අකුරු මැකී නෑ

Sunday, July 7, 2019

දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස

“ස්ටැන්ලියාත් පොඩිපහේ මැරෑටියෙක් නෙවෙයි අම්මපා. අපේ ගෙදරට එනකල් ඌ නෙවෙයිලු අම්මලා එක්ක කටක් ඇරලා වචනයක් කියල තියෙන්නේ. අපේ ගුණේ තමයි ගානෙන්-ගානෙන් උගේ කට ඇරෙව්වේ.”

අපේ මහරගම ආච්චී කතන්දර කියන්නට හරිම හපනියකි!
කතන්දර කීමේදී අපේ ආච්චී පෙන්නූ කුසලතාව එසේ-මෙසේ එකක් නොවේ. ටැයියාගේ කතාව අප දැනගත්තේ පස්සේ දවසක වුණත් එදා සිද්ද වුණු දේවල් ඉස්පිල්ලක්-පාපිල්ලක් නෑර ආච්චී අපට කීවාය. 

“...ඉතින් නුගේගොඩ ගෙදර ගෑනි උඹලගේ තාත්තයි, මායි එක්ක නහයෙන් ඇඬුවා.”

“..... අනේ තරහවෙන්න එපා මයියොක්කාච්චියෙ. කවුද දැනගෙන හිටියේ මුන් තුන්දෙනාම එකට පැනල යන්න හදන විත්තියක්.... මේ කාලකන්නියත් ගොළුවා වගේ උන්නා මිසක් කටක් ඇරියේ නැහැනේ.”

“ස්ටන්ලිලගේ අම්මේ, දැන් කෑගහන්න ගියාම වෙන්නේ පුතණ්ඩියා තවත් මුරණ්ඩු වෙන එක. අපේ උන් දෙන්නා මළාය කියලා දානයක් දෙන්නයි දැන් මට ඕනේ.... ගිය උන් ගියාවේ කියල මට හිත හදාගන්න පුළුවන්. කොහෙද.... අපේ අම්මයි, ලීලයි දෙන්නා උන් දෙන්නව හොයන්න යන්නනේ හදන්නේ. මම නෙවෙයි අඩියක් එළියට තියන්නේ...” 

ඩී.එච්. ගුණපාල තීන්දුව දීලා තිබුණේ එහෙමය.

........... පෙන්ගුයින්ලාටත් වැඩියෙන් උණු වෙලා තිබුණේ ටැයියාටය.
උත්තරධ්‍රැවයේ ඉන්නා පෙන්ගුවින්ලාට වුණත් හිම දියවී යද්දී උණුවෙනවාලු. අපේ තාත්තාගේ දරදඬු කතාව හින්දා ස්ටැන්ලිටත් නොසෑහෙන්නටම උණුවෙලාය.

“ගුණපාල මාමේ. මං දන්නවා රංජිලා ගියේ කොහාටද කියලා. අම්මලාට කියන්නකො මට බස් එකට සල්ලි දෙන්න කියලා. මං ගිහිල්ලා රංජිවයි සුනිල්වයි එක්කන් එන්නං...” 

ඒ මෝලා අපේ තාත්තාව හරියට අඳුනාගෙන ඉඳලා නැත. ටැයියාට මොළේ කළඳක් නැති වුණාට අපේ තාත්තාට එහෙම නොවෙයිනේ!

“ළමයෝ, ඔය ළමය එහෙ ගිහින් ආපහු ආවේ නැතිනං ඕගොල්ලන්ගේ අම්මලාට ස්ටැන්ලි කෙනෙක්ව හදන්නයි මට වෙන්නේ..... අපේ එකාලා හොයාගෙන යනවා නම් යන්නේ ලීලා ඇන්ටියි, ආච්චියි විතරයි. එහෙම යන්නෙත් උන් දෙන්නා ගියේ කොහාටද කියලා ඔය ළමය කිව්වොත් විතරයි..... මොකද කියන්නේ? තැන කියලා යාළුවො දෙන්නව බේරාගන්නවද... නැතිනං....”

