පාද යාත්‍රාවේ යෙදෙන්නේ එදා කඳ කුමරුන් කතරගමට වැඩිය මඟ ඔස්සේය! |
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත්
පටලවාගෙන, අපේ සගයා පටන් අරගෙන තිබුණේ ‘full සීරියල් සටන් ජවනිකාවක’ දෙවෙනි
පියවරයි.
එක්තරා රූපවාහිනී
සේවාවකින්, එවර (2013) පාද යාත්‍රාව ආවරණය කරන්නට පැමිණ තිබිණි. ජුලි 31 වෙනිදා අප
ඔකඳ කෝවිලට යන විටත් ඒ වාර්තාකරුවා ගජරාමෙට වැඩය. චේතනාව හොඳය; වැඩේත් හොඳය;
කොස්සක් තිබුණේ වැඩේ කෙරෙද්දීය!
පාද යාත්‍රාවට සහභාගී
වෙන බොහෝ දෙමළ බැතිමතුන් හරිම ඉවසිලිවන්තය. ඕනෑවටත් වැඩිය කියලාත් හිතෙන තරම්ය. අර
ශිල්පියා ඒක advantage එකක් කරගෙනය.
මනුස්සයා හිතාගෙන හිටියේ
පාද යාත්‍රාකරුවන් සේරමලාම tv කැමරාවට ඕනෑ කරන විදිහට හුස්ම ගැනිල්ලත් කළ යුතුය
කියලාය. තමන්ම රෙද්ද ඉල්ලාගෙන, කපාගෙන, මහගෙන, ඇඳගත්තාම සමහරු ඔය වගේ රෝගී වෙති.
ආඬි ළිඳෙන් නාගෙන, උයා පිහාගෙන ඉවරවී........... |
වලිය පටන්ගත්තේ ඔකඳ
දේවාලයේදීය.
දේවාල බිමේ රාත්‍රිය ගත
කරන දෙමළ බැතිමත්තු ඉක්මන් කර උයා-පිහා ගනිති; ආඬියා ළිඳෙන් හෝ පර්වතය මත ඇති
ගල්කෙම්වලින් හෝ නාගනිති; ඊළඟට දේවාලය තුළට රොක්වෙති. ඒ දෙවියන්ට බැති ගී ගයන්නටය.
නියමිත වේලාවන්ට පූජා
පැවැත්වෙන තෙක් මේ බැතිමත්තු තැන-තැන බජන් ගයති! ඒ අතරේ සමහරුන් පූජාසනය කිට්ටුවටම
රොක්වී හිටින්නේ දෙවියන්ට කිට්ටු වීමට විය යුතුය!!
දේවාලයේ කපු
මහත්වරුන්ටත් වැඩියෙන් කාල-වේලාව දන්නේ මේ බැතිමතුන්ය. පූජා වෙලාව එළඹෙත්ම භජන්
ගැයුම නැවැත්වෙයි. ඔවුහුද හනිකට දෙවොලට වදිති. ඔකඳ පර්වතය මත වාඩිවී සිටින්නෝත්,
දෙවොල් බිමේ තැන-තැන වැතිරී සිටින්නෝත් ඒ පිරිසටම එක්වෙති.
අතොරක් නැති සීනු නාද
දෙවොලට යන්නට නොසිටි අයටත් ‘කම්මැලි නොවී වරෙල්ලා!’ කියයි.
භජන් ගයන කණ්ඩායම් දේවාල බිමේ තැන-තැන වාඩිවී .............. |
එහෙම වෙලාවක අපේ සගයා
ෆොටෝ ගනිමින් හිටියේය. අර වාර්තාකාරයා ඔහුව තල්ලු කරගෙන; ඔහුගේ දර්ශන පථය මුවා
කරගෙන වීඩියෝ කරන්නට ගත්තේ පුදුමාකාර කලබලයකිනි.
“හොඳ වෙලාවට මං foto
අරන් ඉවර වෙලා හිටියේ. නැතිනම් මං උන්දැට දෙනවා වීඩියෝ කරන්න.... ඌ නිකං මහ
රජ්ජුරුවෝ වගේ.... අපේ රටේ සමහරුන්ටත් tv කැමරාවක් දැක්කම සිහිය නැති වෙලා කලන්තේ
දාලා වැටෙනවනෙ. මූ හිතුවද දන්නෙ නැහැ අපිත් ඒ වගේ බයියෝ කියලා.”
“මේ, මේ. ඇඟේ ලේ වතුර
කරගන්නෙ ඇතිව ඉන්නවා හලෝ. දැන් ඉතින් ඒක ඉවරයිනේ!”
