අකුරු මැකී නෑ

Wednesday, July 24, 2019

හරෝහරා! - තෙවෙනි කොටස


අං දේවාලයේදී පුද සිරිත් ඉටුකොට............ (foto- නෙවිල් අනුරසිරි)
“මාමේ අපේ පරම්පරාවල හැමෝම ජීවත් වෙන්නේ කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරස්සාවෙන්. උන්නාන්සේට පිං අයිති වෙන්න ඕනේ!” හිච්චි පුතා කිව්වේය. 

“.... නැද්ද දෙනෙත්? කට වහගෙන ඉන්නේ, බොලාත් දන්නා දේ කියහන්කො. මොකෝ උඹලා ජීවත් වෙන්නේ වෙන විදිහකින්ද? මාමේ, මේ ඉන්නේ මගේ පවුලගේ අක්කගෙ පුතා. එයාලත් කිරි වෙහෙර ගාව මල් කඩයක්මයි කරන්නේ, මං වගේම.”

“මල් කඩ නොකෙරුවට මටත් සේරම දේවල් දීලා තියෙන්නේ කතරගම දෙවියොන්ම තමයි මාමේ.” ඒ නඩේ අයගෙන් ඉස්සෙල්ලාම මට ‘මාමා’ නම දුන් ඉන්දිකත් අලගු තිබ්බේය.

ඉන්දික සරුවට ටුවරිස්ම් කරයි. ඉන්නේ කළුතරය. 27 වෙනිදා හැන්දෑවේ, කුඩා කැබිලිත්ත දේවාලය අද්දරදී අප දෙගොල්ලම හිටියේ එක ළඟින්මය.

43 වතාවක් පාදයාත්‍රාවේ යෙදි තිබෙන ශිවසාන්ද්‍ර ස්වාමිතුමා.......
“හිච්චියි මායි ආස්සරේ කරන්නේ අවුරුදු දහයකටත් එහා ඉඳලා. අපි ඔකඳ දේවාලේ ගාව බනිස් දන්සලක් දුන්නා පාද යාත්‍රාව පටන් ගන්න දවසේ. රුපියල් විසිපන්දාහකට වැඩිය වියදම් කරලා. ඒකට උදව් වෙච්ච තව කට්ටිය අපිත් එක්ක මේ ගමන එන්නයි හිටියේ. 
උන්ට පින නැහැ මාමේ. මෙහෙම ගමනක් එන්නත් පින තියෙන්න ඕනේ. අපි හත් දෙනා ආවා.... පින තියෙන අය.”

කතරගමින් හිච්චි, දෙනෙත්, හිරූ තුන්දෙනයි, අලුත්ගමින් භානියි, කළුතරින් ඉන්දික, සුජී, තිලක් කියන අයටය, හත් දෙනා කිව්වේ. 
පාද යාත්‍රාවේ දෙවෙනි දවසේ හිමිදිරියේ හිට ගමන අවසන් වෙන තුරුම ඒ හතයි, අපේ පහයි; දුසිමම Fantastic Twelveය.

අපේ දුසිමත් එක්කම මේ වතාවේ ස්කන්ධ කුමාර බැතිමත්තු 27,630 දෙනෙක් පාද යාත්‍රාවේ යෙදී තිබෙති. පළමුවෙනි දවසේ කුමන පිවිසුමෙන් ඇතුළුවන අයට වේගයෙන් ආවත් කටගමුවට එන්නට තෙදිනක් ගතවෙයි.     

යාල කටගමුව දොරටුවෙන් පළමු පාද යාත්‍රිකයන් පිටවී ඇත්තේ ජුනි 29 වෙනිදා, ගමන අරඹා දෙදිනකට පස්සේය. එදින පිටවී ඇත්තේ 22ක් පමණකි. 
ජුලි 8 වෙනිදාය, පාද යාත්‍රික වන්දනාකරුවන් වැඩිම සංඛ්‍යාවක් කටගමුවේ දොරටුවෙන් පිටව තිබෙන්නේ. ගණන 3,887කි.

කිසිම කෙනෙක් කාගේවත් ජාතිය, කුලය, වරිගය, ජන්මය හෙව්වේ නැත. එකා වගේ........
ඒ විසිහත්දහස් ගණනම මේ ගමන ගියේ එකා වගෙය.