ලාල් කැලයේදී වලසෙකුගේ ප්‍රහාරයට ලක්වී............
ඒ වේලාවේ නම් ටැයියා හොඳටම අමාරුවේ වැටුණා වෙන්නට ඇතිය. ගිරහයා මාරු වුණ ඒ වෙලාවේම වෙන්නැති, සුන්නාත් මාත් දෙන්නා දුන්හිඳ කිට්ටුව ගම්මුන්ට කොටුවෙලා හිටියෙත්.

තිලක්, ලාල්, අජිත් තුන්දෙනාත් අප වාගේම කරදර ගොඩකට මුහුණ දුන්නෝය. කැලෑවේ අතරමංවූ එයාලා වැවක් කිට්ටුව පදිංචි වෙති. 

යාන්තම් වනයට හුරුවෙමින් ඉඳිද්දී ලාල් වලස් ප්‍රහාරයකට මැදි වෙයි. හැබැයි ඒ පැඟිරි කොල්ලාට ලොකු අතුරු අන්තරාවක් වෙන්නට නොදී බේරාගන්නටත්, ‘වනගත ළමෝ’ ලියද්දී ආචාර්ය දොන් පීටර් පියතුමා වගබලා ගනී. එහෙම නේන්නම් කතන්දරවල.... ටිකක් දික්ගැහෙන්නට ඕනෙය. විසිතුරු වෙන්නට ඕනෙය.

එහෙම හිතද්දී අපේ කතන්දරය නම්, ගෙතූ එකකට වඩා විසිතුරුය.

ඕං නෝනා-මහත්තුරුනේ මහරගම පමුණුව පාරේ ගෙදරක ඉඳලා, දර්ශනය දුන්හිඳ අද්දරට ඡේදනය කරන්නයි වෙන්නේ; වැඩිමහලු කෙනෙකුගේ සමීප රූපයකට.

ඒ ආවේ නම් මනුස්සයෙක් නොවේ. වෙස් වළාගත් ශක්‍ර දේවේන්ද්‍රයාමය.......
“..... මේ දෙන්නා තමයි.... එක්ක යමු පොලීසියට!
චේ ගුවේරාකාරයෝ... පෙරේත යක්කු.
මෙච්චර පොඩි එවුන්ද ඒකේ ඉන්නේ...

මොක්කුද කියලා පොලීසියෙන් හොයයිනේ බොලල්ලා.... ටිකෙන් පස්සෙය මේ.

“ටිකක් ඉඳිල්ලා බං. ආයේ හැම එකාම චේගුරාකාරයෝඕඕඕඕ...වෙනවය. ටිකාක් මේ නොදරුවන්ගේ මූණු දිහා බලාපල්ලකෝ..... කිරිසප්පයෝ වගෙයි නෙවෙද බොලල්ලා.... පොලීසි යන්න කලියෙන් විපරම් කරන එකනේ තියෙන්නේ..”

හොඳටම අන්ද-මන්දවී, භය-භිරාන්තවී උන් නිමල් දිසානායකට හුස්මක් වැටුණේ ඒ වේලාවේය. ඒ ආවේ නම්, වෙස් වලාගත් ශක්‍ර දේවේන්ද්‍රයාම වෙන්නට ඇතිය.

ඉස්සර පොලීසියට යනවා කියන්නෙත් බය හිතෙන කතාවකි. ඒ කාලයේ නං පොලීසියේ හිටියේ බිල්ලන්ටත් වඩා භයානක මිනිසුන් ජාතියකි. අපරාදේ කියන්නට බැරිය. දැන් පොලීසිවල එහෙම නැත. සොක්කන් විතරක් නොවේ, ලොක්කන්නුත් හරිම අහිංසකය; විහිලුකාරයන්ටත් අන්තය; ආරක්ෂක අංශවල ඉන්නා උදවියත් එහෙමය. පොඩ්ඩ බැරි වෙනකොට ලෙඩ වෙන දුර්වල හාදයන්ය.