මොන ඉවරයක්ද? එදා රෑ එය
අවසන් යයි හිතුවත් පහුවදා උදේ- දහසක් බුදුන් බුදුවෙන පාන්දර ආයෙමත් එය පටන් ගෙනය. කුමන
වනෝද්‍යානයට පිවිසෙන ගේට්ටුව අරින්නේ උදේ හය-හයහමාර වෙද්දීය. (මෙදා සැරේ නම් විවුර්තයට පොලිටික්කෙකු පරක්කුවී පැමිණි බව රසික ඔබ දැනටමත් දනියි). 2013 එහෙම
වුණේ නැත.
පහුවදා උදේ දහසක් බුදුන් බුදුවෙන පාන්දර ....... |
ගේට්ටුව කිට්ටුවටමවී ඔවුන්ගේ කසිලි-බිසිලිය කැමරාවෙන් අල්ලා ගනිමින් හිටි අපේ සගයා අසලට වාර්තාකරයා ආවේ ඒ වේලාවේය! ආවා විතරක් නොවේ!! කලින් දවසේ රාත්‍රියේ කළ දේම ඊටත් වඩා අපූරුවට කරලාය!!!
“පරයා! ඊයේ රෑ මං මොකුත්
නොකිව්වම ඌ හිතන්න ඇති මාත් ponනයෙක් කියලා. ‘අයින් වෙන්න’ කිව්වා විතරක් නෙවෙයි ඌ
පොර talk එකකුත් දුන්නා. “අපිට වීඩියෝ කරගන්න ඕනේ නිසයි මේ පාද යාත්‍රාව organize
කරන්නේ” කියලත් කිව්වා..... අනේ, උගේ organizing, ඌ දිගට කතාව ගෙනියන්න ආවේ නැහැ.
නැත්තං මං.....”
“මෙලෝ යකෙක් කටගහගෙන
එයිද මනුස්සයෝ? මේ චුට්ටට තමුසේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ඇදල ගත්තම? ඒකා හිතන්න
ඇති පිස්සු බුවෙක් තමයි කියලා.”
හිතන්න ඇති පිස්සු බුවෙක් තමයි කියලා! |
අප එහෙම කිව්වත්, ඒ
මනුස්සයා එහෙම හිතුව පාටක් තිබ්බේ නැතිය.
එදා දවසේ කිහිප වතාවක්ම; මඩමෙතොටට යන
තෙක්ම, මිනිහා ජීප් රියකින් එහා-මෙහා ගියේ
අපටත් පෙනෙන්නට වගෙය. මේ වතාවෙත් එයාම ඇවිත් හිටියේය. ඒ චැනල් එක වෙනුවෙන්මය.
නමුත් එච්චර ‘රැස්පොට්’ තිබ්බේ නැත.
වෙනත් රූපවාහිනී නාලිකා
කිහිපයකින්ම ඇවිත් හිටි නිසා වෙන්නැතිය; සමහර වාර්තාකරුවන් පා ගමනින්ම දිගටම කිලෝ
මීටර් සියය යන්නට සැරැසී හිටි හින්දා වෙන්නටත් ඇහැකිය! (තුත්තිරි ගහත් ගහක් වෙන්නේ
ගස් නැති රටකදී විතරය).
‘සැරැසී හිටි බව’
කියද්දී හිතෙන්නේ අප තරම් නම් වෙනින් කවුරුන්වත් පෙර සූදානම් නොවෙනවා ඇති කියලාය.
මේ වතාවේ ගමන ගැන අපේ
ඔළුවේ තිබුණත්, දොස්තර මහත්තයාට යෙදෙන්නට තිබුණු කටයුත්තක් නිසා ගමන පිටත් වෙනදාට
කලින් දවස වෙනකල්වත් තීන්දුවක් අරන් හිටියේ නැත. අයස්මන්ත නම් සති කිහිපයක්
තිස්සෙම පේවෙලාත්ය. මර්විනුත් එහෙම කරන්නට ඇත. නෙවිල්ව නම් මට විශ්වාස නැත.
කතරගම දෙවියන්නාන්සෙට වුණත් පේන්න ඇති මට වුණු අලකලංචි! |
මගේ පේවීම පැය 72ක්
විතරය. මුහුණු හයක්ම තියෙන කතරගම දෙයියොන්ට වුණත් පේන්නට ඇතිනේ මට වුණු අලකලංචි! ඒ
මුහුණු හයෙන් නිරූපණය වෙනවාය කියන ගුණාංග එක්ක බැලුවාම එහෙම වෙන්නම ඕනෑය.
විදුලිය,
දයාව, සාමය, සෞම්‍යය, අසිරිය හා කරුණාව කියලාය තැනක තිබුණේ.
