අකුරු මැකී නෑ

Tuesday, June 25, 2019

දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස

“..... මැල්ලුම් ලියලාද කොහෙද ඇඟිල්ල ලියවිලා ඇත්තෙ.”

ඊයේ නම් මගේ හිත තිබුණේ දුන්හිඳ අද්දර ඉසව්වේ ඉබාගාතේ ඇවිදිමිනි!
මට ඒ විරිදු පදය ගලේ කෙටූ එකක් වුණේ ඒ මනුස්සයා කිව්වේ සත්තක ඇත්තක් හින්දාය. කලින් දවස් දෙක-තුනේම මං කළේ බතල කපන රාජකාරියයි. 

එහෙම කපන්නේ කොලොම්බු කොටයේ හෝ මිටි බංකුවක හෝ හිරමණය හෝ උඩ වාඩිවී, පයට හිර කරගත් පිහියකිනි. බතල කපමින් හිටියත්, ඊයේ නං මගේ හිත තිබුනෙම දුන්හිඳ අද්දරය; දුන්හිඳ අද්දර ඉසව්වේ ඉබාගාතේ යන ගමන්ය. ‘ටැයියා අපි එනතුරු බලාගෙන ඉන්නවා ඇති. පව්! තනියම....’

ඔහොම අසිහියෙන් බතල කපද්දී සිය දහස් වතාවක් මගේ අතින් බතල අල, ඕනෑවට වඩා පිහියට තද වෙන්නට ඇත. එහෙම වුණාම වෙන්නේ මහපටැඟිල්ල කැපෙන එකය.

අමු බතල අලයක් පෙරන්ගාලා තියෙනවාද? නැතිනං පෙති කපලා. 

එහෙම නං මේ කාරණය තේරුම් ගැනීම ලෙහෙසිය. බතල අලයේ පොත්ත පෙරන්ගාන; peel කරන පමාවෙන්ම ඒකේ කහට පිපෙයි. ඒවායේ ඒ තරමටම කහටය. ඒ කහට මහපටැඟිල්ලේ කැපුණු තැන් අස්සට රිංගලාය. මේ පාඩාවි විරිදුවා ඒක දැකපු හැටි!

අඩුම ගණනේ ඒ පළාතේ තිබුණු කපුටු බෝ ගහක් ගැනවත්..........
“හොඳ සන්නිවේදකයෙක් මනාව නිරීක්ෂණය කළ යුතුයි. විශේෂයෙන් ශ්‍රාවකයන් ඉලක්ක කර ගනිද්දී, තමන්ගේ ඉලක්කගත අසන්නාට හෝ කණ්ඩායමට හෝ අදාළ දේවල්, සමීප දේවල් අසුරු කරගන්න හැකියි නම් ඉතාමත් හොඳයි.... 
මේකට හොඳම උදාහරණය තමයි වර්තමාන ජනාධිපතිතුමා. ජේ ආර් ජයවර්ධන මහත්තයා. උන්නැහේ කොහාට හරි රැස්වීමකට යනවා නං, ඒ පළාතේ තියෙන පරණ පන්සලක්- පල්ලියක්- නටබුන් වගේ දෙයක් ගැන එතුමාගේ කතාවේදී කියනවාමයි. 
එක්කෝ එහෙ හිටපු කවුරු හරි ගැන.... අඩුම ගණනේ ඒ පැත්තේ තියෙන කපුටු බෝ ගහක් ගැනවත් කියනවා!.....”

ඒ ධර්මය මා ඉගෙනගත්තේ 1980 විතරය; තරුණ ජනගහණ කමිටුවෙන් අපට පැවැත්වූ ‘නායකත්ව හා සන්නිවේදන පුහුණු වැඩ සටහනක’දීය.

එතකොට අර විරිදුකාරයා? හැබෑය! මිනිහා 1971 වෙද්දීත් ඒ න්‍යාය දැනගෙන උන්නේය. 

එක-එක දැනුමැත්තෝ ඒවා එකතු කර; විශ්ලේෂණය කරති; තියරි හදති; උගන්වති. පැරැණියෝ එහෙම දේවල් අත්දැකීමෙන්ම උගත්හ. අපට නම් ලෙහෙසිය, දැන් එවැනි දේ ඉගැන්වීමට පාඨමාලා එමටය.

එතකොට දුන්හිඳ ඇල්ල බලන්නට ගියේ ...............
ඇඟෙන් ඇටයක් යන්නා වගේ ලෝබකමෙන්, විරිදුකාරයාට සත පහක් දීලා, ඊට පස්සේය අපි දුන්හිඳට ගියේ!

එතකොට දුන්හිඳ ඇල්ලට යන්න තිබුණේ පටු අඩි පාරකි. පඩි බැඳලා, කඩ හැදිලා තිබුණේ නැත. 

කොටින්ම අඩි පාර පටන් ගන්නා තැන තිබුණෙත් අටවාගත් මැහි දෙක-තුනක් විතරය. එදා නං ඒවායේත් කිසිවෙකු හිටියේ නැත; පාළුම-පාළුවට ගිහින්ය. JVP කලබල යාන්තං නිවීගෙන යන ඒ කාලේ දුන්හිඳ බලන්නට; කැලෑ වදින්නට එතොත් ඔල්මොරොන්දම්කාරයෙක්මය.

අපේ සුන්නාත්, මමත් සූට්කේස් දෙකත් උස්සාගෙන, අර පාළු අඩිපාරේ ගාටමින් දුන්හිඳ ඇල්ල පාමුලට ගියෙමු. එහෙන්-මෙහෙන් එබිකම් කරමින් කුරුල්ලෙක් -දෙන්නෙක් විපරම් කළහ. දුන්හිඳ පාමුල.... අප එතැනය!

(දැන් නම් එතැන ලොකු වේදිකාවකුත් හදලා තිබෙයි. ඉස්සර කොහෙද එව්වා? ඕවා නෙවෙයි එදා නං අප දෙන්නාගේම ඔළුවේ තිබ්බේ.) ටැයියා! ටැයියා!! ටැයියා විතරය. මේ දැන්- මේ දැන් කොහෙ හරි අකුලකින්, තඩි ගහක් මුවාවෙන් ටැයියා මතු වෙතැයි හිතාගෙනය අප හිටියේ. ඒත්...

දඬු ලේනෙක් දෙන්නෙක් නම් එබිකං කොට.............
දඬු ලේනෙකු-දෙන්නෙකුගේ එබිකම් කිරිල්ලක් හැරෙන්නට වෙනින් සද්ද-බද්දයක් මතු වුණේ නැත.

ම්හු! ටැයියාගේ කිසිම ලකුණක් නැත. “මේ යකා කැලේ මැදට ගිහිල්ලද?”
“පිස්සුද සුනිල්. එහෙම යනවා නං ඒ මොට්ටයා ලකුණක්වත් තියලා යන්න එපැයි. දන්නවනේ, අපිත් එන බව.... බලමු.. එහෙම මොනවා හරි ලකුණක් තිබ්බත් ඒක හැමෝටම පේන තැනක තියන එකක් නැහැ.”

මගේ ෂර්ලොක් හෝම්ස් තියරිය සුනිල්ට අල්ලලා ගියේය. මිනිහා වටේම බලන්නට ගත්තේය; පඳුරු අස්සේ, ගස්-ගල් අස්සේ, හැම තැනටම හොස්ස පොවා බැලුවේය.

ටැයියාටත්, සුනිල්ටත් ඒ කාලේ කැත පුරුද්දක් තිබිණි. ගස් කඳන්වල නම කෙටිල්ල.... තවමත් ගොඩාරියක් අයට ඒ කැත පුරුද්ද තිබෙයි. දුර බැහැර පැත්තකට යද්දී දකින හුඟාක් කළුගල්වල වුණත් එක-එක ගොබ්බසේනලාගේ නම් ඒවායේ ලියා තියෙනවා පෙනෙයි. 

ගහක-ගලක තිබුණාට නමක් අමරණීය වෙනවාද?

ගහක ගලක නොමැකී තිබුණත් ඇගයෙන්නේ ඓතිහාසික වටනාකමක් ඇති දෙයක් පමණි.
“නෑනෙ බං....” සුනිල්ගේ කටහඬ කෙඳිරියක් වගෙය. කෙඳිරිගෑවේ නැති වුණත් මගේ අසරණාකමත් ඉහවහා ගිහින්ය. මේ මෝඩකමට මාත් සම්මාදම් වෙච්ච හැටි... 
අඩු ගානේ කාසිය උඩ දාන වෙලාවෙවත් ඒ ඉලව්ව මගේ වාසියට පෙරළුණා නං... මෙහෙම වෙන්නේ නැත.

“දැන් මොකක්ද කරන්නෙ ලොකා?”

“මොනා කරන්නද? ඉඩ තියෙන තැනකින් කැලේට රිංගනවා මිසක්!”

අර ‘විරිදු පදය’ වගේ ජීවිතේ ඇති තුරා මට අමතක නොවෙන ඊළඟ ප්‍රකාශය මගේ කණට වැටුණේ එතකොටය! මහ සද්දෙන් නොවේ; අන්ත අසරණ හීන් හඬකිනි. 

“ඒ බං අයියේ.... මේ කැලේද අපි ඉන්න යන්නේ?”

