සේරම වියදම්වලට ඇතිවෙන්නට සල්ලි ගෙනෙන්නම් කියලා ටැයියා කිව් එක හැබෑය. ඒත් ස්ටැන්ලිට
වුණත් ඕනෑවට වඩා බාල්දු වෙන්නට බැරිය. මගේ අතට තව කීයක් හරි හොයාගන්නට මට තිබුණේ
එකම ක්‍රමයකි; ආච්චිලාගේ අන්ජිසාම් ව්‍යාපාරයේ වැඩ වැඩියෙන් කිරීමයි.
අපේ ආච්චී දවස තිස්සෙම සුමේකොට හෙම්බත්වී.............. |
“රංජි පුතේ, දැන් ඔය ඇති නේද මයියොක්කා කැපුවා. උඹ කපන
තරමක් බැදලා මිස මටත් ඇහැ පියා ගත්තැකියැ.” අපේ ආච්චී දවස තිස්සෙම කුස්සියේ
සුමේකොට බැරිම තැනදී මට කිව්වාය.
“මඤ්ඤොක්කා තම්බලා බෑව ගමන් වහලා තිබ්බට පිළුණු
වෙන්නෙ නැහැ පුතේ. කැපුවට පස්සේ නම් නොබැද තියන්න බැහැ..... පිළුන් වෙනවා.”
ආච්චී කිව්වේ ඇත්තය. යාන්තමට තම්බාගත් මයියොක්කා තීරු
කපනවිට හොඳටම අත-පත ගෑවෙයි. බදින්නේ නැතිව වැඩි
වෙලාවක් ගත වුණෝතින් ඒවා පිළුණු වෙයි.
අමුවෙන් බදින කොස් වුණත් තීරු කළ පසු ඉක්මනින්
බදින්නට ඕනෑය. නැතිනම් හුළං වැදෙනවාය. දෙල්, බතල දෙකම කපන පමාවෙන්ම කහට පිපෙයි.
ඉතින් අපේ ආච්චී කරන්නේ එහෙම තීරු-පෙති කපන ඒවා බාගෙට බදින එකය. එතකොට හරිය.
පිළුණු වීමක් නැත; හුළං වැදීමක් නැත; කහට පිපී අවපැහැ ගැනීමකුත් නැත. බාගෙට බැදගත්
ඒවායින්, අවශ්‍ය වෙලාවට අවශ්‍ය තරමක් නැවත බැදගන්නා එකය, ඇත්තේ.
අමුවෙන්ම තීරු කර බැදගන්නා කොස් වුණත් කැපූ පමාවෙන්............. |
ඔහොම බාගෙට බැදගන්නා සේරම දාගන්නට හැකි තරමේ
ලොකු-බර පෙට්ටගමකුත් ආච්චිලගේ ගෙදර තිබුණේය.
දෙන්නෙකුට වුණත් ඒක ඇතුළේ හැංගිලා
ඉන්නට පුළුවන් තරමට විශාලය. පාමුල් පෙට්ටි කිව්වේ ඒවාට කියලාය මං හිතන්නේ. තඩි කොස්
ලෑලිවලින් හදා තිබුණු ඒ පෙට්ටගමට කකුල් හතරකුත් තිබුණේය.
“ආච්චියෙ, තව ටික දවසකින් මට මේවා කපලා දෙන්න
විදිහක් නැතිවෙනවා. ඒ හින්ද පෙට්ටගම පිරෙන්නම බැදලා තියාගනිමු. ආච්චිට නිඳිමතයි
නම් නිඳාගන්න. මං ටිහකින් කූද්දන්නම්!”
එහෙම කිව්වාම වුණත් ආච්චී පැදුරක ඇලවෙන්නේ
බැරිම තැනය.
එයාත් වැඩියෙන් වැඩ කරනවාය කියලා එදා කිව්වත්, සුනිල්ට ඒකේ වගක් නැත.
මිනිහා කොස්, දෙල්, බතල, මඤ්ඤොක්කා කපන්නට ආවේ යලට-මහට වගෙය.