තව තැනක තිබුණේ වෙනත්
විදිහකටය.
තේජස, බලය, භාග්‍යය, වික්‍රමය, ක්‍රියාශූරත්වය හා තත්ත්වඥානය වශයෙනි.
කොහොම වුණත් උන්නාන්සේලාට වුණත් පේන්න එපැයි අපේ කැපවීම.
“අයියේ ජුනි 25 රෑ යමු
හම්බන්තොටට. ගිහින් එහෙ නැවතිලා ඉඳලා පාන්දර පිටත් වෙලා යමු. කොඩිලගේ ගෙදර අපිට
උදේ කෑම හදනවා. කොඩිලගෙ අම්මට ටිකක් අසනීප වෙලා ඉන්නේ... මර්වින්ට කියලා පිරිත්
ටිකක් කියවගන්නත් ඕනිලු. ආයෙම සැරයක් කුඩුම්බිගලටත් යන්න ආසයි මට නම්....”
ආයෙම සැරයක් කුඩුම්බිගලට යන්නත් ආසයි මට නං.................. |
“යමු, හැබැයි පීරිස්...
මගේ ඔළුවේ තියෙනවා තවම අපට යන්න බැරිවුණු තැනකුත්. ලාහුගල පහුවුණාම....
පොතුවිල්වලට කලින්.... නීලගිරි මහ සෑය.”
“අපොයි තමුසෙගෙ
දොළදුකනේ. යමු නේද පීරා?”
“ඇයි මනුස්සයෝ. තමුසෙලා
කැමති නැද්ද නොගිය තැනකට ගිහින් බලන්න....... එහෙමනේ වෙන්න ඕනේ....”
වාද-විවාද මැද්දේ මගේ
මතයට මනාප හම්බ වුණේය. “එතකොට 25 රෑ කෑම.... කීයටද යන්නේ? මං හදන්නද?”
“අපෝ එපා. හවස පහට මං මෙහාට
එනවා මර්වින්වත් අරන්. ඊළඟට නෙවිල්වත් අරන් යමු. රෑට මඟ කොහෙන් හරි කමු!”
පීරිස්ට හුඟාක්
තැන්වලින් කෑම කන්නට බැරිය. තියෙන්නේ හරිම ‘සියුමැලි - සංවේදී’ බොක්කකි.
මර්වින්ටත් එහෙමය කියලාය කියන්නේ.
ඒත් මහරගම ඉඳලා කිරුලපනේ හරියටත්, තලවතුගොඩ ඉඳලා
දෙහිවල හරියටත් තියෙන මොකක් හරි take away එකකින් - හෝටලයකින් මාරුවෙන්-මාරුවට කන ඒ මනුස්සයාට
අජීරණයක් නම් හැදුණු බවක් මෙතෙක් කියවිලා නැත.
අපේ නඩවල කිසිම කෙනෙකු නීලගිරි සෑය බලන්නට ගිහින් තිබුණේ නැත............... |
(තදබල රහසකුත් කියන්නම
ඕනෑය. අපේ ගෙදරින් කාලා දිරවාගන්නට පුළුවන් කෙනෙකුට නම් ආයේ අජීරණ හැදෙනවා බොරුය!)
‘මුගෙ ෆ්‍රිජ් එකේදි
තමයි පරම්පරා ගානක ඌරො- කුකුළො- මාළු එහෙම එකට හම්බ වෙන්නේ!’ මගේ හිතවත්තු කියති.
ඒක ඇත්තය.
‘මස් මාළු විතරක් නෙවෙයි යකෝ. බත්, පරිප්පු, එළවලුත් එහෙම තමයි!’
මං
උත්තරේට කියන්නෙත් ඇත්තය. තිස්සෙම උයන්නට බැරි නිසා, උයන වෙලාවට වේල් කිහිපයකට
උයලා බඳුන්වලට අසුරා ශීතකරණයේ තැබීමය මගේ පුරුද්ද!
“එහෙනම් .............
කඩේට යං රෑට කන්න. කොහෙද තමුසෙලා එදා මං ඒ කඩේ හාදයාගෙන් ටෙලිෆෝන් නොම්මරේ
ඉල්ලාගන්න හදද්දී උදැල්ල දැම්මනේ. නැති නං කෝල් එකක් දීලා හදවගන්නවනේ!.....”
එහෙම
වැඩවලදී මට ඉඩක් නොදී බැණුම් අහගන්නට අපේ මිත්‍රයන් හරිම කැමතිය. “දෙයියනේ
කෙළවියන්.... රෑට කන්න දෙයක් නැතිවෙයන්....”
