අකුරු මැකී නෑ

Friday, July 5, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස

ඉතින් කිරි අපුච්චේ, ඔය විදියට දැහැමින්-සෙමෙන්-සතුටින්-විනෝදෙන් ටික කාලයක් ගියාය කියමුකො. දැහැමින්.... මොන දැහැමිකමක්ද දිසානායක උන්නැහේ? නමෙන් දහම්ලා, මෛත්‍රීලා වුණත් අදහම් දේවල් කරන කාලේ උඹැහෙත් කොළේ වහලා ගහන්නද කල්පනාව.

බිත්ති සැරසිලිවලට චිත්‍ර ඇඳගෙන.......... (ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගේ ඡායාරූපයකිනි.)
අපේ බිත්ති සැරසිලිවලට චිත්‍ර ඇඳගෙන එන ශිල්පියෙකු හින්දා ‘දැහැමින්’ කියන වචනය පාවිච්චි කරන්න බැරි වැඩකුත් වුණානෙ!

‘නිමල්, උඹේ ‘වචනවලින් හංගලා ගහන ගේම් එකෙන්’ ඇත්ත වහන්න හදන්න එපා.... ‘වුණා’ නෙවෙයි, කළා. එහෙම නේද වුණේ? ‘කළා’ කියපං! (හිත මුර දෙනවා.)

හරි- හරි, මං එහෙම කළා තමයි. ඔන්න මේකයි කතන්දරේ.

Wallhangins කිරීම තමයි මට වැඩියෙන්ම බාර වුණේ. ඒක බොහොම සියුම් වැඩක්නේ. හරිම ඉවසිල්ලක් තියෙන්න ඕනේ. මෙහෙම කිව්වොත්..... සීගිරි ලලනාවකගෙ චිත්‍රය සහිත බිත්ති සැරසිල්ලක් කරන්න ගන්නවා කියල හිතන්නකෝ. 

ඉස්සෙල්ලාම හොඳට හෝදලා, කැඳ යවාගත් සුදු රෙද්ද මැදලා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. ඊළඟට ඒ සුදු රෙදි කැබැල්ලට අර සීගිරි ලලනාවගේ චිත්‍රය පිටපත් කරගන්නවා. හුඟක් වෙලාවට ඒක කළේ, චිත්‍රයේ පිටපත උඩින් රෙද්ද අතුරලා, පැන්සලකින්. ඩයි දමද්දී පැන්සල් ඉරි මැකෙන්නේ නැහැ.

ඔව්, ඉවසිල්ල තියෙන්න ඕනේ තිළිණ කළුතොටගේට තිබුණා වගේ.............
ඒ වගෙමයි, රෙද්ද යටින් තියලා, ඊට උඩින් කාබන් කොළයක්- ඊටත් උඩින් චිත්‍රය විදිහට තියලත් පින්තූරය පිටපත් කරගත හැකියි. හැබැයි ඒ කාබන් ඉරි, ඩයිවල තියෙන සැර රසායනික දේවල් නිසා මැකෙනවා. ඒ හින්දා වැඩියෙන්ම කෙරුණේ මුලින් කියාපු ක්‍රමේට පැන්සලෙන් art work එක පිටපත් කිරීම.

ඔය පිටපත් කරන වැඩේට චිත්‍ර ශිල්පියෙක්ම වෙන්න ඕනේ නැහැ. හැබැයි, හැමෝටම ඒ රාජකාරිය කරන්නත් බැහැ. ඉවසිල්ල... ඔව් ඉවසිල්ල තියෙන්න ඕනේ; තිළිණ කළුතොටගෙට වගේ.   

‘නෙළුම් කුලුනට හෙණ!’ හෙණ ගහන්නේ කලින් ටෙලිගිරෑං එවලා හෙම නෙවෙයිනේ; හිටි ගමන්. එහෙම අහම්බෙන් අකුණු කොටද්දී, ඒ නිමේෂයේම ඒක කැමරාවක හිර කරගන්න කල් බලන එක....  
තිළිණ ඒ ෆොටෝ අරන් තියෙන්නේ 2019 පෙබරවාරි 19 වෙනිදා හරියටම රෑ 9.30 ට. විස්තර සේරම මට මෙතැන  ලියන්න බැහැනේ. ගිහින් බලන්නකෝ, ෆොටෝග්‍රැෆි කරන කෙනෙකුගේ ඉවසීමේ රඟ දැනගන්න කැමැතියි නම්.