කිසිම කෙනෙක් කාගේවත් ජාතිය හෙව්වේ නැත; කුලය බැලුවේ නැත; රස්සාව තරාතිරම තැකුවේ නැත! සොබාදම් මාතාවගේ අසිරිය විඳිමින්, පැදුරක; ඉටි කොළ තීරුවක වැතිරී ගහක් යට-රුක් හෙවණක නිදාගත්තා විතරය. ගමන පුරා හැම කෙනෙකුටම ශාරීරික අවශ්‍යතා; බහිස්ස්රාවී කටයුතු කරගන්නට වුණේ අකුලකට රිංගලාය!

‘හරෝහරා - 2’ පෝස්ටුවට පළමු කමෙන්ට් එක දමමින්, රසික Pra Jay හයිජින් එක කොහොමදැයි අසා තිබුණේ මේ නිසා විය යුතුය.

මෙතැනදී මඩමේතොට හෙවත් කුඩා කැබිලිත්ත ගැන යමක් කිව යුතුය. 

පසුගිය තුන් වතාවේදීම මා දුටු දෙයකි. එතැන පාරෙන් එක පැත්තක් කාන්තාවන්ගේ කැසිකිළි කටයුතු සඳහාය. අනෙක් පැත්ත පිරිමින්ටය. එහෙම කිව්වාට ඒ බවට බෝඩ් ගහලා තිබුණේ නැත! පරම්පරාවෙන් පරම්පරාවට එන පුරුද්දක් වෙන්නැතිය.

කුඩා කැබිලිත්ත හෙවත් මඩමේතොට දේවාලය ළඟදී දුටු දෙයකුත්...................
කොමොඩ්ස්වලටම හුරුවී ඉන්නා අය අකුලක් යට උක්කුටිකයෙන් වාඩිවී හිඳිද්දී මොනවා හිතන්නට ඇතිද?

මොනවා හිතුවත් කමක් නැත. එක අතකට පාද යාත්‍රාව මහා පරිසර දූෂණයකි! ඉස්සර මිනිසුන් සේරම බඩු දමාගෙන ආවේ ඔලොගුවලය. 
මට තවම මතකය. ඒ කාලේ සතියකට වතාවක් ‘කූපන් පොතට’ දුන් හාල් සලාකය ගෙනෙන්නට අපේ සුනිල් සමූපකාරයට ගියේ ගලවාගත් කොට්ට උරයක් අරගෙනය. 

ඉස්සර වහරේ ‘කොක්කන පයිය’, ‘බුලත් පයිය’ කිව්වේ රෙදිවලින් හැදූ මල්ලකට නේද?

දැන් වැඩේ ලෙහෙසිය. එක-එක පන්නේ ෂොපින් බෑග් ඕසෙටය. ඔලොගුව විස්ථාපනය වෙලා පොලිතින් ආදේශවෙලාය. 
පොලිතින් තහනම ‘තහනම් වෙලා’ වගෙය. දැන් කාටවත් ඒ ගැන වගේ  වගක් නැත!

පාදයාත්‍රිකයන්ගේ කසල දමන්නට හුරුබුහුටි ඇසුරුම් තැන්-තැන්වල අටවා තිබුණත්..........
මේ වතාවේ පාද යාත්‍රාවේ යෙදෙන පාර දිගටම අපූරු ඇටවුම් ටිකක් තැනින්-තැන තියා තිබිණි. ඒ නොදිරන කුණු දමන්නටය. LINEA AQUA හා JK ගාර්මන්ට්ස් එකට එකතුවී මේ කසල බහාලුම් තැන්පත් කර තිබුණත් ඒක පයිසෙකටවත් මායිම් කළ පාටක් තිබුණේ නැත. මේ ෆොටෝ දෙක මං ගත්තේ කුඩා කැබිලිත්ත දේවාලය ළඟදීය; 28 වෙනිදා පාන්දරය!

අනේ කතරගම දෙයි හාමුදුරුවනේ, සහෝදර ගණ දෙයියනුත් එක්ක කතා වෙලා හරි කමක් නැහැ, මේ අයට නුවණ දෙන project එකක් පටන් ගන්නකෝ! ඔබ වහන්සේ අතින් පරාජය වුණු තාරක අසුරයා කළාට වැඩි විනාශයක් ‘පොලිතින්-සිලි බෑග් හතුරා’ ලෝකයට කරමින් සිටියි!

එවැනි විපතක් කුමන, යාල වනෝද්‍යාන දෙකටත් සිදු වෙද්දී, අලුත් හිතවතුන් ගොඩාරියක් ගමන පුරාවට හිතවත් වුණෝය. 