ඔයින්-මෙයින් අප
පැනලා යන දවස තීරණය වුණේය! තැන තීරණය වුණේය. “දුන්හිඳ හොඳයි. තිලක්ලට වුණත් වැවක්
හම්බ වුණේ නැතිනං මාර ප්‍රශ්නයක්නේ වෙන්නේ. වතුර ඕනෙමයි. නාන්න බොන්න වවාගන්න
සේරටම වතුර එපායැ.”
නැතිවම බැරි වතුර. අපට අගය දැනෙන්නේ නැති වතුර! |
වතුර..... ජලය.... උදක රකුසන් ගැන හෙම අහලා
තියෙනවාද? මතකයි නේද, අපි උදක රකුසකු ගැනත් කතා
කළා. ඒ දවස්වල නම් අපට වතුරෙන් කිසිම හිඟ-පාඩුවක් තිබුණේ නැත.
බදුල්ලේ ගෙදර පිටුපස්සේ; කඳුරේ තිබුණු කිතුල්- පුවක්- උණ පීලි
දිගේ රෑ-දාවල් වෙනසක් නැතිව වතුර ගැලුවේය. එක්සත් සුභ සාධක මාවතේ මහ ගෙදර වත්ත වුණත්
තිබ්බේ කොටුවෙ ආච්චිගේ ඕවිට අද්දරමය. අපේ ළිඳෙත් අඩි දෙකකින් පහළදී වතුරය.
දැන්.... දැන් නම් බදුල්ලේ පුංචි අම්මලාත්, කොටුවෙ ආච්චිගේ ඕවිටේ තියෙන ගෙවල්වල
අයත් වතුර ගන්නේ පයිප්පවලිනි.
වැඩුණු මිනිසෙකුගේ මොළයේ 85%ක් ම ඇත්තේ
වතුරය!
ප්‍රමාණවත් තරම් වතුර නැතිවිට අපට විඩා දැනෙයි; මතකය අවුල් වෙයි; රුධිර
පීඩනය ව්‍යාකූල වෙයි; ආහාර දිරවීමේ අවුල් .... තව ගොඩක් ලෙඩ හැදෙයි. එහෙම වෙලාත්
අප ජලය සම්පතක් කොට සලකන්නේ නැත; සුරකින්නේ නැත. දියුණුව කියන්නෙත් ඒකටම වගේය!
විහින් ප්‍රශ්න හදාගැනීම වගේය.
එදා වුණත් මට කල්පනා වුණේ ජලය කොච්චර වටිනවාද
කියලා නොවේ; වෙන කාරණයකි. “යකෝ.... දැනුයි මතක් වුණේ. මොකෙන්ද අපි වතුර ගේන්නේ?
බාල්දියක් හරි කළ ගෙඩියක් හරිත් ඕනිනෙ.”
..... ඔහොම කරන්න ගියොත් නං දුන්හිඳට බූමිතෙල් කරත්තෙකුත් අරන් යන්න ............... |
“අ අ අ අන්නේ ම් ම් ම් මේ රංජි..... ම් ම් ම්
මචං උඹට ඕනෙ විදිහට කරන්න ගියොත් අපිට කැළේට යන්න වෙන්නේ භූමිතෙල් කරත්තෙකුත්
අරන්. ඒවා පස්සේ ටික-ටික ගත්තැකි මචං. අපිට ඕනෙ බඩු අරගන්න ටවුමකට යන්නම වෙනවනේ.
අපි කැළේ ඉන්නේ අතරමං වෙලා නෙවෙයිනෙ.”
ටැයියා එහෙම කිව්වත් ඒ වෙද්දීත් මං එකතු කරලා
තිබුණු අඩුම-කුඩුම ටික සූට්කේස් දෙක තුනකටවත් දමාගන්නට බැරිය. අනේ, මං වගේ හරකෙක්!