මාමේ මේ බකමූණා - හා හූම් ගෑවා.... (චලන තෙන්නකෝන්ගේ ඡායාරූපයකිනි.)

ඉතින් ඔය විදිහට ඉවසිල්ලයි, ආසාවයි (ඇයි, පත්තරේකටත් චිත්‍රකතාවක් ඇඳලා තිබුණු පළපුරුද්ද!) වගේ දේවල් නිසා හුඟ වෙලාවට චිත්‍ර ට්‍රේස් කිරිල්ලත් මගේ අතින් කෙරුණා. ඒ මං කරන වෝල්හැඟින්ස්වලට.

ඔන්න ඔය සංදියේ තමයි ‘හෙළයේ මහා ගාන්ධර්වතුමා’ අපූරු සින්දුවක් ගායනා කළේ. තනියම නෙවෙයි. අමිතා වැදිසිංහත් එක්ක. 

අනෝතත්ත විල නෙළුම නෙළාලා - නීල වර්ණයෙන් නෙත සරසාලා - නාග ලොවින් බැස නාලිය ගමනින් - වරඟන පිරිවරිනා.......’ නාලිය හෙවත් ඇතින්නක විදිහට එන එරන්දතී..... වෙනින් සින්දුවක නං ඔය යෙදුම අහලම නැහැ වගෙයි.

දිව්‍ය අංගනි සේ’ පෝස්ටු කියවපු අයට නම් දැන් රහසක් නෙවෙයි ඒ ගීතයට මං ඇලුම් කරන හේතුව. අපේ විධුර නාට්‍යයේ ‘නාග ලෝකයේ නාග රජතුමාගේ දෝණියන්දැ; එරන්දතී කුමාරිකාවට හිටියේ මමනේ!

දිව්‍ය අංගනි සේ මම සැරැසී - යන්නෙමි පර්වත කාළ එගිරී...............
එහෙම අතීතයක් ගොංගිතොට ප්‍රේමරත්න අයියාටත් තිබුණාද මන්දා. මනුස්සයාටත් අර සිංදුව බොක්කටම වැදිලා. 

එතකොටත් ගොංගිතොට ප්‍රේමරත්න කියන්නේ චිත්‍රකතා අඳින කෙනෙක්; පත්තරවල චිත්‍ර එක්ක නමත් පළ වෙන දක්ෂයෙක්! ප්‍රේමරත්න අයියාත් ඉඳහිට අපේ වැඩපොළට ආවා. චිත්‍රත් අරගෙන.

ඒ විඩේ ගෙනාව චිත්‍ර අතරේ ‘අර ගීතයෙන්’ අනුප්‍රාණය ලබලා ඇඳපු එකකුත් තිබුණා. එස් අයියාටත්; බතික් අංශයේ කෙරුමාටත් ඒ පින්තූරෙට හිත ගියා. 

එදා ඒ වගේ චිත්‍ර කිහිපයක්ම ගත්තු බවත් මට තවම මතකයි.

ටික කාලෙක ඉඳලයි මං ප්‍රේමරත්න අයියාගේ ටෙලිෆෝන් අංකය හොයලා, තියාගෙන හිටියේ. ඉතිරි හරිය කොටන්න කලින් (අද; ජුලි 7 වෙනිදා හවස කෝල් එකක් ගත්තා. 

ඒ දවස්වල තිබුණු මගේ දිග කොණ්ඩය ගැන කිව්වාම එයාට මාව මතක් වුණා.

දළදා වරුණ පත්තරේට නම් අවුරුදු දහයකටත් වැඩිය කාලයක්............
“අනේ මල්ලී, දැන් නම් බතික්වලට චිත්‍ර අඳින්නේ නැහැ. දළදා මාලිගාවෙන් නොමිලේ බෙදන ‘දළදා වරුණ’ පත්තරේට නම් අවුරුදු දහයක් විතරම අඳිනවා....” ගොංගිතොට ප්‍රේමරත්න අයියා කිව්වා. මහර සංස්කෘතික බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධුරය උසුලන්නෙත් එයාලු.