ඇල්පිටියේ කුරුඳුගහහැතප්මෙන් ආ කසුන් ප්‍රියලාලුත් එහෙම ආවෙකි. එයාගේ ෆොටෝස් ගොඩකුත් මේ බ්ලොග්ස් ටික හැඩ කරයි! ඔන්න, ස්තුතියි කසුන්; යහළුවන්ටත් එක්කම.

කසුන්ලා ඇවිත් හිටියේ මුහුණු පොතෙන් මිතුරුවූ කිහිප දෙනෙකුත් එක්කය.

කසුන් ප්‍රියලාල්, සචිත් සමුදිත, රෝහිත හිස්සැල්ල ඇතුළු නඩයත් ඇවිත් හිටියේ...........
කොච්චර පිරිසක් ආවත්, ටික දුරක් යද්දී නඩය කට්ටි ගොඩකට කැඩෙයි. අප වුණත් එහෙමය. හයි-හත්තිය, වේගය ඇති අය පය ඉක්මන් කරති. එහෙම ඉස්සරවී යන්නේ ටික දුරක් විතරය. ගිහින් කරන්නේ රූස්ස ගහක් හෙවණේ වාඩිවී-හාන්සිවී අනෙක් අය එනතුරු විඩා සංසිඳවා ගැනීමය.

ඒ හැමෝමත් අඩු නැතිවම බර-බද්දල්, බඩු-මලු එල්ලාගෙනය. මෙන්න මෙතැනදී නම් සිංහල, දෙමළ පාද යාත්‍රිකයන්ගේ පැහැදිලි වෙනසක් දැකගන්නට පුළුවන්ය. විස්තර කියන්නට ඕනේ නැත. ෆොටෝ බලන්න! බර ගෙනියන විදිහ. ඇඳුම්වල පාට.

ඒ අතින් බලද්දී, දමිළ බැතිමතුන්ගෙ ජානවලින්ම මේ දැනීම අරගෙන එනවා වගෙය.

පළමු වතාවේ අප පාද යාත්‍රාවේ යන බව ඇසූ අයස්මන්ත පීරිස් මහත්තයාගේ හිතවත් දමිළ යුවතියක් ඔහුට තිළිණ කර තිබුණේ ‘රතු පාට වේට්ටියකි’. එය අපටත් පෙන්නා, ඔජ වඩා; අගේ කර; ඇඳලාත් පෙන්වන්නට ගිහින් පීරිස් ‘බුදු සාදු’ කෙනෙක් වුණේය.

 කැලයකදී රතු පාට හෝ ගුරු පාට හෝ ඇඳුමක් ඇඳගෙන සිටීමෙන් වාසියකුත් ලැබෙයි! 
රස කතාව කලින් පෝස්ටුවක ලිව්වේ, මේ විදිහට පාද යාත්‍රා ගැන පෝස්ටු පෙළක්ම ලියවෙතියි නොහිතූ බැවිනි.

වනයේදී රතු හෝ ගුරු පැහැති රෙදි-පිළියෙන් සැරැසුණු කෙනෙකු ඈත තියාම වුවද තවෙකෙකුට පෙනෙයි. සතෙකුට වුණත්.... එවිට එවැන්නෙකු මඟ හැර යාමට පහසුය. බැතිමතුන් නම් රත් පැහැ ඇඳුම් අඳින්නේ කතරගම දෙවියන්ගේ වස්ත්‍රත් ඒ පාට නිසාලු!

“කැළේකදී මිනිස්සු සත්තුන්ට බය වෙනවට වැඩිය වෙන්නේ සතුන් මිනිසුන්ට බය වෙන එක. මිනිස්සුන්ව දැක්ක ගමන් උන් හදන්නේ මඟ හැරලා යන්න.” වනජීවී නියාමකවරයකු ලෙස සේවය කළ චන්දන දිසානායක රතුපාට ඇඳුම් ගැන පහදා දෙමින් වරක් අපට කියා දුන්නේය. 

පළමු වතාවේ අපේ ගමනට උපරිම සහයෝගය ලබා දෙන්නටත් චන්දනට හැකිවිණි. එතකොට එයාත් කුමන ඩියුටිය!

අපේ පළමු ගමනේදී උදව් කළ චන්දන දිසානායකත් එතකොට ඩියුටි කළේ කුමනය. 
කිහිප වතාවක්ම කුමන වනෝද්‍යානයේ සැරිසරා තිබුණත්, කඳවුරු ලාගෙන සිට තිබුණත් ඒ වෙලාවල අප ගියේ වනජීවී නියාමකවරයෙකු; guide කෙනෙකු එක්කය. 

