ඊයේ නම් මගේ හිත තිබුණේ දුන්හිඳ අද්දර ඉසව්වේ ඉබාගාතේ ඇවිදිමිනි! |
මට ඒ විරිදු පදය ගලේ කෙටූ එකක් වුණේ ඒ මනුස්සයා කිව්වේ සත්තක ඇත්තක් හින්දාය. කලින් දවස් දෙක-තුනේම මං කළේ බතල කපන රාජකාරියයි.
එහෙම කපන්නේ කොලොම්බු කොටයේ හෝ මිටි බංකුවක හෝ හිරමණය හෝ උඩ වාඩිවී, පයට හිර කරගත්
පිහියකිනි. බතල කපමින් හිටියත්, ඊයේ නං මගේ හිත තිබුනෙම දුන්හිඳ අද්දරය; දුන්හිඳ
අද්දර ඉසව්වේ ඉබාගාතේ යන ගමන්ය. ‘ටැයියා අපි එනතුරු බලාගෙන ඉන්නවා ඇති. පව්!
තනියම....’
ඔහොම අසිහියෙන් බතල කපද්දී සිය දහස් වතාවක්
මගේ අතින් බතල අල, ඕනෑවට වඩා පිහියට තද වෙන්නට ඇත. එහෙම වුණාම වෙන්නේ මහපටැඟිල්ල
කැපෙන එකය.
අමු බතල අලයක් පෙරන්ගාලා තියෙනවාද? නැතිනං
පෙති කපලා.
එහෙම නං මේ කාරණය තේරුම් ගැනීම ලෙහෙසිය. බතල අලයේ පොත්ත පෙරන්ගාන; peel
කරන පමාවෙන්ම ඒකේ කහට පිපෙයි. ඒවායේ ඒ තරමටම කහටය. ඒ කහට මහපටැඟිල්ලේ කැපුණු තැන්
අස්සට රිංගලාය. මේ පාඩාවි විරිදුවා ඒක දැකපු හැටි!
අඩුම ගණනේ ඒ පළාතේ තිබුණු කපුටු බෝ ගහක් ගැනවත්.......... |
මේකට හොඳම උදාහරණය තමයි වර්තමාන ජනාධිපතිතුමා. ජේ ආර් ජයවර්ධන මහත්තයා. උන්නැහේ කොහාට හරි රැස්වීමකට යනවා නං, ඒ පළාතේ තියෙන පරණ පන්සලක්- පල්ලියක්- නටබුන් වගේ දෙයක් ගැන එතුමාගේ කතාවේදී කියනවාමයි.
එක්කෝ එහෙ හිටපු කවුරු හරි ගැන.... අඩුම ගණනේ ඒ පැත්තේ තියෙන කපුටු බෝ ගහක් ගැනවත් කියනවා!.....”
ඒ ධර්මය මා ඉගෙනගත්තේ 1980 විතරය; තරුණ ජනගහණ
කමිටුවෙන් අපට පැවැත්වූ ‘නායකත්ව හා සන්නිවේදන පුහුණු වැඩ සටහනක’දීය.
එතකොට අර විරිදුකාරයා? හැබෑය! මිනිහා 1971
වෙද්දීත් ඒ න්‍යාය දැනගෙන උන්නේය.
එක-එක දැනුමැත්තෝ ඒවා එකතු කර; විශ්ලේෂණය කරති;
තියරි හදති; උගන්වති. පැරැණියෝ එහෙම දේවල් අත්දැකීමෙන්ම උගත්හ. අපට නම් ලෙහෙසිය,
දැන් එවැනි දේ ඉගැන්වීමට පාඨමාලා එමටය.
එතකොට දුන්හිඳ ඇල්ල බලන්නට ගියේ ............... |
ඇඟෙන් ඇටයක් යන්නා වගේ ලෝබකමෙන්,
විරිදුකාරයාට සත පහක් දීලා, ඊට පස්සේය අපි දුන්හිඳට ගියේ!
එතකොට දුන්හිඳ ඇල්ලට යන්න තිබුණේ පටු අඩි
පාරකි. පඩි බැඳලා, කඩ හැදිලා තිබුණේ නැත.
කොටින්ම අඩි පාර පටන් ගන්නා තැන තිබුණෙත්
අටවාගත් මැහි දෙක-තුනක් විතරය. එදා නං ඒවායේත් කිසිවෙකු හිටියේ නැත; පාළුම-පාළුවට
ගිහින්ය. JVP කලබල යාන්තං නිවීගෙන යන ඒ කාලේ දුන්හිඳ බලන්නට; කැලෑ වදින්නට එතොත්
ඔල්මොරොන්දම්කාරයෙක්මය.