මෙච්චර කාලයකට නොහිතුණු කාරණාවකුත් ප්‍රේමරත්න අයියාගේ කතාවෙන් මතු වුණා. 

“අපි අඳින චිත්‍ර හුඟක් අය ගත්තේ තුට්ටු දෙකට. ඒකෙන් කොච්චර වෝල්හැඟින්ස් හදලා වික්කත්, ආර්ටිස්ට ආයෙම සත පහක්වත් ගෙවන්නේ කවුද? ඒවා විකුණලා, කොච්චර පොහොසත් වුණත්....”

සහතික ඇත්ත. ඒවාට රෝයල්ටි ගෙවිල්ලක් කොහෙද තියෙන්නේ? මගෙන් වුණත් ඒ අසාධාරණය කොයි තරම් වෙලා තියෙනවද?

ගොංගිතොට ප්‍රේමරත්න අයියා වගේම විකුණන්නට චිත්‍ර අරන් එහාට එන තවත් දෙතුන්-දෙනෙකුත් හිටියා. 

එයාලගෙ කිසිම චිත්‍රයකට විශේෂ ඇල්මක් ඇති නොවුණාට......
එයාලාගෙ කිසිම චිත්‍රයකට විශේෂ ඇල්මක් ඇති නොවුණු මට ....... එදා තමයි පුදුම තණ්හාවක් ඇති වුණේ ඒ චිත්‍රයට. 
ඊට කලින් ප්‍රේමරත්න අයියා ගෙනාව ‘දන්ත කුමාරයයි - හේමමාලා කුමරියයි දන්ත ධාතුව වඩම්මන’ චිත්‍රයටවත් මං එච්චර වහ වැටුණේ නැහැ. 

ඒකෙ තරම කොච්චරද කියනවා නම්, නොතරම් වැඩක් කරන්නත් මේ අසත්පුරුෂ නිමල් දිසානායක පෙළඹුණා.

“නිමල් මල්ලී, මේකෙන් දෙක තුනක්ම කරමු. විකිණෙයි.” එස් අයියා කිව්වා. 
චිත්‍රය ට්‍රේස් කරද්දීත් මගේ ඔළුවේ වැඩ කළෙම කොහොමද කාටත් හොරෙන්, ඒක අයිති කරගන්නේ කියන කල්පනාව විතරමයි.

වැඩපොළෙන් කිසිම දෙයක් හොරෙන් අරන් එන පුරුද්දක් මට තිබුණේ නැහැ; ඒකට ඉඩකඩක් තිබුණෙත් නැහැ. ඒ සේරම තියෙද්දිත් ..... ‘ගෙනියනවා නං ට්‍රේස් කරගත්තු එකක් විතරයි ගෙනියන්න ඇහැකි වෙන්නේ..... ඒත් රෙද්දකට ට්‍රේස් කරගෙන ගෙනියන්නත් බැහැ. සේරම ගණන්-හිලවු ඇතිවනෙ කෙරෙන්නේ. 

අනෙක, මේ හැට-හුටහමාරක් ඉන්න අස්සේ කොහොමද හොරෙන් ඒ වැඩේ කරගන්නේ?’ මං මගෙන්ම ඇහුවා.

දවල් හොරුන් දාහකගේ නුවණ මේ හොරාට පහළ වුණා...........
ඔන්න බොලේ, එතකොටම දවල් හොරාට ලෝක හොරුන්ගේ නුවණ පහළ වුණා!

රාවතාවත්තට ගිහින්, ගෙනාවා සුදු සව් කඩදාසි දෙකක්. හීන් සීරුවේ ඒක ට්‍රේසින් මේසයේ යටින්ම එළලා, ඊට උඩින් කාබන් කොළයක් තිබ්බා. ඊළඟට චිත්‍රය. උඩින්ම රෙද්ද. ටිකක් අත තද කරලා චිත්‍රය ට්‍රේස් කරන්න විතරයි ඕනේ. සව් කොළයේ පිටපත සුරුන්ඩි කරලා ගෙනියන්නත් ලෙහෙසියිනෙ. ඊළඟ සැරේ ගෙදර යද්දී, නොමිලේම ‘එරන්දතීත්’ සව් කඩදාසියේ වෙළිලා මගෙත් එක්ක ආවා! ඒ මගඩි නාටකේ complete වුණේ එහෙමයි!!