“ඔන්න බලාපං පීරා මුගෙ
කාලකන්නි සන්තෝසේ ආතල් එක ගන්න හදන හැටි!”
නෙටොල්පිටියේ ටෙශාන් සත්සරගේ හෝටලයෙන්............ |
මාසයකට වතාවක් බෙහෙත්
ගන්නට හම්බන්තොට යනවිට යන්නේ කලින් දවසේ රාත්‍රියේ නම්, මඟ නැවතී මොනවා හරි කා-බී
යන තැන් දෙක-තුනක්ම අපට තිබෙයි.
කලින් වතාවකත් අපට හොඳින් සත්කාර කළ යව්වනයෙකුගේ
පොල්අතු හෝටලයක් නෙටොල්පිටියේ 201 කිලෝ මීටර් කණුවට පොඩ්ඩක් මෙහායින් තිබෙයි.
කෑමත් හොඳය. “අපි කඩේ අරින්නේ හවස හතරට විතර. දෙක-තුන විතර වෙනකල් ඉන්නවා.” විස්තර
ඇහුවාම කියැවිණි.
හිටපු ගමන්ම ටියුබ්
ලයිට් එකක් වෙන මං එදාත් පත්තු වුණේ පරක්කු වෙලාය. හම්බන්තොට ඉස්පිරිතාලයේදීය.
‘පාද යාත්‍රා ගමන එන්නේ රෑක නං මේ කඩේට කියලා එළවලු කෑම ටිකක් හදවගත්තෑකි.’
ඒ Idea
එක ගැන නොකියා ඒ හෝටලයේ හාදයාගෙන් ටෙලිෆෝන් නොම්මරය ඉල්ලා ගන්නට ඕනෙය කියලා විතරක්
පීරිස්ටත්, නෙවිල්ටත් කිව්වෙමි. මොන?
“තමුසේ තමයි නෙවිල්,
නවත්තන්න නවත්තන්න කියද්දී එදා ඇදලා ආවේ. නොම්මරේ ඉල්ලගත්තා නම්.... ඒ කරුමෙම
පලදීලා බඩගින්නෙ ඉන්න වෙයං දෙයියනේ! දෙයි හාමුදුරුවනේ, මේං වැන්දා!”
සංඝාඥා කරන්නට වැඩිය ළපටි සාමණේර පැංචාන්නාන්සේලා වගේ.......... |
“වඳිනව මට.... නැත්තං මේ
සැරේ යද්දිත් වාහනේ නවත්තන්නෙ නැහැ ඕං. තමුසෙටත් කෙළවිලා අපිටත් කෙළවෙන්න.” නෙවිල්
පාරම් බෑවේ සංඝාඥා කරන්නට වැඩිය භික්ෂූන් වහන්සේලාගෙ පෙළපාලියේ අග භාගයේ හිටි
මොකුත් නොදන්නා; ළපටි සාමණේර පැංචාන්නාන්සේලා වගෙය.
ඔයින්-මෙයින් 25 වෙනිදා
රාත්‍රී භෝජනයට අප නැවතුණේ එතැනය.
පුවක් ගහේ දෙබල් දෙකකි! එක, අර හාදයා නැති එකය.
“මහත්තයල අපේ පුතාව නං දන්නවා වගෙයි.... එයා මාතරට ගිහින් එන්න ගියා...”
හැමෝම බැලුවේ මගේ
මුහුණය. මං හිටියේ අහිංසක මුව පොව්වෙකු වගේ තද කරගත් හිනාවකිනි.
“අම්මේ, මොනවද කන්න
තියෙන්නේ. හැබැයි එළවලු... අපි කතරගමට පාද යාත්‍රාවේ යන්න පේවෙලා ඉන්නේ.... ඒකයි.”
“අනේ.... එහෙම නං
මහත්තයලට කන්න වෙන්නේ ගෝදම්බ රොටි විතරයි. ආප්පවලටත් බිත්තරයක් දෙකක් දාලනේ
තියෙන්නේ.... නිකම්ම රොටි කන්නෙත් කොහොමෙයි හොදි නැතිව? කුකුල් මස් කරි විතරනේ
තියෙන්නේ.... පරිප්පුත් ඉවරයිනේ.”
ලුණුමිරිසුත් එක්ක ගෝදම්බ රොටි වළඳා.......... |
“මොනව කරන්නද අම්මේ.
ලුණුමිරිස්වත්.....”
“ලුණුමිරිස් නම්
තියෙනවා... ඒත් හොදි ජාතියක් නැහැනේ....”