අපේ සුන්නාත්, මමත් සූට්කේස් දෙකත් උස්සාගෙන,
අර පාළු අඩිපාරේ ගාටමින් දුන්හිඳ ඇල්ල පාමුලට ගියෙමු. එහෙන්-මෙහෙන් එබිකම් කරමින්
කුරුල්ලෙක් -දෙන්නෙක් විපරම් කළහ. දුන්හිඳ පාමුල.... අප එතැනය!
(දැන් නම් එතැන ලොකු වේදිකාවකුත් හදලා
තිබෙයි. ඉස්සර කොහෙද එව්වා? ඕවා නෙවෙයි එදා නං අප දෙන්නාගේම ඔළුවේ තිබ්බේ.)
ටැයියා! ටැයියා!! ටැයියා විතරය. මේ දැන්- මේ දැන් කොහෙ හරි අකුලකින්, තඩි ගහක්
මුවාවෙන් ටැයියා මතු වෙතැයි හිතාගෙනය අප හිටියේ. ඒත්...
දඬු ලේනෙක් දෙන්නෙක් නම් එබිකං කොට............. |
දඬු ලේනෙකු-දෙන්නෙකුගේ එබිකම් කිරිල්ලක්
හැරෙන්නට වෙනින් සද්ද-බද්දයක් මතු වුණේ නැත.
ම්හු! ටැයියාගේ කිසිම ලකුණක් නැත. “මේ යකා
කැලේ මැදට ගිහිල්ලද?”
“පිස්සුද සුනිල්. එහෙම යනවා නං ඒ මොට්ටයා
ලකුණක්වත් තියලා යන්න එපැයි. දන්නවනේ, අපිත් එන බව.... බලමු.. එහෙම මොනවා හරි
ලකුණක් තිබ්බත් ඒක හැමෝටම පේන තැනක තියන එකක් නැහැ.”
මගේ ෂර්ලොක් හෝම්ස් තියරිය සුනිල්ට අල්ලලා ගියේය.
මිනිහා වටේම බලන්නට ගත්තේය; පඳුරු අස්සේ, ගස්-ගල් අස්සේ, හැම තැනටම හොස්ස පොවා
බැලුවේය.
ටැයියාටත්, සුනිල්ටත් ඒ කාලේ කැත පුරුද්දක්
තිබිණි. ගස් කඳන්වල නම කෙටිල්ල.... තවමත් ගොඩාරියක් අයට ඒ කැත පුරුද්ද තිබෙයි. දුර
බැහැර පැත්තකට යද්දී දකින හුඟාක් කළුගල්වල වුණත් එක-එක ගොබ්බසේනලාගේ නම් ඒවායේ
ලියා තියෙනවා පෙනෙයි.
ගහක-ගලක තිබුණාට නමක් අමරණීය වෙනවාද?
ගහක ගලක නොමැකී තිබුණත් ඇගයෙන්නේ ඓතිහාසික වටනාකමක් ඇති දෙයක් පමණි. |
“නෑනෙ බං....” සුනිල්ගේ කටහඬ කෙඳිරියක් වගෙය.
කෙඳිරිගෑවේ නැති වුණත් මගේ අසරණාකමත් ඉහවහා ගිහින්ය. මේ මෝඩකමට මාත් සම්මාදම් වෙච්ච
හැටි...
“දැන් මොකක්ද කරන්නෙ ලොකා?”
“මොනා කරන්නද? ඉඩ තියෙන තැනකින් කැලේට
රිංගනවා මිසක්!”
අර ‘විරිදු පදය’ වගේ ජීවිතේ ඇති තුරා මට අමතක
නොවෙන ඊළඟ ප්‍රකාශය මගේ කණට වැටුණේ එතකොටය! මහ සද්දෙන් නොවේ; අන්ත අසරණ හීන්
හඬකිනි.
“ඒ බං අයියේ.... මේ කැලේද අපි ඉන්න යන්නේ?”