දන්නවද වැඩක්? මොකාක්ම හරි වැරැද්දක් නොකරම ඉන්නවා නං තමයි හොඳටම හොඳ. පළමුවෙනි වතාවේ ඒක කළාට පස්සේ, දන්නෙම නැතිව වගෙයි ඒ වැඩේ රිපීට් වෙන්නේ. එහෙමයිනෙ කියන්නේ. මගේ සම්බන්ධයෙන් නම් ඒක සත්තක ඇත්තක්.

එරන්දතීගෙන් පිටපතක් ගෙදර ගෙනාවට පස්සේ මං තවත් චිත්‍ර කිහිපයක් ගෙදර ගෙනාවා; හොරෙන්; ඕනෙකමක් තිබිලාමත් නෙවෙයි. නිකම් හිතුණට; කලින් මෙතඩ් එකටම. සහතිකයි... ඒක කළේ නං මජරකමට; තණ්හාවට. මුලදී නං එස් අයියාගේ මුහුණ බැලුවෙත් අමාරුවෙන්.... ඒත් පස්සෙ-පස්සේ එකේ ගණනක් නැතිව ගියා.

තවමත් ඒ පුරුද්ද නම් එහෙම්ම තියෙනවා...............
අනේ, ටික කාලයකට පස්සේ - ටිකයි කිව්වට, අවුරුදු ගණනාවකට පස්සේ ඉඳන් අද වෙනතුරුමත් මට ලැජ්ජයි එදා එහෙම කිරීම ගැන. එස් අයියාට මේ විත්තිය කියන්න ලැබෙනවා නං දැන් වුණත් මං ඒක කරන එක කරනවාමයි. සමාව ඉල්ලන්න නෙවෙයි. මගේ හිතේ බරෙන් නිදහස් වෙන්න.

ඔහොම තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන තමයි මේ පුතයා අනුන්ගේ ඇහේ තියෙන ඉඳිකටු දකින්න ගත්තේ. තවමත් ඒ පුරුද්ද නං එහෙමමයි. හැරිලා බලනවකො තමන්ගෙම දිහා!

ඇත්තටම ඉහ-නිකට පැහෙන වයසට ඇවිදිනුත් තවමත් මගේ ‘මළ පැනිල්ල’ අඩු නැති හැටි. පුදුමේ කියන්නේ මගේ ‘බොක්කලා’ ගොඩ දෙනෙකුට ඕනෙත් මං ඒ මූඩ් එකේ ඉන්නවා දකින්නනේ. ඉතින් මාව අවුස්සනවා. විශේෂයෙන් දොස්තර අයස්මන්ත, මර්වින්, නෙවිල් තුන්දෙනා. එහෙම වෙලාවට මාත් බොරුවට රඟනවා එයාලට satisfy වෙන්න. මොකද තරහවෙන් වෙන්නේ මගේ ඇඟේ ලේ පිච්චෙන එක විතරයිනේ.

තරහ ගියාම වෙන්නේ නිස්කාරණේ තමුන්ගෙ ලේ පිච්චෙන එක නෙවෙයිද?
අවුරුදු විස්සක්වත් නැති මං ඒ කාලේ ඔව්වා දන්නවය? එච් අයියා, මාමා, සර්ගෙ නෝනා විතරක් නෙවෙයි; පන්දම්කාර පක්කලි සර්විස්කාරයෝ එක්ක පුදුම තරහක් මගේ හිතේ තිබුණේ. අනේ, ඒ සමහරුන් මට නම් මොනම වරදක්වත් කළාට නෙවෙයි; එයාලා වැරැදි කළේ අනෙක් අයට.