නිදිත් ‘කාලකන්නි සතුට’
භුක්ති විඳිමින් උණු-උණු ගෝදම්බ රොටි කෑවේ ලුණුමිරිසුත් එක්කය. අනෙක් අයට ඒ සතුට
තිබුණෙත් නැතිය!
එතකොටම හෝටලයේ හාදයා; ටෙශානුත් ආවත් එයාට කරන්නට දෙයක් තිබුණේ
නැත. ඔහු තැවෙද්දීමය එයාවත් ෆොටෝ එකකට ගත්තේ.
“ටෙශාන්, මොකුත් හිතන්න එපා. මේ
හොඳයි. මෙයාලා ගිය සැරේ මට ඔයාගෙන් ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලාගන්න දුන්නේ නැහැ. ඒක
තමයි මේ පළදුන්නේ!”
පීරිස්, නෙවිල්, මර්වින්
තුන්දෙනාම මට උත්තර දුන්නේ ටෙශාන් ඉස්සරහදී නොවේ. වාහනය ඇතුළේදීය. “$@%$# @####
කාලකන්නි සන්තෝසේ. වලත්තකමනේ මචං.”
“මෙහෙම ගමනකදිවත් මුගෙ
නසරානි ගතිය නං අතඅරින්නෙ නැහැ!”
නල්ලුර් කන්දසාමි කෝවිලේ තින්නෝරු තැටිය හා උඩුකය නිරුවත් බැතිමතුන්........ |
පින්-පව් දෙකම එහෙමය.
සමහර ඒවා මේ ආත්ම භාවයේදීම පළ දෙයි. කර්මයේ අනුහස් එහෙමය.
ආනුභාවසම්පන්න තවත්
කාරණාවක් මේ වතාවේ දැනගත්තෙමි. “මාමා දන්නවද තින්නෝරු?” හිච්චි මහත්තයා ඇහුවේ අපේ
ගමන මැදදීය. “.... සමහරු තුන්නූරු කියලත් කියන්නේ.”
“අර නළලේ ගාන සුදු පාට
කුඩු ජාතිය නේද? මොනවදෝ අළු ජාතියක් නේද?” මං උත්තර දුන්නෙත් ප්‍රශ්න දෙකක්ම
අසමිනි.
හිච්චි මහත්තයාත්
හිනාවුණේය. ඒ මගේ දැනුමේ තරමට වෙන්නට ඇතිය.
“නෑ මාමේ, ඒවාත් මතුවෙන්නේ පොළොවෙන්.
කප් හිටවන කාලේ එනකොටම මිනිස්සු ගිහින් ඒවා ගොඩ දාන්න ගන්නවා... කොච්චිපතාන හරියෙ
තියන්නේ..... දැන් නම් ඉන්දියාවෙනුත් තුන්නූරු ගෙන්නනවා. හැබැයි එව්වාට වැඩිය අපේ
තුන්නූරුවල කොලිටිය හොඳයි.”
ජනප්‍රවාදවලින් කියවෙන
විදිහට නම් ‘අමෘත සංජීව’ නම් ඍෂිවරයෙකු කොච්චිපතානේ, වල්ලිමලේ ප්‍රදේශයේ වාසය කොට
තිබේ. එතුමා ඒ අඩවියේ ඔසු වනයක්ම රෝපණය කොට පවත්වාගෙන ගියේල.
නියං සමයකදී ඒ ඔසු
උයන දැවී-අළුවී ගොසිනි. එදින පටන් ඇසළ මාසයේ ‘කාර්තිකොත්සව’ සමය ආසන්න වෙද්දී
තින්නෝරු නිධි මතු වෙනවාලු!
පහුගිය සති අන්තයේ අප හිටියේ යාපනේ සංචාරයක.......... |
අගෝස්තු 22-24 දවස් තුන
අප හිටියේ යාපනයේ සංචාරයකය. මේ එහෙ කෝවිල්වල උත්සව පැවැත්වෙන කාලයයි.
නල්ලූර්
කන්දසාමි කෝවිලේදී .... (කෝවිලට ඇතුළුවෙන සියලුම පිරිමින්; කුඩා පිරිමි ළමුන් පවා
එහි යන්නට පෙරාතුව උඩුකය වැසුම් ඉවත් කරගත යුතුය. අප එතැන සිටියදී එක පොලිස්
නිලධාරියෙකු සෙනඟ හැසිරවීමට කෝවිලට ඇතුළු වුණෙත් උඩුකය නිරුවත් වෙලාය.) මගේ ඇස
ගැසුණේ කෝවිලේ දොරටුවට දකුණු පැත්තෙන් තබා තිබුණු තුන්නූරු බඳුනය.