පොඩ්ඩ බැරි වෙනකොට ලෙඩ වෙන දුර්වල හාදයන්ය.........
කොච්චර දුර්වල අයද කියනවා නං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට කැඳවපු ගමන් එක්කෙනෙකුට හාර්ට් ඇටැක් එකක් හැදුණේය; ඒ හිටපු ආරක්ෂක ලේකම්තුමාට. දැඩි සත්කාර ඒකකයටත් ඇතුළු කරන්නට තරම් බරපතළ එකකි. 

එතකොට පූජිත ජයසුන්දර මහත්තයා; (දැන් අනිවාර්ය නිවාඩු යවා ඉන්නා හිටපු පොලිස්පතිතුමා) උන්නැහේටත් උණ හැදිලා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළු කරලා තිබුණේය.

පව් අම්මපා! කලින් දන්නවා නං බැරි-බැරි ගාතේ හරි තැඹිලි, දොඩං ටිකක් අරන් බලන්න යනවනේ! නේද?

ඔහොම සංදර්ශන ගැන ඒ කාලේ අපි දැනගෙන හිටියේ නැති හින්දා, දුන්හිඳ ළඟදී මට නම් උණ හරි - හාර්ට් ඇටැක් එකක් හරි හැදුණේ නැතිය. ඇට්ටරකම හින්දාද කොහෙද මුත්තරා බරක්වත් හැදුණේත් නැත. ඒ වෙනුවට මම කඩයිම් ප්‍රශ්න පවා බාරගන්නට සැරසුණෙමි.

ඒත්, අර වයසක උන්දෑගේ කතාවෙන් කට්ටියම මෙල්ල වුණා වගෙය. “ඉස්සෙල්ලම බලපල්ලා ඔය සූට්කේස් දෙකේ මොනවද තියෙන්නේ කියලා. අහුවෙන්නැතා ගල්කටස් තියෙනවා නම්.” ආන්න ඒ වචන ටික ඇහෙද්දී නම් මගේ කකුල් දෙක විතරක් නොවේ; සර්වාංගයම වෙවුලන්නට ගත්තේය.

ගල්කටස් නැති බව ඇත්තය... මයියොක්කා දඬු, බතල කරටි, කොස් ඇට, මෑ-බණ්ඩක්කා-නිවිති  ඇට. ලජ්ජාවෙ පණ යනවා නිසැකය!

ඔරලෝසුවක් තමයි. තමුසේ යන-යන තැන මේකත් උස්සගෙනද යන්නේ?
“හරි, මල්ලී. ඇරල පෙන්නනවා තමුසෙලගෙ සූට්කේස් දෙකම. තමුසෙනේ අයියා.... ඉස්සෙල්ලම තමුසේ.”

එතැන හිටි හැමෝම එබීගෙනය. මම සූට්කේස් එක ඇරියෙමි. මිනිස්සු ගැස්සී ටිකක් පිටුපසට වූහ. උඩින්ම තිබුණේ පිටපැත්ත උඩට හරවා තිබුණු ටයිම්පීස් ඔරලෝසුවය. දන්නවනේ, කරකවන - වයින් කරන යතුරු එහෙම ලොකුවට තිබුණු පැටන් එක.

“මේ මොකක්ද මේ?”
“ඔරලෝසුවක්.... මාමේ.”

“සූට්කේස් එකේ? තමුසේ යන-යන තැන ඔර්ලෝසුවත් උස්සගෙනද යන්නේ?”

“මාමේ. මං උදේම නැඟිටින්න එලාම් එක තියාගන්නේ ඕකෙන්නේ....”
“ඒ මොකටද?”