‘එච් අයියා එයාගේ බලතල පාවිච්චි කරලා ගොඩක් ගැහැනු ළමුන්ව අපයෝජනය කරනවාය’ කියන එක නිතර-නිතර ඇහෙද්දී මගේ ලේ කෝප වුණා. මාමා නිකං නිස්කාරණේ කේලාම් කිය-කියා සමහරුන්ට අංචි අදිද්දී මටයි උහුලන් ඉන්න බැරි වුණේ. සර්ගේ නෝනාව තිත්තම-තිත්ත වුණේ, මලයාපරත්තිකුලමෙන් ආව සීලවතී නංගිට සලකපු හැටියෙන්.

ඒවා-මේවා බල-බලා උහුලාගෙන ඉන්නවට වැඩිය මට ඕනේ වුණේ එහෙන් පැනගන්න. මතකයි නේද, එස් අයියා එයාගේත් ලෙහෙසියට මාව එහාටම කොටු කරගන්න ගහපු ගැට.

මොකක්දෝ වාසනා මහිමයකුත් එක්කයි..........
ඒ වෙද්දීත් මට වැටහෙමින් තිබුණා විශේෂ කාරණයක්! මොකක්දෝ වාසනා මහිමයක් එක්කයි මං ඉපදිලා තියෙන්නේ. කොහේ-මොනවා වැරැදුණත් ඒකේ හොඳකුත් හැංගිලා තියෙනව කියලයි මං හිතුවේ. ඒ හින්දාමද මන්දා මං ටිකක් නාහෙට-නාහන වැඩ කළෙත්. අර ගඩොල් ඇටවීම වගේ.

එහෙම අවදානම් ගැනීම පිරිමින්ට විතරයිද උරුම? මට එහෙම හිතුණේ ‘වාසිතය’ බ්ලොග් අඩවියට ඩියෝන් මිථිල ප්‍රනාන්දු දාලා තිබුණු පරිවර්තන කෙටිකතාවක් කියවද්දී. ඒක මාර්ක් ට්වේන්ගේ කෙටිකතාවක්. ‘ආදම් සහ ඒවගේ දිනපොත’. ආදම්ගේ කෝණයෙන් ලෝකය බලද්දී පිරිමිකම කොහොමද කියලා වැටහෙනවා. ඒ වගේමයි ‘ඒවාගෙ’ ස්ත්‍රීවාදී දෘෂ්ටියත්.

රේන්ද ගෙතීම, කෑම පිසීම, බතික් කිරීම වගේ දේවල් කරන අතරේම, ඉල කැඩෙන වැඩ කිරීමත් මගේ උත්පත්ති පුරුද්දක්ද? ගිය වතාවේ පෝස්ටුවට කමෙන්ට් එකක් එකතු කරමින් විජේබාහු උන්නැහේ කියනවා ‘යකෝ, ගෑනුන්ට වඩා කොණ්ඩේ තියෙනවා මූට’  කියලා. (අනේ, දැන් නම් තට්ටේ!)

මේවා කරන්න පුළුවන් දෙයියන්ට නෙවෙයි. ඔයාලා වගේ මිනිසුන්ටම විතරයි, අයියණ්ඩි!
ඒ අතරේම මද්දා කියනවා ‘මේවා කරන්න පුළුවන් දෙයියන්ට නෙමේ, ඔයාල වගේ මිනිසුන්ටම විතරයි. අයියණ්ඩි, පරිස්සමෙන් ගමන ගිහින් එන්න.’ කියලා. ඒ ගිය සතියේ ඔකඳ දේවාලය ළඟ ඉඳලා කුමන - යාල වනෝද්‍යාන හරහා කිලෝ මීටර් සීයක් පා ගමනින් ගිය ‘පාද යාත්‍රාව’ ගැන.

“උඹට පිස්සුද බං? ඔහොම ලෙඩකුත් තියාගෙන කැළේ රිංගන්නේ. උඹත් එක්ක යන අනික් එවුන්ටයි ගහන්න ඕනේ!” මිත්තරයෙක් කිව්වා. එහෙම කියන්නෙත් හිතෛෂීකමටනෙ. ඒත් හිතෙන දේවල් ඉටු කරගන්න අවදානම් බාරගැනීම කොයි තරම් ආස්වාදජනකද? Adventuresද?