ගල්ගෙඩිවලින් ගහලා වල්ඌරන් මරන්නට කතා වුණු සුන්නා නොවේ.........
එදා එතැන හිටියේ මං විතරක් නම්, අද මේ කතාව කියන්නට මා නොහිටින්නට ඉඩ තිබිණි. එහෙත් ඒ නිමේෂයේ මට හැඟුණේ එකකි. ‘ගල්ගෙඩිවලින් ගහලා ඌරන් මරන්නට මේ පැඟිරි කොල්ලාට බැරිය. තුන් දෙනෙකුට කන්නට හරියන හේනක් එළි කරන්නට මේ කොල්ලාට බැරිය.’ කොටින්ම, අපේ සුනිල් මං හිතාගෙන හිටි තරමේ සද්දන්තයෙක් නොවේ!

මං විතරක් හිටියා නං එදා මා කැලයට රිංගනවා සිකුරුය. මා ඒ තීරණය නොගත්තේ සුනිලුත් එතැන හිටි නිසාය. කොච්චරට හිත හයිය  වුණත්, මගේ ගතේ සවිය එච්චර නැති බව මටම දැනුණු නිසාය. ඒක නං උපන්දා ඉඳලාම එහෙමය!

“ටැයියා ආව පාටකුත් නැහැනේ.... එහෙනං අපි ආයෙම මහ පාර ගාවට ගිහින් බලමු!”
සුනිලා එක පයින්ම කැමැත්ත දුන්නේය. අපි ආපසු බදුලු-මහියංගණ පාරට ආවෙමු. පාරට නොවේ; පාර ළඟටය. එතැනට එන්නට කලින්, පෙඳපාසි බැඳී තිබුණු ලොකු කළුගලක ‘ඇවිත් ගියා. සුනිල් රංජි’ කියා සලකුණු කරන්නටද අපි අමතක නොකළෙමු! ඒක කළෙත් කුඩා කළුගලකින් පාසි හූරලා දමලාය.

අන්තිමේදී අප පාරට එද්දී ගමේ කිහිප දෙනෙක් එතැන රැකවල් ලාගෙන උන්හ. ඔවුහු අප අල්ලා ගත්තෝය!

එක විඩේටම අපි දෙන්නා යකුන්-පෙරේතයන්-විප්ලවකාරයන්..........
“..... මේ දෙන්නා තමයි.... එක්ක යමු පොලීසියට!”
“චේ ගුවේරාකාරයෝ... පෙරේත යක්කු.”
“මෙච්චර පොඩි එවුන්ද ඒකේ ඉන්නේ...”

“මොක්කුද කියලා පොලීසියෙන් හොයයිනේ බොලල්ලා....” එක විඩේම අපි යකුන්-පෙරේතයන්-විප්ලවකාරයන් බවට රූපාන්තරණය වෙලාය.

මේ පෝස්ටු මාලාව පුරාම මගේ දයාබර රසික-රසිකාවන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබුණේ ස්ටැන්ලිට මොකද වුණේ කියන කාරණයයි. 

මදිය නොකියන්නම ඒ ගැන අනුමාන කිරීම් තිබුණේ කමෙන්ට්ස්වලය. මේ කොටසේදී ඒ බව කියන බවට මම කමෙන්ට්ස්වලදී පොරොන්දුවකුත් දුන්නෙමි. ඒ හිතවත් පාඨක ප්‍රසන්නටය.

“පුතේ, අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස් බැඳලා හරි දීපං!” 

අපේ තාත්තා මට ඉගැන්නුවේ  එහෙම බව මා කලින් කියා ඇත. ‘මං වචනයක් දුන්නොත් බෙල්ල කඩාගෙන හරි එය ඉටු කරන බව’ මේ පෝස්ටු මාලාවෙදීත් කියැවිණි. ගෙදරින් පැනලා යාම අනුමත නොකළත්, වැඩි ඡන්දයෙන් හා කාසියේ වාසිය උරගා බැලීමෙන් මං පරාද වුණු නිසාය මේ මරාලය කඩා පාත් වුණේ. 

දුන් වචනය ඉටු කිරීමේ ප්‍රතිපත්තිය හින්දා, දුන්හිඳ ගම්මුන්ගේ භාරයේ අප දෙන්නා ඉන්නා අතරේ, දැන් මහරගමට හැරෙන්නෙමි. 

                ආච්චීත් එක්ක අපි, (1985 දී) ළදරු රජිත් වඩාගත් මල්ලිකා, සුනිල්, ගාමිණී, මානෙල්, අජිත්,
                                         (ඉදිරි පෙළේ)  අනිල්, ආච්චී හා නිදි 



“ගුණේ.... ගුණේ.... අනේ පුතේ මේ කොල්ලෝ දෙන්නම ගෙදර හරියක නැහැනේ බං...” අපේ ආච්චී අඬාගෙන අපේ ගෙදරට දිව්වාය. 
එතකොටත් අපේ තාත්තා හිටියේ නින්දත් නොනින්දත් අතරේය.
“අම්මට පිස්සුද... උන් කොහෙ යන්නද... වනාතේ වෙරළු අහුලන්න යනවා නේද?”

“තොටයි පිස්සු. රංජියා හැමදාම වෙරළු ඇහිලුවේ අවුරුදු කීයකට ඉස්සරද බං... සුනිලුත් නැහැනේ....”

ඔය කතා-බහ කණට වැටෙනවාත් එක්කම අපේ අම්මාත් ලතෝනි දෙන්නට පටන් ගත්තාලු. “ලීලා කට වහගනින් කිව්වම අහලා... මොකද වුණේ කියලා හොයා බලන්නේ නැතිව කෑමොර දීලා රට හිනස්සන්නද හදන්නේ? .... හොයල බලපල්ලා දෙන්නාගේ ඇඳුම් තියෙනවද කියලා... සූට්කේස් දෙක එහෙම.”

වනගත ළමෝ පොතේ වගේ නිදහස් ලෝකයක් හොයාගෙන අප බදුලු යද්දී ආච්චිලා අපව හොයා........
ඉතින්, ආච්චිලා අපව හෙව්වේලු; නිදහස් ලෝකයක් සොයාගෙන, අප ගෙදරින් පැනලා ගිහින් බව නිගමනය වුණේ එහෙමය.

“අනේ දෙයියනේ, අහිංසකයෝ දෙන්නා.... කොහෙ ගියාද? මොනවා වුණාද... කොහොමද දෙයියනේ දැනගන්නේ.... උන් දෙන්නා එහෙම පැනලා යන එවුන් නෙවෙයි බං... ඇත්ත කියපං ගුණේ... උඹ උන්ගේ හිත කැඩෙන්න මොනවා හරි කිව්වා නේද? 
මට ඇත්ත කියපන් පුතේ.... රංජි එහෙම ගෙදර දාලා යන එකෙක් නෙවෙයි, ලොකුම දෙයක් නොවුණා නම්....” ආච්චී තාත්තා මත්තෙම හැපිලාය.

“අනේ අම්මෙ මේ, මගෙන් කුණුහරුප අහගන්න එපා. ගිය උන් ගියා.... ගියේ ගෙදර එපා හින්දනේ ... ආයෙම උන්ට මෙහෙ පස් පාගන්න බෑ! මළා කියලා දානයක් දෙමු.”

“තෝ දරු හැවිකාරයක් තියෙන එකෙක්ද බොල. ජාතක කරන්න විතරනේ තොට ඕනෑ... වරෙන් ලීලා. අපි දෙන්නාවත් හොයලා බලමු මේ අසරණයො දෙන්නට මොකද වුණේ කියලා.”

නදීෂ් දිල්ශාන් දිසානායක ගෙත්තම් පානේදී ගත් ෆොටෝ එකෙනුත් පේන්නේ පොටක් පාදා ගැනීමේ අසීරුවයි. 
එහෙම කිව්වත් අපේ ආච්චීට කිසිම පොටක් පාදාගන්නට පුළුවන් වෙලා නැත. 

එතනදී පිහිටට ඇවිත් තියෙන්නේ අපේ ‘අමු කැලේ’ හෙවත් ‘චාලි නානා’ හෙවත් ‘මඤ්ඤොක්කා සීයා’ය. “ලීලා... තමුසේ අපේ එකාට කිට්ටු කරලා, යාප්පුවෙන් අහල බලනවා මුන් දෙන්නව හොයාගන්න ඇහැකි නුවණක්... ඌ අපිට වැඩිය මොළකාරයනේ.”

අපේ සීයාගේ නුවණ හරියටම හරි ගිහින්ය. කවුරුන් ඉදිරිපිට ‘කේසර සිංහ නාද’ පැවැත්තුවත් අපේ තාත්තා අම්මා ළඟදී ‘අඹුසොඬ බමුණා’ වෙන බව මං ඔයාලට කිව්වේ මාස ගණනකට ඉස්සරය. එදාත් ඒ සංතෑසියම වෙලාය.

“පහුගිය ටිකේ මුන් දෙන්නා ස්ටැන්ලිත් එක්ක කාජාව දාගෙන හිටියා, තිස්සෙම. සුනිලා නං හරි. ඒත් රංජියාත් කූටාලි වෙලා හිටියාම මට පොඩ්ඩක් ඇල්ලුවෙ නෑ. ඊයෙත් මම දෙන්නව කොටු කරගන්න හැදුවා, සැකේට. කොයිකටත් උඹලා නුගේගොඩ ගෙදරට ගිහින් අහල බලපල්ලකො ස්ටැන්ලිගෙනුත්.” 