පළමු වතාවේ පයින් යද්දී අප කුරුලු පාරාදීසයට; කුරුලු අභය භූමියට එනවිට කිසිම කෙනෙක් පෙනෙන්නට හිටියේ නැත. එතැනින් පාර දෙකට බෙදෙයි. යා යුත්තේ කොයි පාරේදැයි අපි නොදත්තෙමු!

“කෙළියා නේද තාප්පෙටම? උඩ පාරේද යන්නේ... පල්ලෙහා පාරෙද?”
“මට නං මතක පහළ පාරේ වගෙයි.”
“නෑ නිමල් අයියේ උඩ පාරේ...”

“ෂුවර් නැතිනම් එක පාරකවත් ගිහින් පරිප්පු කන්න බැහැ, තව මිනිස්සු එනවනේ... පුරුදුකාරයො ටිකක් එනකල් ඉඳලා follow කරමු.” 
එතකොටමය අපට පාර පෙන්නුවේ! ඒ රතු ඇඳුමකි. පහළින් තිබුණු පාරේ හොඳටම ඈතින් රතු ඇඳුමින් සැරසුණු දෙන්නෙකු යනවා පෙනිණි

කෙළියා නේද තාප්පෙටම? කොයි පාරද හරි?
“දැක්කනෙ... රතු එකක් ඇඳගෙන එන එකේ තවත් ප්‍රයෝජනයක්... සාදර අනුග්‍රහය අයස්මන්ත පීරිස්. ටිං ටිං!”

“ගිහින් ටිං ටිං කියහං වාසන් එකේ කෙල්ලට.... මේකා හරියට කියලා ඉල්ලා ගත්ත වගෙයිනෙ!”

රසික පාඨක ප්‍රසන්නත් නිරතුරුවම පංච තන්තරේ පෙරළයි. කමෙන්ට්ස්සුත් දමයි. පහුගිය පෝස්ටුවට කමෙන්ට් එකක් දැමූ ප්‍රසන්නට මං කිව්වේ හරෝහරා ලිපිවල ‘මෙච්චර හීන් විස්තර’ වැල්-වටාරම් එක්කම ලියන්නේ කොහොමදැයි කියන රහස අද හෙළිකරන බවය.

අවුරුදු හයකට පස්සෙත් මෙච්චර හොඳට මේවා ලියන්නේ මගේ ‘හරෝහරා’ අමුද්‍රිත පිටපතට පින් සිදු වෙන්නටය. 

2013 පළමු ගමන ගිහින් ආවාට පස්සේ එය ලිව්වෙමි. නොසෑහෙන්නට මහන්සිවී කරුණු හොයලාය මං ඒ කාරිය කළේ.

ධම්මිකා, උදයංගනී අක්ක නඟාලා දෙන්නම ඒ පොත ටයිප් සෙටින් කරලාත් තිබිණි.........
මල්ටිපල් මයෙලොමා ලෙඩේ ඒකට ලෙඩේ දැම්මේය.

ඒකෙන් වැඩිපුරම පාඩු වුණේ ධම්මිකා-උදයංගනී සිරිවර්ධන අක්ක-නඟාලටය. මගේ අත්පිටපත මහන්සිවී ටයිප් සෙටින් කළේ එයාලය. ඒ මහන්සිය අපතේය. ඒකට සල්ලි දුන්නත් ගන්නේ නැති එයාලාට මෙහෙමවත් ස්තුතියක් කරන්නට හැකිවීමත් ලොකු දෙයකි! ස්තුතියි!!!

2000 වසරටත් ඉස්සර දවසක අපි අහම්බෙන් ගල්ඔය ජාතික වනෝද්‍යානයේ පාලක පුෂ්පානන්ද මහත්තයා එක්ක කතාවට වැටුණෙමු. 

අපිය කිව්වේ වල් ප්‍රියන්ත ඇතුළු අපේ නඩයයි. 

“ප්‍රියන්ත, ඔයාලට යන්න පුළුවන් නම් ගිහින් බලන්න ලස්සන තැනක් කියන්නම්. කුඩා කැබිලිත්ත. හැබැයි LTTE කරදර හින්දා කුමන වහලා තියෙන්නේ. බංගලා හිට කඩලා, ගිනි තියලා... වල් වැදිලා. පොඩි කාලයක් නෙවෙයිනේ. Risk එකක් අරන් යන්න කැමතියි නම් ගිහින් බලන්න.... ඔකඳට නම් මිනිස්සු යනවා එනවා. ඒත්... ”