දහ අට මාසේ කොස් ඇට, මයියොක්කා දඬු, බතල කරටි, නිවිති- බණ්ඩක්කා- මෑ- දඹල ඇට වගේ
හැටහුටහමාරක් ජාති ඒ වෙද්දීත් මං එකතු කරගෙන ඉවරය! ඒ මදිවාට, නිදහස් වෙලාවට
කියවීමට පොත් හත-අටකුත් ඒ අතරය. පේව්මන්ට් එකේ රජවෙන කාලයේ පාවිච්චියට ගත් සූට්කේස් එක විතරය මට
තිබුණේ. සුන්නාටත් එහෙමය. ඉස්කෝලේ ගෙනියන එක.
දහ -දොළොස් පාර හිතමින්ය; මං බඩු ලැයිස්තුව
සංශෝධනය කළේ. ආයුර්වේද වෙදකමේදී පත අට එකට හින්දනවා වගේ...... සූට්කේස් එකට විතරක් හරියන තරමට.
ආයුර්වේද වෙදකමේදී පත අට එකට හින්දනවා වගේ ................. |
අපේ ගමන යන විදිහත් තීරණය වුණේය. “උදේ පහට
විතර බදුල්ලේ බස් එකක් යනවා, මහරගම හරහා. අපිට ඒකේ යතෑකි. අපි සීතක්කලගෙ ගේ ගාව
වෙල ළඟදි හම්බ වෙමු! කවුරු හරි එතනින් යන්න ආවත් හැංගෙන්න තරම් එතැන ලන්දක්
තියෙනවනේ.” අපි පස්මහ බැලුම් බැලුවෙමු.
“මොකා එනවද මචං ඒ පාන්දර වෙලෙන් එගොඩ වෙන්න?”
මහරගම සිට පමුණුව පාරෙන් එන්න. අල් ගෆූරියා
පාසලේ දොරටුව පහු කර ටිකක් එද්දී වමට පාරක් තිබේ. එක්සත් සුභසාධක මාවත. දැන් ඒ
පාරෙන් දිගටම ගියොත් ඔයාලට දුම්රිය මාවතටම යන්නට හැකිය. ඉස්සර එහෙම බැරිය; පාර වෙල
ලඟින් ඉවර වුණේය.
පාර දික් ගැහෙද්දී වෙල? දැන් වෙලෙන් ඉතිරිවී
තියෙන්නේ නෂ්ටාවශේෂ විතරය. වෙල් යායම ගොඩකොට තට්ටු ගෙවල් හිට හදලාය. ගුරු පාර
දිගටම එගොඩට ඇදීගෙන යමින් තාර පාරක් වෙද්දී, විවේකාරාම පන්සල් වත්ත කෙළවරේ තිබුණු
පිං ළිඳ එහෙමත් පාරට යටවෙලාය. හැබැයි තවමත් කළු සීතක්කා ඒ නිවසේම දිවි ගෙවයි!
අල් ගෆූරියා පාසලේ ගේට්ටුව පසුකොට ටික දුරක්......... |
“ඒත් ටැයියෝ, එතැන ඕනෙවට වැඩිය වෙලාවක් ඉන්න
එක ඩේන්ජර්. කොරනේලිස් මාමා ලියැදි බලන්න ආවොත්?”
“හරි බං. ඒ එන්නේ එළිය වැටෙද්දිනේ. එතකොට අපි
රත්නපුරේ දිහාවට ගිහින් ඉඳියි.”
“උඹ නං කියයි. පැනල ගිහින් පුරුදු එකානෙ. අපිව
තාත්තට මාට්ටු වුණොත් නං...”
දවස උදා වුණේය. දැන් ඉතිරිව තියෙන්නේ
තැනින්-තැන එකතු-පහදු කරලා තියෙන අඩුම-කුඩුම සූට්කේස් දෙකට අහුරා ගැනිල්ල විතරය.
සුන්නාත්, මාත් එදා දවසේ අවසන් වතාවටත් ස්ටැන්ලිව මුණ ගැහුණෙමු.
“.... එහෙනං මචං
.... හෙට මේ වෙලාව වෙනකොට අපි තුන්දෙනා දුන්හිඳ කැළේ.” ටැයියා උදම් ඇනුවේ සේරම හරි
නිසාය.