අර ආයතනයෙන් නික්මිලා එන්න ඕනේ වුණාම මට හිතුණේ ඒ වගේ දෙයක් විතරයි. “ඊළඟට මොනවා වෙයිද? රස්සාවක් කෝ?” වගේ ප්‍රශ්න මගේ ඔළුවට ආවෙම නෑ. අහංකාර; වික්‍රමාන්විත ගතියක් නම් දැනුණා. හැමදාමත් ඒක වුණේ එහෙමමයි.

හිර ගෙදරින් බේරිලා මං ගෙදර ආවේ හරිම නිදහසක් හිතේ රඳවාගෙන......
මං ගෙදර ආවා. හිර ගෙදරින් බේරිලා එනවා වගේ සතුටෙන්. ඊට පහුවදා හවසම මල්ලිකා ජයකොඩි අක්කා අපේ ගෙදර ආවා. (එයා තවමත් ඉන්නේ පමුණුවේ දේවාල පාරේ. එයාවත් අපේ බතික් වැඩපොළට කැන්දාගෙන ගියේ මං.) එයා ආවේ නිකම්ම නෙවෙයි; මසල වඩේ එකකුත් අරන්! සමහරුන් ඒවාට කියන්නේ පරිප්පු වඩේ කියලනේ.

අපිව හම්බවෙන්න අපේ ගෙදරට බල්ලෙක් - පූසෙක් ආවත් අපේ තාත්තා හාරලා බලනවා මොකටද කියලා. “මොකද මල්ලිකා ළමයෝ මේ? ගෙදර යන ගමන් නේද... දැනටමත් රෑ වේගෙනනේ එන්නේ.”

“ඔව් තාත්තේ, අපේ වැඩපොළේ අය අද තේවලට වඩේ ගෙන්නුවා. දැන් නිමල් මල්ලී එහෙ නැති වුණාට, මෙයානෙ ඒ වැඩේ අපට පුරුදු කෙරෙව්වේ. කට්ටියම කිව්වා මල්ලිගේ පංගුව මෙහෙට ගෙනත් දෙන්නයි කියලා.”

ඒ ව්‍යාපාරික භවතා අපේ ගෙදරටම මාව හොයාගෙන ආවේය.
“ඕක කරන්න පුළුවන් දෙයක්ද ළමයෝ? ඔන්නොහෙ අල්ලලා දාන්න. තව ටික දවසකින් මෙයාටත් ඔයාලව අමතක වෙලා යයි. ඔයාලටත්...” අපේ තාත්තා කිව්වේය. Out of sight – out of mind! ඒ පාඩම ඇත්තකි. දැනෙන විදියට ඒක ඉගෙන ගත්තේ ඒ සිදුවීමෙනි. ඒත්, සතියක් විතර කාලයක් යන තුරුමත් මල්ලිකා අක්කා මගේ පංගුව අරන් එන රාජකාරිය කළාය. එයා ඒ බරෙන් නිදහස් වුණේ තාත්තාත්, මාත් බල කරලා කියා හිටියාට පස්සෙය.

ඒ සතිය ගෙවෙන්නටත් කලින්ම තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්තයෙක්  අපේ ගෙදරටම ආවේය. “නිමල්, ඔයාට මතකයිද මාව? බතික් වැඩපොළේදී දවසක් හම්බවෙලා මං කතා කළේ....” මට මතක තිබිණි. 

ඔහු ඒ දිනවල ලංකාවේම ප්‍රසිද්ධ කෙනෙකි. ව්‍යාපාර ගණනාවක්ම පවත්වාගෙන ගියේය. මහරගමත් ශාඛාවක් තිබුණේය; බතික් වැඩපොළකුත්. “මම කැමැතියි ඔයාට රස්සාවක් දෙන්න. මෙන්න මගේ ඇඩ්‍රස් එක. කතාබහ කරගන්න පුළුවන්, අද-හෙටම දවසක මට කෝල් එකක් දීලා හම්බවෙන්න ආවොත්.”

“හොඳයි සර්!”

ඒ මහත්තයාත් අර ස්වේච්ඡාසේවී සංවිධානයේ විධායක කමිටුවේ සාමාජිකත්වය දැරූවෙකි.

“බල-බලා ඉන්න එපා බං. දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ. හෙටම කෝල් එකක් දීපං, මහරගම හන්දියට ගිහින්. දිගටම රස්සාවක් නැතිව ඉඳලා හරියන්නෙත් නැහැනේ.” තාත්තා මාව උසිගැන්නුවේය.

