අකුරු මැකී නෑ

Friday, June 7, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස

අත දිග හරියේ ඉන්නවා නං මං ඕකගෙ කණ පලනවා!

සතියකට විතර පස්සේ ජයන්ති පිළිතුරු ලියුමත් අරගෙන ආවේ තරහෙන් පිපිරෙමිනි. “කොහෙද යන අවලම් බල්ලෙක්... පරයා, ඌ දන්නෙ නෑ ........ අපේ වත්තේ කෙල්ලෝ ගැන. අත දිග හරියේ ඉන්නවා නම් මං ඕකගෙ කණ පැලෙන්න ගහනවා. ..... හිතුණොත් වත්තෙ දෙන්නෙකුට ඇඩ්‍රස් එක දෙනවා ගිහින් ඕකගේ හතර හන්දි කඩලා එන්න.”.

අප නොදුටු ප්‍රේමවන්ත පෑනේ මිත්තරයාටත් ජයන්තිට වගේම කේන්ති ගිහින්ය. අත් අකුරු වෙනස් වුණාට නොවේ; අදහස් වෙනස් වුණාටය. ජයන්ති දමා-ගසා වීසි කළ ලියුම අහුලාගෙන කියෙව්වාම මට තේරුණේ එහෙමය.

ආදරේ කරන්න ඉගෙන ගන්නැයි කියන ගමන්ම කොල්ලා ජයන්තිව හොඳටම බාල්දු කරලාත්ය. ඒ මදිවාට තුට්ටු දෙකේ විදිහට කුණුහරුපත් ලියුමේ වපුරලාය. අදටත් මට පුදුම ජයන්ති පැකිළීමකින් තොරව, ඒ ලියුම අපට කියවන්නට දීම ගැනය!

මගේ පළමුවෙනි හා අවසාන පෑනේ මිතුරු සන්ථවයට කණ කොකා ................
අනේ හැබෑටම මෙහෙමත් නාටක! (අපේ); මගේ පළමුවෙනි හා අන්තිම පෑනේ මිත්‍ර සමාගමයට කණකොකා හැඬුවේ එහෙමය.

ඉතින්, ඩයි කරන්නට කලින් අමතර රෙදි ටිකක් සූදානමින් තියා ගැනිල්ලෙන් තවත් දෙයක් ඉගෙන ගන්නටත් මඟ පෑදුණේය. ‘ටයි ඇන්ඩ් ඩයි’. එහෙම දේකුත් තියෙන බව මං අහලා තිබුණේ නැත. 

ඒ වැඩේ wax කරන තරම් අමාරු නැත. රෙද්දක් එක-එක ආකාරයෙන් නවාගෙන හරි, රැලි කරගෙන හරි ගැට ගසා ඩයි කරගැනීමය මේකෙදි කෙරුණේ.

නිහාමු මටත් කියා දුන්නාට මොකද, එයාත් දැනගෙන හිටියේ ටයි & ඩයි කරන ක්‍රම දෙක-තුනක් විතරය. ඇත්තම කිව්වොත් එතැනදී නම් මේ මැට්ටාටත් කිසිම නිර්මාණාත්මක ගැට ගැහිල්ලක් කරන්නට බැරි වුණේය.

wax කරනවාට වඩා 'ටයි & ඩයි' කරන එක ලෙහෙසිය. ඉක්මන්ය...............
ගැට ඇලවෙලා තිබුණාද මන්දා? ඇට ගලවනවා කෙසේ වෙතත් ඇට තළා දැමීම නම් ඉතිහාසය පුරාවට සිදුවෙලාය. වැඩියෙන්ම, ඒ ඉරණමට ගොදුරු වෙන්නේ ගවයන් වෙන්නට ඇතිය. ඉස්සර නං ඒකට කිව්වේ ‘පුසි කරනවා’ කියලාය. ‘කර අඹනවා’ කිව්වෙත් ඒකටමය.