තාත්තා කියන පමාවෙන්ම අම්මාත්, ආච්චීත් නුගේගොඩ ගෙදරය. මහ ඈතක නොවෙයිනේ, වැටවල් දෙකකින් පනින දුර විතරය.

අපේ කොල්ලො දෙන්න ගෙදර නැහැනෙ ඕයි!
“අනේ ඕයි..... බලනවකො අපේ කොල්ලො දෙන්නා ගෙදර නැහැනේ....” ගිය පමාවෙන්ම ආච්චී මුල පිරුවාලු.

“හරි වැඩේනේ!” හූමිටි තිබිල්ලක් විතරලු.

“ඒක නේන්නං මෙයා. අපි මේ ආවේ.... ස්ටැන්ලි එක්කවත් උන් දෙන්නා මොනවා හරි කියලා තියෙනවද.....” අම්මා මුක්කුව ගහලා හමාර කරන්නටත් ඉස්සෙල්ලාම නුගේගොඩ ඇන්ටි කඩා පැනලාය.

“ස්ටැන්ලි කොහොමද දන්නේ? ඌත් පෙරේදා ඉඳන් ගෙදර නැහැනේ.... පැනලා ගිහින්.”

“හෑ!” (කොච්චර වෙලාවක් අපේ ආච්චී විස්මයෙන් කට ඇරගෙන ඉන්නට ඇතිද?)

“ඇත්තටමද?”
“අනේ මේ ලීලෝ, තමුසෙලට බොරු කියලා මට තෑගි හම්බ වෙනවනේ?”

තෑග්ගක් ලැබිලා තියෙන්නේ එතකොටමය. ඉස්සරහ කාමරය ඇතුළෙන් දඩබඩ සද්දයක් ඇහුණාලු; මොන-මොනවාදෝ පෙරළුණා වගේලු.

“පීටර් උන්නැහේ ‘පුතේ, කිව්වම අහලා හිටපන් පුතේ’ කියනවාත් එක්කම කාමරේ දොර ඇරුණා. මෙන්න බොලේ පීතර හාමිනේ පැනල ගියාය කියපු ස්ටැන්ලි ඉන්නවා!” 
අපේ ආච්චී අපට කිව්වේ පස්සෙය; රඟපා පෙන්නමිනි.

අනේ මේ ලීලෝ, තමුසෙලට බොරු කියලා මට තෑගි හම්බ වෙනවයැ?
“ගෑනිට ලජ්ජාවේ පණ ගියා වගේ, මූණ ඇඹුල් වුණා!”
“ආච්චියෙ.... සුනිල්ලාත් ගෙදරින් ගිහිල්ලද?” ස්ටැන්ලි එහෙම අහද්දී පීතර මාමා; ස්ටැන්ලිලගේ තාත්තා ඇවිදින් ස්ටැන්ලිව ගේ ඇතුළටම ඇදගෙන ගිහින්ය.

“ඊට පස්සේ ගෙදර උන්ට බේරිල්ලක් නැති තැන වෙන්නෝන ස්ටැන්ලිවත් එක්කගෙනම අපේ ගෙදර ආවා. ගුණේ තමයි සේරම කතා කළේ.... ස්ටැන්ලි ගෙදරින් පැනලා යන්න හදද්දී තාත්තලට අහුවෙලා. අල්ලලා බැඳලා දාලා, කාමරේම හිර කරගෙන ඉඳලා.."

ඔන්න මහත්තුරුනේ, දුන්නු වචනය රැක්කා. ටැයියා ගෙදර - අපි දුන්හිඳ ළඟ කොටුවෙලා.  ඊළඟට.....

Monday, June 24, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස

 තාපස උන්නාන්සේගේ පුරුෂ බීජ තණකොළ උඩට වැටිලා තියෙද්දී මුවැත්තියෙක්....
“කිකිළියෝ විතරක් හිටියට මදිනෙ. උන්ගේ ‘බිත්තර මන්ද’ මෝරන්නෙ කුකුළෙකුත් හිටියම.” අම්මා එහෙම කිව්වේ අපේ ගෙදර හැදූ කුකුළන් මසට විකුණන වෙලාවකය. ඉතින් වික්කේ බිත්තර නොදමන නාකි කිකිළියනුත්, ආරපු කුකුළනුත් විතරය.

“ඔක්කොම කුකුල්ලු දුන්නත් කමක් නැහැ ලීලා. වනාතේ ගෙදර කුකුළො ඉන්නේ.... කිකිළියන්ගේ බිත්තර මෝරනවා කුකුළෙක් හඬලන සද්දේ ඇහුණත්.” තාත්තා උපදෙස් දුන්නේ අම්මාටය. ඒවා මතක තියාගත්තේ මං වහන්සේය.

මොනරා පිල් කළඹ විදහාගෙන නටන ගමන් ‘බීජාණු’ බිමට හළනවාලු. සෙබඩ ඒවා අහුලාගෙන කනවාලු. කාලා ගැබ්බර වෙනවාලු.....

අප මහ බෝසතාණන් වහන්සේත් බමුණු කුලයක ඉපදිලා වනාන්තරයක තවුස් දම් පුරන කාලේ ලැගුම් ගෙන හිටිය ගල්ලෙන අසබඩට,  මුවැත්තියක් එන්න පුරුදු වුණාලු. ඔහොම ආව මුවැත්තිය ඒ අසල සරුවට වැවිලා තිබුණු තණකොළ කාලත් හරි ජංජාලයක් වුණාලුනේ. මුවැත්ති ගැබ්බර වෙලා, පුතෙකුත් වදලා! වෙලා තියෙන්නේ මේකයි, අර තණකොළ ගොල්ලටලු තාපස උන්නාන්සේ මුත්තරා කරන්නේ.

අර තාපස උන්නාන්සේට ලිංගික බෙලහීනතාවක් එහෙම......
තපසුන්නාන්සේගේ සුළුදිය එක්ක පහවුණු ‘පුරුෂ බීජ’ නිසාලු මුවැත්ති ගැබිණියකු වුණේ. පින් සිද්ද වෙයි මගෙන් අහන්න එපා, මුවොන්ගේ ගර්භාෂයයි, ආමාශයයි එකට සම්බන්ධද කියලා. ඊළඟට කියයි මං කුණුහරුප කිව්වා කියලා. ඒත්, ඔව්වා මගේ ප්‍රලාප හෙම නෙවෙයි.... ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ ඇතුළේ තියෙන්නේ. ‘හැක’ නං නිලිනිකා (නලිනී) ජාතකය; ඉසිසිඟ තාපසතුමාගේ කතාව කියවලා බලන්නකෝ.

මං ඔය කතන්දර; ප්‍රවාද එකක්වත් හගිස්සන්න යනවා හෙම නෙවෙයි ඔන්න. ගිය පෝස්ටුවේ අන්තිමට ඈන් කෑ ගසාගෙන පස්සට පැන්නේ ඒ දසුනෙන්ම කුමරි බඹසර බිඳුණා වැනිවය!’ කියන වාක්කිය කොටද්දී..... අසනි වේගයෙන් ඔය කතන්දර ටික මේ මැටි ඔළුවට ආවේය.

එහෙම වෙන්නේ මගේ ඔළුව ලොකු හින්දා වෙන්නට ඇතිය. ලොකු නංගීත්, මාත් දෙන්නාගේ මේ ෆොටෝ කෑල්ල ‘ඔළුව ලොකු කතාවට’ හොඳම සාක්කියයි!

අනේ, මගේ ඔළුව ලොකු හැටි හොඳට පේන්න ෆොටෝ එක පැහැදිලි මදි වගෙයිනේ!
තාපසයන් කියන්නේ මාර්ග ඵල ලැබුව උදවියට නෙවෙයිනේ. ඒවා ලබාගන්න වෙර-වීරිය වඩන අයට. මතකයි නේද කුමර බඹසර! කුමර බඹසර අසපුවේ මා - සම වැදී උන් දැහැන් බිඳුණා..... ඒ සින්දුවේ කියන විදිහට අපි කී දෙනෙකු නම් හිතෙන් අනෙක් අයව නිරුවත් කරනවාද? ඝාතනය කරනවාද?

ඒ අස්සේ මගේ වනචර හිතට තව ප්‍රශ්නයකුත් හිතෙයි. අර තාපස උන්නාන්සේට ‘නෂ්ට කාමය’ වගේ මොනවා හරි ‘රහස් රෝගයක්වත්’ තුබුණාවත්ද?  

මනෝමයෙන් අනුන්ව නිරුවත් කරන්නට- සසඟෙහි යෙදෙන්නට- බලහත්කාරකම් වුණත් කරන්නට මනුස්සයාට පුළුවන් බව ඇත්තය. ඒත් දුටු මනතින්- දුර ඉඳලා අංගනාවක් ගැබ්බර කරනු බැරිය. එදා එහෙම පුළුවන් වුණා නම් ඈන්ට වෙන්නේ.... 

ඒත් දුටු මනතින් - දුර ඉඳලා තරුණ අංගනාවක් ගැබ්බර කරනු ............
එච්චර අසමජ්ජාති දෙයක් කරලාත් ඈන් අප එක්ක තරහවී හිටියේ දවස් දෙක තුනක් විතරය.