තාත්තා මාව උනන්දු කෙරෙව්වේය............
‘මදැයි, සුමානයක්වත් ගෙදර ඉන්න හිතුවා!’

මම දුරකථන ඇමතුම දුන්නෙමි. “හරි නිමල්, අද හවස හතට අපේ ගෙදරට එන්න. බොරැල්ලේ...... හොයාගන්න අමාරු නැහැ, කාගෙන් ඇහුවත් කියයි.! මං ඔයාව ගෙදරට ගිහින් දාන්නන් ආවට පස්සේ.”

ඉතින්...... ඔන්න මං බොරැල්ලට යන්නයි හදන්නේ. දැන්වත් ඉසිඹුවක් අරන්.......

17 comments:

  1. කෝමද අයිය ඔකද ගමන

    බලමුඒ මහත්තය මහත්තයෙක්ද පාත්තයෙක්ද කියල

    ReplyDelete
  2. //මගේ හිතේ බරෙන් නිදහස් වෙන්න
    බෝට නං පාප ගණන් බැහැ.ඔය හොරකමෙන් සැහෙන්න අඩු ගානක් තමා වැටෙන්නේ.
    ගල් කලේ ඔරිජිනල් එක නෙමේ.පාපය කෙලින්ම බාගෙකට අඩු වෙනවා.
    කොපි කරන්න වෙච්චි මහන්සියට තව කාලක් අඩු කරන්න පුළුවන්.
    උපරිමයෙන් පාප කාලක් දාන්න පුළුවන්.
    තව අඩුකරන්න පුළුවන් ඔය මදෑ :-)

    ReplyDelete
  3. //අනෝතත්ත විල නෙළුම නෙළාලා
    පොස්ට් එකක් ලියන්න වටිනා සින්දුවක් නොවැ.කොට පාරෙන් ගියොත්
    මෙන්න http://awasankawiya.blogspot.com/2014/06/blog-post_4431.html

    //වරඟන
    මහ සොයිසායි බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවොයි ඇර ගනිල්ලට මුල ඔය වචනේ නිසා කියනවා නිදි.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ,
      ලින්ක් එකට ගිහින් බැලුවා. ගොඩාරියක් ස්තුතියි. විධුර ජාතකයත් ආයෙම කියවුනා.
      ඊටත් වැඩියෙන් සුනිල් සරත් මහත්තයා මේ ගීය ලියු බව. පොස්ට් එක ලියද්දී රචකයාගේ නම හෙව්වා. දෙතුන් පොලක දෙතුන් විදිහකටයි තිබ්බේ. ඒ නිසයි නම නොදැම්මේ.
      ඒ සයිට් එකට ආයෙම යන්නෝනි. යන්න වටිනා එකක්! 'අවසන් කවිය අවසන් නැත' නේ.

      Delete
    2. ඒ දෙන්නාගේ අරෝවට මුල සුභූති හාමුදුරුවන්ට 'ආ මේ මුත්තරබල්ලත් ඇවිත් ඉන්නේ' කියලා කියුව කතාව කියලයි මං අහලා තිබ්බේ.
      සිරිබිරිස් උන්නැහේ,
      තරහ නැතිව කියනවද 'වරඟන' කතන්දරේ?

      Delete
    3. සොයිසා ආර්යාවගේ ජීවිත කතාව ලියෙව්වා.පොත ලිව්ව එකාගේ නොදැනුවත්කමට ආර්යාවගේ ගුණවරුණ ආලවට්ටම් දාල ලියනකොට ඇය වරඟනකි කියලත් ලියවුනා.සකුවේ ඕකට තේරුම් දෙකක් තියේ එකක් උතුම් අනෙක වෙසඟන.පොත කියෙව්ව හාමුදුරුවෝ ඔය වචනෙට ප්‍රසිද්දියේ නක්කලේ දැම්ම ඔච්චර වැදගත් යැයි කියන අයගේ වැඩ මෙහෙමද කියලා.නප්පියට තද වෙච්චි සොයිසා අහුවෙච්චි සියලු පොත් ආපහු සල්ලි වලට අරගෙන පිච්චුවා කියලයි කියන්නේ.ධනයේත් බලයේත් උඩින්ම ඉන්නකොට වෙච්චි වැඩයට මුත්තරබල්ලා කියල නැවතුනා ඇති.