කඳ සුරිඳුන් රත්තරන් ඔරුවකින් සිරිලකට පැමිණ ගොඩ බැස්සේ  ඔකඳ මුහුදු වෙරළට කියා අදහනු ලැබෙයි!
පුෂ්පානන්ද මහත්තයාගේ විස්තරය ඇහුණු ගමන්ම ‘මදාවි’ අපට ඕනෑ වුණේ එහාට යන්නටය. මට හොඳටම මතකය. බාගුරේ කලපුවෙන් එපිට තැනකදී රූස්ස ගහක් පාරට වැටී ඉස්සරහට යන්නට විදිහක් නොතිබුණු තැන, අප කළේ පඳුරු කපා දමමින්, වටයකින් යෑමය. එහෙම යද්දී LTTE නායකයෙකු ඇතුළු පිරිසක් මඩමේතොට දේවාලයේ පූජාවකය!

ඊළඟට අපේ ගමන් නඩවල ඉන්නා බවලත් උදවියටත් ඒ ත්‍රාසජනක අත්දැකීම විඳගන්නට ඕනෑ විණි. ඉතින් 2001 වෙසක් දවස් තුනේ අපි කඳවුරු ලාගෙන හිටියේ කුඩා කැබිලිත්තේය. ඒ ගමන යද්දී නොදැනුවත්කම නිසාත්, ඇට්ටරකම නිසාත් කරවල, මාළු, හරක් මස් ජාති තුනම අරගෙනය ගියේ. ඔකඳ දේවාලයටත්.

“අර මනුස්සයෙක් කිව්වා නේද මෙහාට එනකොට පේ වෙලයි එන්නේ කියලා. ඔන්න නිමල්, අපිට නං ඔව්වා උයන්නත් බැහැ, කන්නත් බැහැ. විසි කරලා දාන්න.” ප්‍රියන්තලගේ අම්මා කීවාය. “නැතිනම් ඔයාටම උයල දෙන්නයි වෙන්නේ!”

නෙවිල්, ප්‍රියන්තලගේ අම්මා සහ හරිශ්චන්ද්‍ර කුඩුම්බිගල ආරණ්‍යයේ සිට එද්දී............
මං කළේ නයාත් නොමරා, පොල්ලත් නොකඩා ප්‍රශ්නය විසඳීමය; මස්-මාළු ශාලාවක් ඇතුළටවත්, කුස්සියකටවත් නොගෙන එළියේ හදාගත් ළිපක ඉවූ එකය. ඒ වතාවේ අපට දඬුවමක් ලැබුණේ නැත. 
දෙවියන් වුණත් දඬුවම් කරන්නේ කල්-යල් බලලා වගෙය! 
“නියම ට්‍රිප් එක. ලබන අවුරුද්දෙත් එමු.... කිසි කෙනෙක් එහාට එන්නෙත් නැහැනේ. අපේ පාඩුවේ අපි...”

2002 වෙසක් එකටත් එතැනටම යන්නට කතිකා කෙරුණේ අප ආපසු එන ගමනේදීය!

කවුරුන්වත් ඒ යෝජනාව අමතක කළේ නැත. 2002 වෙසක් දින කිහිපයත් අප ගත කළේ කුඩා කැබිලිත්තේය. 

කලින් වතාවෙ අත්දැකීම් හින්දා ගමන වඩාත් හොඳින් සංවිධානය කෙරුණේය. එහෙම වුණත් නොහිතූ මරාල කඩා වැටෙන තරමක් කඩාපාත් වුණෙත් ඒ වතාවේය.

“ගුණේ.... තරහ නැතිව මේ පාරත් අපිට පානම ඉඳලා ඔකඳට යන්න ට්‍රැක්ටර් දෙක තුනක් ඕනේ වෙනවා. බස් එක පානම දාලා යන්නේ, ගිය සැරේ වගේම...” මම ගුණසේකර ගුණසෝමට කිව්වෙමි. (ඔහුගේ පොත් කිහිපයක්ම අච්චු ගැහුණේ මා වැඩ කළ ප්‍රෙස් එකේය.) ගුණේ පානම වැසියෙකි.

මේ වතාවෙ වෙසක් එකටත් කුමනම ගිහින් කෑම්පින් කරමු!
මඩමේතොටටම යන්නට හැදුවත් ඒක බැරිවිණි. “රෑට දේවාලේ ශාලාවක ඉඳලා උදේ යමු!”