ඒ අස්සේ අපේ සීයා එදා බතල ගෝනි කිහිපයක්ම
ගෙනැල්ලාය. මගේ බඩ-පපුව දාගෙන ගියේ ඒවා දැක්කාමය. ආච්චීට විතරක් ඒ තරම් බතල තොගයක්
තනිවම කපලා, බැදගන්නට ලැබෙන්නේ නැත. ෂුවර් එකටම බතලවලින් බාගයක්ම අහක දමන්නට
සිදුවෙයි. පව්!
“සුනිල්, එනවා..... මේවයින් පුළුවන් තරම් ටිකක් කපලා දෙමු, ආච්චිට
මේවා තනියම කපන්න බෑ. අහක යයි.” මොන? මං මොනවා කිව්වත් එච්චර බරක්-පතළක් නොතේරුණු
සුනිල් ඒ රාජකාරියට ආවේ දුටහට වගෙය.
එච්චර බරක්-පතළක් නොත්රුණු අපේ සුන්නා........... |
‘අනේ.... හෙටින් පස්සේ සීයලාට උදව් වෙන්නේ
කවුද?
සුන්නයි, මායි දෙන්නාම නැති වුණාම නෝනා
විතරක් කොහොමද නංගිලා මල්ලිලා පස් දෙනෙක්ව බලා ගන්නේ? (අපේ පවුලේ තෙවැන්නිය නෝනා හෙවත් පුෂ්පා රංජනී දිසානායකය. 1971 වෙද්දී එයාට
අවුරුදු දොළහකි.)
හීනි දුකකින් හිත ඔද්දල් වුණත් වචනය බොරු
කරන්නට බැරිය; පොරොන්දුව ඉටු කළ යුතුය. හිතේ අමාරුව මඟ හැරගන්නටත් එක්ක මා කළේ බතල
කපන වේගය වැඩි කරන එකය.
ඒ දවස්වල අපේ ආච්චිලා, අම්මලා කවුරුනුත් මැල්ලුමට
කොළපලා ටික කැපුවෙත් chopping board එකක තියලා නොවේ; හිරමණයක නැතිනං කොලොම්බු
කොටයක වාඩිවෙලා- කැත්ත, මන්නය හරි පිහිය හරි කකුලෙන් පාගලා හිර කරගෙන මැල්ලුම්
ලිවීමය.
ඒ පන්කොළ ඇතුළුපතක් උඩටටය; නැත්තං කුල්ලකටය. එය කල්පනාවෙන් කළ යුතු
කාරියකි.
ඕනෑවට වඩා අත තද කළොත්, සමහර වෙලාවට මහපට ඇඟිල්ලත් කැපෙයි!
එහෙම වාඩිවී ඉඳගෙන දවසම බතල කුලු ගණනාවක්ම
කැපුවේ හිත දහ අතේ යද්දීය. අදටත් මගේ හිත ගෙදරට බැඳී තියෙයි. trip එකක් ගියාම කොහේ
ඉන්නවාද කියලා වගක් නැතත් කිට්ටුව-පාතක ඉන්නවා නම් මට ගෙදර දුවන්නට ඕනෑය.
මරාගෙන
මැරෙන කුරිරු ත්‍රස්තවාදීන්ගෙ හිතේ අන්තිම පැයේ, අන්තිම මිනිත්තුවේ මොන-මොන විදිහේ
සිතුවිලි පහළ වෙනවා ඇතිද? නෑසිය මිතුරන්, ගෙදර-ගම-රට දමා යන්නට දුකක් හිතෙන්නේ
නැතිද? එයාලා ඉන්නේ පියවි සිහියෙන් නෙවෙයිද?
මරාගෙන මැරෙන; බෝම්බ පුපුරුවන මිනිස්සුන්ගෙ හිතේ............ |
මං වගේ මෝලෙක්. අහන ප්‍රශ්න. පියවි සිහිය,
සම්මා සතිය තියෙනවා නම්; හිතක් පපුවක් තියෙනවා නම් මනුස්සයෙකුට එහෙම තිරශ්චීන ඝාතන
කරන්න පුළුවන්යැ.