ගල්ගෙඩිවලින් ගහලා වල්ඌරන් මරන්නට කතා වුණු සුන්නා නොවේ......... |
එදා එතැන හිටියේ මං විතරක් නම්, අද මේ කතාව
කියන්නට මා නොහිටින්නට ඉඩ තිබිණි. එහෙත් ඒ නිමේෂයේ මට හැඟුණේ එකකි. ‘ගල්ගෙඩිවලින්
ගහලා ඌරන් මරන්නට මේ පැඟිරි කොල්ලාට බැරිය. තුන් දෙනෙකුට කන්නට හරියන හේනක් එළි
කරන්නට මේ කොල්ලාට බැරිය.’ කොටින්ම, අපේ සුනිල් මං හිතාගෙන හිටි තරමේ සද්දන්තයෙක්
නොවේ!
මං විතරක් හිටියා නං එදා මා කැලයට රිංගනවා
සිකුරුය. මා ඒ තීරණය නොගත්තේ සුනිලුත් එතැන හිටි නිසාය. කොච්චරට හිත හයිය වුණත්, මගේ
ගතේ සවිය එච්චර නැති බව මටම දැනුණු නිසාය. ඒක නං උපන්දා ඉඳලාම එහෙමය!
“ටැයියා ආව පාටකුත් නැහැනේ.... එහෙනං අපි
ආයෙම මහ පාර ගාවට ගිහින් බලමු!”
සුනිලා එක පයින්ම කැමැත්ත දුන්නේය. අපි ආපසු
බදුලු-මහියංගණ පාරට ආවෙමු. පාරට නොවේ; පාර ළඟටය. එතැනට එන්නට කලින්, පෙඳපාසි බැඳී
තිබුණු ලොකු කළුගලක ‘ඇවිත් ගියා. සුනිල් රංජි’ කියා සලකුණු කරන්නටද අපි අමතක
නොකළෙමු! ඒක කළෙත් කුඩා කළුගලකින් පාසි හූරලා දමලාය.
අන්තිමේදී
අප පාරට එද්දී ගමේ කිහිප දෙනෙක් එතැන රැකවල් ලාගෙන උන්හ. ඔවුහු අප අල්ලා ගත්තෝය!
එක විඩේටම අපි දෙන්නා යකුන්-පෙරේතයන්-විප්ලවකාරයන්.......... |
“..... මේ දෙන්නා තමයි.... එක්ක යමු පොලීසියට!”
“චේ ගුවේරාකාරයෝ... පෙරේත යක්කු.”
“මෙච්චර පොඩි එවුන්ද ඒකේ ඉන්නේ...”
“මොක්කුද කියලා පොලීසියෙන් හොයයිනේ
බොලල්ලා....” එක විඩේම අපි යකුන්-පෙරේතයන්-විප්ලවකාරයන් බවට රූපාන්තරණය වෙලාය.
මේ පෝස්ටු මාලාව පුරාම මගේ දයාබර
රසික-රසිකාවන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබුණේ ස්ටැන්ලිට මොකද වුණේ කියන කාරණයයි.
මදිය
නොකියන්නම ඒ ගැන අනුමාන කිරීම් තිබුණේ කමෙන්ට්ස්වලය. මේ කොටසේදී ඒ බව කියන බවට මම
කමෙන්ට්ස්වලදී පොරොන්දුවකුත් දුන්නෙමි. ඒ හිතවත් පාඨක ප්‍රසන්නටය.
“පුතේ, අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස්
බැඳලා හරි දීපං!”
අපේ තාත්තා මට ඉගැන්නුවේ එහෙම බව මා කලින් කියා ඇත. ‘මං වචනයක් දුන්නොත් බෙල්ල කඩාගෙන හරි එය ඉටු කරන බව’
මේ පෝස්ටු මාලාවෙදීත් කියැවිණි. ගෙදරින් පැනලා යාම අනුමත නොකළත්, වැඩි ඡන්දයෙන් හා
කාසියේ වාසිය උරගා බැලීමෙන් මං පරාද වුණු නිසාය මේ මරාලය කඩා පාත් වුණේ.
දුන් වචනය
ඉටු කිරීමේ ප්‍රතිපත්තිය හින්දා, දුන්හිඳ ගම්මුන්ගේ භාරයේ අප දෙන්නා ඉන්නා අතරේ,
දැන් මහරගමට හැරෙන්නෙමි.
ආච්චීත් එක්ක අපි, (1985 දී) ළදරු රජිත් වඩාගත් මල්ලිකා, සුනිල්, ගාමිණී, මානෙල්, අජිත්,
(ඉදිරි පෙළේ) අනිල්, ආච්චී හා නිදි
“ගුණේ.... ගුණේ.... අනේ පුතේ මේ කොල්ලෝ
දෙන්නම ගෙදර හරියක නැහැනේ බං...” අපේ ආච්චී අඬාගෙන අපේ ගෙදරට දිව්වාය.