ඔකඳ දේවාල භූමියේ ගත කළ ඒ රාත්‍රියේ අපට කෑම කන්නට වුණේ වැලිත් එක්කය. ඒ තරමට හුළං හැමුවේය. අපටත් එක්ක අරෝවට වගෙය. හැලි-වළංවල වහුන් අරිනකොටම හුළං හමයි. බඳුන පුරා වැලිය; කෑම බෙදාගත් පිඟාන පුරා වැලිය.

ඒ කට්ට කාගෙන මඩමේතොට දේවාල භූමියට ගිහින් එතැන කූඩාරම් අටවා ගත්තෙමු. කලින් වතාවේ නොහිටි මදුරු හමුදාවක් නිරන්තරයෙන් අපට වධ දෙමින්, දෂ්ට කරමින් යමපල්ලෝ වූහ. ලොකුම පව පළ දුන්නේ ආපහු එද්දීය. අපේ ඇඟ කසන්නට පටන් ගත්තේය. කොච්චර කැසුවත් ඇතිවිල්ලක් නැත. ට්‍රැක්ටර් රියදුරන්ට ඒ විපත්තිය නැත. අපට විතරය.

උඩින් තියෙන ෆොටෝ එකේ වම් කෙලවරේ ඉන්නා ප්‍රසන්න (නදී)ගේ බිරිය සිටියේ පළමු දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙනි. “මට ගෙදර නවතින්න බැහැ... මටත්  යන්නම ඕනේ.” එක පයින් කියා හිටි උදේනිත් ගමනට ඇවිත් හිටියාය. (හරි හුරතල් විනාකිරි සංග්‍රාමය ලියැවුණේ ඒ දරුවා; චනුල් නේනුක හින්දාය.)

අව්වට කැකෑරි-කැකෑරී තියෙන මේ මඩ වතුරෙන් ඇඟ තෙමාගන්න?
“මහත්තයෝ අර මනුස්සයා පව් හින්දයි කියන්නේ.... අර වතුරෙන් ඇඟ තෙමාගන්න කියන්න...” ට්‍රැක්ටර් කණ්ඩායමේ ලොක්කා මඩ වගුරක ට්‍රැක්ටරය නවත්තා කිව්වේය. “මේ මඩ වතුරෙන්?”

උත්තරය ලැබුණේ හිස සෙලවීමෙනි. අපේ හැම කෙනාම වගුරට දිව්වේ තරගයටය. වතුර මඩ වුණාට මොකද එවෙලේ නම් හොඳ ඔසුවක් වුණේය.

පානමට ඇවිත් ට්‍රැක්ටර්වලට සල්ලි ගෙවද්දී ලොක්කා රහසින් මට මිමිනුවේය.

“මහත්තයෝ මේක දෙයියන්ගෙ අඩවිය. අවකැපෙන කතා කිය-කියා මෙහෙ ගමන් යන්නේ නැහැ. එදා ගමන යද්දීත් දැක්කනෙ.... කීයටද ඔකඳට යන්නේ කියලා ඇහුවා.... ගියාද වෙලාවට... ඒ වගේම මහත්තයලා මොකක් හරි ලොකු වැරද්දක් කරන්න ඇති දෙයියෝ දඬුවම් දුන්නේ. මස්-මාළු-කරවල හෙම....?”

ගිය වතාවේ මදුරුවන්වත්, වල් දඹලවත්, තද හුළඟවත් අපට වද නොදුන්නේ ඇයි?
“..... මහත්තයලගේ ඇඟවල් කසන්න ගත්තේ වල් දඹල හින්දා. මේ කාලෙට ඒවායේ කරල් වේළිලා තියෙන්නේ. ඒ බූවට කසනවා.... හුළඟෙයි බූව ගහගෙන එන්න ඇත්තේ.....”

අදටත් මට උත්තර නැති ප්‍රශ්න කිහිපයක් තියෙයි. 
   1. ඒ වල් දඹල බූව නිසා නම් ට්‍රැක්ටර් රියදුරන්ට කැසිල්ල බෝවුණේ නැත්තේ ඇයි? 
   2. කලින් වතාවෙත් අප ආවේ වෙසක් දිනවලමය. ඒ වතාවේ මෙහෙම වල් දඹල හැදී තිබුණේ නැතිද? 
   3. මදුරුවන් හා වැලි සුළං ගැනත් අහන්නට තිබෙන්නේ ඒකමය.

“මාමා, ඔයා හිතනවද මෙහෙම කැළේ මැද්දෙන් විසි-තිස් දාහක් දෙනා පයින් යද්දී සතෙක්-සර්පයෙක්ගෙන් හිංසාවක් නොවෙන්නේ නිකම්මය කියලා.... නෑ මාමේ. දෙයියනේ කියලා නැකතට කප් හිටවනවා කියන්නේ, පෙරහැර පවත්තලා අවසාන වෙනකල් මේ වනන්තරේ ඉන්න සතා-සීපාවගේත් මුඛ බඳිනවය කියන එක...” හිච්චි මහත්තයා කියයි. 