එදා රාත්‍රියේ අපේ සුනිලුත් මාත් හත්-අට
වතාවකටත් වැඩියෙන් ඇහැරෙන්නට ඇත. ඒත් පාන්දර වෙලා තිබුණේ නැත. (ආච්චිලාගේ
ටයිම්පීස් ඔරලෝසුවත් අප රැගෙන යන බඩු ගොඩේය. ඒක නැතිව කොහොමද? කැළේ හිටියත් වෙලාව
බලාගන්න ඕනැනේ.)
එලාම් එක තිබ්බා නම් ලෙහෙසිය; ඒත් එහෙම කළා නම් අවදිවෙන්නේ අප
විතරක් නොවෙයිනේ. නැඟිටින වාරයක් ගානේ ‘තවම රෑ’ කියා කොඳුරාගෙන ආපහු පැදුරට වැටෙන
එකය, අප දෙන්නා කළේ.
අප නිඳාගැනීමේදී එකම තැනක නිඳියන පුරුද්දක්
තිබුණේ නැතිවීම අපේ වාසියට හිට්ටේය. සල්ගල ආරණ්‍ය සේනාසන ගමන දවසේ (මගේ චූස් මටම චූස්) අපේ සුනිල්ට වාසියක් වුණේ ඒ පුරුද්දය.
පොඩිවුන් කැලතක් ඉන්නා ගෙවල් කොයිකෙත් තත්ත්වය ඒකම වෙන්නැතිය. ඒ හැමෝම නින්දට
යන්නේ එකම වෙලාවක නොවේ; එක-එකා එක-එක වෙලාවටය; හිතුණු-හිතුණු තැනය.
එදා සුන්නාත්
මාත් නිඳාගෙන හිටියේ ආච්චිලගේ ගෙදර, එක ළඟම එළාගත් පැදුරු කෑලි දෙකකය.
එදා නං කුකුළා හැඬලුවේ ශක්‍රයාගෙ හොර මඟුලට උදව් කරන්නට නොවේ! |
“දැන් නම් හතරට කිට්ටුයි. නැඟිටහන්....” නිඳිමරා
හිටි සුනිල් නැඟිට්ටේ කෙඳිරිගාමිනි. යන්තම් වතුර චුට්ටකින් දෑත තෙමා මුහුණේ
අතුල්ලාගෙන අපි සූට්වලට බැස්සෙමු! (මූණ හෝදන්නට ගිහින් අනෙක් අයට කූද්දන්නද?) සූට්
කිව්වාට- කොට කලිසමයි, කමිසයයි, බාටා සෙරෙප්පු ජෝඩුවයි විතරය; සිම්පල්ය.
විනාඩි පහෙන්; හතරහමාර විතර වෙද්දී අප දෙන්නා
කළු සීතක්කලාගේ ගෙදර ළඟ වෙලේ නියර උඩය! ඒත්.... ස්ටැන්ලි නැත.
“මාර වැඩේනේ ලොකා. අරූ තාම නැහැනේ.” ටිකක්
වෙලා බලාගෙන හිටි සුනිල් කිව්වේය.
“ටැයියට නින්ද ගිහින්වත්ද?”
කරන්නට දෙයක් නැත. නියර උඩම වකුටුවී අපි
මදුරුවන් තලන්නට පටන් ගත්තෙමු. විනාඩි පහක් ගෙවුණේය. දහයක් ගෙවුණේය. පහළොවක්....
පැය භාගයක්.... ටැයියාගේ හාන්කවිසියක් නැත. එයාලගෙ ගෙවල් පැත්තේ එළියක්වත් පත්තු
වුණෙත් නැත.
ගිහින් ගෙදරින් අහන්න කියලයැ.
ආං කොරනේලිස් මාමලගෙ ගෙදරත් ලාම්පුවක් පත්තු වුණා! |
දැන් නම් සුනිල්ගේ සද්දෙත් හොඳ නැත. “මොකක්ද බං
කරන්නේ?”.
සහන් එළියත් වැටීගෙන එන පාටය. කුකුළනුත්
එකා-දෙන්නා උදාන ගී ගැයීම පටන් අරන්ය. එදා නම් උන් හැඬලුවේ සක්කරයාගේ හොර මඟුලේ උදව්වට නොවේ; අපට උදව්වටය.