ඒ අතින් හුඟක් අය මට වැඩියෙන් හොඳය. සත්තකය, කවුරුන් හරි මට කෙනෙහිල්ලක් කළා නම්; එයින් මගේ අභිමානයට හානියක් විණි නම් මට එය අමතක කරන්නට බැරිය. Return එකක් දෙනකල් සැනසිල්ලක් නැත.

‘වැරැදීම මිනිස් ගතියකි; සමාව දීම දේව ගතියකි’ කියලා මාත් දන්නවාය. ඒ වගේම තියරියක් මාත් හදාගෙන තිබේ. “හිතා-මතා වැරැද්දීම අමනුස්ස ගතියකි; ඒකට සමාව දීම දේව අගතියකි!’.  

ලලිත් ඇතුළත්මුදලි මහත්තයා ඝාතනය කෙරිලා ගත වුණු දවස් කිහිපයේදී ඒ ගැන ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් වුණා. කයි-කතන්දරත් පැතිරුණා, මදිය නොකියන්නම. “.... මාව ඝාතනය කළත් කමක් නැහැ. කරුණාකර මගේ චරිතය ඝාතනය කරන්න එපා....” කියලයි ප්‍රේමදාස මහත්තයා රටවැසියන්ට කිව්වේ. ඒක තමයි කෙනෙකුගේ අභිමානය!

මාව ඝාතනය කළත් කමක් නැහැ, මගේ චරිතය ඝාතනය නොකර!
මං වහන්සේ එච්චර කෙරුමෙක් නොවේ.

ඒත් සෑහෙන අභිමානයකුත් උත්පත්තියේදීම මට දායාද වෙලාය. ඒක පමණටත් වැඩිද මන්දා. ඒ ගතිය අඩු කරගත්තා නම්, කොන්ද පණ නැති කරගන්නට ඉගෙනගත්තා නම් මට ලොකු දුරක් යන්නට තිබිණි.

මොන? ආත්මය පාවාදී එහෙම වස්තුව-වළඳුව ලබාගන්නා පුරුද්දක් අදටවත් මට නැති හැටි. එදාත්; නිහාමුලාගේ බතික් වැඩපොළේ හිටිද්දීත් වුණේ එවැනි දේකි. නිහාමු මගේ හිත කීරි ගස්සන කතාවක් කිව්වාය. අදටවත් ඒ කඩුලු කතාව මට මතක නැත, මතක තියෙන්නේ හිතා-මතාම එහෙම කියූ බව විතරය.

සාධාරණව හිතා බලනවා නම් පෙනෙන්නේ, එදා මං කෙන්ද කන්දක් කරගත්තා වෙන්ටැති කියලාය. නැති නම් නිහාමු කී දේ මට අමතක වෙන්නට විදිහක් නැත.

එදා මං කෙන්ද කන්දක් කරගත්තා වෙන්නට ඇතිය.
“ආයේ මට එහෙ වැඩට යන්න බැහැ. මේ මාසේ අන්තිමට මං නවතිනවා.” මං අපේ තාත්තාට කියන්නට ඇත. විස්තරත් කිව්වා වෙන්නට ඕනෙය.

තාත්තා එපාය කිව්වේ නැත. මම ගෙදර නැවැතුණෙමි. ඒ වයසේ වැරැද්ද වෙන්නටත් පුළුවන්ය.

‘එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී -  එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා - නාස් ලණුව දමනවාලු - කරත්තයක බඳිනවාලු - අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා’ කියලා කියන්නට ඇත්තෙත් මගේ පලෝලේ ඉන්න කෙනෙක් ගැන වෙන්නට ඕනෑය. මං ගැනම කියනවා නං ‘ළපටි’ වෙනුවට ‘කපටි’ කෑල්ල එකතු කරගත්තාට වුණත් අහිතක් නැත!
 
“....... මම හැව්ලොක් ටවුමේ, ඩික්මන් පාරේ බතික් කරන තැනක වැඩ කරමින් ඉඳලා එතනින් අස්වුණා. පුංචි වදන් හුවමාරුවක් වෙලා. ඒ බව ආරංචි වෙලා ඒ වැඩපොළේ අයිතිකාරියගේ නෑයෙක්; ඊවා සේනානායක මහත්මිය  මට පණිවිඩයක් එව්වා. මාත් එයාව හමුවෙන්න ගියා.

'ළපටි' වෙනුවට 'කපටි' කෑල්ල දමාගත්තත් ඔන්න මගෙන් නං අරෝවක් නෑ....
ඊවා හාමු. එහෙමයි අපේ අම්මා එයාට කිව්වේ. අම්මා එයාගෙත් එයාගේ යාළු ගොඩක් හාමුලා-නෝනලාගේත් ඇඳුම්- විශේෂයෙන් හැට්ට මහලා දුන්නා.

ඊවා හාමු හරිම ලස්සනයි. සීදේවි මනුස්සයා. මම අම්මත් එක්ක කොයි වෙලාවෙ එහෙට ගියත් එයාම ඉදිරිපත් වෙලා කෑම-බීමෙන් සංග්‍රහ කළා. එයාගේ මහත්තයා උපාලි සේනානායක. ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ළඟම ඥාති සහෝදරයෙක්. මහ කළු සිංහලයා කියන්නේ උපාලි හාමු වගේ අයටම තමා කියලයි මං නම් හිතුවේ. හැබැයි උපාලි හාමුයි, ඊවා හාමුයි දෙන්නා කොහොම හාමුවෙලා උන්නාද කියලයි මොට්ටකමට මට හිතුණේ. ගමේ බාසාවෙන් කියනවා නම් ඒ ජෝඩුව හරියට තැඹිලි ගෙඩියට කපුටා වැහුවම වගෙයි....”

මං එහෙම ලිව්වේ ‘නිදිගෙ පංච තන්තරේ’ පළමුවෙනි පෝස්ටුවට, 2018 අප්‍රේල් පළමුවෙනිදා (මෝඩයන්ගේ වැඩ පටන් ගන්න හොඳම දවසේ. ඒ පෝස්ටුවේ බතික් ගැන ටිකකුත්, මයෙ ගැන යහමිනුත් ලියවුණා.)

මෝඩයාගේ දවසේ පටන් ගත්තු බ්ලොග් එකෙන්........
එදාම මං කෙටුවා මගේ කතාව කියන්නේ කාලානුක්‍රමයෙන්; A to Z විදිහටත් නෙවෙයිය කියලා. ඔන්න දයාබර රසික රසිකාවන්ට කියවාගන්න ඉඩ-කඩ තියෙනවා නම් මෙන්න ‘වස් කවි කීම’ පෝස්ටු තුනේ ලින්ක්ස්.




කියෙව්වද? එහෙම නං තේරෙන්න ඇතිනේ ‘නිදි’ මව් කුසේ ඉන්දදී අර අහිගුණ්ටික අම්මණ්ඩි අපේ අම්මට කිව්ව ‘ඇබ්බැයි නෝනා, බඩේ ඉන්නෙ දවල් ඔරා තමා’ කතාව ඇත්ත බව. 

ඉතින් ‘වස් කවි කීම’ එකේදි නොකියවුණු දේවල් විතරයි අලුතෙන් කියන්න හදන්නේ, එහෙම හොඳයිනේ.

... එහාට ගිහින් දවස් දෙක-තුනෙන්ම මට පෙනෙන්න ගත්තේ එතැන වෙන අංජ-බජල්.

‘මගේ ජීවිතේම අනුන්ගේ යහපත උදා කරන්න කැප කරලයි තියෙන්නේ! මං එහෙම කරන්නේ පරාර්ථය වෙනුවෙන්.... සියලු දෙනාගේ උදාව තමයි මගේ උදාව.... මේක තමයි මගේ ජීවිතය.’ කියලයි එතැන ලොකු මහත්තයා කිව්වේ. 

හැමෝම ඒවා ඉහ මුඳුනෙන්ම පිළිගත්තා. මේ මාත්.... හැබැයි, එහෙම පිළිගත්තේ ඒ සිත් කාවදින කතාන්දරවල හැංගිලා තියෙන ඇත්තත් තේරුම් ගන්න ගමන්.

පිරිමි අඬනවා දකින්න ගැහැනු හරිම කැමැතියි.................
“පිරිමියෙකු අඬනවා දකින්න ගැහැනු කැමැතියි!” ඒ මතවාදය මං පළමු වතාවට ඇහුවේ ප්‍රවීන ගීත නිබන්ධක මහින්ද දිසානායක මහත්තයගෙන් වගේය; ජෝන් ද සිල්වා සමරු රඟහලේදී. ගුණදාස කපුගේ ගායකයාණන් පිළිබඳව ලියැවුණු ‘හඬ’ පොත දොරට වඩින දවසේ.

ජෝන් ද සිල්වා එක අතුරු-සිදුරු නැතිව පිරිලා-ඉතිරිලා තිබුණු  අතරේ පැවැත්වුණු දේශනයකදී.