තුන්සිය හැටපස් දවසෙම මේ අඩවියේ කරක් ගහන හිච්චි එහෙම කියන්නේ නිකම්මත් නොවේ.

නැකතට කප් හිටවනවා කියන්නේ මේ අඩවියේ වන මුරුගයන්ගේ මුඛවලුත්...........
“හැබැයි මාමේ... අපට හැම දෙයක්ම තේරුම් කරලා කියා දෙන්න බෑ. ඒවා ඔයාලම වටහාගන්න ඕනේ...”

“දරුවා.... දෙවියෝ ඉන්නවද... දැකලා තියෙනවද.... කියලා හෙව්වට වැඩක් නැහැ. කාට හරි කතරගම කන්දස්වාමි උන්නාන්සේව දර්ශනේ වුණත් ඒවා කාටවත් කියන්නෙ නැහැ. මොකටද කියන්නේ? දැන් ඔයා මෙතැන ඉන්නවා, උන්වහන්සේට ඕනේ නම් විතරක් දර්ශනය වෙයි. මුරුගන් ඔයාගේ සර්වන්ට් කෙනෙක් නෙවෙයිනෙ, ඔයා ඉල්ලනකොටම ඉස්සරහට එන්න!” ශිවසාන්ද්‍රි ස්වාමි කියන්නෙත් හිච්චි කියන කතාවම වගෙය.

ශිවසාන්ද්‍රි ස්වාමි පසුගිය වතාවල්වලදිත් දැක්කා මට මතකය. ඒ හින්දාමය, කුමන පිවිසුම අසලදී මං එතුමාව කතාවට අල්ලාගත්තේ. “මට දැන් අවුරුදු හැත්තෑදෙකක් දරුවා. 1968 පාද යාත්‍රා කරන්න පටන් ගත්තේ.... මේ 43වෙනි සැරේ...”

ඔයාට පෙනෙන්න එන්න කියලා කියනකොටම දර්ශනය වෙන්න දෙවියෝ ඔයාගේ සර්වන්ට් කෙනෙක්ද?
එතුමා අපට ආශිර්වාද කොට තුන්නූර් නළලේ තැවරුවේය. “ඔයාට කතරගම දෙවිහාමුදුරුවන්ව පෙනුණත් අඳුනාගන්න පුළුවන්ද දරුවා.... සමහර වෙලාවට දෙවියෝ දර්ශනය වෙන්නේ ඔයා හිතේ මවාගෙන ඉන්න කෙනා විදියටම නොවෙන්නත් පුළුවන්...” එදා නින්දට යද්දිත් මගේ දෙසවනේ දෝංකාර දෙමින් තිබුණේ ශිවසාන්ද්‍රි ස්වාමි අන්තිමට ඇසූ ප්‍රශ්නයයි! ඒ එක්කම තවත්.....

ඇත්තටම අපට දෙවියන් හඳුනාගන්නට පුළුවන්ද? දෙවියන් දර්ශනය වෙන්නේ එකම වේශයකින්ද?

14 comments:

  1. Interesting!, some questions has no answers, some questions better not to ask. One thing is sure, there are things science can't explain.

    ReplyDelete
  2. //අකුලක් යට උක්කුටිකයෙන් වාඩිවී හිඳිද්දී මොනවා හිතන්නට ඇතිද?//
    නිමල්ට අර පොඩි කිනිතුල්ලො එක්ස්පීරියන්ස් එක ලැබුනේ නැද්ද? ඔය කැලේ කඩිත් හරියට ඉන්නවා.
    මං පාදයාත්‍රා කාලෙ නම් ගිහිල්ලා නැහැ. ඊට මාස 1 1/2 විතර පස්සෙ කෑලේ මැද්දෙන් ලේනමට ඇවිද්දා, යන්න හා එන්න පැය 6ක් විතර ගමන. සුමාන දෙකක් විතර කිනිතුල්ලො බයිට්

    ReplyDelete
    Replies
    1. Pra Jay, කිනිතුල්ලෝ වැඩේ නම් මට වැඩිපුර බලපානවාමයි, ඔය වගේ ගමන්වලදී. මං දන්න විදිහට - මගේ ඇඟේ ලේ උණුසුම් නිසා මට මැසි-මදුරු දෂ්ටයන් වැඩියි. ඒ මදිවට උන් හපන තැන්වල ගෙඩි ගැහෙනවා, කසනවා. එහෙම කරදර තිබුණත් ඉතින් නොයා ඉන්නය?
      පාද යාත්‍රා කාලේදී පෑවිල්ල, ඊටත් මාස කිහිපයක ඉඳලාම.
      දැන් නම් හිතිලා තියෙන්නේ ලේනමටත් ගිහින් බලන්නම!