එහෙම කරන්නේ වස්සා කාලයේදීමය. වහු පැටියාගේ වෘෂණ කෝෂ දෙකම තළනවාලු! එවිට තරුණ වයසට එනවිටවත් ඒ සතාගේ වෘෂණ ඇතුළේ බීජාණු නිපදවෙන්නේ නැත. ඇඟ පෘෂ්ටිමත්ව හැදෙනවා මිස. එහෙම හරකුන්ව බර ඇදිල්ලට යොදාගත් බව කියවෙයි.

රජ කාලයේත් ඕක සිද්ධ වෙලා තිබේ. ඒ අන්තඃපුරයේ සේවයට බඳවාගන්නා පිරිමින්ටය. ‘තට ඇළා දැම්මාම’ පුරුෂ ලිංගික හෝමෝනය හෙවත් ටෙස්ටෙස්ටරෝන් නිපදවීමක් සිදු නොවේ. එහෙම වුණාම ලිංගික හැඟීම් පහළ වුණත් ‘වැඩ දැමිල්ල බොරුය’. erect වෙන්නේ නැතිලු.

 ‘මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ’ ඒ වචනයට අරුත් දැක්වීමේදී ‘කෙළින් කරනවා - කෙළින් කිරීම’ දෙකත් පෙන්වයි.

එහෙම කුරිරු ඉරණමකට ගොදුරු කරවනු ලැබූ 'වැඩ බැරි දාසලා' ගැන සයිමන්....
අනේ පව්! එහෙම ඉරණමකට ගොදුරු කරවනු ලැබූ ‘වැඩ බැරි දාසලා’ ගැන සයිමන් නවගත්තේගම මහත්තයා අපූරුවට ලියලා තිබිණි. මතක හැටියට නං ‘සාපේක්ෂනී’ පොතේය.

ආසියාවේ එහෙම වුණත් යුරෝපා රටවලත් ඔය අපරාධයම කෙරිලා තිබේ. ඒ වෙනත් අරමුණක් ඇතිවය. Soprano ගායකයන් බිහි කරවාගන්නටය. පැටි වයසේදීම තෝරාගත් පිරිමි ළමුන් ‘පුහු’ කරලා තියෙන්නේ උච්ච ස්වරයෙන් ගායනා කිරීමේ හැකියාව ළඟා කරදෙනු පිණිසය. ඒ අසික්කිත වැඩේ 1870වේ සිට නීතියෙන් තහනම් කරලාය.

ජපානයේ ‘සුමෝ’ ක්‍රීඩකයන් විදිහට ඇඟ හදා ගැනිල්ලේදීත් මෙහෙම ‘ඇට තළන’ ව්‍යායාමය ප්‍රයෝජනයට ගත්තාලු. සමහරවිට ඒවා කරවාගැනිල්ලෙදී අපේ රටෙනුත් පළපුරුදු කට්ටිය එහාට ගෙන්වාගන්නට ඇත. අමුතු මුතු ඇටේ එහෙම අය හිටියාය කියන්නේ කාකි සූට්වලිනි.

ඇත්තටම එකම දේ වෙනත්-වෙනත් අරමුණුවලින්, ලෝකය පුරාම තැනින්-තැන ක්‍රියාත්මක වෙන ලස්සන. පිරිමි සතුන් ගැන විතරක් කිව්වේ මේ දවස්වල මදිය නොකියන්නට ‘ෂාෆිකරණය’ ගැන කියවෙන නිසාය.

ඉලස්ට්‍රේටරය හෝ බර්ඩ්සෝ උපකරණය මිනිසුන් වෙනුවෙන් යොදන්නේ නැත, ෂාපිකරණයෙදීවත්..........
දැන් ‘ටයි’ කිරීමත් ගොඩක්... ගොඩාක්ම දුර ගිහින්ය. වෛවාරන්න පන්නවලට ගැට ගහලා ඩයි දැමූ රෙදි දකින්නට හැකිය. ඒ විතරක් නොවේ, ඒවාට ක්‍රම සහ ආම්පන්නත් බිහිවෙලාය. කුමාරණතුංග මුනිදාස වියත් පඬිතුමා කිව්වා හරියටම හරිය. ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී!’.