එදා ඉඳලා ටිකෙන්-ටික මට වැටහුණු දෙයක් තමයි කාන්තාවන් වඩාත් විශ්වාස කරන්නේ හැඩි-දැඩි පිරිමින්ව නෙවෙයි. 
මුදු ඇවතුම්-පැවතුම් තියෙන අයව. 
පිරිමිකම වෑහෙන; පෞරුෂවත් කටහඬකට වැඩිය ලාලිත්‍යමය-කාන්තාමය කටහඬකටත් කැමැතියි.

හුඟක් පිරිමි අය සම්බන්ධයෙනුත් ඒකම තමයි ඇත්ත.

ගුණදාස කපුගේ  ගායකයාණන් පිළිබඳව ලියැවුණු 'හඬ' පොත දොරට වඩින දවසේ.........
අර ස්වෙච්ඡාසේවී ආයතනයේ ලොකු මහත්තයා ඉතාමත් චතුර කථිකයෙක්. පැහැදිලිව, ලෙළවමින්, අසන්නා ඇද-බැඳ තබාගනිමින් කතා කරන්නට හපනෙක්. සිංහලෙන් වගේම ඉංගිරිසියෙනුත්. ඒ වශීය හැදෙන්න ඇත්තේ අර මං මුලින් කී කාන්තාමය හඬක් මිශ්‍ර කටහඬත්  මුසුවෙලා. ඕක ඔය තරමටම සහසුද්දෙන් කියන්නට ඇහැකි වෙන්නේ අත්දැකීමෙන්. මටත් තියෙන්නේ එවන් voice එකක්!

ඒ හින්දද මන්දා මාව තම්බන්න ඒ මහත්තයාගේ ලුණු-ගොරක මදි වුණේ.

කොහොම වුණාම මොකෝ? මගේ බතික් කිරීමේ වේගය හොඳ නං, ඒ වෙද්දී එහෙ ගෙවමින් හිටි පීස් රේට් එකෙන් බාගයක් මට ගෙවලා වුණත් හොඳ පඩියකුත් ලැබෙනවා නං.... “එස් අයියේ, මං ආවේ ස්වේච්ඡා සේවේ කරන්න නෙවෙයි. වැඩ කරලා හොඳ පඩියක් ගන්න. ඒකට ඉඩ නැති නං ....”

“කවුද මනුස්සයෝ එහෙම බැරි කතාවක් කිව්වේ? ඒ වුණාට ඕවා හයියෙන් කියන්න එපා. හයියෙන් නෙවෙයි හෙමින්වත් .. මෙතැන ඉන්න හැම එකාම උඩ යන්න හදන්නේ තව එකෙක්ව බිල්ලට දීලා. පුළුවන් තරම් කතාව අඩු කරලා වැඩ කරන්න ...” එස් අයියා කිව්වේය.

මගේ හිතේ තරහවත් අඩු නොවී දැවෙමින්, කැකෑරෙමින්.............
ඉතින් එතැනම නේවාසිකව ඉඳගෙන වැඩ පටන් ගත්තත්, මගේ හිතේ නිහාමු ගැන තිබුණු තරහව අඩු නොවී තිබ්බේය. මට ඕනෑ වුණේ ඒ මනුස්ස දෝණියට රිද්දන්නටය. මං ඒකට ඉත්තා කර ගත්තේ නන්දනීවය!

නන්දනීව එහාට එක්කාසු කරගෙන ආවේ ජයන්තිගේ අම්මා ඇසිලින් අම්මේය; බොරැල්ලේ වත්තෙන්මය. එහෙම ආවත් නන්දනී ජයන්තිටත් වඩා හිතවත් වුණේ මගෙත් එක්කය. ඒ රොහාන් නිසාය. චන්න විජේවර්ධන මහතාගේ ඡායාරූපයක් දකින ගානේ අදටත් මට  මතක් වෙන්නේ රොහාන්වය. මිනිහා චන්නගේ සහෝදරයෙකු වගෙය. රොහාන් හැන්ඩියෙකි; පැහැපත්ය; කෙස්ස පොකුටුය. කිහිප දවසක්ම බතික් ගරාජය ඉදිරිපිටින් රොහාන් ‘රුවන් සක්මනේ’ යෙදුණත් නන්දනී කියන තුරුම මට ඒකේ විශේෂයක් තිබුණේ නැත.

“අනේ නිමලෝ, අරුන්ට නං කියන්න එපා. ඇසිලින් අම්මෙට ආරංචි වුණොත් අපේ අම්මලටත් කියයි. අරයා මට ට්‍රයි කරනවා.... අර.. අර බලපංකො.”

අනේ නිමලෝ, අරයා මට ට්‍රයි කරනවා වගේ....
රහසක් හෙළි කරන්නට තරම් මාව විශ්වාස කළ එකට මමත් ප්‍රතිචාර දැක්වීමි; ඒ, දෙන්නාගේ ස්ථීර ප්‍රේමය පවත්වාගෙන යන්නට ‘පණිවිඩකරුවා’ වීමෙනි! (පස්සේ ජයන්තිලාත් ඒ හුටපටය දැනගත්හ. ගෙවල්වලිනුත් අවසර ලැබී ඒ ජෝඩුව එක වහලයක් යටටත් වුණාලු.)
ඉතින් මා පළමු බතික් වැඩපොළෙන් අස්වෙන විට ඉතිරි වුණේ නන්දනී විතරය. ජයන්තිත්, සෙනෙවිත් බතික් ශිල්පීන් විදියට පුහුණුවී හිටියේ නැත. තුරුම්පුව ඒකය!
මම නන්දනීට ටෙලිෆෝන් කළෙමි. එයාටත් අලුත් තැනේ ගෙවීම් ඉතා හොඳ බව රෙකමදාරු කළෙමි. 
“ටිකාක් දුර වුණාට මොකද බං, ගෙවනවා හොඳයිනේ. උඹ එන්න කැමතියි නං, මං එස් අයියට කියන්නං. සුද්දොත් මෙහාටම ඇවිත් බතික් ගන්නවා. ඉතින් ලොකු සර් කැමැත්ත දීලා බතික් එකට උදේ ඇවිත් හවසට යන්න හරි ළමයි ටිකක් ගන්න. තනියෙන්ම ඔතැන කාල් ගානවට වඩා මෙහෙ හරි ජොලි. උඹට රොහාන්වත් නිදහසේ හම්බවෙන්න චාන්ස් එකක්!”  ඇම දාන්නට ඕනේ එහෙමය.   
ඊළඟ මාසයේ හිට නන්දනීත් එහාට ආවාය. ඒ නිහාමුටවත් නොකියාය. නිහාමු සකල අමාරුවක වැටෙන්නට ඇතුවා නිසැකය. මට නින්ද ගියේ ඊට පස්සෙය! මං ඒ සේරම කළේ නිහාමු මගේ හිත රිදෙන්නට කතා කළ හින්දාය. එදා-මෙදාතුර මා ඒ ගෙදර කිසිම කෙනෙකු හමුවී නැත.
ආපහු ගිහින් ආයුබෝවන් කියන්නට පුළුවන් විදිහටය........
මගේ ජීවිත කාලය පුරාවටම මා සේවය කළ හැම තැනකින්ම මා ඇවිත් තියෙන්නේ ආපහු එතැනට ගිහින් එන්නට පුළුවන් වෙන විදිහටය; කොන්ද කෙළින් තියාගෙනය. ඒත් නිහාමුලාට විතරක් මුහුණ දෙන්නට මට ශක්තිය නැත. ඒ, මා බලු වැඩක් කළ බැවිනි; හිතාමතාම ඇයව අපහසුතාවකට පත් කළ බැවිනි. ඒ හැඟීම වඩාත් තීව්රව දැනෙන්නේ මා නන්දනීත් සමඟ සේරම කුමන්ත්‍රණ කළේ නිහාමුලාගේ ගෙදර ටෙලිෆෝනය හරහාම නිසාය. මගේ නීචකම ඒකය!

අලුත් තැනට ආවත් නන්දනී වැඩි කලක් එතැන වැඩ කළේ නැත. ඉක්මනින් විවාහ වුණු නිසාද කොහෙදය.

අලුත් වැඩපොළේ දවසට දෙපාරක්ද කොහෙද තේ දෙන සිරිතක් තිබුණේය. (ඒ වෙද්දී එතැන පුළුල් වෙමින් තිබිණි. පිටරට ආධාර වැඩියෙන් ලැබෙමින් තිබිණි. බතික් අංශයට නේවාසික නොවෙන කිහිප දෙනෙකුම වැඩට අරගෙනත් තිබිණි. සමහරුන් ආවේ මගේ සබඳකම් උඩය.) හිර ගෙදරක් නොවුණත් හිර ගෙදරක් වගෙය. හැමෝම පෝලිමේ ගිහින් තේ ලබාගත යුතුය.

තේ වෙලාවට මොනවා හෝ අමතර දෙයක් අපට ගෙන්වා ගන්නට මුල පිරුවේ මාය. ඒ බතික් සෙක්ෂන් එකේ අයට විතරය. දවසකින් දෙකකින්ම එය විධිමත් වෙන්නට මුල පිරිණි. “එහෙම බැහැ නිමල් මල්ලී. ඔයාටම වියදම් කරන්න දෙන්න බැහැ. එක-එක දවසට එක-එක්කෙනා ගණනේ මොනවා හරි ගෙනෙමු. නීතියක්ම නෙවෙයි මල්ලී.... කැමැත්තෙන් ගෙනෙන්න අරිමු.” ඔහොම දුරදිග බලන කතා කිව්වේ නන්දා හේනපොල අක්කාය.