බැතිමතුන්ගෙන් කිසිවෙක්
ඒ විසල් තැටියෙන් ගත් තුන්නූරුවලින් නළලේ
සටහන් තබාගැනීමට අමතක නොකළහ!
මේ වතාවේ නම් පාද යාත්‍රාව
පටන් ගන්නා දවසේ පාන්දර, ඔකඳ දේවාලයේ පූජාවට නොගිය නිසා අප හිටියේ නළලේ තුන්නූරු
සලකුණු නැතිවය.
කුමන පිවිසුමේ සිට මඩමේතොටට ගොස් පළමු රාත්‍රිය එහි ගත කිරීම බොහෝ
දෙනාගේ සිරිතය. එතනට දුර කිලෝ මීටර් 23 කි. එක දවසක් ඇතුළත වැඩිම දුරක් යන්නට
වෙන්නේ එදිනය.
කුඩා කැබිලිත්ත හෙවත් මඩමේතොට දේවාලයට කිලෝ මීටර් 23 ක්.......... |
බැතිමතුන් එතැනටම යන්නට
දත කන්නේ එහි කුඩා කැබිලිත්ත දේවාලය ඇති බැවිනි; කුඹුක්කන් ඔය සරුසාරව එතැනින් ගලා
යන බැවිනි; යහමින් ඉඩකඩ තියෙන බැවිනි.
ඔකඳ වෙරළට ගොඩබට මුරුගන්
කුමරාණෝ කුමන වනෝද්‍යානය දිගේ සපැමිණ, මඩමේතොටදී ගඟෙන් එතෙරව යාල වනෝද්‍යානය ඔස්සේ
කතරගමට වැඩියහ. ඒ බැතිමතුන්ගේ විශ්වාසයයි!
මේ විශ්වාසය නිසාම ගඟේ
වතුර කොතෙක් පිරී තිබුණත් මඩමේතොටින්ම එතෙර වීමට ඔවුහු පොරකති.
එහෙත් දැන් නම්
එතැන රාජකාරි කරන නාවික හමුදා සොහොයුරන්ගෙන් ඊට අවසර ලැබෙන්නේ නැත. කතරගම දෙවිඳුන්
වාගේම මිසර දේවතාවුන්ගේත් බැල්ම මැණික් ගඟට වැටිලාය කියා හිතෙන්නේ, එතැන දැන්
කිඹුලන් බහුල බැවිනි.
මඩමේතොට දේවාලය අසලට කිඹුලන් ඇවිත් නිසා........... |
බැතිමතුන්ට ස්නානය
කරන්නට සිදුවී තිබෙන්නේත් ලකුණු කළ සීමාව ඇතුළත විතරය. ඒ සීමාව අයිනෙත් නාවික
හමුදා සොහොයුරෝ නිති සූදානමින් ගඟට ඇස ගසාගෙන සිටිති!
කුමන පිවිසුමේ සිට
බාගුරේ කලපුවට ඇත්තේ කිලෝ මීටර් 8ක් හෝ නවයක දුරකි. වියපත් බැතිමතුන් වැඩියෙන්
ඉන්නා නඩයක් නම් නතරවෙන්නේ එතැනය.
උදේ දහයට පෙර එතැනට ළඟා වුණු අපි තේ හදාගත්තෙමු.
“මචං, අපට එන්න වෙන්නේ
හෙමින්නේ. තව ටිකක් දුරට ගියාම උඹයි, ජයශංඛයි දෙන්නා ඇදලා පලයල්ලා. එතකොට මඩමේතොට
හොඳ තැනක් අල්ලාගන්න පුළුවන් වෙයිනේ.” පීරිස් යෝජනා කළේය.
ඒ මගේ වේගය ගැන හිතලාය.
නෙවිලුත්, ජයාත් හැමවිටම ගියේ අපට වඩා ගොඩාක් ඉදිරියෙනි.
කුරුලු විල්ලුවෙන් පස්සේ
ඒ දෙන්නා ඉස්සර වූහ. පළමු වතාවේ ‘රතු පැහැ ඇඳුමකින්’ අපට පාර පෙන්නුවේ එතැනදිය.
කුරුලු විල්ලුවේ නැරඹුම් කුලුන ළඟ තඩි ඌරෙක් රජ කරගෙන හිටියේ............ |
දැන් කුරුල්ලන් නැරඹීම
වඩාත් පහසු වෙනසේ එතැන උස කුලුනක් පවා හදලාය; බංකු ටිකකුත්. ඒ නිසාම සංචාරකයන්ගෙන්
සමහර දෙනෙක් දිවා ආහාර ගන්නේ එතැනදීය.