“අපේ අම්මා ගිය ආත්මේ බැළලියෙක් වෙන්න ඇති හලෝ. පුදුම හාල්මැස්සන් කෑමක්නේ මේ මනුස්සයා කන්නේ.” නෙවිල් කියයි. 

මා දන්නා විදියට අවුරුදු විසිපහකටත් එහා පැත්තේ සිට, නෙවිල්ලාගේ අම්මා හැම වේලකටම හාල්මැස්සන් ටිකක් කෑමට එකතු කරගනියි. එයාට වෙන මොනවා තිබුණත් හාල්මැස්සන් ටිකක් තෙල් දාලා හරි, බැදගෙන හරි ඕනෙමය.

එහෙම සුවිශේෂතා ඇති තව හතර දෙනෙකු මට හමුවී තිබේ. ඉස්සෙල්ලම උපාලි ඩී කුරුප්පු!

එතකොට උපාලි ‘කලා’ සිනමා සඟරාවට ලියන අංකුර ලේඛකයෙකි. හිටියේ මහරගම දුම්රිය මාවතේය. එතකොටත් උපාලිට විස්ස පැනලා වෙන්නැතිය. උපාලිගේ අක්කලාත් සහතික කළ හැටියට උන්නැහේ උපන් තේකට බත් ඇටයක්වත් කටේ තියලා නැත. හැම වේලකටම කෑවේ පාන් විතරය.  

නෙවිල්ලාගේ අම්මාට තුන් වේලටම හාල්මැස්සන් ජුන්ඩක් නැතිනං .............
තුන්වෙනියට හමුවුණේ හේමලාල් ජයසිරිය; කළු අක්කාගේ ලොකු බෑණාය. ලාල් අයියාට මොනවා තිබුණත් පරිප්පු ටිකක් ඕනෙමය. “ගෙදර පරිප්පු හදලා නොතිබ්බොත් මමම හරි පරිප්පු මිටක් උයාගන්නවා නිමල්, ලතාලට කරදර නොකර. පරිප්පු නැතිනං මට බත් කන්න බැහැ.”


“ඔය බොරු නිමල් අයියේ, කොච්චර ජාති හැදුවත් අපි පරිප්පුත් උයනවා, මෙයා හින්දම. මෙයාට උයාගන්න ඉඩ තියන්නෙ නෑ.” සෝමලතා එදා කිව්වාය. 

මට පෙනෙන විදියට ලාල් අයියාට තවමත් ඒ පුරුද්ද තියෙනවාය. ඒ මදිවාට ඒ මහත්තයා මේ ළඟදී; මාස දෙකකට විතර ඉහතදී මටත් පරිප්පුවක් කවන්න හැදුවේය. 

ඒ මහරගම සමුපකාර ඡන්දයේදී මාවත් අපේක්ෂකයෙකු විදියට ඉදිරිපත් කරලාය. බේරුණේ ඡන්දය දවසෙම මා හම්බන්තොට රෝහලට යා යුතුව තිබුණු නිසාය.

එහෙව් අයගෙන් දෙවෙනියටය මං ‘රුහාමු’ දැක්කේ! එයාගේ දොළදුක තිබ්බේ අළුකෙසෙල්වලටය. උයලා නොවේ. හීනි තීරුවලට කපලා, කහ-ලුණු අතගා ගැඹුරු තෙලෙන් බැදලාය. රුහාමුට කෑම අරින්නට කලින් සෝමා අම්මේ නොවරදවාම අළුකෙසෙල් බදියි. පළමුවෙනි වතාවට මංවහන්සේ ඒවා වැළඳුවේ එහෙදිය.


කළු අක්කාගේ ලොකු බෑණා හේමලාල් ජයසිරිත්, බඩල්කුඹුරේ චරිත් සුදර්ශනත් මට එහෙම හමු වුණු.........
අන්තිමටම, පස්වෙනුව හමුවුණේ චරිත් සුදර්ශනය. මොනරාගල බඩල්කුඹුරේ චරිත් මට හමු වුණේ පියසිරියේදීය. “මට කුකුල් මස් විතරයි කන්න පුළුවන්! වෙන මසක් කෑවොත් ඇලර්ජික් වෙනවා වගේ එක-එක වැඩ සිද්ධ වෙනවා” චරිත් කිව්වේය.