එතකොටත් අපේ
තාත්තා හිටියේ නින්දත් නොනින්දත් අතරේය.
“අම්මට පිස්සුද... උන් කොහෙ යන්නද... වනාතේ
වෙරළු අහුලන්න යනවා නේද?”
ඔය කතා-බහ කණට වැටෙනවාත් එක්කම අපේ අම්මාත්
ලතෝනි දෙන්නට පටන් ගත්තාලු. “ලීලා කට වහගනින් කිව්වම අහලා... මොකද වුණේ කියලා හොයා
බලන්නේ නැතිව කෑමොර දීලා රට හිනස්සන්නද හදන්නේ? .... හොයල බලපල්ලා දෙන්නාගේ ඇඳුම්
තියෙනවද කියලා... සූට්කේස් දෙක එහෙම.”
වනගත ළමෝ පොතේ වගේ නිදහස් ලෝකයක් හොයාගෙන අප බදුලු යද්දී ආච්චිලා අපව හොයා........ |
ඉතින්, ආච්චිලා අපව හෙව්වේලු; නිදහස් ලෝකයක් සොයාගෙන, අප ගෙදරින්
පැනලා ගිහින් බව නිගමනය වුණේ එහෙමය.
“අනේ දෙයියනේ, අහිංසකයෝ දෙන්නා.... කොහෙ
ගියාද? මොනවා වුණාද... කොහොමද දෙයියනේ දැනගන්නේ.... උන් දෙන්නා එහෙම පැනලා යන
එවුන් නෙවෙයි බං... ඇත්ත කියපං ගුණේ... උඹ උන්ගේ හිත කැඩෙන්න මොනවා හරි කිව්වා
නේද?
මට ඇත්ත කියපන් පුතේ.... රංජි එහෙම ගෙදර දාලා යන එකෙක් නෙවෙයි, ලොකුම දෙයක්
නොවුණා නම්....” ආච්චී තාත්තා මත්තෙම හැපිලාය.
“අනේ අම්මෙ මේ, මගෙන් කුණුහරුප අහගන්න එපා.
ගිය උන් ගියා.... ගියේ ගෙදර එපා හින්දනේ ... ආයෙම උන්ට මෙහෙ පස් පාගන්න බෑ! මළා
කියලා දානයක් දෙමු.”
“තෝ දරු හැවිකාරයක් තියෙන එකෙක්ද බොල. ජාතක කරන්න විතරනේ තොට ඕනෑ... වරෙන් ලීලා. අපි
දෙන්නාවත් හොයලා බලමු මේ අසරණයො දෙන්නට මොකද වුණේ කියලා.”
නදීෂ් දිල්ශාන් දිසානායක ගෙත්තම් පානේදී ගත් ෆොටෝ එකෙනුත් පේන්නේ පොටක් පාදා ගැනීමේ අසීරුවයි. |
එහෙම කිව්වත් අපේ ආච්චීට කිසිම පොටක්
පාදාගන්නට පුළුවන් වෙලා නැත.
එතනදී පිහිටට ඇවිත් තියෙන්නේ අපේ ‘අමු කැලේ’ හෙවත් ‘චාලි නානා’ හෙවත් ‘මඤ්ඤොක්කා සීයා’ය.
“ලීලා... තමුසේ අපේ එකාට කිට්ටු කරලා, යාප්පුවෙන් අහල බලනවා මුන් දෙන්නව හොයාගන්න
ඇහැකි නුවණක්... ඌ අපිට වැඩිය මොළකාරයනේ.”
අපේ සීයාගේ නුවණ හරියටම හරි ගිහින්ය. කවුරුන්
ඉදිරිපිට ‘කේසර සිංහ නාද’ පැවැත්තුවත් අපේ තාත්තා අම්මා ළඟදී ‘අඹුසොඬ බමුණා’ වෙන බව මං ඔයාලට කිව්වේ මාස ගණනකට ඉස්සරය.
එදාත් ඒ සංතෑසියම වෙලාය.