      Delete
  3. කතරගම පාද යාත්‍රා ගමනේ කතාවල් ඇහුවාම ඒකට යන්න ආසා හිතෙනවා. ඉස්සර ඔය ගමනට 'සිංහල' දේව භක්තිකයෝ කවුරුවත් ගිය/යන බවක් අහලා තිබුනේ නැහැ. ඒ තියා වර්තමානයේ බොහොම ප්‍රසිද්ධ කුඩා කැබිලිත්ත උනත් ඒ කාලයේ වැඩි දෙනෙක් දැනගෙනවත් හිටියේ නැහැ කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සෑම්, මං කියන්නේ එක වතාවක් හරි ගිහින් බලන්න කියලයි.
      ඉසර විතරක් නෙවෙයි දැනුත් සිංහල අය යන්නේ හරි අඩුවෙන්. 5% ක්වත් නැති තරමයි.
      කැබිලිත්තට, මදමෙතොටට අපේ අය වැඩිපුර යන්නේ දෙවියන්ගෙ පිහිට කුට්ටි පිටින් ඉල්ලාගන්නනේ!

      Delete
    2. දෙවියන්ගේ පිහිට කුට්ටි පිටින් ලබා ගන්නවා කිව්වාම කතාවක් මතක් උනා. කෝටිපති බිස්නස් කාරයෙකුගේ ව්‍යාපාර පාඩු වීම නිසා ඒ ගැන යාඥා කරන්න පල්ලියට ගියාලු. ඔහු යාඥා කරන විටම එතනට ආපු දුප්පත් මනුස්සයෙකුත් ඔහුගේ උවමනාවකට රුපියල් දාහක් ලබා ගැනීමට හැකි වේවා කියලා යාඥා කලාලු. මේක අහපු/දැකපු පොහොසතා, වහාම අර මිනිහාට රුපියල් දාහක් දීලා පල්ලියෙන් එලියට යැව්වාලු. ඉන්පසුව අල්තාරය දෙසට හැරී My lord, may I have your undivided attention now, කියලා කතාව පටන් ගත්තාලු. අන්තිම වාක්‍යය හුදු හෙළුවෙන් වනනවාට වඩා ඔරිමජිනල් කියමන පැහැදිලි නිසා ඒක පරබසින් වැනුවා.

      Delete
    3. ෂෝක් කතාව! undivided attention නිසාමයි වැඩියම රසවත්.

      Delete
  4. අයියල ඔකද ගියපු අවුරුදු දෙකේම කාලගුණය එක වගේද?
    1 ප්‍රස්නයට උත්තරේ 3 ප්‍රශ්නයේ තියනව මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. මධු, ඒ දේවතාවෙ විතරක් නෙවෙයි ඊට පස්සෙත් දෙවතාවක් වෙසක්වලට අපි එහෙ ගිහින් තියෙනවා. හතර වතාවෙම වැස්ස නැහැ, වියලිව තිබුණේ. මදුරුවෝයි, වල් දඹලයි වදදුන්නේ දෙවෙනි වතාවේ විතරයි. එකයි පුදුමේ!

      Delete
    2. ඔව් මධු, කෑම කන්න නොදී හුළඟ දාපු දඟයක්!

      Delete
  5. ටැට්ටර් රියදුරන්ට කැසිල්ල හැදුනෙ නැත්තෙ ඒ මිනිස්සු ඒකට හැඩ ගැහිල නිසා වෙන්න පුලුවන්.

    පොලිතින් කේස් එකනං සෑහෙන්න දරුණු වැඩක්. කැලේට ඇතුල් වෙන්න ඉස්සර ඒව චෙක් කරන්න ක්‍රමයක් යොදාගන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. දැනගත් හැටියට නම් ප්‍රසන්න, පාද යාත්‍රාව ඉවර වුණාමත් සමහර අය පොලිතින් එකතු කරනවලු. සිරීපාදේ වගේ, මිනිසුන්ගේ ආකල්පනේ වෙනස් වෙන්නේ නැත්තේ මහත්තයෝ.

      Delete