“ඒක ලෙඩක් නිමල් අයියේ. සමහරු ඉන්නවා උපතින්ම එහෙම වෙන. එයාලට කුර තියෙන කිසිම සතෙකුගේ මස් කන්න බැහැ. කුකුළු- තාරා- කළුකුන්- මොනර වගේ කුරුලු ගණයේ සත්තුන්ගේ මස් විතරයි කත හැකි.” හැම අටම්පහුරම පහුරු ගාන මං, චරිත් ගැන අපේ දොස්තර පීරිස් මහත්තයාගෙන් ඇහුවාම කිව්වේය. කබරයාට වගේ ඕනෙම දහජරාවක් ගිලගන්නත්, දිරවාගන්නත් හැකිවීමත් සුළුපටු වාසනාවක්ද?

ආයෙම නිහාමුලා දිහාවට..... ස්කාෆ්, ලුන්ගි, සරොම්, කමිස, කුෂන් කවර වගේ ගොඩක් ජාති බතික් කළත් නිහාමුලා wallhangins කළේම නැති තරම්ය. ඔසරිය කෑලි තුනකට කඩලා අඳින මෝස්තරය මං දැකගත්තෙත් එහෙදීය. එහෙම ඒවා බතික් කරද්දීය. (අපේ ආච්චී ඔසරිය ඇන්දේ යාර හයේ සාරියකිනි. එහෙම වුණත්, මෙච්චර කාලෙකට අපේ අම්මා නම් සාරිය මිස ඔසරියක් අඳිනවා අප දැක නැත.)

සාරිවලට වෙනම බෝඩරයක් විදියට අල්ලන්නට දිග බෝර්ඩර් පටි, ඔසරි පල්ලු එහෙමත් ඒ කාලේ හරි ජනප්‍රියය. සාරි වැඩියෙන්ම හැදුණේ ටයි & ඩයි ක්‍රමයටය. ඒත් එව්වා දැන් තියෙන දියුණු මෝස්‌තර තරම් ඉස්සරහට ගිහින් තිබ්බේ නැත.    

ටයි & ඩයි කරන ක්‍රම දැන් හරිම දියුණුය; සංකීර්ණය!
ඔහොම යද්දී, තව ඩිංගෙන් ඒ කාලයේ ලංකාවේම ප්‍රසිද්ධ වෙද මහත්තයෙකු හඳුනා ගැනීමේ වාසනාව මට ලැබෙනවාය! ඒක මිස් වුණේ නූලෙන්ය. එයාගෙ පුත්තරයා ඇතුළු නඩයක් ගෙනා යෝජනාවක් ගැස්සුණු හින්දාය.

“නිමල්..... අන්න ඔයාට මීගමුවේ යන්න වැඩක් හරියාගෙන එනවා.” සෙනෙවි හදිසියෙන්ම දුවගෙන ඇවිත් මිමිනුවේය. ඒ තරුණ අමුත්තන් කිහිප දෙනෙකු නිහාමු හමුවෙන්නට ඇවිත් ඉන්නා වෙලාවකය.

“මට..... මීගමුවේ....?”
“ඕවට උත්තර පස්සේ දෙන්නං. ඉස්සෙල්ලා සේරම විස්තර  හොයාගෙන ඇවිදින්.....” සෙනෙවි හීන් සීරුවේ හාමුලාගේ කතාබහ ඇහෙන මානයකට රිංගා ගන්නට ඇත.

එංගලන්තයට ගිය පළමු වතාවේ මගේ නිදහස් කාලය වැඩියෙන් ගෙවුණේ tv බලන්නටය. ඒ දිනවල ‘ඩලස්’, ‘ඩිනස්ටි’ පීක් එකේය. ජෝන් කොලින්ස්, ලින්ඩා එවන්ස්, ජෝන් ෆෝසයිත් වගේ කට්ටියව මට අඳුන්නලා දුන්නේ අපේ නංගිලා දෙන්නාය. 