වනාන්තරයේදී හබන් කුකුළන්ට ජය මඟුල් වෙන්නේ
ඌරන් කැකුණ තලන වෙලාවටය. මෙතැනදී නම් ජය මඟුලක් වෙලා තිබෙන්නේ ඌරෙකුටය. තඩි අබ්බගාත ඌරෙකු එතැන බදු අරගෙනය.
ඌ එහාට-මෙහාට දුවමින්
ඉඳුල් බුදියි! මේ දවස්වල නම් උන්දෑට ගොඩාරියක් සරු පාටය!!
එතැනදී බලද්දීත්
පීරිස්ගේත්, මගෙත් දෙපාවල දියපට්ට ඇවිදින්ය. පීරිස් නම් වෙළුම් පටිවලින් දෙපා
වෙලාගෙනය, සපත්තු දමාගෙන හිටියේ.
කලින් ගමන්වලදී අත්දුටු ප්‍රතිකාරයක් මගේ මල්ලේ
තිබිණි. කහ කුඩු හා පොල්තෙල් මිශ්‍රණය. කකුලේ දියපට්ටවලට කියාපු බෙහෙතකි. ඒ දෙවගය
තලපයක් වගේ අනා රත්කොට; උණුසුම තියෙද්දීම ගාලා බලන්න.
එතැනදී කොහොම ඒවා රත්
කරන්නද? උණුසුම් නොකර ඒවා ගෑවත් බෙහෙත වැඩ කළේය. ඊළඟ දවස් හැම එකකම ගමන පිටත්
වෙන්නට කලින් ඒ සත්කාරය කරගෙන ඉන්නට මම පරෙස්සම් වීමි.
වගුරුවලදී සපත්තු ගලවමින් ඉන්නට බැරි නිසා...........(foto- විනුර පෙරේරා) |
ඒත් වගුරුවලදී සපත්තු
ගලවමින් ඉන්නට බැරි නිසා එහෙමම වතුරට බහින්නට සිදුවිණි. ප්‍රතිඵල ආවේ පරක්කු
වෙලාය; ගෙදර එනකොට නියපොතු තුන-හතරක්ම කළුම-කළු වෙලාය. දැනටම මහපටැඟිලි දෙකේම
නියපොතු හැලී ගිහින්ය. තව දෙකක් හැලෙන්නට කිට්ටුය.
ඊළඟ වතාවේ යන්නට ඕනේ, මේස්
වෙනුවට පොලිතින් බෑග් දමාගෙනය!
“නිමල් අයියේ....
සාස්පාන් එහෙම නෙවිලා ළඟ නේද? උන් දෙන්නා හොඳ තැනකුත් අල්ලලා, වතුර එකක් හෙම ළිපේ
තියලා රත් කරලාම තියෙයි නේද?” පීරිස් දකින්නේ දවල් හීන බව නම් මට විශ්වාසය. අපේ
අප්පුහාමිලා දෙන්නාම එච්චර දුරට හිතාවි කියලා නං....
බලමුකෝ ඊළඟ
කොටසෙන්ම..........
ඉන්දියාවේන ගෙනෙන තින්නෝරු මෙහේ තියෙන එවා වාගේ පොලෙවෙන් කැනලා ලබා ගන්න එවා නොවෙයි නේද?
ReplyDeleteපොලවෙන් ගන්නා තින්නොරු ගැන විද්‍යාත්මකව පර්යේෂන එහෙම කරලා තියේනවාද?
අසංග, ඔයාගේ ප්‍රශ්න දෙකටම දෙන වෙන්නේ 'නොදනිමි' කියන උත්තරේ තමයි. විස්තර හොයන්න බැලුවත් දන්නා කෙනෙකු හමුවුණේ නැහැනේ.
Deletehttp://www.sundaytimes.lk/180708/news/seasonal-thinnoru-mining-underway-301648.html
ReplyDeleteගොඩක් ස්තුතියි අසංග. මේ වාර්තාවෙන් ෆොටෝ එකක් ලැබුණා!
Deleteතුම්මුල්ලෙ සිට කුඩා කැබිලිත්තට (පයින් නම් නෙමෙයි) ගිය අවුරුද්දෙ සැප්තැම්බර් අග ගියා . අපි 4දෙනා හැර කිසිම කෙනෙක් හිටියෙ නෑ එතන. බොහොම නිෂ්ශබ්ද පරිසරයක්. (මම නම් crowd එකකට වඩා ඒකට කැමතියි.) හොඳම අත්දැකීම වුනේ ඒ ලඟ විශාල වලහෙක් දැකීම.
ReplyDeleteඒ ඉසව්වේ වලස්සු ඉන්නවා. පාද යාත්‍රා සමයට දකින්න නැතත් ඌරො දිවියෝ නරි හෙමත් දකින්න පුළුවන්, Pra Jay.