“පහුගිය ටිකේ මුන් දෙන්නා ස්ටැන්ලිත් එක්ක
කාජාව දාගෙන හිටියා, තිස්සෙම. සුනිලා නං හරි. ඒත් රංජියාත් කූටාලි වෙලා හිටියාම මට
පොඩ්ඩක් ඇල්ලුවෙ නෑ. ඊයෙත් මම දෙන්නව කොටු කරගන්න හැදුවා, සැකේට. කොයිකටත් උඹලා
නුගේගොඩ ගෙදරට ගිහින් අහල බලපල්ලකො ස්ටැන්ලිගෙනුත්.”
තාත්තා කියන පමාවෙන්ම
අම්මාත්, ආච්චීත් නුගේගොඩ ගෙදරය. මහ ඈතක නොවෙයිනේ, වැටවල් දෙකකින් පනින දුර විතරය.
අපේ කොල්ලො දෙන්න ගෙදර නැහැනෙ ඕයි! |
“අනේ ඕයි..... බලනවකො අපේ කොල්ලො දෙන්නා ගෙදර
නැහැනේ....” ගිය පමාවෙන්ම ආච්චී මුල පිරුවාලු.
“හරි වැඩේනේ!” හූමිටි තිබිල්ලක් විතරලු.
“ඒක නේන්නං මෙයා. අපි මේ ආවේ.... ස්ටැන්ලි
එක්කවත් උන් දෙන්නා මොනවා හරි කියලා තියෙනවද.....” අම්මා මුක්කුව ගහලා හමාර
කරන්නටත් ඉස්සෙල්ලාම නුගේගොඩ ඇන්ටි කඩා පැනලාය.
“ස්ටැන්ලි කොහොමද දන්නේ? ඌත් පෙරේදා ඉඳන්
ගෙදර නැහැනේ.... පැනලා ගිහින්.”
“හෑ!” (කොච්චර වෙලාවක් අපේ ආච්චී විස්මයෙන් කට
ඇරගෙන ඉන්නට ඇතිද?)
“ඇත්තටමද?”
“අනේ මේ ලීලෝ, තමුසෙලට බොරු කියලා මට තෑගි හම්බ වෙනවනේ?”
තෑග්ගක් ලැබිලා තියෙන්නේ එතකොටමය. ඉස්සරහ කාමරය
ඇතුළෙන් දඩබඩ සද්දයක් ඇහුණාලු; මොන-මොනවාදෝ පෙරළුණා වගේලු.
“පීටර් උන්නැහේ ‘පුතේ, කිව්වම අහලා හිටපන් පුතේ’ කියනවාත් එක්කම කාමරේ දොර ඇරුණා. මෙන්න බොලේ පීතර හාමිනේ පැනල ගියාය කියපු ස්ටැන්ලි ඉන්නවා!”
“පීටර් උන්නැහේ ‘පුතේ, කිව්වම අහලා හිටපන් පුතේ’ කියනවාත් එක්කම කාමරේ දොර ඇරුණා. මෙන්න බොලේ පීතර හාමිනේ පැනල ගියාය කියපු ස්ටැන්ලි ඉන්නවා!”
අපේ ආච්චී අපට කිව්වේ පස්සෙය; රඟපා පෙන්නමිනි.
අනේ මේ ලීලෝ, තමුසෙලට බොරු කියලා මට තෑගි හම්බ වෙනවයැ? |
“ගෑනිට ලජ්ජාවේ පණ ගියා වගේ, මූණ ඇඹුල්
වුණා!”
“ආච්චියෙ.... සුනිල්ලාත් ගෙදරින් ගිහිල්ලද?”
ස්ටැන්ලි එහෙම අහද්දී පීතර මාමා; ස්ටැන්ලිලගේ තාත්තා ඇවිදින් ස්ටැන්ලිව ගේ ඇතුළටම
ඇදගෙන ගිහින්ය.
“ඊට පස්සේ ගෙදර උන්ට බේරිල්ලක් නැති තැන වෙන්නෝන ස්ටැන්ලිවත් එක්කගෙනම අපේ ගෙදර ආවා. ගුණේ තමයි සේරම කතා කළේ.... ස්ටැන්ලි ගෙදරින්
පැනලා යන්න හදද්දී තාත්තලට අහුවෙලා. අල්ලලා බැඳලා දාලා, කාමරේම හිර කරගෙන ඉඳලා.."
ඔන්න මහත්තුරුනේ, දුන්නු වචනය රැක්කා. ටැයියා
ගෙදර - අපි දුන්හිඳ ළඟ කොටුවෙලා.
ඊළඟට.....