“ටැයියට නින්ද ගිහින් වෙන්නැති. දැන් බදුලු
බස් එකත් ගිහිල්ලා ඇති ෂුවර් එකටම..... ආං කොරනේලිස් මාමාලගේ ගෙදරත් ලාම්පුවක්
පත්තු වුණා. මෙතැන හිටියොත් අපි දෙන්නව නිකම්ම අහු වෙනවා. ටක් ගාලා ගෙදර යමු.”
සුනිලා මීක් කියලාවත් කිව්වේ නැත. එයාගේ සූට්කේස් එක උස්සා ගත්තේය. මං මගේ එක....
ආවට වඩා සීරුවෙන් ගිහිල්ලාය, අප දෙන්නා
ආයෙමත් ගෙදරට රිංගුවේ. ඇඳුම් ගලවා තියා, කලින් දවසේ රාත්තිරියේ හිටි හැටියටම අපි
පැදුරට වැටුණෙමු.
අපේ වාසනාවටදෝ අපේ ගෙවල් දෙකෙන් එකකවත්, කවුරුන්වත් අවදි වී හිටියේ
නැත.
ආච්චී මගේ නළලට අත තියා මට උණ දැයි බලද්දී මං හිටියේ දුන්හිඳ අද්දරය. |
“රංජි.... රංජි.... මොකද ළමයෝ අද තවම නිඳි.
හතත් වෙලා. සනීප නැද්ද?” ආච්චී මගේ නළලටත් අත තියලා බලද්දී මං හිටියේ දුන්හිඳ
අද්දරය. නිඳි මරගාතේ වුණත් මගේ හිතට ආවේ එකම එක ප්‍රශ්නයකි. ‘ටැයියාට මොකද වුණේ?”
අර විදියට බාගෙට බැදලා ඔය කියන ජාති ගොඩක් කල් තියාගන්න පුළුවන්ද?
ReplyDeleteබදුල්ලෙ වතුර ගැන කිව්වම මට මතක් උනේ නුවර අපේ මහත්තයගෙ ගෙවල් පැත්තෙ වතුර වලට ගිහින් තියෙන කල ගැන. දැනට අවුරුදු විස්සකට විතර කලිනුත් එයාලගෙ ගෙවල්වලට වතුර ගත්තෙ ටැප් වතුර විදියට. ඒකත් සතියට දවස් තුනයි. වික්ටෝරියා වේල්ල බැන්දට පස්සෙ ඒ පැත්තට වතුර නැතිවුනා කියලා තමයි අහන්න ලැබුනෙ. හැබැයි ඊට ටිකක් උඩහට ගියාම හොඳටම දිය සීරාව. මිදුල හරහා වතුර ගලනවා ගේ පිටිපස්සෙ උස් බිම්වල ඉඳලා. ඒවට පිහිලි හයි කරලා තමයි එදිනෙදා වැඩ වලට වතුර එකතු කරගත්තෙ ඒ පැත්තෙ මිනිස්සු. ඒත් දැන් අවුරුදු තුනකට විතර කලින් යනකොට අර දිය සීරාව එහෙම පිටින්ම වේලිලා ගිහිල්ලා. කලින් ටැප් වතුර ලැබුනු අයට දැන් ටැප් වතුරත් නෑ. බවුසර්වලට ගෙවලා ගෙන්නගෙන ටැංකි හදලා ඒවට පුරවා ගන්න එක තමයි කරන්නෙ. හරිම වියලි ගතියක් තියෙන්නෙ.
ආච්චි ගැන කියනකොට මගේ අත්තම්මවත් මතක් වෙලා හරිම දුක හිතුනා.
මේකෙ මුල කොටස් දෙකත් සොයාගෙන කියවන්න යන ගමන්...
මියුරු, අපේ ආච්චී ඒවා දැම්මේ ලී පෙට්ටගමක. තිබ්බේ සුමානයක් විතර. පුස් ඇල්ලුවේ නැහැ.
Deleteමං අදටත් හිතුණාම එහෙම බාගෙට බැදලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියාගන්නවා. මාස දෙක තුන තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ.