දැන් මගේ හිතේ කිසිම චකිතයක් නැත. බොරුවක් කියනවා නම් හරියට, තර්කානුකූලව කියන්නට ඕනෙය. ඔය ලොකු-ලොකු මහත්තුරු මහා තේජස් තැන්වල ඉඳගෙන කෙප්ප කෙළින හැටි දැකලා තියෙනවද?  ඒ තැන්වල සාමාන්නිය ජනතාවට කහින්නටවත් බැරිය; දඩ ගහනවාය. (හොඳ වෙලාවට කන්නියාවගේ ඇස් බැඳලා තියෙන්නේ.) 

එයාලා එහෙම බොරු කියනවාටත්, අනුන්ට බොරු කියන්න උගන්වනවාටත් අය කරති; පොඩි ගණන්වලිනුත් නොවේ! ඒ නිසාලු එයාලට ‘ගිනිකන්නෝ’ කියන්නේ.

හොඳ වෙලාවටය කන්‍යාවියගෙ දෙනෙත් බැඳ දාලා තියෙන්නේ......
ඔන්න මගේ උත්තර දීමේ හැකියාව දැකලා කවුරුන්වත් මාව නීති විද්‍යාලයට යවන්න හෙම හදන්නට එපාය. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට වගේ මටත් උසස් පෙළ නැත. එතුමා නම් නීති විද්‍යාලයට යන්නට හදන නිසා උසස් පෙළ විභාගයට සැරසෙනවාලු.

ඉතින්, මං කළේ අහිංසක තාලෙට අහන ප්‍රශ්නවලට උත්තර බඳින එකය. අපේම නාට්‍ය වුණත්, තුන-හතරකම රඟපාලා තිබුණු එකත් එවෙලේ වාසියට හිට්ටේය. තාත්විකවම රඟපානවා කියන්නෙත් ලොකුවටම; ඉස්තරම් විදිහටම බොරුවක් මවා පෙන්වන එකනේ! (වීරයා ගෙදරද? පෝස්ටුවලදී කියවුණු දේවල් මතකයි නේද.)

“ඔරලෝසුවක් මොකටද?”
“උදේම නැඟිටලා පාඩම් කරනවනේ, සීයේ.”
“කොහෙද ළමයො ඒ?”

“බණ්ඩාරවෙල, නැන්දලගේ ගෙදර.”
“ඔය ළමයි බණ්ඩාරවෙලද?”
“නෑ මාමේ, අපි කොළඹ... මහරගම.... මේ සැරේ දෙසැම්බර්වල විභාගෙට වාඩි වෙනවා. ඉතින් ඒකයි නිවාඩු කාලේ නැන්දලගේ ගෙදර ආවේ..... පාඩම් කරන්න.”

දැන් තියෙන්නේ පොළොව ඉරි තළා යන, වේලුම් කෑ බණ්ඩාරවෙලක්  විතරය!
මෝස්‌තර එක්ක හත් වසරක් - 8 ’ පෝස්ටුව කියෙව්වාද? එහිදීත් මම කිව්වෙමි. පළමු වැරැද්ද කිරීම අමාරුය. ඊළඟට ඔබ ඊට හුරු වෙයි; පුරුදු වෙයි. මෙතැනදිත් වුණේ ඒ ටිකමය. 

හැබැයි, ගොඩාරියක් අය පටලවාගන්නේ මුලින් කී දේවල් මතක තබා නොගන්නා නිසාය.

රසික ඔබ දැනටමත් දනියි. මා බොරු කියන්නේ නැත. උප්පරවැට්ටි; දහම්ගැට නම් දමනවාය. මා කියන්නේ මට ඕනෑ ඇත්ත හරි, (සමහරවිට) ඇත්තෙන් කොටසක් පමණකි. තවත් සමහර වෙලාවට මා සත්‍යය හෙළිදරව් කරන්නේ බොරුවක් කියන tone එකකිනි; රඟමිනි. ඒවා හරිහැටි තේරුම් නොගන්නවා නම්, ඒකට අහිංසක මං පළිද?