      Delete
    4. ස්තුතියි සිරිබිරිස් උන්නැහේ.
      ඉතිරි හරියත් කියන්නේ, හිතාදර රසිකයන්ට රසවත් වේවි කියලයි. මොකද ඔබතුමා මේ ටික නොදැන ඉන්න විදියක් නැහැ.
      "ඇත්තද? එහෙනම් මුත්තර බල්ලෙක් එවන්නම්කො" කියලා සුභූති හාමුදුරුවෝ බල්ලෙකුගේ පිල්ලියක් එව්වාලු. ඌ සොයිසා මහත්තයාව හපා කාලා. ඒකෙන් තමයි සොයිසා මහත්තයා අන්තරා වුණාය කියන්නේ.

      Delete
  4. මම හිතුවාට වඩා බතික් කර්මාන්තය බොහොම අමාරු දෙයක්නේ. නිදහස් ආර්ථිකය නිසා 77 න් පසුව මේක අභාවයට ගියා කියන එකට වඩා , මේකේ තියන අමාරුකම සහ ලාබයක් නැතිකම නිසා අභාවයට යන්න ඇති කියලයි මට හිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. සෑම්, බතික් කියන්නේ හරිම වැදගත් හස්ත කර්මාන්තයක්. කලාවක්. ඒ වගේ දේවල්වලට අද ලෝකේ පැවැත්මක් නැහැනේ.
      මේ පොස්ටු ලියද්දී ඕනේ කරන පින්තූර හොයන්න ගියාමයි දැක්කේ බතික්වලට ගිහින් තියෙන කලදසාව ගැන. බතික්වල විදිහට කෙරෙන ස්ක්‍රීන් ප්‍රින්ටින් තමයි දැන් වඩාත් ප්‍රචලිත.
      හැබැයි, දන්නා උදවිය බතික් අඳුනනවා. ඒකේ තියෙන හොඳම දේ තමයි එකම චිත්‍රය වුණත්, එක්කෙනෙකුගේ අතින් කළත් දෙවිදිහක් වීම. unic! ඉස්සරහට ඒ ගැන ලියනවා, හොඳේ.

      Delete
  5. ගොංගිතොට ප්‍රේමරත්න මහත්තයා ගැන අදයි ඇහුවේ... කතාබහ කරලා ආටිකල් එකක් ලියන්ට ආසාවක් ආවා...

    ReplyDelete
    Replies
    1. මිථිල,
      හොඳ අදහසක්. ගොන්ගිතොට අයියා වීරකේසරී එකෙන් ගහපු ලස්සන, විදුමිණ (මගේ දැනීමේ හැටියට නම් ලංකාවේ පළමු විද්‍යා පත්තරය ඒකයි.) වගේ පත්තරවලටත් ඇඳපු කෙනෙක්.
      ඔයාට ඕනේ වුනොත් ටෙලිෆෝන් අංකය එවන්නම්.

      Delete
  6. සමහර බතික් වෝල් හෑන්ගර්ස්වල චිත්‍ර හරිම ලස්සනයි තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්තයි මියුරු. එත් හුඟ දෙනෙක් දන්නේ නැහැ ලස්සන චිත්‍රයක් ලස්සන බතික් නිර්මාණයක් කරන්න ගන්න වෙහෙස ගැන.
      පැන්සලකින්,පින්සලකින්, තෙලි කූරකින් ඉරක් අඳින එක එකක්. බතික්වලදී එහෙම ඉරක් දක්වන්නට නම් ඒ ඉර විතරක් ඉතිරි කරලා වටේම සීරුවට ඉටි තවරන්න ඕනේ. ඒ පදනමේ ඉඳන් බතික් එකක් දිහා බලන්නකෝ!

      Delete
  7. බලං යනකොට මේ උන්ද හොස්ස ළඟින් මැස්ස යන්න බැරි .. එක තැනක රඳන්න හෝ රඳවා ගන්න බැරි හාදයෙක්නේ :-D

    ReplyDelete