Delete//“නෑ මාමේ, ඒවාත් මතුවෙන්නේ පොළොවෙන්. කප් හිටවන කාලේ එනකොටම මිනිස්සු ගිහින් ඒවා ගොඩ දාන්න ගන්නවා... කොච්චිපතාන හරියෙ තියන්නේ.....//
ReplyDeleteවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑද?
නැහැනේ මධු, හැබැයි අසංග මහත්තයා දීලා තියෙන ලින්ක් එක බැලුවොත් වැඩි විස්තරයක් තියෙනවා.
Deleteමොකුත් නැතිවෙනවට වඩා ගෝදම්බයක් හරි තිබ්බඑක ගැන සන්තෝස වෙන්න එපැයි.
ReplyDeleteබතට මාළුව බඩගින්නය කියනවනේ ප්‍රසන්න. එදා රෑ අපි පස් දෙනාම ලුණුමිරිස් එක්ක ගෝදම්බ රොටි කෑවේ දිවිය භෝජනයක් වගේ අගේට.
DeleteCamera mans are pain in the axx anywhere they go 'Pada Yathra' party or wedding. Still you have give them some sympathy, that's their job and get paid based on the quality of work.
ReplyDeleteWhat'Pay weema' only 72hrs? I have friend in K'gama STF camp, he told me he will take me to Kabilittha, 'Pay weema' is one month.
If you are cooking for a week, wrap each meal in foil and keep in the freezer, that's much safer.
Funny how short-eats written in Sinhala, this is very common in SL. I saw a photo of Bob Marley and written 'King of Rage' (on a 3 wheeler)
Kiri hoddak nethi kada mokatada?
Taking care of your feet on a long trip is very important, I am sure you can find waterproof shoes, but you can't cross river without shoes getting wet.
විජේබාහු මහත්තයෝ.
Deleteකැමරාවක් අතේ තියෙන පලියටම බලධාරියෙක් වෙන්න ගිහිල්ලයි අර මනුස්සයා වරද්දා ගත්තේ."අපියි මේ ගමන ඔර්ගනයිස් කළේ' වගේ පට්ට බොරු කියද්දී කවුද එහෙම කෙනෙකුට බුරුලක් පෙන්වන්නේ?
පේ වීම කියන එක මං දකින්නේ හදවතින්ම එන්න ඕනේ දෙයක් විදිහටයි. දවස් තුනේ, පැය හැත්තදෙකේ කතාව වුණේ මෙහෙමයි. පාද යාත්‍රාවේ යන්න සති කිහිපයක් තිස්සේ පේවෙමින් හිටියා. ඒ අතරේ ලංකාවට ඇවිත් හිටි අපේ අම්මාටත් එක්ක අපේ මල්ලී දීපාල් ඩිනර් එකක් දුන්නා. එතනට ගියාම මස් නොකෑවත් බත් එක සී ෆුඩ්. එයාලට කරදර නොකර දෙයියන්ට කියලා ඒවා කෑවා.
මම එකවර උයන ඒවා වෙන-වෙනම බඳුන්වලට දාලා ෆ්‍රීසර් එකේ තමයි තියන්නේ. ඒවා ගත්තාම ආයේ එකට දමන්නේ නැහැ ඉතිරි වුණත්!
ඉංග්‍රීසි එපා, විජේබාහු මහත්තයා දැකල නැතිද 'කාර්යාලය' තියෙනවා අල්රයන්නයි, යංශයයි එක්ක. ඒ වචනේ ගහලා පෙන්වන්න හැදුවට බැරිවුණා.
හෝටල්වල කිරි හොද්දක්, කිරි මාළු එහෙම වැඩිය තියන්නේ නැත්තේ ඒවා ඉක්මනට පිළුණු වෙන්න බලන නිසා. උළුහාල් දැම්මාම එහෙම වෙනවනේ!
ඉස්සර ඉඳලාම මගේ නියපොතුවල ප්‍රශ්න. දැන් අත්වලත් තියෙන නියපොතු නිරෝගී පාටක නෙවෙයි තියෙන්නේ. ඒවා මොනවා වුණත් ඊළඟ වතාවේ යද්දී ඇත්තටම පරෙස්සම් වෙන්නයි, වෙනම සපත්තු ගැන උනන්දු වෙන්නයි හිතාගෙන ඉන්නේ, පණ පිටින් හිටියොත්.
පුදුමේ දහස් ගානක් දෙමළ බැතිමතුන් යන්නේ සෙරෙප්පු දාගෙන. සමහරු නිරුවත් දෙපයින්!