මේ හැකියාව මට ආවේ උත්පත්තියෙන්මද මන්දා. හැබැයි, සතතාභ්‍යාසයෙන් ඒක දියුණු වෙලා වගෙය. ඒ credit එකෙන් වැඩිම කොටසක් අපේ තාත්තාට යා යුතුය. මට ඔය සේරම ප්‍රයෝග ඕනෑ වුණේ, එයාගෙන් ගැලවෙන්නටය.

දුන්හිඳ ගම්මු රහස් පොලිසියේ අය නොවූහ; විශේෂ පුහුණුවක් ලැබූ අයත් නොවූහ. එක්කෙනෙක් එක ප්‍රශ්නයක් අහද්දී තව කෙනෙක් ඊට කිසිසේත් අදාළ නැති ප්‍රශ්නයක් අහයි. එහෙම වුණාම උත්තර දෙන්නට ලෙහෙසිය; උත්තර නොදී ගැලවෙන්නටත් ලෙහෙසිය.

එක්කෙනෙක් එක ප්‍රශ්නයක් අහද්දී තව කෙනෙක් එතනට අදාළ නැති වෙනින් හොල්මනක් අහයි....
“එතකොට මේ මඤ්ඤොක්කා දඬු... බතල කරටි... ඒවා අහවල් දේකටද?”

“එව්වා හිටවන්නයි මාමේ, අපේ වත්තේ හිටවන්න.” 

කවුරුන් සමඟ හෝ කතා කරද්දී නම හෝ නෑකමක් හෝ කියා කතා කරන එක මගේ පුරුද්දය. ඒකෙන් අහගෙන ඉන්න කෙනාගේ හිතේ තෙතක් ඇති වෙයි; හිතේසිවන්තකමක් ඇති වෙයි. එදා මං හිතාමතාම එහෙම කළ බවක් මට මතක නැත. ඉබේම වාගේ ඒ පුරුද්ද මතු වුණා විතරය. හැබැයි ඒක අපේ වාසියට හිටි බව පෙනිණි.

“පුතේ, මේ දහඅට මාසේ කොස් ඇට නේද? අපේ හේනෙත් හිටවන්න මේකෙන් දෙක-තුනක් ගන්නවා ඕං. කමක් නෑ නේද මා පුතා....” වාසනාව අපේ පැත්තට කැරකෙන්නට පටන් ගෙනය. දැන් ප්‍රශ්න විමසීම අහවරය. තියෙන්නේ පිළිසඳරය. ඒ අස්සේ එහෙන්-මෙහෙන් ඇහෙන්නේ මත පළ කිරීම්ය.

“හැදිච්චි කොල්ලෝ දෙන්නෙක් බං....”
“චේ ගුවේරාකාරයෝ වෙන්න බැහැ කොල්ලෝ.... මං මුලින්ම කිව්වේ...”

ඔය ළමයින්ට පිස්සුද, මෙහෙම තනියම මේ කාලේ දුන්හිඳ බලන්න කැලෑවේ රිංගන්නේ?
“ඔය ළමයින්ට පිස්සුද මේ කාලේ මෙහෙම තනියම දුන්හිඳ බලන්න එන්න.... අපට අහුවෙච්චි නිසා හොඳයි. කැරලිකාරයන්ට හරි පොලොසියට හරි අහුවුණා නම්...”

“දැන් ඔය ළමයි මොකක්ද කරන්න යන්නේ?”

“අපි අද රෑ කෝච්චියෙම ආපහු කොළඹ යනවා සීයේ....”

“ආං හොඳා, ආං හොඳා. මේ කාලේ මේ ඉසව්වල වැඩිය කරක් ගගහා ඉඳිල්ල හොඳ නැහැ දරුවනේ. බොලල්ලා.... තවම බදුලු බස් එක උඩහට ගියේ නැහැ නේද? පුතේ, ඒකෙම ගිහින් වෙන කොහෙවත් රස්තියාදු නොවී කෝච්චියට පලයල්ලා. තේරුණා නේද?”