 සුමිත්‍රා අල්ගම, මල්ලිකා ජයකොඩි හා නන්දා හේනේපොල අක්කලා එක්ක නිදි............
නන්දක්කාත්, සුමිත්‍රා අල්ගම අක්කාත් (ප්‍රවීන ගීත රචක මහින්ද අල්ගමගේ සොහොයුරියයි.), මල්ලිකා ජයකොඩි අක්කාත්, මුද්‍රණ අංශයේ රංජිතුත් මාත්ය නිතරම එකට කල්ලි ගැහුණේ!

“එතකොට අක්කේ.... පුරුදුවෙන්න ඇවිත් ඉන්න අයට .... එයාලා පව්නෙ. එච්චර ගානක් ලැබෙනවය?”

ඒ වගකීම කැමැත්තෙන්ම බාරගත්තේ වැඩි වැටුපක් ලබන ප්‍රවීන අය විතරය. මේවා අතිශය ආඩම්බරයෙන් කිව හැකි දේවල්ය. මේ කතාවට සාක්කි අවශ්‍ය නම් මේ ෆොටෝ කෑල්ලේ ඉන්නා අයගේ අහන්න. මේකේ නැතත් තව එක්කෙනෙකු මට හොඳටම මතකය. ඒ දවස්වල අපත් සමඟ බතික් පුහුණු වුණු කෑගල්ලේ හාදයෙක්. දැන් ප්‍රසිද්ධ අංග රචනා ශිල්පියෙකි, නළුවෙකි.

අම්මෝ, වෙනදට වැඩිය දික් ගැහුණා. ඇති, ඇති. අදට ඇති.


Friday, June 21, 2019

මාතර තානායමේ අමු හෙලුවෙන්...... - පළමුවෙනි කොටස

“.....ටහුකන්න.  #$%&* ගලෝපියව් සේරම ඇඳුම්!”

නිරුවත් වෙනවාටත් වැඩියෙන් මං බයවුණේ පිටස්තර කවුරු හරි එතැනට ආවොතින්.....
ඇඳුම් ගලවන්න? මම හොඳටම බය වුණෙමි. සරම ගලවා දමා නිරුවත් වෙනවාටත් වඩා බය හිතුණේ පිටස්තර කවුරු හරි එතැනට කඩා වැදෙති කියලාය! z අයියාගේ ගෝරනාඩුව කාමරයෙන් පිටතටත් ඇහුණා වෙන්න ඕනෑය. ඒ තරම් සද්දෙටය z අයියා කෑ ගැහුවේ.

එයා එහෙම කෑගැහුවේ නිරුවත් කොට වධ-බන්ධන පමුණුවන්නට නොවේ! එච්චර කාලයකට අපෙන් කාටවත්ම z අයියා පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන්නෙකු බවට ලකුණක්වත් පෙනිලා තිබ්බේ නැත.

“කොහෙද ඉන්නේ කියලාවත් මේ යක්ෂයාට කල්පනාවක් නැති හැටි!” අප ඉන්නා තැන ගැන  z අයියාට නිනව් නැති වෙලාය. ඒ අමර පදම් වෙලා හිටි හින්දාය. සමහර දවසට එහෙම වෙයි. එයාට විතරක් නොවේ; k අයියාට, w අයියාට, v ටත් වැදිලාය. එතැන හිටි අයගෙන් එදා නොබී හිටියේ aj, ak, m හා මේ මාත් විතරය. pp ත්, uj ත් ua ත් එතැන හිටියාද කියලා මතක නැත.

එවෙලේ අප හිටියේ මාතර තානායමේ කාමරයක් ඇතුළේ අපේම.................
අප හිටියේ මාතර තානායමේය! තානායමේ කාමරයක් ඇතුළේ අපේම ලෝකයකය.

ඒ 80 ගණන්වල මැද හරියේ දවසකය. තරුණ නායකත්ව වැඩ සටහනකට සම්පත් දායකයන් විදිහට ගිය ගමන්ය. එතකොට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවේ (Youth & Population Committee – youth කියාලය අප කියාගත්තේ. ජාතසේ පිහිටෙව්වාට පස්සේ අප වැඩියෙන් භාවිත කළේ YPC නමය; ජාතික තරුණ සේවා සභාවට ‘යූත්’ නම සින්න වුණාමය.) ක්‍රියාකාරී සාමාජිකයන් වුණේ අපය. එහෙම නොවුණු අනුකමිටු සාමාජිකයෙකුත් එතැන හිටියේය. ඒ v ය.

නිලතල- ජ්‍යෙෂ්ඨත්වය වගේ දේවල් ඔහොම වෙලාවට අප අතර තිබුණේම නැත. ඒවා සේරම කමිටු රැස්වීම්වලටත්, තීරණ ගත යුතු තැන්වලටත්, වැඩ සටහන් පැවැත්වෙන වෙලාවටත්  විතරය.

අනේ, හැම තැනකම එහෙම වෙනවා නං.... මට හිතෙන්නේ එහෙමය. රජෙක් වෙන්නෙත් රටේ පුරවැසියෙකි. තප්පු ලෑවාට, පුප්පා හැඬලුවාට නායකයෙකු නොවේ. නියම නායකයෙකුට වුණත් පමණට මිස, ඕනෑවට වඩා ගරුබුහුමන් කළ යුතුද? එයා මෙලොව එළිය දකින්නෙත් මවගේ යෝනි මඟ ඔස්සේ මිස මහ බඹාගෙ මුඛයෙන් නොවෙයිනේ!

හයියෙන් තප්පු ලෑවාට; හැඬලුවාට නායකයෙක් වෙනවාද?
ගරු කරනවාය කියන්නේ දණින් වැටී වඳින-පුදන එකටය කියලාය අපේ හුඟාක් අය හිතන්නේ. දෙපතුල ළඟ වැටී ඉඳීමට, සෙරෙප්පු සුප් හදාගෙන බීමට, කියන ඕනෑම දෙයක් ඉස්මුදුනෙන් පිළිගැනීමට ලැහැස්ති උප නායකයන්ය අපේ මහජනතාවට හිටියෙත්; ඉන්නේත්.

තරුණ ජනගහණ කමිටුවේ  Founder මෙම්බර්ස්ලා ඉතාම අනර්ඝ පදනමක් දමා තිබුණෝය. FPA එකේ විධායක අධ්‍යක්ෂ දයා අබේවික්‍රම මහත්මයාත් නියම මඟ පෙන්වීමක් කොට, නිසි පමණට විතරක් ‘අත’ දමා තිබිණි. (මගේ දැනීම හරි නම්) පස්සේ කාලෙක අග්‍රාමාත්‍ය ලේකම් තනතුරත් හෙබවූ හැරල්ඩ් පීරිස්, ආචාර්ය අනිල් විතාරණ, වෛද්‍ය එච්.එස්.කේ. විමලරත්න, ලාල් හේවාපතිරණ, නන්ද පී කළුතන්ත්‍රි වගේ කිහිප දෙනෙක් ඒ අත්තිවාරම දමන්නට හවුල්වී තිබිණි.

(දයා අබේවික්‍රම මහතා, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ කීර්ති අබේවික්‍රම මහතාගේ ළඟම ඤාතියෙකි. 1987 අගෝස්තු 18 වෙනිදා පාර්ලිමේන්තුවේ සිදුවුණු බෝම්බ පිපිරීමෙන් කීර්ති මහතා අභාවප්‍රාප්ත වුණේය.)

Family Planning Association (FPA) වෛද්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශ්‍රියානි බස්නායක, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, ප්‍රකට ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස වැනි උගත්, බහුශ්‍රැත පිරිසකගේ දායකත්වයත් ඒ කාලයේදී තජකයට ලැබෙන්නට ඇතැයි මට හිතේ. ඒ 1979 දී මා එතැනට සම්බන්ධ වන විටත් ඒ අයගේ ඇසුරට වැටෙන්නට; ගුරුහරුකම් ලබන්නට; ඔවුනගේ අත්දැකීම්වල මිහිර විඳගන්නට හැකිවූ බැවිනි.

තජකයේ නායකත්වය පරවේණියට සින්න වුණේ නැත. ඉහළ තනතුරක් දැරිය හැක්කේ එකවරකි; එක වසරකටය!
තජකයේ නායකත්වය කාගේවත් පරවේණියට ගියේ නැත. ‘ඊළඟ පරම්පරාව අතට යෂ්ටිය දෙන්නට’ තිරසාර නීති-රීති පද්ධතියක් මුලදීම පනවා තිබිණි. ...එයින් ටිකාක් විතර කියනවා නම් මෙහෙමය.

අහසින් වැටී කමිටුවට ඇතුළු වෙන්නට බැරිය. දස්කම් පෙන්වා, ස්වේච්ඡාවෙන් වැඩ කර; අත්දැකීම් ලැබිය යුතුය. ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය ලැබිය යුතුය. කෙනෙකුට ලේකම් ධුරය නොදරා සභාපති ධුරයට පත්විය නොහැකිය. ඒ ධුර දැරිය හැක්කේත් එක වරකි. එක වසරක් සඳහා පමණි! ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදීකමක් youth එකේ තිබුණාට FPA එකේවත් තිබ්බේ නැත.