අර සෝප් ඔපෙරාත්, නළු-නිළියනුත් ලංකාවට ආවේ ඊට පස්සෙය.

රිචඩ් චේම්බර්ලින් 'ෂෝගන්' ටෙලි ෆිලුම පුරා විහිදවූ අභිමානය............

ඒ දවස්වල එපිසොඩ්ස් පහ-හයකින් ඉවර වුණු ටෙලියකි ‘ෂෝගන්’. රිචඩ් චෙම්බර්ලින් ඒ ටෙලිය පුරා විහිදවූ අභිමානය මට තවමත් මතකය. ඒ වගේම අමතක නොවන්නේ එක සිදුවීමකි. එක්කෙනෙක් රහසක් කියන්නට සැරසී ‘දොර වසන්නැයි’ කියයි. 

අනෙකා කියන්නේ ‘රහසක් කියන විට හොඳින් විවෘත තැනක හිඳීම වඩා නුවණැති නිසා, දොරවල් ඇරලා තියන්න’ කියලාය. 
(ඒ ටික කොටන විටය හිතුණේ මෙය ‘ඔෂින්’ එකේද කියලාත්. නැතිනං The Last Samurai.... මොකක් වුණත් ජපන් කතාවකය.) ප්‍රභවයටත් වඩා වැදගත් දේ මා ඉගෙනගත් ඒ පාඩමය.

නිහාමුලාත් අපේ රටේ ගොඩාක් අය වගේ ‘රහස් කතා කළේ වසං වීගෙන’ය. එතකොට තවත් අයට වසං වීගෙන කන් දෙන්නට පුළුවන් ඉඩ වැඩිය. සෙනෙවි කළේ ඒකය. කොහෙ හරි මුල්ලකටවී සේරම රහස් එක්කාසු කරගැනීමය.

“අරගොල්ලොන්ට හෙළුවැලි කෙල්ලොන්ගේ පින්තූර ටිකක් බතික් කරවාගන්න ඕනෙලු. ගන්න ගානක් ගන්නයි කියලත් නිහාමුට කිව්වා....”

අරගොල්ලෝ ඇවිත් තියෙන්නේ හෙළුවැලි පින්තූර ටිකක් බතික් කරවගන්න!
“නිහාමු මොකද කිව්වෙ?”

“මොන.... බැහැ කිව්වනේ. නැත්තං අපටත් බලාගන්න තිබ්බා. අපරාදේ.... එයාලා කිව්වා නිමල්ව මීගමුවේ එයාලගෙ ගෙදරට එක්ක ගිහින් එව්වා බතික් කරවාගන්නං කියලත්.... කොහෙද නිහාමු බැහැයිම කිව්වනේ.”

පස්සේ කාලෙකත් මට හිතුණේ ‘ඇයි බැහැ කියන්නට ඇත්තේ’ කියලාය. 

ඉස්සර ඔය වගේ දේවල් මුද්‍රිතව තිබුණේම නැති තරම්ය. සල්ලිකාර තරුණ කොල්ලොන්ට ඕනෑ වෙන්නට ඇත්තේ අමු හෙළුවැලි පින්තූර බතික් කරවාගන්නට විය නොහැක. කලාත්මක නිර්මාණයක් බිත්තියේ එල්ලා ගන්නට වෙන්නැතිය. නිරුවත් චිත්‍ර බතික් නිර්මාණ වශයෙන් කෙරිලාම නැති තරම්ය, අඩ නිරුවත් ඒවා මිස!

මගේ අත්දැකීමේ හැටියට වැඩියෙන්ම බතික් බිත්ති සැරසිලි හැටියට නිපදවෙන්නට ඇත්තේ නුවර පෙරහරේ ඇතාය; කරඬුව වඩම්මන ඇතාය. පෙරහරත්, සීගිරියේ ලලනාවනුත් ඊළඟටය. වංශවත් සීගිරි ලලනාවන් ශෛලමය බෙයදේ ඉන්නේ තනපට පවා රහිතවය, අඩ නිරුවතිනි.