චිත්‍රශූල නම් අතිපණ්ඩිත කැස්බෑවාට දඬුවමක් විදිහට ගිනි ගොඩකට දමා පුළුස්සන්නැයි කෙනෙකු කීවාලු. යමුනා නම් ගඟේ සලාවැටුමකට දමලා ඉක්මනින්ම මැරෙන්නට හරිමුය කියලා වතුරට බය තවත් පණ්ඩිතයෙකු යෝජනා කළේලු. ඒ භූරිදත්ත ජාතක කතාවේදීය

ඒත්, අපට දඬුවමක් විදියට නොවේ ඒ ගම්මුන් එතැනින් අපව පිටත් කර හරින්නට ඉක්මන් කළේ. ආදරේටය; ළෙන්ගතුකමටය!

මෝඩ ඇමතියෝ කැස්බෑවා මරන්නට හැදුවේ තද දිය සුළියකට දමලාය!
මේ සේරම දේවල් වෙද්දී අපේ සුනිල් උන්නාද, මළාද කියලාවත් මං දැක්කේ නැත. දැක්කේ නැතිවාම නොවේ; බලන්නට කල්පනාවක් නොවිණි. 

එදා හිට අවුරුදු 50කට කිට්ටු කාලයක් ගෙවී ගොසින්ය. ඒත් මේවා කතාබහ කෙරෙන වෙලාවක වුණත් අපේ සුන්නා වැඩිමනත් දෙයක් කියන්නේ නැත්තේ ඇයි? මතක නැති නිසාද..... ලජ්ජාව නිසාද... නැතිනම්?

ගම්මුන් ඉක්මන් කළත්, මහියංගනයේ සිට බදුලු යන බසයට කිසිම හදිස්සියක් තිබුණේ නැත. මගම බසයක ලොට-ලොටා අප බදුල්ලට ඇවිත් දුම්රිය නැවතුම් පොළට එද්දී කෝච්චිය ගිහින්ය.

අපේ අම්මාගේ නංගී; සෝමා පුංචිලා හිටියේ ස්ටේෂමට ටිකක් උඩහට වෙන්නටය. මිනී පෙට්ටියේ නිඳාගත් කඩේ සීයා හිටියේ  ඊටත් වඩා ළඟින්ය. 

කොටින්ම අම්මලාගේ හතර වරිගයම හිටියේ එහෙය. බදුල්ලේ මයිලගස්තැන්නේය. කනුපැලැල්ල කෑල්ලකුත් ඇඩ්‍රස් එකේ නං තිබුණා මතකය. එහෙ සිටි කඩේ ආච්චී, සෝමා පුංචි, කඩේ පුංචි වගේ සේරම අය අපේ අම්මාට වැඩියෙන් මව්වත් අය විදිහටය මට පෙනෙන්නේ; ඒ දවස්වල පෙනුණේත්.

ඒ මව්වත්කම වෙනම තියෙද්දාවේ. දැන් අප ඉන්නේ වනගත වෙන්නට, ගෙදරින් හොරෙන් පැනලා ආ ගමන්ය! එහි යා යුතු නැත.

ආච්චිලා තුන්දෙනෙක්. සෝමා පුංචි, ඇගේ දූ අනෝමා මානෙල් හා අපේ නංගී ඉන්ද්‍රානි මානෙල් සකුණිත් එක්ක....
මට අවුරුදු 10 වෙද්දී, 1964 සිද්දවුණු අවාසනාවන්ත දෙදරීමකින් පස්සේ අපේ තාත්තා මහරගමට ආවේ පොරොන්දුවකුත් වෙලාය. 
“මං ආයේ බදුල්ලේ පස් පාගන්න එන්නෙත් නෑ. මගේ එකෙක්වත් එවන්නෙත් නෑ” කියා දිවුරා කියමිනි.