වික්ටෝරියා වේල්ල බැන්දට පස්සේ, පෙයාර්ස් වගේ පළතුරු වගාවනුත් වැටුණය කියල වාර්තා වුණා, වායුගෝලයේ තෙතමනය (ආර්ද්‍රතාව) ඉහළ ගිය නිසා.
අපේ ආච්චී මගේ ලොකුම වීරවරියක්. එයා ගැන පොස්ටු තිහ-හතළිහකම වරින්-වර ලියැවුණා, මියුරු!
https://www.tripadvisor.com/ShowUserReviews-g190745-d9816068-r361824430-Sabina_s-Newbury_Berkshire_England.html
Deleteමට මේ කතා කියවනකොට 'මයිනා'ගෙ කතා මතක් වෙනවා. ඒකෙත් තියෙන්නෙ මේ වගේ එව්වමයි. හැබැයි හිනාවෙලා පණ යනවා.
Deletehttp://mynagekatha.blogspot.com/
ස්තුතියි Pra Jay.
Deleteමියුරු, ඒවාත් ඇත්තමද? මාත් කිහිපයක් නම් කියවලා තියෙනවා.
ඔව්, ඇත්තම ඒවා. බෙල්ල ගහල යන වැඩ. කියවලා බලන්න. නිදිට නම් බොහොම සමීප බවක් දැනේවි.
Deleteඇතුළුපතක් කියන්නෙ වට්ටියද?
ReplyDeleteටැයියට මක් උනාද?
ඇතුලුපත කියන්නේ හතරැස්- පැතලි- වට්ටියක් වගේ එකකට. පන්, වැටකෙයියා කොළ හෝ පොල්කොලවලිනුත් වියාගන්නවා.
Deleteහුඟක්ම එක පාවිච්චි වුණේ ඔය මැල්ලුම්, කොස්-පොළොස් වගේ ඒවා කපාගනිද්දී.
මධූ, අහලා තියෙනවද 'බත බෝ කරගන්නවා'? බත තැම්බූණාම කූරූ ගාලා ඇතුල්පතට දමලා තුනී කරනවා, හැඳි මිටෙන් බත හොඳට ලිහාගන්න ගමන්. එතකොට බතේ ඇට වෙන්වෙලා මල් වගේ තියෙනවා. අහුපෑවත වැඩියි. එහෙම කරගත්තු බත බෙදාගන්නත් ලෙහෙසියි. අද හුඟක් ගෙවල්වල බත හරියට කූරූ ගාන්නෙත් නැති නිසා ලොකු කුට්ටි තමා බෙදාගන්නේ.
ටැයියාට වෙච්ච දේ හින්දා තමා මං පණ පිටින් මෙහෙම ඉන්නේ. ඉස්සරහට බලන්නකෝ.
Delete//බත තැම්බූණාම කූරූ ගාලා ඇතුල්පතට දමලා තුනී කරනවා// අම්ම එහෙම කරනව පොල් කොල වලින් වියාපු වට්ටියක් තමා ගන්නෙ.
Deleteහොඳ වෙලාවට ටැයියා ආවේ නැත්තේ . නැතිනම් හිස මුඩු කරලා දිය ඇල්ලෙන් නාල මහන කෙනෙක් වෙලා ඉන්න තිබුන මැෂිමක් හම්බ උනානම් නේද !!!
ReplyDeleteඒක නේන්නං හක්ස්ලි මහත්තයෝ! එහෙම වුණා නං ඔයාලව හම්බ වෙන්නෙත් නැහැ.
Deleteමට හිතෙන්නේ ටැයියා ගෙදරට අහුවෙලා කියලයි. බලමුකෝ ඊළඟ කොටසින් මොකද උනේ කියලා.
ReplyDeleteමේ සිද්ධිය උනේ 1971 දීද ?? එහෙම නම් අප්‍රේල් වලට ඉස්සෙල්ලා වෙන්න ඕනෑ . මොකද ඊට පස්සේ නම් ගෙදරින් පැනලා යන්න තියා මහරගම හන්දියට යන්න තරම්වත් සුදුසු වටපිටාවක් තිබුනේ නැහැනේ!