මේවා ලියන්නේ රටක් පාලනය කරන්නට දත කන- රටක අනාගතය තීරණය කරන්නට සැරසෙන අපේ කිසිම දේශපාලන පක්ෂයක හෝ ව්‍යාපාරයක ඇතුළේවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බැවිනි. (මෙන්න, ගන්නවා නම් පූර්වාදර්ශයක්.)

මුලින්ම තමුන් නොහැදී අනුන් හදන්නට එන අයට ඡන්දය දෙන්නටය අපට සිදුවී ඇත්තේ. ඒකෙන් වෙලා තියෙන්නේ ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නමේ තුන්වෙනි කොටස මුලට ‘අ’ අකුරක් එකතුවෙන එකය. දිගටම, මෙහෙමම ගියොත් නම් ඒකෙන් ‘අ මු’ අකුරු දෙකම හැළී ගිහින් ‘හු’ අකුර එකතු වෙන්නට ඉඩ තිබේ!

මෙහෙම ගියොත් නම් 'අමුතු ඇටයේ' අ මු අකුරු දෙක හැළී ගිහින් 'හු'අක්ෂරය ඒකට......
මේ ලියන්නා ඉතාම ආඩම්බරයෙන් ‘තමන්ගේ හොරණෑව තමුන්ම පිඹ ගනියි’. ඒ අවුරුදු හතරක් වැනි කෙටි කාලයකින් එවැනි තැනක (තජකයේ) නායකත්ව හිණිමඟේ ඉහළටම නැඟීමට සමත්වීම ගැනය.

හැබැයි, එහෙම වුණේ මං කාටවත් මුට්ටිය ඇල්ලූ නිසා නොවේ; පක්කලි සර්විස්; ps කළ නිසාත් නොවේ. වැඩ පෙන්වූ නිසාය. දිග කතාවක් කෙටියෙන් කියනවා නම් ‘උඩවැඩියා වගා පාඨමාලාව’ හදාරන්නට ගිහින් විශිෂ්ඨ සාමාර්ථයක් ලබා, ඒකේම ගුරු උපදේශක තනතුරත් දරා, දෙවෙනි වසරේම සබ් කමිටුවකත් වැඩ කොටය ඊළඟට තජක ලේකම්- සභාපති වුණේ!

එයට පාර කැපුණේ උචිතම තෝතැන්නක් තිබුණු බැවිනි. මා සභාපති තනතුරට පත්වී පැවැත්වූ පළමු තජක කමිටු රැස්වීමට සහභාගී වන්නැයි දයා අබේවික්‍රම මහතාට ආරාධනා කළ විට ඔහු දුන්නේ අපූරු පිළිතුරකි.

“නිමල්, ඔයා කියන නිසා එන්නම්. හැබැයි, විනාඩි දෙක තුනකට විතරයි. යූත් එකේ වැඩ plan කරන්න ඕනේ ඔයාලට ඕනේ විදිහට. FPA පොලිසීස්වලට අගේන්ස්ට් නොවී. නැති නම් අපිට ඒවාට funds දෙන්න බැහැ. එච්චරයි.... මම ඔයාලගේ මිනිට්ස් කියවනවා... study කරනවා. ප්‍රශ්නයක් තිබුණොත් විතරක් මම නිමල්ගෙන් අහන්නම්. මේ ඔයාගේ අවුරුද්දනේ.... මට ඔයාව විශ්වාසයි. Responsibility is yours.”

දයා අබේවික්‍රම, එස්.ඒ.දිසානායක, ... ,Smt.Avabai Wadia සහ අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මහත්ම- මහත්මීන්...
මැණිකක් කපා ඔප දැමූ විටය එහි අගය සිය-දහස් ගණනින් වැඩි වෙන්නේ. මට තිබුණේ සමාජයෙන්, පතපොතින් ඉගෙනගත් දැනීමකි. ඒවා විධිමත්ව; න්‍යායාත්මකව විග්‍රහ කරන්නට- පල නෙළාගන්නට මා උගත්තේ යූත් එකේදිය. ඒ ඔපමට්ටම් වීමෙන් මම අදත් වැඩ ගන්නෙමි.

‘සිංහයාත් කොටියාත් වඩා බලවත් බව ඇත්තය. නමුදු වෘකයා කිසිදු විටෙක සර්කස් පෙන්වීමට යොදාගත නොහැකිය!’ කියා මට පසක් වුණේ එහිදීය. ඉදින්, සිංහයෙකු හෝ කොටියෙකු හෝ නොවී වෘකයෙකු වීම වැදගත් බව මම තේරුම් ගත්තෙමි.

“මොනවද xකෝ බලා ඉන්නේ.... ගලෝපියව් සරොම්!” z අයියාම නැඟිට්ටේය. ගිහින් කාමරයේ දොරට අගුලු  දැම්මේය. යතුර අරගෙන ඇවිත් ඇඳ උඩින් තියාගත්තේය. “....ටහුකන්න.... එකෙක් හරි යතුර ගන්න ආවොත්, අම්මපා ඌව බාවන එක බාවනවාමයි!”

එතකොට නම් මට එකක් තේරුණේය. දැන් වෘකයෙකු වෙන්නට ගියොත් නං මේ පෝරිසාදයා මගේ අතක්-පයක් ගලවනවා සිකුරුය. මට බැලුණේ ak දිහාවය. නඩයේ හිටි වැඩිම ලජ්ජාකාරයන් වූයේ අප දෙන්නාය. මිනිහාත් බලා හිටියේ කරකියා ගන්නට දෙයක් නැතිවය. Helpless! අප දෙන්නාටම කෝචෝක් හිනාවක් දැම්මේ w අයියාය.

කැලණියේ ටයර් සංස්ථා බිමට ඇතුලුවෙන තැන තිබුණු ආරක්ෂක....
w අයියා දකුණු ලක පුත්‍රයෙකි; එතකොට වැඩ කළේ කැලණියේ ටයර් සංස්ථාවේය.

තජක වැඩ සටහන්වලට යද්දී හුඟක් දවස්වලට ඉස්සෙල්ලාම වාහනය එන්නේ මාව නංවා ගන්නටය. රාජකාරි බැඳීම්වලින් ගැට නොගැහී හිටියේ මං හින්දාය. එක-එක දවසට වැඩ සටහන්වලට යන අය වෙනස් වෙයි. ඒ නිවාඩු ගැනීමේ හැකියාව අනුවය. ඒ අතිනුත් මා හිටියේ නිදහස්වය. මගේ තනිකඩ ජීවිතයත් ඒකට බලපෑවේය. වාහනයට නඟින මා අතේ එදාට නියමිත සැලසුම තිබෙයි. ඉතින් කොළඹ දිස්ත්‍රික්කය පුරාම zig-zag ගහන්නට වෙයි.

ඔහොම ගමනකදීය ටයර් සංස්ථාවේ පිවිසුම ළඟ සිකියුරිටි කාමරයේ තිබුණු වැදගත්ම කවි දෙපදයක් මගේ ඇස ගැටුණේ. එය ශ්‍රී නේරු තුමාගේ කියමනක් බවත් යටින් තිබිණි.
        “නිමා කරනු මිස වැඩ ඇති තමා අත
         පමාවට කරුණු මට උවමනා   නැත”
ඒ කවි දෙපදය මගේ හිතේ කෙටුණේ එදාමය. w අයියා නංවාගත් පසුව බොහෝවිට අප යන්නේ කැලණිය විශ්ව විද්‍යාලයටය. k අයියා සේවය කළේ ඒකේය.

z අයියාගේ චතුර ත්‍රිභාෂා කථිකත්වයත්, ජාතිකත්වයත් යන කරුණු දෙකම ඊට බලපාන්නට ....
z, w, k තුන්දෙනාම ගාල්ලේ ඉස්කෝලයක ආදි සිසුවන්ය. දයා අබේවික්‍රම මහත්තයාත් ඒකේම වෙන්නට ඇතිය. 1975 දී තජකයට සුදුසු අය හොයද්දී මෙයාලාවත් එකතු කරගත්තා විය යුතුය. z අයියාගේ ත්‍රිභාෂා කථිකත්වයත්, ජාතිකත්වයත් දෙකම ඊට බලපාන්නට ඇත. කොහොම අහලා තහවුරු කරගන්නද? ඒ හතර දෙනාගෙන් ඉතිරිව ඉන්නේ k අයියා විතරය.

ඒ කාලේ අපට ටෙලිෆෝන් තිබුණේ නැත. ඉතින් k අයියාගෙත් නොම්මරයක්වත් නැතිය.

මේ බ්ලොගය ලියන්නට ගනිද්දී අන්තර්ජාලයෙන් ෆොටෝ බාගන්නට මා දැනගෙන හිටියේ නැතිම තරම්ය. අනෙක් අතට මා හිතුවේ කෙලින්ම අදාළ ෆොටෝ විතරක් ලිපිවලට ඔබන්නටය. කියන අදහසට අනුරූප වගේම කොහෙත්ම අදාළ නොවෙනවා වාගේ ඍජුවම පෙනෙන ෆොටෝත් යොදාගන්නට මං උගත්තේ හෙමි-හෙමින්ය. ඒවා සකසාගැනීම ගැනත් කියන්නට තියෙන්නේ ඒකමය! තවම ඉගෙනගන්නට තියෙන දේවලුත් සුවල්ප නැතිය.