එහෙම නිසා කිසිම පයුරු පාසනයක්-සම්බන්ධයක් නැතිව තියෙද්දීත්, සෝමා පුංචිගේ ලොකු දුවට දැමූ ‘මානෙල්’ නමම අපේ නංගිටත් දැම්මේ මාය. 

එයා අනෝමා මානෙල්ය. මෙයා ඉන්ද්‍රානි මානෙල්ය. (නම් දෙක ගැන ගනිච්චියට ආවේ මේ දැන්, මේවා කොටද්දීය.) ඒ දෙන්නාම එක පලෝළේය... නියමම අම්මලාය; ඒ, ඒ දවස්වලය. දැන් කියන්නට වෙන්නේ නියමම ආච්චිලා කියලාය.

එයාලා ආච්චිලා වුණත්, මේ බ්ලොගය කියවන වැඩිම දෙනා තරුණ- යව්වන අය හින්දාය මතක් කරන්නේ, ඒ කාලේ මොබයිල් ෆෝන් තියා land phone වුණත් තිබුණේ එහෙමත් තැනකටය. කරන්ට් එක ගැන කියනවා නම් ඊටත් එහාය. 

දැන් නම් කරන්ට් එකත් ව්‍යසනයක් බවට හැරිලාය. ලෝකය ඕනෑවටත් වඩා වැඩියෙන් රාත්‍රියට ආලෝකවත් වෙනවාය. ආලෝක දූෂණය! Light Pollution.

රාත්තිරියට වුණත් ඕනෑවට වඩා ලෝකය ආලෝකවත් වීම සොබාදහමට බලපාන්නකි!
ඉතින් අපට මොකෝ? ඔව්වා එකක් ගැනවත් නොතකන බුද්ධිමතෙකු එහෙමත් කියන්නට හැකිය. ඒත් ඒ නිසා සිදුවෙමින් පවත්නා සොබාදහම විකෘති වීම් ගැන හොයා බලනවා නම්..... කොටින්ම එදා දුන්හිඳ, එදා බදුල්ල සුන්දරවූ තරම ... අද සිහිනයකින්වත් හිතාගන්නට බැරිය.

ඔහොම වාතාවරණයක් තියෙද්දී, අපේ ‘අභිනිෂ්ක්‍රමණය’ ගැන බදුල්ලේ කවුරුන්වත් දැනගෙන හිටියේ නැත. එයාලාගෙන් කාවවත් හමු වෙතියි අප දෙන්නාගෙන් එකෙකුවත් හිතුවෙත් නැත. “සිරි බාප්පා තමයි වැඩේ... එයා දැන් කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්ලුනේ.....”

“ඒ හින්දා හෙට උදේ වෙනකල් ස්ටේෂන් එකේ ඉන්න බැහැ. අපි වෙන කොහාට හරි යමු!”
“කොහෙටද අයියේ?”

“යකෝ, මාත් උඹ වගේම තමයි, වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මොකද මට දිවැස් තියෙනවද?” මා කිව්වේ දත්මිටි කමින්ය. 

හැබැයි ඒ වෙලාවේ වුණත්, කාටවත්ම අප ගැන විශේෂයක් නොපෙනෙන්නට හෙමින්ය. “වරෙන්, එළියට ගිහින් මුතියංගනේ පැත්තටවත් යමු....”

බැරි වැඩ කරන්නට යොදවනු ලැබූ අසරණ ළමයින් මෙන් වෙහෙසින් ආතුරවී, කුසගින්නෙන් මිරිකී.........
ඒ වෙලාවේ මාත් හිටියේ අසරණකමෙන් දැවෙමිනි; කුසගින්නෙන් පිච්චෙමිනි. ඒ සේරටමත් වඩා වෙහෙසින් ආතුර වෙමිනි. සුන්නාට මටත් වැඩියෙන් ඒවා දැනෙන බව මගේ ටිකිරි මොළයට කල්පනා වුණේ නැත. එයාත් සූට්කේස් එක උස්සාගෙන, මගේ පස්සෙන් වැටුණේ නොකර බැරිකමටය.