'ඇතුල්පත' හෙවත් 'මලිපිට' පැතලි නැහැ නේද ?? ඒකේ මුළු හතර ඉහලට එසවී තියන නිසා වටේ මායිම් (perimeter) උනත් ටිකක් ඉස්සිලා නේද තියෙන්නේ ?? ඒ කියන්නේ පැතලි පැදුරක් වගේ දෙයකට දමන දෙයක් (කොස් මදුළු වැනි) ඉහිරී පිටතට යාම සිදු උනත් ඇතුල්පතකට දාන දෙයක් පිටතට ඉහිරී යාමක් සිදු වෙන්නේ නැහැ නේද??
ඇත්තමයි සෑම්, ඒ දවස්වල අපේ තකතිරුකම කොච්චරද කියලා පේනවනේ. ගියේ අප්‍රේල්වලට පස්සේ. මාස දෙක තුනකින්ම මේ පැත්තේ කලබල අඩු වුණානෙ.
Deleteඔයා හරි. මලුපිටේ කොන් හතර ටිකක් උඩට නැවිලා- මතුවෙලා තිබුණේ. ලොකු නිසාම දාර ටික පැතලිවෙලා වගේ පෙනුණේ. හැකි වුනොත් ඊළඟ කොටසට ෆොටෝ එකක් දාන්නන්. එකට දමන දේවල් පිටතට ඉහිරෙන්නේ නැහැ තමයි.
මදෑ වැඩේ හබක් වෙලානෙ.
ReplyDeleteඅග්‍රගන්‍ය වීර කතාවක් අහන්න තිබ්බ අවස්ථාව ටැයියා විනාස කරල දාලනෙ.
තවම වෙච්චි හරිය සේරම කිව්වේ නැහැනේ. ඊළඟට බලන්නකෝ ප්‍රසන්න. අපි වැඩක් කරන්න ගියාම වෙන්නෙ මරු වැඩනේ.
Deleteමේ මහරගම ඉඳන්ද බදුලු යන්න හදන්නේ...ගියානම් ආයේ හෙවිලි බොරු.. මේකට සෙට් වෙන්නෙ "වන ගත ළමෝ" නෙමේ "මඩොල් දූව" නේද?.
ReplyDeleteඇයි සෙන්නා? තවමත් මහරගම හරහා බදුලු බස් යන්නේ. ඇත්තටම මටත් හිතාගන්න බැරි 'මඩොල් දූව' අපට වැදුණේ නැති එක ගැන.
Deleteනෑ මම කිව්වේ දුර නිසා... ඔව් නේද මටත් ම්ඩොල් දූව එච්චර ඇල්ලුවෙ නැති පොතක්.. ඒකෙ භාෂා ශෛලියද මංදා හේතුව..
Deleteමාත් එහෙම හිතනවා, සෙන්නා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ලිවීම විදග්ධ පැත්තට බරයි වගේනෙ.
Delete// ලොකු-බර පෙට්ටගමකුත් ආච්චිලගේ ගෙදර තිබුණේය. දෙන්නෙකුට වුණත් ඒක ඇතුළේ හැංගිලා ඉන්නට පුළුවන් තරමට විශාලය. පාමුල් පෙට්ටි කිව්වේ ඒවාට කියලාය මං හිතන්නේ. තඩි කොස් ලෑලිවලින් හදා තිබුණු ඒ පෙට්ටගමට කකුල් හතරකුත් තිබුණේය. //
ReplyDeleteමෙයින් එකක් අපේ තාත්තගෙ මහ හෙදරත් තිබ්බ මතකයි හැබැයි ඒකෙ මොනව තිබ්බද කියන්න මතකයක් නැහැ ... :(
මදැයි පටන් ගත්තත් කලින්ම ටැයිය වැඩේට කෙලවලනෙ :-D
ඒ විස්තර කොටද්දී හිතුනේ නැති දෙයක් ඔයාගේ කමෙන්ටුව කියවද්දී හිතුණා. හැබෑටම අපේ ආච්චිලගේ පාමුල් පෙට්ටියට මොකද වුණේ?
Delete