සුන්දර සීගිරි ලලනාවන් ඉන්නේ අද නිරුවතිනි, මේ යන විදිහට නම් එයාලටත් හැට්ට අන්දව්‍යිද  මන්දා!
කවුරුන්වත් ඒවා අසභ්‍ය කියා හංවඩු ගහන්නේ, වපරැහින් බලන්නේ හෝ ඒවාට හැට්ට අන්දවන්නට යන්නේ නැත. එහෙත් නූතන නිර්මාණයක තියෙන දෙයක්..... වෙනම බලලා, කෑලි-කෑලි උලුප්පා අරගෙන බලන්නේ හිතේ තියෙන කැතකම නිසාද කොහෙදය! සමහර විට සිල් බිඳෙයි කියලා බයටත් වෙන්නට පුළුවන්ය. 

දැන් තියෙන්නේ පය බරවායට පිටිකරට බෙහෙත් බඳින කාලයකි. ඔයාලට හිතෙන්නෙත් එහෙමද?

ඊයේ ජුනි 5 වෙනිදා දවල්ට කුටිලාන් මහත්තයා තඩි බත් පිඟානකුත්, වටලප්පන් දීසියකුත් උස්සාගෙන ඇවිත් දොරට තට්ටු කළේය. ඒක දෙන්නෙකුටත් වැඩි තරම්ය. ඉතින් මං කළේ නෙවිල්ට call එකක් දීලා ගෙන්වාගෙන, කොටසක් දීමය. එවෙලේ මතක් වුණේ නූර් මහත්තයාය. නූර් මහත්තයා හැමදාම වාගේ නිහාමුලගේ ගෙදරට ආවේය. අඩුම තරමින් දවසකට පැය බාගයක්වත් එහෙ හිටියේය. ඒ ආවේ සැපදුක් අහන්නට නොවේ. උන්නැහේගේ රාජකාරියටය.

SU අපේ ගෙදරට ආ රාජකාරියටමය. රේස් චිට්ස් එකතු කරගෙන යන්නටය. මතකයිනේ මං කිව්වා, ඒ බංගලාවෙත් මහ තුන්දෙනාම රේස් දාන අයය කියලා.

මේ රාමසාන් දවසේ දහවල් කුටිලාන් මහත්තයා තඩි බත් එකකුත්, ඊට නොදෙවෙනි වටලප්පමකුත්............
ඉතින්, නූර් මහත්තයාත් රාමසාන් දවසට පරුවත සවාන් එකකුත්, ඊට දෙවෙනි නොවෙන තරමේ වටලප්පන් පරුවතයකුත් දෙපාරකට අරගෙන ආවේය. එහෙම කරන්නට ඇත්තේ මෝටර් සයිකලයෙන් එන නිසා දෙකම එක සැරේ ගේන්නට බැරි නිසා වෙන්නැතිය.

හෙට (මැයි7 සිකුරාදා) බෙහෙත් ගන්නට හම්බන්තොට යා යුතුය. ඒක තව දවස් දෙකකින් ඉස්සර වුණා නම් මවුලානා, නසාර්ලා, Dr. මිල්හාන්ලා එක්ක නූර් මහත්තයාගේ; කුටිලාන් මහත්තයාගේ  සංග්‍රහයට නොදෙවෙනි සංග්‍රහයක් භුක්ති විඳින්නට වෙනවා සිකුරුය. 

ඒ අපට ජාතිවාදීන් නොව ජාතිකවාදීන් මුණගැහෙන නිසාවෙනි. ඉතින් මා ඊළඟ කොටසට යන්නේ ‘ඒ වාසනාව ශ්‍රී ලංකාවාසී හැමටම උදා වේවා!’ කියා පතමිනි!!!

9 comments:

  1. පරිප්පුනම් මගෙත් ප්‍රියතම කෑමක්. පරිප්පු කනවා වෙනුවට සුප් එකක් වගේ බොන්න ඕනා කියලා බිරිඳට යෝජනාවක් දාලා තාම පැය තුන්ක් ගිහින් නෑ ඕන්..

