් දුන්නෙමි. ඒ ගමන එන බවටය.

ඒකට තවත් හේතු දෙකකුත් තිබිණි. 

දියවිනි ඇල්ල අසලට යන්නට නම් වනාන්තරයක් මැදින්, කන්දක් තරණය කරන්නට වෙයි. එහි යන පිරිස අඩු නිසා සමහර කාලයකදී අඩි පාර අපැහැදිලිය. කොළ රොඩුවලින් වැසී ඇති පාර හොයාගන්නට අසීරු එහෙම කාලයටය. 

ළමයින්ට මාර්ගෝපදේශකයෙකුත් ඉඳීම හොඳය. දියවින්න පන්සලේ විජිත නන්දරතන  හාමුදුරුවන් වහන්සේට ගමන ගැන කී විගසම එතුමෝ සුපුරුදු පරිත්‍යාගශීලී සහයෝගිතාව පළ කළහ.

කී දෙනෙක් විතර එනවද මහත්තයෝ?
“කී දෙනෙක් විතරද මහත්තයෝ එන්නේ. මහත්තයත් එනවා නේද? අපි කට්ටියටම දවල් කෑම සූදානං කරවන්නම්!”. එහෙව් එකේ මාත් නොගිහින් හිටියොත්.............?

චනුල්ලාගේ ට්‍රිප් එකට මගේ එකතුවීම තහවුරු වුණේ එහෙමය. එවෙලේම මම නයිගල සෝමේ මල්ලීට කතා කළෙමි. “අනේ සෝමෙ මල්ලී, මගේ යාළුවොන්ගේ පුතාල ටික දෙනෙක් දියවින්නේ එනවා පෙබරවාරි 24 වෙනිදා. මං විජිත හාමුදුරුවොන්ටත් කිව්වා. තරහ නැතිව, ඔයාත් එදාට අපිත් එක්ක එහෙ යන්න එන්න ඕනේ. ඒ දවසට මට කන්ද නඟින්න අමාරු වෙයි. ක්ලිනික් ගිහින් බෙහෙත් අරන් එන නිසා. අනේ මල්ලී. මං වෙනුවෙන් මේ උදව්ව කරන්නම ඕනේ!”

“හරි සුදු අයියේ!” සෝමෙ මල්ලීත් කාටම හරි උදව්වක් කරන්නට පස්ස ගහන්නේ නැත.

දැන් සේරම තීන්දුය. පෙබරවාරි 24 වෙනිදා පාන්දර 3 ට පිටත් වෙන්නටය විදු පියසේ කට්ටිය සැරසෙන්නේ. “අපේ පන්තියේ යාළුවෙක්ගේ මාමා බස් එක අරන් එන්නේ. පරක්කු නොවී එනවයි කිව්වා.” චනුල් වාර්තා කළේය

“නිමල් අයියේ, ඔන්න මං ඔයාව බලාගන්න වැඩේ පැවරුවා චාන්දනීට.” උදේනි; චනුල්ගේ අම්මා මට කතාකොට කිව්වේ ඔය අතරවාරේය.

දියවිනි ඇල්ලට පාර පෙන්වන්නට විතරක් නොවේ; ඉතිහාස විස්තර කියන්නටත් සෝමෙ මල්ලී හපනෙකි.
“මාව? ඇයි හලෝ මගෙ මොනවා බලාගන්නද?”

“නෑ ඉතින් ඔයායි, චානක සරුයි අපේ ළමයින්ව බලා ගන්නවා. ඔයාලා ගැන අපිවත් බලන්න එපැයි. ඔන්න, ඔයාටත් එක්කම උදේ කෑම එවනවා. දන්නවනේ චාන්දනී? චාන්දනීගේ දුව විහාරාත් චනුල්ලගේ පන්තියෙමයි. එයා එක්ක තව අම්මල තුන්හතර දෙනෙක්ම යනවා. එයාලත් ඔයාව බලාගනියි!” 

උදේනි කිව්වේ ඔච්චමටය. අන්තිමට මගේ අනුදැනුමක් නැතිවම මගේ භාරකාරිත්වය තව කට්ටියකටම පැවරුණේ එහෙමය.

ඉතින් ඉස්සරහට.............


10 comments:

  1. විනාකිරි කතාව සෑහෙන දුර යනව වගෙයි.

    කොහොම හරි කට්ටියව වවුල් බෙටි වලින් නාවන්න වගේ හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, කොයි කතාවත් ඉතින් ටිකක් දිගයිනේ, පංච තන්තරේ ක්‍රමේට නිසා. විනාකිරිත් තියෙන නිසා ඇඹුල වැඩිද?

      Delete
  2. අම්මලා ටිකක් නිදිතුමාව බලාගන්න එක පැත්තකිං තිබ්බට අර සුදු අයියා කතාව අහපුවම නිකං මොකද්දෝ මොකද්දෝ වගේ....

    ReplyDelete
    Replies
    1. සුදු අයියා කතාව දියවින්නෙදිමනේ හැදුනෙත් ලොකු!

      Delete
  3. විනාකිරි යන දුරක්.

    මට නම් පංචතන්ත්‍රය පොත හරිම අපිලිවෙලයි. ඒ මේ ලියන විදිය පංචතංත්‍රයට වචා පැහැදිලියි ගැලපෙනව

    ReplyDelete
    Replies
    1. මධූ අරාබි නිසොල්ලාසය කියවලා තියෙනවද? ඒකටත් හපන් මහා පදරංග ජාතකය.

      Delete
  4. ඔය විනාකිරි බෝතලේ අරන් නිකාඩෝ එකට යන්න තිබුණෙ. ගිහින් ඒකෙ සේල්ස් මැනේජර්ට පෙන්නලා, දැනුවත් කරන්න තිබුණා.

    ReplyDelete
  5. ඩ්රැකී, මං ටෙලිෆෝන් කළේ එයාලා එහෙම කියයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි ඊට පස්සේ නම් හිතුණා එහෙම නොගිය එක වඩා හොඳයි කියලා.

    ReplyDelete
  6. මේක විනාකිරි කතාවක්ද එහෙමත් නැතිනම් ට්‍රිප් කතාවක්ද ?

    ReplyDelete
  7. ඒ දෙක විතරක් නෙවෙයි, කණ්ඩා. ෆිල්ම් එකක කතාවකුත් තියෙනවනේ.

    ReplyDelete