මං පිළිගන්නා විදිහට නං හැමදේකම කලාවක්- ලකයක් තියෙන්නම ඕනෑය!
අමාරුවෙන් ටෙලිෆෝන් කන්ටැක්ට්ස් හොයාගෙන මට සම්බන්ධ වුණු කිහිප දෙනෙකුටම කතා කළෙමි. ඒ බ්ලොගයක් ලියන බව කියා අවශ්‍ය ෆොටෝ ඉල්ලා ගන්නටය. හැමෝ ළඟම ඒවා පරෙස්සම් නොවෙන බවත්, කවුරු-කවුරුන් ළඟ ඒවා තිබෙන්නට හැකිද යන බවත් මම දැනගෙන උන්නෙමි. සමහරු ෆොටෝස් හොයලා කතා කරන බව කිව්වෝය. සමහරුන් foto ගෙනවුත් දුන්නත් ඒවායින් පලක් ගන්නට මට හිත නොදෙයි. මා දන්නා විදියට ඒකෙත් කලාවක් තියෙන්නට ඕනෑය.

හේතුව මගේ අහේතුව වෙන්නට ඇතිය. වැඩේ කෙරුණේ නැත.

ෆොටෝ තියා සමහරුන් දන්නා-කියන විස්තර කියන්නටවත් කැමැති නැත. (රසික පාඨකයන්ට ඇත්තම ඇත්ත කියන්නට ඕනෑ කියා හිතන මං, සමහර කරුණු ගැන අනෙක් අයගෙන් අහගන්නට කැමැතිය. කවුද දන්නේ මගේ මතකය 100%ක්ම හරිද කියලා. එහෙම අසා තහවුරු කරගැනීම වඩා හොඳය.) ඒත් අනේ ආඩම්බර වෙන්නට පුළුවන් නම් විතරය, සමහරුන් ඒවා හෙළි කරන්නේ. මට අනුව නම් අතීතය ගිහින්ය; වෙනස් කරන්නට නොහැකිය; ඉතින් ඒවා කියන්නට- හෙළිදරව් කරන්නට පැකිළෙන්නේ මොන හත්තිලව්වකටද?

අපේ මිත්‍රයා එයාගේ සරම ගලවා දමා ඉස්සෙල්ලාම නිරුවත් වුණේ ආඩම්බරයෙනි!
ඉතින් තමන්නෙ මට්ටම් තම්මැට්ටම් කියාගෙන, මගේ ළඟ තියෙන වස්තු සම්භාරයට එබෙන්නෙමි.
අපිළිවෙල පොත්- පත්තර කෑලි- තුණ්ඩු- ලටපට ගොඩකි. සමහර ඒවා අහුවෙන්නේ අදාළ කාරණා ලියලාත් කාලෙකට පස්සෙය. අද එහෙම නැතත්, නං-වනං නැතිව ලියන එහෙකට නම් ලැයිස්තු ඔබන්නේ කොහොමද? ‘හෙලුවැලි’ වැඩේට ගෑවිලාවත් නැති අයගේ නම් විතරය එහෙම පිටින්ම ලියන්නේ.

දෙවෙනි වතාවේ z අයියා කෑගැහුවා විතරය, අපේ මිත්‍රයෙක් නැඟිට්ටේය. හෙලුවෙන් අව්වේ ඉන්නට කැමති සුද්දන් වගේ වුණේය.     

“ඔන්න මං ගැලෙව්වා” කියාගෙන සරම ගලවා පුටුවක් උඩට විසි කළේය. අද පෝස්ටුවට යොදා ඇති එයාගේ නමවත් නොකියන්නේ, එයාගේ දරුමල්ලොත් මේක කියවන්නට ඉඩ තිබෙන හින්දාය. මිනිහා හැම දේටම ඉස්සර වෙන්නට; ‘මුලා’වෙන්නට; සෙන්ටර් of ද ඇට්‍රෑක්ෂන් වෙන්නට කැමැතිය.

“ඔන්න මාත් ගැලෙව්වා...” z අයියා ඊළඟටය. “යකෝ... මං තම්බියා. කොන කපලා තියෙන එකා... හරි නං මමයි පස්ස ගහන්න ඕනේ... මං ලජ්ජ නැහැ යකෝ.... දැන් නං ඉතින්.....” z අයියා කියාගෙන ගියේ අතේ තිබුණු වඩියත් හිස් කරන ගමන්ය.

ඊට පස්සේ ළඟටම ගෙනැවිත් දුන්නත්.......
එක-එක්කෙනාගේ ආසාවන් විවිධය. සමහරුන්ට ඇත්තේ තරමක් වෙනස් ආසාවන්ය. යතුරු සිදුරුවලින් එබී බලන ආසාව ගැන කියෙව්වා මතකද? ඒ voyeurism ය. නැරඹුම් කාමයය. වැඩි දෙනෙකුට ඇත්තේ ප්‍රදර්ශන කාමයයි! විශේෂයෙන් පොලිටික්කන්ට. එදා බීමතින් පිස්සු නැටුවා මිස අපේ කාටවත්ම එහෙම අසහන කාමයක් තිබුණේ නැත.

w අයියාටත් බොන්නට බැරිය; ඉක්මනටම කරටිය කැඩෙයි; මුදුන පහත් වෙයි. ඊට පස්සේ ළඟටම ගෙනැවිත් දුන්නත් නොබී හිනා වෙමින් ඉඳියි. “ආන්න හරි මච්චාං. ආන්න හරි... ඔන්න මාත්.....” එයා සරම ගැලෙව්වේත් වැනි-වැනීය.

“කරන්න දෙයක් නැහැ බොසා.... අද නම් ඔහෙගෙ සරමත් ගලවන්න වෙනවා.....”

v කිව්වේ බෝතලය පැත්තකින් තියමිනි. v මගේ ගෝලයෙකි. ඉස්කෝලේ නොවේ; උඩවැඩියා පාඨමාලාවේය. ඉන්නේ කුරුණෑගලය. ඒ දවස්වල බොරැල්ලේ ඇක්වයිනාස් ආයතනයේ කෘෂිකර්ම පාඨමාලාවක් හදාරමින් උන්නේය. මීගමුවේ P I O ප්‍රනාන්දුත් එක්කය උඩවැඩියා වවන හැටි ඉගෙන ගන්නට ආවේ. ඒ දෙන්නාම අපේ ගමන්වලදී මදිය නොකියන්නට අපට ඉගැන්වූහ. කුණුහරුප සින්දු!

ඒ කිට්ටුවම දේවාලයක බස්නායක නිලමේ කෙනෙකුත් ......
v පස්සේ කාලෙක දේවාලයක බස්නායක නිලමේ කෙනෙකුත් වුණේය. දේශපාලක භවතෙකුගේ ලේකම්වරයෙක්ද කොහෙදත් වුණේය.

සමහර වෙලාවට පැය දෙක-තුන ගත කරමින් ටෙලිෆෝනයෙන් මට විස්තර කිව්වේය. ඒ ආණ්ඩුවේ වියදමෙනි. ඒ, මනුස්සයාගේ guilty හැඟීමෙන් බේරෙන්නට බව මම ටිකෙන්-ටික තේරුම් ගත්තෙමි. දැන-දැනම වැරැදි කරන විට හෘද සාක්ෂිය දොස් කියනවා නේද? කෙනෙකුට ඒවා වැමෑරීමෙන් භාව විශෝධනයක් සිදුවෙන බව ඇත්තය. ඒත්, එහෙමය කියලා ඒවාට කන්දීගෙන සිට මගේ ලේ කෝප කරගන්නේ ඇයි?

“මීට පස්සේ මට කතා කරන්න එපා!” මම කෙලින්ම කීවෙමි. අපරාදේ, අද වගේ කාලෙක නං v හොඳම තොරතුරු මූලාශ්‍රයකි.

ඉතින්, මාස හයකට හරි මගේ ගෝලයෙකු වුණු නිසා v දිගටම මට කතා කළේ ‘බොසා’ හෝ ‘නිමල් මහත්මයා’ හෝ කියලාය. එහෙම ගරු කළ මනුස්සයාත් මගේ ඉස්සරහම එයාගේ සරම ගලවා දැම්මේය. එයිනුත් නොනැවතී මරු පාට් එකක් දැම්මේය.

අශෝක හඳගම හෝ ජගත් චමිල හෝ එදා මාතර තානායමේ හිටියාද?
අශෝක හඳගම හෝ ජගත් චමිල හෝ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයට සම්බන්ධ කෙනෙකු හෝ එදා මාතර තානායමේ හිටියාවත්ද? ෂුවර් එකටම ඉඳලා අපේ කාමරයට එබුණා වෙන්නට පුළුවන්ය. v කළ විදිහටම, ඊට අවුරුදු ගානකට පස්සේ, ජගත් චමිල ඒ රංගනය film එකේදී ඉදිරිපත් කළේය.

සරම ගැලවූ v දෙකකුල් එකට තෙරපාගෙන හිටගත්තේය. ඊළඟට පුරුෂ නිමිත්ත කලවා අස්සට ඔබාගත්තේය. ඊටත් පස්සේ ඇඹරෙමින් විලාසිතා පාන්නට පටන් ගත්තේය.

අදට හොඳටම ඇති නේද?