    රහස් කියන්න හොඳම තැන පිට්ටනියක් මැද්දෙ කියලා තමා මගේ විශ්වාසය. කාමර වල හැංගිලා කියන රහස් නිකන්ම පිට වෙනවා.. බිත්ති වලටත් කං තියනවා කියලා තමා වැඩිහිටියෝ කියන්නේ..

    "දැන් තියෙන්නේ පය බරවායට පිටිකරට බෙහෙත් බඳින කාලයකි. ඔයාලට හිතෙන්නෙත් එහෙමද?"

    පිස්සුද? අපිට දැන් හිතෙන්නේ වන විනාශය නවත්වන්න වඩු මඩු වහන්න..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මං කොයිකටත් කියලා අමතර පිහි සෙට් එකක් හංගලා අරන් තිබ්බා. ක්කොයි වෙලාවේ හරි පිහි පාවිච්චියත් තහනම් කෙරෙනවාමයි, කාට හරි පිහියකින් ඇනපු ගමන්.

      Delete
  2. මොන හේතුවක් නිසා හරි මට මේ පෝස්ට් එක මිස් වෙලානේ. දැක්කේ අදයි. රහස් කියනකොට එළිමහනේ ඉන්න එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ . බිත්ති වලින් වටවෙලා ඉන්න කොට පිටත ඉන්නේ කව්ද කියලා පේන්නේ නැහැනේ. ' සෙන්නා ' ගේ කොමෙන්ට් එකේ කියන බිත්ති වලටත් කන් තියනවා කියන කතාව නිකම්ම නිකං කට කතාවක් නොවෙයි. බිත්තියකට ඉතාම රහසින් කියන දෙයක් (කොටින්ම ඊට අඩි දෙක තුනක් ඈතින් ඉන්න කෙනෙකුටවත් නොඇසෙන තරම් හිමින්) ඊට මීටර් සීයකටත් වඩා ඈතින් ඉන්න කෙනෙකුට ඇහෙන්න පුළුවන්. දකුණු ඕස්ට්‍රේලියාවේ බැරෝසා නිම්නයේ ජලාශයක තියන ආරුක්කු බැම්මක් whispering wall ලෙස හැඳින්වෙනවා. එහි එක කොනක සිට බිත්තියට කොඳුරන දෙය ඊට මීටර් 100 කටත් වඩා ඈතින් එහි අනිත් කෙලවරේ ඉන්න කෙනෙකුට ""ඉතාම පැහැදිලිව"" ඇහෙනවා. ලෝකයේ මේ වගේ කන් තියන බිත්ති ගැන මේ ලින්ක් එකෙන් බලන්න. ඔයා ආයේ එංගලන්තෙට ගිය වෙලාවක මේ තියන තැන් වලින් එකක් බැලුව හැකි.
    https://en.wikipedia.org/wiki/Whispering_gallery

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි සෑම්. මේ විවෘත තැනක ඉඳගෙන රහස් කීමේ කාරණාව තව කිහිප දෙනෙකුටම හොඳ මීටර් වී තිබීම මාරයිනෙ!
    ඔයා දීලා තියෙන ලින්ක් එකටත් දැන් යනවා!.

    ReplyDelete
  4. අපරාදෙ චාන්ස් එක

    ReplyDelete
  5. ලව් ලෙටර් ... ගැට .. බතික් ... කර ඇඹීම ... නූඩ් ආර්ට් ... ඇලර්ජි ... හාල් මැස්සෝ ... පරිප්පු ... රහස් ... වටලප්පම් ... මේකෙ පොස්ට් කීයකට කතන්දර තියෙනවද කියම මම මේ නිකමට කල්පනා කරේ :-D

    ReplyDelete
    Replies
    1. ලෙඩ දාන්න එපා කණ්ඩා. ඔයාලා ඔහොම කිව්වම මටත් ඒ වගේ කල්පනාවල් පහළ වුනොත් කල්ප විනාශේ වෙයි පංච තන්තරේ ඉවර වෙද්දී.

      Delete