“ඔහොම ඉන්නවා ළමයි.”
සද්දයක් ඇහුණත් ඒ අපට කියා මට හිතුණේ නැත.
“ටිකක් ඔහොම ඉන්නවා.... ඔය ළමයි දෙන්නා....”

ඒ වතාවේ නම් මට හැරී බැලුණේ නිකම්මය. 

‘ම්හු... සිරී බාප්පා නොවේ.’ ඡායා මාත්‍රයක්වත් මතකයේ තියෙන කෙනෙකුත් නොවේ. දැකලා පුරුදු කෙනෙකුත් නොවේ. 
ඒ මනුස්සයා උසය; උසේ තරමටම පිරිපුන් ඇඟපතය; කළුය! අපේ වාසනාවට පොලීසියේ පාටක් නම් පෙනුණේ නැත.

මිහින්තලාවේ ආරාධනා ගල වුණත් අප තරම් ගල්ගැහිලා තිබුණේ නැත!
අප දෙන්නා ගල් ගැහිලා; තුෂ්ණිම්භූත වෙලාය. මිහින්තලයේ ආරාධනා ගල වුණත් අපට පරාදය! අර මනුස්සයා අපේ ළඟටම ආවේය.

 සමාවෙන්න. එයා අපේ ළඟටම ආවත්, ආදරණීය පාඨක ඔබට ඉතිරිය කියවන්නට වෙන්නේ දවස් කිහිපයක් දුරට ගියාමය.

12 comments:

  1. එපාර මොකෙක්ද ඒ?

    ReplyDelete
    Replies
    1. මියුරු, ඊළඟ කොටසට යනතුරු නම විතරක් කියන්නම්. විලියම්!

      Delete
  2. ""කුතුහලය උපරිමයට ඇති කරලා, කතාව අවසාන කිරීමේ කලාව"" නං හරියටම ඉගෙන ගෙන තියන හැඩයි .

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් ගිය මුවන් පැලැස්ස, මොනරතැන්න, ගජමුතු වගේ නාට්‍යත්, චිත්රකතාත් තමයි ඕක හරියටම ඉගැන්නුවේ, සෑම්!

      Delete
  3. http://miduma.blogspot.com/2019/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. Pra Jay, දැන් අපේ රටේත් ඉන්න තරමක් බඩ මහත මුදලාලිලා නේද? ස්තුතියි!

      Delete
  4. බොරු කියන්නෙපා. ඔය ටයිම් බෝම්බයක් හදන්න නේද ටයිම් පීස් එකක් අරන් ගියේ.

    ReplyDelete
    Replies
    1. ලෙඩ දාන්න නම් එපා ප්‍රසන්න මහත්තයෝ. දන්නවනේ, අපේ රටේ අතීතයට බලපාන විදියට වුණත් නීති පනවන්න පුළුවන් බව!

      Delete
  5. පියතුමා වනගත ලමෝ ලිවුවේ නිදි ඉදිරියේදී කරන දේ දිවසින් දැකලා වත්ද?. හරිම රසවත්.

    ReplyDelete
  6. කුජීත ජයසුන්දරවනං අනිවාර්ය නිවාඩු නෙමෙයි ඇපයට හරි යැව්වට කාරි නෑ ... ලයිට් පොලියුෂන් කිව්වම මතක් උනේ මැදපෙරදිග මෙච්චර කාන්තාර වෙලත් අවට නගර වල අලූක දුෂණය නිසා රෑට තරුවක් පේන්නෙත් කලාතුරකින්.

    ගැලවිජ්ජාව හැම විජ්ජාවකටම වඩා ලොකුයිලුනෙ ඉතිං ගම්මුන්ගේනුත් ගැලවුනා එහෙනං .. ඒ පාර මොකද්ද වෙන්න යන්නෙ ?

    ReplyDelete